Thursday, June 28, 2018

ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර 'ඔව්' යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේවෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුලදක් ඇදුනත් අප සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. කෙනෙකුට ජයමල්ල හිමි වූ විට ඔහු/ඇයගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? මේ නිසා ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන සොයා බලමු.

ලංකාවේ පලමු වරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මහතා විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකර යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායක මහතාගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙල මහතාගේ කාලයේදී ය. මේ අනුව 'ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය' 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදි.
කිරිඅප්පු මොරිස් 8 රිය සමග

මෙම පලමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේ මහතාට යි. ඔහු මෙම ටිකට්පත මිලදී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. ඔහු එය මිලදී ගෙන නිවසට ගොස් ගෝන අං තට්‍යුව අස්සේ එය රඳවා තබයි.

කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප්ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය තවතවත් වැඩි වන්නට විය. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසදා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල් ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

"ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ."

අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කලේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිලදී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට නොමිලයේ ම ලබා දුන්නේය. ලොල්ලේගොඩින් ඔහු අක්කර විස්සක ඉඩමක් මිලදී ගෙන කුඹුරු යායක් ද සමග ඔහු තමා සන්තකයේ තබා ගත්තේය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිලදී ගත්තේ ය.

මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළට ම ඉගෙනගත් කාන්තාවක් වූ අතර කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසරට වනතෙක් පමණි. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වීය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තෙන් නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් විය. කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කලේය.

 පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉදහිට තමා මිලදී ගත් වාහන වලින් හයර් එකක් ද කරගෙන සිටියේය.

කිරිඅප්පු තම දරුවන්ට හොදින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටියි. කිරි අප්පු අංශබාගය සෑදී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකිණූ අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරන ලදි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම් උණුසුම වර්තමානයේ ද පවතියි.

මූලාශ්‍ර : ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත

ප.ලි. ඉස්සර බ්ලොග් එකේ පෝස්ට් එකක් දාද්දි ප්‍රශ්න තුනකුත් ඒ එක්කම මම දැම්මා. ආයෙත් ඒක පටන් ගන්න ඕනෙ කියලා හිතුනා. ඒ නිසා පල්ලෙහා ප්‍රශ්න වල උත්තර දන්නවනම් කියන්න.

1)1912 වර්ෂයේ රුවන්වැලි මහා සෑය ප්‍රථිසංස්කරණයට ලක්ෂ දෙකක් දුන් පුද්ගලයා කව් ද?

2)මුහුදු කොල්ලකරුවන් එක ඇහැක් වහගෙන ඉන්නවා ඔයාලා දැකලා ඇති. ඇයි එයාලා එක ඇහැක් වහගෙන ඉන්නේ?

3)පල්ලෙහා පින්තූරයේ තියෙන්නේ දැනට කෞතුගාරයක තියෙන එක්තරා පුද්ගලයෙක් ගේ ඇඟිල්ලක්. මේ ඇගිල්ල කාගෙ ද?

28 comments:

  1. රසවත් කතාවක්... සූදුවත් අනිත් සියලු දුසිරිත් වගේ, උදේ හවා බණ ඇහෙන මේ පොලවේ යහමින් පැළ පදියම් වෙලා..

    අංක දෙකට මම අනුමාන කරණ උත්තරේ තමා, ඔවුන්ට දුරේක්ෂය භාවිතා කරන්න ලේසි වෙන්න ඕනා...

    පල්ලේහා ෆොටෝ එකක් නැත...

    ReplyDelete
    Replies
    1. අඩේ ඔව්මයි... පින්තූරෙ දාන්නන්...

      Delete
    2. අංක දෙකට උත්තරේ නම් ඕක නෙමේ සෙන්නා...

      Delete
    3. අන්ක දෙකට මම අහලා තියෙන්නෙත් සෙන්නා දීපු උත්තරේ තමයි.

      ජයවේවා!!!

