Thursday, September 28, 2017

බාබෙල් කොත

බයිබලයේ උප්පත්ති පොතේ සදහන් කතා අතුරින් තරමක් ආන්දෝලනාත්මක කතාවකි බාබෙල් කොත පිලිබඳ කතාව. මෙම කතාන්දරය නොදන්නා අයගේ දැනගැනීම උදෙසා එය කෙටියෙන් මා සදහන් කරන්නම්.

 මුළු පොලොවෙහිම තිබුනේ එකම භාෂාවක් හා කතා කරන ක්‍රමයකි. මෙම මිනිසුන් පිරිස පොලොව පුරා පැතිර නොයන පිණිස එක්තරා ගොඩනැගිල්ලක් අහස උසට සාදන ලදි. මෙය බාබෙල් කොත නම් විය. ඉන්පසු මිනිසුන් සාදන ලද මෙම කොත බලනු පිණිස ස්වාමින්වහන්සේ පොලොවට වඩින ලදි. මෙම මිනිසුන් සියලු දෙනා එකම භාෂාවක් කතා කරමින් එකම තැනකට වී සිටිනා නිසා ස්වාමින්වහන්සේ මෙම සෙනඟගේ භාෂාව අවුල් වියවුල් කළේ ය. ඒත් සමඟම මොවුන් මෙම නුවර සෑදීම අත්හැර පොලොව පුරා විසිරී ගියෝය. මේ බයිබලයේ සදහන් කතාවේ සාරාංශයයි. [උප්. 11: 1-9]

 බයිබලයේ පැරණි ගිවිසුමේ උප්පත්ති පොතේ සදහන් කතාන්දර වල මූලය පැමිණෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙනි. මෙම ග්‍රන්ථ ලියුවේ ආබ්‍රහම්ගේ පෙළපතෙනි. ආබ්‍රහම් යනු සුමේරියාවේ ඌර් සිට කානාන් දක්වා සංක්‍රමණය වූ අයෙකි. මේ පිලිබඳව පෙර ලිපියකදී ද මා සදහන් කර තිබේ.

 මෙම සිදුවීම සිදුවන අවධියේදී මෙසපොතේමියාව අවට බාබෙල් නම් නගරයක් තිබුනේ නැත. Berossus වැනි බැබිලෝනියානු පූජකවරු හා බයිබල් සම්පාදක පූජකවරු එරිදු නගරය හදුන්වා ඇත්තේ බාබෙල් ලෙසයි. එරිදු හා බැබිලෝනියාව යන නගර දෙකම කීලාක්ෂර වලින් ලියනු ලබන්නේ නුන් කි ලෙසයි. පසුකාලීනව මෙය ශබ්ද කර ඇත්තේ බාබෙල් ලෙසය.
Lucas Van Valckenborch විසින් අඳින ලද බාබෙල් කොතෙ හි චිත්‍රයක්. [ඇති සීමිත මූලාශ්‍ර උපයෝගී කරගනිමින් උපකල්පනද ඇතුලත් කර අඳින ලද චිත්‍රයකි] (1568)

 බයිබලයේ සදහන් නිම්රොඩ්ගේ සුමේරියාවේ පාලන ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ බාබෙල් හා ඌරුක් ය. එනම් එරිදු හා ඌරුක් ය. එකල එරිදු නගරය ආගමික අතින් විශාල වැදගත්කමක් ඉසුලූ නගරයකි. සුමේරියාවේ බොහෝ පෙදෙස්වල සිට වැසියන් උත්සව වලට එරිදු නගරයට රැස් වූහ. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මුල් අවධියේදී තිබුනේ ආගමික පාලනයකි. ක්‍රමක්‍රමයෙන් මෙම පාලනය රජ කෙනෙකු යටතේ කේන්ද්‍රගත වීමට පටන් ගත්තේය. මෙම ශිෂ්ටාචාරය තුල ඉදිකෙරුණු මුල්ම දේව්ස්ථානය පිහිටියේ එරිදු නගරය තුලයි. මෙය ඉදිකිරීමට යොදාගත්තේ නොපිලිස්සූ ගඩොල් නිසා කල් පැවතුනේ නැත. එමනිසා දේවස්ථානය කැඩෙන කැඩෙන වාරයක් පාසා එය මතම නව දේවස්ථාන සෑදු බවට සලකුණු තිබේ. ආසන්න වශයෙන් හය වතාවක්වත් දේවස්ථානය පිහිටි ස්ථානයේම නැවත දේවස්ථානය ගොඩනගා තිබේ.

 සුමේරියානු ශිෂ්ටාචාරයේ ඉතිහාසය බලන විට එන්මකාර් නම් රජතුමා විසින් මෙම එරිදු හි පිහිටි දේවස්ථානය අති විශාලව සාදා ඇත. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ මෙම දේවස්ථානය සුමේරියාවේ බොහෝ තැන්වල දක්නට තිබූ සිගුරාට් ආකාරයේ දේවස්ථානයක් නොවන බවයි. මෙම එන්මකාර්, බයිබලයේ එන නිම්රොඩ් ලෙස අපට හදුනාගත හැකියි.[මේ පිලිබඳව පෙර ලිපියකදී සදහන් කර තිබේ. පසුව වැඩි විස්තර සහිතව මේ පිලිබඳව ලියන්නම්]

 භාෂාව අවුල් වීම පිලිබඳව කතාන්දරයක් සුමේරියානු ශිෂ්ටාචාරය තුලත් පවතියි. මෙය "එන්කි ගේ මායාව" ලෙස හැදින්වේ. එන්කි යනු සුමේරියානු ශිෂ්ටාචාරයේ තුල ජලයට හා ඥාණයට අධිපති ලෙස සලකන ලදි.

 බයිබලයේ සදහන් කතාන්දරයේ හැටියට තනි භාෂාවක් අවුල් වියවුල් වී ලෝකය පුරා පැතිරී යන ලදි. මෙය විවිධ භාෂා වල මූලය ලෙස සලකයි. එනමුත් මෙය නිවැරදි ද?

