Thursday, January 28, 2016

ගල් යුගයේ විසූ සීලාකාන්ත් පණ පිටින් හමුවෙයි.

ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි : විස්මිත සොයා ගැනීම්


”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත‍්‍රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්.

ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා පමණක් නොව එක රැයින් ලෝක ප‍්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත්, මේ සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් ඌ වසර මිලියන 60කට පෙර, එනම් ඩයිනසෝරයන්ටත් පෙර, ජීවත්වූ දැනට බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම විද්‍යාඥයන් මේ මාළුවා ගැන දැන  සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් පිරිසකට සීලාකාන්ත් මාළුවකු අසුවුණා කියන්නේ නිධානයක් ලැබුණා වගේ දෙයක් ලෙසයි පොසිල විද්‍යාඥයන් සලකන්නේ.

ආචාර්ය ස්මිත්ගේ මේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙසට නම් කෙරුණා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සතුන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප‍්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුවත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් නිගමනය කළේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප‍්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වූ එකෙක් කියලයි.

1997 වසරේ දී ඒ නිගමනයත් බොරු වුණා. ඇමෙරිකානු සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන්ට සහ ඔහුගේ අලූත් මනාලිය වූ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක දී මාළු කරත්තයක දමා සිටි සීලාකාන්ත් මාළුවකු දකින්නට ලැබුණා. ස්මිත් වසර 50ක් තිස්සේ කළා වගේ යළිත් සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගත හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයා දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වූවකු නොවන බව එයින් හෙළි වුණා.

හොඳින් වැඩුණු සීලාකාන්ත් මසකුගේ දිගින් අඩි 5ක් පමණ වන අතර බරින් රාත්තල් 200ක් පමණ වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ ම බිත්තර පුපුරා වැඩෙන මේ පැටව් මව්කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත‍්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් මිහිමත බහුලව ජීවත් වූයේ මිලියන 400ක් පමණ ඈත අතීතයේ ඩෙවෝනියානු යුගයේ දී යැයි කියවෙනවා. මේ මසුන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. සාගරයෙන් ගොඩබිමට විත් ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් කියන්නේ.

පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මාළුවකු සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ පිරිසක් සමත් වුණා. ඒ සීලාකාන්ත් මාළුවා හමුවුණේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙන්. විද්‍යාඥයන් පිරිස මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා ලොව පුරා විකාශය වූවාට පසු මේ ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් ගැඹුරු මුහුදේ. සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් සිහිපත් කරනවා. මේ රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රය රොබෝ කැමරාවකින්.

රූගත කළ වීඩියෝ දසුන්වලට අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගත් පළමු අවස්ථාව මෙයයි. මේ සත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා.

මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප‍්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවකු මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.

Friday, January 15, 2016

කස්තුරි


සුවිශේශ ඖෂධ  ගුණැති කස්තුරි ගැනයි මේ
ශාක සාර සහ ස්වාභාවික ද්‍රව්‍යයන් භාවිතයෙන් සිදු කෙරෙන ප‍්‍රතිකාර සඳහා සමස්ත ලෝකයා ගේම දැඩි අවධානය යොමු වී තිබෙනවා. මෙබඳු වෛද්‍යකර්මයන් හා ඖෂධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, චීනය, ජපානය, ටිබෙටය වැනි ආසියාතික රටවලට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක්. ඒ අතරිනුත් ඉන්දියාව අන් කිසිදු දේශයකට නොදෙවැනි මට්ටමක සිටිනවා.ඉන්දියානු පාරම්පරික වෛද්‍යකර්මයේ සුවිශේෂී අංගයක් වන කස්තුරි ආශ‍්‍රයෙන් කෙරෙන ප‍්‍රතිකාර පිළිබඳව අවබෝධයක් ලබාදීමයි මෙම ලිපියේ අරමුණ.කස්තුරි යනු ආයුර්වේදයේ එන ප‍්‍රබල ඖෂධයකි. මිය යාමට ආසන්නයේ සිටින අයකු ගේ දිවේ කස්තුරි ස්වල්පයක් තැබුවොත් තවත් මද වේලාවකට ජීවත් කරවිය හැකි තරමට මෙය ප‍්‍රබල ප‍්‍රබල බව සඳහන්. එමෙන් ම කස්තුරි අති විශිෂ්ට වාජීකරණ ගුණයක් ද යුක්ත ය.කස්තුරි නිපදවෙන්නේ විශේෂිත මුව වර්ග කිහිපයක සතුන්ගේ නාභිය තුළ ය. සයිබේරියන්, ෆස්කස්, කාර්බන්ඩයින් යන මුව විශේෂවල පිහිටි සතුන්ගෙන් පමණක් කස්තුරි ලබා ගැනීමට පුළුවන. කස්තුරි නිපදවීම සඳහා මෙම සතුන් ගේ ශුක‍්‍ර වලින් සිදුවන්නේ ප‍්‍රමුඛ මෙහෙවරකි. ගැහැනු සතුන්ගෙන් කස්තුරි ලබා ගැනීමට නොහැකි වන්නේ එ බැවිනි. නාභියේ පිහිටා ඇති ලොම්වලින් ගැවසුන පැසක් තුළට කස්තුරි එකතුවේ.
කස්තුරි මුවන් සිටිනුයේ ඉන්දියාවේ හිමාල අඩවියේ බවයි පුරාණයේ සිටම ලක්වාසීන් ගේ පිළි ගැනීම. මෙය සාවද්‍ය මතයක්. ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තය, නේපාලය, ටිබෙටය, චීනය, වියට්නාමය, කසකස්ථානය, රුසියාව, කොරියාව වැනි රටවල මෙන් ම අපි‍්‍රකාව, ඇමරිකාව වැනි රටවලත් කස්තුරි මුවන් ගේ වාස භූමි වී තිබේ.ඉහතින් දැක්වූ මුව වර්ග අතුරින් සයිබේරියන් ෆැමිලි වර්ගයේ මුවන් ගේ විශේෂත්වය වන්නේ පහළළට නෙරා ආ අඟල් තුනක් පමණ දිගු දළ දෙකක් තිබීම ය.මෙහි ඇති සුවිශේෂ ඖෂධීය ගුණය නිසා ම කස්තුරි මුවන් බෝ කිරීම සඳහා ඉහතින් සඳහන් කළ රටවල ගොවිපොළවල් ද බිහිකර ඇත. ඉන්දියාවේ ආයුර්වේද සහ සිද්ධ මධ්‍යම පර්යේෂණ සභාවේ 2002 වසරේ දත්තවලට අනුව ඉන්දියාවේ ගොවිපොළවල පමණක් කස්තුරි මුවන් එක් ලක්ෂ පණස් දහසකට අධික සංඛ්‍යාවක් ජීවත් වේ. කස්තුරි සහිත පැස ලබා ගැනීමේදී අතීතයේ දී මෙන් මුවන් මරා දැමීමක් වත්මනෙහි සිදු නොවේ. ඉතා සියුම් සැත්කමක් මගින් මෙය සිරුරෙන් ඉවත් කර ගනී. මේ නිසා ම මෙම වටිනා සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් මිදී ඇත.කස්තුරි මගින් බොහොමයක් රෝග සුව කිරීමෙන් පාලනය කිරීමටත් පුළුවන. ඇදුම, දියවැඩියාව, නහර සහ ස්නායු දුබලතා මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගේ ශරීර ප‍්‍රකෘතිමත් කිරීම, ශරීරයේ වියළි ගතිය නැති කිරීම, සමේ අප‍්‍රාණික බව, ඩෙංගු රෝගය නිසා ඇතිවන රුධිර පට්ටිකා මට්ටම පහත වැටීම නවතා වර්ධනය කිරීම, රූමැටික රෝග, අක්මා දුර්වලත්වය, මතක ශක්තිය හීනවීම, ගැස්ට‍්‍රයිටීස්, හංදිපත් වේදනා, ලිංගික දුබලතා, සරු බව හීන වීම, මීමැස්මොරය, මළ බද්ධය, ශීර්ෂ රෝග, රතු රුධිරානු අඩුකම වැනි තත්ත්ව ගණනාවක් සඳහා මෙම මහඟු ඔසුව ගුණ ලබා දෙන බව ප‍්‍රකාශිතය.මෙම ඖෂධය පාවිච්චි කරන අතරේ වෙනත් ඖෂධ ගැනීමේ බාධාවක් හෝ විෂවීමක් නොවීම ද විශේෂත්වයකි.