      Delete
    4. මෙහෙමයි... නැවක තට්ටුවේ හොදට ආලෝකය තිබ්බ්ත් පහල තට්ටුව කළුවරයි... දැන් වගේ නෙමේ ඉස්සර... ඉතින් වැඩි ආලෝකයක ඉදන් කළුවරට යද්දි අපිට මොකවත් පේන්නෑ ටික වෙලාවක් යනකන්... මොකද ඒ අදුරට ඇහැ හුරු වෙන්න තරමක් වෙලාවක් යනවා... එක ඇහැක් වහගෙන ඉන්න එකෙන් මේ අපහසුතාව තරමක් මගඇරෙනවා...

      Delete
  2. Lovely post dear Deon, it's extremely interesting & inspirational. For your questions, here are my answers;

    01. Appuhamy from Akuressa, Matara?

    02. As I know, pirates might worn eyepatch in one eye, so that covered one eye would be pre-adjusted to below-deck darkness. They can open eye patch & easily adjust to the environment to see very well, isn't it?

    03. Thats the middle finger of Galileo’s right hand. This lies in one of the science and technology museum as I remember, can't remember the country. Pls explain if you can.

    ReplyDelete
  3. ඇත්තටම හොඳ වටිනා බ්ලොග් පෝස්ට් එකක් මිථිල. ලංකාවේ පලමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන රසවත් කතාවක්.

    //රුවන්වැලි මහා සෑය ප්‍රථිසංස්කරණයට ලක්ෂ දෙකක් දුන් පුද්ගලයා කව් ද?//

    ලංකාවේ රජ-රට ශිෂ්ටාචාරයේ අවනතියෙන් පසු රාජධානි නිරිතදිගට සංක්‍රමණයව ක්‍රමයෙන් අනුරාධපුර වන ගහනයට නතුවෙමින් පැවතියේ ජන අවධානයට ලක්‌ නොවීමනි. වනයෙන් වැසී ගිය රුවන්මැලි සෑය ඇතුඵ ස්‌තූප රාජානුග්‍රහය යටතේ වරින් වර පිළිසකර කෙරුණ ද ඒ තත්ත්වය පවත්වාගෙන යැම අතිශය දුෂ්කර විය. එහෙත් මේ කාල සීමාවේදී ද ශ්‍රී මහා බෝධිය සුරක්‌ෂිත කරමින් බෝ මඵව පන්සලේ භික්‌ෂූන් වැඩ සිටියේ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය ලබමිනි.

    ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය ඇරඹීමත් සමග ලංකාව පුරා සංචාරය කළ ඉංගී්රසීන් අතුරින්, අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කළවුන් දුටුවේ වනයෙන් වැසී ගොස්‌ තිබූ අතීත ලාංකිකයන් විසින් නිර්මාණය කරනු ලැබූ යෝධ ආගමික ස්‌මාරක රාශියකි. රුවන්මැලි සෑය ඒ වන විට වනයෙන් වැසී තිබුණ ද, එය හදුනාගත හැකි අන්දමට පැවති බව පෙනීයන්නේ අනුරාධපුරයේ සංචාරයක යෙදුණු ඉංගී්‍රසි ජාතික Sir Emerson Tenant සටහනකට අනුව ය. 1830 දී අඩි 189 ක්‌ පමණ වූ සෑයේ උස 1850 දශකය වන අඩි 150 දක්‌වා අඩු වී සෑය ගරාවැටී තිබූ බව ටෙනන්ට්‌ වැඩිදුරටත් සදහන් කරයි.

    එවන් පසුබිමක 1870 දශකය ආරම්භයේදී ගම්පොළ සිට අනුරාධපුරට වන්දනාවේ පැමිණි නාරංවිට සුමනසාර නම් භික්‌ෂූව වල් බිහිව පැවති රුවන්මැලි සෑය දැක අදිටන් කරගත්තේ නැවතත් එය පැරණි තත්ත්වයට ම පිළිසකර කිරීමට ය. මීට පෙර අවස්‌ථා කීපයකදීම රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සුඵ වශයෙන් සිදුව තිබුණු අතර ඉන් වැදගත් වන්නේ වර්ෂ 1835 දී සිදුකරනු ලැබූ සුඵ ප්‍රතිසංස්‌කරණ කටයුත්ත පමණි. එහිදී සත් කෝරළයෙන් වැඩම කළ භික්‌ෂූන් කීප නමකගේ මූලිකත්වයෙන් වල් බිහිව පැවති රුවන්මැලි සෑය හැකි පමණින් එළි පෙහෙළි කොට, සෑය සුදු රෙදිවලින් වසා ඉන් අනතුරුව මහා පිංකමක්‌ සිදුකරනු ලැබුවේ කුඩා ප්‍රමාණයේ පිත්තල කොතක්‌ සෑය මුදුනේ ස්‌ථාපනය කරමිනි.