 බයිබලයේ පැරණි ගිවිසුම මුලින්ම ලියැවුනේ හෙබ්‍රෙව් භාෂාවෙනි. බාබෙල් කොත සම්බන්ධ කතාන්දරයේ බයිබල් රචකයින් භාෂා අවුල් වියවු වීමට පසු භාෂා හැදින්වූයේ lâshôwn යන නමිනි. ඊට පෙරදී මෙය sâphâh ලෙස හදුන්වන ලදි. හෙබ්‍රෙව් භාෂාවෙන් sâphâh යන්න 'තොල්' ලෙස අරුත් සපයයි. මෙය අපට කථනය ලෙස හදුනා ගත හැකියි.

 බාබෙල් කොත සම්බන්ධ කතාන්දරයේදී පවසන්නේ විවිධ භාෂා වල ආරම්භය නොහොත් මූලයන් ගැන නොවේ! මෙසපොතේමියාවේ ඌරුක් අවධියේ [ක්‍රි.පූ. 3900-3200] අගබාගයේ දී මෙහි වැසියන් කූඥ්ඥාක්ෂර කියවීමට පටන් ගත්තෝය. කූඥ්ඥාක්ෂර ලේඛනය පැමිණීමට පෙර සුමේරියාවේ තිබුනේ රූපාක්ෂර ලේඛනයි. මෙම රූපාක්ෂර එකින් එකට වෙන වෙනම තේරුමක් තිබුණි. එමනිසා එය කියවා ගැනීමට ඔවුන්ට එතරම් අපහසු නොවීය. එනමුත් කූඥ්ඥාක්ෂර වලදී එසේ නොවේ. එකින් එක ගලපා කියවීමට සිදුවූ බැවින් ඉතා අවුල් සහගත විය. අප මේ කතා කරන්නේ මිනිස් ඉතිහාසයේ මුල්ම ලේඛන පිලිබඳව බව මතක තබාගන්න. එකල මිනිසුන්ට මෙය අතිෂය අවුල් සහගත එකක් වූ බව අත්‍යන්තයෙන්ම පැවසිය හැකියි.

 ඌරුක් අවධියේ අවසානයයේදී [භාෂා අවුල් වියවුල් වූ කාලය] වසර ගනනාවක් රජකම් කල පවුල අවසානයට පත් විය. පසුව සුමේරියාවේ රජකම ගියේ කිෂ් පවුලටයි. මොවුන් උතුරු මෙසපොතේමියාවේ සිට පැමිණි අයයි. මා කලින් ලිපියක සදහන් කල මහා ගංවතුරේ සිද්ධිය ඈඳෙන්නේ මෙතැනටයි. මෙම කාලය වන විට නගර වල සිටි මිනිසුන් තම මව් නගර අතහැර වෙනස් නගර කරා යන ලදි. මන්ද මෙතෙක් කල් රජකම් කල රාජවංශය අවසාන වීම නිසා තමන්ට ආරක්ෂාවක් සලසා ගැනීමටයි. මෙය බයිබලයේ සදහන් බාබෙල් හි ජනතාව විසිර යාම ලෙස හදුනාගත හැකියි.

මූලාශ්‍ර:

1)සුමේරියානු ශිෂ්ටාචාරය - මහාචාර්ය උක්කුබණ්ඩා කරුණානන්ද
2)ඉපැරණි ලෝක ශිෂ්ටාචාර - මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය පත්මසිරි කන්නන්ගර, කථිකාචාර්ය අනුත්තරාදේවී විද්‍යාලංකාර
3)ඊශ්‍රායලයේ ඉතිහාසය - ජී.පී.වී. සෝමරත්න
4)පරණ ගිවිසුම් සමීක්ෂණ - සැමුවෙල් ජේ. ෂූල්ට්ස්
5)ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
6)කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය අත්පොත - ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානය
7)The Bible The Quran Abd Science - Maurice Bucaille
8)A History Of The Jews - Paul Johnson
9) The Sumerian King List - Jacobsen, Thorkild. 1939
10) Sumer and the Sumerians - Crawford, Harriet. 1991.

මහා ජල ගැල්ම - https://wasithaya.blogspot.com/2017/09/blog-post.html?m=1

Friday, September 22, 2017

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්‍රමය මුල්වරට හදුන්වා දෙන ලද්දේ ඇලෙක්සැන්‍ඩ්‍රියා පුස්තකාලය මගිනි. මෙම පුස්තකාලය මියුසියම් නම් අධ්‍යාපන ආයතයේ කොටසකි.

 මෙය මුලින්ම හැදින්වූයේ ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය ලෙසයි. සමස්ථ මධ්‍යධරණී කලාපයේ පමණක් නොව ශිෂ්ටාචාර යුගයේ සමස්ථ මානව වර්ගයාගේම දැනුම අන්තර්ගත වූ ලේඛනාගාරය ලෙස ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය හදුන්වා දිය හැකියි.

 මහා ඇලෙක්සන්ඩර් අධිරාජ්‍යයා විසින් ඊජිප්තුව දිනා ගැනීමෙන් පසු තම අගනුවර ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාව තෝරා ගත්තේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ටොලමිස් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ලෝකයේ බුද්ධිමය අගනගරය බවට පත් කරන ලදි. පලමුවන ටොලමිස් විසින් ක්‍රි.පූ. 288 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැරණි පුස්තකාලය ස්ථාපිත කරන ලදි. සෑම ශිෂ්ටාචාරයකම සිටි විද්‍යාර්ථීන් තම අධ්‍යන කටයුතු සදහා මෙම පුස්තකාලය වෙත පැමිණියෝ ය. එකල ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ඕනෑම විෂයයකට අදාල පොතක් ඇතුලු වූ විට එය වහාම මෙම පුස්තකාලය වෙත රැගෙන ආ යුතු විය. එහිදී එම පොත් පිටපත් කල අතර එය අවසන් වූ පසු එම පිටපත එහි අයිතිකාරයාට ලබා දෙන ලදි. එහි මුල් පිටපත පුස්තකාලය භාරයේ තබා ගත්තේ ය. මෙය එකල නීතියක් වූ අතර එම නීතිය කඩ කරන අයවලුන්ට දඬුවම්ද ලබා දුන් බව කියැවේ.

