Saturday, February 24, 2018

පරාක්‍රමභාහුට පිහිට වූ මුන්නේශ්වරම් කෝවිල

හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉදිරියට කිලෝමීටර් එකහමාරක් පමණ යන විට අපට ඓතිහාසික කෝවිලක් හමුවේ. මෙය ලංකාවේ බොහෝ දෙනාගේ මෙන්ම ඉන්දියාවේ බැතිමතුන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර වූවක්. මෙම කෝවිල නමින් මුන්නේශ්වරම් වේ. මුන්නේශ්වරම් යන්නෙහි අර්ථය පලමුව පිහිටවූ ඊශ්වර කෝවිල යන්න යි. එනම් මෙය ලංකාවේ පලමුවෙන්ම් පිහිටවූ ඊශ්වර කෝවිලයි.

වාල්මිකීගේ රාමායණය කෘතියේ මුන්නේශ්වරම් දේවාලය පිලිබඳ සදහන් කර තිබේ. එය කෙටියෙන් මෙසේයි. රාවණා ඉන්දියාවෙන් සීතා දේවියව පැහැරගෙන එන විට ඔහු පසුපස බ්‍රහ්මඝන නම් දෝෂයක් ලුහුබැඳ පැමිණ අතර මෙම දෝෂය එක්තරා අවස්ථාවකදී තමන්ගෙන් ඉවත්ව යන ආකාරයක් ඔහුට දැනුණි. එවිට ඒ අවට බලන විට කෝවිලක් තිබුණි. මෙය මුන්නේශ්වරම් කෝවිලයි. එවිට රාවණා මෙම කෝවිල වැඳපුඳා ගත්තේය. මෙම විශ්වාසය නිසාවෙන් ඉන්දියාවෙන් හින්දු බැතිමතුන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව හලාවත මුන්නේශ්වරම් කෝවිල වැද පුදා ගැනීමට පැමිණෙයි.

1448 වර්ෂයේ දී හයවෙනි පරාක්‍රමභාහු රජතුමා මුන්නේශ්වරම් කෝවිලෙහි වූ හාස්කම් අසා කෝවිල වැඳ එයට ගම් පූජා කල බව සදහන් වේ. එමෙන්ම 1517 වර්ෂයේ දී කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමභාහු රජතුමාගේ බාල කුමාරයාට ඇතිවූ රෝගයක් සුව කර ගැනීම සදහා මුන්නේශ්වරම් කෝවිලට පැමිණ විෂ්ණු දෙවියන්ට පූජා ඔප්පු කර තිබේ. එම රෝගය සුවවීමෙන් අනතුරුව තඹ සන්නසක් මගින් විශාල ගම් ප්‍රමාණයක් කෝවිලට පවරා ඇත.

පුරාවිද්‍යාඥයින් ගණන් බලා ඇති අන්දමට මෙම කෝවිල අවම වශයෙන් ක්‍රි.පූ. 1000ට අයත් බව පිලිගැනේ. පෘතුගීසි අවධියේ දී මෙවන් ඓතිහාසික වටිනාකමකින් යුතු කෝවිලට වූයේ දුක්ඛදායක ඉරණමකි. කෝවිලේ බොහෝ ප්‍රථිමා හා විවිධ දෑ එකල ඔවුන් විනාශ කරන ලදි. එහෙත් ඔවුන් කෝවිල සම්පූර්ණයෙන්ම විනාශ කලේ නැත. ඔවුන් බොහෝ කාලයක් මෙම කෝවිල කිතුනු දේවස්ථානයක් ලෙස භාවිතා කලේ ය.

1753 වර්ෂයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පෘතුගීසීන් විසින් විනාශ කරනු ලැබූ මුන්නේශ්වරම් කෝවිල නැවත යථා තත්වයට පත් කර ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් ශිල්පීන් ගෙන්වා කෝවිල නැවත ගොඩනගා ඇත. එමෙන්ම අවට ගම් 64ක් තඹ සන්නසක් මගින් පවරා කෝවිලේ ප්‍රධාන පූජක තනතුර සදහා එක් පවුලකට පවරා තිබේ. වර්තමානය වන විටදී ද මෙහි ප්‍රධාන පූජක තනතුර හොබවන්නේ එම පවුලෙන් පැවත එන්නෙකි. ඔහු නමින් සර්වේස්වර අයියර් පද්මනාග කුරුක්කල් වන අතර 2006 වසරේ සිට ඔහු මෙම තනතුර හොබවයි.

මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පෙරහැර පවත්වන්නේ අගෝස්තු මාසයේ දීය. මෙම උත්සවය දින විසි අටක් පුරාවට පැවැත්වේ. දිනපතා උෂක්කාල, කාල සන්ති හා උච්චකාල පූජා යනුවෙන් පෙ.ව 5:30, 7:30 හා 12:00 ට පූජා පැවැත්වේ. එමෙන්ම සවස 5:00, රාත්‍රී 7:00 සහ 8:00 ට සාය රක්ෂයි පූජා යනුවෙන් පූජාවන් තුනක් ද දිනපතා පවත්වයි.

ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති මෙම ස්ථානය ප්‍රථිසංස්කරණය කරමින් නඩත්තු කරන්නේ සම්පූර්ණයෙන්ම බැතිමතුන්ගේ අනුග්‍රහයෙනි. මුන්නේශ්වරම් කෝවිල වැද පුදා ගැනීමට පැමිණෙන බැතිනතුන්ගෙන් 90% ක්ම පාහේ සිංහල බෞද්ධයන් වීමද විශේෂයි. මේ අවටම පන්සලක් ද තිබෙන අතර මෙම ප්‍රදේශය ආගමික සහජීවනයෙන් පිරිපුන් ප්‍රදේශයකි.

මෙහි ඇති සෙල්ලිපි සංස්කෘත, පාලි හා දෙමළ යන භාෂා තුනෙන්ම සැදුම් ලත් ඒවා වීම ද සුවිශේෂියි. එම සෙල්ලිපි ආරක්ෂා කර ගැනීමට මුන්නේශ්වරම් කෝවිලේ කුරුක්කල් වරුන් අවශ්‍ය විධි විධාන යොදා තිබේ. මෙම සෙල්ලිපි මුල් වරට කියවීමට උත්සහ ගෙන ඇත්තේ ලංකාවේ සිවිල් සේවයේ නියුතු ජී. එම්. ෆවුලර් විසින් 1890 අවධියේ දී ය.

දිනෙන් දින මුන්නේශ්වරම වැද පුදා ගැනීම සදහා පැමිණෙන බැතිමතුන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වේ. ඔබ ඉතිහාසයට කැමති අයෙක් නම් මුන්නේශ්වරම් කෝවිල ඔබ නැරඹිය යුතුම ස්ථානයකි.

 මෙම සටහන ලිවීම සදහා මා හට තොරතුරු සැපයූ මුන්නේශ්වරම් කෝවිලේ සිරිහෙරිසර්මා අයියර් සහ ක්‍රිෂ්ණන් ස්වාමි හට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
























Monday, February 19, 2018

හෙළුවෙන් තම වෘතය රකින අය



 ජෛන ආගම පිලිබඳව ඔබ සියලු දෙනා කුඩා හෝ යමක් අසා ඇතුවාට සැක නැත.  ජෛන ආගම පිලිබඳ දැනුම සරලව ලබා දීම මෙම සටහනෙහි අරමුණයි. ක්‍රි.පූ. හයවෙනි සියවස ඉන්දියානු ඉතිහාසයේ ඉතා වැදගත් අවධියක් ලෙස සලකනු ලබන්නේ එම අවධි වලදී බුද්ධාගම හා ජෛන ආගම උපත ලැබීමයි. මීට බොහෝ කලකට පෙර ආරම්භ වූ හින්දු ආගමෙහි [හින්දු ආගම යැයි කීවද හින්දු ආගමික සංකල්ප ලෙස ගන්න. මන්ද හරප්පා සංස්කෘතියේ සිටම පැවති විවිධ වූ සංකල්ප හා පසුකාලීනව ඇතිවූ සංකල්ප වල සංයෝජනයකින් හින්දු ආගම සෑදුනු බැවින්] සරල බව හා චාම් බව ක්‍රමක්‍රමයෙන් නැතිවී ගොස් විවිධාකාර වූ අනුරාගී පුදපූජා හා හරසුන් ශාන්තිකර්මයන් නැග ඒමට පටන් ගත්තේය. ආගම පිලිබඳ දැනුම කුඩා ජන කොටසකට පමණක් ඉගැන්වූ අතර බ්‍රහ්මණයන්ගේ හින්දු දර්ශනය කෙරෙහි විරෝධයක් ක්ෂත්‍රීයන්ගෙන් පැන නැගුණි.

 මෙම කාල වකවානු තුල තැන තැන සංචාරය කරමින් තවුස් ජීවිත ගත කල පුද්ගලයින් නව ආගම් සාදා ගත්තේය. මෙම තවුසන් ශ්‍රමණයන් නොහොත් පරිබ්‍රාජිකයන් ලෙස හැදින්වේ. මෙම ආගම් එතරම් ජනප්‍රිය නොවූ අතර වැඩි කල් යාමට මත්තෙන් එම ආගම් අක්‍රිය තත්වයට පත්විය. මෙවැනි තත්වයක් පවතින සමයක අලුත් ආගමික දර්ශන දෙකක් බිහි වූ අතර ඒවා බුද්ධාගම හා ජෛනාගම ලෙස හැදින්වේ. මෙහි ආරම්භකයන් දෙදෙනාම ක්ෂත්‍රීය වංශිකයන් වේ.

 වසර දහස් ගනනක් ගත වුවද ඉන්දියාව තුල ජෛන ආගම අදටත් නොනැසී පවතියි. බුදුන්ගේ සමකාලීනයෙක් වූ වර්ධමාන මහාවීර ජෛන ආගම නිර්මාණය කලේ නැත. ඔහු විසින් සිදු කලේ කලින් පැවති දර්ශනයක් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමයි. මොහුගේ මුල් නම වර්ධමාන වන අතර මහාවීර යනු ඔහුගේ ශ්‍රාවකයන් ඔහුව හැදින්වූ නම වේ. වෛශාලියේ ලිච්ඡවීන් හා සම්බන්ධ වූ සිද්ධාර්ථ නම් අධිපතියෙකුට හා චේටක නම් ලිච්ඡවී අධිපතියාගේ සොයුරිය වූ ත්‍රිශලාට දාව ක්‍රි.පූ. 540 දී පමණ වර්ධමාන මහාවීර උපත ලැබීය. මොහු කලක් යත්ම රාජ්‍ය බලය ලබාගෙන විවාහ වූ දුවෙකු ලැබුවත් මොහුගේ කැමැත්ත වූයේ මෝක්ෂ මාර්ගය සොයා ගැනීමය. වයස අවුරුදු තිහේදී ඔහු ගිහි ගෙයින් නික්මව ගියේය. පලමුව ඔහු 'නිගන්ඨ' [සමහර පොත් වල නිර්ග්‍රන්ථ ලෙසද සදහන් වන අතර මෙහි තේරුම ගැට වලින් මිදුණු යන්නයි] නම් තවුස් කණ්ඩායමකට බැදුනේය. ඉන්පසු ඔහු ඔවුන්ගේ චර්යාව අනුගමනය කිරීමට පටන් ගත්තේය.

