Saturday, December 30, 2017

ලංකාව සහ ලෝකය

විජයාවතරණය ක්‍රි.පූ. 543 දී වූ බව ගනන් බලා ඇත. ඊට ආසන්න කාලයකදී ග්‍රීසියේ හෙරඩෝටස් සහ සොක්‍රටීස් ද චීනයේ කොන්ෆියුෂියස් සහ ලාඕට්සු ද විසීය. 300 නම් චිත්‍රපටයට පාදක වූ තර්මෝපයිලේ සටන ද වූයේ මීට ආසන්න කාලයේදී යි.

අනුරාධපුර රාජධානිය පණ්ඩුකාභය [ක්‍රි.පූ. 437-367] විසින් පිහිටුවයි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ [ක්‍රි.පූ. 250-210] බුදු දහම ලංකාවට පැමිණේ. පලමු චෛත්‍ය වූ ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් ගොඩනගයි. මීට ආසන්න කාලවල් වලදී මහා ඇලෙක්සැන්ඩර් [ක්‍රි.පූ. 356-323] ද ග්‍රීසියේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ ද ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා ද කාතීජයේ හැනිබල් [ක්‍රි.පූ. 247-182] ද සිටි අතර සේද මාවතේ ඇරඹුම ද සනිටුහන් විය.

තම ඇසුරට පත් පිරිමින් වස දී ඝාතනය කලා යැයි සැලකෙන අනූලා රැජිණ [ක්‍රි.පූ. 47-42]  සිටි කාලයට ආසන්නව ඊජිප්තුවේ පාලනය ක්ලියෝපැට්රා විසින් පවත්වාගෙන යන ලදි. රෝමයෙන් ගෙන්වූ රතු පබළු වලින් දැලක් සාදා එයින් රුවන්වැලි සෑය වැසූ බව සදහන් වන්නේ භාතික අභය රජුගේ කාලයේදී ය. ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වන විට ලෝකයේ තවත් තැනක ජේසුස්වහන්සේ වයස අවු. 12 ක පමණ දරුවෙකි.

ධාතුසේන රජු තමන් සෑදූ කලා වැවේ බැම්මේ තබා මැටි ගසා මරා දැමේ. කාශ්‍යප [ක්‍රි.ව. 473-491] රජ වේ. ඒත් සමඟම බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටේ. මෙරොවින්ජියන් අධිරාජ්‍යය බිහි වේ.

පලමු විජයභාහු රජුගේ [ක්‍රි.ව. 1055-1110] කාලයේ චෝල හමුදව පොලොන්නරුවේ සිට පැමිණ රුහුණ කොල්ලකයි. රජුගේ මුල් කාලයේදී ක්‍රිස්තියානි ලෝකය බටහිර කතෝලික හා ග්‍රීක ඕර්තඩොක්ස් ලෙස බෙදේ. ඔහුගේ පාලනය අගභාගයේ දී ලෝකයේ තවත් තැනක පලමු කුරුස යුද්ධය සිදුවේ.

පලමු පරාක්‍රමභාහු රජු [ක්‍රි.ව. 1157-1186] බුරුමය ආක්‍රමණය කරයි. චෝලයන් අතින් විනාශ වූ අනුරාධපුරය නැවත ප්‍රථිසංස්කරණය වේ. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යයන්ට ආධාර පිණිස පරාක්‍රමභාහු රජු හමුදා පිටත් කර යවයි. මෙකල ලෝකයේ තවත් තැනක සැලඩීන් අධිරාජ්‍යයා සිටි අතර පැරකුම්බා රජුගේ පාලන ආරම්භය අවධියේදී දෙවන කුරුස යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වී තිබූ අතර ඔහුගේ පාලන කාලය අවසන් වී වසර කිහිපයකින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. එමෙන්ම සෙල්ජික් තුර්කිවරු බයිසැන්ටියානු හමුදා පරාජය කරයි. [ක්‍රි.ව. 1071]

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ කාලයේ දී තවත් තැනක තෝමස් ඇක්වයිනාස් පියතුමා Summa Theologica ලියයි. ක්‍රි.ව. 1284 දී මොංගල් අධිරාජ්‍යයේ කුබ්ලයි ඛාන් ලංකාවෙන් කප්පම් ඉල්ලයි.  හතරවන පරාක්‍රමභාහු [ක්‍රි.ව  1302-1326] රජුගේ කාලයේ දළදා සිරිත රචනා වූ අතර පසුව පන්සිය පනස් ජාතකය පාලියෙන් සිංහලට පරිවර්තනය වේ. මෙකල ලෝකයේ තවත් තැනක යුරෝපය විනාශ කල කළු මරණය ඇරඹුණු අතර ඇස්ටෙක්වරු තම සුවිශාල නගරය වූ ටෙනොචිට්ලන් නගරය ගොඩනගයි. 

ක්‍රි.ව. 1409 දී චෙංග් හෝ නැමැත්තා ලංකාවට පැමිණ චීන අධිරාජ යුංග් ලෝ වෙනුවෙන් ඉල්ලූ කප්පං නොලැබුණු නිසා සිංහල රජු අලකේෂ්වර හා පිරිවර සිරකරුවන් ලෙස චීනයට රැගෙන යයි. ක්‍රි.ව. 1414 දී මොවුන් නැවත මව්බිමට පැමිණේ. මීට වසර කිහිපයකට පසු ඉතාලියේ කලා කෘති වලට මහත් සේවයක් සැපයූ මෙඩිචි පවුලේ නැගීම සනිටුහන් වේ.

(තවත් කොටසක් පසුවට)





Tuesday, December 26, 2017

අහිමි පෙම

අඩි පහට වඩා ඩිංගක් උස            ඇතී
කතාවට වඩා සිනහව නිතර මුවග ඇතී
උදේ හවා අප හමුවෙලා               ඇතී
මට ඔබ ලැබගන්නට වරම්           නැතී

සැමියන් ඔබ හා කතා කරන                  විට
මම ඔබ හා හොදින් මිතුරු බව නොදැන  විට
ඔවුන් මා හා ඒවා රසකර කියන             විට
උගෙ ඉහ මොළ කුඩු කරන්නට සිතේ    මට

ඔබ මා හා දොඩමළු වන                        විට
පැය කටු මිනිත්තු වෙයි නොදැනීම          මට
එහෙත් කතාව අවසන මල්ලී යැයි කියන විට
වලක් කපන් වැලලෙන්නට සිතේ           මට

[මම කවි ලිවීමට ආධුනිකයෙක් වන බැවින් සදොස් තැන් නිදොස් කරන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මෙය පෞද්ගලික අත්දැකීමක් නොවන බවද තරයේ කියා සිටිමි. :D ]

පින්තූරය - 17 වන ශතවර්ෂයේදී Johannes Vermeer විසින් අදින ලද චිත්‍රයකි.




Monday, December 25, 2017

සුදු මිනිසාගේ ගස

රොබට් නොක්ස් පිය පුතු දෙදෙනා ඇතුළු කණ්ඩායම බ්‍රිතාන්‍යය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම යටතේ 1658 වසරේ ජනවාරි 21 වන දින 'Anne' නම් නැව මගින් පර්සියාව බලා යාත්‍රා කරන ලදි. කෙසේ නමුත් අවාසනාවන්ත අන්දමින් 1659 වසරේ නොවැම්බර් මස 19 වන දින නැව කුණාටුවකට හසුවී බොහෝ අබලන් විය. එසේ අබලන් වූ නැව ගසාගෙන ආවේ ත්‍රිකුණාමලයේ දකුණු පෙදෙසේ පිහිටි කොට්ටියාර් කලපුව දෙසටයි.

එකල නුවර රජකම් කලේ දෙවන රාජසිංහ [1629 - 1687] රජතුමාය. හේ මොවුන්ව පිලිගැනීම සදහා තෑගි බොග බොහොමයක් දිසාවේ කෙනෙකු අතින් නොක්ස් ඇතුලු පිරිසට යවන ලදි. එනමුත් වැඩි කල් යන්නට මත්තෙන් රොබට් නොක්ස් (පියා) සියඹලා ගසක් යට සිටිනා විටදී රාජපුර්ෂයන් විත් ඔහුව සිරබාරයට ගත් අතර නැවේ සිටි දහසය දෙනෙක් ද අල්ලා ගන්නා ලදි. නැව ද රාජ සන්තක කළේ ය.

මෙම පිරිසට දිවයිනෙන් පිටට යාම තහනම් වූ නමුත් ඔවුන්ට මෙහි සිටි මිනිසුන් හොදින් සැලකුවෝය. රොබට් නොක්ස් (පුත්‍රයා) ගොවියෙක්, මුදල් ණයට දෙන්නෙක් ලෙස  රැකියා කිරීමට සමත් විය.

පිය පුතු දෙදෙනාම මැලේරියා වසංගතයෙන් බොහෝ පීඩා විදි අතර පියා 1661 වසරේ පෙබරවාරි මස මිය ගියේය. දිවයිනේ වසර දහනමයක් ගතකල පසු රොබට් නොක්ස් , ස්ටෙෆන් නම් තවත් අයෙකු සමග රටින් පිටව යාමට සමත් විය.

අරිප්පු හි පිහිටි ලන්දේසි බලකොටුවක් වෙත යාමට මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණි. එහිදී ලන්දේසීන් විසින් මොවුන්ව 1680 වසරේ සැප්තැම්බර් මස දී තම නිවෙස් කරා යාමට අවස්ථාව සලසා දෙන ලදි.

මෙම ගමන අතරතුර දී ලංකාවේ ජීවත් වූ කාලයේදී තමන්ට වූ අත්දැකීම් අලලා "An Historical Relation of the Island Ceylon" නමින් කෘතියක් සම්පාදනය කලේය. එය 1681 වසරේ එළිදැක්විණි. 17 වන ශතවර්ෂයේ දී ලාංකික ජන ජීවිතය ගැන අධ්‍යනයට ඉතා වටිනා කෘතියක් එසේ ලියැවිණි.

පසු කාලයේදී රොබට් නොක්ස් (පියා) අල්ලා ගත් ස්ථානය සිහිවීම පිණිස ඵලකයක් සවි කලේය. එහි "This is the Whiteman’s tree under which Robert Knox, captain of the ship ‘Anne’ was captured" ලෙස සදහන්ව තිබේ. 1893 වසරේ දී මෙම ඵලකය ස්ථාපිත කල අතර එතැන් පටන් රජය විසින් එය රැකබලා ගත්තේය.

එනමුත් 1970 අවධියේ දී ත්‍රිකුණාමලය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් නිසාවෙන් සියඹලා ගස බිම පතිත විය. ගසෙ හි අඩියේ තිබූ ඵලකය ආරක්ෂාව තකා කොලඹ කෞතුකාගාරය වෙත රැගෙන ගියේය.

පාරු පාලම


පෘතුගීසීන් විසින් 'පාසු ග්‍රාන්ඩ්' නම් ස්ථානයේ කැලණි ගඟ හරහා පාරු පාලමක් සකස් කර තිබුණි. මෙම ස්ථානය වර්තමානයේ හදුන්වන්නේ 'ග්‍රෑන්ඩ් පාස්' නමිනි.

 මෙහි වසර හැත්තෑවකට අධික කාලයක් පුරාවට පාරු සේවයක් තිබුණි. මෙය මීගමුව, වයඹ පළාතට හා මධ්‍යම කඳුකරයට ඇතුලු වන එකම මාර්ගය විය.

එකිනෙකට යාබදව පාරු 21ක් නැංගුරම් ලා අඩි 500කට ආසන්න දිගට සාදා තිබූ පාලම් පාරුව පිලිබඳ අද ඇත්තේ මතකයන් පමණි. සෑම දිනකම එක් පැයක් එයින් බෝට්ටු දෙකක් ඉවත් කර ගොඩ බිමින් ගමනාගමනය නවතා, ගඟ දිගේ යන එන ප්‍රවාහනයට ඉඩ සලසා දෙනු ලැබේ.

වර්ෂා කාලයේදී ගඟේ ජල මට්ටම ඉහළ ගිය විට පාලම් පාරුවට දුෂ්කර කාලයක් එළඹේ. එම කාලය තුලදී පාරු පාලමෙන් බෝට්ටු එකක් හෝ කිහිපයක් මුහුදට ගසාගෙන යයි. මෙම ගසාගෙන යන බෝට්ටු ගසාගෙන යන වේගයට කැඩී බිඳී ගියේ නැතිනම් ඒවා සොයාගෙන විත් නැවත පාලම් පාරුවේ නැංගුරම් ලා දමයි. එසේ නොමැතිව බෝට්ටුව කැඩී බිදී ගියහොත් ඒ වෙනුවට තවත් බෝට්ටුවක් යොදා ගනියි.

පාරු පාලම යැයි පවසන විට පාලම් පාරුවත් මතකයට නැගේ. අතීතයේදී රජුන් ඇතෙක් බරට වස්තුව ලබා දුන් බව වංශකතාවල සදහන් වේ. නමුත් මේ ඇතෙක් බරට වස්තුව මැන්නේ කෙසේදැයි ඔබ සිතා බැලුවා ද? පලමුව ඇතාව පාලම් පාරුවක් මතට නග්ගවා එම පාලම් පාරුව ගිලෙන ප්‍රමාණය ලකුණු කර ගනියි. ඉන්පසු එම ප්‍රමාණයට වස්තුව පාලම් පාරුව මත පැටවූ පසු එය ඇතෙක් බරට වස්තුව ලෙස හැදින්වේ.

පෙරදී කැලණි ගඟ හරහා පාරු පාලමක් ඉදි කෙරූ බව සදහන් කෙරිණි. කැලණි ගඟ හරහා බැඳුණු පලමු යකඩ ගරාදි පාලම ඉදිවූයේ 1895 වසරේදී ය. මෙය නම් කලේ එකල එංගලන්තයේ මහ රැජිණගේ නමිනි. එය වික්ටෝරියා පාලම විය.

'පාරු පාළමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ලං වෙනකොට අපි හොඳටම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා'





Saturday, December 23, 2017

අල ගෙඩිය, බිත්තරය සහ කෝපි ඇට

කුඩා දියණියක් තම ජීවිතය ගැන බොහෝ කලකිරීමකින් සිටියාය. ඇයට පැමිණෙන ප්‍රශ්න වලට කෙසේ මුහුණ දිය යුතුදැයි ඇයට වැටහුණේ නැත. ප්‍රශ්නයක් කෙසේ හෝ අවසන් වනවාත් සමගම තවත් ප්‍රශ්නයක් පැමිණේ. ඇයට මෙය මහත් ගැටලුවක් වූ නිසාවෙන් ඇය තම පියාගෙන් මේ පිලිබදව විමසීමට තීරණය කලහ.

පියාගෙන් මේ පිලිබඳව විමසූ පසු අරක්කැමියෙක් වූ පියා ඇයව කුස්සිය වෙත රැගෙන ගියේය. ඇයට කිසිවක් නොපවසා භාජන තුනකට ජලය දමා රත් වීමට ඉඩ හැරියේය. ඉන්පසු ඒ එකින් එකට අල ගෙඩියක්, බිත්තරයක් සහ කෝපි ඇට දැමීය.

මේ සියල්ල දෙස නෙත් යොමා සිටි දැරිය බලා සිටියේ තම පියා මේ සිදු කරන්නේ කුමක්දැයි කියාය.

මිනිත්තු කිහිපයකට පමණ පසු උදුන නිවා දැමූ පියා වෙනත් භාජන දෙකකට අල ගෙඩිය හා බිත්තරය දමා කෝප්පයකට කෝපි පානයද දැම්මේය. එසේ දැමූ පසු "දැන් ඔයාට පේන්නේ මොනව ද?" යැයි පියා දියණියගෙන් ඇසීය.

"අල ගෙඩියක් බිත්තරක් කෝපි එකක්" යන්න දියණියගේ ක්ෂණික පිලිතුර විය.