අලව් ඉසි සැබි හෙළ


 අපේ කොලු මොකදෑ කීවෙ? පැවිදි වෙන අදහස අත්හැරල නැති ද?”
දෙදරු මවක වූ කර්ලිනා ද අල්විස් මාතාව තම සැමියා වන වටුතන්ත්‍රිගේ අර්නෝලිස් ද අල්විස් මහතාගෙන් ඉතා ඕනෑකමින් විමසන්නට වූවාය.
“ඇස් දෙක වගේ උන්නු අපේ දරු දෙන්නගෙන් දරුවෙක් අපට නැතිවුණ හින්දා සවියෙල් පුතාගේ පැවිදි වෙන අදහස අපි ගැන හිතලා අත්හැරල බව මං දන්නවා. මගේ ව්‍යාපාර කොලුට පවරන්නට දැන් ම හිටන් පුරුදු පුහුණු කරවනවා.” “අනේ ඒක හොඳයි” මව සැනසුම් ස්වරයෙන් කීවාය.
පාණදුර මහවිල ගමේ මහතොග වෙළෙන්දා වූ හෙතෙම තමන්ගේ කුදු මහත් වෙළෙඳ ව්‍යාපාර සඳහා තම පුතු හැම විටම සමීප කරගත්තේ ය. ඇතැම් විට පුතු පියාගේ උපදෙස් මත මුහුදු ගමනින් ද ඉන්දීය දේශයට අයත් රටවලට ද වෙළෙඳ කටයුතු වෙනුවෙන් ගිය ද ඊට නම් මවගේ කොහෙත්ම කැමැත්තක් තිබුණේ ද නැත.
සිය පියාගේ වෙළෙඳාමේ තරාදිය අසලම පසුවෙමින් සිටි සවියෙල් තරුණයා දෙපසින් ඉහළ හා පහළට දිවෙන තරාදිය දෙසම බලා හුන්නේ ය. අවසන තීරණයකට එළැඹියේය. තරාදිය පසෙක ලන්නට වූ ඒ තීරණයට තාත්තාට එතරම් සතුටක් නුවූවද පොත පත පරිශීලනයෙහි ද බොහෝ දෑ උගැන්මේ නොතිත් ආශාවෙන් ද පෙළෙන්නකු බව දත් තාත්තා පුතුට හිත රිදෙන තරමේ කිසිත් නොකීවේය.
ගොරකානේ කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලද සවියෙල් පුතු එහිදී පහ වසර සමත්ව මොරටුවේ වේල්ස් කුමර විදුහලට පිවිසියේය. මේ අවධියේදී ම ගොරකාපොළ විද්‍යාරාජ පිරිවෙනට ඇතුළත් වූ හේ හෙළ, පෙළ සකු යන තෙබස මනාකොට ඉගෙනීමට යුහුසුලු වූයේය. මේ සිසුවා ප්‍රාචීන විභාගයෙන් ද සමත් වූයේය. ඒ 1935 දීය. අභිධර්මය සඳහා වූ රන් පදක්කමට ද හිමිකම් කියමින් බෞද්ධාචාර්ය පරීක්ෂණයෙන් ද ඉහළින්ම සමත් විය. බසෙහි ද දැනුමෙහි ද සාහිත්‍යයෙහි ද විද්වතකු විය.
ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට ආරාධිත අමුත්තකු ලෙස පැමිණියේ මුනිදාස කුමාරතුංග පඬිවරයාණන් ය. එහිදී එතුමා දැන හැඳිණු අපේ කතානායකයා තමන් මුල් වරට ලියන ලද ‘නීකත’ නමැති කවි පබැඳුම කුමරතුඟුවනට පිළිගැන්වීය. ‘මේ ඉරුදින ඔබ මා හමුවන්නට එන්න’ කුමරතුඟුවන් කළ ඉල්ලීමකට අනුව එහි ගිය සවියෙල් මහතාට ඔහු පිළිගැන්වූ කුලුදුල් කවි පොත පෙරළා ආපසු ලැබිණ. එහි බොහෝ තැන්වල රතු ඉරි සටහන් කොට තිබිණි.
රතු ඉරි ඇයිදැයි විමසු කල කෘතියේ සදොස් තැන් ඇති බව පවසමින් පුරා පැය දෙකක් ගතවී යනතුරු කුමරතුඟුවෝ සවියෙල්ට බොහෝ දේ කියා දුන්හ. එපමණක් නොව තෙදිනක් තමන්වෙත ඉගෙනීමට පැමිණෙන ලෙසට ද එතුමාගෙන් වරම් ලද්දේය. කුමරතුඟුවන්ගේ සමීප ඇසුරට වන් සවියෙල් ‘අලවු ඉසි සැබිහෙළ’ යනුවෙන් හෙළ ඌරුවට අනුව යමින් නාමය වෙනසකට බඳුන් කළේය.
ඔහු 1938 දී ගුරු පරීක්ෂණයෙන් ද සමත් ව සාහිත්‍යාචාර්ය උපාධිය ද ලැබ සකුපෙළ, වඟු යන බස හැදෑරීම පිණිස දඹදිව බලා ගියේය. ආර්ථික ගැටලු මත එක් වසරකින් පෙරළා ලංකාවට පැමිණි හේ ගුරුකමෙහි නියැළුණේය. 1942 දී ලුනාවේ ආනන්ද විදුහල අරඹමින් එහි විදුහල්පති ධූරයට පත්ව 1943 දී වඳුරඹ ඌරල විදුහලේ ඉගැන්වීය. පසුව ගොරකානට පැමිණි හෙතෙම එම විදුහලේ විදුහල්පතිව කටයුතු කළේය.
සැබිහෙළයෝ ග්‍රන්ථකරණයේ හසළයකුව එම්. ඩී. ගුණසේන සහ සමාගමේ ග්‍රන්ථ සංස්කරණයේ ද නිරතව පළ කළ යුතු ග්‍රන්ථ තේරීම ද කළහ. එහිදී ඔහුගේ නව නිර්මාණ රැසක් ද එම සමාගම හරහා එළිදැක්වූයේය. ව්‍යාකරණය පිළිබඳ මහත් ඕනෑකමකින්, ශික්ෂණයකින් යුතු වූ හේ පොත් ලියමින් පුවත්පත් සඳහා ශාස්ත්‍රීය කරුණු අළලා ලිපි මාලාවක් ද සම්පාදනය කළේය. එහිදී දිනමිණට ඔහු ලියු මේ වචන කොහොම ද? මැයෙන් පළ වූ සරණියෙන් අනතුරුව එදා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් තැනු පාරිභාෂික වචන වෙනුවට හෙළ වදන් ඉදිරිපත් කිරීමට ද වග බලා ගත්තේය.
කුමරතුඟුවන්ගේ සමීප ඇසුර සමඟ හෙළ හවුලේ නියෝජ්‍ය නායකත්වයට තේරී පත්වූ සැබිහෙළයෝ හෙළ හවුලෙන් පිරිනැමු ‘හෙළ බස් ඉසුරු’ සම්මානයෙන් ද හරසරට පාත්‍ර වූයේය. හෙළ ලිවි සැරියට සිදුකළ මෙහෙය උදෙසා ජාතික වීර දිනයේ කලාසූරී සම්මානයෙන් පිදුම් ලැබීය. සාහිත්‍ය සූරී සම්මානයෙන් ද පුදනු ලැබීය. සරසවි ඇදුරන් කීපදෙනකු එක්ව සිදු කැරෙන සංශෝධන හා විවරණ තනිව සම්පාදනයෙහි යෙදෙමින් ඔහු පෑ උගත්කමෙහි පරිචය මොනවට පැහැදිලි විය. “බස හරි හැටි උගත යුතුය. වියරණය වරදවා නොලිවිය යුතුය. හෙළ බස නඟා සිටුවහොත් හෙළ දිවත් හෙළ බසත් හෙළයාත් ආරක්ෂා වේ.” හෙතෙම හඬගා කීයේය.