 මෙම නිර්ග්‍රන්ථ තවුස් වාදය ආරම්භ කරන ලද්දේ මහාවීරට අවු. 250කට පමණ පෙර සිටි පාර්ශ්ව නැමැත්තෙකු විසිනි. මොහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයාය. මහාවීර විසින් පිහිටවූ ශාසනයේ අය හැදින්වීමට නිර්ග්‍රන්ථ යන වදන පසු කාලීනව භාවිතා විය. ජෛන ආගමේ තීර්ථංකරයන් එනම් සාන්තුවරුන් 24 දෙනෙක් සිට ඇති බව එම දර්ශනයේ පවතින අතර පාර්ශ්ව යනු 23 වෙනියා ය. 24 වෙනියා වර්ධමාන මහාවීර වේ. ඊට පෙර සිටි විසිදෙදෙනා ජනශ්‍රැති වලට අයත් පුද්ගලයින් වන අතර ඊට එහා සාක්ෂියක් අපට හමු නොවේ. පාර්ශ්ව විසින් සිය අනුගාමිකයන්ට කියා සිටියේ ඔවුන් විසින් ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කල යුතු බවයි. ඒව සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ [දේපොළ කෙරෙන් වෙන්වීම] හා ආස්තෙය [සොරකම් නොකිරීම] වේ.

අවුරුදු දොළහක කාලයක් වර්ධමාන මහාවීර ආහාර සිඟමින් , එකිනෙකා සමඟ වාද විවාද කරමින්, විවිධ වූ දුෂ්කර ක්‍රියා වල යෙදෙමින් තැනින් තැන ඇවිද ගියේය. මුල්ම කාලයේ ඔහුට ඇඳීමට තිබුනේ එකම රෙදි කඩකි. ඔහු එය කිසිදා මාරු නොකලේය. එනමුත් ටික කලක් ගිය විට ඔහු එම රෙදි කඩද ඉවත දමා නිර්වස්ත්‍රව සිටීමට තීරණය කලේය. අවු. හයක් මුළුල්ලේ ඔහු හා දුෂ්කර ක්‍රියා කිරීමට ගෝෂාල මස්කරී පුත්‍ර නම් තවුසෙක් එක් වූයේය. පසුව මේ දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවී ගෝෂාල, ආජීවික නිකාය පිහිටුවන ලදි.

 මෙසේ තවුස් වත පුරමින් සිටි ඔහු තීර්ථංකරයන් වහන්සේ කෙනෙක් විය. වැඩි කල් යාමට මත්තෙන් විශාල ශ්‍රාවක පිරිසක් වර්ධමාන විසින් අත්පත් කර ගත්තේය. බුදුන් වහන්සේට ආධාර උපකාර කල රජවරුන්ද මහාවීරට ආධාර උපකාර කල අතර ඔහු වසර තිහක් පමණ ගංගා නදිය ආශ්‍රිතව තමා අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවකයන්ට ඉගැන්වූයේ ය. මහාවීර වසර 72ක් ආයු වළඳා රජගහ නුවර ආසන්නයේ පිහිටි පාවා [වර්තමාන පැට්නා] නම් නඟරයේ උපවාසයකින් පසු මිය ගියේය. මොහු බොහෝ විට මිය යන්නට ඇත්තේ බුදුන්ට හා ඔහුගේ ප්‍රධාන විරුධවාදියා වූ ගෝෂාලට පසුව බව පවසයි. මහාවීර මියගිය වර්ෂය පිලිබඳව පරස්පර විරෝධී මත කිහිපයක් තිබෙන අතර එය ක්‍රි.පූ. 468 දී පමණ සිදුවූ බව සිතිය හැකිය.

 මින් වසර දෙසීයක පමණ කාලයක් ගත වන තුරු ජෛනයෝ ගිහි පැවිදි යන දෙපිරිසෙයින්ම සමන්විත විය. ඒ අතර මොවුන්ගේ ප්‍රධාන විරුද්ධකාරයන් වූ ආජීවිකයන්ද බලයෙන් වැඩෙන්නට විය. මෞර්යය පාලන සමය වන විට ජෛන ආගම බලයෙන් වැඩි වශයෙන් වර්ධනය වන්නට විය. සිහසුන අතහැර දැමූ චන්ද්‍රගුප්ත මෞර්යය රජුද ජෛන ආගමික පැවිද්දෙක් බවට පත්විය. චන්ද්‍රගුප්තගේ රාජ්‍ය කාලය අවසානයේ ඇතිවූ දුර්භික්ෂයක් හේතු කොටගෙන ඔවුන් නැවතී සිටි ගංගා නදී පෙදෙස අතහැර ඩෙකානයට ගියේය.

 ඩෙකානයට පැමිණි පසුව මොවුන් එහිදී මධ්‍යස්ථාන පිහිටුවා ගන්නා ලදි. මෙහි සංක්‍රමණික පැවිද්දන්ගේ ප්‍රධානියා වූයේ  භද්‍ර බාහු නම් පුද්ගලයෙකි. උතුරේ සිටි පැවිද්දන්ගේ නායකයා වූයේ ස්ථුලභද්‍ර නම් පුද්ගලයෙකි. භද්‍ර බාහු කියා සිටියේ නිර්වස්ත්‍ර වෘතය නොකඩවා රැගෙන යා යුතු බවයි. එහෙත් ස්ථුලභද්‍ර දුර්භික්ෂය හේතුවෙන් සුදු රෙදි කඩක් භාවිතා කිරීමට තම අනුගාමිකයන්ට අවසර දුන්නේය. මේ මත ගැටුම නිසාවෙන් ශ්වේතාම්බර [සුදු රෙදි කඩක් පමණක් අඳින] හා දිගම්බර [නිර්වස්ත්‍රව සිටින] යන නිකායන් දෙක ඇති විය. මුල්ම කාලයේ ශ්වේතාම්බර හා දිගම්බර යන නිකායන් දෙකෙහි ඉගැන්වූ ධර්මය අතර එතරම් වෙනසක් නොවීය. වසර දහස් ගණනක් ගත වුව ද මෙම භේදය වර්තමාන ජෛනයන් අතර පවතියි.

 වර්ධමාන මහාවීර තුමන් දෙසූ ධර්මය පූර්ව නැමැති ග්‍රන්ථ 14 ක සදහන් වූ බව පැවසේ. මෙම ධර්මය ඉතා හොදින් දැන සිටි අවසාන පුද්ගලයා වූයේ භද්‍රබාහු ය. ඔහු මියයාමෙන් පසුව ස්ථුලභද්‍ර පාටලීපුත්‍ර නුවරදී ධර්ම සංඝායනාවක් පවත්වා පෙර පැවති පූර්ව නම් ග්‍රන්ථ 14 වෙනුවට අංග නැමැති ග්‍රන්ථ 12ක් සම්පාදනය විය. මෙම අංග නැමැති ධර්ම ග්‍රන්ථ පිලිගන්නා ලද්දේ ශ්වේතාම්බරයන් විසින් පමණි. දිගම්බරයන් මෙය නොපිලිගත් අතර වෙනත් ධර්ම ග්‍රන්ථ සම්පාදනයෙහිලා ඔවුන් උත්සුක වීය. මෙම අංග නම් ග්‍රන්ථ ලේඛනාරූඩ වූයේ ක්‍රි.ව. 5 වන සියවසේ දී වලභී නම් ස්ථනයේදී ශ්වේතාම්බරයන් විසිනි. මෙම කාලය වන විට අංග ග්‍රන්ථ වල දෝෂ බොහොමයක් තිබූ අතර එක් අංගයක් සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී තිබුණි. මෙම ග්‍රන්ථ ප්‍රකෘත භාෂාවෙන් ලියා තිබේ.

 සංස්කෘත කවීන් අතරින් අවසානයට පහල වූ ශ්‍රේෂ්ඨතම කවියා වූ නයචන්ද්‍ර ජෛන පැවිද්දෙකි. එමෙන්ම කාලිදාසයන්ගේ කාව්‍යයන්ට ටීකාවන් ලියූ මල්ලිනාථ ද ජෛන පැවිද්දෙකි. ආගමික නොවන ග්‍රන්ථ වුවද පිටපත් කිරීම මහා පුණ්‍ය කර්මයක්ලෙස ජෛනයෝ සලකන ලදි. මේ හේතුවෙන් බටහිර ඉන්දියාවේ පිහිටි ජෛන ආශ්‍රම නිසා පැරණි ග්‍රන්ථ බොහොමයක් ආරක්ෂා විය.


 මෞර්ය හා ගුප්ත අවධි වලදී ජෛන ආගම විශාල ප්‍රදේශයක පැතිර තිබුනද කලක් ගතවන විට මෙය ප්‍රදේශ දෙකකට පමණක් සීමා විය. ඒ දිගම්බරයන් විසූ වර්තමාන මයිසෝරිය හා දකුණු හයිදරාබාද ප්‍රදේශය හා ශ්වේතාම්බරයන් විසූ ගුජරාත් හා රාජස්ථානය යන ප්‍රදේශයයි.

 ශ්වේතාම්බරයන්ට බටහිර ඉන්දියාවේ අධිපතීන්ගෙන් වැඩිමනක් ආධාර ලැබුන අතර දිගම්බරයන්ටද විවිධ අධිපතීන්ගෙන් ආධාර ලැබුණු. ආධාර ලබා දුන් රජවරුන් මියයාම නිසා හා ශුව හා වෛෂ්ණව භක්තිය වැඩි වශයෙන් ප්‍රචලිත වීම නිස ජෛන ආගමට පෙරදී ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමක්‍රමයෙන් හීන වී ගියේය. විවිධ කරදර වලට ජෛනයන්ට ලක් වීමට සිදු වුවත් ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් වූයේ නැත.

 දැන් ජෛන ආගමේ මූලික ඉගැන්වීම් දෙසට හැරෙමු. මොවුන් දෙවියන් විශ්වාස නොකරයි. වේද ඉගැන්වීම් වර්ධමාන ප්‍රතික්ෂේප කල අතර දෙවියෙකු විසින් ලෝකය මැවීමක් හෝ ලෝක විනාශයක් පිලිබඳව ඉගැන්වීම්ද තරයේ ප්‍රතික්ෂේප කරන ලදි. සත්වයන්ගේ පැවැත්මට ද්‍රව්‍යය හා ආත්මය යන දෙක බලපාන බව උගන්වන ලදි. මොවුන් මිනිසුන්ට හා සත්වයන්ට පමණක් නොව ගහකොළ, ගල්, පර්වත, ගලන ජලය ආදී ස්වභාවික වස්තූන්ටත් ආත්මයක් ඇති බව විශ්වාස කරන ලදි. මිනිස් ඇසට නොපෙනෙන සුයුම් පදාර්ථය කර්මය ලෙස මොවුන් සලකන ලදි. අනෙක් ආගම් වල අද්‍රව්‍යමය දෙයක් වූ කර්මය ජෛන භක්තිකයන්ට ද්‍රව්‍යමය දෙයක් විය. ආරම්භයේදී ආත්මය ඉතාමත් පැහැපත් වන අතර කර්මය නැමැති පදාර්ථය ආත්මයේ ඇලීම නිසා පෙර පැවති ආත්මයේ ඔපය නැතිවී යයි. මිනිසුන් විසින් සිදු කරන අයහපත් ක්‍රියා නිසා කර්මය වැඩි වශයෙන් ආත්මයේ ඇලීම නිසා ආත්මය ඉතා අදුරු වීමට පටන් ගනියි. ශරීරයට බොහෝ දුක් දී, අවිහිංසාවාදීව ජීවත් වී, විවිධ උපවාසයන්හි යෙදීමෙන් ආත්මයට ඇලෙන මෙම කර්මය ඉවත් කල හැකිය.

 වර්ධමාන විසින් වෛදික ආගමික චාරිත්‍ර ප්‍රතික්ෂේප කරන ලදි. විවිධ පුද පූජා සදහා කරනු ලබන සත්ව ඝාතන හා නිශ්පල වියදම් ඔහු තරයේ ප්‍රතික්ෂේප කලේය. උපත , මරණය හා නැවත ඉපදීම යන මේ සංසාර චක්‍රයෙන් විමුක්තිය ලැබිය හැක්කේ අවිහිංසාව පදනම් කරගත් දැඩි පිලිවෙතක් මගින් හා ලිංගික ආශාවන් කෙරේ වූ ස්වයං වාරණයකින් බව වර්ධමාන විසින් උගන්වන ලදි.

