▼
Tuesday, January 9, 2018
ඉතිහාසයේ මහා ඝාතන යන්ත්‍රය - ඇලෙක්සැන්ඩර්
වයස අවුරුදු 18 දී අශ්වාරෝහක හමුදාවේ අණදෙන්නාව සිට 20 දී රජකමට පත් ව 26 දී පර්සියානු අධිරාජ්‍යය ජයගෙන 33 දී මියගිය හේ ඇතැමෙකුට ඉතිහාසය බිහි කල විශිෂ්ටතම සෙන්පතියා වෙයි. එහෙත් තවත් අයෙකුට හේ ලේ පිපාසිත දුෂ්ට ඝාතකයෙකු පමණක් වෙයි. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි තිබූ ඔහුගේ සුසානය රෝම අධිරාජ්‍යයන්ගේ ආකර්ෂණය දිනා ගත් තැනක් විය. ජුලියස් සීසර්, කලිග්යුලා සහ ඔගස්ටස් වැනි රෝම අධිරාජ්‍යයන් ඇලෙක්සැන්ඩර් ට ගෞරව කිරීම සදහා ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණ ඇත. එසේ ගෞරව දැක්වූ සොහොන ඇති ස්ථානය අදටත් අභිරහසක්.
"එක් අයෙකුගේ චර්යාව මත සියලු දෙනාගේ ඉරණම රඳා පවතියි" යැයි කියමින් ලෝකයේ බොහෝ අයගේ ඉරණම වෙනස් කල ඝාතන යන්ත්‍රයේ කතාවයි මේ.
තමන්ට පෙර රජකම් කල පිලිප් නම් පියා දමන ලද ශක්තිමත් අඩිතාලම නොවන්නට ඇලෙක්සැන්ඩර් ට තම අධිරාජ්‍යය පිහිටුවීම කල නොහැකි වන්නට තිබුණි. ආගාධයට ඇද වැටෙමින් තිබූ මැසිඩෝනියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගමින්, කාර්යක්ෂම යුධ උපක්‍රම යොදාගනිමින් , ආරක්ෂාව සදහා විවිධ වූ උපක්‍රම භාවිතා කරමින් මැසිඩෝනියාව පිලිප් විසින් ශක්තිමත් කලේය. මෙය කාවන්තිස්ස රජතුමා විසින් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් හොද අඩිතාලමක් දැමුවා වැනි ලෙස කෙනෙකුට සිතිය හැක.
පියාගෙන් පසු රජකමට පත්වූ ඇලෙක්සැන්ඩර් වැඩිකල් යාමට පෙර තමන් අසල සිටි ස්වදේශීය සතුරන් විනාශ කර දැමීය. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවන්ට මුහුණදීමට නොහැකි වූ නිසා ක්‍රි.පූ. 336 වන විට ග්‍රීකයන්ට ඔහුගේ ආධිපත්‍ය පිලිගැනීම හැර කල හැකි දෙයක් නොවීය.
ඇලෙක්සැන්ඩර්ගේ පාලනය පිලිනොගත් ත්‍රේෂන් සහ ඉලීරියන් වැනි ජාතිකයන් ඔහුට විරුද්ධව කැරලි ගැසීමට පටන් ගත්තේ ය. මෙම කැරලි වලට මූලිකත්වය ගෙන කටයුතු කල තීබ්ස් නගරය වැටලූ ඇලෙක්සැන්ඩර් එහි ජනතාව මරාදැමීමට හෝ වහල් සේවය සදහා විකුණා දැමීමට අණ කලේය. මොහුගේ පියා විසින් පුර රාජ්‍ය එක්ව හෙලනීක සංවිධානයක් පිහිටවනු ලැබුණි. ඇලෙක්සැන්ඩර්ගේ මෙම ක්‍රියාකලාප වලට බිය වූ ඔවුන් ඇතැන්ස් හිදී හෙලනීක සංවිධානයේ නායකයා ලෙස ඇලෙක්සැන්ඩර් ව පත් කර ගත්තේය.
පසුව ඇලෙක්සැන්ඩර් හඹා ගියේ පර්සියානු ගැති ග්‍රීක රාජ්‍යයන් වෙතයි. ඔහු එය සුළු ආසියාවෙන් පටන්ගෙන පර්සියානු ආක්‍රමණ දක්වා ගෙන ගියේය.
පර්සියාවේ ගෝර්ඩියන් නම් නගරයේ තිබූ ගෝර්ඩියන් ගැටය ලිහීමට සමත් වන පුද්ගලයා මුළු ලොව පාලනය කරන බව පුරාවෘත්තයක් තිබුණි. ඇලෙක්සැන්ඩර් මෙය දැන සිටියේ ය. ගැටයේ කොන් දෙක සොයාගත නොහැකි වූ නිසා කඩුවෙන් එම ගැටය කපා කොන් දෙක පාදා ගත්තේය. මෙය ඇලෙක්සැන්ඩර් ගේ ප්‍රචාරක උපක්‍රමයක් බව ඔහුගේ චරිතය ගැන ලියූ ඔහුගේ සමකාලීනයෝ සදහන් කරයි.
