Tuesday, May 16, 2017

ප්‍රශ්න තුන



 [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.]

 සෑම දේම පටන්ගත යුතු නිවැරදි වෙලාව කුමක් ද? ඇහුම්කන් දිය යුතු හා ඇහුම්කන් නොදිය යුතු  පුද්ගලයන් කව් ද? කල යුතු වැදගත්ම කාර්යය කුමක් ද? යන ප්‍රශ්න තුනක් එක්තරා රටක රජකෙනෙකුට පැණ නැගුණි. ඒවාට පිලිතුරු දැන ගතහොත් සියලු දෙයින් ඔහුට ජය ගතහැකි බව ඔහු විශ්වාස කලේය.


  මෙම ප්‍රශ්න වලට පිලිතුරු දන්නා අයෙක් වෙතොත් රජතුමා හමුවට පැමිණෙන ලෙසත් නිවැරදි පිලිතුරු ලබා දුනහොත් රත්‍රන් විශාල ප්‍රමාණයක් ත්‍යාගය ලෙස ලබා දෙන බව රට පුරා ප්‍රචාරය කරන ලදි. රටේ උගතුන් විශාල ප්‍රමාණයක් රජතුමා හමුවට පැමිණි අතර ඔවුන් නොයෙකුත් පිලිතුරු ලබා දුනි.

  පලමු පැනයට  පිලිතුරු ලෙස සමහරු පැවසුවේ දින, සති හා මාස ඇතුලත් කර දින දර්ශනයක් සකසා එයට වැදගත් දින ඇතුලු කර ඒ අනුව ජීවත්විය යුතු බවයි. තවත් සමහරු පැවසුවේ යම් දෙයක් කිරීමට නියම වෙලාව වේලාසනින් පැවසිය නොහැකි බවයි. තවත් පිරිසකගේ අදහසක් වූයේ තනි පුද්ගලයෙක්ට යම් දෙයක් සිදු කිරීමට නිවැරදි වේලාව තෝරාගත නොහැකි බවත් ඒ සඳහා උගතුන් කිහිප දෙනෙකුගෙන්ම සෑම විටම උපදෙස් ලබාගත යුතු බවත්ය. ඒත් සමඟම සමහරු පැවසුවේ රජතුමා මායාකාරයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවයි. මන්ද ඔවුන් පමණයි සිදු වීමට යන දෑ පිලිබද දන්නේ.

  දෙවෙනි පැනයටත් මේ ආකාරයෙන්ම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. සමහරු රජතුමාට වැදගත්ම වන පුද්ගලයින් වන්නේ උපදේශකයන් බවත් සමහරු
 දේවගැතිවරුන් බවත් සමහරු වෛද්‍යවරු බවත් සමහරු සොල්දාදුවන් බවත් පැවසුවේය.

 තෙවන ප්‍රශ්නයට එනම් ලොව තිබෙන වැදගත්ම දෙය කුමක්ද? යන පැනයටත් ඉහත ආකාරයටම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. විද්‍යාව , යුධ කලාව , ආගමික පූජා ආදිය බොහෝ දෙනාගේ පිලිතුරු අතර විය.

 සියලු දෙනාගේ පිලිතුරු විවිධාකාර විය. රජතුමා ඒ එකක්වත් සමඟ එකඟ වූයේ නැත. එමනිසා ත්‍යාගය කාහටවත් ලැබුනේ නැත. එනමුත් රජතුමාට තවමත් මෙම ප්‍රශ්න තුනට පිලිතුරු දැන ගැනීමට උවමනා විය. ඔහු හුදකලාව වෙසෙන තාපසයෙක් මෙන් පුද්ගලයෙක්ව මුණ ගැසීමට යාමට තීරණය කලේය. ඔහුගේ තියුණු බුද්ධිය නිසා ඔහු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයකට පත්ව සිටියේය.

 මෙම තාපසයා ජීවත්වූයේ කැලෑවකය. එමෙන්ම ඔහු කැලෑවෙන් පිටතට පැමිණියේ අතිශය කලාතුරකිනි. රජතුමා සාමාන්‍ය පුරවැසියෙක් මෙන් හැඳපැළඳ තම ශරීරාරක්ෂකයින්ව තාපසයාගේ නිවසින් බොහෝ පිටතට වෙන්නට සිටින්නට කියා තම අශ්වයාගෙන් බැස තනිවම තාපසයා හමුවට ගියේය.