 සෑම ජෛන ආගමිකයෙකුම විසින් පිලිපැදිය යුතු ශික්ෂා පද පහක් තිබේ. ඒවා හිංසාවෙන් තොර වීම, බොරු නොකීම, සොරකම් නොකිරීම, දේපොළ එකතු කරගැනීමෙන් වැලකීම හා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම වේ. පෙරදී ද පැවසූ පරිදි මෙම ශික්ෂා පද පහෙන් මුල් හතර වර්ධමාන මහාවීරට පෙර සිටි පාර්ශ්ව නම් තීර්ථංකරයන් විසින් උගන්වන ලදි. වර්ධමාන විසින් මෙය ප්‍රතිසංස්කරණය කරමින් එයට තව ශික්ෂා පදයක් එකතු කරන ලදි.

 ජෛන ආගමේ ප්‍රධාන ඉගැන්වීම පරම අවිහිංසාවයි. මෙම අවිහිංසාව ජීවීන්ට පමණක් නොව අජීවී ද්‍රව්‍ය වලටද ලැබිය යුතු බව ඔවුන් උගන්වන ලදි. කෘමි ජීවිත පිලිබඳවත් ජෛන බැතිමතුන් විශේෂ අවධානයක් යොමු කලේය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රාණය රැකීමට ඔවුන් ජලය පෙරා පානය කල අතර වාතයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීමට, ආශ්‍රමයෙන් පිටත ගමන් කරන විට සුදු රෙදි කඩකින් මුව වසාගෙන ගියේය. එසේ ගමන් කරන විට මාර්ගයේ සිටින කුහුඹුවන් ආරක්ෂා කර ගැනීමට කුරුළු පියාපත් වලින් තනන ලද ඉලපතක් ආධාරයෙන් මාර්ගය පවිත්‍ර කරමින් ඉදිරියට ගමන් කරන ලදි. ගොවිතැන් කටයුතු වලදී විවිධ ශාක හා නොයෙක් ප්‍රාණීන් විනාශ වන බැවින් ජෛන ගිහියන්ට කෘෂිකර්මය කිරීම තහනම් වේ.

  පැවිදි වීමට පැමිණෙන ජෛනයාගේ හිස මුඩු කිරීමක් සිදු නොකරයි. සිදු වන්නේ කෙස් මුලින් ඇද උදුරා දැමීමකි. ගිම්හාන සමයේ ගිනි අව්වේ භාවනා කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ අපහසු ආකාරයට කය තබාගෙන සිටීම,  උපවාස වල යෙදීම ආදී අතිෂය දුෂ්කර කාර්යයන්හි නිරත විය යුතු වූ නිසා ජෛන පැවිද්දෝ බොහොමයක් ජීවිතක්ෂයට පත් විය.

සමහරු මත පල කරන පරිදි ජෛන ආගම ඉන්දියාවෙන් අතුරුදහන් නොවුනේ ඔවුන් ගිහියන්ගේ ඕනෑ එපාකම් වැඩියෙන් සොයා බලන්නට වූ නිසාවෙනි. ජෛන ආගමේ හැටියට ජෛන ගිහියෙකුට කලින් කලට ගිහි ජීවිතයෙන් ඈත්ව ආගමානුකූලව පැවිදි දිවියක් ගත කල හැකි අතර, කලින් කලට පැවිදි දිවියක්ද ගත කල යුතු විය. මුල්ම කාලීන ජෛනයෝ වෙළදාම් අතින් ඉතා ඉහල වැදගත්කමක් ඉසිලූ අතර ශ්‍රවණ බෙන්ගෝලා හා ආබු කන්ද ආදී ස්ථනවල ඉදිකර ඇති සුවිශාල ජෛන ගොඩනැගිලි ඔවුන්ට තිබූ ධනස්කන්දය පිලිබඳව සාක්ෂි දරයි. එනමුත් ජෛන ආගමේ ශික්ෂා පද පහෙන් එකක් වන දේපොළ රැස් කර නොගැනීම යන්න සලකා බලන විට එකල ජෛනයන්ගේ ශ්‍රද්ධාව ගැන සැක පහල වේ.

 අද දක්නට නොලැබුනත් කලක් ජෛනයෝ ස්ථූප වන්දනාවේ යෙදුනහ. ක්‍රි.ව. මුල් අවධි වලදී ජෛන තීර්ථංකරයන්ගේ පිලිම සාදා මල් පූජා කර පහන් දැල්වීම් ආදිය සිදුකර ඇත. ජෛන තීර්ථංකරයන්ගේ පිලිම හා බුදුන්වහන්සේගේ පිලිම බොහෝ සමානව සාදා තිබෙන බැවින් මෙම පිලිම දෙක අතර වෙනස සාමාන්‍යයෙන් දැක්ක හැටියේ හදුනාගැනීමට අපහසු වේ. කලක් ගත වන විට පන්සල තුලට කෝවිල ඇතුලු වුනාක් මෙන් ජෛන ආගමේ සමහර තැන් අල්ලා ගැනීමට ප්‍රධාන හින්දු දෙවිවරු කිහිපදෙනෙක් සමත් විය.

 දේශපාලනය සදහා ජෛන ආගමේ බලපෑම සලකා බලන විට එය එකල රාජ්‍යයන්ට එතරම් සතුටුදායක නොවීය. ජෛන ආගම හා බුද්ධාගම පැන නැගුනේ ක්ෂත්‍රීයන්ගෙන් බව පෙරදී පවසන ලදි. ජෛන ආගම අවිහිංසාවාදීව ආගමක් වූ බැවින් ජෛන ආගම වැලදගත් ක්ෂත්‍රීයන් අවි ආයුධ අතහැර සාමකාමී දිවි පෙවතක් ගත කිරීමට පටන් ගත්තේය. මෙහෙයින් විදේශ ආක්‍රමණ වලට රට පහසුවෙන් භාජනය වී රටේ ස්වාධීනත්වය නැතිව ගියේය. හින්දු ආගමික ඉගැන්වීම් වල තිබූ වර්ණ භේදය ජෛන දහම මගින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදි. එමනිසා වර්ණ භේදය නිසා බැටකෑ මිනිසුන් ජෛන දහම වෙත ඇදී ඒමට පටන් ගත්හ. වියදම් අධික පූජා ක්‍රම ආදිය ජෛනයන් බැහැර කල නිසාවෙන් ජනතාවට ආර්ථික අතින් සහනදායී තත්වයක් උදා විය. ජෛනයන් විසින් කාන්තාවන්ට උසස් තැනක් ලබා දුන් අතර එකල කාන්තාව විඳි ගැහැට නිසා කාන්තාවන්ට එය මහත් සහනයක් විය.

 බුදු දහමට අශෝක, කණිෂ්ක හා හර්ෂ වැනි ප්‍රභල පාලකයන්ගේ සහය හිමි වුවද ජෛනයන්ට එතරම් ප්‍රභල සහයක් හිමි වූයේ නැත. බුදු දහම විදෙස් රටවල් වලටත් ප්‍රචාරය වුවද ජෛන දහම එසේ ප්‍රචාරය නොවුනේ මේ හේතුවෙනි. අනික් කාරණය නම් ජෛන දහම පරම අවිහිංසාවාදී වීමයි. මෙම ක්‍රමය තුල කුඩා කෘමියෙක්වත් වැරදීමකින්වත් මැරිය නොහැකි නිසා ජෛන ගිහියන්ට මෙය පවත්වාගෙන යාමට අපහසු විය. ජෛන ආගම මිනිසුන්ගෙන් ඈත් වීමට මෙය බලපාන ලදි. කෙසේ හෝ වසර දහස් ගණනක් මුළුල්ලේ අදටත් ජෛන දහම ඉන්දියාව තුල නොනැසී පවතියි.



Sunday, February 18, 2018

මායාකාරියන්ගේ පුරාණය


 මායාකාරිය යන නම ඇසූ පමණින් අපට අද්භූත චරිතයක් සිහියට නැංවේ. එනමුත් මධ්‍යකාලීන යුගයේ ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, පෝලන්තය හා ස්විට්සර්ලන්තය වැනි රටවල්වල මායාකාරිය යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. එකල සිටි අනෙක් කාන්තාවන්ට වඩා විශේෂිත හැකියාවන් තිබූ කාන්තාවන් එනම් ඖෂධ පැලෑටි පිලිබඳ දැනුම තිබූ අය, බයිබලය උපයෝගී කරගනිමින් රෝග සුව කල අය ආදිය මායාකාරියන් ලෙස සලකන ලදි.

 එසේම වසංගත රෝග ඇති කිරීමේ බලයද , තමන්ට අවනත නොවන අයට එම වසංගත රෝග බෝ කරවිය හැකි බව ද විශ්වාස කරන ලදි. මෙකල මහත් ව්‍යසනයක් වූ කළු මරණය [Black Death] ඇති කලේ මායාකාරියන් බවත් ඔවුන් යක්ෂයා හා සම්බන්ධව ගනුදෙනු කරන බවට විශ්වාස කරන ලදි. මේ හේතුවෙන් මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව ජලයේ ගිල්වා හෝ පණපිටින් පුළුස්සා මරා දමන ලදි.

 යක්ෂයා විසින් දෙනු ලබන ශාප මිනිසුන් මත දමන්නේ මායාකාරියන් බවත් මිනිසුන් හා යක්ෂයා අතර කටයුතු කිරීමට මෙම මායාකාරියන්ට හැකි බවත් විශ්වාස කරන ලදි. විශේෂිත හැකියා පමණක් නොව ලිවීමට කියවීමට හැකි කාන්තාවන් ද මායාකාරියන් ලෙස එකල හංවඩු ගැසුනි. මන්ද එකල ක්‍රිස්තියානි ආචාර්යවරු විශ්වාස කලේ කාන්තාවන්ට එවැනි හැකියා පිහිටීමට හැකියාවක් නොමැති බවයි. වගා පාළු වීම, සත්වයින් විවිධ ලෙඩ රෝග වලින් මරණයට පත් වීමටද වගකිව යුතු වූයේ මායාකාරියන් ය.

 වින්නඹු මාතාව ද මායාකාරියක් ලෙස සලකන ලදි. මන්ද මවගේ වේදනාව අඩු කිරීමට වින්නඹු මව විසින්ම සකසන ලද ඖෂධ තිබූ බැවින් ඒවා සැකයට භාජනය වූ බැවිනි. එකල දරුවෙකු පිලිසිඳ ගැනීම වැනි සංකීර්ණ කටයුත්තේ නියැලුනේ කාන්තාව පමණි. මන්ද එකල වෛද්‍යවරුන්ට එම කාන්තාව ස්පර්ෂ කිරීම පල්ලිය විසින් තහනම් කල බැවිනි. එමෙන්ම භූත ආත්මයන් සමඟ මායාකාරියන්ට කතා කල හැකි බවත් ඔවුන් ලවා මායාකාරියන් තම වැඩපල කරවාගන්නා බවත් විශ්වාස කරන ලදි. විටින් විට සිදුවන කාලගුණික වෙනස්වීම් වලට වගකිව යුතු වූයේ ද මොවුන් ය.

 අප්‍රමාණ ධෛර්යයකින් යුතුව තම අරමුණු කරා යන කාන්තාවන්, විප්ලවීය අදහස් ඇතු කාන්තාවන් හා හොද ආත්ම විශ්වාසයක් ඇති කාන්තාවන්ද මායාකාරියන් ලෙස හදුන්වන ලදි.