"හොදට ලං වෙලා බලන්න" පියා පැවසුවේය. "අල ගෙඩිය අල්ලලා බලන්න". දියණිය අල ගෙඩිය අල්ලා බැලූ පසු එය හොදින් මෘදුව ඇති බව දැනිණි. බිත්තරය රැගෙන කැඩීමටද පියා ඉන්පසු පැවසුවේය. ඇය එසේ කල විට බිත්තරයේ මධ්‍යය ඝනව ඇති බව දක්නට ලැබුණි. ඉන්පසු කෝපි පානයද තොල ගෑ විට එහි රසය නිසාවෙන් දියණියගේ මුවගට සිනහවක් ද නැගුණි.

"තාත්තේ මොකක් ද මේකෙ තේරුම" දියණිය ඉතා ඕනෑකමින් පියාගෙන් ඇසුවාය.

ඉන්පසු ඔහු මේ සියල්ල පැහැදිලි කලේය. අල ගෙඩිය, බිත්තරය සහ කොපි ඇට එකම තත්ත්ව වලදී විවිධ වූ අයුරින් ප්‍රථිචාර දක්වන ලදි.

අල ගෙඩිය පෙරදී ඉතා ඝනව හා ශක්තිමත්ව තිබූ අතර නටන ජලය හමුවේ එය මෘදු හා දුර්වල විය.

බිත්තරය පහසුවෙන් කැඩෙන බිදෙන සුළු වූ අතර එහි තුනී ඝන තට්ටුව මධ්‍යයේ තිබෙන දියරය ආරක්ෂා කරමින් සිටියේය. නටන ජලය හමුවේ එහි මධ්‍යය ඉතා ඝන විය.

එහෙත් කෝපි ඇට අනෙක් ඒවාට වඩා තරමක් වෙනස් ය. නටන ජලය හමුවේ එය ජලයේ පාට වෙනස් කරමින් අලුතින් දෙයක් නිර්මාණය කලේය.

"මේ අයගෙන් ඔයා කව් ද?" පියා දියණියගෙන් ඇසුවේය. "ප්‍රශ්න කරදර එනකොට ඔයාගෙ ප්‍රතිචාරය කොයි වගේ ද? ඔයා අලගෙඩියක් ද බිත්තරයක් ද එහෙම නැත්තන් කෝපි ඇටයක් ද?"

Saturday, December 16, 2017

අඳ ගායකයා


ඉතාලියේ එක්තරා පවුලකට දාව දරුවෙක් ලැබෙන්නට සිටියේය. එහෙත් එම දරුවා ඉපදීමට පෙරම වෛද්‍යවරු පවසා සිටියේ දරුවා විවිධ වූ ආබාධ සහිතව උපත ලබන බවයි. එහෙයින් කලලය ගබ්සා කරන ලෙස වෛද්‍යවරු දෙමව්පියන්ට දැනුම් දුන්හ. එහෙත් දෙමව්පියන් එයට කැමති වූයේ නැත. ඒ අනුව උපතින්ම දෘෂ්‍යාබාධ ඇතුලු ආබාධ රැසක් සමඟින් මෙම දරුවා මෙලොව එළිය දිටීය. වර්තමානය වන විට දැනට ජීවත්වන විශිෂ්ටතම ටෙනර් ගායකයා ලෙස හේ අවිවාදයෙන් පිලිගනියි. සිංහල නොවන ගායකයන් අතුරින් මාගේ ප්‍රියතම ගායකයා ද මොහුයි. මොහු නමින් ඇන්ඩ්‍රෙයා බොචෙලි.

වයස අවුරුදු 12 දී මොහුගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැති විය. එසේ වූයේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන විට වූ අනතුරක් නිසාවෙනි.

මොහු තමන්ගේ ඒක පුද්ගල ගී ඇතුලත් ඇල්බම් 15ක් ද විශිෂ්ටතම ගී එකතු ඇල්බම් 3ක් ද ඔපෙරා 9ක් ද සම්පාදනය කරන ලදි. ලොව පුරා මෙම තැටි මිලියන 80කට අධික ප්‍රමාණයක විකිණුම් ලැබුණි. ක්ලැසිකල් සංගීතය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහලින් තැබීමට මොහුට හැකියාව ලැබුණි.

1998 වසරේදී ලොව හොදම පුද්ගලයන් පනස් දෙනා අතරටද බොචෙලි එක්විය. 1999 වසරේදී හොදම නව නිර්මාපකයා සදහා වූ ග්‍රැමී සම්මානය සදහා නිර්දේශ විය. බොචෙලි සෙලීන් ඩියෝන් සමග එක්ව ගැයූ 'The Prayer' ගීතය සදහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය හිමිවූ අතර එය ඇකඩමි සම්මානය සදහා ද නිර්දේශ විය.

මොහු Sacred Arias නම් තම ඇල්බමය එලිදැක්වීමත් සමග ගිනස් ලෝක වාර්තා පොතටද තම නම ඇතුලත් කරගැනීමට සමත් විය. එනම්, ඇමරිකානු ක්ලැසිකල් ඇල්බම් ශ්‍රේණිගත කිරීම්වල එකම අවස්ථාවකදී මුල් ස්ථාන ත්‍රිත්වයම හිමි කර ගැනීමෙනි. ඔහුගේ ඇල්බම් හතක්ම බිල්බෝඩ් ශ්‍රේණිගත කිරීම්වල පලමු 10 අතරට පැමිණ තිබේ.

Sacred Arias නම් මොහුගේ ක්ලැසිකල් ඇල්බමය මෙතෙක් වැඩිම විකිණුම් ලැබූ ක්ලැසිකල් ඇල්බමය යි. එමෙන්ම Romanza නම් පොප් ඇල්බමය ඉතාලියේ සියලුම සංගීත අංශ වලින් වැඩිම විකිණුම් ලැබූ ඇල්බමය බවට පත්වූ අතර යුරෝපයේ හා බොහෝ ලතින් ඇමරිකානු රටවල්වල විදේශ සංගීතඥයෙකු ලද වැඩිම විකිණුම් ඇල්බමය බවටද පත් විය.

මෙසේ තව තවත් වාර්තා බොහොමයකට හිමිකම් කියන මොහුට සම්මානද එලෙසම බොහෝ හිමිවිය. මා ක්ලැසිකල් සංගීතය කෙරෙහි වඩාත්ම ඇලුම් කිරීමට පටන් ගත්තේ මොහු නිසා බැවින් මෙම කුඩා සටහන ලිවීමි.

යූ ටියුබ් චැනල් - https://www.youtube.com/user/AndreaBocelliVEVO


Friday, December 15, 2017

ලංකාවේ එක් තැනක පමණක් පිහිටා ඇති මාර්ටෙලෝ බලකොටු


තංගල්ලෙහි පිහිටි බලකොටුවේ සිට මුහුදු වෙරළ අද්දරින් සැතපුම් 25ක් පමණ නැගෙනහිර දෙසින් දකුණු වෙරළ තීරයේ සුවිශේෂී වූ බලකොටුවක් දක්නට ලැබේ. ලංකාවේ කිසිදු ස්ථානයක මෙවන් බලකොටුවක් දක්නට නොලැබේ. හම්බන්තොටෙහි පිහිටි මෙම බලකොටුව ‘මාර්ටෙලෝ කුළුණ’ ක් ලෙස හදුනාගත හැක.

 මෙම මාර්ටෙලෝ කුළුණු සම්ප්‍රදාය නිර්මාණය කලේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1794 වසරේදී මාර්ටෙලෝ තුඩුවෙහි පිහිටි සිලින්ඩරාකාර ප්‍රංශ බලකොටුවකට බ්‍රිතාන්‍ය නාවික හමුදා ප්‍රහාර එල්ල කරන ලදි. එහෙත් අපේක්ෂිත අයුරින් එම බලකොටුවට අලාභ හානි සිදු කල නොහැකි විය. එම ප්‍රංශ බලකොටුවේ සිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ප්‍රතිප්‍රහාර එල්ල කල ප්‍රංශ ජාතිකයන් බ්‍රිත්‍යාන්‍යන්ට අති විශාල අලාභ හානි අත්කර දීමට සමත් විය. බ්‍රිතාන්‍ය පාබල සේනා මෙම බලකොටුව අල්ලාගත් පසු එය දැඩි අධීක්ෂණයකට ලක් කලේය.


 බ්‍රිතාන්‍ය ජාතිකයන් මාර්ටෙලෝ හිදී අත්කරගත් අවාසිදායක තත්ත්වයෙන් පාඩමක් උගෙන එංගලන්තයේ ගිණිකොණ දිග වෙරළ තීරයේ එවැනි බලකොටු වැලක් ඉදිකර ගත්හ. එසේ සිදු කලේ නැපෝලියන්ගේ ආක්‍රමණයන්ගෙන් වැලකීමටයි. පසුව ඔවුන් ලන්දේසීන්ගෙන් අත්පත් කරගත් ප්‍රදේශ වල මෙවැනි බලකොටු තුනක් ඉදිකරන ලදි. ඉන් දෙකක් කේප් හිද එකක් ලංකාවෙ ද ඉදි කලේය. සිමන්ස් ටවුන් හි ඇති බලකොටුව හම්බන්තොට හි ඇති මාර්ටෙලෝ බලකොටුවෙ හි නිවුන් සහෝදරයෙක් වැන්න.

ලංකාවේ හම්බන්තොටෙහි ඉදිකල මෙම බලකොටුවෙහි වැදගත්ම කාර්යභාරය වූයේ ලුණු ලේවා වලටත්, දකුණු පළාතේ කුරුඳු වැවෙන වන ගහනයට පිවිසෙන මාර්ග වලට රැකවරණය සැලසීමත් ය.

මෙම බලකොටුව ඉදිවූයේ 1796 වසරට සුළු කලකට පසුවයි. ප්‍රතිප්‍රහාරක මුරපොළවල් වලින් සමන්විත බලකොටුවක ආරක්ෂාව නොලද එකම මුහුදු බොක්ක හම්බන්තොට වීම නිසා සතුරු සේනාවලට එම ස්ථානයට නිරුපද්‍රිතව ගොඩ බැසිය හැකි විය. මේ හේතුවෙන් සෑම දිශාවකටම කරකැවිය හැකි කාලතුවක්කු මුදුන් තලයෙහි අටවා මෙම හම්බන්තොට බලකොටුව ඉදි කරන ලදි. මෙම බලකොටුවෙහි රැඳවිය හැකි වූයේ තිස් දෙනෙකි. උපරිම පනස් දෙනෙකි. ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම (VOC) තමන්ට නැතිවූ බලය නැවත අත්පත් කරගැනීමට විනා නැවත ක්‍රියාත්මක වේ යැයි සිතූ නිසා මෙවැනි ආකාරයේ බලකොටු ඉන්දියාවට සහ ලංකාවට හිමි විය.

 මෙම කුළුණ අඩි 25 ක් පමණ උසකින්ද අඩි 40ක් පමණ විශ්කම්භයකින්ද යුක්ත වේ. මෙය දෙමහල් ය. බලකොටුව තුලට යාමට ඇති දොරටුව ඇත්තේ උඩු මහලේ ය. අවශ්‍ය වූ විටෙක ඉනිමගක් ඔස්සේ එයට ඇතුලු විය හැක. මෙය මෙම බලකොටුවේ සුවිශේෂී අංගයකි.

මෙහි පවුර වටා කාලතුවක්කු වලින් පහර දීමට කවුළු පිහිටා තිබේ. යට මහලේ කවුළු දෙකක් අතර පරතරය තුල උඩු මහලේ කවුළුව පිහිටා තිබෙන අතර උඩු මහලේ කවුළුව යට මහලේ කවුළුවට සාපේක්ෂව විශාල වේ. බිත්ති ශක්තිමත් ගලින් බැඳ තිබෙන අතර හුණු බදාමයකින් කපරාරු කර ඇති අතර එය ඍජුය.

මෙම බලකොටුව මැද ගලින් බැඳි ශක්තිමත් කණුවක් තිබේ. එය පිහිටා ඇත්තේ බිත්තිය මුදුනට හේත්තු වන දේ ගලින් බැඳි පියස්ස දරා සිටීමටයි. මහල් දෙක සම්බන්ධ කිරීම උදෙසා බිත්තියට වැද්දූ පියගැට පෙළක් තිබේ. ඇතුලට වාතාශ්‍රය අවම වීම හා තෙත් සහිත වීම මාර්ටෙලෝ බලකොටු වලට පොදු කරුණකි. දැවමය කොටස් පහසුවෙන් දිරා වැටෙන්නට වීම සාමාන්‍යයි. අවසානයේ කෙසේ හෝ 1803 වසරේදී සිංහල හමුදා මෙම හම්බන්තොට පිහිටි මාර්ටෙලෝ බලකොටුව වටලා අල්ලා ගත්හ.

Sunday, December 3, 2017

රුක්මණී දේවියගේ මරණය හා ඊට පසු



හෙළයේ ගීත කෝකිලාවිය යන විරුදාවලිය ලත් රුක්මනී දේවි, රුක්මනී වසුන්දරා නොහොත් ඩේසි රාසම්මා ඩැනියල් පිලිබඳව පවසනවානම් බොහෝ දේ ඇත. මාගේ ප්‍රියතම ගායිකාව ඈ වන නිසා ඇය පිලිබදව මා තොරතුරු සොයන්නේ වෙහෙසකින් තොරවයි.  එහෙත් මෙම කුඩා සටහන ඒ සදහා නොවේ.

රුක්මනී දේවිය මියයන්නේ මාතර උයන්වත්තේ පැවති සංගීත උත්සවයකට සහභාගි වී  තම නිවස කරා එන විට ජා ඇල තුඩැල්ල ප්‍රදේශයේදී බවුසරයකට හැප්පීමෙනි. ඒ 1978 වසරේදී. අනතුර සිදුවූ අවස්ථාවේ ඇයව වාහනයෙන් ඉවතට ගැනීමට දොර කැඩීමට සිදුවූ බවත් එසේ කැඩීමේදී අත ලිස්සා අලවංගුව රුක්මනීගේ පපුව පෙදෙසට වැදුනු බවත් ඒ හේතුවෙන් රුක්මනී මියගිය බවට ගමේ එකල රාවයක් පැතිර තිබුණි. එම අනතුර සිදුවූ අවස්ථාවේදී මාගේ සීයා එම ස්ථානයේ සිටි බැවින් ඔහු පවසන්නේද එය එසේ වූ බවයි. එමනිසා මට මෙය රාවයකට එහා ගිය දෙයකි.

ඇය මියගිය පසු ඇයව සිහිවීම නිමිත්තෙන් අනතුර සිදුවූ ස්ථානයේ සුදු වර්ණයෙන් ඇගේ පිලිරුවක් ස්ථාපනය කරන ලදි. පිලිරුව ස්ථාපනය කරන ලද්දේ වර්තමානයේ එය තිබෙන ස්ථානයේ නොවේ. අනතුර සිදු වූයේ තුඩැල්ල පල්ලියට අසල ගම මැද පාර ඉදිරිපිටයි.

පිලිමය ස්ථාපනය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ අනතුරු බොහොමයක් සිදු විය. අවම වශයෙන් වසරකට මිනිසුන් හතර පස් දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයේදී මරු වැළද ගත්තෝය. ගමේ රාවයක් පැතිර ගියේ මෙම අනතුරු සිදු වන්නේ රුක්මනී දේවියගේ අවතාරයක් නිසා බවයි. මේ හේතුවෙන් අනතුරක් සිදුවන සෑම අවස්ථාවකටම පසු ගමේ උදවිය සුදු පැහැති රුක්මනී දේවියගේ පිලිමය කළු තෙල් වලින් නාවන්නට විය. ඉන්පසු අදාල බලදරීන් පැමිණ ඒවා සුද්ද පවිත්‍ර කලේ ගමේ උදවියගේ හා රුක්මනී දේවියගේ මව්පියන් ශ්‍රද්ධා සිතින් මතක් කරමිනි.

