ලෝක ඉතිහාසය ගත් කල යුරෝපයේ මධ්‍යකාලීන අවධිය විශේෂිත ස්ථානයක් දරයි. මෙය අදුරු යුගයක් ලෙස ඉතිහාසඥයන් විසින් හදුන්වයි. එයට හේතු වන්නේ මෙම කාල පරිච්ඡේදය තුල සිදුවූ විවිධ යුද්ධ, වසංගත හා විවිධ කාරණාවන් නිසා විශාල වශයෙන් මිනිස් ජීවිත නැතිවීමයි.
මේ අතරින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් නැති වීමට හේතුවක් වූයේ කළු මරණය [Black Death] යි. වර්තමානය වන විට මෙය හදුන්වන්නේ මහාමාරිය ලෙසයි. මෙමගින් යුරෝපයේ සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ මියගියේය. එකල ක්‍රිස්තියානි පල්ලිය විසින් මෙම රෝගයට හේතුව යුදෙව් ජාතිකයන්ගේ පව්කාරකම් නිසා ඇතිවූවක් බව ඒත්තු ගන්වන ලදි. මෙහි ප්‍රථිපලය වූයේ විවිධ ප්‍රදේශවල යුදෙව් ජාතිකයන් සමූල ඝාතනයට ලක් වීමයි.
වර්තමානය වන විට යම් රෝගයක මූලය සොයන්නේ විද්‍යාත්මක කරුණු පදනම් කරගෙනය. එනමුත් යුරෝපයේ මධ්‍යකාලීන අවධියේදී මෙම රෝගයට මූලය ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග බව පිලිගන්නා ලදි. දේශගුණික වෙනස්වීම්, දුර්භික්ෂ ආදිය වසර කිහිපයක් එකදිගට බලපැවැත්වීම හේතුවෙන් යුරෝපයේ සෞභාග්‍ය කාලය අවසන් විය. මේ සමඟම යුරෝපයේ වසංගත රෝගයක් පැතිර යාම ආරම්භ වූ අතර එය කළු මරණය [Black Death] ලෙස හැදින්වේ.
යුරෝපය තුල මෙම වසංගය ආරම්භ වූවා යැයි පැවසෙන්නේ ක්‍රි.ව. 1331 වර්ෂයේදී ය. මීට පෙර එවැනි වසංගත තත්වයක් ඇති වූවා යැයි වාර්තා වන්නේ ක්‍රි.ව. 731 දීය. මධ්‍යකාලීන අවධියේදී ඇතිවූ වසංගතය චීනයෙන් ආරම්භ වූවා යැයි සැලකෙන අතර එය යුරෝපයට වෙළඳුන් මාර්ගයෙන් පැමිණෙන්නට ඇත. මුළු යුරෝපයම මෙම රෝගයෙන් වෙලා ගත් බව පැවසුවද පෝලන්තයේ බහුතරයක් හා බෙල්ජියම ආදී ප්‍රදේශ මෙම රෝගයට ගොදුරු වූයේ නැත. එනමුත් ජර්මනිය ඇතුලු යුරෝපයේ සමහර රටවල් වල ජනයගනය සම්පූර්ණයෙන්ම පාහේ නැති වූ අතර හැම්බර්ග් , බ්‍රේමන් හා කොලෝන් යන ජර්මනියේ නගර වල ජනගහනය බිංදුවට බසින ලදි.
මෙකල වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණු තත්ත්වයක තිබුනේ නැත. එමනිසා වෛද්‍යවරුන්ටත් මෙම රෝගයට පිලියමක් සොයා ගත නොහැකි විය. මෙහි ප්‍රථිපලය වූයේ සාමාන්‍ය ජනතාව පමණක් නොව වෛද්‍යවරු ද මිත්‍යා විශ්වාස වලට ගොදුරු වීමයි.
අහසේ ඇති තරුවල විවිධාකාර පිහිටීම් නිසාවෙන් මෙම වසංගත තත්වය ඇතුවූ බව ඔවුන් විශ්වාස කරන ලදි. තවත් පිරිසක් විශ්වාස කලේ මෙම වසංගත තත්වය ඇතිවූයේ දෙවියන්ගේ කෝපය නිසා බවයි. එමනිසා පූජකවරු ඉටි පහන් දල්වාගෙන නිවසෙන් නිවසට කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමට පටන් ගත්හ. ආසියාවේ සිට යුරෝපය දෙසට හමන සුළඟ මගින් මෙම රෝගය යුරෝපයට පැමිණි බව ද එකල මිනිසුන් පිලිගන්නා ලදි. තවත් විශ්වාසයක් වූයේ පොලොව තුල තිබෙන ආවාට වලින් නගින දුම් වලින් මෙම වසංගතය ඇතිවන බවයි. මේ හේතුවෙන් එකල සමහර නිවෙස්වල ජනේල අහසට මුහුණලා සාදන ලදි. වැඩියෙන් මහන්සි වූ විට මෙම රෝගය වැලදෙන බවටද තිබූ විශ්වාසය නිසා මිනිසුන් ඉතා අලස වූ අතර දහවල් කාලය පුරාවට නිදා ගැනීමට ඔවුන් පෙළඹුනේ ය.