ඇමරිකා එක්සත් ජනපදයේ මැසවුසෙට් ප්‍රාන්තයේ සලෙම් ගම්මානය මායාකාරිය පිලිබඳ ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. ශාන්තුවරයෙකු වූ සැමුවෙල් පැරිස් ගේ දියණිය වන බෙටී පැරිස් හා ඥාති දියණියක් වූ ඇබිගේල් විලියම්ස් 1692 වසරේ ශීත ඍතුවේ අමුතු හැසිරීම් පෙන්වන්නට ගත්හ. ඉඳ හිට කතා කිරීම, කුඩා ස්ථානවල සැඟවීම හා බිම බඩගෑම ආදී දෑ වල ඔවුන් නිරත වූහ. මොවුන් පිලිබඳ සොයා බැලීමට වෛද්‍යවරයෙකු කැදවූ අතර ඔහුට මෙම රෝගය කුමක්දැයි සොයාගත නොහැකි විය. වෛද්‍යවරයාට රෝගය නිශ්චය කර ගත නොහැකි වීමේ ප්‍රථිපලය වූයේ ගම්වැසියන් විසින් මෙම කාන්තාවන් දෙදෙනාව මායාකාරියන් ලෙස නම් කිරීමයි. දිනෙන් දින මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කල කාන්තාවන් ප්‍රමාණය වැඩි වන්නට ගත්හ. එමනිසා එකල තිබූ නීතියට අනුව ඔවුන්ට දඩුවම් කිරීමට එකල රජය තිඋරණය කරන ලදි. කාන්තාවන් 25ක් පමණ එල්ලා මරා දැමුණු අතර තවත් විශාල ප්‍රමාණයකට දැඩි දඬුවම් ලබා දෙන ලදි. මෙම සලෙම් ගම්මානයේ සංහාරය නතර කරවූයේ සර් විලියම් ෆිප්ස් නම් ආණ්ඩුකාරවරයා විසිනි. එනමුත් ඒ වන විටත් මෙම ගම්මානය ඉතිහාස පොතට ගිහින් අවසානය.

 යුරෝපා රටවල්වලදී මායාකාරිය යනු යක්ෂයා හා සම්බන්ධතාවක් පවත්වා ගත් අයෙකි. එනමුත් එකල එංගලන්තයේදී මායාකාරිය යනුවෛද්‍යවරියකි.

 ඊජිප්තු හා සුමේරියානු ශිෂ්ටාචාරවල ද මායාකාරිය යන සංකල්පය ප්‍රභලව පැවතුනි. හමුරබිගේ නීති සංග්‍රහයට අනුව යම් පුද්ගලයෙක් මායාකාරියක් වශයෙන් සැක කලහොත් ඔහුව හෝ ඇයව ශුද්ධවූ ගඟේ ගිල්වයි. ඔහු හෝ ඇය ගඟේ ගිලුනහිත් නිවැරදිකරු වේ. ඊජිප්තුවේද දෙවියන්ගෙන් ලද විශේෂ වරම් නිසාවෙන් සමහර කාන්තාවන්, මායාකාරියන් ලෙස ජනතාවගෙන් වැඳුම් පිඳුම් ලැබූ බව සදහන් වේ.

අප්‍රිකාවේද මායාකාරිය යන සංකල්පය පැවතුණි. එහි Inyanga යනුවෙන් මායාකාරයෙක් ගැන සදහන් වන අතර ඔහුට මන්ත්‍ර බලය යොදාගෙන ලෙඩ රෝග සුව කිරීම සහ ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මැවීම ආදිය සිදු කල හැකි විය. එමෙන්ම Thakatha හා Sangoma ලෙස මායාකාරියන් දෙදෙනෙක් ගැනද සදහන් වේ. Thakatha තම මන්ත්‍ර බලය යොදාගෙන අන් අයට හානි කිරීමට මාන බැලූ තැනැත්තියක් වූ අතර Sangoma අනාගතයේදී සිදුවන දෑ පිලිබඳ අනාවැකි පලකරන ලදි. එමෙන්ම ඇයට ඖෂධ පිලිබඳ දැනුමකුත් පවතියි.

 ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරවලදී මායාකාරයන් ප්‍රමුඛ වේ. ග්‍රීසියේ තෙස්සලියන් මායාකාරයන්ගේ මූලස්ථානය වශයෙන් පැවති ස්ථානයකි. හයිටි හා ලතින් ඇමරිකානු රටවල්වලද Shamans  වශයෙන් අදෘශ්‍යමාන බලයන්ගෙන් යුතු මායාකාරියක් ගැන සදහන් වේ.

 මේ අනුව බලන කල මායාකාරිය යන සංකල්පය ලෝකයේ විවිධ රටවල්වල විවිධාකාර ස්වරූප වලින් දක්නට ලැබේ.

 යුරෝපා රටවල් වල දී මායාකාරිය අසාමාන්‍ය රූපකායකින් හෙබි කාන්තාවකි. ඇය මිටි හා ශරීරය අඩු බරකින් යුක්ත වේ. එමෙන්ම මුහුණ පුරා විහිදුනු යම්කිසි සමේ රෝගයක් නිසා කැලැල් වල සලකුණු දක්නට ලැබේ. එනමුත් සමහර අවස්ථාවලදී අසාමාන්‍ය ලෙස රූමත් කාන්තාවන්ද මායාකාරියන් ලෙස සලකන ලදි. ඔවුන් තම රූමත් බව උපයෝගී කරගෙන මිනිසුන් වසඟය්ට පත් කර ගනියි. තවද සමහර මායාකාරියන්ට රතු පාට හිසකෙස් ද තියෙන්නේ තිබේ.

 ජන විශ්වාසයන්ට අනුව මායාකාරියන් භාවිතා කලේ රතු පැහැයට සම්බන්ධ වර්ණයන් ය. එනමුත් ඔවුන් තම ඇදුම් පැලදුම් සදහා බොහෝ විට යොදා ගත්තේ කොළ පැහැයයි. එය ස්වභාවික පරිසරයේ පැහැය නිසා මායාකරියන් එය යොදාගත් බව සිතිය හැක. මායාකාරියබ් අඟල් 2 1/2 ක පමණ පලලින් යුත් බඳ පටියක් පැලදිවව සදහන් වන අතර, එම පරියේ රාශි දොලහක් සංකේතවත් කර ඇති බවද පැවසේ.

 විවිධ සංස්කෘති වලදී මායාකාරිය විවිධ නම්වලින් හදුන්වා ඇත. මේ එයින් සමහරකි.  Stregha / Erbaria (ඉතාලි) , Witch (ඉංග්‍රීසි) , Hexe (ජර්මන්) , Bruxa (පෘතුගීසි) , Xirguina (ස්පාඤ්ඤ) , Sorciere (ප්‍රංශ) , Hekse (ඕලන්ද) හා Vitki (අයිස්ලන්තය).

මධ්‍යතන යුගයේ ජර්මනියේ ඉතිහාසය දෙස සලකා බලන විට මායාකාරියන්ගේ උත්සව පැවැත්වූ දින පිලිබඳ සදහන් වේ.

Fruhlings Tag und Nachtgleich (දිවා රාත්‍රී සම වූ වසන්තය) - මාර්තු 31

Lichtmess (candlemes) - පෙබරවාරි 1

Walpurgisnacht (ගිම්හානයේ සූර්යයා ගේ හැරීම) - අප්‍රියෙල් 30 හා මැයි 1

Lammas - අගෝස්තු 1

Herbst Tg and Nachtgleich (සරත් ඍඉතුවේ දිවා හා ‍රාත්‍රිය සම වූ දිනය) - සැප්තැම්බර් 21

Halloween - ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 1

Wintersonnenwende (ශීත ඍතුවේ සූර්යයා ගේ වෙනස්වීම) - දෙසැම්බර් 21

 මෙම උත්සව අතරින් සබට් උත්සවය, වාල්පුගීගේ රාත්‍රිය හා හැලොවීන් විශේෂ තැනස් උසුලයි.

 සබට් යන වදන යුදෙව් ජාතිකයන්ගේ සබත් යන වදන සමඟ කිසිදු නෑකමක් නැති බව මා මුලින්ම පැවසිය යුතුය. මධ්‍යතන යුගයේ විසූ මායාකාරියන් විසින් මෙම උත්සවය පැවැත්වූවා යැයි කියනු ලැබේ. යක්ෂයා විසින් මුලසුන හොබවන මෙම උත්සවය උස් කදු මුදුනක පුන් සද පායා ඇති දිනක මධ්‍යම රාත්‍රියේදී පවත්වන බවට විශ්වාස කරයි. මෙවන් උත්සව ජර්මනියේ, ස්කොට්ලන්තයේ , ස්පාඤ්ඤයේ , ස්කැන්ඩිනේවියාවේ හා ඉතාලියේද තිබූ බව කියයි. මෙහිදී යක්ෂයා ගෝනෙකු, බල්ලෙකු හෝ එළුවෙකුගේ ස්වරූපයෙන් සිටියි. මෙම උත්සවය ලිංගිකත්වය මත පදනම්ව පවතියි. මෙම උත්සවයේදී මායාකාරියන් නව සාමාජිකයන් බඳවා ගන්නා අතර ඔවුන්ව දුර්ඝන්දයකින් යුතු වතුරේ ගිල්වා පෙර තිබූ නව ඉවත් කර අලුත් නමක් ලබා දේ. මෙහිදී කාන්තාවන් දින 14කට වතාවක් යක්ෂයා වෙත දරුවෙකු ගෙනත් ලබාදිය යුතු වව විශ්වාස කරන ලදි. වින්නඹු මාතාවන් එකල මායාකාරියන් ලෙස සැලකීමට මෙයද බලපාන ලදි.

 වර්තමානය වන විට හැලොවීන් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල පවත්වන ප්‍රධාන පෙලේ උත්සවයකි. මෙම උත්සවයේ ආරම්භය ගැන සොයා බැලූ විට අපට පෙනී යන්නේ නෙය කෙල්ටික් ජන සමූහයකගේ සංස්කෘතික අංගයක් බවයි. කෙල්ටික් සමාජයේ පැවති Samhain නම් සංස්කෘතික අංගය විකාශනය වී හැලොවීන් සෑදී ඇත. වර්තමාන අයර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ වසර දෙදහසකට පමණ පෙර කෙල්ටින් ජන සමූහය විසූ බවට සාක්ෂි තිබේ. මොවුන් තම නව වසර සැමරුවේ නොවැම්බර්  මස 1 වන දිනය. මෙමගින් ග්‍රීෂ්ම ඍතුවේ අවසානය හා අස්වැන්න එකතු කර අවසානය සනිටුහන් කරයි. ශීත අදුරු කාල සීමා මරණය හා සම්බන්ධව පවතින බවට ඔවුන් විශ්වාස කරන ලදි. කෙල්ටික් විශ්වාසයන්ට අනුව ඔවුන්ගේ නව වසර උදා වීමට පෙර දින රාත්‍රියෙහි ජීවය හා මරණය අතර බැමිලිහිල් වේ. පෙර වර්ෂවලදී මියගිය ආත්මයන් තමන්ට සුදුසු ශරීර සොයා යාම මෙවිට අරභයි.