මෙම පුස්තකාලය තුල එකල භාවිතා වූ සෑම විෂයයකටම අදාල පොත් තිබිණි. ජුලියස් සීසර් හා ක්ලියෝපැට්රා සමයේ සිට ක්‍රමක්‍රමයෙන් මෙම පුස්තකාලයේ පරිහානිය ආරම්භ විය. මෙම පුස්තකාලය තම ප්‍රථම ව්‍යසනයට මුහුණ දෙනු ලබන්නේ ක්‍රි.පූ. 48 දීය. ඒ තම ඇලෙක්සැන්ඩ්‍රියනු යුද්ධයේදී වරායට ආසන්නව තිබූ පුස්තකාලයේ කොටසක් ගිනි ගැනීම නිසාවෙනි. රෝම රජයේ එකල තිබූ මූල්‍යමය හිඟකම නිසාවෙන් මෙම පුස්තකාලය නඩත්තු කලේ නැත. එමනිසා කලක් ගත වෙත්ම මෙම ප්‍රධාන පුස්තකාලය නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයටම පත් විය.

 ක්‍රි.ව. 200 සිට 300 අතර කාලවල්වලදී ඇතිවූ කැරලි හේතුවෙන් ප්‍රධාන පුස්තකාලය ඇතුලු පෙරකී මියුසියම් නම් අධ්‍යාපන ආයතනය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් විය. මුලදී පටන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ තවත් ප්‍රදේශයක සෙරාපියම් නම් දේවස්ථානයක ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන පුස්තකාලයට වඩා කුඩා පුස්තකාලයක් පවත්වාගෙන ගියේ ය. සීසර්ගේ ගිනි තැබීමෙන් හා කැරලි හේතුවෙන් මෙයට හානි නොවීය. මෙම පුස්තකාලයේ තිබූ පොත පත පිලිබඳ ඒ හැටි සඳහනක් නැත.

 රෝමන්වරුන් විසින් ක්‍රි.ව. පලමුවන සියවසේ දී ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම හේතුවෙන් ආගමික ගැටලු බොහොමයක් උද්ගත විය. ක්‍රි.ව. 391 දී තියෝඩෝසියස් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ආගම හැරුණු කොට අනෙක් ආගම් සියල්ල තහනම් කරමින් ආඥාවක් පල කරන ලදි. එම වසරේදීම තියෝපිලස් නම් බිෂොප්වරයා යටතේ ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් අන්‍ය ආගමික දේවස්ථානයක් වූ සෙරාපියම් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් කළේ ය. මෙම සිද්ධිය නිසාවෙන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය මුළුමුනින්ම පාහේ විනාශයට පත් විය. එමනිසා ක්‍රි.ව. 400 දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතිහාසයෙන් සදහටම මැකී ගියේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි විද්‍යාර්ථීන් ද නොයෙක් ප්‍රදේශවලට සංක්‍රමණය විය.

 ක්‍රි.ව. 641 දී මුස්ලිම් අරාබි හමුදා විසින් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට අයත්ව තිබූ කුඩා සිහිවටන ස්වල්පයද සදහටම නැති කර දමන ලදි. කුරාණය හැර අනෙක් සියලුම ග්‍රන්ථ වලින් පලක් නැත යැයි කියමින් අවසානයේ ඉතිරිව තිබූ පුස්තකාලයේ මතක සටහන්ද ඔවුන් සහමුලින්ම විනාශ කරන ලදි.

 කුරාණය යනු බයිබලයේ පැරණි ගිවිසුමේ පිටපතක් බව සියලුම දෙනා දන්නා රහසකි. මුල්ම කාලයේ බයිබලයේ පැරණි ගිවිසුම ලියැවුනේ හෙබ්‍රෙව් භාෂාවෙනි. එකල ප්‍රධාන භාෂාවක් වූ ග්‍රීක් භාෂාවට මෙම හෙබ්‍රෙව් පරණ ගිවිසුම පරිවර්තනය කලේ වැඩිමහල්ලන් හැත්තෑ දෙනෙකු විසිනි. [සමහර මූලාශ්‍රවල 72 යැයි ද පවසයි] එමනිසා බොහෝ දෙනාට මෙම පිටපත් අධ්‍යනය කිරීමට අවස්ථාව උදාවිය. කුරාණයට මූල වන්නෙත් මෙයයි. මෙම පිටපත සෙප්තුවාජින්ත පිටපත ලෙස හැදින්වේ. වැදගත්ම කාරණය නම් මෙම සෙප්තුවාජින්ත පිටපත සම්පාදනය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුල වීමයි.

මූලාශ්‍ර
1)ඉපැරණි ලෝක ශිෂ්ටාචාර - රාජ් සෝමදේව, පද්මසිරි කන්නංගර , අනුත්තරාදේවි විද්‍යාලංකාර

2) https://en.m.wikipedia.org/wiki/Serapeum

3) https://en.m.wikipedia.org/wiki/Destruction_of_the_Library_of_Alexandria

4) https://en.m.wikipedia.org/wiki/Library_of_Alexandria


Thursday, September 21, 2017

'කොළඹ' නම හැදුනෙ කොහොමැයි?

කොළඹ යන නාමයේ මූලය පිලිබඳව මත බොහොමයක් පවතියි. එයින් කිහිපයක් පිලිබඳව අප දැන් සොයා බලමු.

 මධ්‍යකාලීන අවධියේදී මෙම ප්‍රදේශය සිංහලයන් විසින් කොළොන්තොට ලෙසද මොරොක්කෝ හා අරාබි ජාතිකයන් කලෙන්බෝ ලෙසද හදුන්වා ඇත. පස්වන සියවසේදී ලංකාවට පැමිණි දේශාටක හිමි නමක් වූ චීන ජාතික පාහියන් හිමි තම වාර්තා වල කොළඹ හදුන්වා ඇත්තේ සී ලාන් පූ ලෙසයි.