පෙම් සබඳතාවයකින් විවාහ දිවියට පත් ඔහු ආදරයත් කරුණාවත්, වේදනාවත් සමුච්චියක් ලෙසින් ගෙන ස්වකීය පෙම්වතිය වෙනුවෙන් ‘නී කත’ කාව්‍ය සංග්‍රහය ලිවීය. ඇය ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල වූවාය. පාණදුර, මහවිල පදිංචි ඕ සරා පෙරේරා නම් ගුරු මෙනවියකි. එකිනෙකා අතර හුවමාරු වූ පෙම්පත් එකතුව පසුව ‘හෙළ කමළ’ නම් කාව්‍ය ග්‍රන්ථය ලියා පළ කළේය. හෙළ කවිමග ඔපලු සැබිහෙළයෝ නවකතා, පද්‍ය විචාර ද ලියූහ.
1956 දී සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කරවීමට අනුබල දෙමින් එහි සුදුසු බව කියා පාමින් තැන තැන දෙසුම් පැවැත්වූ හේ එකල රජය අනුගමනය කළ භාෂා ප්‍රතිපත්තියට විරුද්ධ වූයේය. ඔහුගේ ව්‍යක්ත සිත් ඇද බැඳගන්නා හරබර දෙසුම්වලින් ජනයා වඩාත් සමීප වීමේදී එය නොඉවසූ වාමාංශිකයන් හෙළ හවුලේ රැස්වීම් කඩා කප්පල් කර ඔහුට ද පීඩා කළහ.
ගොවිඳු ගීතය, මනුලෝ සිළුමිණි, ගෝතම ගීතය, කොවුල් සඳැස් විවරණ, සරසවි රැස, සකුරස ගඟුලැල්ල, සිංහලයට ඇද හැලේ විචාර ලිපි, ගද්‍යකරණය, ඇතුළු තවත් සාහිත්‍ය කෘති උදෙසා සම්මානයෙන් පුද ලද සැබිහෙළ ලියු දීර්ඝතම කාව්‍ය ග්‍රන්ථය රුවන්මග වේ. දෙව් ලොව මනාලිය, ලක්ලන්ද, හේළි මග, සුවඳ පොද, අම්මා, රන්දෙරණ, රත්තොටිල්ල, අමාදහර, දෙව්ලෝ හටන, වෙස් මාරුව, නව රජය, කුරුලු කැදැල්ල, හරි සොම්නස, යහළුකම, සුරඟන නැන්දා සිඟිති ගීය, හොඳ හිත, ගුරු ආදරය, දිවමන් බස්, සිංහල බෝධිවංශ විවරණය, සියබස්ලකර විවරුවද සඳ කිඳුරු දා සමර, සද්ධර්මරත්නාකර විවරණය, ගුත්තිල පහදනය, පරවි සඳෙස් පහදනය, ථූපවංශ විවරණය ආදි ඔහු අතින් ලියැවුණු ග්‍රන්ථ සංඛ්‍යාව එකසිය අටකි. ඉන් සියයකට වැඩි සංඛ්‍යාවක් ග්‍රන්ථාරූඪ විය.
සරල සිංහල බසින් රචිත පැදි 1765 කින් යුතු සර්ග තිහකින් සම්පාදනය වූ මහාකවක් ලෙසින් හෙළ සාහිත්‍යයේ මුදුන්ව පෙනෙන මනා වූ ‘බුදු සිරිත’ට අන් සැම ග්‍රන්ථයකටම වඩා තම හිත ඇදී ගියේ යැයි ලබුගම ලංකානන්ද හිමියෝ සඳහන් කොට ඇත්තාහ.
සිංහල ශබ්දකෝෂයේ උප කර්තෘවරයකු ලෙසින් ද හෙතෙම කටයුතු කළේය. අතරතුරදී තමන් විසින් තනන්නට වෙහෙසුණු පෞද්ගලික ශබ්ද කෝෂයෙහි වැඩ කටයුතු වෙනුවෙන් වසර විස්සක් පුරා වෙහෙසව එය අවසන් කළේය. එක්ලක්ෂ විසිපන්දහසක් පමණ වූ හෙළ යෙදුම් හා ඒවායේ තැනුම් විධි ආදිය ද දක්වමින් නිමවන ලද එම ශබ්දකෝෂය කාණ්ඩ 13 කින් සමන්විත විය. පිටු හයදහසක යෝධ නිමැවුමක් වූ එම කෘතිය පිළිබඳ බොහෝ කල්පනා ඔහුගේ මනසේ තිබු නමුදු එය මුද්‍රණය කරගැනීමට තරම් හැකියාවක් නොවූයේ ඊට අනුග්‍රාහකයකු සොයා ගැනීමට සිදු වූ අපහසුතාවෙනි.
යුනෙස්කෝ සාහිත්‍ය සම්මාන, සාහිත්‍ය සම්මාන, මහා සාහිත්‍ය සම්මාන තිළිණ රැසකින් පිදුම් ලද ඔහු ගිල්බාදු ගුණරුවන් නමැති ගායන ශිල්පියකු ගැයු ගීත කිහිපයක් ද ප්‍රබන්ධ කළේය. හඳපානේ... නම් ඔහු රචිත ගීතය සුනිල් සාන්තයනට විකුණ දැමීමෙන් එහි කර්තෘත්වය හිමි වූයේ සුනිල් සාන්තයන්ටය.
සිය දෙස බස රැස පිළිබඳ නිරවුල් නිවැරැදි චින්තනයකින් හෙබි ගුරුවරයකු, උගත් ලේඛකයකු, පරිවර්තකයකු, කවියකු, වියත් කථිකයකු වූ අලවු ඉසි සැබිහෙළ විද්වතාණන් ලාංකේය සාහිත්‍ය උදෙසා ඉටුකළ විපුල අගනා මෙහෙවර අනාගතය පුරාවට ද කියැවෙනු ඇත.
දියණියන් තිදෙනකුට හා එක් පුතකුට ස්නේහවන්ත පියකු වූ අපේ කතා නායකයාගේ ලොකු දුව වනුයේ හේලි මාලා අලව් ඉසි නැතහොත් අල්විස් ය. වත්මන ඈ හේලි මාලා අතුකෝරළ ය. පුරා විද්‍යාව හැදැරූ දෙවන දියණිය ඈ මාලතී මාලා ය. ප්‍රකට ගුරුවරයකු වූ පුතු දෙව්රුවන් වූ අතර සුපුන්සරා නම් වූයේ බාල දියණියය.
දෙවියකු කී දෙයක්වත් කරුණු නැතිව නොඅදහනු යැයි හැම විට හැම තැන පැවසු සැබිහෙළයාණන්ගේ තීක්ෂණ විමංසන ඥානය ඔහුගේ අගනා කෘතීන් අතුරින් ඉස්මතු වී පෙනේ. හෙළ බසට රැසට දෙසට මහත් සේවාවක නියැළුණු හෙළ බස් රුසියකු වූ එතුමාණෝ හදිසියේ වැලඳුණු හෘදයාබාධයකින් පෙළෙන්නට වී අවුරුදු හැත්තෑ අටක් පමණ ආයු වින්දනය කරමින් සියල්ලනගෙන් වෙන්ව නොඑනා ගමන් යන්නට ම ගියහ.