 මෙසේ ශරීර සොයා සැරිසරන භූතාත්ම පලවා හැරීම සදහ මිනිසුන් ගිණිමැල දල්වයි. උස් කදු මුදුන් වල දල්වන ලද මෙම ගිණිමැලය දැල්වීම සදහා අමුද්‍රව්‍ය ලෙස සතුන් හා අස්වැන්න යොදා ගනියි. මෙසේ එම අමුද්‍රව්‍ය යොදාගන්නේ මායාකාරියන් උදෙසා බිලි පූජා ලෙස යැයි ද කියයි. යම් පුද්ගලයෙක්ගේ සිරුරක් තුලට එම ආත්මයක් ඇතුළු වූවා යැයි සැක කලහොත් එම පුද්ගලයාව පුළුස්සා මරා දමයි. මෙම සංස්කෘතික අංගය ඇමරිකාවට ලැබුනේ අයිරිෂ් ජාතිකයන්ගෙනි. අයර්ලන්තයේ එකල ඇතිවූ උග්‍ර ආහර හිඟය නිසා ඔවුන් ඇමරිකාවට සංක්‍රමණය විය.

 කෙල්ටික් ජනයා මෙන්ම ඩෘයිඩ් වරු ද මෙවන් ගිඹිමැලයක් කදු මුදුනක දල්වයි. මේ සියලු දෙනා ඕක් වනාන්තරයක කදු මුදුබක එක්රැස් වී ගිනිමැලය වටා නර්තනයක නිරත වේ. එම නර්තනය අවසන් වනවාත් සමඟ හිරුගේ කාලය අවසන් වී අන්ධකාරයේ අවධිය උදා වන බව ඉවුන් විශ්වාස කරයි.

 වර්තමානය වන විට හැලොවීන් උත්සවයේදී දල්වන Jack - o- lantern අයර්ලන්තයෙන් පැමිණි දෙයකි. එනමුත් මුල් කාලයේදී අයිරිෂ් ජනයා මේ සදහා භාවිතා කලේ වට්ටක්කා ගෙඩියක් නොව ටර්නිප් අලයකි. හැලොවීන් හා මායාකාරියන් අතර සම්බන්ධය වසර ගනනාවක් තිස්සේ පැවත එන්නකි. එනම් ඍතු වෙනස් වන කාලවල් වලදී මායාකාරියන් උස් කදු මුදුන්වලට එක්රැස් වී යක්ෂයා උදෙසා උත්සව පවත්වයි.


 විවිධ සංස්කෘති වල මායාකාරිය යන සංකල්පය විවිධාකාරයෙන් බලපැවැත්වුනි. මධ්‍යකාලීන වධියේදී ක්‍රිස්තියානි පල්ලියේ අත්තනෝමතික ක්‍රියාකලාප නිසා මායාකාරියන් ලෙස හදුනාගත් කාන්තාවන් ට සිදු වූයේ දුක්ඛදායක අවසානයකි.

 ක්‍රි.ව. 391 දී පමණ බොහෝ යුරෝපා රටවල්වල රාජ්‍ය ආගම වූයේ ක්‍රිස්තියානි ආගමයි. එමනිසා එම රටවල් වල අනෙක් ඇදහිලි සියල්ල තහනම් කරන ලදි. ක්‍රි.ව. 400 සිට 1250 අතර කාලයේදී කාන්තාව ගැන විවිධ දුර්මත සමාජය පුරා පැතිරිණි. ඒ හේතුවෙන් මායාකාරිය යන සංකල්පය සමාජයේ මුල් බැසගත් අංගයක් විය. 1470 හා 1480 අතර කාලයේදී ක්‍රිස්තියානි පල්ලියේ මූලිකත්වයෙන් මායාකාරියන් පීබඳව තොරතුරු ඇතුලත් පොත්පත් නිකුත් කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මායාකාරියන් ලෙස සැලකූ කාන්තාවන්ව විනාශ කිරීමයි. 1487 දී පූජකවරුන් දෙදෙනෙක් විසින් Der Hexenhammer නමින් ග්‍රන්ථයක් එලිදක්වන ලදි. මෙහි අඩංගු වූයේ මායාකාරියන්ගේ විවිධ විශ්වාස හා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් ගැනය. එමෙන්ම ඔවුන්ව මර්ධනය කරන ආකාරය හා දඩුවම් ලබා දෙන ආකාරය පිලිබඳවද එම ග්‍රන්ථයෙහි සදහන් කරන ලදි. ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය හදුන්වා දුන් කාලසීමාව ආසන්නයේ මෙම ග්‍රන්ථය එලිදැක්වූ නිසා මෙය බොහෝ ප්‍රචලිත විය. මෙම පොත එලිදක්වා වසර දෙසීයක් පමණ වන තුරු මෙම පොත උපයෝගී කරගෙන මායාකාරියන් මර්ධනය කිරීම සිදු කරන ලදි.

 1484 වසරේ අටවන ඉනොසන්ට් පාප්තුමා විසින් ජර්මනියේ මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි. මෙය ජර්මනියේ පමණක් නොව ස්පාඤ්ඤය, ඕලන්දය, එංගලන්තය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, පෝලන්තය හා ඉතාලිය යන රටවල්වලද ක්‍රියාත්මක විය. මෙය කෙතරම් දරුණු ලෙස ක්‍රියාත්මක වූවාද කිවහොත් ට්‍රියර් නගරයේ ගම්මාන තුනක ඉතිරි වූයේ කාන්තාවන් දෙදෙනෙක් පමණි.

 ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන්ට දඬුවම් පැමිණවීම සදහා පස්වල කාල් රජුගේ ව්‍යවස්ථවට අනුව කොන්ස්ටිටුවෝ ක්‍රිමිනලිස් කැරොලිනා නමින් හැදින්වූ නීතියක් 1532 දී ක්‍රියාවට නංවන ලදි. මෙහිදී නඩු අසන ලද්දේ උසාවියක් තුලදීය. චෝදනා ලැබූ තැනැත්තා පූජකයෙක් නම් පල්ලියද මෙම නඩු විභාගයට සම්බන්ධ විය. ක්‍රමක්‍රමයෙන් 15 වන සියවස වන විට මෙම දඩුවම් ක්‍රම වලට කුරිරු දඩුවම් ක්‍රම ඇතුලත් කරන ලදි. කෙතරම් දඩුවම් ක්‍රම තිබුනද බොහෝ අවස්ථා වලදී චැරදිකරුවන්ට හිමි වූයේ මරණ දඩුවමයි.

 අධිකරණය ඉදිරියේ නඩු ඇසීමේදී ඇසින් දුටු සාක්ෂි පමණක්ම භාවිතා කර දඩුවම් ලබා නොදෙන ලදි. මෙම කාන්තාවන් මායාකාරියන්දැයි සොයා බැලූ විශේෂිත ක්‍රමයක් නම් ජලයේ ගිල්වීමයි. මෙය බොහෝ අවස්ථාවලදී ජර්මනියේ ක්‍රියාත්මක විය. සැකකාරියගේ වම් අත දකුණු කකුලටද දකුණු අත වම් කකුලටද තබා ගැටගසා ජලය මතට දමයි. එහිදී ඇයට පීනන්නට සමත් වුවහොත් ඈ මායාකාරියක් ලෙස සලකන ලදි. මෙසේ ජලය යොදා ගැනීමට හේතු වූයේ ජලය මත පාවීමේ හැකියාව මායාකාරියන්ට ඇති බව එකල විශ්වාස කල බැවිනි.


 ස්ලෝවේනියානු රටවල්වල මායාකාරියන් හදුනාගැනීම සිදු කරන ලද්දේ ශරීරයේ ඇති සලකුණු ආධාරයෙනි. වධකයා මායාකාරිය ලෙස චෝදනා ලැබූ තැනැත්තියගේ හිස්කෙස් කපා දමයි. මන්ද ඇගේ හිසකෙස් මගින් ඇයට බලයක් හිමි වන බව ඔවුන් විශ්වාස කල බැවිනි. ඉන්පසු ඇයට අමු රෙදි වලින් සෑදු දිග කමිසයක් අන්දවයි. මෙම කමිසය සාදන ලද්දේ එක දවසකිනි. එසේ කමිසය මසා නිම කලේ එවිට එයට යක්ෂයාගේ බලපෑමක් ඇති නොවන බව විශ්වාස කල බැවිනි.

 ඉන්පසු එම කාන්තාවගේ ශරීරයේ ඇති සෑම ලප කැලලකට ඉඳිකටුවකින් අනියි. එවිට රුධිරය වහනය වීමක් සිදු වුවහොත් ඇය මායාකාරියක් නොවන බවට පිලිගන්නා ලදි.

 පස්වන කාල් රජුගේ නීති අනුව චූදිතයාට දැඩි දඩුවම් දීමේ හැකියාව වධකයාට ලැබුනි. මේ වධහිංසා වලට වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය බලපෑවේ නැත. මායාකාරියන් ලෙස සැලකූ අයව පිලිස්සීම සදහා දරසෑයක් යොදාගන්නා ලදි. එම දර සෑය ජර්මන් බසින් ෂයිටර්හවුෆන් ලෙස හදුන්වයි.

 මධ්‍යතන යුගයේදී මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලියට අධිරාජ්‍යයා මෙන්ම පාප්වහන්සේ ද එකසේ අනුමැතිය ලබාදෙන ලදි. එකල ජර්මනියේ සිටි කොන්‍රාඩ් ෆොන් මර්බුරි නම් වධකයා පාප්තුමාගේ ප්‍රශංසාව ලැබූ බව කියයි. පාප්තුමා ඔහුව හදුන්වා ඇත්තේ බොහෝ දුරට ශාන්තුවරයෙකුට කිට්ටු අයෙකු ලෙසයි.

 13 වන ශතවර්ෂයේ එනම් වර්ෂ 1431 දී Rouen නගරයේ පොදු වෙළඳ භූමියේදී මරණයට පත් කරන ලද Jeannede Arc නම් ඕර්ලන්වල කන්‍යාවිය මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය යටතේ ප්‍රකට මරණයක් ලෙස දැක්වේ. 15 හා 16 යන සියවස් වලදී යුරෝපා රටවල්වලින් මායාකාරියන් වැනසීමේ ක්‍රියාවලිය ඉවත්ව යන බවට සලකුනු පහල විය. 1687 වසරේ එංගලන්තයේ ද 1745 වසරේ ප්‍රංශයේ ද 1792 වසරේ පෝලන්තයේ ද 1775 වසරේ ජර්මනියේද අවසාන වශයෙන් මායාකාරියන් පුළුස්සා දැමීම ක්‍රියාත්මක විය. වසර ගනනාවක් මුළුල්ලේ මායාකාරියන් ගැන මිත්‍යා විශ්වාස වල එල්බගෙන සිටීම නිසා අති විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් නැතිවීම මෙසේ නිම විය.

Thursday, February 15, 2018

ගීයක සැඟවුනු කතාව - By the rivers of babylon

බොහෝ රූපවාහිනී නාලිකා වල නත්තල් සමයට නිතර ඇසෙන ගීතයකි “ By the rivers of Babylon” ගීතය. එනමුත් මෙම ගීතය පිටුපස සැඟවුනු ඉතිහාස කතාව දන්නේ කීයෙන් කී දෙනාද? මෙම ඉතිහාස කතාව නොදන්නා අය උදෙසා හා දන්නා අයගේ දැනුම තව තවත් ඔපමට්ටම් කිරීම උදෙසා මෙම සටහන මෙසේ ලියා තබමි.

 මෙම කතාවේ මුල මැද අග හරිහැටි පැහැදිලි කර ගැනීම සදහා ක්‍රි.පූ. අටවන සියවස තරම් ඈත අතීතයට යාමට සිදුවේ. ඊශ්‍රායලය යනු ඉතා දැවැන්ත ඉතිහාසයක් ඇති රාජ්‍යයකි. මෙම රාජ්‍යයේ රජකම් කල සලමොන් නම් රජතුමා ඉතා වැදගත් රජ කෙනෙකි. එනමුත් මොහුගේ රාජ්‍ය කාලයෙන් පසු ඇතිවූ තත්ත්වය නිසා පෙරදී එක්සත්ව පැවති ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකඩ විය. මෙම රාජ්‍යය දෙකඩ වීමට සලමොන් රජුගේ හා ඔහුගේ පුත්‍රයා වූ රෙහෙබෝවම්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපෑවේය. සලමොන්ගේ රාජ්‍ය කාලයේ මිනිසුන්ට විවිධ කරදර කම්කටොළු ඇතිවූ අතර ඔහුගේ පුත්‍රයා එය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කලේය. මේ හේතුවෙන් රටේ විවිධ කැරලි ඇතිවූ අතර ජෙරුබෝවම් නැමැත්තෙක් එම කැරලි වලට නායකත්වය දරන ලදි.