පසුව රුක්මනී දේවියගේ පිලිරුව තිබෙන ස්ථානය වෙනස් කිරීමට ඔවුනට සිදු විය. ඒ අනුව වර්තමානයේ පිලිරුව තිබෙන කනුවන හන්දියට පිලිරුව රැගෙන යන ලදි.

එසේ රැගෙන ගිය පසු අනතුරු අඩු වීමට පටන්ගත්තේය. වර්තමානයේ නම් අනතුරු අසන්නටවත් නැති තරම්. අනතුරු අඩු වූයේ පෙර පිලිමය තිබූ ස්ථානයේ වංගුවක් කෙලින් කල බැවිනි. එසේ වංගුව කෙලින් කිරීමට පාර පළල් කල බැවින් අනතුරු බොහොමයක් අඩු විය. රුක්මනී දේවියගේ අවතාර කතා බොහොමයකට මුල පිරූ මෙය අවසන් කලේ වංගුව කෙලින් කිරීමෙනි.

මෙම 'ආදරය නිසා' ගීතය අසන්නට ඉල්ලීමක්ද කරමින් මෙම කෙටි සටහනට තිත තබමි. - https://youtu.be/aj3kxCwVNdY

අලියා සහ ලණුව සමඟ තවත් කතා

ඔටු මවක් තම දරුවා සමග ගසක් යට වාඩි වී සිටියි.

 "ඇයි අම්මේ ඔටුවන්ට මොල්ලි තියෙන්නේ?" දරුවා තම මවගෙන් ඉතා ඕනෑකමින් ඇසීය.

මව තරමක් කල්පනා කර පිලිතුරු දෙමින් "අපේ මොල්ලි වල තමා වතුර ගබඩා කරන්නේ. අපි කාන්තාරෙ ඉන්නකොට අඩු වතුර ප්‍රමාණයක් නිසා තියෙන්නේ අපිට ඒ වතුර අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුලුවන් " යැයි පැවසීය.

දරුවා තවත් මොහොතක් කල්පනා කර " හොදයි... ඇයි එහෙනන් අපේ කකුල් දිගට රවුමට තියෙන්නේ?" යැයි නැවත ප්‍රශ්න කලේය.

"අපිට කාන්තාරෙ ඇවිදින්න පහසුවෙන්නයි එහෙම පිහිටලා තියෙන්නේ."

දරුවා සුසුමක් හෙලා, තවත් කල්පනා කර තම මවගෙන් නැවතත් ප්‍රශ්න කලේය. "අම්මේ, එතකොට ඇයි අපේ ඇස් පිහාටු මෙච්චර ඝනකමට හා දිගට තියෙන්නේ? මම ඇවිදිද්දි වෙලාවකට මේ ඇස් පිහාටු මගේ මග හරස් කරනවනේ..."

"අපි කාන්තාරෙ ඇවිදිනකොට, සුළඟ නිසා අපේ ඇස් වලට එන වැලි වලින් ඇස් ආරක්ෂා කරගන්නයි ඒවා එහෙම පිහිටලා තියෙන්නෙ."

දරුවා පෙරටත් වඩා සිතමින්, අවසානයේ "හරි එහෙනන්, අපිට මොල්ලි තියෙන්නේ කාන්තාරෙදි වතුර ගන්න, අපේ කකුල් මේ විදිහට තියෙන්නේ කාන්තාරෙ ඇවිදින්න, අපේ ඇස් පිහාටු මෙච්චර ඝනකම් වෙලා තියෙන්නේ කාන්තාරෙ වැලි වලින් බේරෙන්න නම්, මොන එහෙකටද අපි මේ කූඩුවක් ඇතුලෙ ඉන්නෙ...?" මවගෙන් ප්‍රශ්න කලේය.

මෙයින් එලිපිටින් අපට උගන්වන පාඩමට අමතරව ඇතුලතින්ද අපට පාඩමක් උගන්වයි. අපට අපගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීමට නම් අප නිසි තැන නිසි වෙලාවට සිටිය යුතුයි. එසේ නොවන විට අපගේ හැකියාවන්ගෙන් අන් අයට තියා අපටවත් ප්‍රයෝජනයක් නොමැත.

සැ.යු. ඉහතදී ඔටුවාගේ මොල්ලියේ වතුර තිබේ යැයි සදහන් කර තිබුනද සැබෑවටම ඔටුවාගේ මොල්ලියේ ඇත්තේ මේදයයි. ඔටු මව එසේ පැවසීමට හේතු වූයේ ඈ වැස්ස නිසා විද්‍යාව පාඩම වෙලේ පන්තියේ නොසිටි නිසාවෙන් බව සලකන්න.

-----------------------------------------------------------------------------------------

"තාත්තේ අර බලන්නකෝ ගස් පිටිපස්සට යනවා"

 වයස අවු. 24ක පිරිමි ලමයෙක් තම පියාට කෑ ගසමින් පැවසීය.

 පියා සිනාසුන අතර ඒ අසල සිටි තරුණ යුවලක් මේ තරුණයා දෙස බලා මෙය ඔහුගේ වයසට තරම් දෙයක් නොවන බව මුහුණෙන් ඉඟි පල කළෝය. එනමුත් පෙරකී දරුවා නැවතත්,

"තාත්තේ අර බලන්න වළාකුළු අපිත් එක්කම යනවා"

 මෙය ඉවසා සිටිය නොහැකි වූ යුවල වයෝවෘද්ධ පුද්ගලයා අමතමින් "ඔයා ඔයාගෙ ලමයව හොඳ දොස්තර කෙනෙක්ට පෙන්නුවොත් නරකද?" යැයි විමසීය.

"අපි මේ ඉස්පිරිතාලෙ ඉදන් එන ගමන්. මගේ පුතා ඉපදුන දා ඉඳන් අන්ධයි. අදයි එයාට ඇහැක් ලැබුනේ" යන්න පියාගේ පිලිතුරයි.

 මේ ලෝකයේ සිටින සියලුම දෙනාට තමන්ටම කියා විශේෂිත වූ කතාවක් ඇත. එමනිසා කිසිවෙකුව හොදට දැන අඳුනගන්නා තෙක් විනිශ්චය නොකරන්න.

--------------------------------------------------------------------------------

 එක්තරා පුද්ගලයෙක් අලින් රැකබලාගන්නා ස්ථානයක් අසලින් යන විට එක්තරා විශේෂ දෙයක් නෙත ගැටුණි. එනම් එම අලින් දම්වැල් වලින් බැඳ තබා හෝ කූඩුවක දමා නොමැති බවයි. ඔවුන් පැනයාම වැලැක්වීම සදහා එම අලින්ගේ එක් කකුලක් පමණක් කුඩා ලණුවකට ගැටගසා ඇති බව දැකීමෙන් ඔහු පුදුමයට පත්විය.

 එම අලින්ට මෙම කුඩා ලණුව එක් ක්ෂණයෙන් කඩා දමා එතැනින් පැනයාමට ඉතා පහසු වූවත් එම අලින් තමාව ගැටගසා ඇති කුඩා ලණුව කඩා දැමීමට උත්සහයක්වත් ගත්තේ නැත.

 මෙයින් ඉතා කුතුහලයට පත් පුද්ගලයා අසල සිටි අලින් රැකබලාගන්නාගෙන් මෙයට හේතුව විමසා සිටියේ ය.

 ඔවුන් කුඩා අවධියේ දී පැනයාම වැලැක්වීම සදහාද භාවිතා කලේ ඔවැනිම ප්‍රමාණයේ ලණුවකි. එකල ඔවුන්ට එම ලණුව කඩා පැන යා නොහැකි ප්‍රමාණයට ලණුව ශක්තිමත් විය. ඔවුන් ක්‍රමක්‍රමයෙන් වැඩෙත්ම මෙම ලණුව කඩා දමා යා නොහැකි යන සිතුවිල්ල ඔවුන් විශ්වාස කරයි. ඔවුන් විශ්වාස කරන්නේ එම ලණුවට ඔවුන්ව දැනටත් ඇදබැඳ තබා ගත හැකි ලෙසයි. මෙලෙස අලින් රැකබලාගන්නා එම පුද්ගලයාට හේතුව පැහැදිලි කර දුන්නේය.

 අපගේ ජීවිතත් මෙවැනියි. කුඩා කල සිට අපගේ මනසට බලහත්කාරයෙන් හෝ නිරායාසයෙන් ඇතුල් වූ ඇතැම් විශ්වාස අපගේ දියුණුව අඩාල කරයි. තමන් ජීවත්වන සමස්ථ සමාජයම යම් විශ්වාසයක එල්බගෙන සිටී නම් තමුන් එම විශ්වාසය පිලිබඳ සිහි නුවණින් සොයා බලා එය අර්ථ විරහිත විශ්වාසයක් නම් සමස්ථ සමාජයම තනි මතයක සිටින විට එයට විරුද්ධ මතයක් දැරීමට බිය නොවන්න.


Saturday, December 2, 2017

සංගීත රසයෙන් ශ්‍රාවක සිත් සුවපත් කල මර්වින් පෙරේරා

සුප්‍රකට නැටුම් හා සංගීත ගුරුවරයෙක් වූ ටී. හර්මන් පෙරේරා තම වැඩිමහල් පුත්‍රයාට සංගීතය ඉගැන්වූයේ නැත. ඒ සදහා ඔහුව වෙනත් ගුරුවරයෙකු වෙත යොමු කළේය. වසර හතලිහකට අධික කාලයක් ලාංකීය හදවත් සංගීතයෙන් පිනවූ මොහු නමින් තුසේපෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා නම් වේ.

පියා පල්ලියේ සංගීත කටයුතු වල යෙදී සිටි බැවින් ඔහු සිය පුතු මර්වින්ව පල්ලියේ ගීතිකා කණ්ඩායමට බැන්දුවේය. හේ වාදනයට හුරුවූ පලමු සංගීත භාණ්ඩය වූයේ වයලීනයයි. ඒ පියාගෙ වයලීනය අත පත ගෑමෙනි.

මූලික අධ්‍යාපනය පාසල් දෙකකින් ලත් මොහු ඉන්පසු රජයේ ලලිත කලා ආයතනයට බැදුනේය. මොහු එයට බැදුනු වසරේදීම එයට වික්ටර් රත්නායක, සරත් දසනායක සහ විජේරත්න රණතුංග යන අයද එක්විය. වින්සන්ට් ප්‍රේමසිරි එයට බැදුනේ වසරකට පෙරයි. මොවුන් ඉතා හොද මිතුරන් වූ අතර මෙකලම වලානේ තිබූ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත පන්තියටත් මොවුන් සහභාගි විය.

පසු කලෙක මෙම මිතුරන්ට අමරසිරි පීරිස්, සෝමපාල රත්නායක, ගුණදාස කපුගේ සහ සේන වීරසේකර යන අයද එක්විය.

මර්වින් පෙරේරාගේ පලමු ගුරු පත්වීම ලැබුනේ අම්පාරේ දුෂ්කර පාසලක් වූ රජ්ගම විද්‍යාලයටයි. අම්පාරට යාමට ප්‍රථම තිලකසිරි ප්‍රනාන්දු ලබාදුන් ගිටාරය රැගෙන පාසල නිමවී හවස් යාමයේ මර්වින් තනු මවන්නට විය. වික්ටර් රත්නායකගේ මුල්ම සරල ගී වැඩසටහන පැමිණියේ මෙකලයි. මර්වින් අම්පාරෙදී මැවූ තනුවක් ලබාගෙන වික්ටර් රත්නායක 'සෝක සැනසුම් වේදනාවන්' ගීතය එයට ගායනා කලේය. දෙවෙනි වැඩසටහනද තනුවක් මර්වින් ලබා දුන්නේය. එය 'පාවේ වලා ඈත කදු බලා' ගීතයයි. මෙසේ මිල්ටන් මල්ලවාරච්චිත් මර්වින්ගෙන් තනු ඉල්ලා ගත්තේය. 'මා නෙත් කැදැල්ලේ' හා 'ලොව සැතපෙන යාමේ' එයින් දෙකකි.

මර්වින් පෙරේරා ගායකයෙකු ලෙස පෙනී සිටියේ 'සඳ මිදුලට එනවා' ගීතය සමගිනි. එහෙත් සතියක්වත් යාමට පෙර කවුරුන් හෝ විසින් එම ගී තැටිය වාදනයට ගත නොහැකි වන සේ සූරා තබන ලදි. වාසනාවකට මෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මෙම ගීතයේ අමතර පිටපතක් නිකුත් කරවාගෙන තිබූ බැවින් ගීතය යටපත් නොවීය. දෙවෙනි ගීතය ලෙස එලිදැක්වුනු 'ඔබ දේදුන්න ආකාසයේ' ගීතයටත් වූයේ මෙවැනිම දෙයකි. එනමුත් එහිද අමතර පිටපතක් තිබූ බැවින් ගීතය යටපත් කිරීමට නොහැකි විය.

අම්පාරේ විද්‍යාලයේ සිට කැලණියේ ධර්මාලෝක විද්‍යාලයටත් ඉන්පසු වෙදමුල්ලේ විද්‍යාලයටත් පසුව කැලණිය ගුරුකුල විද්‍යාලයටත් මාරුවීම් ලැබුණි. ලයිලි ගොඩ්රිජ් නම් ප්‍රවීණ ඉංග්‍රීසි සංගීතවේදියා මර්වින් සිල්වාගේ කටහඬ පාලනයට විශේෂ අභ්‍යාස ලබාදී මොහුව තවත් මුවහත් කලේය.

මර්වින් පෙරේරා ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරුවේ නැති අතර එමනිසා ඔහු ඒ පිලිබඳව බොහෝ සතුටු වෙයි. ඔහු පවසන්නේ එසේ ඉගෙනගත්තානම් ඔහුගේ නිර්මාණ කුසලතාව මොට වීමට ඉඩ තිබූ බවයි. මර්වින් පෙරේරා තම එකදු තනුවක්වත් ඉන්දියානු රාගධාරී සංගීතය මත පිහිටා නිර්මාණය කර නැත.

නන්දා මාලිනීගේ ගීත විසි පහකට අධික සංඛ්‍යාවක් සංගීතවත් කල මොහු ලංකාවේ මුල්  ටෙලි නාට්‍යයන්ගෙන් එකක්  වූ 'ළා හිරු දහසක්' සංගීතවත් කළේය. 1971 වසරේදී ඔහු ගුවන් විදුලියට නිර්මාණය කල නිර්මාණ රැසක් විනාශ වූයේ ඛේදනීය ලෙසයි. මන්ද 71 කැරැල්ලේ අතඩංගුවට පත් සැකකරුවන්ගේ සක්ෂි සටහන් කිරීමට එම ගී පටි යොදාගත් බැවිනි.

ආදරේ රන් බිඟුන්, පබසර රන් පබළු, ආදරේ රන් බිඟුන්, සුවදැති කුසුමක, රන් මීවිත පුරවා ආදී ගීත ප්‍රේක්ෂක සිත් සැනසූ ගීත කිහිපයකි.  ඔහුගේ ගී අතරින් මා වඩාත් ප්‍රිය කරන ගීයක් වන 'මේ නගරය' ගීතයේ පදවැල් සමගින් මෙතැනින් නවතිමි.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

[දෙසැම්බර් 7 වනදාට මර්වින් පෙරේරා නම් මහා සංගීතවේදියා අප අතරින් සමුගෙන වසර 9ක් පිරීම නිමිත්තෙන් මෙම සටහන තබන ලදි]

ශ්‍රේෂ්ඨ යතිවරයාණෝ - වර්තමාන දලයි ලාමා තුමාගේ ජීවිත කතාව [2 කොටස]

 මෙම සියලුම පරීක්ෂණ වලින් සනාථ වූයේ ඔවුන් දලයි ලාමාගේ පුනරුප්පත්තිය සොයාගත් බවයි. එමනිසා මෙම සුබ ආරංචිය ඔවුන් විදුලි පණිවිඩයක් මාර්ගයෙන් ලාෂා නුවරට යැවූහ. එනමුත් ටිබෙට් හි පැවතියේ ලාෂා නුවර සිට ඉන්දියාව වන තෙක් එකම විදුලි පණිවිඩ මාර්ගයකි. එහෙයින් විදුලි පණිවිඩය රහස් සංඥා භාවිතා කරමින් චීනයට යවා එයින් ඉන්දියාවට යවා අවසානයේ ලාෂා නුවරට යවන ලදි. නුවරින් ප්‍රති පිලිතුර ලෙස ලැබුනේ හැකි ඉක්මනින් දරුවාව රැගෙන එන ලෙසයි.