යම් තරමින් හෝ විද්‍යාත්මක ප්‍රතිකර්මයක් ලෙස භාවිතා වූයේ රෝගය වැලැක්වීම උදෙසා සුවදකාරක ද්‍රව්‍ය දහනය කිරීමයි. මුලු සිරුරම වැසෙන්නට ලෝගුවක් ඇඳ සිටින මිනිසුන් මධ්‍යකාලීන අවධියේදී දක්නට ලැබුණි. ඔහු/ඇය පැලද සිටියේ සුවඳකාරක ලෝගුවක් වූ අතර විද්‍යාත්මක අතින් ඔවුන් විසින් සිදුකල පිලියමකි ඒ.
මෙම වසංගතය පැතිරීමට බෙහෙවින් බලපෑවේ මීයන් ය. පූසන් යනු සාතන්ගේ ස්වරූපයක් බව නවවන ග්‍රෙගරි පාප් තුමා විසින් මධ්‍යකාලීන අවධියේදී පවසන ලදි. මේ හේතුවෙන් පූසන් අති විශාල වශයෙන් ඝාතනයට ලක්වූ අතර මීයන්ගේ ජනගහනය අති විශාල වශයෙන් වැඩි විය. මෙම වසංගතය බොහෝ පෙදෙස් වල පැතිරීමට මෙය බෙහෙවින් බලපාන ලදි.
මේ අතරතුර මා ඉහත පෙරදී පැවසූ පරිදි විවිධ දේශපාලනික බලලෝභීන්ගේ ක්‍රියාකාරකම් නිසා විවිධ ජන වර්ග තජනයට ලක් විය. යුදෙව්වන් මෙම රෝගය ඇතිවීමට හේතුවක් බව පැවසූ කිතුණු පල්ලිය යුදෙව් ජනතාව මර්ධනය කිරීමේ ක්‍රියා පිලිවෙතකට යොමු විය. හයවන ක්ලෙමන්ස් පාප් තුමා විසින් කිසිදු නඩු විභාගයකින් තොරව යුදෙව් ජාතිකයන් මරා දැමීමට හා දඩුවම් කිරීමට නියෝග ලබා දෙන ලදි. මෙහි ප්‍රතිපලයක් ලෙස ක්‍රි.ව. 1349 දී ජර්මනියේ බාසල් නගරයේ යුදෙව් ජනගහනයෙන් විශාල කොටසක් සමූල ඝාතනයට ලක් කරන ලදි. මිලියන දෙසීයකට ආසන්න ජීවිත බිළි ගනිමින් මෙම වසංගතය ක්‍රි.ව. 1353 පමණ වන තෙක් පැවතුණි.
මධ්‍යකාලීන අවධියේදී වසර ගනනාවක් තිස්සේ ඇතිවූ යුද්ධ, සාගත හා විශේෂයෙන් වසංගත ආදිය නිසා ලොවට අහිමි වූ මිලියන ගනනාවක ජීවිත නිසාවෙන් එකල සාහිත්‍යයට හා කලාවට මෙය විශාල වශයෙන් බලපාන ලදි.
ඒ අතරින් මරණයේ රැඟුම විශේෂිත වේ. මෙය සිතුවම් ආකාරයෙන් හා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් විය. මරණයේ බිල්ලක් බවට පත්වීමට වයස, ස්ත්‍රී පුර්ෂ භාවය හෝ සමාජ තත්වය කිසිවිටකත් බල නොපායි. මේ හේතු නිසා දිනෙන් දින මරණය කරා පැමිණෙන මිනිස් ජීවිත ප්‍රමාණය වැඩි වීම නිසාවෙන් මරණය ඉතා සතුටට පත්වේ. එමනිසා මරණය තම සතුට ප්‍රකාශ කිරීමට රැඟුමක් ඉදිරිපත් කරයි.
වසංගත මාර්ගයෙන් මරණය මිනිස් ජීවිත පාලනය කරන්නට පටන් ගනියි. 14 වන සියවසේ සිට මෙය මරණයේ රැඟුමක් ආකාරයකට ඉදිරිපත් වීම ආරම්භ විය. වර්ෂ 1350 දී ජර්මනියේ Lubeck නගරයේ ඉදිකෙරුණු Marien නම් පල්ලියේ ද එකල පැවති වසංගත නිසාවෙන් තරාතිරම නොබලා මරණය හිමි වීම දැක්වෙන Totentanz නම් සිතුවමක් දක්නට ලැබේ.