  රජතුමා මෙම පුද්ගලයාව හමුවීමට ගිය විට ඔහු තම පැල්පත ඉදිරියේ පොලොව හාරමින් සිටියේය. ඔහු රජතුමා තම ඉදිරිපිට ඉන්නවා දැක රජතුමාට ආචාර කර නැවතත් තම කාර්යයේ නිරත විය. මොහු ශරීරයෙන් දුර්වල වූ අතර පොලොව කොටන සෑම වාරයක් පාසා විශාල හුස්මක් අරගනියි.

  රජතුමා ඔහු අසලට පැමිණ " මම  ඔබව මුණගැහෙන්න ආවේ ප්‍රශ්න තුනකට උත්තර දැනගන්න. හැම දෙයක්ම පටන් ගන්න ඕන හරි වෙලාව මොකක්ද? ඇහුම්කන් දියයුතු හා නොදියයුතු පුද්ගලයන් කව්ද? කල යුතු වැදගත්ම කාර්යය මොකක්ද?" යැයි ඇසුවේය.

  ඔහු රජතුමා කියූ දේට සවන් දී එයට කිසිදු ප්‍රථිචාරයක් නොදක්වා නැවත පොලොව හාරන්නට විය.

  " ඔබව මහන්සියි" රජතුමා පැවසීය. " ඕක මට දෙන්න මම පොලොව හාරන්නම්"

  "ස්තූතියි" යැයි ඔහු පවසා සවල රජතුමාට ලබා දී පොලොව මත වාඩි විය.

 රජතුමා පස් පිඩැලි කිහිපයක් කැපූ පසු නැවතත් ප්‍රශ්න තුන ඔහුගෙන් ඇසුවේය. එම පැනයට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔහු රජතුමා දෙසට අත දිගු කර "ඔයා දැන් ටිකක් විවේක ගන්න, ඕක මට දෙන්න" යැයි පැවසීය.


  එනමුත් රජතුමා සවල ඔහුට නොදී දිගටම එම කාර්යයේ නිරත විය. පැයක් ගතවිය, තවත් පැයක් ගතවිය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. හිරු ගස් අතරින් සැඟවී යාමට පටන් ගත්තේය.

 " ඔයාට මේවට උත්තර දෙන්න පුලුවන්ද? බැරිනම් කියන්න, මට ගෙදර යන්න"

 රජතුමා පැත්තක් හැරී බලන විට රැවුලක් සහිත මිනිසෙක් කැලයේ සිට දුවගෙන එනවා දුටුවේය. ඔහු තම දෑතින් බඩ තදකරගෙන සිටි අතර එයින් පිටතට රුධිරය වෑස්සී තිබුණි. ඔහු රජතුමා අසලට පැමිණි විට බිම ඇදගෙන වැටුනේය. රජතුමා සහ මහළු තාපසයා ඔහුගේ ඇදුම් ඉතා ඉක්මනින් ඉරා දැමුවේය. විශාල තුවාලයක් ඔහුගේ සිරුරේ විය. රජතුමා හැකි ඉක්මනින් ඔහුව හෝදා තම අත්පිස්නාවෙන් හා මහළු මිනිසා ලඟ තිබූ වෙලුම්පටි වලින් එතුවේය. රුධිරය ගැලීම නතර නොවීය. වෙළුම් පටි රුධිරයෙන් තෙත් වීය. රජතුමා නැවත වෙළුම් පටි ගලවා, තුවාලය සෝදා නැවතත් වෙළුම් පටි වලින් තුවාලය එතුවේය. රුධිර වහනය නැවතුනු පසු තුවාලකරුවා බීමට යමක් ඉල්ලුවේය. රජතුමා නැවුම් ජලය ගෙන ඔහුට බීමට ලබාදුන්නේය. මේ වනවිට සවස් වී තිබුණි. රජතුමා මහළු තාපසයාගේත් උදව් ඇතිව තුවාලකරුවාව තාපසයාගේ පැල්පතට ගෙන ඇඳ මත තැබුවේය. ඔහු ඇඳ මතට ගිය විට හීන් ඇස් පියාගෙන නින්දට වැටුනේය. රජතුමාත් බොහෝ තෙහෙට්ටුවට පත් වූ බැවින් ඒ අසලම නින්දට ගියේය. මෙලෙස රජතුමා මුලු රැයම තාපසයගේ පැලෙහි නිදාගත්තේය.

