Thursday, June 28, 2018

ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර 'ඔව්' යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේවෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුලදක් ඇදුනත් අප සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. කෙනෙකුට ජයමල්ල හිමි වූ විට ඔහු/ඇයගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? මේ නිසා ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන සොයා බලමු.

ලංකාවේ පලමු වරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකර යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායක මහතාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙල මහතාගේ කාලයේදී ය. මේ අනුව 'ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය' 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදි.
කිරිඅප්පු මොරිස් 8 රිය සමග

මෙම පලමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේ මහතාට යි. ඔහු මෙම ටිකට්පත මිලදී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. ඔහු එය මිලදී ගෙන නිවසට ගොස් ගෝන අං තට්‍යුව අස්සේ එය රඳවා තබයි.

කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප්ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය තවතවත් වැඩි වන්නට විය. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසදා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල් ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

"ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ."

අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කලේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිලදී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට නොමිලයේ ම ලබා දුන්නේය. ලොල්ලේගොඩින් ඔහු අක්කර විස්සක ඉඩමක් මිලදී ගෙන කුඹුරු යායක් ද සමග ඔහු තමා සන්තකයේ තබා ගත්තේය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිලදී ගත්තේ ය.

මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළට ම ඉගෙනගත් කාන්තාවක් වූ අතර කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසරට වනතෙක් පමණි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වීය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තෙන් නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් විය. කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කලේය.

 පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉදහිට තමා මිලදී ගත් වාහන වලින් හයර් එකක් ද කරගෙන සිටියේය.

කිරිඅප්පු තම දරුවන්ට හොදින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටියි. කිරි අප්පු අංශබාගය සෑදී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකිණූ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරන ලදි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම් උණුසුම වර්තමානයේ ද පවතියි.

මූලාශ්‍ර : ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත

ප.ලි. ඉස්සර බ්ලොග් එකේ පෝස්ට් එකක් දාද්දි ප්‍රශ්න තුනකුත් ඒ එක්කම මම දැම්මා. ආයෙත් ඒක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ඒ නිසා පල්ලෙහා ප්‍රශ්න වල උත්තර දන්නවනම් කියන්න.

1)1912 වර්ෂයේ රුවන්වැලි මහා සෑය ප්‍රථිසංස්කරණයට ලක්ෂ දෙකක් දුන් පුද්ගලයා කව් ද?

2)මුහුදු කොල්ලකරුවන් එක ඇහැක් වහගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති. ඇයි එයාලා එක ඇහැක් වහගෙන ඉන්නේ?

3)පල්ලෙහා පින්තූරයේ තියෙන්නේ දැනට කෞතුගාරයක තියෙන එක්තරා පුද්ගලයෙක් ගේ ඇඟිල්ලක්. මේ ඇගිල්ල කාගෙ ද?

Sunday, June 24, 2018

ජාතික වස්තුවක් ලෙස මියගිය වීදි ගායිකාව - ඊඩිත් පියැෆ්

ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම පැමිණි පුද්ගලයින්ගේ ජීවිත කතාව බලන විට අපට වැටහී යන්නේ ඒ අතුරින් බොහෝ දෙනාට සුන්දර අතීතයක් හිමි නොවූ බවයි. ඊඩිත් පියැෆ් ද එසේයි. ඇය ප්‍රංශයේ වීදි ගායිකාවක් වූයේ කුසට ආහාරයක් ලබා ගැනීම උදෙසා විනා ජනප්‍රියත්වයට පත් වීමට නොවේ. එහෙත් ජනප්‍රියත්වය ඇය පසුපස හඹා ආවාය. වීදි ගායිකාවක් ලෙස තම සංගීත දිවිය ආරම්භ කර 1963 දී මියයන්නේ ප්‍රංශයෙන් එතෙක් මෙතෙක් බිහිවූ සුවිශාල අන්තර්ජාතික තාරකාවක් ලෙස තම නම රඳවාය. මේ ඇයගේ කතාවයි.

ඇයගේ කුඩා කාලය

ඊඩිත්ගේ කුඩා කල ගැන තොරතුරු අතිශයින් විරලයි. ප්‍රංශයේ මිනිසුන් අතර පවතින කටකතා වල පැවසෙන්නේ ඇයගේ මව ඇයට පදික වේදිකාවකදී උපත ලබා දුන් බවයි. එහෙත් ඇයගේ උප්පැන්න සහතිකයේ තිබෙන්නේ ඇය ප්‍රංශයේ ටෙනොන් රෝහලේ 1915 වසරේ දෙසැම්බර් මස 19 වන දින ඉපදී ඇති බවයි. ඇයගේ උපත් නාමය ඊඩිත් ජියොවන්නි ගැසියොන් ය. ඇගේ පියා ලුවිස් ගැසියොන් ය. ඔහු වීදි සංදර්ශන කරුවෙකි. මව ඇනෙට්ටා ජියොවන්නි වන අතර ඇය ආපනශාලා වල ගායිකාවක් ලෙස කටයුතු කළාය.


ඊඩිත්ගේ මව තම දරුවාව රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙයින් දරුවාගේ වගකීම පැවරුනේ පියාටයි. පියාටද ඊඩිත් ඉපදී වසරක් යාමට මත්තෙන් (1916 දී) පලමු ලෝක යුද්ධය සදහා ප්‍රංශ හමුදාවට බැඳෙන්නට නියෝගයක් ආවේය. එම නිසා එකල අතදරුවෙක් වූ ඊඩිත්ව ඔහු නතර කරන්නේ ඔහුගේ මව ලඟයි. ඊඩිත්ගේ මිත්තණිය එකල ගණිකා නිවාසයක් බාරව සිටියේය. එහෙයින් ඊඩිත්ව කුඩා කල රැකබලා ගත්තේ ගණිකාවන් විසිනි.