සෙල්ෆියේ ඉතිහාසය

සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය

ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්, තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ. සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.
අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය. (c) Wikimedia
1966දී අමෙරිකානු ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය.
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆිය, සඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද එඩ්වින් "Buzz" ඕල්ඩ්‍රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී. (c) Wikimedia
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ ජනප්‍රියම වචනය වූ "selfie" යන්න මුලින්ම භාවිතා කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්" ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.

සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුට, මුහුණ පඩිපෙලෙහි ඇනීම නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක් සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහු, එය සමාජ ජාලයක පලකොට සිය අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය "සෙල්ෆියක්" නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.

"සෙල්ෆී" යන වචනය භාවිතාකරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු තරුණයා කරන විස්තරය. (c) telegraph.co.uk
USA Today පුවත්පතට අනුව අද දිනකට සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.

කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්. (c) Wikimedia Commons
සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත. සමහර සෙල්ෆී පුදුම සහගතය, සමහර ඒවා රැගෙන මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන එන්නම්....

මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ හිසෙහි වැදී තදබල අණතුරක් සිදුවිය.

මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින් මාධ්‍ය වලට නිකුත් කරන ලදී.

Windsurfing ක්‍රීඩකයාගේ අපූරු සෙල්ෆිය
බැලූනයෙන් ඉවතට පැනගත් මොහෝතේම පැරිශුටය දිගහැරගන්නටත් කලින් ගත්ත සෙල්ෆිය
පියාසර කරන ග්ලයිඩරයෙන් සෙල්ෆි ස්ටික් එකක් එලියට දමා ගන්නා ලද අපූරු සෙල්ෆිය.


සෙල්ෆියේ ඉතිහාසය

සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය

ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්, තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ. සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.
අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය. (c) Wikimedia
1966දී අමෙරිකානු ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය.
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆිය, සඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද එඩ්වින් "Buzz" ඕල්ඩ්‍රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී. (c) Wikimedia
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ ජනප්‍රියම වචනය වූ "selfie" යන්න මුලින්ම භාවිතා කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්" ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.

සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුට, මුහුණ පඩිපෙලෙහි ඇනීම නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක් සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහු, එය සමාජ ජාලයක පලකොට සිය අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය "සෙල්ෆියක්" නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.

"සෙල්ෆී" යන වචනය භාවිතාකරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු තරුණයා කරන විස්තරය. (c) telegraph.co.uk
USA Today පුවත්පතට අනුව අද දිනකට සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.

කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්. (c) Wikimedia Commons
සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත. සමහර සෙල්ෆී පුදුම සහගතය, සමහර ඒවා රැගෙන මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන එන්නම්....

මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ හිසෙහි වැදී තදබල අණතුරක් සිදුවිය.

මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින් මාධ්‍ය වලට නිකුත් කරන ලදී.

Windsurfing ක්‍රීඩකයාගේ අපූරු සෙල්ෆිය
බැලූනයෙන් ඉවතට පැනගත් මොහෝතේම පැරිශුටය දිගහැරගන්නටත් කලින් ගත්ත සෙල්ෆිය
පියාසර කරන ග්ලයිඩරයෙන් සෙල්ෆි ස්ටික් එකක් එලියට දමා ගන්නා ලද අපූරු සෙල්ෆිය.


කෝච්චියේ ඉතිහාසය

කෝච්චියේ ඉතිහාසය
කෝච්චිය, දුම්රිය, රේල්ලුව යන විවිධ නම් වලින් හැඳීන්වුවත් අවසානයේ මිනිසාට අති ප‍්‍රයොජනවත් වස්තුවකි දුම්රිය. අපට අවශ්‍ය කරන බඩු බාහිරාදියත් - මිනිස්සුන් එහා මෙහා ගෙන යන, ඒවාගේම සැතපුම් විශාල දුර ප‍්‍රමාණයක් ගමන් කරන එමෙන්ම වේගයෙන් යන දුම්රිය මුලින්ම නිපදවන ලද්දේ එංගලන්තයේදීය. දුම්රිය ගමනා ගමනය දියුණු තත්ත්වයට පත්වී ඇත්තේ කලක් තිස්සේ විකාශනය වීමෙනි. දුම්රිය ගමනා ගමනයට පදනම් වූයේ 15 වැනි සියවසේ මැද භාගයේ බිහිවූ රේල්රථ මාර්ග නිසාය.15 වැනි සිවයසේදී ජර්මනියේ හා රුමේනියාවේ ගල් අඟුරු ආකර තුළ අඟුරු පිරවූ රෝද හතරේ පෙට්ටි තල්ලුකර ගෙන යාම සඳහා දැවයෙන් තැනූ පීලි යොදා මාර්ග සකස් කරගෙන තිබුණි. මෙම ක‍්‍රමය පසුකාලයේදී එංගලන්තයේ ගල් අඟුරු ආකර තුළටද ව්‍යාප්ත විය. මීට වඩා ශක්තිමත් ක‍්‍රමයක් ලෙසත්, සුමට ක‍්‍රමයක් ලෙස ලෝහයෙන් තැනූ පීලි භාවිතයට ගැනීම ආරම්භ විය. එය 1976 එංගලන්තයේ Shrops Shire ප‍්‍රදේශයේදී සිදුවිය. ඒවා හැඳින්වූයේ Plate නමිනි. මේ ක‍්‍රමයේදී ගල් අඟුරු පෙට්ටි කිහිපයක් එකට අමුණාගෙන අසුන් යොදවාගෙන මිනිස් ශ‍්‍රමයෙන් තල්ලු කරගෙන යාම එහිදී සිදුවිය. එවකට එංගලන්තයේදී භාණ්ඩ හා ගල් අඟුරු ඈත ප‍්‍රදේශ කරා ගෙන ගියේ ඇළ මාර්ග ඔස්සේය. ඇළ මාර්ගය අසළට ගල්අඟුරු ප‍්‍රවාහනය කිරීම සඳහා ගල් අඟුරු ආකරයේ සිට තොටුපළ දක්වා මෙම පීලි යෙදූ රේල් රථ මාර්ග ගණනාවක් ඉදිකර තිබුණි. මුල් කාලයේදී සංකීර්ණ නොවූ මාර්ගවල ගමන් ගත් මේ රේල් රථ 19 වැනි සියවස මුල්කාලය වන විට බෑවුම් උස්මිටි හා පහත් බිම්ද ඇළ දොළ ද සහිත විවිධ වූ භූමි ලක්‍ෂණ වලින් හෙබි බිම්හරහාද මේවා ඉදිකරන ලදී.
ප‍්‍රංශ කාලතුවක්කු හමුදාවේ නිලධාරියකු වූ නිකලස් කුන්ගෝ නැමැත්තා විසින් වාෂ්ප බලයෙන් කි‍්‍රයා කරන රෝද තුනේ වාහනයක් 1769 දී නිපදවීය. එය ලොව ප‍්‍රථම මෝටර් රථය ලෙසද හැඳින්විය හැක. මෙම රථය යොදා ගැණුනේ ප‍්‍රංශ හමුදාවට අයත් කාලතුවක්කු එහා මෙහා ගෙන යාමටය. මෙම රථය හසුරුවා ගැනීමේ තාක්‍ෂණයක් ඔහු සතු නොවූයෙන් වරක් එය පෙරළී විනාශයට පත්විය. කුන්ගෝගේ වාෂ්ප බල රියේ ආකෘතිය ගෙන 1784 දී විලියම් මර්ඩොත් නැමැත්තා විසින් වෙනත් ආකාරයට රථයක් නිපදවිය. එය අත්හදා බැලීමේ අවස්ථාවේදීම විනාශයට පත්විය.කෝර්නිෂ් ජාතික ඉංජිනේරුවරයකු වූ රිචර්ඩ් ටේ‍්‍රවිතික් නැමැත්තා විසින් යාන්ති‍්‍රක ශක්තිය උපයෝගී කරගෙන රේල් පීලිමත ධාවනය කළ හැකි යන්ත‍්‍රයක් හඳුන්වා දුන්නේය. ප‍්‍රථම වරට මිනිසුන් නංවාගත් මැදිරියක් පීලි මත ධාවනය කරවූයේද මේ ඉංජිනේරුවා විසින්ය. ඔහු ඒ සඳහා ලන්ඩන් ඉයුස්ටන් චතුරශ‍්‍රය අසළ රේල් රථ මාර්ගයක් ඉදිකර සංදර්ශනයක්් පැවැත්විය. පැන්ස 5 ගෙවා එහි වටයක් යාමට එවකට නගර වාසීන්ට අවස්ථාවක් උදාවිය. වරක් එම රථය පෙරළී ගිනිගැනීමෙන් එහි සිටි මගීන් පිරිසක් ද තුවාල ලැබූහ.