වර්තමානය වන විට මෙය දක්නට ලැබෙන්නේ Every man නම් ඉංග්‍රීසි නාට්‍යය තුලිනි. මෙය දේවස්ථාන තුල, කන්‍යාරාම තුල හා පල්ලියේ සොහොන් පිට්ටනි තුල රඟ දක්වයි. මෙයට 1524 වසරේ මැද භාගයේ ලී කැටයම් භාවිතයෙන් මරණයේ රැගුම නිර්මාණ තුලින් ආභාෂය ලැබී තිබේ. මෙය නිර්මාණය කර තිබෙන්නේ Holbein නම් පුද්ගලයෙකි. මෙම මරණයේ රැගුම නාට්‍යය තුලින් මරණයේ සතුට විදහා දැක්වීමට මරණය රංගනයක යෙදීමම පමණක් දක්නට නොලැබේ. මෙම නාට්‍යය තුලින් මධ්‍යකාලීන අවධියේදී ජර්මනිය ඇතුලු බොහෝ යුරෝපා රටවල්වල අදුරු කාලපරිච්ඡේදයක් නිරූපනය කරයි.
ජර්මානු භාෂාවෙන් මරණයේ රැගුම හැදින්වෙන්නේ Binediales Kunstwerk යන නමිනි. මෙය සිතුවමකින් පමණක් යුක්ත නොවේ. සිතුවමට යටින් පේලි 2,4 හෝ 8කින් සමන්විත ඡේදයක් පවතින අතර එමගින් සිතුවමේ ඇඳ තිබෙන චරිත පිලිබද හැදින්වීමක් ඉදිරිපත් කරයි. ගුටෙන්බර්ග් විසින් පුනරුද සමයේ මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ එක් එක් රංගනයන් තනි කඩදාසියක් මත ඉදිරිපත් කල හැකි විය. එමෙන්ම මෙම රංගනය ලී හා තඹ තහඩු වලද මුද්‍රණය විය.
සිතුවම මධ්‍යයයේ වාද්‍ය භාණ්ඩයක් වයන හෝ එසේ නොමැතිව රඟන මරණය දැක්වෙන අතර ඊට පිටුපසින් පල්ලියක් හෝ සොහොන් පිට්ටනියක් දක්නට ලැබේ.
මරණයේ රැගුම සිතුවමක මරණය සමඟ ගමන් ගන්නා මිනිසුන්ගේ පිලිවෙලක් ඇති බව පෙනී යයි. ඒ අනුව එකල එනම් මධ්‍යකාලීන අවධියේදී ඉතාමත් ඉහල තනතුර දැරූ පාප් තුමාට මූලික ස්ථානයද ඉන්පසු රජතුමාද ඉන්පසු වෙළඳාමේ ප්‍රධානියාද ඉන්පසු ගොවියා හා සිඟන්නා ද පිලිවෙලට දැක්වේ.
සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින් මරණය සමඟ රංගනයේ යෙදේ. යුගල වශයෙන් රංගනයේ යෙදෙන අවස්ථා ද සියලු දෙනාම එකට රංගනයේ යෙදෙන අවස්ථා ද දක්නට ලැබේ. කෙසේ නමුත් මරණය සමඟ රංගනයේ යෙදෙන පුද්ගලයා අකමැත්තෙන් රංගනයේ යෙදෙන බව සිතුවම් වලට නගා ඇත.
මරණයේ රැගුම මෙහෙයවන්නා විවිධ සංගීත භාණ්ඩ යොදා ගනියි. බෙරය, බටනලාව, ට්‍රම්පට්, වයලීනය හා බෑග් පයිප් ඒ සංගීත භාණ්ඩ වේ. එකල පැවති විශ්වාසයන්ට අනුව මෙම සංගීත භාණ්ඩ යක්ෂයා හා සම්බන්ධ සංගීත භාණ්ඩ වේ. එසේම මෙම චිත්‍ර තුල වැලි ඔරලෝසුවක් ද දක්නට ලැබේ. එයින් ගම්‍ය වන්නේ කාලය වේගයෙන් ගලා යන බවයි.
මරණයේ රැගුම සිතුමවක චරිත අතරින් බොහෝ විට යොදාගත්තේ වෛද්‍යවරයාගේ හා ඖෂධ අලෙවිකරන්නා ගේ සිතුවම් ය. මෙයට හේතුව වූයේ ඔවුන් රෝග සුවපත් කලද මරණය ඔවුන්ට නොවැලැක්විය හැකි බවයි. වසංගතයට නිශ්චිත බෙහෙතක් සොයා නොගැනීම හේතුවෙන් මිනිසුන් මිලියන ගනනක ජීවිත අහිමි විය. මරණයේ රැගුම සිතුවමක ප්‍රධාන සංකල්පය වූයේ සමාජයේ කුමන තරාතිරම කෙනෙක් වුවද මරණය ඔහුට හිමි බව පෙන්වීමයි.
මූලාශ්‍ර :
1)යුරෝපා ඉතිහාසය - අ.ප්‍ර.දෙ.
2)මධ්‍යකාලීන යුගයේ මායාකාරියෝ - අරුණි ප්‍රනාන්දු
3) http://www.history.com/topics/black-death
4) https://www.britannica.com/event/Black-Death
5) http://www.historytoday.com/ole-j-benedictow/black-death-greatest-catastrophe-ever
6) https://en.m.wikipedia.org/wiki/Danse_Macabre
7) https://www.britannica.com/art/dance-of-death-art-motif
8) http://www.dodedans.com/Eindex.htm