    ReplyDelete
    Replies
    1. මෙ නිසා නොපසුබටව රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමේ අවශ්‍යතාව වටහා ගත් සුමනසාර හිමි පළමුව ඒ සදහා එවකට අටමස්‌ථානාධිපතිව වැඩ විසූ කලුඑබේ ශ්‍රී සුමන ධම්මරක්‌ ත සහ වර්ෂ 1872 උන්වහන්සේ අපවත්වීමෙන් පසු අටමස්‌ථානාධිපති පදවියට පත් උදුරුව හල්මිල්ලවැවේ ශ්‍රී සුමන රතනපාල යන නාහිමිවරුන්ගේ අවසරය ලබාගැනීමට කටයුතු කරන ලදී.

      ඒ අනුව 1872 පටන් රුවන්මැලි සෑයේ භාරකාරීත්වය පැවරුණේ විසිතුන් වන වියේ පසු වූ සුමනසාර හිමියන්ට ය. එවකට අබෞද්ධ බලය පැතිර තිබූ අනුරාධපුරයේ කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට උන්වහන්සේට හැකිවූයේ හැඩි දැඩි සිරුරක්‌ තිබූ නිසා බව කියෑවෙන අතර වර්ෂ 1873 දී සුමනසාර හිමි රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කළේ අසල නවතා තිබූ කරත්තයක අඹරාවක්‌ යට රාත්‍රිය ගත කරමිනි. උන්වහන්සේගේ කටයුතු සදහා ආධාර උපකාර පමණක්‌ නොව අවශ්‍ය කම්කරුවන් සපයා දීමට ද කටයුතු කරනු ලැබුවේ එවකට අටමස්‌ථාන කමිටුවේ ප්‍රධානත්වය දැරූ ඕවිල්ලේ කුමාරිහාමි (බුලන්කුලමේ කුමාරිහාමි) විසිනි.

      රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා අති විශාල මුදලක්‌ වැය වන බව සුමනසාර හිමි වටහා ගෙන සිටි හෙයින් ඒ සදහා අවශ්‍ය ආධාර මුදල් සපයාගැනීමට උන්වහන්සේ යුහුසුඵ වූහ. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්‌කරණය පිළිබද අනුරාධපුර දිසාපතිගේ මාර්ගයෙන් දැනුවත් වූ ඉංගී්‍රසි ආණ්‌ඩුකාර Sir විලියම් හෙන්රි ග්‍රෙගරි වර්ෂ 1876 පෙබරවාරි මාසයේ සිදු කළ අනුරාධපුර සංචාරයේදී රුපියල් 1,000 ක්‌ මේ කාර්යය සදහා පරිත්‍යාග කරනු ලැබුවේ සිය පුද්ගලික මුදල්වලිනි. එපමණක්‌ නොව සුමනසාර හිමියන්ගේ විහාර කර්මාන්තය පිළිබද එංගලන්ත යටත්විජිත ආණ්‌ඩුවට දැන්වීමට ද ග්‍රෙගරි ආණ්‌ඩුකරු කටයුතු කළේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයට කරන ගරු කිරීමක්‌ වශයෙනි.

      ග්‍රෙගරි ආණ්‌ඩුකරු එංගලන්තයට යවන ලද ලිපියේ සිංහල පරිවර්තනයක්‌ සුමනසාර හිමියන්ට ලබා දී තිබුණු අතර එය පහත පරිදි වේ.