 මෙම බෙදී ගිය රාජ්‍යයේ උතුර, ඊශ්‍රායලය නමින් හදුන්වනු ලැබූ අතර එහි පාලනය ජෙරුබෝවම් විසින් සිදු කරන ලදි. දකුණ රෙහෙබෝවම් විසින් පාලනය කල අතර එය ජුදා ලෙස හදුන්වන ලදි. උතුරේ අගනුවර සමාරිය වූ අතර දකුණේ අගනුවර ජෙරුසලම විය. මෙකල මිනිසුන්ගේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වූයේ ජෙරුසලම් දේවමාලිගයයි. එමනිසා වන්දනාමාන සදහා උතුරේ සිට දකුණට යන මිනිසුන් දකුණේ රැදෙනු ඇතැයි විශ්වාස කල ජෙරුබෝවම් , රන් වස්සන් දෙදෙනෙකු සාදා එකෙක් බෙතෙල්හි හා අනෙකා දාන්හි ද තබා ඒවාට වන්දනා කරන ලෙස මිනිසුන්ට අණ කරන ලදි.

 ක්‍රි.පූ. 721 දක්වා ඊශ්‍රායලය විවිධ රජවරුන් යටතේ පාලනය විය. ඒත් සමඟම මෙම රාජ්‍යයේ දේශපාලනික, ආර්ථික හා සමාජීය යන අංශ ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන් ගත්තේය. මෙම වකවානු වන විට අසිරියානු රාජ්‍යය බලවත් වෙමින් පැවතුණි. අසිරියානු පාලකයින් ක්‍රි.පූ. 721 දී ඊශ්‍රායලය ආක්‍රමණය කර එහි සිටි ඊශ්‍රායෙල්වරු විසි අටදහසකට ආසන්න ප්‍රමාණයක් අසිරියාවට වහලුන් ලෙස ගෙනයන ලදි. අසිරියාව , විදේශ රටවල්වලින් ගෙන සිරකරුවන්ව බලහත්කාරයෙන් ඊශ්‍රායලයේ පදිංචි කරවන ලදි. ඊශ්‍රායලයෙන් රැගෙන ගිය පිරිස නැවත පැමිණියේ නැත. ඊශරායලයේ දැන් ඉතිරිව සිටින ජනතාව සමාරිතයන් ලෙස හදුන්වන ලදි. අසිරියාවේ වහලුන් හා මිශ්‍ර වීම නිසා දකුණේ විසූ ජුදෙව් ජනතාව සමාරිතයන්ව සුළු කොට සලකන ලදි. එතැන් පටන් සමාරිතයන් හා ජුදෙව්වරු අතර කිසිදු සම්බන්ධතාවයක් නොවීය.

 ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙම බෙදීම ඉතා උග්‍රව පැවතුණි. ජුදෙව්වෙක් විසින් සමාරිතයෙක්ගෙන් උදව් ලබා ගැනීම එම ජුදෙව්වාට තරම් නොවන දෙයක් බව සලකන ලදි. කිසිදු ජුදෙව්වෙක් සමාරිය ගම මැදින් ගමන් කලේ නැත. වෙළඳපලට ගොස් නිවස වෙත පැමිණෙන ජුදෙව්වා නිවසට ඇතුලු වීමට පෙර ස්නානය කර පැමිණෙයි. එයට හේතුව වන්නේ වෙළදපොලේදී සමාරිතයෙක් නොදැනුවත්ව හෝ ඇඟේ වැදුනානම් එය අශුද්ධ දෙයක් ලෙස සලකනු ලැබූ බැවිනි. මේවාට එකල ආගම් උගන්වනු ලැබූ පිරිස් විසින් ද අනුබල දෙන ලදි.

 ක්‍රි.පූ. 596 දී නෙබුකද්නෙසර් විසින් සෙදෙකියා නැමැත්තෙක් ජුදා දේශයේ පාලකයා වශයෙන් පත් කරන ලදි. ඔහු බැබිලෝනියාවේ යටත් පාලකයෙක් ලෙස කටයුතු කල යුතු විය. එනමුත් සෙදෙකියා සැමවිටම උත්සහ කලේ බැබිලෝනියාවේ ග්‍රහනයෙන් මිදීම ලබා ගැනීමටය. මෙය තවදුරටත් වර්ධනය වෙමින් ඔහු විසින් ක්‍රි.පූ. 587 දී බැබිලෝනියාවට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරන ලදි. මෙය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වූ අතර බැබිලෝනියන්වරු ඉතා දරුණු අන්දමින් ජෙරුසලමට පහර දෙන ලදි. මෙහිදී මහත් ජාතියකගේ ආඩම්භරයකට හේතු වූ ජෙරුසලම් දේවමාලිගාව සුනු විසුණු වූ අතර ජෙරුසලම් නගරය නටබුන් නගරයක් බවට පත්විය. ඉතා දුප්පත් දේශවාසීන් හැර අනෙක් සියලුම දෙනා බැබිලෝනියන්වරු විසින් තම මව් රටට ගෙනයන ලදි.

 ජුදෙව් ජනතාව මේ හේතුවෙන් ඉතා දුක්ඛිත තත්වයකට පත් විය. සදාකල් පවතී යැයි සැලකුණු දාවිත්ගේ වංශය එකවර නිමාව අත්දිටීම ඔවුන්ට සිතාගත නොහැකි විය. මෙසේ ජුදා දේශයෙන් බැබිලෝනියාවට රැගෙන ගිය අය ජුදෙව්වරු ලෙස හදුන්වන ලදි. බයිබලයේ විලාප ගී යන ග්‍රන්ථයේ ද ගීතාවලියේ 137 වන ගීතයේද මෙම ජනතාවගේ දුක් ගාවිනාව ඉදිරිපත් කරයි.

 බැබිලෝනියාවේ ජීවත්ව සිටියදී ඔවුන්ට සිතුවාට වඩා දුක් විදීමට සිදු වූයේ නැත. එකල සිටි ජුදෙව් පූජකවරු තම ආගමික සිරිත් විරිත් රැකගැනීමට බොහෝ යුහුසුළු වූහ. නිසි ලෙස වන්දනාමාන කිරීමට ජනතාව වෙත ඔවුන් නිරන්තරයෙන් උපදෙස් දුන්හ. විවිධ ස්ථානවල සිටි ජුදෙව්වරු ඒකරාශී කිරීම සදහා ඔවුන් සිනගෝග (ධර්මශාලා) නැමැති ගොඩනැගිලි ඉදිකරන ලදි. සිනගෝගයක් යනු බිත්ති තුනකින් වටවූ හා තනි වහලයකින් ආවරණය වූ කුඩා චාම් ගොඩනැගිල්ලකි. මෙය තරමක් අම්බලමකට සමානය.

 පවුල් දහයකට පමණ එක් සිනගෝගයක රැස්විය හැකි විය. සිනගෝග නමස්කාර සදහා බොහෝ ප්‍රචලිත විය. මෙතෙක් වාචිකව පැවති ආගමානුකූල නීති රීති හා උපදෙස් (මෙය මිෂ්නා ලෙස හදුන්වයි) ලිඛිත ග්‍රන්ථ වශයෙන් තබා ගැනීමේ අවශ්‍යතාව පැන නැගුනේ මේ කාල වකවානු තුලදීය. මෙකලදී ජුදෙව් සිරිත් විරිත් වලට බැබිලෝනියානු සංස්කෘතිය එක් වූවත් ජුදෙව්වරු තම ඒකදේව වාදය ආරක්ෂා කරගත්තේය.

 ක්‍රි.පූ. 538 දක්වා මේ ජුදෙව්වරු බැබිලෝනියාවේ වාසය කලහ.  ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ බලය බිඳ වැටුණි. සයිරස් නම් රජ කෙනෙකුගේ නායකත්වය යටතේ පර්සියාව බබිලොන් නගරය අල්ලා ගන්නා ලදි. වැඩි කලක් යන්නට මත්තෙන් සයිරස් විසින් මුලු බැබිලෝනියාවම තමන්ගේ ග්‍රහනයට නතු කර ගත්තේය.
සයිරස්

 යටත් ජාතීන් පිලිබඳව සයිරස් රජතුමා දැක්වූයේ හාත්පසින්ම වෙනස් ආකල්පයකි. එනම් විප්‍රවාසීව සිටි ජුදෙව් ජනතාවට ඔවුන්ගේ මව් රටට එනම් පලස්තීන දේශයට නික්ම යාමට ඔහු අවසර දෙන ලදි. සයිරස් යන නමේ තේරුම එඩේරා යන්නයි. යෙසායා දිවැසිවරයාගේ පොතේ සයිරස් රජතුමාව යහපත් එඩේරෙක් ලෙස හදුන්වා ඇත්තේ ඔහුගේ මෙම යහපත් ක්‍රියාව නිසාවෙනි.

 සුප්‍රකට සයිරස් සිලින්ඩරයේ සයිරස් රජු කිසිම යුද්ධයක් නොකර බැබිලෝනියාව ජයගත් අන්දම ගැනත්, වහලුන්ට ආපසු තම තමන්ෆේ රටවල්වලට හැරී යාමටත් ඔවුන්ගේ දේවමාළිගා නැවත ගොඩනඟා ගැනීමට අවසර දීමේ ඔහුගේ ප්‍රථිපත්තිය ගැනත් විස්තර කෙරේ. සයිරස් රජු යාහ් වේ විසින් මෙහෙයවනු ලබන තැනැත්තෙකු බව බයිබලයේ යෙසායා දිවැසිවරයාගේ පොතේ පැවසෙන නමුත් ලෝකයේ පාලකයා වන පිණිස සයිරස් රජු තෝරා ගත්තේ මර්ඩුක් දෙවියා විසින් බවත් එයින් පසු මර්ඩුක් නියම මිත්‍රයෙකු මෙන් ඔහු සමඟ් ගිය බවත් මෙම ලේඛනයේ තව දුරටත් සඳහන් වේ.

 සයිරස් රජතුමා සියලුම ජුදෙව්වරුන්ට තම මව් රටට යාමට අවසර ලබා දුන් නමුත් ඔවුන් සියලු දෙනාම මව් රට බලා පිටත් නොවූහ. ආර්ථික අතින් යම් දියුණුවක් ලබා සිටි ජුදෙව්වරු තමන් වර්තමානයේ සිටින පලාත් අතහැර යෑමට මැලිබවක් දැක්වූ බව කියවේ. එනමුත් නැවත මව් රටට යාමට සෙරුබ්බාබෙල්, පූජක ජොෂ්‍ය්වා, හග්ගයි හා සෙකරියා යන අය නායකත්වය ගත්තේය.
සයිරස් සිලින්ඩරය 

 ක්‍රි.පූ. 521 දී පමණ පර්සියාවේ ඩේරියස් රජුගේ කාලයේදී ජෙරුසලම් දේවමාලිගාව නැවත ඉදි කිරීම අරඹන ලදි. මේ සදහා මුල් වූයේ පූජක සෙකරියා හා හග්ගයි යන දෙදෙනාය. මෙම දේව මාලිගාව දේව නමස්කාරයේ කේන්ද්‍රස්ථානය විය.