1929 වසර වන විට ඊඩිත්ට වයස අවුරුදු 14කි. මේ වන විට ඇගේ පියා හමුදාවෙන් නික්ම පැමිණ නැවත වීදි සංදර්ශන වල නිරත වීමට සූදානමින් සිටියේය. මෙහිදී ඔහු තම දරුවා වන ඊඩිත්ව වීදි වේදිකාවට හදුන්වා දුන්නේය. ඊඩිත් පලමුවරට සමූහයක් ඉදිරියේ ගායනා කරන්නේ මෙම අවස්ථාවේදීයි. වයස අවුරුදු 15 දී ඇයට මෝමොනෙ නමින් වූ තමන්ගේ සහෝදරියක්ව හදුනාගැනීමට හැකිවේ. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ වීදි වල ගායනා කරමින් තමන් අතට මුදල් රැස්කරගත්තේය. තරමක් මුදල් එක්රැස් වූ පසු ඔවුන් ජීවත්වීමට කුලියට නිවසක් ගත්තේය.

පලමු ආදරය

1932 වසරේදී ඇය ලුවිස් ඩුපොන්ට් නම් තරුණයෙක් සමග ආදරයෙන් බැදුනේය. වැඩි කාලයක් යාමට පෙර ඔහු ,ඊඩිත් හා මෝමොනෙ එකල ජීවත්ව සිටි කුඩා කාමරය වෙත ආවේය. තිදෙනාම එකට එකම කාමරයේ සිටීම ඊඩිත් හැර අනෙක් දෙදෙනාම කැමැත්තක් දැක්වූයේ නැත. ඊඩිත් වීදියේ ගායනා කරනවාට ලුවිස් කැමැත්තක් දැක්වූයේ ද නැත. එමනිසා ඔහු ඇයට බොහෝ රැකියා අවස්ථා තෝරා දුන්නද ඇය ඒවාට යාමට අදිමදි කළාය. නමුත් ඊඩිත් ඔහුගෙන් ගැබ්ගත් පසු කෙටි කාලයකට රෙදිපිළි කර්මාන්තශාලාවක රැකියාවකට ගියේය.

1933 දී 17 හැවිරිදි ඊඩිත් මාර්සෙලා නම් වූ තම දියණියට උපත ලබා දුන්නාය. ඊඩිත් ද තම මව මෙන් දරුවන් රැකබලා ගැනීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මෙය කැමැත්තක් නොදැක්වීමට වඩා ඇය දරුවන් බලාගන්න ආකාරය දැන සිටියේ නැහැ. දරුවා ඉපදුන පසුද ඇය තම සොහොයුරිය සමග වීදි වල ගායනා කිරීමට ගියාය. මේ නිසා කෝපයට පත් ඊඩිත්ගේ පෙම්වතා ඇයත් සමග කල රණ්ඩුවක ප්‍රථිපලයක් ලෙස ඇය තම සොහොයුරිය හා දරුවා සමග හෝටල් කාමරයක නවාතැන් ගැනීමට ගියේය. මෙහිදී ද මොවුන් දෙදෙනා දරුවාව කාමරය තුල දමා වීදියේ ගායනා කිරීමට ගියේය. මේ නිසා ලුවිස් පැමිණ දරුවාව තමන් වෙතට ගෙන කියා සිටියේ දරුවාව ඕනනම් ඊඩිත්ට ඔහු සමග විසීමට නැවත පැමිණිය යුතු බවයි. නමුත් ඊඩිත් නැවත ඔහු වෙත නොගියත් දරුවාගේ වැඩකටයුතු සදහා මුදල් ඔහු වෙත යැව්වාය. අවාසනාවන්ත අයුරින් මාර්සෙලා වයස අවුරුදු දෙකේ දී රෝගී වී මියයයි. කටකතා වල පැවසෙන්නේ ඊඩිත් තම දරුවාගේ අවමංගල්‍ය සදහා මුදල් එවිට නොතිබූ නිසා මිනිසෙක් සමග නිදිවැදූ බවයි.

වීදි ගායනයෙන් සමාජශාලාවට

1935 වසරේදී ඊඩිත් සුපුරුදු පරිදි ප්‍රංශයේ පැරීසිය නගරයේ වීදි වල ගායනා කරමින් සිටින අතරතුර පැරීසියේ රාත්‍රී සමාජ ශාලාවක අයිතිකරුවෙක් වන ලුවිස් ලෙප්ලී ඇයට මුණගැසෙයි. මොහු ඇයගේ ගායනය දෙස බලා ඇයව තම සමාජ ශාලාවේ ගීත ගැයීමට යොදා ගනියි. ඊඩිත් හට පියැෆ් යන නාමයද ලබා දෙන්නේ මොහු විසිනි. ඔහු කියා සිටියේ ඇගේ පෙර නම ගායිකාවකට සුදුසු නොවන බවයි. එම නිසා එතැන් පටන් ඇය ඊඩිත් පියැෆ් නමින් සංගීත දිවියට පිවිසෙයි. ලුවිස් විසින් ඇයට කළු ගවුමක් ඇදීමටද කියයි. ඊඩිත් විසින් තම සංගීත දිවිය පුරාවටම එය තම අනන්‍යතාවයක් ලෙස තබා ගත්තේය.