      Delete
    2. "රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි. එම ප්‍රතිසංස්‌කරණය සදහා නාරංවිට සුමනසාර උන්නාන්සේ විසින් කරවා තිබෙන වැඩ ප්‍රමාණය දැක අතිශයෙන් පුදුම වීමි. වර්ෂ තුනකට ප්‍රථම එය ගඩොඵ ගොඩැල්ලක්‌ මෙන් පෙනිණි. දැන් වනාහි එහි කැලේ එළිකර තුන්මාල් පේසාවේ වැඩි කොටසක්‌ අලුත්වැඩියා කර තිබේ. නාරංවිට සුමනසාර උන්නාන්සේගේ දෘඪතර වීර්යය ලක්‌වැසි ස්‌වදේශ සමූහයා උතුම් කොට සලකා උන්වහන්සේට ආධාර දෙනවා ඇතැයි මම විශ්වාස කරමි. මේ වැඩේට මම සම්මාදම් දුනිමි. එය කළේ ආගමානුකූල ගොඩනැගිල්ලක්‌ හැටියට සලකා ගෙන නොව සිංහල ජාතිය සිහිපත්වීමට හේතු වූ අනගි ගොඩනැගිල්ලක්‌ මෙන් සලකා ගෙන බව දත යුතුයි. මේ දාගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස්‌ ශිල්ප ශාස්‌ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක්‌ මෙන් ද ලක්‌දිව රාජ්‍යාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශේ්‍රෂ්ඨ රජතුමා සිහිපත්වීමේ ලකුණක්‌ මෙන් ද පවතියි."

      රුවන්මැලි සෑ ප්‍රතිසංස්‌කරණ කටයුත්ත උදෙසා ආධාර ලබාගැනීමට ඉන්දියාවට සහ බුරුමයට සුමනසාර හිමි වැඩම කළ අතර එහිදී සිදු වූ විශේෂ සිදුවීමක්‌ වූයේ උන්වහන්සේට බුරුම පාලක මින්දං මිං (1854-1878) රජුගෙන් රුපියල් 10,000 ක මුදලක්‌ හිමිවීමයි.

      එලෙස එක්‌රැස්‌ කරගත් රුපියල් 202,500 ක්‌ පමණ වූ මුදලින් පළමුව රුවන්මැලි සෑය වටා ප්‍රදේශය ශුද්ධ කොට පස්‌ ඉවත් කරවා ඉන් අනතුරුව චෛත්‍යය බැම්ම අඩි 45 ක්‌ දක්‌වා උසට ඉදිකරවීමට සුමනසාර හිමියන්ට හැකිවිණි.

      වර්ෂ 1872 පටන් වසර තිහක්‌ ගතවතුරුම සුමනසාර හිමියන්ගේ පුද්ගලික පරිශ්‍රමය මත සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකෙරුණු අතර ඒ සදහා කාර්යක්‌ෂම දායකත්වයක්‌ ලබාදීමේ අරමුණින් රුවන්මැලි මහා චෛත්‍යවර්ධන සමාගම (රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය) නම් සමිතිය පිහිටුවා ගැනුණේ 1902 දී ය. අනුරාධපුර පූජා නගරය ඉංගී්‍රසීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමේ උදෙසා සටන් වැදුණු බ්‍රහ්මචාරී වලිසිංහ හරිචන්ද්‍ර චෛත්‍යවර්ධන සමිතියේ ආරම්භක සභාපතිවරයා විය. කෙටි කලකින්ම චෛත්‍යවර්ධන සමිතියේ ශාඛා සමිති ලංකාව පුරාම බිහිවුණු අතර ඉන් ප්‍රමුඛස්‌ථානයක්‌ හිමිව තිබුණේ අම්බලන්ගොඩ ශාඛා සමිතියට බව කියෑවේ. මේ පසුබිම තුළ 1909 අගෝස්‌තු මාසයේදී සුමනසාර හිමියන්ගේ උපදේශකත්වයෙන් 'සිරි අනුරපුර පුවත' නමින් පුවත්පතක්‌ ද ආරම්භ කෙරුණේ රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සහ චෛත්‍යවර්ධන සමිතියේ කාර්යභාරය මෙන්ම එහි අයවැය පිළිබද බෞද්ධයන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ය. සිරි අනුරපුර පුවතේ සමාරම්භක කතුවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ ද වලිසිංහ හරිශ්චන්ද්‍රතුමන් ය.