දරුවා පදිංචිව සිටි පෙදෙස, එනම් ටිබෙටයේ ඊසාන දිග පෙදෙස මෙකල අයත්ව තිබුනේ චීනයටයි. එහෙයින් මේ පිලිබඳව චීන ආණ්ඩුකාරවරයා සමග පලමුකොට සාකච්ඡා කල යුතු විය. එමනිසා ලාමාවරු ඔහු හමුවට පැමිණ දලයි ලාමාගේ පුනරුප්පත්තිය අවසාන වශයෙන් සොයාගත් බව නොකියා පුනරුප්පත්තිය සදහා තෝරාගත් ලමයින් ලාෂා නුවරට රැගෙන යා යුතු බව පැවසීය.
මව පියා හා වැඩිමහල් සහෝදරයා සමග

මුස්ලිම් අයෙකු වූ මෙම තානාපතිවරයා මෙම ලමයින්ව තමන් විසින්ම පරීක්ෂණයට ලක් කල යුතු බව පවසා තෝරාගත් සෑම ලමයාටම රසකැවිලි පෙට්ටිය බැගින් ලබා දුන්නේය. සමහර ලමයි රසකැවිලි බොහොමයක් අතට ගත් අතර සමහර ලමයින් රසකැවිලි ගැනීමට බිය වූහ. සැබෑ පුනරුප්පත්තිය ලැබූ ලමයා අතට ගත්තේ එක රසකැවිල්ලක් පමණි. මෙයින් සහ තවත් ප්‍රශ්න් කිරීම් වලින් පසු ඔහු සැබෑ ලෙසම පුනරුප්පත්තිය ලැබූ දරුවාව නිවැරදිව නිගමනය කලේය. ඔහු අවසානයේ , අනෙක් දරුවන්ව පිටත් කර නිවැරදිව තෝරාගත් දරුවාව ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඉගෙනුම් ලබන කුම්බුම් විහාරස්ථානයේ දෙමව්පියන් සමඟ නතර කරන ලෙස අණ කලේය.

දරුවාව රැගෙන යනවානම් ටිබෙට් රජය ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බව හේ පැවසීය. ඔහුට එසේ කිරීමට බලයක් නොමැති වුවත් ලාමාවරුන් එම මුදල ඔහුට ගෙවීය. එහෙත් නැවතත් ඔහු ලක්ෂ තුනක මුදලක් ඉල්ලා සිටියේය. එවිට ලාමාවරු පවසා සිටියේ තවත් පලාත්වලින් දලයි ලාමාගේ පුනරුප්පත්තිය ලෙස සැක කරන ලමයින්ව රැගෙන එන බව ය. මන්ද මෙහි සිටින්නේ සැබෑ දරුවා බව පැවසුවහොත් මෙම කර්තව්‍යය තව තවත් අමාරු වන බැවිනි. 1939 වසරේදී මැද භාගයේදී දරුවාගේ ගමන ආරම්භ කල යුතු විය. එහෙත් ලාමාවරුන්ට මෙම තුන්ලක්ෂයක මුදලින් කොටසක් සොයාගත නොහැකි විය. වාසනාවකට මෙන් මක්කම වන්දනාවේ යන මුස්ලිම් නඩයක් තම ගමනට ලාෂා නුවරද එක්කර තිබූ බැවින් ලාමාවරුන්ට ඉතිරි මුදල ලබා දුන්නෝය.  
වයස අවුලක් හතරේදී

මේ අනුව දරුවාගේ හතරවෙන උපන් දිනයෙන් සතියකට පසු ලාෂා නුවර වෙත ගමන ඇරඹීය. මේ සදහා මාස තුනකට අධික කාලයක් ගත විය. දෙමව්පියන් විසින් තමන්ගේ දරුවා දලයි ලාමාගේ පුනරුප්පත්තිය ලෙස දැනගත්තේ මෙම ගමන අතරතුරයි. එතෙක් ඔවුන් දැන සිටියේ ඔහු ලාමාවරයෙක්ගේ පුනරුප්පත්තියක් බව පමණි.

ගමනේ මාස තුනකට පමණ පසු තුටොප්චු ගංගාව අසලදී කුඩා දරුවාට පලමුවෙන් ජේෂ්ඨ ලාමාවරුන් හමුවිය. එතැන් සිට ලාෂා නුවර නොහොත් තහනම් නගරයට යාමට දින පහලොවක් ගත විය. එම ගමන උත්සවශ්‍රීයෙන් වුවකි. ලාෂා නුවරට පැමිණි පසු උත්සව හා යාච්ඥා පවත්වා වයස අවුරුදු හතර හමාරක වයසැති කුඩා දරුවාව ටිබෙටයේ රාජ්‍ය පාලකයා වශයෙන්ද සංඝරාජවරයා වශයෙන්ද දහහතර වැනි දලයි ලාමා ලෙස පිලිගනු ලැබීය.
 
මූලාශ්‍ර:
1)තිබ්බතයේ බෞද්ධ මානව සංහාරය - ජස්ටින් විජයවර්ධන
2) https://en.m.wikipedia.org/wiki/Dalai_Lama
3) https://en.m.wikipedia.org/wiki/13th_Dalai_Lama
4) https://en.m.wikipedia.org/wiki/14th_Dalai_Lama

Friday, December 1, 2017

ශ්‍රේෂ්ඨ යතිවරයාණෝ - වර්තමාන දලයි ලාමා තුමාගේ ජීවිත කතාව [1 කොටස]

ටිබෙට් වැසියන් 1933 වසර හදුන්වන්නේ දියකුරුළු වර්ෂය ලෙසයි. තුප්තොර ජියොත්සො නම් දහතුන්වන දලයි ලාමා තුමා මියගියේ මෙම වසරේදීය. මෙම පුවත ටිබෙට් වැසියන්ට ඉතා ශෝකජනක පුවතක් විය. දහතුන්වන දලයි ලාමා තුමා මියගිය පසු ඔහුගේ පුනරුප්පත්තිය සෙවීම සදහා වහා කටයුතු කරන ලදි. එසේ වූයේ සෑම දලයි ලාමා වරයෙක් ම ඊට පෙර සිටි දලයි ලාමාවරුන්ගේ පුනරුප්පත්තියක් වූ බැවිනි.
13 වන දලයි ලාමා තුමා

මෙහිදී ප්‍රථමයෙන්ම සිදු කල කාර්යය වූයේ පුනරුප්පත්තිය ලැබූ ළඳරුවා තෝරාගෙන ඔහු වැඩි වයසට එළඹෙන තුරු රාජ්‍ය පාලනය කිරීම සදහා සුදුසු යුවරාජ ලාමා වරයෙක් පත් කර ගැනීමයි. මෙය ජාතික මණ්ඩලය විසින් සිදු කරන ලදි. රාජ්‍ය මණ්ඩලයේ දිවැස් කීමේ තලතුනා ලාමාවරුන් විසින් මෙම පුනරුප්පත්තිය කොතැනක සිදු වූවා දැයි සොයා බැලීම ඊළඟ කර්තව්‍යයි.

මේ අනුව දලයි ලාමා තුමා මියගිය පසු උන්වහන්සේගේ සිරුර සිහසුනක වාඩිවී සිටින ආකාරයකට සකසා ලාෂා නුවර උන්වහන්සේගේ ගිම්හාන මාලිගය වන නොර්බුලිංකා ප්‍රාසාදයෙහි දකුණට මුහුණලා සිටින සේ තබන ලදි. දවස් කිහිපයකට පසු දැකගත හැකි වූයේ උන්වහන්සේගේ මුහුණ පෙරදිග දෙසට හැරී තිබෙන බවයි. ශරීරය තිබූ ශුද්ධ ස්ථානයේ ඊසාන දෙසින් තාරකාවක හැඩය ගත් හත්තක් හදිස්සියේ හටගත්තේ මේ අවධියේය. මේවායින් හා තව තවත් සලකුණු වලින් ගම්‍ය වූයේ දලයි ලාමාගේ නව උපත සෙවිය යුතු දිශාවයි.
13 වන දලයි ලාමා තුමා අවසාන කාලයේදී

1935 එනම් වනවරාහ වර්ෂයේදී යුවරාජ ලාමා ලාෂා නුවරට ගිණිකොණ දෙසින් සැතපුම් අනූවක් පමණ ඈතින් පිහිටි ඡොබොර්ගයාලි නම් ස්ථානයේ වන ලහමෝයි ලට්සො නම් ශුද්ධ විල කරා ගියේය. ඒ මෙම විල මගින් අනාගතය පිලිබඳ දර්ශනයන් දැකිය හැකි බව ටෙබෙට් ජනයා විශ්වාස කල නිසාවෙනි. දින කිහිපයක් එහි භාවනා කරමින් සිටි යුවරාජ ලාමා තුමාට දැකගත හැකි වූයේ 'අ,ක,ම' යන අකුරු තුන ද පච්ච ගලින් හා රන් වලින් තනන ලද පියස්සක් ඇති විහාරස්ථානයක් හා පච්ච උළුකැට සහිත පියස්සකින් යුතු නිවසක් ය. මෙම දර්ශනය පිලිබඳ විස්තරය කිසිවකු දැන නොගැනීම උදෙසා එහි සම්පූර්ණ විස්තරයක් ලියා එය රහසිගතව ආරක්ෂා කලේය. ඉන්පසු යුවරාජ ලාමා ද අනෙක් ඉහළ පෙළේ ලාමාවරුන් ද උත්සහ කලේ මෙම දර්ශනයෙන් දුටු ස්ථානය සොයා ගැනීමටයි.
ලහමෝයි ලට්සො විල

ශීත කාලයේදී දෙඛාම් ප්‍රදේශයට මෙම ලාමාවරුන් පැමිණි විටදී ඔවුන්ට කුම්බුම් විහාරස්ථානය දැනගත හැකි විය. එය දර්ශයයේ දුටු ආකාරයේ එකක්ම විය. එහි තක්සේර් ගමේදී පච්ච උළුකැට යෙදූ නිවසද දක්නට හැකි විය. එම නිවසට යාමට පෙර කණ්ඩායමේ නායකයා මෙම නිවසේ දරුවන් සිටින්නේදැයි සොයා බැලීය. එවිට ඔවුන්ට සොයාගත හැකි වූයේ අවුරුදු දෙකක් පමණ වයසැති දරුවෙක් එහි සිටින බවයි.
වර්තමාන දලයි ලාමා තුමා කුඩා කල ජීවත් වූ නිවස

මේ අනුව පෙර කණ්ඩායමෙන් දෙදෙනෙක්, සේවකයෙක් හා මගපෙන්වීම සදහා ප්‍රදේශවාසී නිලදාරීන් දෙදෙනෙක් එම නිවස කරා ගියේය. එහි යන විට සැබෑ නායකයා වූ ලාමාවරයා සේවකයෙක් මෙන් වෙස් වලාගෙන සිටි අතර උන්වහන්සේ කිවුත් සාං රින් පොකේ නම් විය. නායකයා ලෙස වෙස්වලාගත්තේ ලොසාං තිසෙවොං නම් නිළදාරියෙකි. නිවසට ඇතුළු වූ විට එහි මව හා පියා වෙස්වලාගත් නායකයා සැබෑ නායකයා ලෙස වරදවා හැදින නිවස තුලට පිලිගත්තේය. අනෙක් අය සේවකයන් සිටිනා තැනට යාමට විය. සැබෑ ලාමා වරයාට පලමු වතාවට කුඩා දරුවාව දැකගත හැකි වූයේ මේ අවස්ථාවාදීයි. එම ලාමා තුමා දුටු විගස, දරුවා ලාමා තුමා වෙත පැමිණ උකුලේ වාඩි විය. බැටළු හම් වලින් සාදනු ලැබූ වස්ත්‍රයකින් සේවකයෙක් මෙන් ලාමාවරයා සැරසී සිටි නමුත් ඔහු පැලැද සිටියේ දහතුන්වන දලයි ලාමා තුමා භාවිතා කල නා ගුණ වැලයි. දරුවා එම නා ගුණ වැල ඉල්ලූ පසු සැබෑ ලාමාවරයා , තමන් කවුරුන්දැයි පවසන්නේ නම් එය ලබා දෙන බවද පැවසීය. ඒ අනුව කුඩා දරුවා ලාමාවරයාව හා ලාමාවරයා මෙන් වෙස්වලාගත් නිලධාරියාව නම් වලින් පැවසීය.
වර්තමාන දලයි ලාමා තුමා කුඩා අවධියේදී

එදින මෙම කණ්ඩායම එම නිවසෙහි නතර වූ අතර පසුදින මොවුන් නිවසින් නික්ම යන්නට වන විට කුඩා දරුවාද ඔවුන් සමඟ යන්නට වුවමනා බව පැවසීය.

මෙතෙක් මෙම පිරිස පැමිණි කාරණය නිශ්චිතවම දරුවාගේ මව හෝ පියා නොදැන සිටියේය. දින කිහිපයකට පසු උසස් ලාමාවරුන් නිවසට පැමිණි පසු දෙමව්පියන්ට වැටහී ගියේ මෙය සැබවින්ම ලාමාවරයෙක්ගේ පුනරුප්පත්තියක් බවයි. මන්ද ටිබෙටයේ ලාමාවරුන්ගේ පුනරුප්පත්ති බොහෝ දෙනෙක් සිටි බැවිනි. දරුවාගේ වැඩිමහල් සහෝදරයා ද ලාමාවරයෙක්ගේ පුනරුප්පත්තියක් ලෙස සැලකුණි. දෙමව්පියන් මෙම කුඩා දරුවා දලයි ලාමාගේ පුනරුප්පත්තිය බවට කිසිවිට සිතුවේ නැත.
පුනරුප්පත්තිය ලැබූ දරුවාට පෙර භවයේ ලාමාවරයා භාවිතා කල වස්තූන් හදුනාගත හැකි බව ඔවුන් විශ්වාස කලෝය. මේ හේතුවෙන් මෙම කුඩා දරුවාටද එම ද්‍රව්‍ය පෙන්වා පරීක්ෂණයක් පවත්වන ලදි.
වර්තමාන දලයි ලාමා කුඩා කල

පලමුව පෙර දලයි ලාමා වරයා භාවිතා කල කළු නා ගුණ වැල සහ එයට සමාන තවත් නා ගුණ වැලක් ගෙන ලමයාට පෙන්වූ විට. හේ නිවැරදි එක තෝරාගත්තේය. ඉන්පසු කහ නා ගුණ වැල් දෙකක් ද සේවයන් කැදවීම සදහා භාවිතා කල බෙර දෙකක් ද සැරයැටි දෙකක් ද ලමයා හමුවේ තිබූ විට ඔහු නිවැරදිව පෙර දලයි ලාමාවරයා භාවිතා කල දෑ තෝරාගත්තේය. සැරයැටි දෙක ඉදිරිපත් කල විට ලමයා පලමුව තෝරාගත්තේ වැරදි සැරයැටියකි. ඉන්පසු ටිකකට පසු එම සැරයැටිය තබා අනෙක් සැරයැටිය තෝරාගත්තේය. ඉන්පසු පෙර සැරයැටිය නැවත ගෙන සැරයැටි දෙකම තෝරාගත්තේය. පසුව අනාවරණය වූයේ මුලදී තෝරාගත් සැරයැටිය පෙර දලයි ලාමාවරයා කලක් භාවිතා කර කිවුත්සාං රින්වොකේ නම් වෙනත් ලාමාවරයෙක්ට ලබා දුන් බවයි.