රාත්‍රී සමාජ ශාලා වල ගායනා කිරීමට පටන් ගත් පලමු වසරේදීම ඇය තම ප්‍රථම ගී නිර්මාණ දෙක එළුදැක්වූයේය. මෙම සමාජ ශාලාවට බොහෝ ජනප්‍රිය පුද්ගලයින් පැමිණි නිසා ඊඩිත් හට ඔවුන්ව හදුනාගැනීමට ද අවස්ථාව සැලසුණි. 1936 වසරේ අප්‍රේල් 6 වන දින ලුවිස් ලෙප්ලී ව තම කාමරයේ දී ඝාතනය කරනු ලබයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊඩිත්ව සැකකරන ලැබූ නමුත් ඇය මෙයට කිසිදු සම්බන්ධයක් නොවීය. මේ නිසා එකල සිටි සමාජ ශාලා හිමියන් ඇයව තමන් යටතේ වැඩට ගැනීමට බිය විය. එහෙයින් ඊඩිත් හට නැවතත් වීදි වල ගායනා කිරීමට සිදුවිය.

සමාජශාලාවෙන් රංග ශාලාවට

බොහෝ තැන් වලින් ප්‍රථික්ෂේප වී සිටි කාලයේ ඊඩිත් ව සංගීත කටයුතු සදහා රේමන්ඩ් ඇස්සෝ එක්කර ගනියි. ඊඩිත් හට 'ඊඩිත් පියැෆ්' යන වේදිකා නාමය දිගටම පවත්වාගෙන යන ලෙසද ඔහු පවසයි. ඊඩිත් ව නියම ගායිකාවක් ලෙස සකසන්නේ මොහුයි. ඇයට හොද පුහුණුවක් ඔහු ලබා දෙයි. රේමන්ඩ් ඇයට ආදරය කරන්න පටන් ගත් නමුත් ඔවුන්ගේ සම්බන්ධය එතරම් කලක් පැවතුනේ නැත.

සමාජ ශාලා වල සහ වීදියේ ගායනා කරමින් සිටි ඊඩිත් ව පැරීසියේ ප්‍රකට රංග ශාලාවක ගායනයක් සදහා යොමු කරන්නේ රේමන්ඩ් ය. ඔහු ඇයට ඇයගේ ප්‍රථම ජනප්‍රිය ගීතය නිර්මාණය කර දෙයි. එය නමින් 'Mon Legionnaire' ය. 1939 දී දෙවන ලෝක යුද්ධය සදහා ප්‍රංශය හමුදාවට සේවය කිරීමට රේමන්ඩ් හට නියෝගයක් පැමිණියේය. මෙයින් ඊඩිත් සහ රේමන්ඩ්ගේ ආදර සම්බන්ධය බිද වැටුණි.

දෙවන ලෝක යුද්ධ අවධියේ දී


දෙවන ලෝක යුද්ධ අවධියේ දී ඊඩ්ත්ගේ ජනප්‍රියත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියේය. ජර්මානුවන් පැරීසිය ආක්‍රමණය කල පසු සමාජශාලා ආදිය පෙර පරිදිම විවෘතව තැබුණි. ඊඩිත් ගණිකා නිවාස වල සහ සමාජශාලා වල නිතර ගායනයට ගියේය. ලෝකය යුද්ධයක ඇවිලී ගිය අවධියක ඇය ජනප්‍රියත්වයේ පඩි නගින්නට විය. ජර්මානුවන්ගෙන් ස්වදේශික හමුදා පැරීසිය බේරා ගත් පසු ඊඩිත් එලිදැක්වූ ගීතය ඇයගේ ගීත අතරින් වඩාත් ජනප්‍රියත්වයක් හිමි කරගත් ගීතයකි. එය 'La Vie en Rose' වේ.

1947 දී ඇය පදරචනය කර ගායනා කල 'Mais qu'eat-ce que j'ai?' එලිදැක්වීමෙන් වසරක් තුල ඇය ප්‍රංශයේ වැඩිම ජනප්‍රියත්වයක් හිමි ගායක ගායිකාවන් අතරට එක්විය. යුද්ධයෙන් පසු ඇය යුරෝපය හා ඇමරිකාව දෙසට ගියේය. ඇමරිකාවට ගොස් ඇය තැබූ මුල්ම ප්‍රසංගයෙන් එහි ජනතාව ඇය කෙරෙහි එතරම් විස්මයට පත් වූයේ නැත. ඇය ශරීර ප්‍රමාණයෙන් කුඩා, කළු පැහැති ගවුමක් ඇඳගත් ශෝක ගී ගැයූ කාන්තාවකි. නමුත් ඇමරිකානු වැසියන් බලාපොරොත්තු වූයේ එවන් අයෙක් නොවේ. නමුත් වර්ජිල් තොම්සන් විසින් නිව් යෝර්ක් පුවත්පතට ලියූ ඊඩිත් පියැෆ් ගැන ලිපිය ඇමරිකානු වැසියන්ගේ ඊඩිත් ගැන අදහස් වෙනස් කිරීමට සමත් විය.

ඇගේ ප්‍රකට ගී අතර 'Hymne a l'amour' (1949), 'La Foule' (1957) , 'La Vie en Rose' (1946), 'L'Accordeoniste' (1940), 'Padam padam' (1951), 'Milord' (1959) සහ 'Non, je ne regrette rien' (1960) ගීත ප්‍රමුඛ තැනක් ගනියි.