 දහහතර වන සියවසේදී පැමිණි තවත් චීන දේශාටකයෙක් වූ චං තා යුවාන් විසින් කොළඹ හදුන්වා ඇත්තේ කඕලාන්පු ලෙසයි. ඔහු තම වාර්තා වල කොළඹ වගුරු බිමක් ලෙස සටහන් කර තිබේ. ලංකාවට පැමිණි ඉබන් බතූතා කොළඹ අලංකාර නගරයක් බවත් එහි නාමය කළෙන්පු ලෙසත් සටහන් කර තිබේ.

දඹදෙණි යුගයේදී ලියැවුනු සිදත් සඟරාවෙහි ද කොළඹ යන්න සදහන් වී තිබීම විශේෂයි. එහි කොළඹ කරළු ඈ නිපන් සද පියවි නම් ලෙස සදහන් වේ. එමනිසා කොළඹ යන වදන දඹදෙණි යුගයේදීත් භාවිතා වූ බවට අපට සිතිය හැක. රාජාවලියේ කොළඹ යන්න සදහන් වන්නේ කලන්තොට ලෙසයි.
ලන්දේසි පාලනය යටතේ කොළඹ කොටුව ප්‍රදේශය. මේ දළ සිතියම 1672 දී “ජොහැනස් ජන්සෝනියස් වාස්බර්ගන්” විසින් අඳින ලද්දක්

 කෝට්ටේ යුගයෙහි ලියැවුනු රුවන් මල් නිඝණ්ඩුවෙහි මෙසේ සදහන් වේ;

නමවු කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත් වග සෙන්
කොළඹට අළෙ මහත්මා

මෙහි කොළඹ යන්න තොටුපලකට සමාන කර ඇත.  

 පෘතුගීසි ජාතික පර්නාවෝ ද ක්වේරොස් පියතුමාගේ මතයට අනුව කොළඹ යන නාමය සෑදී ඇත්තේ කොළ + අඹ හෙවත් අඹ ගසේ කොළය ලෙසයි. රොබට් නොක්ස් විසින් තම සටහන්වල මේ පිලිබඳව පහත අයුරින් සටහන් කරයි.

"...කොළඹ නගරයට බටහිර දෙසින් ස්වදේශිකයන් අඹගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹගසේ සාමාන්‍යයෙන් අඹ පල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස කොළ+අඹ යන නමින් හැදින්වූ අතර ක්‍රිස්තියානුවන් කොළම්බස්ට ගෞරව කරනු වස් කොළොම්බු යන්න ඒ වෙනුවට යොදා ගෙන ඇත. මුහුදුබඩ ප්‍රදේශයේ ඇති ප්‍රධාන නගරය මෙයයි. ප්‍රධාන ආණ්ඩුකාරයාගේ නිල නිවාසයද මේ නුවර තුල පිහිටා ඇත. ලන්දේසිවරුන් නගර ලාංඡනයර අඹ ගසක් හා පරවියෙකු ද තෝරා ගැනීමෙන් මෙය තවදුරටත් සනාථ කර තිබේ.

 සාන්තා ලෝරන්ස් තුඩුව අසල දැනට ඇති කොමසේරියම් වීදියට ආසන්නයේ පරම්පරා ගණනක් යනතෙක් කොළ පමණක් ඇති ඵල හට නොගත් විශාල අඹ ගසක් තිබුණු බවට කියැවේ. මෙය කෙතරම් විශාල වීද යත් මුහුදේ සිට බලන්නෙකුට මෙය බිම් සලකුණක්ද විය..."

 ඉහතදී ඕලන්ද ජාතිකයන් කොළඹ දිසාවනිය නියෝජනය කිරීමට යොදාගත් පරවියෙකු වසා සිටින කොඩියක් ගැන සදහන් විය. ලතින් භාෂාවෙන් කොලුම්බා යනු පරවියාය.

කැළණි ගඟෙන් බෙදී යන කොළොන් ඔය හේතුවෙන් මේ නාමය උපන් බවට ඇත්තේ තවත් මතයකි. කොළොන්නාව, කොළොන්තොට වැනි පැරණි නම් එසේ සකස් වී තිබේ. කල්‍යාණි ගඟ නොහොත් කැලණි ගඟේ තොටුමුණ ලෙස කල්‍යාණි තොට බිහිවී පසුව කොළොන්තොට වූවා විය හැකියි. අතීතයේ සිටම කොළ වාණිජ කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ නගරයක් බැවින් විවිධ ජන වර්ගවල කටවහරට අනුව කොළඹ යන්න පෙරලි වී සෑදුනාද විය හැකියි. 

කලම්බු (යාත්‍රා විශේෂයක්) හා කලප්පු (මිශ්‍රවූ කලපුව) වැනි දකුණු ඉන්දීය වදන්ද තිබේ. මේ සියලු කාරණා නිසා කොළඹ යන නාමයේ මූලය පිලිබඳව ස්ථිර නිගමනයකට ඒමට නොහැකියි.

 මූලාශ්‍ර:
1)පෞරාණික ස්ථාන හා ස්මාරක කොළඹ දිස්ත්‍රික්කය - සීවලී බණ්ඩාර මනතුංග

2)පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - පී. ඇම්. සේනාරත්න

3)එදා හෙළ දිව - රොබට් නොක්ස් [පරිවර්තනය - ඩේවිඩ් කරුණාතිලක ]

4)රාජාවලිය - ඒ. වී. සුරවීර [විචාරාත්මක සංඥාපනය හා ශාස්ත්‍රීය සංස්කරණය]

ඉදිරියේදී පලවීමට නියමිත ලිපි

*කව්ද මේ එලොහිම්?
*අබන්ටෙස් - 2 කොටස

ඔබ ඉදිරියේදී කියවීමට කැමති මාතෘකාවක් තිබේනම් එය පහතින් සටහන් කරන්න. උක්ත සටහන පිලිබඳ අදහස් උදහස් දක්වනවානම් ඉතා කෘතඥ වෙමි.