      මේ කාලය වන විට ලංකාවේ ප්‍රවාහන අංශය දියුණු කිරීම සදහා ඉංගී්‍රසීන් ගෙනගිය වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක්‌ වශයෙන් දුම්රිය මාර්ග අනුරාධපුර දක්‌වා ඉදිකර තිබුණු හෙයින් දහස්‌ සංඛ්‍යාත වන්දනා කරුවන්ගෙන් නිරතුරුවම රුවන්මැලිසෑ බිම පිරී පැවතුණි. ඒ නිසා රුවන්මැලි සෑය වන්දනා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ට නොමිලේ මල් සැපයීම සහ අවශ්‍ය උපකාර ලබාදීමටත්, සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා උපකාරවීමත් යන අරමුණු පෙරදැරිව අනුරාධපුර පුෂ්පදාන සමිතිය 1909 දී පිහිටුවා ගැනිණි.

      Delete
    3. ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුවෙමින් පවතින විට 1910 වර්ෂා කාලයේදී ඉදිකිරීම් අවසන් කොට තිබූ චෛත්‍ය බැම්මේ නැගෙනහිර කොටස කඩාවැටුණු අතර ප්‍රතිසංස්‌කරණයේ පැවති දුර්වලතා එයට හේතු වූ බව කියෑවේ. නැවත වරක්‌ කඵගල් සහ ගඩොල් යොදා මේ කොටස පිළිසකර කිරීමට චෛත්‍යවර්ධන සමිතිය කටයුතු කළ අතර සමිතිය ආරම්භ කළ වර්ෂයේ සිට 1910 දක්‌වා කාලය තුළ සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා රුපියල් 112,137.00 ක මුදලක්‌ වැයව තිබුණි.

      කෙසේ වෙතත් ඉහතින් සදහන් කළ සිදුවීමත් සමග චෛත්‍යවර්ධන සමිතියේ කටයුතු පිළිබද දැඩි විවේචනය රට පුරා පැතිරෙන්නට පටන්ගෙන තිබූ අතර එය ආධාර මුදල් එක්‌ කිරීමට පිහිටුවා තිබූ ශාඛා සමිති ජාලය අඩපණ වීමට ද බලපෑවේ ය.

      මේ තත්ත්වය හේතුවෙන් රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සුමනසාර හිමියන්ට සිදුවුව ද නැවත වරක්‌ එම වසරේ අග භාගයේදී ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කිරීමට හැකිවූයේ සුමනසාර හිමියන්ගේ සහයට කටුනායක ඇවරිවත්තේ සිට කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා නම් වෙද රාළහාමි පැමිණීමත් සමග ය. කටුනායක ඇවරිවත්තේ ශ්‍රී සුමිත්‍රාරාම විහාරාධිපති මිනුවන්ගොඩ රතනජෝති සහ ඇවරිවත්තේ ජිනරතන යන නාහිමිවරුන්ගේ උපදෙස්‌ පරිදි අනුරාධපුරයට පැමිණි රන්සිරිනෙල් වෙද රාළහාමි නැවත වරක්‌ රුවන්මැලි සෑ ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ කිරීමට මුල්වූයේ චෛත්‍යවර්ධන සමිතියේ සභාපතිත්වය ද භාරගනිමිනි. ඇවරිවත්ත, මඩවල, හීනටියන, රද්දොඵව, මිනුවන්ගොඩ, ආඩිඅම්බලම, කොටුගොඩ ආදී ගම්මානවල ගම්වැසියන් වරින්වර අනුරාධපුරයට දුම්රියෙන් රැගෙන විත්, සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට රන්සිරිනෙල් වෙද රාළහාමි සමත්විය.