පැරීසියේ ඔලිම්පියා සංගීත ශාලාව යනු ඊඩිත් හට දිගු කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුන් ස්ථානයයි. පැරීසියේ වැඩිම ජනප්‍රියත්වයක් තිබූ මෙම සංගීත ශාලාවේ ඇය 1955 සිට 1962 අතර කාලයේ දී බොහෝ සංගීත ප්‍රදර්ශන පැවැත්වූයේය. නමුත් 1960 අවධියේ දී ඔලිම්පියා සංගීත ශාලාව බැංකු කටයුත්තක් නිසා හිරවී වසා දැමීමේ තත්වයට පත් වීමට ගියේය. මෙයින් සංගීත ශාලාව බේරා ගත්තේ ඊඩිත් විසිනි. ඇය එම සංගීත ශාලාවේ බොහෝ වාර ගණනක් පෙනී සිටි අතර එය සදහාම විශේෂිත වූ ගීතයක් ද නිර්මාණය කලේය. එය 'Non, je ne regrette rien' නම් වේ. මෙය විසින් නිර්මාණය කල විශිෂ්ටතම ගීතයක් වන අතර ප්‍රංශ භාෂාව නොදන්නා අයෙකු පවා මෙම ගීතය ඇසීමෙන් එයට වසඟ වනු නිසැකයි. ඔලිම්පියා සංගීත ශාලාව සදහා ඇය මෙම ගීය ගයා ඉන් වසර තුනකට පසු(1963 දී) ඇය මියයයි.

ඊඩිත්ගේ පෞද්ගලික ජීවිතය තරමක් සංකීර්ණය. ඇයට ආදර සම්බන්ධතා කිහිපයක්ම තිබූ අතර දෙවරක් විවාහ විය. ඇය වාහන අනතුරු කිහිපයකටම මුහුණ දුන්නේය. එයින් ඇගේ ඉළ ඇට දෙකක් ද ගැලවී ගිය අතර ඇයට අවසාන කාලයේ සිට ගැනීමට අපහසු තත්වයකට පත් විය. ඊඩිත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියේය. ඇයට එය නවත්වන්න යැයි කවුරුත් කීවේ ද නැත. මන්ද ඇගේ ජීවිතයේ එකදිගට වැඩි කාලයක් සිටි අය සිටියේ නැත. කෙතරම් ජනප්‍රියත්වයක් තිබුනද ඇගේ ජීවිතය නිරන්තර දුකින් පිරී තිබුණි. ඇගේ ගීත වලින්ද ඇය ඉදිරිපත් කලේ ඇගේ විරහවයි.

ඇගේ ජීවිතය අලලා චිත්‍රපට හා වාර්තා වැඩසටහන් බොහොමයක් නිර්මාණය විය. ඒ අතර 2007 වසරේ දී තිරගත වූ ඇකඩමි සම්මාන දිනූ 'La Vien en Rose' චිත්‍රපටය විශේෂ වේ. වීදි ගායිකාවක් ලෙස සංගීත දිවිය ආරම්භ කර ප්‍රංශයේ ජාතික වස්තුවක් ලෙස මියගිය ඊඩිත් පියැෆ් ඇයගෙන් පසු පැමිණි කලාකරුවන්ට හා විශේෂයෙන් කලාකාරිනියන්ට මහත් පිටුබලයක් සැපයූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මූලාශ්‍ර :
1) https://en.m.wikipedia.org/wiki/Édith_Piaf

2) https://www.britannica.com/biography/Edith-Piaf

3) https://www.telegraph.co.uk/culture/10374637/Edith-Piaf-Mistress-of-heartbreak-and-pain-who-had-a-few-regrets-after-all.html

4) https://youtu.be/ue1pRDnVRqg

   https://youtu.be/dBWtdJCHB5o

   https://youtu.be/WhlPp8z6BYk

   https://youtu.be/EVTDxMJjBP0



Wednesday, June 13, 2018

සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

ගෙවල් අලුත්වැඩියා කරන පේදුරු බාස් උන්නැහේගේ සහ ගමේ කොහු මෝලේ කොහු අඹරන්නියක්ව සේවය කළ එළිසබෙත්ගේ එකම පුත්‍රයා ඌගෝ සිංඤෝ ය. ඔවුන්ට මාර්තා මරියා නම් තව ලාබාල දියණියක් ද විය. දිනක් පේදුරු බාස් උන්නැහේ පලංචියෙන් වැටී දකුණු කකුලත් දකුණු අතත් බිඳීම නිසා ඔහුට එතැන් පටන් ඇදේම කාලය ගත කරන්නට සිදුවිය.

පියාගේ පෙර දෛනික වැටුප සත 60 කි. මවගේ සත 20 කි. දැන් මවගේ සත විස්සෙන් කෙසේ හෝ කා බී පියාට සාත්තු සප්පායම් කරමින් සිටිය යුතුය. මේ නිසා පවුල වැටුනේ දරුණු ආගාධයකටයි. දිනක් ඌගෝ තම මව වැඩකරන කොහු මෝලේ ලණු අඹරන මැෂිමේ රෝදය කරකැවීමට ගියේය. එදින ඔහුට ඒ සදහා සත 25 ක මුදලක් ලැබුණි. මෙයින් ඉහේ මලක් පිපුනා වැනි හැගීමකට පත් වූ ඌගෝ පාසල අතහැර කොහු මෝලේ වැඩට යාමට ඉටා ගත්තේය. මේ වන විට ඔහු සිටියේ හත වසරේය. පවුල වැටී ඇති තත්වය නිසා මවගෙන් එයට අකමැත්තක් පැමිණියේ නැත. දක්ෂ දරුවෙක් නිසා ඌගෝව පාසලෙන් අයින් කිරීමට ගුරුතුමාවත් පියතුමාවත් කැමති නොවූ නමුත් ඌගෝ තම මතයේ දැඩිව සිටියේය.