Monday, September 4, 2017

මහා ජල ගැල්ම

 බයිබලයේ පැරණි ගිවිසුමේ ඇති කතා අතරින් තරමක් ආන්දෝලනාත්මක කතාවක් වන්නේ මහා ජල ගැල්මයි. බයිබලයේ උප්පත්ති පොතේ දැක්වෙන මෙම කතාව සමහරු මිත්‍යාවක් ලෙස සලකයි. බයිබලයේ උප්පත්ති පොතේ සදහන් මෙම කතාව නොදන්නා අය උදෙසා එය කෙටියෙන් සදහන් කරන්නම්.

 එක්තරා අවධියකදී ලෝකයේ බොහෝ මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වෙමින් දෙවියන්ගේ වදනට පිටිපාමින් සිටියේය. එම නිසා දෙවියන් මෙම මිනිසුන්ට දඩුවමක් දිය යුතු යැයි සිතුවේය. එකල දෙවියන්ට කීකරුව සිටියේ නෝවා හා ඔහුගේ පවුල පමණි. එමනිසා දෙවියන් විසින් නෝවාට විශාල නැවක් සාදන්නට අණ කලේය. නෝවාද එම අණ ඒ ආකාරයෙන්ම ඉටු කලේය. ඉන්පසු ලොවේ වෙසෙන සෑම සත්ව කොට්ඨාසයකින්ම දෙදෙනා බැගින් නැවට ඇතුල් කරන ලෙස පවසා නෝවා හා ඔහුගේ පවුලටද නැවට ඇතුලුවන ලෙස කීවේය. නෝවා නැවට ඇතුල් වී දොර වැසූ සැනින් මහා වර්ෂාවක් එක දිගට ඇද හැලෙන්නට පටන් ගත්හ. නොනවත්වා ඇද හැලුනු වර්ෂාව නිසා ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහල යන්නට පටන් ගත්තේය. නැවේ නොමැති සෑම දෙනා මියගිය අතර නැව පාවී අරරත් කන්දෙහි නැවතුනේය.

 බයිබලයේ පැරණි පොත් පත් ලියැවුනේ ඊශ්‍රායෙල්වරු අතිනි. මීට වසර දහස් ගනනකට පෙර ඊශ්‍රායෙල්වරු ගතකලේ සංචාරක ජීවිතයකි. එම සංචාරවලදී ඔවුන්ට වෙනත් ජාතීන් ආශ්‍රය කිරීමට සිදුවිය. මේ හේතුවෙන් එම ජාතීන්ගේ සිරිත් විරිත් හා නීති රීති ආදිය ඊශ්‍රායෙල්වරුන් කෙරෙහි ආභාෂයක් ඇති කිරීම ස්වභාවිකයි. උදාහරණ ගතහොත්, ඇසට ඇසක් දතට දතක් යන නීතිය බයිබලයේ අපට හමුවන්නේ මෝසෙස්ගේ නීතියක් වශයෙනි. එනමුත් මෙය උපුටා ගන්නා ලද්දේ බැබිලෝනියාවේ රජකෙනෙක් වූ හමුරබිගේ නීති මාලාවෙනි. මේ ආකාරයෙන්ම මෙම සටහනේ කථානායකයා වූ මහා ජලගැල්ම පුවතත් බයිබලය එක් වන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙනි.
The Flood (1616-1618) by Antonio Carracci (1581-1618)

 බයිබලයේ මුල් පොත් පහ ලියන ලද්දේ මෝසෙස් විසින් යැයි පිලිගැනේ. ඒ ක්‍රි.පූ. 1400 අවධියේදී ය [බයිබලයේ සදහන් අන්දමට]. ඊශ්‍රායෙල් ජාතියේ ආදි පීතෘවරයෙක් වූ ආබ්‍රහම් ජීවත්වූයේ සුමේරියානු ශිෂ්ටාචාරය තුලයි [මොවුන් ඌර් සිට සුමර් වෙත සංක්‍රමණය විය]. එමනිසා ඊශ්‍රායෙල්වරුන්ගේ සංස්කෘතිය කෙරෙහි සුමේරියාවේ සංස්කෘතික ආභාෂය නිතැතින්ම ලැබී ඇත. එමනිසා සුමේරියානු සංස්කෘතියෙහි මෙම මහා ජල ගැල්ම පිලිබඳව ඇති තොරතුරු සොයා බැලිය යුතු වේ.

 කලක් පුරාවිද්‍යාඥයින් විශ්වාස කලේ මෙම මහා ජල ගැල්ම යනු ක්‍රි.පූ. 2800 දී පමණ සුමේරියාවේ ඇතිවූ කිෂ් ගංවතුර ලෙසයි. මෙම ගංවතුරෙන් සුමේරියාවේ ප්‍රදේශ කිහිපයක් යට විය. එනමුත් ප්‍රශ්නය වන්නේ මෙය සාමාන්‍ය ගංවතුරකි. වසර දහස් ගනනක් සුමේරියානුවන් මෙම සිද්ධිය තම මතකයේ ධාරණය කරගෙන සිටියේ ඇයි? බයිබලයේ මෙම සිද්ධිය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්නේ ඇයි? බයිබලයේ සදහන් ආකාරයට මෙම ගංවතුරෙන් සමස්ථ මිනිස් සංහතියම විනාශ විය. [නෝවා ඇතුලු පිරිස හැර] එනමුත් උක්ත සදහන් ගංවතුරෙන් එතරම් බලපෑමක් සිදු වූයේ නැත. එමනිසා එකල පුරාවිද්‍යාඥයින්ගේ මෙම මතය ප්‍රතික්ෂේප විය.