ක්‍රි.පූ. 333 මැද භාගයේ දී එකල පර්සියානු අධිරාජ්‍යයා වූ ඩේරියස් විසින් මෙහෙයවනු ලැබූ හමුදාව ඉසස් හිදී අන්ත පරාජයකට පත් කලේය. ඩේරියස්ව ඝාතනයෙන් පසු ඔහුගේ දියණියක් විවාහ කරගත් ඇලෙක්සැන්ඩර් පර්සියාවේ නීත්‍යානුකූල පාලකයා බවට පත්විය. ඉන්පසු මයිලීටස්, ටයර් හා ඊජිප්තුවේ දී ලැබූ ජයග්‍රහණ නිසා මධ්‍යදරණී මුහුදේ නැගෙනහිර වෙරළේ සම්පූර්ණ පාලනය ඔහු අතට ගැනීමට සමත් විය. මෙම ආක්‍රමණ අතර ටයර් නම් නගරය අල්ලා ගැනීමට ඇලෙක්සැන්ඩර් මාස හතක් වෙහෙස වූ අතර තම ජයග්‍රහණයෙන් පසු එහි සිටි මිනිසුන් දහසක් පමණ ඝාතනය කර තිස් දහසකට අධික පිරිසක් වහල් සේවයට විකුණන ලදි.
ඇලෙක්සැන්ඩර් තම ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය දිගින් දිගටම සිදු කරගෙන ගියේය. මේ හේතුවෙන් මැසිඩෝනියානු හමුදාව ක්‍රමක්‍රමයෙන් සංඛ්‍යාත්මක අතින් අඩුවීමට පටන් ගත්තේය. ඒ නිසා තම හමුදාවට කුලී භටයන් බදවා ගත්තේ ය. තම සුපුරුදු මැසිඩෝනියානු වස්ත්‍රය අතහරින ලද හේ පර්සියානු ශෛලියේ ඇදුම් ඇදීමට මෙකල පුරුදුව සිටියේය. පර්සියානු රාජ සභාවේ පැවති රජතුමාට බිම දිගාවී ආචාර කිරීමේ ක්‍රමය තම හමුදාවන්ට හදුන්වා දුන් මොහු රැවුල බෑම ප්‍රචලිත කලේය. ඒත් සමගම පර්සියානු නාටිකාංගනාවක් වූ රොක්සේන් විවාහ කර ගත්තේය.
ක්‍රි.ව. 327 දී හින්දු කුෂ් කඳු වැටිය තරණය කල ඇලෙක්සැන්ඩර්ගේ හමුදාව කාබුල් හා ස්වොට් තැනිතලාවල සිටි තමන්ට යටත් වූ වැසියන් කිසිදු හේතුවක් නොමැතිව ඝාතනය කර දැමීය. ඉන් වසරකට පසු වත්මන් පීර්සාර් කදුවැටිය තරණය කර එහි සිටි ඉන්දියානු ජාතියන්ගේ ජීවිතයන්ට තිත තැබුවේය.
ඉන් තවත් ඉදිරියට ගිය ඇලෙක්සැන්ඩර් ජේලුම් ගංගාව තරණය කරමින් එහි ඔහු එනතුරු බලා සිටි පෝරස් ගේ හමුදාව පරාජයට පත් කලේය. මෙම සටන ඇලෙක්සැන්ඩර් ගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය. වයස අවුරුදු 13 සිට තමන් හීලෑ කරගත් බියුසෙෆලස් නම් අශ්වයා මියයාම එක් හේතුවකි. එය ඔහුගේ ජීවිතයෙන් කොටසක් වෙන් වී ගියාක් වැනියි. අනෙක නම් මෙහිදී ඇලෙක්සැන්ඩර් ගේ හමුදාව ප්‍රථම වරට තම නායකයාගේ අණ ප්‍රථික්ෂේප කිරීමයි.
ඇලෙක්සැන්ඩර් ගේ සිහින සැබෑ කරමින් මිනිසුන් තොග පිටින් ඝාතනය කල මෙම හමුදාව තවදුරටත් එසේ කිරීම ප්‍රථික්ෂේප කලේය. ඇලෙක්සැන්ඩර් එසේ කිරීමට අණ දුන් විට ඔවුන් කැරලි ගැසීමට ද පටන් ගත්හ. මෙයින් ඇලෙක්සැන්ඩර් බොහෝ කිපුන ද තම හමුදාවගේ කීමට හේ එකඟ විය. ඒ අනුව හමුදාවෙන් එක් කොටසක් දකුණු දෙස බලා ඉන්දු නදිය දිගේ යාත්‍රා කල අතර තවත් කොටසක් ඇලෙක්සැන්ඩර් යටතේ ජෙඩ්රෝසියානු කාන්තාරය හරහා ගමන් කලේය. මෙය නූතන බලුකිස්තානය හරහා වැටී තිබේ. ජලය රහිතව අධික රස්නයක් ඇතිව කාන්තාරයක් මැදින් මෙසේ ගමන් කිරීම ඇලෙක්සැන්ඩර් ගේ පිරිහෙමින් තිබුන ඥාණය පැහැදිලි කරයි.