හියුගෝ ප්‍රනාන්දු
කොහු මෝලේ දිනකට සත 30 රස්සාවක් කරගෙන සිටි ඌගෝට එය වැඩි කාලයක් කරගෙන යා හැකි වූයේ නැත. මන්ද ඊට වසර හතරකට පසු කොහු මෝල වසා දැමුණු බැවිනි. මීගමුවේ ජීවත්ව සිටි ඌගෝ ඉන්පසු ත්‍රිකුණාමලය ගියේ ධීවර රැකියාව කිරීමටයි. එහෙත් ඔහු එහිදී වැඩිමනක් කලේ බත් තැම්බීම යි. කොළඹ, දෙමළ උගන්වන ගුරුවරයෙකු ඌගෝ ව කොළඹට රැගෙන ගියේ ඔහුර ඉංග්‍රීසි අරමුණක් ලබා දෙමිනි. එහෙත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවාට අමතරව ඌගෝට එහිදී සිදුකල යුතු වූයේ බත් තැම්බීමයි. ඌගෝ නම කොළඹට එතරම් ඔප නැති නිසා ඔහුට හියුගෝ යන නම දැමුවේ මේ දෙමළ මාස්ටර් ය.

මේ වන විට හියුගෝ වයස අවු 16 ක ඉලංදාරියෙකි. ඔහු මාරුවෙන් මාරුවට රැකියා කිහිපයක් කළත් ඔහුට එයින් වුන සෙතක් නැත. නිසි අධ්‍යාපනයක් ද ඔහු නොලැබූ නිසා මේසන් බාස් කෙනෙක් කිරීමට මව ඉටා ගත්තේය. එකල මේසන් බාස් කෙනෙකුගේ දෛනික වැටුප සත 75 කි. ඒ අනුව හියුගෝව මේසන් බාස් කෙනෙකු යටතේ වැඩට යැව්වේ මේසන් වැඩ ඉගෙන ගැනීනමට යි. මේසන් බාස්ලා යටතේ ඔහු වසර අටක් සිටි අතර හියුගෝ ඉගෙනගත් මේසන් වැඩක් නැත. ඔහුට වැටුපක් ලැබුනේ ද නැත. නත්තලට, පාස්කුවට හා පල්ලියේ මංගල්‍යයට පමණක් රුපියල් 10 බැගින් ලැබුණි. හියුගෝ එහිදී ද කලේ බාස්ලට බත් තැම්බීමයි. මෙය සිදු වූයේ ඔහුගේම හොදකටයි. ඔහුට එසේ මේසන් වැඩ ඉගෙන ගැනීමට හැකිවූවා නම් ඔහු පසුකලෙක හියුගෝ මේසන් බාස් මිස හියුගෝ මාස්ටර් නොවන නිසාය.

හියුගෝ ගේ නිවසට ගෙවල් කිහිපයක් එහායින් සිටි මලතියස් මාස්ටර් දක්ෂ සර්පිනා වාදකයෙකි. ඔහු තම සර්පිනාව වාදනය කරන සෑම විටම කුඩා හියුගෝ ඒ අසලට වී එයට හොදින් ඇහුම්කන් දී සිටියි. මඩු වන්දනාවේ යන ගමන් ඔහු 'මවුත් ඕගන්' එකක් දැක එයට ආසා වී මවගෙන් එය මිලදී ගැනීමට මුදල් ඉල්ලුවේය. එහෙත් මුදල් අගහිඟ කමින් පෙළුණු නිසා එයට මව අකමැති වුවත් පියා ලවා මවව කැමති කරවාගෙන මවුත් ඕගන් එකක් ලබා ගත්තේය. ඉන්පසු හියුගෝ ගේ සිත ගියේ මැන්ඩලීනය වෙතයි. ඒ සදහා සුමානෙකට සත පනහ බැගින් එකතු කර රුපියල් 32 ක් දී ඔහු ජපන් මැන්ඩලීනයක් මිලට ගත්තේය.

වැඩිකල් යාමට මත්තෙන් හියුගෝ මැන්ඩලීන වාදනයේ දක්ෂයෙක් බවට පත්විය. ඒ නිසා විවිධ සාජ්ජ වලට සංගීතය සැපයීමට ඔහුට හැකියාව ලැබුණි. මුල්ම කාලයේ ඔහු වාදනය කල සර්පිනාව සාජ්ජ වලදී වාදනයට ගත්තේ කුලියටයි. එහෙත් එක් සාජ්ජයකදී එයට දිය යුතු කුලිය ගෙවීමට පරක්කු වීම නිසා හියුගෝට එය ලබා දීමට අයිතිකාරයා අකමැති විය. එහෙයින් ඔහු එකතු කරගත් සල්ලි වලින් සර්පිනාවක් මිලදී ගත්තේය. එකල එය රුපියල් 35 කි. 1934 වසරේ දී 'රාජසිංහ ලීලා' නාට්‍ය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය විය. මෙහි සර්පිනා වාදනය සදහා හියුගෝ සම්බන්ධව සිටීම නිසා ඔහු දැන් සර්පිනා වාදකයෙක් ලෙස තරමක් ප්‍රසිද්ධව සිටියේය.