මූලාශ්‍ර:
1)තිබ්බතයේ බෞද්ධ මහා සංහාරය - ජස්ටින් විජයවර්ධන
2) https://en.m.wikipedia.org/wiki/Dalai_Lama
3) https://en.m.wikipedia.org/wiki/13th_Dalai_Lama
4) https://en.m.wikipedia.org/wiki/14th_Dalai_Lama


Monday, October 23, 2017

දිනෙන් දින දියවී යන වව්නියාවේ කොක්එළිය ගම්මානය

වව්නියා නගරයෙන් තරමක් ඈත්ව පිහිටි ගම්මානයකි කොක්එළිය ගම්මානය. කොක්කු සිටි වෙල් එළිය පසු කාලීනව කොක්එළිය වී ඇත. අවට ගම්මාන අතුරින් ඇති එකම සිංහල ගම මෙයයි. ගම්මානයේ සභාපති වන විමලසිරි මහතාගෙන් මා මෙම ගම්මානය කුමක්ද යැයි පලමුව විමසූ විට ඔහු පැවසුවේ "දවසෙන් දවස දියවෙලා යන නමට සිංහල ගමක්" කියාය.

සිංහල හා දෙමළ මිනිසුන් අතර ගැටුම් කිසිවක් මෙම ප්‍රදේශ තුල නැත. මෙම ප්‍රදේශයේ දෙමළ දරුවන් පන්සලේ දහම් පාසලට පවා පැමිණෙන බව ගමේ පන්සල වන ශ්‍රී බෝධිමළු විහාරයේ විහාරාධිපති කැලණියේ කාශ්‍යප හිමි කියා සිටියේය. උන්වහන්සේ මෙම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මීට වසර තුනහමාරකට පෙරයි. ඊට පෙර සිටි ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ යුද්ධ කාලයේදී කොටි ත්‍රස්ත්‍රවාදීන් විසින් පැහැරගෙන ගොස් ඇත.

 මෙය තනි ගම්මානයක් ලෙස සැලකුවද සැබවින්ම මෙහි ගම්මාන දෙකක් තිබේ. එකක් යුද්ධ කාලයට පෙර පටන්ම පැවතගෙන ආ පැරණි ගම්මානය වන අතර අනෙක රණවිරු ගම්මානයයි. පෙරදී මෙම ගම්මානය නමට සිංහල ගම්මානයක් ලෙස පැවසුවේ ගම්මානය තුල වැඩිමනක් දෙමළ ජනතාව සිටින බැවිනි. එයටද හේතුවක් තිබේ. රණවිරු ගම්මානයේ ඇති ඉඩම් හා නිවාස විවිධ පුද්ගලයන් විසින් ඒවා තමන්ගේ යැයි කියා තවත් පුද්ගලයන්ට කුණුකොල්ලයට විකුණා ඇත. සමහර ඉඩම් රුපියල් විසිදහස , පහලොස්දහස, හාරදහස හා පන්දහසට පවා විකිණී තිබීම ඛේදජනක සිද්ධියකි. එකල අදාල පුද්ගලයන්ට මුදල් මිටි මෙලවූ විට ඉඩමේ ඔප්පුව සකසා ගැනීමද අපහසු නොවීය. මේ ආකාරයෙන් ගම්මානයෙන් අඩකට අධික ප්‍රදේශයක ඉඩම් කොල්ලයක් සිදුවී තිබේ.

 මෙම ප්‍රදේශයේ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය යි. එනමුත් ජලය හිඟ කම නිසාවෙන් එයත් බොහෝදුරට අඩාල වී තිබේ. ලිං වලින් ජලය ලබා ගැනීමත් මෙම ප්‍රදේශය තුල සීමාකාරී වී ඇත්තේ වැඩිමනක් ප්‍රදේශ උස්ව පිහිටා ඇති බැවිනි. එමනිසා ලිඳක් අවම වශයෙන් අඩි 30 ක් හෝ 40ක් වත් හෑරිය යුතු වේ. එමනිසා නළලිං භාවිතය යෝග්‍ය වුවත් නළලිං ඇත්තේද පවුල් අතලොස්සකට පමණි.

  යුද්ධ කාලයේදී ප්‍රදේශයේ බොහෝ වැසියන් නොච්චියාගමට ගිය අතර ගමේ නතර වූ අයගෙන් දැනට ජීවත්ව සිටින්නේ එක් අයෙක් පමණි. ඔහුද දෙමළ අය සමග එම කාලයේ එකට සිටි නිසා පණනල රැක ගැනීමට හැකිවී තිබේ. ප්‍රදේශයට පලමු වරට විදුලිය ලැබුනේ 2011 වසරේදී ය. 2010 දී නැවත පදිංචි කිරීම සිදුවිය.
විමලසිරි මහතා

 ප්‍රදේශයේ දෙමළ දරුවන්ගේ අධ්‍යාපනය සදහා පාසල් කිහිපයක්ම ප්‍රදේශය තුලම පවතියි. එනමුත් සිංහල දරුවන්ගේ අධ්‍යාපනය සදහා වව්නියාව නගරයේ ඇති ගාමිණී මහා විද්‍යාලය වෙත යා යුතු වේ. 5 වසර තෙක් ඉගෙනීමට තවත් පාසලක්ද වව්නියාව නගරයේ තිබේ. කෙසේවෙතත් මැතකදී සිංහල දරුවන්ට ඉගෙනීමට පාසලක් ප්‍රදේශය තුල ආරම්භ කරන ලදි. අවාසනාවට කරුණ වන්නේ පාසලේ සිටින්නේ විදුහල්පති ඇතුලු ළමුන් 6 දෙනෙක් පමණි. ගම් වැසියන් අදාල ස්ථාන සියල්ලකටම පාහේ මේ බව දැන්වුවත් එම බලධාරීන්ගෙන් කිසිදු ප්‍රථිචාරයක් මේ වනතෙක් ලැබී නැත. ගම තුල බස්‍ රථ ධාවනයක් සිදු නොවන බැවින් වව්නියා නගරයේ පිහිටි පාසලට යෑමද දුෂ්කරයි.

වෛද්‍ය ක්ෂේත්‍රයෙන් දෙයකට කියා ගම තුල ඇත්තේ පන්සලේ ප්‍රථමාධාර පෙට්ටිය පමණි. ගම තුල රෝහලක් නැත. ෆාමසියක්වත් නැත. පෙරදී ගම්මානයට මාස දෙකෙන් දෙකට වෛද්‍යවරු දෙදෙනෙක් පැමිණියද ගමේ කිසිවෙක් ඔවුන් හමු වීමට නොයන ලදි. එමනිසා එම වෛද්‍යවරුද ගමට පැමිණීම නතර කරන ලදි.

 ප්‍රදේශයේ කෝවිල් දෙකක් ඇති අතර තවත් කෝවිලක් සෑදෙමින් පවතියි. ක්‍රිස්තියානි පවුල් කිහිපයක් සෑම ඉරිදාවකම ගමේ පිහිටි එක්තරා නිවසක රැස්වී ඉරිදා පූජාව සිදු කරයි. මේ සදහා පියතුමෙක්ද එම නිවසට පැමිණෙයි.

 වීදි ලාම්පු නොමැති නිසා රාත්‍රී කාලයේ ගමනාගමනය අතිශය දුෂ්කරයි. ගම්මානය වටේට පාරවල් ඇති අතර එයින් වටවූ ගම්මනයේ මධ්‍ය ප්‍රදේශයේ පාරවල් නැත. ඇත්තේ මිනිසුන් සාදාගත් අඩි පාරවල් පමණි.

 ගංජා භාවිතයට මෙහි තරුණයන් හා වැඩිහිටියන් ඇබ්බැහි වීම නිසා එය ප්‍රශ්න බොහොමයක මූලයක් වේ. මෙම ප්‍රදේශයේ පමණක් නොව මුලු වව්නියා ප්‍රදේශයම ගංජා උවදුර නිසා දිනෙන් දින පරිහානියට පත්වීම ඛේදජනකයි. [මේ පිලිබඳ වැඩි විස්තර පසුවට]

 අවසාන වශයෙන් කීමට ඇත්තේ ජාතිවාදී ගැටුම් කිසිවක් මෙම ප්‍රදේශයේ නොමැති අතර ඊට එහා ගිය ගැටලු බොහොමයක් තිබෙන බවයි. අදාල බලධාරීන්ගේ ඇස් ඇරේවා කියා මම මෙතැනින් නවතිමි. කොක්එළිය ගම්මානය පිලිබඳ තවදුරටත් විස්තර පසුව ලියන්නම්.

 ගම්මානය පිලිබඳ තොරතුරු ලබා ගැනීමට උදව් උපකාර කල විමලසිරි මහතාටත් වව්නියාවේ උප ප්‍රාදේශීය ලේකම් සාරධා මහත්මියටත්  කොළඹ දියෝකීසියේ සාමය හා සමඟි කිරීම පිළිබඳ කාර්යංශය සමඟ ජාතික සහජීවනය සදහා වූ තරුණ සංවාද මණ්ඩපයටත් තරුණ කණ්ඩායමටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.


Sunday, October 15, 2017

උඩරට ගිවිසුම ප්‍රතික්ෂේප කල නුවරවැවේ දිසාව

1815 වසරේ මාර්තු මස 2 වන දින මහනුවර රජවාසලේ මඟුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කිරීම ලංකා ඉතිහාසයේ වැදගත් සිද්ධියක් විය. මන්ද එමගින් ලංකාව බ්‍රිතාන්‍යයේ කිරීටය යටතට පත් වීමයි.

 ගිවිසුම අත්සන් තබන දිනයේ මගුල් මඩුව සිංහල හා ඉංග්‍රීසි ඉහළ ම ප්‍රභූවරුන්ගෙන් පිරී පැවතුණි. සිංහල ප්‍රභූවරුන් තම අගනා ඇදුම් ආයිත්තම් වලින් සැරසී එක් පැත්තක අසුන් ගෙන සිටි අතර රොබට් බ්‍රවුන්රිග් ඇතුලු අනෙක් ඉංග්‍රීසි ප්‍රධානීන් අනෙක් පස අසුන් ගෙන සිටියහ.

 මෙම ගිවිසුම වගන්ති 12කින් සමන්විත වූ අතර එය ප්‍රථමයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කියවන ලදි. දෙවනුව එය සිංහල භාෂාවෙන් පවසන ලද්දේ මිල්ලව දිසාව විසිනි. මෙම ගිවිසුම අත්සන් කිරීමට එක් අයෙකු හැර අනෙක් සියලුම දෙනා සහභාගි වී සිටියෝය. ගිවිසුම අත්සන් කිරීමට නුවරවැවේ දිසාව උත්සව සභාවේ සිටියේ නැත. මෙය පුදුමයටත් , රදළවරුන්ගේ දෝෂාරෝපණයටත් ලක් විය.

 ගිවිසුම සම්පූර්ණ වීමට නම් නුවරවැවේ දිසාවගේ අත්සන අත්‍යවශ්‍ය විය. නැතහොත් එය සම්පූර්ණ නොවේ.[ගිවිසුම මාර්තු 2 දින අත්සන් නොකල අතර එදින සිදුකලේ ගිවිසුම කියවීම පමණි. පලමු හත් දෙනා අත්සන් කලේ මාර්තු 10 වනදා ය.] මේ හේතුවෙන් රොබට් බ්‍රවුන්රිග් ඉතා කෝප වූ අතර තමන්ට නියමිත බලතල ලැබීමට පෙර බලතල ක්‍රියාත්මක කළේ ය. ඔහු විශේෂ රාජ ආඥාවක් නිකුත් කරමින් නුවරවැවේ දිසාව ව අල්ලා ගැනීමට හමුදාව නුවර කලාවියට පිටත් කර හැරීය.

 ඔහුගේ අත්සන නොමැතිව ගිවිසුම සම්පූර්ණ නොවන නිසා මහ අදිකාරම් ඇහැලේපොළගේ අදහස් මත ගලගොඩ විජේසුන්දර රාජපක්ෂ මුදියන්සේ ව නුවර කලාවියේ දිසාවේ බවට පත් කර ගිවිසුමට ඔහුගේ අත්සන ලබා ගත්තේය. ජෝන් ඩොයිලිගේ නිර්දේශ මත 1818 වසරේ සැප්තැම්බර් මස 25 වන දින විශේෂ රාජ ආඥාවක් මගින් නුවරවැවේ දිසාවගේ බලතල හා තනතුරු අහෝසි කරන ලදි.

 නුවර කලාවිය උඩරට රාජධානියේ ආරක්ෂක කලාපයක් වූ අතර එහි ගිය ඉංග්‍රීසි හමුදාවන්ට නුවරවැවේ දිසාව ව අල්ලා ගැනීමට නොහැකි විය. මන්ද එම ප්‍රදේශයේ සිටි ජනතාව ඉංග්‍රීසීන්ට උදව් නොකල බැවිනි.

 ඉංග්‍රීසීන් යටතේ මුහන්දිරම් තනතුරක් දැරූ කොරනේලිස් ආබෲ නැමැති පහතරට සිංහල පුද්ගලයෙකු විසින් හොර රහසේ සංවිධානය කල ජා සේනාංකයක් විසින් 1819 වසරේ මාර්තු මස 15 වන දින නුවරවැවේ වලව්වේදී නුවරවැවේ දිසාව ව අතඩංගුවට ගන්නා ලදි. තමන්ට වල කපන්නේ පිට අයම නොව තමන් අසලම සිටින අයයි.

Wednesday, October 11, 2017

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණාව වාදනය කලා ද?

 ක්‍රි.ව. 64 දී ජූලි මසදී දින හයක් මුළුල්ලේ රෝමය ගින්නකට මැදි විය. මෙමගින් නගරයෙන් 70%ක් පමණ විනාශ වූ අතර නගර වැසියන්ගෙන් අඩකට වඩා නිවාස අහිමි විය. මෙම සිදුවීම සම්බන්ධව සම්බන්ධ සුප්‍රකට කරුණ නම් , එකල රෝම අධිරාජ්‍යයා වූ නීරෝ රෝම නගරය ගිනි ගන්නා විට වීණාව වාදනය කල බවයි. අප මෙයට වීණාව යැයි කීවද ඔහු වාදනය කලා යැයි පැවසෙන්නේ ෆිඩලය [Fiddle] යි.

 මෙම කියමන බහු අර්ථයෙන් යෙදේ. මෙයින් කියැවෙන්නේ තමන්ගේ මිනිසුන් විඳවන විට නිරෝ ගීත වාදනය කලා පමණක් නොව මෙවැනි හදිසි අවස්ථා වලදී සාර්ථක ලෙස ක්‍රියා කිරීමට නීරෝ දක්ෂ පාලකයෙක් නොවන බවයි. ඉතිහාසයේ සිටි කෲර පාලකයන් අතරට නීරෝගේ නමත් ඇතුලත් වන බැවින් මෙම සිදුවීමට නීරෝ චෝදනා ලැබීම පුදුමවිය යුතු නැත. කෙසේවෙතත් මෙම වීණා වාදනය කිරීම සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන්ද ගැටළු කිහිපයක් පැන නැගේ.

 නීරෝ වාදනය කලා යැයි පැවසෙන ෆිඩලය පුරාණ රෝමය තුල භාවිතා වූයේ නැත. මන්ද එම සංගීත භාණ්ඩය නිමැවුනේ 11 වන ශතවර්ෂයේ දී බැවිනි. නීරෝ යමක් වාදනය කලා නම් එය සිතාරය විය යුතුයි. එනමුත් එයටවත් නිශ්චිත කිසිදු සාධකයක් නැත. රෝම ඉතිහාසඥයෙක් වන ටැසිටස් , රෝමය ගිනි ගන්නා විට නීරෝ ට්‍රෝයි නුවර විනාශ වීම පිලිබඳව ගායනා කල බව රාවයක් පැතුරුණු බව ලියා තිබේ. එනමුත් ඔහු තවදුරටත් පවසා සිටින්නේ මෙය සම්බන්ධයෙන් ඇහින් දුටු කිසිවෙක් නැති බවයි.