දුම්රිය ගැන කතා කරන විට අපේ මතකයට නිතැතින්ම එන්නේ ජෝර්ජ් ස්ටීවන්සන්ය. ඔහුගේ පියා දුගී පතල්කරුවෙකි. දුගී බව නිසා කුඩා කාලේ සිටම ජෝර්ජ් ස්ටීවන්සන්ට පතල්වල වැඩිකිරීමට සිදුවිය. පතල් කර්මාන්තයේ විවිධ රැකියාවල නියුතු වූ ඔහුට අවසානයේ කිලීංවර්ත් පතලේ ඇන්ජින් භාරකරු ලෙස කටයුතු කළේය. මේ තනතුර ඔහුගේ නිර්මාණ ශක්තියට මහත් රුකුලක් විය. ස්ටීවන්සන්ගේ මුලින්ම නිපදවූ ඇන්ජිම My Lord  නම් විය. එය එතරම් දියුණු තත්ත්වයේ එකක් නොවීය. පතල් හිමියෝ ඔහුව දිරිගැන්වීය. 1923 වන විට ජෝර්ජ් ස්ටීවන්සන් ඇන්ජින් නිෂ්පාදකයකු ලෙස නමක්් දිනා සිටියේය.පළමුවැනි දුම්රිය සේවය නොවූවද ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබුවේ වසර 1825 ස්ටොක්ටන් හා ඩාර්ලින්ටන් අතර ආරම්භ කරන ලද දුම්රිය සේවයයි. මෙයින් ගෙන යන ලද්දේ අශ්වයන්් අදින ලද කරත්තයකි.
1830 ලිවර්පූල් හා මැන්චෙස්ටර් අතර දුම්රිය සේවය අයත් අයිතිකරුවෝ හොඳම දුම්රිය ඇන්ජිම සඳහා පවුම් 500 ක ත්‍යාගයක් පිරිනමන බව ප‍්‍රකාශ කරන ලදී. මෙම තරගයේ ජයග‍්‍රාහකයා වූයේ ‘රොකට්’ නැමැති දුම්රිය ඇන්ජිම නිපදවූ ජෝර්ජ් ස්ටීවන්සන්ටය. ‘රොකට්’ නැමැති මේ දුම්රිය ඇන්ජිම මගින් කිලෝමීටර් 56 ක දුරක් පැය දෙකක් වැනි කාලයක් ඇතුළත ගමන් කර පෙන්වීමෙන් ජෝර්ජ් ස්ටීවන්සන් සහ ඔහුගේ පුත් රොබට් ස්ටීවන්සන් ප‍්‍රසිද්ධියට පත්විය. ඊට පසු වසර ගණනාවක් යන තුරු නිෂ්පාදනය වූයේ ‘රොකට්’ ඇන්ජින්ය.වාෂ්ප දුම්රිය සේවය වඩාත් දිනෙන් දිනම ජනප‍්‍රිය වන්නට පටන්ගත්තේ මීට පසුවය. ඊට සම්බන්ධවූ සිලින්ඩර දෙකකි. එක බොයිලේරුවකි. මේ සියල්ල ටොන් හතහමාරක් තරම් බරින් යුතු විය. මීට පසු කලක බි‍්‍රතාන්‍ය රේල්වේ සමාගම විසින් නිපදවන ලද ‘බි‍්‍රටෙනියා’ නම් වූ දුම්රියේ බර ටොන් 141 ක් විය. පළමු දුම්රියේ බර හා සසඳන කළ මේ දුම්රියේ ප‍්‍රමාණය ගැන සිතාගත හැක.මෙවැනි බරක් රැගෙන යාහැකි දුම්රිය මාර්ග වඩාත් ශක්තිමත් ඒවා විය යුතු නිසා ‘එල්’ හැඩයේ යකඩ දුම්රිය පාරවල් වෙනුවට වඩාත් ශක්තිමත් අද පවතින දුම්රිය පාරවල් වැනි රේල් පාරවල් ඉදිකරවීය. වාෂ්ප දුම්රිය ඇන්ජිම පණගැන්වීම සඳහා අවශ්‍ය කරන විශාල ජල ප‍්‍රමාණයද දුම්රිය ඇන්ජිම තුළ ගෙන යන්නට සිදුවිය. ඒ වාගේම තෙල් හෝ දර වැනි දහනයක් ගෙනයාමට ද සිදුවිය.රොකට් ඇන්ජිමේ තිබූූ සිලින්ඩර ප‍්‍රමාණය දෙක වුවත් පසුව ඒවා වඩාත් ප‍්‍රමාණයක් විශාල ඒවා භාවිතා කරන ලදි. ඊට පසුව නිපදවන ලද දුම්රිය ඇන්ජින්වල සිලින්ඩර තුන හෝ හතරක් භාවිතා කරන ලදි. මෙයින් වඩාත් මෘදු ධාවන තත්ත්වයක් ලබාගැනීමට හැකිවිය. දුම්රිය නතර කිරීම සඳහා තිරිංග  ක‍්‍රම තුනක් භාවිතා වේ. එකක් නම් අතින් තද කරන තිරිංගය දෙක වාෂ්ප තිරිංගය අනික ස්වයංකී‍්‍රය තිරිංගය දැනට භාවිතා කෙරෙන ‘වැකුම්’ තිරිංග මගින් ටොන් 500 ක් බර දුම්රියක් පැයට සැතපුම් 95ක වේගයෙන් ගමන් කළත් තිරිංග යෙදූ විට මීටර් 330 ක් වැනි සුළු දුර ප‍්‍රමාණයකදී නතරකරගත හැකිය.දුම්රිය සේවය දිනෙන් දින වර්ධනය වෙද්දී යුරෝපයේ ධාවනය වන දුම්රියක ඇන්ජිමේ රෝද 14 කුත් ගල්අඟුරු ටොන් 28 කුත් වතුර ගැලුම් 25,000 අඩංගු විය.අද දුම්රිය සේවය කොතරම් වර්ධනය වීද කියතොත් විදුලියෙන් දුවන දුම්රියත්, පොළොව යටින් දුවන දුම්රියත් සේවයට එක්වී තිබේ. මේවා වාෂ්ප දුම්රියන්ට වඩා ඇත්තේ බොහෝ ඉදිරියෙන් ය. වාෂ්ප දුම්රිය සේවය වෙනුවට අද එතැන අරගෙන ඇත්තේ තෙල් වලින් කි‍්‍රයාකරන ඩීසල් දුම්රිය ඇන්ජින්ය. ඒවා වඩාත් ජනප‍්‍රිය හා ලාභදායී සේවයකි.