 තවදුරටත් පර්යේෂණ කරගෙන යන අතරතුරදී පුරාවිද්‍යාඥයින් විශේෂ දෙයක් සොයා ගන්නා ලදි. සුමේරියාවේ ඌර් හි පොලොව යට 2.7m සිට 3.7m ඝනකමකින් යුත් මැටි ස්ථරයක් සර් ලියොනාර්ඩ් වූලි [1880 - 1960] විසින් සොයා ගන්නා ලදි. මෙයට අදාල කාල වකවානු වලදී සුමේරියාව කොටස් දෙකකට බෙදී පාලනය වූ බව සදහන් වේ. ඒ ඌරුක් හා එරිදු යන නගර මුල් කරගෙනය. මෙම බෙදීමට හේතු වී ඇත්තේ ගංවතුරක් බවයි සදහන් වන්නේ. එම ගංවතුරෙන් සුමේරියානු ශිෂ්ටාචාරයේ බොහෝ ප්‍රදේශ විනාශ වූ බවද තවදුරටත් සදහන් වේ.

 සුමේරියාවේ මෙම ගංවතුර බයිබලයේ සදහන් මහා ජලගැල්මම දැයි දැන් සොයා බලමු.  ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ බයිබලයේ සදහන් වන නෝවා සුමේරියාවේ Ziusudra බවයි. Ziusudra යනු සුමේරියානු රජ කෙනෙක් වන අතර ඔහු ගංවතුර සම්බන්ධ සිදුවීම් නිසා ඔහු සුමේරියාවේ වීරයෙකි. ඔහු හා නෝවා යන දෙදෙනාම ගංවතුරෙන් බේරීම සදහා නැවක් සෑදු බව සදහන් වේ. දෙදෙනාම මෙම නැව සෑදුවේ දෙවියන්ගේ අණ පරිදි බව බව ලේඛන වල සදහන් වේ.

 සුමේරියනු ජනකතා වලට අනුව ගංවතුරෙන් පසු එම ප්‍රදේශ පලනය කලේ Meshkiagkasher [කෙටියෙන් කෂ්] නම් පවුලක මූලිකත්වයෙනි. මෙය බයිබලයේ සදහන් කුෂ් පවුල සමඟ ගැලපීමක් තිබේ. Meshkiagkasher යනු ගංවතුරෙන් පසු ඌරුක් පාලනය කල පවුලේ ආරම්භකයා ය. මොහුගේ පුත්‍රයා එන්මකාර්, බයිබලයේ සදහන් නිම්රොඩ් සමඟ ගැලපීමක් තිබේ. මොහු සුමේරියාවේ ඌරුක් වැනි නගර පමණක් නොව උතුරේ පිහිටි වෙනත් නගර පවා පාලනය කල සුවිශේෂී රජ කෙනෙකි.

 සුමේරියානු කතා වලට අනුව Meskiagkasher සුමර් වෙත සංක්‍රමණය වූයේ උතුරේ පිහිටි Aratta හි සිට බව සදහන්. ඌරුක් නගරය මේ වන විට නොතිබූ අතර එය පිහිටවූයේ ඔහුගේ පුත් එන්මකාර් විසිනි. මෙම සංක්‍රමණ සිදු වූයේ ගංවතුරෙන් පසු බවද සදහන් වේ. එමනිසා ගංවතුරෙන් ජන ජීවිතය අඩාල වුවද සංක්‍රමණිකයන් නිසා එය නැවත හැඩගැසුනු බව සිතිය හැක.

 මීලඟට අප හමුවට පැමිණෙන පැනය වන්නේ Meskiagkasher පැමිණි Aratta පිහිටියේ කොහේ ද යන්නයි. Enmerkar පිලිබද සුමේරියානු කතා වලට අනුව Aratta වෙත යාමට කඳු හතක් තරණය කල යුතු වේ. මෙම කදු හත පුරාතනයේ මිනිසුන් තම ගමනාගමනය සදහා යොදාගත් මඟසලකුණක් බව නොඅනුමානයි. ඇසිරියානු රජ කෙනෙක් වූ දෙවන සර්ගොන් රජතුමා සුමේරියාවේ උරාර්ටු වෙත යාමේදී කදු හතක් තරණය කල බවත් Aratta නම් ගංගාවක් තරණය කිරීමට සිදු වූ බවත් සදහන් වේ. Aratta නාමය සුමේරියානු සංස්කෘතියෙන් පිට සදහන් වන එකම අවස්ථාව මෙයයි. මෙය බයිබලයේ අරරත් යන නාමය සමඟ ගැලපීමක් තිබේ. නෝවා විසින් සාදන ලද නැව ගොඩබෑවේ අරරත් කදු මුදුනේ බව බයිබලයේ සදහන් වේ. නෝවා අරරත් හි සිට සුදුසු ස්ථානයක් සොයා ජනාවාස පිහිටවීය.

 මේ අනුව අපට පෙනී යන්නේ සුමේරියානු සංස්කෘතියේ එන මෙම කතාව හා බයිබලයේ ඇති නෝවාගේ කතාවේ බොහෝ දුරට ගැලපීමක් ඇති බවයි. මෙම සිදුවීම සිදුවී වසර සිය ගනනකට පසු සිටි ආබ්‍රහම් සුමේරියාවේ ඌර් හි සිට කානාන් වෙත සංක්‍රමණය වේ. බයිබලයේ සදහන් මෙම කතා ලියැවෙන්නේ ආබ්‍රහම්ගේ පෙළපත මගිනි. මේ හේතුවෙන් බයිබලයේ සදහන් නෝවාගේ කථාන්දරයට සුමේරියානු ආභාෂය ලැබීම සාමාන්‍යයි.


   ඊළඟට අප හමුවට එන පැනය වන්නේ මෙම ගංවතුර ලෝක ව්‍යාප්තව සිදු වූවාද යන්නයි. බයිබලයේ සදහන් ආකාරයට මෙම ජල ගැල්ම නිසා නෝවා ඇතුලු පවුලේ උදවිය හා ඔහුගේ නැවේ සිටි සතුන් හැර අනෙක් සියලුම ජීවීන් මිහිපිටින් තුරන් විය. එනමුත් මෙහිදී අප විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ බයිබලයේ මෙම කොටස් ලියවුනු කාලයේදී එම කතුවරයා හට පෘථිවියේ වපසරිය පිලිබඳ වර්තමානයේ තිබෙන දැනුම නොතිබූ බව. ලෝකයේ සියලුම කදු යට කරමින් ගංවතුර ඇතිවූ බව බයිබලයේ සදහන් වේ. එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් අටක් පමණ උසකින් පිහිටයි. එනමුත් එවරස්ට් කන්දත් යට කිරීමට තරම් ජල ධාරිතාවක් පෘථිවිය තුල නැත.