 රෝමය ගිනි ගන්නා විට නීරෝ සිටියේ රෝමයට හැතැප්ම 35ක් පමණ දුරින් පිහිටි ඇන්ටියම් හි ය. සමහරු විශ්වාස කලේ මෙම ගින්න නීරෝ විසින් හිතාමතාම ඇතිකල එකක් බවයි. මන්ද රෝම නගරයේ තමන්ගේ රත්තරන් මාලිගය සාදා ගැනීමට ඉඩ සලසා ගැනීමටයි.

 මෙම ගින්න සදහා නීරෝ විසින් ක්‍රිස්තියානි පුද්ගලයින්ට චෝදනා කරන ලදි. [එකල ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් එතරම්ම ප්‍රචලිත ආගමික කණ්ඩායම් නොවීය] බොහෝ ක්‍රිස්තියානීන් අල්ලා මරණයට පත් කරන ලදි. මෙවැනි බොහෝ දේවල් වලට වරදකරු වූ නීරෝට මෙවැනි කටකතාවක් සෑදීම ඉතා පහසු දෙයකි. එනම් රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණාව වාදනය කලා යන්න අයත් වන්නේ සුප්‍රකට පුරාවෘත ගණයට මිසක් සත්‍ය ඉතිහාස කතා ගණයට නොවේ.


මූලාශ්‍ර:
1) http://amp.history.com/news/ask-history/did-nero-really-fiddle-while-rome-burned
2) http://www.ancient-origins.net/history-famous-people/did-nero-really-fiddle-while-rome-burned-001919
3) http://history.howstuffworks.com/history-vs-myth/nero.htm
4) https://www.britannica.com/amp/demystified/did-nero-really-fiddle-as-rome-burned





Tuesday, October 10, 2017

යුද්ධයේදී තුවක්කු භාවිතය ප්‍රථික්ෂේප කල සෙබලා


1942 අප්‍රේල් මස 1 වනදා ඩෙස්මන්ඩ් ඩොස් ඇමරිකානු හමුදාවට බැදුනේය. වසර තුනකට පසු ධවල මන්ධිරය ඉදිරිපිට සිට තමන්ගේ වීර ක්‍රියාව නිසා පුද්ගලයෙක් ලැබිය හැකි රටේ ඉහලම සම්මානය ලබා ගනු ඇතැයි ඔහු හීනෙන්වත් නොසිතන්නට ඇත. දෙවන ලෝක යුද්ධය අතරතුර සේවය කල මිලියන 16 කට අධික සෙබලුන් අතරින් “Medal of Honor” පදක්කම ලැබුනේ පුද්ගලයන් 431 දෙනෙක්ට පමණි. මේ පදක්කම් අතරින් පදක්කමක්, යුද්ධයෙදී එකදු සතුරු සෙබලෙකුවත් නොමැරූ seventh day Adventist කෙනෙකුගේ බෙල්ල මත පැලදවීය. ඔහු යුද්ධයට තුවක්කුවක් රැගෙන යාම ප්‍රතික්‍ෂේප කළේය. ඔහුගේ ආයුධය වුයේ බයිබලය හා දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලයි.

හිටපු ඇමරිකානු ජනපති Harry S. Truman, කෝප්‍රල් ඩෙස්මන්ඩ් තෝමස් ඩොස්ට අතිනත දී ධවල මන්දිරය ඉදිරිපිටදී 1945 ඔක්තෝබර් 12 වන දින පැවසුවේ මෙසේය. “ මම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබට මෙය ලැබිය යුතුයි. ජනාධිපති කෙනෙකු විමට වඩා මේක විශාල ගෞරවයක්.” තරුණ ඩෙස්මන්ඩ්ට මේ තත්වයට පැමිනීමේ ගමන් මාර්ගය ඉතා අභියෝගාත්මක එකක් විය.

ඔහුට යුද්ධයෙදී ඉදිරිපෙළ සිට තම ජීවිතය පරදුවට තබමින් සේවය කිරිමට කැමැත්තෙන් සිටියේ ය. ඔහු තමන්ගේ ඇදහිලි නිසා ආයුධයක් යුද්ධයට රැගෙන යාමට ප්‍රතික්ෂේප කළේය. ඔහුට අවශ්‍ය වුයේ යුද්ධය අතරතුර සේවය කරන වෛද්‍යවරයෙක් වීමට ය. එනමුත් ඔහු අනුයුක්ත වුයේ රයිෆල් කාණ්ඩායමකටය. ඔහු තුවක්කුවක් භාවිතා කිරිමට ප්‍රතික්ෂේප කිරීම ඔහුත් සමග සිටි සොල්දාදුවන්ගෙන් ඔහුට වූ බොහෝ කරදර වලට හේතු විය. බැරක්කයේ තමන් සමග සිටි පුද්ගලයෙක් ඩෙස්මන්ඩ් ට මෙසේ පැවසුවේ ය. “ ඩොස්, අපි යුද්ධෙට ගියාට පස්සේ ඔයාට ආපහු පණපිටින් එන්න බැරිවෙන විදිහට මම වගබලාගන්නන්.” මේ අකාරයෙන් ඔහුට බොහෝ කරදර සිදුවිය. ඔහුගේ අණදෙන නිලධාරියා පවා ඔහුගෙන් නිදහසක් ලබා ගන්නේ කෙසේදැයි බල බලා උන්නේය. සියලු දෙනා සිතුවේ තුවක්කුවක් අතේ රහිත සෙබළෙකුගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවයි.

ඔවුන් ඩෙස්මන්ඩ්ට බොහෝ හිරිහැර කල අතර වැඩිපුර රාජකාරි පැවරුවේය. තුවක්කුවක් භාවිතා කරන්න යැයි ඔහුගේ අණදෙන නිලදාරියා පැවසුවද ඩෙස්මන්ඩ් එම අණ තැකුවේ නැත. තම අණදෙන නිලදරියගේ අණ නොතැකූ නිසා ඔහුව අධිකරණය ඉදිරියටද රැගෙන ගියේය. එනමුත් එයින් පලක් නොවීය. ඩෙස්මන්ඩ් ආගම දහමට ඉතා ලැදි අයෙක් විය. ඔහු දස පනත නියමාකාරයෙන් ප්‍රායෝගික ජීවිතයෙදී ක්‍රියාත්මක කළේය. කුඩා කල ඩෙස්මන්ඩ් තම සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටිනා අතරතුරදී ඔහු අතින් සහෝදරයාට පහරක් වැදී මියයන තත්වයට ගියේය. කෙසේ වුවත් ඔහු මියගියේ නැත. එසේ වූ අවස්ථාවේ ඩෙස්මන්ඩ් කෙලින්ම ගියේ නිවසේ එල්ලා තිබු දස පනත ඉතා අලංකාරවත්ව ලියා තිබු පෝස්ටරය දෙසටය. “මිනී නොමරන්න” යනු එහි එක් පනතකි. එය දුටු කුඩා ඩෙස්මන්ඩ් සිතුවේ තමන් විසින් දස පනතින් එක පනතක් කැඩු බවයි. එතැන් පටන් දස පනත අකුරටම ක්‍රියාත්මක කිරීමට ඩෙස්මන්ඩ් ඉටා ගත්තේය. “සබත් දවස ශුද්ධ කොට පවත්වන්න” යනු දස පනතෙන් එක පනතකි. හමුදාවේ පුහුණුවීම් කරන අතරතුරදී සෑම ඉරිදාවකම පල්ලි යෑමට ඔහු තම නිලදාරින්ගෙන් අවසර ඉල්ලා සිටියේ ය.

 ඩෙස්මන්ඩ් GUAM, LEYTE සහ OKINAWA හි සටන් වලට සහභාගී විය. තමන් සමග සිටින උදවිය ජිවිත විනාශ කරන අතරතුර ඔහු සිදුකලේ ජිවිත රැක ගැනීමය. තුවාල ලැබූ සෙබලෙක් උදව් ඉල්ලු සැනින් ඩෙස්මන්ඩ් වහාම එතනට දිව ගියේය. ඔහු සැමවිටම තමන්ගේ ජිවිතයට වඩා අනික් අයෙගේ ජීවිතය ගැන සිතුවේය. බොහෝ අවස්ථා වලදී ඔහු සතුරු හමුදා අසලටම ගොස් තුවාලකරුවන්ට ප්‍රතිකාර කළේය. ඔහුට සතුරු සෙබලුන් [ජපනුන්] මුමුණන හඩ පවා ඇසුණු බව වරක් ඔහු පවසා තිබුණි.

 1945 මැයි මස ලෝකයේ එක් කොනක ජර්මානු හමුදාව යටත් විය.  ඒ අතරතුර ජපන් හමුදාව සීග්‍රයෙන් පසුබසිමින් සිටියෝය. ජපන් හමුදාවට පසුබැසීමට ඉතිරිව තිබුනේ ඔකිනාවා හා මෙයිඩා මොහොර පමණි. ඩෙස්මන්ඩ් සමඟ සිටි කණ්ඩායම මෙයිඩා මොහොර අල්ලා ගැනීමට සැරසුණෝ ය. මේ සදහා ඔවුන්ට විශාල පර්වතයක් මුදුනට නැගීමට සිදුවිය. එසේ පර්වතය මුදුනට ගිය පසු ඇමරිකානු හමුදා පුදුම කරවමින් ජපන් හමුදාව ක්ෂණයෙන් ප්‍රහාර දියත් කරන්නට පටන් ගත්තෝය. ඇමරිකානු හමුදාවට පසුබැසීමට අණ ලැබුනු අතර එක් පුද්ගලයෙකු හැර අනෙක් සියලු දෙනා විශාල පර්වතයෙන් බැසීම සදහා දිව යන ලදි. කණ්ඩායමෙන් තුනෙන් එකකට සාර්ථකව පසුබැසීමට හැකි වූ අතර අනෙක් සියලුම දෙනා පර්වතය මුදුනේ තුවාල ලැබ මරණය පෙනි පෙනී සිටියෝය. මේ අතරතුර පසුබැසීම ප්‍රතික්ෂේප කල සෙබලා එනම් ඩෙස්මන්ඩ් ඩොස් තමාට හැකි උපරිමයෙන් තුවාල ලැබූ සෙබලුන්ව බේරා ගැනීමට ක්‍රියා කරන ලදි. තමන්ගේ ජීවිතය ගැන නොසිතා තම සහෝදර සෙබලුන්ගේ ජීවිත රැක ගැනීමට කල මේ ක්‍රියාව නිසා 1945 මැයි 5 වන දින මරණයට කැපව සිටි සෙබලුන් 75කගේ ජීව්ත ගැලවුණි.

 වැඩිකල් යාමට පෙර මෙම ස්ථානය ඇමරිකානුවන් විසින් අල්ලා ගත් අතර දින කිහිපයකට පසු රාත්‍රියක අසාර්ථක වැටලීමකින් ඩෙස්මන්ඩ්ට බරපතල ලෙස තුවාල විය. බංකරයක සැඟවී සිට එල්ල කරන බෝම්බයක් නිසාවෙන් ඔහුගේ ඉන ප්‍රදේශයේ සිට කකුල දක්වා ඉරුණි. ඩෙස්මන්ඩ් තමන්ට හැකි අයුරින් තමන්ටම ප්‍රථිකාර කරගත් අතර ආරක්ෂාව සදහා ස්ථානයකට යාමේදී ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් ඔහුගේ අතර වෙඩි තබන ලදි.

යුද්ධයෙන් පසු Medal of Honor පදක්කමට අමතරව ඩෙස්මන්ඩ්ට බොහෝ පදක්කම් ලැබුණි. මෙම Medal of Honor පදක්කම දීම ආරම්භ කරන ලද්දේ 1862 වසරේ ඒබ්‍රහම් ලින්කන් විසිනි. 1862 වසරේ මෙහි සියවස් සංවත්සරයේදී ධවල මන්දිරයේ පැවති උත්සවයේදී උත්සව සභාව ඇමතීමට විශේෂ අවස්ථාවක් උදා කරගන්නා ලදි.

 ඩෙස්මන්ඩ් 1946 දී හමුදාවෙන් ඉවත් වීමට පෙර ක්ෂය රෝගය වැලදෙන ලදි. ඉන් වසර හයක පමණ කාලයක් ඩෙස්මන්ඩ් රෝහල තුල ගතකල අතර පසුව ඔහුගේ වම් පෙනහැල්ල ඉවත් කිරීමට පවා සිදුවිය. එක් පෙනහැල්ලකින් ජීවිතයේ ඉතිරි කාලය ඉතා අපහසුවෙන් ගත කල ඩෙස්මන්ඩ් 2006 මාර්තු 23 වන දින මරණය වැලඳ ගත්තේය.

මූලාශ්‍ර:
1) https://en.m.wikipedia.org/wiki/Desmond_Doss
2) https://desmonddoss.com/bio/bio-real.php
3) http://www.telegraph.co.uk/films/0/mel-gibsons-hacksaw-ridge-the-extraordinary-true-story-of-desmon/amp/
4) http://people.com/movies/the-true-story-of-hacksaw-ridge-and-desmond-doss-the-medal-of-honor-winner-who-never-fired-a-shot/amp/

Tuesday, October 3, 2017

මැරෙන තුරු වයසට නොගිය Sex මුදලාලි



 අන් කවරෙකුටවත් වඩා ලෝකය ලිංගිකත්වය කරා නැඹුරු කල පුද්ගලයා මොහුයි. මෑතකදී සමාජ ජාලා මාධ්‍ය තුලින් මොහු පිලිබඳව බොහෝ කතා බහකට ලක් වූයේ පසුගිය සැප්. 27 වනදා වසර 91ක් ආයු වදාළා මිය ගිය බැවිනි. මොහු අන් කවරෙකුවත් නොව සුප්‍රකට ප්ලේබෝයි සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් ය.

 1953 දී ප්‍රථම ප්ලෙබෝයි සඟරාව එළිදැක්වුයේ කවරයේ සුරූපී මැරිලින් මොන්රෝගේ නිරුවත් රූපකාය සහිතවයි. නෑදෑයින්ගෙන්, යහළුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද මුදල් මෙන්ම තමා ඉතුරු කල මුදල්ද එකතුකර යාන්තම් ඩොලර් 8000ක් සාදා ගත්තේ සඟරාවේ පලමු මුද්‍රණය සඳහායි. පලමු කලාපයේදී හියු තම නම හෝ දිනය සඟරාවේ සදහන් නොකලේ මෙහි දෙවන කලාපයක් පල නොවේ යැයි සිතූ බැවිනි. එනමුත් ඔහු සිහිනෙන්වත් නොසිතූ අයුරින් ඩොලර් සත 50 බැගින් පිටපත් 54000ක් පලමු කලාපයේම අලෙවි විය. නිරුවත් ඡායාරූප පාඨකයන්ගේ සිත් තදින් ඇඳබැඳ ගත්තෝය.

 පලමු කලාපයෙන්ම ඉතා ජනප්‍රියත්වයට පත් මෙම සඟරාවේ තම ඡායාරූප පල කරවා ගැනීමට සුරූපී කාන්තාවන් හියු හමුවීමට වැල නොකැඩී ආවෝය. මුලදී 'ස්ටැග් පාර්ටි' ලෙස සඟරාව නම් කිරීමට සිතා සිටියත් තම මිතුරෙකුගේ ඉල්ලීම මත එය 'ප්ලේබෝයි' ලෙස වෙනස් විය. සඟරාවේ දෙවන කලාපයට චිත්‍ර ශිල්පියෙකු විසින් බෝ ටයි පටියක් පැළඳ සිටින කාටුන් හාවෙකු ඇඳ දුන්නේය. මෙය ප්ලේබෝයි සඟරාවේ නිල සංකේතය බවට පත්විය.