      සෑයේ ඉහළ කොටස්‌වල ප්‍රතිසංස්‌කරණ කටයුතු ආරම්භ වීමත් සමග ද්‍රව්‍ය සහ ජලය ඉහළට රැගෙන යාම ගැටලුවක්‌ බවට පත්ව තිබූ අතර එයට උපකාර වීම සදහා වර්ෂ 1911 දී ජලයන්ත්‍ර සාධක සමිතිය නමින් සමිතියක්‌ ආරම්භ කෙරුණේ පානදුරේ වත්තල්පල පඤ්ඤානන්ද හිමියන්ගේ මූලිකත්වයෙනි. සමිතියේ මැදිහත්වීම මත එම වසරේ අග භාගය වන විට චෛත්‍යය කර්මාන්තයට අවශ්‍ය ජලය ඉහළට ගෙනයාම සදහා පමණක්‌ නොව වන්දනාකරුවන්ගේ ජල අවශ්‍යතා සපුරාලීමට ද අවශ්‍ය ජල යන්ත්‍රයක්‌ සෑදීමේ කටයුත්තට එක්‌ව සිටියේ කොළඹ සී. ජිනසේන සහ සමාගමයි.

      වැවිලි කර්මාන්තයෙන් ධනවතෙකු බවට පත්ව සිටි අකුරැස්‌සේ ප්‍රදේශයේ සිටුගේ දොන් හෙන්ද්‍රික්‌ සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි රුවන්මැලිසෑ සංවර්ධන කටයුතු උදෙසා රුපියල් ලක්‌ෂ දෙක හමාරක මුදලක්‌ පරිත්‍යාග කිරීම සිදුවන්නේ ද මේ කාලසීමාවේදී ය. වර්ෂ 1912 දී අනුරාධපුර වන්දනාවේ පැමිණි ඔහු විසින් මෙම මුදල් පරිත්‍යාගය සිදුකරනු ලැබූ අතර ඊට පසුව ද හැකි සෑමවිටම ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා මුදලින් ආධාර කොට තිබේ.

      Delete
    4. රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුවන අතරවාරයේදී සෑ මඵවේ කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුවරුන්ගේ සහ මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ගේ ප්‍රතිමා පිහිටුවා තිබූ පස්‌ පිළිම මාලිගය ප්‍රතිසංස්‌කරණ කිරීමේ කටයුතු ද 1913 දී සුමනසාර හිමි විසින් ආරම්භ කර ඉදිකිරීම් අවසන් වන විට අඩි 50 ක්‌ දිගැති සහ අඩි 36 ක්‌ පළලැති වූ මෙම පස්‌ පිළිම මාලිගය වර්තමානය දක්‌වාම රුවන්මැලි සෑයේ බුද්ධ මන්දිරය ලෙස භාවිත කෙරේ. ඒ සමගම අනුරාධපුර පූජා නගරය වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සදහා ධර්මප්‍රසාද නමින් විශ්‍රාම ශාලාවක්‌ ඉදිකිරීමට ද සුමනසාර හිමියන් කටයුතු කළ අතර මෙය හැරුණුවිට තවත් විශ්‍රාම ශාලා දෙකක්‌ රුවන්මැලිසෑය සමීපයේ පිහිටා තිබුණි, 1916 වන විට සෑයේ බැමි සකස්‌ කිරීමේ කටයුතු අවසන්ව තිබූ හෙයින් චෛත්‍යවර්ධන සමිතියේ අවධානය යොමුව තිබුණේ සෑයේ ඉතිරි කොටස්‌ ක්‍රමානුකූලව ප්‍රතිසංස්‌කරණය කිරීම පිළිබදව ය. ඒ අනුව අඩි 24 ක්‌ උසැති කොතක්‌ සහිතව අඩි 340 ක්‌ උසට නිමවන නව සෑයේ තුන්මහල් පේසාව, ගර්භය, හතරැස්‌ කොටුව සහ කොත් කැරැල්ල සදහා ගඩොල් 22, 642, 350 ක්‌ අවශ්‍ය බව ගණනය කෙරුණු අතර ඒ වෙනුවෙන් ඇස්‌තමේන්තුගත වියදම වූයේ රුපියල් 1,132,177.50 කි.