 නමස්කාරය සදහා බැබිලෝනියාවේදී සාදාගත් සිනගෝග ජුදා දේශයේද සෑම ගමකම සාදන ලදි. ආගමික වතාවත් අකුරටම ඔවුන් ඉටු කිරීමට වග බලාගත් අතර අන්‍ය ජාතීන් සමඟ මිශ්‍ර වීම තහනම් කරන ලදි. අන්‍ය ජාතික කාන්තාවන් විවාහ කරගෙන සිටි ජුදෙව්වරුන්ට එම කාන්තාවන් අතහරින ලෙස බලකලේය. ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙය උග්‍රව පැවතියේය.


 By the rivers of Babylon ගීතයේ සදහන් වන්නේ උක්ත ඉතිහාස කතාවෙන් කොටසකි. ජුදා දේශයේ වැසියන්ව වහල් කමට බැබිලෝනියාවට රැගෙන යාම මෙම ගීතය මගින් පවසයි. මෙම ගීතයේ බැබිලෝනියාවේ ගංගා ලෙස හදුන්වා ඇත්තේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් යන ගංඟා ය. මෙම ගීතයේ පද රචනයට ඉවහල් වී ඇත්තේ බයිබලයේ ගීතාවලිය පොතේ 137 වන ගීතයයි.

 ගීතාවලිය 137 වන ගීතය -

 " බබිලොන් හි ගං තෙරවල අපි හිඳගතිමු.
සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැළපෙමු.
එහි බට පඳුරුවල අපි වීණා එල්ලා තැබීමු.
අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කල බැවිනි.
අපට පීඩා කල අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
විදේශයක දී, සමිදුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
එම්බා ජෙරුසලම! තී මට අමතක වී නම්, මගේ දකුණත වියළී තියේවා!
මම තී සිහි නොකරමි නම්, මගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මගේ දිව ගොළු වේවා!
සමිදුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, බිඳ හෙලව් , බිඳ හෙලව් කියමින් ඒදොම් වැසියන් කල දේ ඔවුන්ට විරුද්ධව සිහි කල මැනව.
අහෝ බබිලෝනිය!
විනාශකාරී බබිලෝනිය!
තී අපට කලාක් මෙන් තීට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්තය.
තිගේ ළඳරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්තය."


 By the rivers of Babylon ගීතයේ පද මාලාව-

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

When the wicked
Carried us away in captivity
Required from us a song
Now how shall we sing the lord’s song in a strange land

When the wicked
Carried us away in captivity
Requiering of us a song
Now how shall we sing the lord’s song in a strange land

Yeah, yeah, yeah, yeah, yeah let the words of our mouth and the meditations of our heart
Be acceptable in thy sight here tonight

Let the words of our mouth and the meditation of our hearts
Be acceptable in thy sight here tonight

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon (dark tears of babylon)
There we sat down (you got to sing a song)
Ye-eah we wept, (sing a song of love)
When we remember zion. (yeah yeah yeah yeah yeah)

By the rivers of babylon (rough bits of babylon)
There we sat down (you hear the people cry)
Ye-eah we wept, (they need their god)
When we remember zion. (ooh, have the power)

 මෙම ගීතයේ මුල් ගායකයන් කව් ද? යන පැනය ඇසූ විට බොහෝ දෙනෙකුගේ පිලිතුර වන්නේ Boney M සංගීත් කණ්ඩයම කියාය. එනමුත් එය සත්‍ය නොවේ. මෙම ගීතය පද රචනය කර මුලින්ම ගායනා කර ඇත්තේ මෙලඩියන්ස් නම් සංගීත කණ්ඩායමේ  Brent Dowe සහ Trevor McNaughton යන සාමාජිකයන් ය. ඒ 1970 වසරේ දී ය. මෙම ගීතයේ ජාත්‍යන්තරයට පැමිණෙන්නේ 1972 වසරේ The Harder They Come නම් චිත්‍රපටයේ අඩංගු ගීතයක් වශයෙනි. මෙම ගීතය යුරෝපය පුරා ජනප්‍රිය කලේ Boney M සංගීත කණ්ඩායම විසිනි. ඔවුන් විසින් මෙම ගීතය නැවත පටිගත කලේ 1978 වර්ෂයේදී ය.
මෙලඩියන්ස් සංගීත කණ්ඩායම

 වර්තමානය වන විට මෙය කිතුණු දහමේ ගීතයක් ලෙස ප්‍රකට වුවත් මෙලඩියන්ස් සංගීත කණ්ඩායම මෙම ගීතය ගැයුවේ රස්තාෆාරියන් ගීයක් ලෙසයි. එයට හේතුව රස්තෆාරියන් ආගම හා කිතුනු දහම අතර යම් සමානකම් ඇති බැවිනි. එමනිසා රස්තෆාරියන් දහම පිලිබඳ යමක් පවසා මෙම සටහනට නැවතුම් තිත තැබීමට මම සිතමි.

 රස්තාෆාරියන් යැයි පැවසූ විට අපට එකෙනෙහිම මතකයට නැගෙන චරිතයක් වන්නේ බොබ් මාලේ ය. මන්ද ඔහුත් රස්තෆාරියන් දහම ඇදහූ අයෙක් බැවිනි. රස්තාෆාරියන් යනු ආබ්‍රහම්ගෙන් පැවත එනවායි කියන විශ්වාසයන්ගෙන් යුත් ආගම් වලින් එකකි. ( යුදෙව් , ක්‍රිස්තියානි හා ඉස්ලාම් යන ආගම්ද ආබ්‍රහම්ගෙන් පැවත එන විශ්වාසයන්ගෙන් සැදුම් ලත් ආගම් ලෙස පිලිගැනේ. ) 1930 දී ඉතියෝපියාවේ පාලකයා වුන Haile Selassie මෙම දහම වැඩි දියුණු කලේය. මොහුව ජේසුස්වහන්සේගේ දෙවෙනි පැමිණීම ලෙසත් දෙවියන් ලෙසත් එම බැතිමතුන් විශ්වාස කරයි.

 Marcus Garvey නම් පුද්ගලයා විසින් මෙම දහමේ පදනම සකස් කර ඇති බව පිලිගනියි. බයිබලයේ සදහන් ස්නාවක ජොහාන්ගේ දෙවෙනි පැමිණීම ලෙස මෙම පුදගලයාව , රස්තාෆාරි බැතිමතුන් විශ්වාස කරයි. මොහු මෙම රස්තාෆාරියන් දහමේ අඩංගු දෑ ඉදිරිපත් කලේ මෙම ආගම සදහාම නොවේ. කළු ජාතිකයන් එකල දැඩි පීඩා විදිමින් සිටි නිසා ඔවුන්ගේ ජීවන තත්වය හා ධෛර්යය වැඩි කිරීමට මෙම දර්ශනය මොහු විසින් ගෙනෙන ලදි. Marcus යනු selessie ට පෙර කාලයේ ජීවත් වූ පුද්ගලයෙක් වූ අතර පසු කාලයේදී selessie විසින් ඔහුගේ දර්ශනය රස්තාෆාරියන් දහමට ඇතුලත් කරන ලදි.

දැනට රස්තාෆාරි ආගමිකයන් මිලියනයක්ට වඩා සිටින බව ගනන් බලා ඇත. අප්‍රිකාව මුල් කරගෙන බිහිවූ මෙම ආගම දැන් ලෝකයේ දස අත පැතිරී ඇත. මෙම දහම ලොව පුරා ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් කලේ බොබ් මාලේ විසිනි ( 1970s ). රස්තාෆාරියන් දහමට අනුව දෙවියන් විසින් තෝරාගත් ජනතාව වන්නේ කළු ජාතිකයන් ය. ( බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ජනතාව වන්නේ ඊශ්‍රායෙල් ජනතාව යි. )

රස්තාෆාරියන් බැතිමතුන් බයිබලයේ පැරණි ගිවිසුමේ අඩංගු නීති බොහොමයක් භාවිතා කරයි. එමෙන්ම මේ දහම ගැන පවසන විට ගංජා ගැන අනිවාර්යයෙන්ම කතා වන දෙයක්. රස්තාෆාරියන්  බැතිමතුන් ගංජා භාවිතා කිරීමෙන් දෙවියන්ට වඩා ලං විය හැකි බව විශ්වාස කරයි. බොබ් මාලේ ගංජා භාවිතා කලේ එම හේතුව නිසයි. එමෙන්ම මෙම බැතිමතුන් කිසි විටෙක තම ශරීරය කැපීමට ඉඩ නොදෙයි. බොබ් මාලේ මියයාමටද මෙය බෙහෙවින් බලපාන ලදි.

 මෙම දහමේ භාවිතා වන වර්ණ කිහිපයක් ඇත. එම වර්ණ නම් රතු, කොළ , රත්තරන් සහ කලු වේ. මෙම වර්ණයන් යොදාගෙන ඇත්තේ තේරුමක් ඇතිවයි.

රතු - ජැමැයිකානු ඉතිහාසයේ කලු ජාතිකයන් තමන්ගේ විමුක්තිය උදෙසා හැලූ ලේ සංඛේතවත් කිරීමට. කොළ - නිර්මාංශ බව පෙන්නුම් කිරීමටරත්තරන් - ඉතියෝපියාවේ ඇති ධනය පෙන්නුම් කිරීමටකලු - රස්තාෆාරි බැතිමතුන් වූ කලු ජාතිකයන්ගේ වර්ණය සිහි ගැන්වීමට

මෙම ආගම සමඟ කොණ්ඩා මෝස්තර , ඇදුම් පැලඳුම්, ආහාර පාන , විවිධ වූ විලාසිතා ඔවුන්ටම අනන්‍ය වී පවතියි. රස්තාෆාරි දහමේ ගංජා භාවිතා කිරීම තිබුනද සමහර රස්තාෆාරි බැතිමතුන් එය භාවිතා කරන්නේ නැත. මෙම දහමේ කොණ්ඩය කැපීම නොකල යුතු යැයි පවසන අතර ශරීරය දේවස්ථානයක් ලෙස තබාගත යුතු යැයි සදහන් වේ. එමනිසා මොවුන් ශරීර සෞඛ්‍ය ගැන බොහෝ විට සිතයි. එම හේතුම නිසාවෙන්ම බොහෝ රස්තාෆාරි බැතිමතුන් ගංජා භාවිතා නොකරයි.

මෙම බැතිමතුන් මෙය දහමක් ලෙස හදුන්වාදීමට අකමැතියි. මෙය දර්ශනයක් ලෙස හදුන්වාදීමට ඔවුන් උත්සහ කරයි. රස්තාෆාරි ආගමිකයන්ගේ සංඛෙතය වන්නේ සිංහයා ය. මොවුන්ගේ කොඩිය වන්නේ selessie ගේ පාලන සමයේ ඉතියෝපියාවේ භාවිතා වූ කොඩියයි.

Wednesday, February 14, 2018

ලෝක යුද්ධයේ පාර්ෂව තුනක් උදෙසා සටන් කල යැන්ග්

ඔහු කොරියානු ජාතිකයෙක්. ජපනුන් විසින් ඔහුව අල්ලාගෙන සෝවියට් රුසියාවට එරෙහිව සටන් කිරීමට යොදා ගනියි. ඉන්පසු රුසියානුවන් විසින් ඔහුව අල්ලා ගනියි. ඔවුන් ජර්මානුවන්ට විරුද්ධව සටන් කිරීමට ඔහුව යොදා ගනියි. ඔහු ඉන්පසු ජර්මානුවන්ට හසුවෙයි. ඔවුන් මොහුව නෝර්මැන්ඩි ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදාගනියි. එතැනදී ඔහුව ඉංග්‍රීසීන්ට හසුවෙයි. මොහු නමින් Yang Kyoungjong. ලෝක යුද්ධ ඉතිහාසයේ පාර්ෂව තුනක් වෙනුවෙන් සටන් වැදි එකම පුද්ගලයා වන්නේ මොහුයි.