බිරිඳ සමග

1935 වසරේ දී මේ කොලු ගැටයාගේ වයස 23 කි. බඳින වයසත් හරිය. හියුගෝගේ මව විසින් ඔහුට මනාලියන් හය දෙනෙක් පමණ කතා කරත් ඔවුන්ට හියුගෝ කැමැත්ත දුන්නේ නැත. එහෙත් අවසානයේ හලාවත බණ්ඩාරවත්ත ගමෙන් ඔහුට තම ජීවන සහකාරිය මුණගැසුණි.

1939 අවසාන කාලය වන විට ඇලෝයි ජයමාන්න විසින් නාට්‍ය නිශ්පාදනය පටන් ගෙන තිබුණි. ඔහු නිපදවූ මුල්ම නාට්‍ය 'භයානක පොරොන්දුව' නම් විය. එකල ප්‍රකට නාට්‍ය ශිල්පීන් දම්මවා මෙම නාට්‍ය පෙන්වුවද එය බංකොලොත් විය. එහෙත් ඔහු එයින් නොසැලී දෙවෙනි වරට 'මිනර්වා ක්ලබ් ඇමිචුවර්ස්' නමින් නාට්‍ය සංගමයක් පටන් ගත්තේය. මේ සදහා අවශ්‍ය නළු නිළියන් තෝරාගත්තද සංගීත ශිල්පියෙකු සොයා ගත නොහැකි විය. හියුගෝ ප්‍රනාන්දු  මේ සදහා සම්බන්ධ වන්නේ මෙතැනිනි.

එකල මීගමුවේ ප්‍රසිද්ධ ධානපතියෙකු වූ ඒ.ඊ. රාජපක්ෂ වාසල මුදලිතුමා අභාවප්‍රාප්ත වී සතියකට පසු ඔහු ගැන 'අවතාරය' නමින් නාට්‍යයක් මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ දී පවත්වනු ලැබුණි. හියුගෝ විසින් මුදලිතුමා උදෙසා උපහාර ගීයක් ඉදිරිපත් කරනු ලැබීය. මෙම නාට්‍යය එදින රඟ දැක්වූයේ එම විදුහලේ ක්‍රීඩාංගනය ඉදිකිරීමට ආධාර පිණිසයි. 'අවතාරය' නාට්‍යයේ දෙවෙනි දර්ෂණය දින වර්ෂාව නිසා වැඩි ආදායමක් නොලැබුණත් හියුගෝට එදින රු. 4 ක ආදායමක් ලැබුණි.
එඩී රුක්මනී සමග

එකල 'බුද්ධ ගයා විහාරේ' ගීතය ගයා රුක්මනී දේවි ජනප්‍රියත්වයට පත්ව සිටියේය. මිනර්වා නාට්‍ය කණ්ඩායම රුක්මණීව ගීත ගැයීම සදහා යොදාගත්තේය. මේ බව දැනගත් මෙම කණ්ඩායමේ සිටි එඩී ජයමාන්න විසින් හියුගෝට පවසා සිටියේ රුක්මනී ගීත ගායනා කරන විට සංගීතය වැරැද්දුවහොත්  සෙනඟ ඉදිරියේම සංගීත අධ්‍යක්ෂකවරයාගේ ඇඟට කඩා පනින බවයි. මෙය එඩීගේ ලණුවකි. හියුගෝ එයට අහුවිය. එහෙයින් රුක්මනී එන විට හියුගෝ තැති ගෙන සිටියේ තමා අතින් කුමක් හෝ වරදීවි කියාය. නාට්‍ය කණ්ඩායමේ සංදර්ශනයක් සදහා රුක්මනී පැමිණි පසු ඇය ගීත දෙකක් ගායනා කළාය. පැමිණි සිටි සෙනඟ කෑ ගසමින් කියා සිටියේ බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන ලෙසයි. එවිට රුක්මනීගේ පියා හියුගෝ ලඟට පැමිණ "මාස්ටර් බුද්ධ ගයා විහාරේ ගීතය ගායනා කරන්න පුළුවන්ද?" යැයි ඇසීය. හියුගෝ මීට පෙර එම ගීතය වයා නැතිවුවත් එය වයන්නම් යැයි කීවේය. එය වයා අවසානයේදී රුක්මනීගේ පියා හියුගෝ ලගට විත් අතට අත දී "රූපසිංහ මාස්ටර්ගෙන් පස්සෙ මාස්ටර් විතරයි රුක්මනීගේ සිංදුවට හරියට මියුසික් දුන්නේ" යැයි පැවසුවේය.