 ආරම්භක අවධියේදී පටන් මෙම සඟරාව ලිංගිකත්වය හා හාස්‍යට පමණක් නොව සාහිත්‍ය, දේශපාලනය හා විවිධ සංස්කෘතීන් සඳහාද ඉඩකඩ වෙන් කරන ලදි. රේ බ්‍රැස්බරි, චාර්ල්ස් බියර්මවුන්ට්, ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සහ මාගරට් ඇට්වුඩ් වැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් විසින් ලියන ලද කෙටි කතා ආදිය මෙම සඟරාවේ පල විය.

 එමෙන්ම මැල්කම් එක්ස් (1963), මාර්ටින් ලූතර් කිං (1965), ජෝර්ජ් ලින්කන් රොක්වෙල් (1966) වැනි අයගේ සම්මුඛ සාකච්ඡා පවා මෙම සඟරාවේ පලවිය.

 හෙෆ් විසින් 'Playboy's Penthouse' නමින් රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවූ අතර එය කළු ඇමරිකානුවන් , සුදු ඇමරිකානුවන් හා ප්‍රේක්ෂකයන් එක්ව සාමූහිකව කල ප්‍රථම රූපවාහිනී වැඩසටහන ලෙස ඉතිහාසයට එක්විය. හෙෆ් වර්ගභේද වාදයට එරෙහිව ප්‍රභලව හඬනැගූ අතර ලිංගික නිදහස පිලිබඳවද බෙහෙවින් කතාබහ කළේ ය.

 වසර 64කට පෙර හෙෆ් තම කෑම කාමරයේ සිට තනිවම සම්පාදනය කල ප්ලේබෝයි සඟරාව වර්තමානය වන විට ලොව ප්‍රමුඛ සන්නාම නාම අතර වෙයි. එමෙන්ම වැඩිම විකිණුම් ප්‍රමාණයර මෙය හිමිකම් කියන අතර රටවල් 20කට අධික ප්‍රමාණයක මෙම සඟරාව මුද්‍රණය කර බෙදා හරිනු ලබයි. ප්ලේබෝයි සඟරාව වසරකට ඩොලර් බිලියනයකට අධික ආදායමක්ද ලබයි. වර්ගයා බෝ කිරීම සඳහා මනුෂ්‍යයාට ස්වභාවධර්මයා විසින් දෙන ලද අයිතිවාසිකම් ඉතාම හොදින් වෙළදාම් කල ලොව ලොකුම කාම වෙළෙන්දා ඔහු බව ලෝකයා පවසයි. ස්පේබෝයි සඟරාවේ ඉලක්කා වයස 18-35 අතර තරුණයන් වුවත් ඊතලය නිතරම ගොස් ඇනෙන්නේ හැට පිනූ සරාගි මහල්ලන්ටය. ඉතාම නරක තත්ත්වය වන්නේ හියු හෙෆ්නර්ගේ දියණියක වන ක්‍රිස්ටි හෙෆ්නර් 1975 දී මේ සඟරාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවයට පැමිණීමයි. 1988දී ඇය සමාගමේ සභාපතිනියය. ඔවුන්ට උතුරන්නට සල්ලි තිබේ. ඒ මුදල් සියල්ල තරුණයන්ට හා මහල්ලන්ට රාගය විකුණා උපයාගත් මුදල්ය.

 හෙෆ් තම ජීවිත කාලය පුරාවට නොයෙක් සම්මානයන්ට පාත්‍ර විය. ඒ අතර ඇමරිකාවේ සඟරා ප්‍රකාශකයින්ගේ ඉහලම සම්මානය වන හෙන්රි ජොන්සන් ෆිෂර් සම්මානයද වේ.

 1926, අප්‍රේල් මස 9 වන දින චිකාගෝ හිදී හියු මාර්ස්ටන් හෙෆ්නර් උපත ලැබීය. පියා ගණකාධිකාරිවරයෙක් වූ අතර මව ගුරුවරියකි. හෙෆ් හැදී වැඩුනේ දැඩි ප්‍රොතෙස්තන්ත ආගමික නීති රීති යටතේය.

 "ඒ කාලේ මත්පැන් බොන්න බෑ, දුම් බොන්න බැහැ, පරුෂ වචනයෙන් කතා කරන්න බැහැ, ඉරිදට චිත්‍රපටයක් බලන්න යන්න බැහැ. මේවයින් ගොඩක්ම නරක දේ තමයි ලිංගිකත්වය කෙරෙහි එයාලා දක්වපු ආකල්පය, එය ඉතා භයානක හා කොයිම වෙලාවකවත් සදහන් නොකල යුතු දෙයක් විදිහටයි එයාලා සැලකුවේ." යැයි හෙෆ් විසින් 1962 දී ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පැවසුවේය.

 දෙවන ලෝක යුද්ධ සමයේ හමුදාවේ සේවයෙන් අනතුරුව 1949 දී හෙෆ් ඉලිනොයිස් හි විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිලිබඳ උපාධියක් ලබා ගත්තේය. පසුව ඔහු විවිධ සඟරා වල මුද්‍රණ කටයුතු සම්බන්ධ රැකියා වල නිරත වූ අතර එම කාලයේදී කාටුන් චිත්‍ර ශිල්පියෙක් වීමටද ආශාව ඇතිව පුහුණුවීම් කලේය.

 1949 වසරේදී හෙෆ් මිලී විලියම්ස් නම් කාන්තාවව විවාහ කර ගත්තේය. විවාහයට පෙර, තමාට වෙනත් පුර්ෂයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇති බව ඇය හෙෆ් සමග පැවසුවද විවාහය නතර නොවීය. මෙම දෙපළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1959 දී දෙදෙනා දික්කසාද වූ අතර හෙෆ් පවසා සිටියේ ඔහු නැවත කවරදාකවත් විවාහ නොවන බවයි.

 70 හා 80 දශක වලදී බාර්බි බෙන්ටන් නම් නිරූපණ ශිල්පිණිය සමඟ හෙෆ් සබඳතා පැවැත්වුවද දෙදෙනා විවාහ වූයේ නැත. එනමුත් 1989 දී හෙෆ් වයස අවු. 26ක් වූ කිම්බර්ලි කොන්රඩ් නම් නිරූපණ ශිල්පිණිය සමඟ විවාහ විය. එවිට ඔහුගේ වයස අවු. 63කි. මෙම දෙපලටත් දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර 1998දී හෙෆ් ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට තීරණය කළේ ය. 2010 දී දික්කසාදය ලබා ගත්තේය. 2012 වර්ෂයේදී හෙෆ් නවතත් විවාහ වූ අතර බිරිඳ නිරූපණ ශිල්පී ක්‍රිස්ටල් හැරිස් ය. එවිට හෙෆ්ගේ වයස 86ක් වූ අතර ඇයගේ වයස 26කි.

 1994 දී ලොස් ඇන්ජලීස් හිදී හෙෆ් තමාගේ ප්‍රථම විවාහය පිලිබඳ මෙසේ කියා සිටියේය;

"එදා මගේ හිත සම්පූර්ණයෙන්ම විනාශ වුනා. එදායින් පස්සේ මගේ ජීවිතයේ වුන සිදුවීම් වලට මේ සිද්ධිය මොනයම් හෝ ආකාරයකින් ප්‍රභලව බලපෑවා."

 -ඩියෝන් මිතිල ප්‍රනාන්දු
අඟහරුවාදා මව්බිම පුවත්පත
යං අතිරේකය
3/10/2017

Thursday, September 28, 2017

බාබෙල් කොත

බයිබලයේ උප්පත්ති පොතේ සදහන් කතා අතුරින් තරමක් ආන්දෝලනාත්මක කතාවකි බාබෙල් කොත පිලිබඳ කතාව. මෙම කතාන්දරය නොදන්නා අයගේ දැනගැනීම උදෙසා එය කෙටියෙන් මා සදහන් කරන්නම්.

 මුළු පොලොවෙහිම තිබුනේ එකම භාෂාවක් හා කතා කරන ක්‍රමයකි. මෙම මිනිසුන් පිරිස පොලොව පුරා පැතිර නොයන පිණිස එක්තරා ගොඩනැගිල්ලක් අහස උසට සාදන ලදි. මෙය බාබෙල් කොත නම් විය. ඉන්පසු මිනිසුන් සාදන ලද මෙම කොත බලනු පිණිස ස්වාමින්වහන්සේ පොලොවට වඩින ලදි. මෙම මිනිසුන් සියලු දෙනා එකම භාෂාවක් කතා කරමින් එකම තැනකට වී සිටිනා නිසා ස්වාමින්වහන්සේ මෙම සෙනඟගේ භාෂාව අවුල් වියවුල් කළේ ය. ඒත් සමඟම මොවුන් මෙම නුවර සෑදීම අත්හැර පොලොව පුරා විසිරී ගියෝය. මේ බයිබලයේ සදහන් කතාවේ සාරාංශයයි. [උප්. 11: 1-9]

 බයිබලයේ පැරණි ගිවිසුමේ උප්පත්ති පොතේ සදහන් කතාන්දර වල මූලය පැමිණෙන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙනි. මෙම ග්‍රන්ථ ලියුවේ ආබ්‍රහම්ගේ පෙළපතෙනි. ආබ්‍රහම් යනු සුමේරියාවේ ඌර් සිට කානාන් දක්වා සංක්‍රමණය වූ අයෙකි. මේ පිලිබඳව පෙර ලිපියකදී ද මා සදහන් කර තිබේ.

 මෙම සිදුවීම සිදුවන අවධියේදී මෙසපොතේමියාව අවට බාබෙල් නම් නගරයක් තිබුනේ නැත. Berossus වැනි බැබිලෝනියානු පූජකවරු හා බයිබල් සම්පාදක පූජකවරු එරිදු නගරය හදුන්වා ඇත්තේ බාබෙල් ලෙසයි. එරිදු හා බැබිලෝනියාව යන නගර දෙකම කීලාක්ෂර වලින් ලියනු ලබන්නේ නුන් කි ලෙසයි. පසුකාලීනව මෙය ශබ්ද කර ඇත්තේ බාබෙල් ලෙසය.
Lucas Van Valckenborch විසින් අඳින ලද බාබෙල් කොතෙ හි චිත්‍රයක්. [ඇති සීමිත මූලාශ්‍ර උපයෝගී කරගනිමින් උපකල්පනද ඇතුලත් කර අඳින ලද චිත්‍රයකි] (1568)

 බයිබලයේ සදහන් නිම්රොඩ්ගේ සුමේරියාවේ පාලන ප්‍රදේශ ලෙස දක්වා ඇත්තේ බාබෙල් හා ඌරුක් ය. එනම් එරිදු හා ඌරුක් ය. එකල එරිදු නගරය ආගමික අතින් විශාල වැදගත්කමක් ඉසුලූ නගරයකි. සුමේරියාවේ බොහෝ පෙදෙස්වල සිට වැසියන් උත්සව වලට එරිදු නගරයට රැස් වූහ. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මුල් අවධියේදී තිබුනේ ආගමික පාලනයකි. ක්‍රමක්‍රමයෙන් මෙම පාලනය රජ කෙනෙකු යටතේ කේන්ද්‍රගත වීමට පටන් ගත්තේය. මෙම ශිෂ්ටාචාරය තුල ඉදිකෙරුණු මුල්ම දේව්ස්ථානය පිහිටියේ එරිදු නගරය තුලයි. මෙය ඉදිකිරීමට යොදාගත්තේ නොපිලිස්සූ ගඩොල් නිසා කල් පැවතුනේ නැත. එමනිසා දේවස්ථානය කැඩෙන කැඩෙන වාරයක් පාසා එය මතම නව දේවස්ථාන සෑදු බවට සලකුණු තිබේ. ආසන්න වශයෙන් හය වතාවක්වත් දේවස්ථානය පිහිටි ස්ථානයේම නැවත දේවස්ථානය ගොඩනගා තිබේ.

 සුමේරියානු ශිෂ්ටාචාරයේ ඉතිහාසය බලන විට එන්මකාර් නම් රජතුමා විසින් මෙම එරිදු හි පිහිටි දේවස්ථානය අති විශාලව සාදා ඇත. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ මෙම දේවස්ථානය සුමේරියාවේ බොහෝ තැන්වල දක්නට තිබූ සිගුරාට් ආකාරයේ දේවස්ථානයක් නොවන බවයි. මෙම එන්මකාර්, බයිබලයේ එන නිම්රොඩ් ලෙස අපට හදුනාගත හැකියි.[මේ පිලිබඳව පෙර ලිපියකදී සදහන් කර තිබේ. පසුව වැඩි විස්තර සහිතව මේ පිලිබඳව ලියන්නම්]

 භාෂාව අවුල් වීම පිලිබඳව කතාන්දරයක් සුමේරියානු ශිෂ්ටාචාරය තුලත් පවතියි. මෙය "එන්කි ගේ මායාව" ලෙස හැදින්වේ. එන්කි යනු සුමේරියානු ශිෂ්ටාචාරයේ තුල ජලයට හා ඥාණයට අධිපති ලෙස සලකන ලදි.

 බයිබලයේ සදහන් කතාන්දරයේ හැටියට තනි භාෂාවක් අවුල් වියවුල් වී ලෝකය පුරා පැතිරී යන ලදි. මෙය විවිධ භාෂා වල මූලය ලෙස සලකයි. එනමුත් මෙය නිවැරදි ද?

 බයිබලයේ පැරණි ගිවිසුම මුලින්ම ලියැවුනේ හෙබ්‍රෙව් භාෂාවෙනි. බාබෙල් කොත සම්බන්ධ කතාන්දරයේ බයිබල් රචකයින් භාෂා අවුල් වියවු වීමට පසු භාෂා හැදින්වූයේ lâshôwn යන නමිනි. ඊට පෙරදී මෙය sâphâh ලෙස හදුන්වන ලදි. හෙබ්‍රෙව් භාෂාවෙන් sâphâh යන්න 'තොල්' ලෙස අරුත් සපයයි. මෙය අපට කථනය ලෙස හදුනා ගත හැකියි.

 බාබෙල් කොත සම්බන්ධ කතාන්දරයේදී පවසන්නේ විවිධ භාෂා වල ආරම්භය නොහොත් මූලයන් ගැන නොවේ! මෙසපොතේමියාවේ ඌරුක් අවධියේ [ක්‍රි.පූ. 3900-3200] අගබාගයේ දී මෙහි වැසියන් කූඥ්ඥාක්ෂර කියවීමට පටන් ගත්තෝය. කූඥ්ඥාක්ෂර ලේඛනය පැමිණීමට පෙර සුමේරියාවේ තිබුනේ රූපාක්ෂර ලේඛනයි. මෙම රූපාක්ෂර එකින් එකට වෙන වෙනම තේරුමක් තිබුණි. එමනිසා එය කියවා ගැනීමට ඔවුන්ට එතරම් අපහසු නොවීය. එනමුත් කූඥ්ඥාක්ෂර වලදී එසේ නොවේ. එකින් එක ගලපා කියවීමට සිදුවූ බැවින් ඉතා අවුල් සහගත විය. අප මේ කතා කරන්නේ මිනිස් ඉතිහාසයේ මුල්ම ලේඛන පිලිබඳව බව මතක තබාගන්න. එකල මිනිසුන්ට මෙය අතිෂය අවුල් සහගත එකක් වූ බව අත්‍යන්තයෙන්ම පැවසිය හැකියි.

 ඌරුක් අවධියේ අවසානයයේදී [භාෂා අවුල් වියවුල් වූ කාලය] වසර ගනනාවක් රජකම් කල පවුල අවසානයට පත් විය. පසුව සුමේරියාවේ රජකම ගියේ කිෂ් පවුලටයි. මොවුන් උතුරු මෙසපොතේමියාවේ සිට පැමිණි අයයි. මා කලින් ලිපියක සදහන් කල මහා ගංවතුරේ සිද්ධිය ඈඳෙන්නේ මෙතැනටයි. මෙම කාලය වන විට නගර වල සිටි මිනිසුන් තම මව් නගර අතහැර වෙනස් නගර කරා යන ලදි. මන්ද මෙතෙක් කල් රජකම් කල රාජවංශය අවසාන වීම නිසා තමන්ට ආරක්ෂාවක් සලසා ගැනීමටයි. මෙය බයිබලයේ සදහන් බාබෙල් හි ජනතාව විසිර යාම ලෙස හදුනාගත හැකියි.