Thursday, January 14, 2016

නාලන්දා ගෙඩි ගෙය



ලංකාවේ හරි මැද නාලන්දා ගෙඩි ගෙය

අපේ පුංචි ලංකාවේ හරිමැද සොයාගන්නට යන ගමනයි මේ ඔබ හා යන්නට සූදානම් වෙන්නේ. මාතලේ දිස්ති‍්‍රක්කය ඉතිහාසයේ බොහෝ වැදගත් ස්ථානවලට තෝතැන්නක් වූ අපූරු පරිසරයකට උරුමකම් ඇති පෙදෙසකි. ලෝකයේ පුදුම අටක් කරමින් සීගිරිය ලංකාවේ ලොක අවධානයට ලක්විය. ඒ ආසන්නයේම දඹුලු රජමහවෙහෙර විරාජමානව සිටී. නොසි‍ඳෙන දියබිඳුව තලියපුරවාලන්නට අතීතයේ සිටම විශාල පරිශ‍්‍රමයක් තවමත් දරයි. කණ්ඩලම වැව හා සබැඳුණු වන බිම, මාතලේ අළුවිහාරය සුන්දරත්වය සේ පෙදෙසට මහත්වූ වටිනාකමක් ගෙන දී ඇත. ඒ අතරේ තරමක් වෙනස් අපූරු නිමැවුමක් ලෙස ගෙඩිගේ පිහිටා තිබීමද නාලන්දාවට වැදගත් වී ඇත.මාතලේ සිට දඹුල්ල පාරේ ඇති කිලෝමීටර හතළිස් නමය ස්ථානයෙන් හැරුණු පටු මග ඔස්සේ කිලෝමීටර එකහමාරක් පමණ දුරක් මග ගෙවා යන්නට සිදුවේ. අද පවතින මග ඔස්සේ වාහනයකින් වුවද ළඟාවිය හැකිය. සීතල වැව් දිය පවනේ සල සලා නාලන්දා ගෙඩිගේ දෙසට ඇදී එයි. එයින්ම අපේ විඩා නිවාලන්නට හැකිය.පැරණි ගෘහනිර්මාණ ශිල්පයේ එක් ලක්ෂණයක් වූ ගෙඩිගේ හෙවත් ගිංජිකාවත්ත සහිත වහළ ක‍්‍රමය මෙම ගෙඩිගේ සඳහා පියස්ස කොට ගෙන ඇත. ගල්පුවරු උස් වේදිකාවක් මත පිහිට වූ මෙම ගෘහය දකුණු ඉන්දිය පල්ලව සම්ප‍්‍රදායට නෑකම් ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගුරුකොට නිමැවූවකි. බුදුගෙයක් ඇති අතර එහි වැඩ සිටින හිටි පිළිමයකි. ඊට අමතරව ස්තූපයක්ද පිහිටා ඇත. සතරැස් මළුව මත පිහිටි මේ ගොඩනැගිල්ල එතරම් විශාල නොවේ. එසේම එම පෙදෙසේ පවතින එකම ඉදිකිරීමද මෙම ගෙඩිගේ පමණක් වීම වැදගත්ය. මන්ද අනෙක් නටඹුන් නගර ගොඩනැගිලි පිරිවරා ඉඳි වූ ඒවා වන අතරේ මෙම ගොඩනැගිල්ල එසේ නොවීමයි.
හින්දු කොවිලක ආකාරයට මෙය නිමවා තිබීම දකින්නා තුළ වෙනස් හැඟීම් ඇති කළද ඇතුලත වන්නේ බුදු පිළිමයයි.මෙම පෙදෙසට නාලන්දා යන නම ලැබීමද අපූරු පුරාවෘත්තයකින් ඛ්මුවේ. නාලන්දානම් දෙමළ කුමාරයෙකු තම ආගම ඇදහීම උදෙසා කෝවිලක් ඉදිකර වැඳුම් පිදුම් කළ ස්ථානය අදට පැවතීම නාලන්දා නම ලැබීමට හේතු වී ඇත. ඒ අසල බෝධිමූූලයේ වැඩ සිට බවුන් වඩන භික්ෂූන් වහන්සේ තමනට කළ හිරිහැර නිසා තමාට අත් වු දේව කෝපයෙන් මිදීමට නාලන්දා කුමරු පළමුව ගල්මුල් ගසා පළවා හැරී භික්ෂුව යළි වඩමවා මෙම ස්ථානයේ විහාරස්ථානයක් බවට පත්කර දී ඇත. කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් ආදාහනය කරවා භෂ්මාවශේෂ ගෙන එහිම ස්තූපයක් කරවා ඇත. මීටර් 25 ක පමණ වට ප‍්‍රමාණයකින් නිමවා ඇත. එය අදටද පවතී.විශාල ගල් පුවරු වලින් මෙහි බිත්ති නිමවා තිබේ. එසේම වහළයද එසේම ගල් උපයෝගයෙන් නිමවා ඇත. විශ්මය ජනක කරුණවන්නේ පියස්සේ වක‍්‍ර හැඩය මනාව ගෙන තිබෙන අයුරුයි. මෙය අනුරාධපුරය යුගයට අයත් නිර්මාණයක් බවට හෙළි වී ඇත. මෙම නිර්මාණ ක‍්‍රමයට ලංකාවේදී හමුවන එකම ගොඩනැගිල්ල වන්නේ නාලන්දා ගෙඩිගේ පමණි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රති සංස්කරණ වලට අනුව අඩි 23 උස් මළුවකට මෙම ගොඩනැගිල්ල ගෙන එනු ලැබීම විශ්මජනකය. දැනට පවතින ප‍්‍රවේශ මාර්ගයද ඉතාම අලංකාරව නිමවා ඇත. මෙම නිර්මාණාත්මක ගොඩනැගිල්ල නැරඹීමට ද තණපලස රැඳුණු මළුවට පිවිසෙන දෙස් විදෙස් සංචාරක පිරිස මහත්ය. වැව් දියෙන් වට වූ පෙදෙස අනුරපුර, පොලොන්නරුව නටඹුන් පිරි ඓතිහාසික පෙදෙස් සිහියට නංවයි. මෙම පෙදෙස ලංකාවේ උතුරු දකුණු නැගෙනහිර බටහිර දිසා හතම මැදිව පිහිටා ඇත.

පත්තිනි දේව පූජා

පත්තිනි දේව පූජා

හැඳින්වීමසංස්කරණය

පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජා වලින් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.