 මේ කාරණා නිසා සුමේරියානු පෙදෙස් වලට ඇතිවූ ගංවතුර සාමාන්‍ය එකක් යැයි කිව නොහැකියි. එකල තිබූ දැනුමට අනුව ඔවුන් දැන සිටි සියලුම පෙදෙස් ආදිය මෙම ගංවතුර නිසා යටවූ බව සිතාගත හැක.

 බයිබලයේ සදහන් තවත් කතාවක දැක්වෙන ආකාරයට ජෝසෙප්ගේ කාලයේ වසර හතක ලෝක ව්‍යාප්ත නියඟයක් ඇති විය. නියඟය ඇති වූ බව සත්‍යයක්. එනමුත් එය ලෝක ව්‍යාප්තව සිදු වී නැත. එකල මිනිසුන් තමන් දැන සිටි සියලුම පෙදෙස් නියඟයට හසුවූ බැවින් මෙය ලෝක ව්‍යාප්තව සිදුවූ නියඟයක් බව දැක්වීම සාමාන්‍යයි. 

 බයිබලයේ සදහන් කථාන්දර විශේෂයෙන් පැරණි ගිවිසුමෙහි සදහන් කථාන්දර මිත්‍යාවක් , ප්‍රබන්ධයක් යැයි අහක් කිරීමට බොහෝ දෙනා උත්සහ කරයි. එනමුත් මේවා පිලිබඳව තරමක් ගැඹුරින් අධ්‍යනය කල විට මේවාහි සැඟවුනු සත්‍යයක් ඇති බව සොයා ගැනීම අපහසු කරුණක් නොවේ.


  ප.ලි. යම්කිසි දෙයක් ප්‍රශ්න කරනවා කියන්නෙ හොද දෙයක්. ඒකෙන් වැරදි ආකල්ප යටපත් වෙලා නිවැරදි ආකල්ප ඉස්මතු කරන්න පුලුවන්. ඒත් මොකක් හෝ දෙයක් වරක් කියවපු පමණින් ඒක විවේචනය කරන්න යන එක නුවණට හුරු දෙයක් නෙමේ. ඒ ගැන යම් අධ්‍යනයක් කරලා විවේචනයක් ඉදිරිපත් කලෝතින් ඒ විවේචනය සාධාරණයි කියලා පිලිගන්න පුලුවනි.

 බයිබලයේ පරණ ගිවිසුමේ , විශේෂයෙන් උපත්ති පොතේ තියෙන්නේ වසර දහස් ගණනකට පෙර විසූ මිනිසුන්ගේ සිතුම් පැතුම්. ඒ සිතුම් පැතුම් අද තියෙන නවීන තාක්ෂණය එක්ක පෑහෙන්නෙ නැති බව ඇත්ත. ඒ කාලෙ මිනිස්සුන්ට තිබුනු දැනුමේ හැටියට තමා උප්පත්ති පොත ලියවිලා තියෙන්නේ. ඒ නිසයි මේ පොත අපිට මිත්‍යා කතා අඩංගු පොතක් විදිහට පේන්නේ.

 මම උප්පත්ති පොත භාවිතා කරන්නේ ආගමික ග්‍රන්ථයක් විදිහට නෙමේ. කොහොමත් මම දේව සංකල්පය විශ්වාස කරන කෙනෙකුත් නෙමේ. ඒත් අපිට මේ උප්පත්ති පොත හොඳ ඉතිහාස අධ්‍යනයකට ආරම්භයක් විදිහට යොදාගන්න පුලුවනි. මේ පොතේ තියෙන කතා වල මූලය මොකක්ද කියලා සෙවීමේ එක් ප්‍රථිපලයක් තමා මේ උඩ මම ලියලා තියෙන්නේ. 

මූලාශ්‍ර:

1)පරණ ගිවිසුම සමීක්ෂණය - සැමුවෙල් ජේ. ෂූල්ට්ස්
2)A history of Jews - Paul Johnson
3)The Bible The Quran And Science - Maurice Bucaille
4) http://wmcloud.blogspot.com/?m=1
5) http://www.christianbiblereference.org/story_NoahsArk.htm

Sunday, September 3, 2017

අබන්ටෙස් - 1 කොටස

"අබාන් ඉක්මනට නැගිටින්න..."

 උදෑසනම අවදි වීම මගෙ ජීවිතයේ අකමැතිම දේවල් වලින් එකකි. සියුස් දෙවියන් මට වරයක් දුනහොත් නොපැකිලිව මා ඉල්ලා සිටින්නේ දවසට නියමිත වේලාව වැඩි කරන ලෙසයි. ඒ එවිටවත් මට නිදාගැනීමට අමතර කාලයක් ලැබෙන බැවිනි.

"මොකද ඇරිස්ටො මේ උදේ පාන්දරම? ඔයත් ගිහිල්ල ටිකක් නිදාගන්න." යැයි මා පැවසුවේ මට පසුගිය වසරේ මගේ සීයා විසින් ලබා දුන් එළු හම් පොරෝනය නැවත ඇඟට තද කරගනිමිනි.

"දැන් නිදාගන්න වෙලාවක් නෑ, දවස් ගානකට කලින් ඔරකල් ගාවින් සල්ලි හොරකම් කරපු කෙනාව අහුවෙලා" යැයි මා වෙතට දිව එමින් ඇරිස්ටො පැවසීය.

"අහුවෙලා..." මට ඊට වැඩි යමක් කීමට ඉඩ නොතබා ඇරිස්ටෝ මාව ඇදගෙන කඩවීදි වෙත ගියේය.