'කඩවුණු පොරොන්දුව' නාට්‍ය කරමින් සිටි කාලයේ දී හොයුගෝගේ කටේ දතක් නරක් විය. එය ඉවත් කර ගැනීමට රෝහල වෙත ගියේය. ගැලවූ දතේ මුල් පැත්තකට නැවී තිබීම නිසාවෙන් හියුගෝ අසාධ්‍ය තත්වයකට පත්විය. ඔහු දින ගණනාවක් රෝහල් ඇදේ ගත කලේය. නමුත් පසු දින කොළඹ නගර ශාලාවක කඩවුණු පොරොන්දුව නාට්‍යයට සංගීතය තමන් සැපයිය යුතු නිසා තමන්ගේ පියා හදිසියේ මියගිය බව වෛද්‍යවරුන්ට පවසා රෝහලෙන් පැන සංගීතය සැපයීමට ගියේය. නමුත් ඔහුගේ පියා මියගියේ ඊට බොහෝ කලකට පෙරයි.
ධීවරයෝ චිත්‍රපටයේ


එච්.එම්. නායගම් මහතාට සිංහල චිත්‍රපටයක් කිරීමේ උවමනාව තිබුණි. ඔහු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ කඩවුණු පොරොන්දුව නාට්‍ය චිත්‍රපටයකට ගැනීමට තීරණය කලේය. මේ සදහා ඇලෝයි ජයමාන්නත් කැමති වූ නිසා ඔවුන් සියලු දෙනා ඉන්දියාව වෙත ගියේ චිත්‍රපටය රූගත කිරීම සදහායි. මෙම චිත්‍රපටයට නාරායන අයියර්ගේ තනු වලට හියුගෝ විසින් ගීත රචනා කලේය.

කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පසු මිනර්වා නාට්‍ය කණ්ඩායමට නරක කාලය උදාවිය. නාට්‍ය නැරඹීමට පැමිණෙන සෙනඟ ක්‍රමක්‍රමයෙන් අඩු විය. දිනෙන් දින ඔවුන් පාඩු ලබන තත්වයට පත් වූයේය. මේ නිසා හියුගෝ අලුතින් පටන්ගත් 'සිරිලක් ලිමිටඩ්' නම් වූ නව නාට්‍ය සංගමයට එක්විය. මෙයට හියුගෝව ඔවුන් බඳවා ගත්තද සැලකිය යුතු මුදලක් ඔහුට ලැබුනේ නැත. එයට එක් හේතුවක් වූයේ නාට්‍ය සංගමය අලුත් එකක් හා එයට එක් නාට්‍යයක් පමණක් තිබූ නිසාය. තවත් හේතුවක් වූයේ මහජනතාව අතර හියුගෝගේ නම එතරම් ජනප්‍රිය වී නොතිබීමයි. මෙතෙක් මිනර්වා නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍යවල සංගීත අධ්‍යක්ෂකවරයා අති දක්ෂයෙක් බව කවුරුත් දැන සිටියේය. එහෙත් ඔවුන් හියුගෝව දැන සිටියේ නැත. මන්ද මෙම නාට්‍ය සංගමයෙන් බිහිකල නාට්‍ය වල දැන්වීම් සදහා ඇලෝයි ජයමාන්නගේ සහ ජනප්‍රිය නළු නිළියන්ගේ නම් පමණක් ඇතුලත් කල අතර හියුගෝ ගේ නම ඇතුලත් නොකල බැවිනි. සංගීත අධ්‍යක්ෂකවරයා තමා බව දැන්වීම් වල දක්වන්න යැයි හියුගෝ ඇලෝයිට පැවසූ විට ඔහු එය ඉවත දැමුවේ "ගීත ප්‍රබන්ධයටයි සංගීත සපයනවටයි තමුසෙට සල්ලි ගෙවන නිසා තමුසෙට වෙන අයිතියක් නෑ." යැයි කියමිනි.
සරසවිය රණතිසර සම්මානය දිනූ පසු හියුගෝ මාස්ටර් එවකට සරසවිය පුවත්පතේ සේවය කළ සුසිල් ජිනප්‍රිය,කර්තෘ ධුරය දැරූ ඒ.ඩී.රන්ජිත් කුමාර,අරුණ ගුණරත්න සහ ඡායාරූප ශිල්පී ශ්‍රියන්ත වල්පොල සමග

හියුගෝ විසින් 'මයි ඩෝඩර්' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සිටි කාලයේ එනම් 1948 අගභාගයේ දී ඔහු ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතාගේ නැටුම් කණ්ඩායමේ සර්පිනා වාදකයෙකු ලෙස වරින්වර කටයුතු කලේය. මෙහි සංදර්ශනයක් නැරඹීමට පැමිණි රටේ විශාල නමක් ලබා තිබුනු රූපසිංහ මාස්ටර් සංදර්ශනයෙ පසු හියුගෝ හමුවට පැමිණ "මේ ළමයා හොදට සෙල්ලම් කෙරුවා. මගෙ ගෝලයෝ එක්කත් හොදට සෙල්ලම් කෙරුවා දැක්කා. මේ ළමයා ගැන විශේෂ ආදරයක් ඇති වෙන්ඩ හේතුව මේ ළමයගෙ නිහතමානීකම. හුඟදෙනෙක් කියනවා මම ආඩම්භරයි කියලා. ඔව් මම එච්. ඩබ්ලිව්. රූපසිංහ. එදා ඉදන්ම මට ඒක තිබුනු දෙයක්. මට දැන් ඒක නැතිකරන්ඩ බෑ ඉතින්. මම මේ ළමයට දෙන අවවාදය තමයි මේ නිහතමානීකම අවසානය දක්වාම ආරක්ෂා කරගන්ඩ. මේ ළමයගෙ අනාගතය හුගාක් දීප්තිමත්." යැයි කියා සිටියේය.