මූලාශ්‍ර:

1)සුමේරියානු ශිෂ්ටාචාරය - මහාචාර්ය උක්කුබණ්ඩා කරුණානන්ද
2)ඉපැරණි ලෝක ශිෂ්ටාචාර - මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය පත්මසිරි කන්නන්ගර, කථිකාචාර්ය අනුත්තරාදේවී විද්‍යාලංකාර
3)ඊශ්‍රායලයේ ඉතිහාසය - ජී.පී.වී. සෝමරත්න
4)පරණ ගිවිසුම් සමීක්ෂණ - සැමුවෙල් ජේ. ෂූල්ට්ස්
5)ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
6)කතෝලික ධර්මාචාර්ය සහතික පත්‍ර විභාගය අත්පොත - ජාතික ධර්මෝපදේශ මධ්‍යස්ථානය
7)The Bible The Quran Abd Science - Maurice Bucaille
8)A History Of The Jews - Paul Johnson
9) The Sumerian King List - Jacobsen, Thorkild. 1939
10) Sumer and the Sumerians - Crawford, Harriet. 1991.

මහා ජල ගැල්ම - https://wasithaya.blogspot.com/2017/09/blog-post.html?m=1

Friday, September 22, 2017

ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය

අත් පිටපත් වෙළුම් මිලියන භාගයකට අධික ප්‍රමාණයක් එක්තැන් වූ මහා පුස්තකාලයක් ඇලෙක්න්ඩ්‍රියාවේ විය. පුස්තකාල කලමණාකරණය හා ලේඛන සූචිගත කිරීමේ ක්‍රමය මුල්වරට හදුන්වා දෙන ලද්දේ ඇලෙක්සැන්‍ඩ්‍රියා පුස්තකාලය මගිනි. මෙම පුස්තකාලය මියුසියම් නම් අධ්‍යාපන ආයතයේ කොටසකි.

 මෙය මුලින්ම හැදින්වූයේ ඇලෙක්සැන්ඩ්‍රිනා පුස්තකාලය ලෙසයි. සමස්ථ මධ්‍යධරණී කලාපයේ පමණක් නොව ශිෂ්ටාචාර යුගයේ සමස්ථ මානව වර්ගයාගේම දැනුම අන්තර්ගත වූ ලේඛනාගාරය ලෙස ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය හදුන්වා දිය හැකියි.

 මහා ඇලෙක්සන්ඩර් අධිරාජ්‍යයා විසින් ඊජිප්තුව දිනා ගැනීමෙන් පසු තම අගනුවර ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාව තෝරා ගත්තේය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ටොලමිස් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ලෝකයේ බුද්ධිමය අගනගරය බවට පත් කරන ලදි. පලමුවන ටොලමිස් විසින් ක්‍රි.පූ. 288 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැරණි පුස්තකාලය ස්ථාපිත කරන ලදි. සෑම ශිෂ්ටාචාරයකම සිටි විද්‍යාර්ථීන් තම අධ්‍යන කටයුතු සදහා මෙම පුස්තකාලය වෙත පැමිණියෝ ය. එකල ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ඕනෑම විෂයයකට අදාල පොතක් ඇතුලු වූ විට එය වහාම මෙම පුස්තකාලය වෙත රැගෙන ආ යුතු විය. එහිදී එම පොත් පිටපත් කල අතර එය අවසන් වූ පසු එම පිටපත එහි අයිතිකාරයාට ලබා දෙන ලදි. එහි මුල් පිටපත පුස්තකාලය භාරයේ තබා ගත්තේ ය. මෙය එකල නීතියක් වූ අතර එම නීතිය කඩ කරන අයවලුන්ට දඬුවම්ද ලබා දුන් බව කියැවේ.

මෙම පුස්තකාලය තුල එකල භාවිතා වූ සෑම විෂයයකටම අදාල පොත් තිබිණි. ජුලියස් සීසර් හා ක්ලියෝපැට්රා සමයේ සිට ක්‍රමක්‍රමයෙන් මෙම පුස්තකාලයේ පරිහානිය ආරම්භ විය. මෙම පුස්තකාලය තම ප්‍රථම ව්‍යසනයට මුහුණ දෙනු ලබන්නේ ක්‍රි.පූ. 48 දීය. ඒ තම ඇලෙක්සැන්ඩ්‍රියනු යුද්ධයේදී වරායට ආසන්නව තිබූ පුස්තකාලයේ කොටසක් ගිනි ගැනීම නිසාවෙනි. රෝම රජයේ එකල තිබූ මූල්‍යමය හිඟකම නිසාවෙන් මෙම පුස්තකාලය නඩත්තු කලේ නැත. එමනිසා කලක් ගත වෙත්ම මෙම ප්‍රධාන පුස්තකාලය නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයටම පත් විය.

 ක්‍රි.ව. 200 සිට 300 අතර කාලවල්වලදී ඇතිවූ කැරලි හේතුවෙන් ප්‍රධාන පුස්තකාලය ඇතුලු පෙරකී මියුසියම් නම් අධ්‍යාපන ආයතනය සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත් විය. මුලදී පටන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ තවත් ප්‍රදේශයක සෙරාපියම් නම් දේවස්ථානයක ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන පුස්තකාලයට වඩා කුඩා පුස්තකාලයක් පවත්වාගෙන ගියේ ය. සීසර්ගේ ගිනි තැබීමෙන් හා කැරලි හේතුවෙන් මෙයට හානි නොවීය. මෙම පුස්තකාලයේ තිබූ පොත පත පිලිබඳ ඒ හැටි සඳහනක් නැත.

 රෝමන්වරුන් විසින් ක්‍රි.ව. පලමුවන සියවසේ දී ඇලෙක්සැන්ඩ්‍රියාව හරහා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීම හේතුවෙන් ආගමික ගැටලු බොහොමයක් උද්ගත විය. ක්‍රි.ව. 391 දී තියෝඩෝසියස් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ආගම හැරුණු කොට අනෙක් ආගම් සියල්ල තහනම් කරමින් ආඥාවක් පල කරන ලදි. එම වසරේදීම තියෝපිලස් නම් බිෂොප්වරයා යටතේ ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් අන්‍ය ආගමික දේවස්ථානයක් වූ සෙරාපියම් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් කළේ ය. මෙම සිද්ධිය නිසාවෙන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය මුළුමුනින්ම පාහේ විනාශයට පත් විය. එමනිසා ක්‍රි.ව. 400 දී ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතිහාසයෙන් සදහටම මැකී ගියේ ය. ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි විද්‍යාර්ථීන් ද නොයෙක් ප්‍රදේශවලට සංක්‍රමණය විය.

 ක්‍රි.ව. 641 දී මුස්ලිම් අරාබි හමුදා විසින් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට අයත්ව තිබූ කුඩා සිහිවටන ස්වල්පයද සදහටම නැති කර දමන ලදි. කුරාණය හැර අනෙක් සියලුම ග්‍රන්ථ වලින් පලක් නැත යැයි කියමින් අවසානයේ ඉතිරිව තිබූ පුස්තකාලයේ මතක සටහන්ද ඔවුන් සහමුලින්ම විනාශ කරන ලදි.

 කුරාණය යනු බයිබලයේ පැරණි ගිවිසුමේ පිටපතක් බව සියලුම දෙනා දන්නා රහසකි. මුල්ම කාලයේ බයිබලයේ පැරණි ගිවිසුම ලියැවුනේ හෙබ්‍රෙව් භාෂාවෙනි. එකල ප්‍රධාන භාෂාවක් වූ ග්‍රීක් භාෂාවට මෙම හෙබ්‍රෙව් පරණ ගිවිසුම පරිවර්තනය කලේ වැඩිමහල්ලන් හැත්තෑ දෙනෙකු විසිනි. [සමහර මූලාශ්‍රවල 72 යැයි ද පවසයි] එමනිසා බොහෝ දෙනාට මෙම පිටපත් අධ්‍යනය කිරීමට අවස්ථාව උදාවිය. කුරාණයට මූල වන්නෙත් මෙයයි. මෙම පිටපත සෙප්තුවාජින්ත පිටපත ලෙස හැදින්වේ. වැදගත්ම කාරණය නම් මෙම සෙප්තුවාජින්ත පිටපත සම්පාදනය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය තුල වීමයි.

මූලාශ්‍ර
1)ඉපැරණි ලෝක ශිෂ්ටාචාර - රාජ් සෝමදේව, පද්මසිරි කන්නංගර , අනුත්තරාදේවි විද්‍යාලංකාර

2) https://en.m.wikipedia.org/wiki/Serapeum

3) https://en.m.wikipedia.org/wiki/Destruction_of_the_Library_of_Alexandria

4) https://en.m.wikipedia.org/wiki/Library_of_Alexandria


Thursday, September 21, 2017

'කොළඹ' නම හැදුනෙ කොහොමැයි?

කොළඹ යන නාමයේ මූලය පිලිබඳව මත බොහොමයක් පවතියි. එයින් කිහිපයක් පිලිබඳව අප දැන් සොයා බලමු.

 මධ්‍යකාලීන අවධියේදී මෙම ප්‍රදේශය සිංහලයන් විසින් කොළොන්තොට ලෙසද මොරොක්කෝ හා අරාබි ජාතිකයන් කලෙන්බෝ ලෙසද හදුන්වා ඇත. පස්වන සියවසේදී ලංකාවට පැමිණි දේශාටක හිමි නමක් වූ චීන ජාතික පාහියන් හිමි තම වාර්තා වල කොළඹ හදුන්වා ඇත්තේ සී ලාන් පූ ලෙසයි.

 දහහතර වන සියවසේදී පැමිණි තවත් චීන දේශාටකයෙක් වූ චං තා යුවාන් විසින් කොළඹ හදුන්වා ඇත්තේ කඕලාන්පු ලෙසයි. ඔහු තම වාර්තා වල කොළඹ වගුරු බිමක් ලෙස සටහන් කර තිබේ. ලංකාවට පැමිණි ඉබන් බතූතා කොළඹ අලංකාර නගරයක් බවත් එහි නාමය කළෙන්පු ලෙසත් සටහන් කර තිබේ.

දඹදෙණි යුගයේදී ලියැවුනු සිදත් සඟරාවෙහි ද කොළඹ යන්න සදහන් වී තිබීම විශේෂයි. එහි කොළඹ කරළු ඈ නිපන් සද පියවි නම් ලෙස සදහන් වේ. එමනිසා කොළඹ යන වදන දඹදෙණි යුගයේදීත් භාවිතා වූ බවට අපට සිතිය හැක. රාජාවලියේ කොළඹ යන්න සදහන් වන්නේ කලන්තොට ලෙසයි.
ලන්දේසි පාලනය යටතේ කොළඹ කොටුව ප්‍රදේශය. මේ දළ සිතියම 1672 දී “ජොහැනස් ජන්සෝනියස් වාස්බර්ගන්” විසින් අඳින ලද්දක්

 කෝට්ටේ යුගයෙහි ලියැවුනු රුවන් මල් නිඝණ්ඩුවෙහි මෙසේ සදහන් වේ;

නමවු කුළුණින් බැස
බියකරු සසර සයුරේ
බමණ මුළු සත් වග සෙන්
කොළඹට අළෙ මහත්මා

මෙහි කොළඹ යන්න තොටුපලකට සමාන කර ඇත.  

 පෘතුගීසි ජාතික පර්නාවෝ ද ක්වේරොස් පියතුමාගේ මතයට අනුව කොළඹ යන නාමය සෑදී ඇත්තේ කොළ + අඹ හෙවත් අඹ ගසේ කොළය ලෙසයි. රොබට් නොක්ස් විසින් තම සටහන්වල මේ පිලිබඳව පහත අයුරින් සටහන් කරයි.

"...කොළඹ නගරයට බටහිර දෙසින් ස්වදේශිකයන් අඹගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹගසේ සාමාන්‍යයෙන් අඹ පල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස කොළ+අඹ යන නමින් හැදින්වූ අතර ක්‍රිස්තියානුවන් කොළම්බස්ට ගෞරව කරනු වස් කොළොම්බු යන්න ඒ වෙනුවට යොදා ගෙන ඇත. මුහුදුබඩ ප්‍රදේශයේ ඇති ප්‍රධාන නගරය මෙයයි. ප්‍රධාන ආණ්ඩුකාරයාගේ නිල නිවාසයද මේ නුවර තුල පිහිටා ඇත. ලන්දේසිවරුන් නගර ලාංඡනයර අඹ ගසක් හා පරවියෙකු ද තෝරා ගැනීමෙන් මෙය තවදුරටත් සනාථ කර තිබේ.

 සාන්තා ලෝරන්ස් තුඩුව අසල දැනට ඇති කොමසේරියම් වීදියට ආසන්නයේ පරම්පරා ගණනක් යනතෙක් කොළ පමණක් ඇති ඵල හට නොගත් විශාල අඹ ගසක් තිබුණු බවට කියැවේ. මෙය කෙතරම් විශාල වීද යත් මුහුදේ සිට බලන්නෙකුට මෙය බිම් සලකුණක්ද විය..."

 ඉහතදී ඕලන්ද ජාතිකයන් කොළඹ දිසාවනිය නියෝජනය කිරීමට යොදාගත් පරවියෙකු වසා සිටින කොඩියක් ගැන සදහන් විය. ලතින් භාෂාවෙන් කොලුම්බා යනු පරවියාය.

කැළණි ගඟෙන් බෙදී යන කොළොන් ඔය හේතුවෙන් මේ නාමය උපන් බවට ඇත්තේ තවත් මතයකි. කොළොන්නාව, කොළොන්තොට වැනි පැරණි නම් එසේ සකස් වී තිබේ. කල්‍යාණි ගඟ නොහොත් කැලණි ගඟේ තොටුමුණ ලෙස කල්‍යාණි තොට බිහිවී පසුව කොළොන්තොට වූවා විය හැකියි. අතීතයේ සිටම කොළ වාණිජ කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ නගරයක් බැවින් විවිධ ජන වර්ගවල කටවහරට අනුව කොළඹ යන්න පෙරලි වී සෑදුනාද විය හැකියි. 

කලම්බු (යාත්‍රා විශේෂයක්) හා කලප්පු (මිශ්‍රවූ කලපුව) වැනි දකුණු ඉන්දීය වදන්ද තිබේ. මේ සියලු කාරණා නිසා කොළඹ යන නාමයේ මූලය පිලිබඳව ස්ථිර නිගමනයකට ඒමට නොහැකියි.

 මූලාශ්‍ර:
1)පෞරාණික ස්ථාන හා ස්මාරක කොළඹ දිස්ත්‍රික්කය - සීවලී බණ්ඩාර මනතුංග

2)පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - පී. ඇම්. සේනාරත්න

3)එදා හෙළ දිව - රොබට් නොක්ස් [පරිවර්තනය - ඩේවිඩ් කරුණාතිලක ]

4)රාජාවලිය - ඒ. වී. සුරවීර [විචාරාත්මක සංඥාපනය හා ශාස්ත්‍රීය සංස්කරණය]

ඉදිරියේදී පලවීමට නියමිත ලිපි

*කව්ද මේ එලොහිම්?
*අබන්ටෙස් - 2 කොටස

ඔබ ඉදිරියේදී කියවීමට කැමති මාතෘකාවක් තිබේනම් එය පහතින් සටහන් කරන්න. උක්ත සටහන පිලිබඳ අදහස් උදහස් දක්වනවානම් ඉතා කෘතඥ වෙමි.