    රැය ගතවිය උදය උදාවිය. රජතුමා නින්දෙන් නැගිටි පසු තමන් සිටින්නේ කොහිදැයි සිහියට ඒමට මද වෙලාවක් ගතවිය. ඒත් සමඟ රැවුලක් සහිත පිරිමි පුද්ගලයෙක් ඔහු දෙස දීප්තිමත් දෑසින් බලා සිටිනු දැක්කේය.

  "මට සමාවෙන්න" දුර්වල කටහඬින් ඔහු පැවසුවේය. ඒත් සමඟම රජතුමා සිටගෙන ඔහු දෙස බැලුවේය.

  "මම ඔයාව දන්නෙ නෑ. සමාවදෙන්න ඔයා මට වරදක් කරලා නෑ" රජතුමා පැවසීය.


  "ඔයා මාව දන්නෙ නෑ, ඒත් මම ඔයාව දන්නවා. මම ඔයාව මරන්න බලාගෙන හිටපු ඔයාගෙ හතුරෙක්. ඔයා මගේ සහෝදරයාගේ හිසගසා දාලා එයාගේ දේපල රාජසන්තක කලා. මම දැනගත්තා ඔයා මේ මහළු තාපසයාව මුණගැහෙන්න එනවා කියලා. මුණගැහිලා එන අතරමඟදී ඔයාව මරන්නයි මම උත්සහ කලේ. ඒත් දවසම ගෙවුනත් ඔයා ආපහු ආවෙ නෑ. ඒ නිසා මම ඔයාව හොයාගෙන ආවා. ඒ එන අතරතුර ඔයාගේ ආරක්ෂයන්ව මුණගැහුනා, එයාලා මාව අඳුනගෙන මට පහර දුන්නා. එතනින් බේරිලා එනකොට තමා ඔයාව මුණගැහුනේ. මම ඔයාව මරන්නයි හැදුවේ. ඒත් ඔයා මාව බේරුවා. ඒ නිසා මම ඔයාගේ විශ්වාසවන්තම සේවකයා වෙන්නම්. මගේ දරුවනුත් ඔයාට විශ්වාසවන්තව සේවය කරාවි. "

  රජතුමා ඔහුත් සමඟ සමාදාන වූ අතර, ඔහුව යහළුවෙක් කරගත්තේය. ඒත් සමඟම ඔහුට ප්‍රථිකාර කිරීමට රාජකීය වෛද්‍යවරයෙක් හා සහෝදරයාගේ දේපල නැවත ලබා දෙන්නට පොරොන්දු විය.

  රජතුමා තුවාල ලැබූ පුද්ගලයාගෙන් සමුගෙන නැවත මාලිගයට පිටත් වීමට පෙර මහළු මිනිසාව මුණගැසීමට ගියේය. ඒ ඔහුගේ පැන වලට පිලිතුරු ලබාගැනීම බලාපොරොත්තුවෙනි. මහළු මිනිසා පෙර දිනයේදී සකස් කල පොලොවෙහි පැල සිටවමින් සිටියේය.

 රජතුමා මහළු මිනිසා අසලට පැමිණ මෙසේ පැවසීය "මම අන්තිම වතාවට ආයාචනා කරලා ඉල්ලනවා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා"

  "ඔයාට දැනටමත් උත්තර ලැබිලා තියෙන්නේ" බිම සිටි මහළු මිනිසා රජතුමා දෙස බලා පැවසීය.

 "කව්ද උත්තර දුන්නෙ? ඔයා මොනාද මේ කියන්නේ? " රජතුමා පුදුමයෙන් පැවසුවේය.