කිරි අම්මාවරුන්ගේ දානයසංස්කරණය

ඉතා පුරාණයේ සිටම ගම් වල පැවත එන චාරිත්‍රයකි කිරිඅම්මාවරුන්ගේ දානය. බොහෝ විට කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව හෝ පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් වැලඳුන විට හෝ කුඩා දරුවකුගේ කිසියම් අසනීප තත්වයක් නිසා හෝ එබඳුවූ අවස්ථාවක ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් ගැට ගැසීම සිරිතකි.
බොහෝවිට බාරය සිදුවන්නේ බදාදා හෝ සෙනසුරාදා දිනකය. බාරය පිරිමහන්නේද එවැනිම වූ කෙම්මර දිනකදීය. මෙම බාරය සඳහා කිරි අම්මාවරු හත්දෙනෙක් යොදා ගැනීම වඩා ප්‍රකටය. කිරි අම්මාවරුන්ගේ දානයට අනිවාර්යෙන්ම සහභාගි කර ගනු ලබන්නේ දරුවන් වැදූ මව්වරුන් පමණය.
ආරාධනා ලැබූ කිරි අම්මාවරු උදෑසනම අදාල නිවසට පැමිණේ. ඔවුන්ට වාඩි වීම සඳහා බිම පැදුරු එලා ඊට උඩින් සුදු රෙදි පිරුවට අතුරා තබා තිබේ. වාඩි වූ පිරිසට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදිය එක් වර්ගයකින් තුනක් බැඟින් ලැබෙන ලෙස තුන්වරක් බෙදයි. බොහෝවිට එය කරන්නේ අදාල බාරයට හේතු වූ පුද්ගලයා විසිනි.එසේම කිරිපැණි භාජනය බැඟින්ද ඒ කිරි අම්මාවරුන්ට පූජා කෙරේ. තවද බුලත් කොලයක් පුවක් ඉරුවක් කාසි වලින් පඬුරක්ද මෙසේ දෙනු ලැබේ. මේ කටයුතු සිදු කිරීමට පෙර හඳුන්කූරු දුම්මල වැනි සුවඳ වර්ග හා බුද්ධ පින්තූරයක් සමඟ පොල්තෙල් පහනක්ද දල්වා අම්මාවරුන් සමීපයේ තබනු ලබයි. මෙසේ මූලික කටයුතු අවසන් වීමෙන් වූ පසු කිරි අම්මලා ගෙදර අයද සමඟ පන්සිල් සමාදන්ව බුදුන් වැඳීමක් කරනු ලැබේ. එයින් පසු තෙරුවන් වැඳ පත්තිනි දේවිය සිහිපත් කරමින් යාතිකාවක් පලපුරුදු කිරි අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලැබේ.
සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්
  එර්දි වෙලා උඩු ගුවනේ වඩින්නේ
  එර්දි සලුව ගෙන පවන් සලන්නේ
  සුද්ද ඇතිව දෙන දන් පිලිගන්නේ
  සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ

අං කෙළියසංස්කරණය

පත්තිනි දේවියට කෙරෙන උපහාරයක් හැටියට පැවැත්වෙන්නකි. ගම් දෙකක (උඩුපිල හා යටිපිල) දෙපිරිසක් එක්ව අන්දර කොවුලින් සකස් කරන ලද අං "අං රිකිල්ල" නම් තවත් ලොකු කඳක බැදගෙන අවුත් එකිනෙක ක්‍රමවත්ව පටලවා ගහක හා කඳක බැඳ රඳවා ඇද කඩා දැමීම එහි මූලික ක්‍රියාදාමයයි.
පත්තිනි දේවියගේ කතාවක එන සිද්ධියක් මෙම ක්‍රීඩාවට මුල් වූ සේ සලකනු ලැබේ. ඇය තම සැමියා වන පාලගයාර් සමඟ මල් නෙලන්නට ගියාය. පාලගයාර් ගසට නැග මල් කඩද්දී පත්තිනි බිම සිට මල් නෙළුවාය. ඒ අතර ඔවුන් මල් නෙළු කෙකි එකට පැටළිණි. එය ගලවා ගන්නට දෙදෙනාම නොකැමති වූහ. දෙදෙනා දෙපසට අදිද්දී පාලගයාර්ගේ කෙක්ක කැඩී ගියේය. අං කෙළිය පවත්වනු ලබන්නේ එම සිද්ධිය අනුස්මරණය කරන්නටය.
  පා ලඟ ගස උඩ ඉඳ මල් ඉත්තට කෙකි ලා
  ඊ ළඟ පත්තිනි මදවියගේ රන් කෙකි අවු ලා
  මෙ ලක්දිවේ හැම දෙවියෝ අදිති එක් වෙ ලා
  එදා පටන් මේ අං කෙළිය උපත ඇති වෙ ලා
මුළු ක්‍රීඩාව තුළම ඇත්තේ ආගමික මුහුණුවරකි. මල්පැල ඉදිකිරීම, පහන් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, කෙම්මර කිරීම ආදියෙන් ඒ වග පැහැදිලි වෙයි. එක් පිලක අඟ බිඳියාමෙන් ක්‍රීඩාව අවසන් වෙයි. එහෙත් ක්‍රීඩා වාරයක් අවසන් වීමට එක් අඟක් පිට පිට වාර තුනක් දිනිය යුතුය. එසේ තුන්වරක් දිනන ලද අඟ රිදී මුදුවක් පලඳවා ගමේ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

පොල් කෙළියසංස්කරණය


මෙයද පත්තිනි දේවියට කෙරෙන පූජාවක් හැටියට සලකනු ලබන්නකි. අං කෙළියේදී මෙන්ම පොල් කෙළියේදීද පොල් මල්පැල වල තබා දුම්මල අල්ලා පේ කොට වත් පිළිවෙත් අනුව සිදු කරනු ලැබේ. මෙහිදීද උඩුපිල යටිපිල වශයෙන් දෙපිලක් එක්ව තරඟ කරනු ලැබේ. එක් පිලකින් එවනු ලබන පොල් ගෙඩිය අනෙක් පිලේ අයකු විසින් පොල් ගෙඩියකින්ම ගසා බිඳ දැමීම මෙහිදී කරනු ලබන ක්‍රියාවයි.
පහරදීම සඳහා පොල් එවන්නාද පහර දෙන්නාද යන දෙදෙනාම හොඳ පලපුරුදුකාරයන් වීම මෙහිදී අත්‍යවශ්‍යවෙයි. එමෙන්ම මෙම ක්‍රීඩාවද සිදු කරනු ලබන්නේ කෙම්මර දවස්වල පමණකි.
  සෙල්ලම් සිරිපද මෙ අප රකිනවා
  පුල්වන් දෙවිරජ වරම් ලැබෙනවා
  පුල් පියුමක් දෙවි සුරත දරනවා
  පොල් පූජාවට වරම් ලැබෙනවා

  පද කර කවි කීව්වේ ඔබෙ නාමෙට
  ලෙඩ රෝ දුක් දුරුවෙයි ඔබෙ නාමෙට
  සියළු රෝග දුරුවෙයි තෙද හළඹට
  තෙද වරමක් ලැබුණා පොල් කෙළියට