දෙවන ලෝක යුද්ධයට පෙර යැන්ග්ගේ ජීවිතය ගැන ඇත්තේ තොරතුරු ස්වල්පයක් පමණි. යැන්ග් උපතින් කොරියනු ජාතිකයෙකි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ඔහු සිටියේ ජපනුන්ගේ පාලනයට යටත්ව තිබූ මැන්චූරියා ප්‍රදේශයේ ය. මේ හේතුවෙන් 1938 වසරේදී තමන් අකමැති වුවත් බලහත්කාරයෙන් ජපානයේ Kwantung හමුදාවට සේවය කිරීම සදහා මොහුව බදවාගත්තේ ය. මේ වන විට ඔහුගේ වයස දහ අටක් වී තිබුණි.

Khalkhin Gol හි ගැටුම් අතරතුරදී සෝවියට් රතු හමුදා විසින් මොහුව අල්ලාගෙන කම්කරු කඳවුරකට යවන ලද්දේ සිරකරුවෙකු ලෙසයි. සෝවියට් යුද්ධ හමුදාවේ මිනිස් බලකාය ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන ගිය බැවින් දහස් ගණනින් සිරකරුවන් නාසි ජර්මනියට එරෙහි යුද්ධ සදහා යොදා ගන්නා ලදි.

යැන්ග්ගේ සෝවියට් හමුදාවට සේවය වසරක පමණ කාලයක් විය. මෙම කාලය අතරතුර ඔහු බොහෝ සටන් වලට මුහුණ දුන්නේ ය. Kharkov හි තෙවන සටනේ දී මොහුව ජර්මානුවන් විසින් අල්ලා ගනියි.

 කොරියානුවෙක් සෝවියට් දේශය උදෙසා සටන් කරන්නේ ඇයි දැයි ජර්මානුවන්ට නොවැටහුණු නමුත් අනෙක් සිරකරුවන් මෙන්ම ඔහුව ද සිරකරුවෙක් ලෙස රැගෙන ගියේය. ජර්මනිය වෙනුවෙන් සටන් කිරීමට කැමති අය සොයා බලා ඔවුන්ව යුද්ධයට යැවීනට ජර්මානුවන් පියවර ගත්තේය. තම අත්දැකීමත් නිසා යැන්ග් ජර්මනිය උදෙසා සටන් කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් විය.

ඒ අනුව සිරකරුවන් අතරින් යුද්ධ කිරීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ අයගෙන් සැදුම්ලත් කණ්ඩායමකට යැන්ග් එක්වුණි. මෙම කණ්ඩායම් සදහා විවිධ ප්‍රදේශවල ජර්මන් සිරකදවුරු වල සිට පැමිණි සිරකරුවන් විය.

මෙසේ ජර්මනිය සදහා සටන් වදිමින් සිටිනා අතරතුර ඇමරිකාවේ 506 වෙනි පැරෂූට් රෙජිමය විසින් යැන්ග් ඇතුලු කිහිපදෙනෙක්ව අල්ලා ගත්තේ ය. 506 වන රෙජිමයේ ලුතින්වරයෙක් වූ රොබර්ට් බෲවර් විසින් මේ ගැන ලියා තිබුනේ මෙසේයි;  " ජර්මානු යුධ ඇදුම් ඇදගත් ආසියාතිකයන් හතර දෙනෙක්." ඔහුගේ මෙම සටහන ලියා ඇත්තේ වැරදි වැටහීමකිනි. ඔවුන් සිතා සිටියේ එම හතර දෙනාම ජපන් ජාතිකයන් බවයි. එනමුත් යැන්ග් කොරියානු ජාතිකයෙක්. අනෙක් තිදෙනා තුර්කිස්ථාන වැසියන් වේ.

යැන්ග් හට ඉංග්‍රීසි හෝ ජර්මන් බස හොදින් හැසිරවිය නොහැකි වූ නිසා තමන් පිලිබද කීමට හැකියාවක් නොලැබුණි. එම නිසා නැවතත් ඔහු බ්‍රිතාන්‍යයේ කදවුරක් වෙත යවන ලදි. ලෝක යුද්ධය අවසන් වන තුරු ඔහු රැදී සිටියේ මෙම කදවුර තුලයි.

ලෝක යුද්ධය අවසන් වූ පසු යැන්ග් තම මව් රට වෙත යාමට කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔහු ඇමරිකාව වෙත සංක්‍රමණය විය. එහිදී ද ඔහුගේ ජීවිතය එතරම්ම සුබ වූයේ නැත. අවසානයේ ඔහු ඉලිනොයි හි ස්ථිරව පදිංචි විය. තම පණනල රැක ගැනීමට පාර්ෂ්ව තුබක් උදෙසා සටන් වැදුනු යැන්ග් 1992 වසරේ දී අවසන් හුස්ම හෙලීය.

Tuesday, February 13, 2018

කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කනපිට පෙරළූ චීනයේ එකම අධිරාජිනිය



කොන්ෆියුෂියානු ඉගැන්වීම් වලට අනුව කාන්තාවන්ට රාජ්‍ය පාලන තත්ත්වයකට ඒමට නොහැකි විය. කොන්ෆියුෂියස් පවසා සිටියේ "ගැහැණියකගේ රාජ්‍ය පාලනය, කුකුළෙකු උදේ පාන්දර කරන හැඬලීම කිකිළියකු කිරීමට උත්සහ කිරීම තරම් අස්වාභාවිකය" ලෙසයි.

එනමුත් මෙම ඉගැන්වීම බොරුවක් බව ඔප්පු කිරීමට ටෑංග් රාජවංශය තුලින් හැකිවිය. මෙම රාජවංශය පැවති කාලයේ පැරණි චීන කාලවල් වලට වඩා ස්ත්‍රීන්ට නිදහස හිමිව තිබුණි.

පෙරදී කාන්තාවන්ට 'කකුල් බැදීම' නම් කෲර ක්‍රියාවලියක් තිබුණි. කාන්තාවන්ගේ පාද සුමටව තබා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බව සලකන ලද පැරණි චීන සමාජය, ගැහැණු දරුවෙකු වයස අවුරුදු 6-7 වන විට ඇගේ පාදවල ඇගිලි බිඳ දමා ඒවා වෙළුම් පටි භාවිතයෙන් වෙළා තබයි. මෙසේ කරන්නේ ඒවායේ වැඩීම බාල කරන පිණිසයි. මෙසේ වෙළුම් පටි වසර දහයක පමණ කාලයක් වෙළා තබයි. වර්තමානය වන විටද බුරුමය හා තායිලන්තය වැනි රටවල්වල ගම්බද කාන්තාවන් බෙල්ල දිගු කර ගැනීම උදෙසා මෙවන් ක්‍රියාවලියක යෙදෙයි. ඒ සදහා ඔවුන් යොදාගන්නේ පිත්තල වලළු ය. ටෑංග් රාජවංශයේ දී පෙර කී 'කකුල් බැදීමේ' චාරිත්‍රය ප්‍රචලිත වී නොතිබුණු අතර කාන්තාවන්ට අධ්‍යාපන අයිතියද හිමිව තිබුණි.

ක්‍රි.ව. 624 වර්ෂයේ දී ෂාක්ෂි ප්‍රාන්තයේ ධනවත් පවුලකට සේෂාන් නමින් ගැහැණු දරුවෙකු උපත ලැබීය. එකල අන් ගැහැණු දරුවන් මෙන් අධ්‍යාපනයේ හිමිකම ප්‍රයෝජනයට ගත් ඇය වයස අවුරුදු 13 පමණ වන විට චීන සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනයට හැකියාව ඇති තත්ත්වයකට පත්ව සිටියාය.

ඇගේ රූ සොබාවත් ඥාණයත් නිසාවෙන් එකල සිටි ටයිසොංග් අධිරාජ්‍යයා ඇයව තම උප පතිනිය ලෙස රාජවාසල වෙත රැගෙන ගියේය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ නමවැනි පුත්‍රයා වූ ග්වේසොං මෙම සටහනේ කතා නායිකාව වූ සේෂාන් ව විවාහ කර ගත්තේය. එමගින් ඇය ග්වේසොං ගේ අගමෙහෙසිය බවට පත්විය.

ග්වේසොං රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් දක්ෂ නොවූ දුර්වල පාලකයෙක් බවට ඉතිහාසඥයින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් රාජ්‍ය පාලනය පිටුපස සිටියේ අගමෙහෙසිය වූ සේෂාන් ය. විවාහයෙන් වසර පහකට පසු ග්වේසොං හෘදයාබාධකින් මිය ගියේය. ඒ අනුව රාජ්‍ය පාලනය පැවරුණේ සේෂාන් වෙතයි. මෙහිදී ඇය විසින් රාජ්‍ය පාලනය පවරා ගත්තා යැයි සැලකීම වඩාත් නිවැරදි වේ. 644 දී ග්වේසොං ගේ මරණයෙන් පසු 645 වසරේදී කුමන්ත්‍රණ කිහිපයකින් ඇය ටෑංග් රාජවංශයේ අධිරාජිණිය බවට පත්විය.

චීන අධිරාජ්‍යයේ පලමුවන හා එකම අධිරාජිනිය බවට පත්වෙමින් ඇය කොන්ෆියුෂියස් ගේ කුකුළා හා කිකිළිගේ කියමන කනපිට හැරවීමට සමත් විය. ගැහැණිය පහත් කොට සැලකූ කොන්ෆියුෂියස් දහම රාජ්‍ය ආගම තත්ත්වයෙන් නෙරපූ අතර ඒ වෙනුවට රාජ්‍ය ආගම් ලෙස බුදු දහම හා ඩව් දහම පත් කළාය.

මැය ක්‍රමක්‍රමයෙන් උපායශීලීව සිහසුනට උරුමකම් කී අයව ඉවත් කලේය. අධිරාජ්‍යය මධ්‍යම ආසියාව තෙක් ව්‍යාප්ත කොට මොංගෝලියාව, කොරියාව හා වියට්නාමය ඇතුලු බොහෝ පෙදෙස් රාජ්‍යයට එක්කර ගත්තාය.

කෙසේ වෙතත් ඇය අනුකම්පා විරහිත පාලිකාවක් වූ අතර චර්යාව ද කීර්තිමත් එකක් නොවීය. ඇය තම පාලන කාලයේ දී ටෑංග් අධිරාජ්‍යය ජූහ් [Zhou] අධිරාජ්‍යය ලෙස නම් කලේය. එහෙත් මැය තම අධිරාජ්‍යය ස්ථාවර හා සෞභාග්‍යමත් අධිරාජ්‍යයක් බවට පත් කිරීමට සමත් විය.

ඇයගේ රාජ්‍ය කාලය තුල සිදු කෙරුණු ප්‍රතිසංස්කරණය ඉතා වැදගත් ඒවා විය. චීන කලා ශිල්ප ක්‍රමයේ ඉහළ ස්ථානයක් හිමිකරගත් ලොංමෙන් ගුහා සංකීර්ණය ඇයගේ පාලන කාලය තුල දී නිර්මාණය විණි. මෙය ගුහා 1400 කින් හා එක් එක් ප්‍රමාණයට ගලෙන් කොටන ලද බුද්ධ ප්‍රථිමා ලක්ෂයකින් පමණ සමන්විත වේ.

ක්‍රි.ව. 715 දී අසනීපයක් හේතුවෙන් සේෂාන් මිය ගියේය. ඇයගෙන් පසු ඇගේ මුණුබුරු ෆොන් සොංග් බලය තම අතට අරගත්තේය.