වෙනදා මෙන් නොව අද කඩවීදිය පාළුවට ගොස් තිබුනේය. ඔවුන් සියලු දෙනා ඇතීනා දෙවඟනගේ දේවස්ථානය ඉදිරියේ රැස්ව සිටිනු අප කඩවීදියේ සිටියදීම දක්නට ලැබුණි. ඇතීනා දෙවඟනගේ දේවස්ථානය පිහිටියේ එන්සෙකි කන්ද මුදුනේය. එමනිසා එහි ජනතාව රැස් වුවහොත් පහල සිටිනා අයට එය කැපී පෙනේ.

 දින ගණනාවකට පෙර ඔරකල් වෙතින් රිදී මිල විසි දහසක් පමණ සොරකම් කිරීම මුලු ස්පාර්ටාවම දෙදරුම් දුන් සිද්ධියක් වීය. අප මුලු ජීවිත කාලයම වෙහෙස වී වැඩ කලත් එම මුදලින් කුඩා කොටසක්වත් අපට උපයා ගත නොහැකියි.

"ඔයාලා දන්නවද..." යැයි පැවසූයේ අපට කඩවීදියේ දී මුණගැසුනු අපගේ අනෙක් මිතුරිය වූ ඇලෙක්සි ය.
"ඔයා කියන්න යන එක අපි දන්නවා, අපිත් යන්නෙ එහාට තමා" ඇයටත් අප පසුපස්සේ පැමිණෙන ලෙස අතින් සංඥා කරමින් ඇරිස්ටෝ පැවසීය.

 අප තිදෙනා දේවස්ථානය වෙත ළඟා වූ විට දුටුවේ වාර්ෂික මංගල්‍යට ‍රැස් වන ආකාරයේ ජනකායකි. කෙසේ හෝ මිනිසුන් අතරින් ගොස් දේවස්ථානය ආසන්නයට යාමට අපට හැකියාව ලැබුණි.

"ඔබ කල ඇති වරද ඔප්පු වී අවසන්. ඔබට දෙවියන් විසින් දඩුවම් ලබා දෙනු ඇත." යැයි පැවසුවේ ප්‍රධාන පූජකතුමා ය. ඉතාමත් වයස්ගත හෙතෙම අන්නස් නම් විය. දිගු රැවුල හා සිරුර වසාගත් රෙදි කඩ නිසාවෙන් ඔහුගෙන් නික්මුනේ ගුප්ත පෙනුමකි.

"අනේ එහෙම කරන්න එපා. මට ලමයි දෙන්නෙක්ම ඉන්නවා." යැයි අඩමින් පැවසුවේ ඒ සොරා ය.

 මේත් සමගම දේවස්ථානයේ ප්‍රධාන දොරටුව තුලින් ඉදිරියට ඇදුනේ යකඩ වලින් තනන ලද හරකෙකි. මෙය දුටු මට මොහුට අත්වන්නට යන ඉරණම ප්‍රත්‍යක්ෂ විය.

යකඩ හරකාව දේවස්ථානයේ ඉදිරිපස වේදිකාව මතට රැගෙන ආ විට අන්නස් ප්‍රධාන පූජකතුමා තම සේවකයන් වෙත ඔලුවෙන් සංඥා කලේ සොරාට දඩුවම් දීම ආරම්භ කරන ලෙසයි.

"එපා... එපා... මාව මරන්න එපා... " යැයි කෑමොර දෙන විට ඒ කිසිත් නොතකා ආරක්ෂක නිලධාරීන් සොරාව යකඩ හරකා වෙත රැගෙන ගොස් එහි තිබූ කුඩා දොරකින් ඔහුව හරකා තුලට තල්ලු කලෝය. ඉන්පසු ඔවුන් එම හරකාගේ බඩ යටින් තිබූ වේලුනු දර ගොඩ අවුළුවන්නට විය.

 තරමක් වෙලාවක් ගත වූ විට හරකාගේ නාසයෙන් දුම් නැගෙන්නට වූ අතර ඒත් සමගම හරකෙක් කෑ ගසන ශබ්ධයක් ද ඒ යකඩ හරකා තුලින් ඇසුණි. මා අසල සිටි කිහිප දෙනෙක් හා පිටතින් සිටි තවත් කිහිප දෙනෙක් අත් ඉහළට ඔසවා එකවර කෑ ගසන්නට විය. එනමුත් ඔවුන් එසේ කරන්නේ ඇයි දැයි මම නොදනිමි.

කවුරුන් හෝ දඩුවම් විදිනවා බලන් හිදීම මට කුඩා කල සිට කල නොහැකි දෙයකි. එමනිසා මා එතනින් පිටත් වූයේ මෙහි පැමිණියාට වඩා වේගයෙනි.

"කොහෙද ඔය යන්නෙ ඔහොම ඉන්න" යැයි ඇරිස්ටෝ පැවසූවද මගේ ගමන ඔහු නැවැත්වූයේ නැත. ඒ වෙනුවට ඔහු හා ඇය මා පසුපස ආවාය.

 අප තිදෙනා කන්ද බැස නැවත කඩ වීදි වෙත ගියෝය. එහි කෙරවලක වැඩිමහල්ලන් කිහිප දෙනෙක් බැරෑරුම් සාකච්ඡාවක යෙදෙනු අපි දුටිමු. ඒ අතර මාගේ සීයා ද විය. අපව දුටු ඔවුන් තම සාකච්ඡාව ක්ෂණයෙන් නවත්වා විසිරී ගියෝය.

 ගමේ බොහෝ වැඩිහිටියන්ගේ ගෞරවය මාගේ සීයා වෙත ලැබීම මා කුඩා කල සිට අත්දැක්ක දෙයකි. මෙයට හේතුව මා කිහිප වරක්ම සීයාගෙන් ඇසූ විට ඒ සෑම අවස්ථාවකම ඔහුගේ පිලිතුර වූයේ සිනහවක් පමණි.

මෙය මට පිලිතුරක් නොමැති ගැටළුවකි.

මතු සම්බන්ධයි.