මෙම ගමනේදී ද ඇලෙක්සැන්ඩර් සුපුරුදු පරිදි මග දිගට හමුවන ජනතාව කපා කොටා ඝාතනය කලේය. නූතන මුල්ටානයේ එකල සිටි ජනතාව එනම් මලියන් ජනතාව සමග වූ සටනේ දී ඇලෙක්සැන්ඩර් ට දරුණු ලෙස තුවාල වූවත් ඔහුව සතුරන් අතට පත්වීම වලක්වා ගැනීමට මැසිඩෝනියා හමුදාවට හැකි විය.
ඇලෙක්සැන්ඩර් ශූර රණශූරයෙක් මෙන්ම අධික ලේ පිපාසිතයෙක් විය. මොහුගේ ක්‍රියාකලාප නිසා හමුදා භටයන් හා සාමාන්‍ය ජනතාව බුරුතු පිටින් ඝාතනයට ලක් විය. ඔහු යටතට පත් ප්‍රදේශ වල ජනතාව වසර ගණනාවක් තිස්සේ එක්කාසු කරගත් ධනය දින කිහිපයකින් විනාශයට පත් විය. පර්සෙපලිස් වැනි දශක ගණනාවක කාලයක් තුල මිනිසුන් දහස් ගණනකගේ ශ්‍රමයෙන් ගොඩ නැගුණු සංස්කෘතික ලෝක උරුමයන් දින කිහිපයකින් කොල්ලකා ගිනි තබන ලදි.
එකල වන විට ලෝකයේ තිබුනු සශ්‍රීකම නගරය මෙයයි. ඇලෙක්සැන්ඩර් මෙම නගරයට ඇතුලු වී සෙසු නගර විනාශ කලේය. ඒ අතරතුර දිනක් රාත්‍රියේ මත්පැන් පානය කරමින් විනෝද වෙමින් කාලය ගත කරමින් සිටිනා විට තායිස් නම් ඇතීනියානු ගණිකාවක් ඇලෙක්සැන්ඩර් හට පවසා සිටියේ සාදයක් පවත්වා රාජකීය මාලිගයට ගිනි තැබුවහොත් එය ඔහු ආසියාවේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය බවයි. අධික බීමතින් සිටි ඇලෙක්සැන්ඩර් මෙයින් උද්ධාමයට පත්ව පර්සියානුවන්ගේ ආඩම්බරයට හේතු වූ මෙම ස්ථානය ගිනි තැබීමට පලමු ගිනි පන්දම පෙර කී කාන්තාව අතට දුන්නේය. පර්සියානු අධිරාජ්‍යයෙක් වූ ක්සර්සීස් ශුද්ධවූ නගරයක් වූ ඇක්‍රොපොලිස් හි ඝාතනය කරන ලද ඇතීනියානුවන්ගේ පලිය එම අවස්ථාවේ සිටි එක් කාන්තාවක් විසින් වසර ගණනාවකට පසු එසේ ලබා ලබාගත්තාය.
පැරණි ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන වසර දෙදහසකට පෙර ඇපලෝ දෙවියා සිහි කිරීම උදෙසා රෝඩ්ස් දූපතේ ගොඩනැගුණු ප්‍රථිමාව ඇලෙක්සැන්ඩර් ගේ හැඩහුරුකමින් නිර්මාණය වූවක් බව විශ්වාස කෙරේ.
වසර 33ක කෙටි ජීවිතය කෙලවර වූයේ මැලේරියාව යැයි කීවද එයට නිශ්චිත සාක්ෂි නැත. ඇලෙක්සැන්ඩර් ගේ මෙම හදිසි මරණය නිසා තමන් යටතට පත් සුවිශාල ප්‍රදේශයේ ස්ථිර දේශපාලන ව්‍යුහයක් ස්ථාපිත කල නොහැකි විය. එමෙන්ම එකල බටහිර ආසියාවේ පැවති රාජ්‍ය පාලන ක්‍රමය ඇලෙක්සැන්ඩර් අතින් විනාශයට පත් විය.
ඇලෙක්සැන්ඩර් ගේ අවසන් කැමැත්ත වූයේ,
1)තමා මියගිය පසු මිනිය වෛද්‍යවරුන් විසින් කරතබාගෙන යා යුතුයි. (වෛද්‍යවරුන්ට වත් මරණය පරාජය කල නොහැකි වීම)
2)තමා රැස්කරගත් ධනය මිනිය ගෙනයන මාර්ගයේ ඇතිරිය යුතුයි. (අයහපතින් රැස් කරගත් ධනයෙන් පලක් නැත)
3)අත් දෙක මිනියෙන් පිටතට වැටී තිබිය යුතුයි. (මියයන විට යන්නේ හිස් අතින් බව)