 "ඔයා දැක්කෙ නැද්ද" මහළු මිනිසා පැවසීය. " ඔයා මගේ දුර්වලකම දැකලා පොලොව කෙටුවෙ නැත්තම් ඔයා යන අතරමඟ පහරකෑමට ලක්වෙන්න තිබ්බා. ඒ නිසා වඩා වැදගත්ම කාලය තමා ඔයා පොලොව කොටමින් සිටි වෙලාව. වඩාත්ම වැදගත් පුද්ගලයා තමා මම. වඩා වැදගත්ම කාර්යය තමා මට හොදක් කිරීම. ඊට පස්සෙ තුවාල ලැබූ පුද්ගලයෙන් දුවගෙන ආවා, වඩාත් වැදගත් වෙලාව තමා ඔයා ඒ පුද්ගලයා වෙත ගිය වෙලාව. ඔයා ඒ තුවාල ලැබූ පුද්ගලයාට උදව් කරේ නැත්නම් ඒ පුද්ගලයා ඔයත් එක්ක සාමාදාන වෙන්නෙ නැතුව මියයන්න ඉඩ තිබුණා. ඒ නිසා ඒ පුද්ගලයා තමා වඩා වැදගත් පුද්ගලයා, ඔයා එයාට කරපු දේ තමා වඩා වැදගත් කාර්යය. ඒ නිසා මතක තියාගන්න. වඩා වැදගත් කාලවල් එකයි තියෙන්නේ. ඒ තමා දැන්! මේක තමා වැදගත්ම වෙලාව මොකද මේ වෙලාවෙ තමා අපිට මොනා හරි බලයක් තියෙන්නේ. වඩා වැදගත්ම පුද්ගලයා තමා අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්න පුද්ගලයා. අපි දන්නෑ අපිට ඉස්සරහට කාත් එක්ක වැඩකටයුතු කරන්න සිද්දවෙයිද කියලා. වඩා වැදගත්ම කාර්යය තමා ඒ පුද්ගලයාට හොදක් කරන එක. මොකද ඒකෙන් තමා ඒ පුද්ගලයාට ජීවිතය ලැබෙන්නේ."
 


 
 
 

19 comments:

  1. අන්නේකයි ඡීවිතේ අර්ථය..

    ReplyDelete
  2. පරිවර්තනය නියමයි... අවසන් වන තුරු කිසිම අපහසුවකින් කියවන් ගියා..... ජයවේවා ඔබට ...

    ReplyDelete
  3. [ඔහු හුදකලාව වෙසෙන තාපසයෙක් මෙන් පුද්ගලයෙක්ව]
    ඔහු හුදකලාව වෙසෙන තාපසයෙක් "මෙන්" සිටින පුද්ගලයෙක්ව

    ReplyDelete
    Replies
    1. ලියෝ ටෝලස්ටෝයි මේක ලියන්නේ රුසියානු භාෂාවෙන්. වැඩි කලක් යන්න කලින් මේක ඉංග්‍රීසියට පරිවර්තනය උනා....ඒ පරිවර්තනයයි සිංහලට පරිවර්තනය කලේ... ඒකෙ තියෙන්නේ 'hermit' කියලයි... හර්මිට් කියන්නේ හුදකලාව වෙසෙන තාපසයෙක් වගේ කෙනෙක්නේ... කෙලින්ම තාපසයෙක් කියලා ඔතන දැම්මනන් ඉන්දියාවේ හිමාලයේ ඉන්න භාවනා කරන තාපසයෙක් කියලා කෙනෙක් හිතන්න පුලුවන්... මොකද මේකෙ රටක් ගැන ලියලා නැති නිසා... ඒකයි තාපසයෙක් මෙන් කියලා දැම්මේ... ජයවේවා ...

      Delete
  4. හොඳ පරිවර්ථනයක්

    ReplyDelete
  5. සාර්ථක පරිවර්ථකයෙක් ඔබ...

    ReplyDelete
  6. හොඳ පණිවිඩයක් ඇති පරිවර්තනයක්.
    ස්තූතියි මල්ලි මේ උත්සාහයට.

    ජයවේවා!!!

    ReplyDelete
  7. ආසාවෙන් කියව්වා. නියමයි මිතිල. තවත් ඉදිරියට පරිවර්ථන ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  8. හොඳ පරිවර්ථනයක්. ස්තූතියි මල්ලි

    ReplyDelete
  9. ජීවිතයට වටිනා යමක් . ස්තුතියි .....

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...