හියුගෝ මී පුර කලා සංගමයේ 'ගැහැනු හිත' හා 'ගෙදර හටන' නාට්‍ය සදහා සංගීතය සැපයීය. 1950 වනතුරුත් නාට්‍ය කරගෙන ආ මෙම සංගමට නාට්‍ය කිරීම නවත්වා දැමීමට සිදු වූයේ චිත්‍රපට විසින් නාට්‍ය ගිල ගැනීම නිසාවෙනි. හියුගෝ, නායගම්ගේ 'බණ්ඩා නගරයට පැමිණීම' චිත්‍රපටයට සංගීතය සැපයූවා පමණක් නොව එහි අන්ධ ගායකයෙකුගේ චරිතයටත්, පාසල් ගුරුවරයෙක්ගේ චරිතයටත් තවත් සුලු චරිතයකටත් පණ පෙවීය.

කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ 'හෙට්ටියා'ගේ චරිතයට රඟපා තිබූ නිසාද 'පේම තරඟය' චිත්‍රපටයේ 'වල්පොල මුදලාලි' චරිතයට පණ පෙවීය. එපමණක් නොව ඔහු එහි සංගීතයද සැපයීය. 1953 දී හියුගෝ සිරිසේන විමලවීරගේ 'සරදියෙල්' චිත්‍රපටයට සංගීතය සැපයීය. ඔහු මීට පෙර විමලවීරගේ 'පිටිසර කෙල්ල' චිත්‍රපටයටද සංගීතය සපයා තිබුණි. සරදියෙල් චිත්‍රපටයේ සංගීතයට බොහෝ විවේචන විය. එයට හේතු වූයේ විමලවීරගේ මුදල් හිඟකමයි. ඒ නිසා ඔහු සංගීත සැපයීමට බොහෝ කප්පාදු සිදු කලේය. මේ නිසා එයින් පසු සියලුම පහසුකම් නොමැතිව කිසිදිනෙක චිත්‍රපටිවල සංගීත අධ්‍යක්ෂණයට නොබසින බව හියුගෝ තදින්ම සිතා ගත්තේය.
සරසවිය සම්මානයට පාත්‍ර වූ මොහොත

මෙසේ චිත්‍රපට බොහොමයක් සදහා ගීත රචනයෙන්, රඟපෑමෙන්, දෙබස් සහයෙන් හා අධ්‍යක්ෂණයෙන් හියුගෝ සහය විය. ඒ අතර 'අහංකාර ස්ත්‍රී', 'මාතලන්', 'සූරයා', 'වීර විජය', 'අදට වැඩිය හෙට හොදයි', 'ධීවරයෝ', 'සූර චෞරයා', 'සිංගප්පූරු චාලි', 'හිත හොද මිනිහෙක්', 'රජගෙදර පරවියෝ', 'හරියට හරි', 'චිං චිං නෝනා', 'මරුවා සමග වාසේ', 'මුවන් පැලැස්ස 1,2,3', 'තක්කිට තරිකිට', 'අලි බබා සහ හොරු හතලිහ' ආදිය විශේෂ වේ.

හියුගෝ දේශපාලනය සදහා සම්බන්ධ වූයේ චිත්‍රපට සංස්ථාව බිහි වූ කාලයේදී යි. චිත්‍රපට සංස්ථාව ඇරඹීමට එකල සිරිමාවෝ බණ්ඩාරණායක කැමති වූ අතර ඇය කියා සිටියේ ඒ සදහා ඇයට මැතිවරණ කටයුතු වලදී සහය විය යුතු බවයි.

සිංහල සිනමාවේ පලමු පසුබිම් ගීත රචකයා හියුගෝ මාස්ටර් ය. ඔහු චිත්‍රපට ගීත වලට අමතරව කිතුණු ගීත විශාල ප්‍රමාණයක් ලියා ඇත. ඔහු ලියූ ගීත අතර 'හද ගලවාලා දෙනවා කියාලා අප රවටා', 'ජීවිතයේ සාමේ දේමේ ගීතේ සාරා', 'ලපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ, 'තක්කිට තරිකිට උඩපැන නටන්න හිතුනා', 'සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා', 'හෝ හඬදී බැසයන ගංගා', 'ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ', 'ලෝකය පෙරැලෙයි කාලෙ ගෙවී යයි මරුව ලගා වෙනවා' ගීත විශේෂ වේ.

හියුගෝ මාස්ටර් දක්ෂ නළුවෙකි. දක්ෂ දෙබස් රචකයෙකි. දක්ෂ සංගීත රචකයෙකි. දක්ෂ සංගීත ශිල්පියෙකි. ඔහු කඩවුණු පොරොන්දුවට ගීත ලියන විට පසුබිම් සංගීත කලාවක් ලංකාවේ තිබුනේ නැත. එනිසා එය කුමන ස්වරූපයකින් තිබිය යුතුද යන්න ඔහුම තීරණය කල යුතු විය. ඔහු චිත්‍රපට නළුවෙක් වන විට රඟපෑම කුමන අයුරින් සිදුවිය යුතුද යන්නත් ඔහුම තීරණය කල යුතු විය. ඔහුගෙන් පසු නළු නිළියන්ව කැමරාවට හුරු කිරීමේ වගකීම පැවරුණේද මොහුටයි. ඔහු දෙබස් රචනයට පිවිසෙන විට ලංකාවේ දෙබස් රචනය තිබුනේ ළදරු අවධියකයි. එහෙයින් එයත් කෙසේ විය යුතුදැයි ඔහුම තීරණය කල යුතු විය. මේ නිසයි ඔහු සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් වන්නේ.