      සෑයේ ගර්භ කොටසේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින අතරවාරයේදී, එනම් වර්ෂ 1921 දී නාරංවිට සුමනසාර හිමියන් අපවත් වී වදාළේ තමන්වහන්සේ විසින් ආරම්භ කරනු ලැබූ යෝධ ව්‍යාපෘතියේ නිමාවක්‌ නොදකිමිනි. තරුණ වියේදී අනුරාධපුරයට වැඩම කොට රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා අඩසියවසක පමණ කාලයක්‌ කැප කළ උන්වහන්සේ අපවත්වන විට සැත්තෑ දෙවන වියේ පසුවිය. සුමනසාර හිමියන්ගෙන් පසුව රුවන්මැලිසෑයේ භාරකාරත්වය පැවරුණු උදුරව හල්මිල්ලෑවේ රේවත හිමියෝ සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු නිමාවට පත්වන තෙක්‌ම අඛණ්‌ඩව පවත්වාගෙන යැමට සමත්වූහ (වර්ෂ 1944 දී උන්වහන්සේ අටමස්‌ථානාධිපති ධුරයට පත්වූහ)

      1920 දශකයේ අග භාගය වන විට ගර්භයේ පිළිසකර කිරීම් නිමාවට පත්ව තිබූ අතර සතරැස්‌ කොටුව සදහා මුල්ගල් තබා වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේ චෛත්‍යවර්ධන සමිතියේ සභාපති රන්සිරිනෙල් වෙද රාළහාමිගේ ප්‍රධානත්වයෙනි. වර්ෂ 1933 දෙසැම්බර් මාසයේදී සතරැස්‌ කොටුවේ සර්වඥ ධාතු නිධානෝත්සවයේ පැවැත්වුණේ මහත් උත්සවාකාරයෙනි. එහෙත් ඒ වන විට රන්සිරිනෙල් වෙද රාළහාමි අතිශය රෝගී තත්ත්වයේ පසු වූ අතර රුවන්මැලි සෑ ප්‍රතිසංස්‌කරණ කාර්යයේ මහා අනුග්‍රාහකයෙකු වූ දොන් හෙන්ද්‍රික්‌ සිටුගේ වර්ෂ 1932 දී අභාවයට පත්ව තිබුණි.

      අනතුරුව වර්ෂ 1935 දී රන්සිරිනෙල් වෙද රාළහාමි අභාවයට පත් වූයෙන් රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලට ඉන් එල්ලවූයේ දැඩි පහරකි. එහෙත් රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණියගේ සැමියා වූ මහර ඒබරං එදිරිසිංහ වෙද මහතා ඉදිරිපත් වී චෛත්‍යවර්ධන සමිතිය සදහා නායකත්වය ලබාදෙමින් සිය මයිලණුවන්ගේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යැමට උත්සුක විය.

      ඒ වන විට සෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු බොහොමයක්‌ අවසන්ව තිබූ හෙයින් සෑයේ උසට ගැළපෙන අන්දමේ කොතක්‌ නිර්මාණය කිරීමේ කාර්යය රන්සිරිනෙල් වෙද රාළහාමි විසින් භාරකොට තිබුණේ පිත්තල කර්මාන්තයේ නියෑළෙන පිළිමතලව්වේ ශිල්පීන් කණ්‌ඩායමකට ය. ඔවුන් විසින් අඩි 26 ක්‌ උසැතිව පිත්තලින් නිම වූ කොත බර ටොන් 6 ක්‌ පමණ විය. පිළිමතලව්වේ සිට කොළඹට රැගෙන ආ කොත ස්‌වර්ණාලේප කිරීමේ කටයුත්ත සුබ මොහොතින් ආරම්භ කරනු ලැබුවේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිද වූ මැටිකොටුවේ හාමිනේ විසිනි. තුන් මසකින් කොත ස්‌වර්ණාලේප කිරීමේ කාර්යය අවසන් වූ හෙයින් තාවකාලිකව කොත ඇවරිවත්තේ සුමිත්‍රාරාමයේ තැන්පත් කරනු ලැබුවේ ජනතාවට වන්දනාමාන කරනු පිණිස ය.

      Delete
    5. මීළගට චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් මුහුණ පෑ බරපතළ ගැටලුව වූයේ කොතට සරිලන ප්‍රමාණයේ චූඩා මාණික්‍යයක්‌ කපාගැනීම සදහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ පළිගුවක්‌ සොයා ගැනීමයි. ඒ පිළිබද පළ කළ පුවත්පත් දැන්වීම්වලින් ද ඵලක්‌ නොවූයෙන් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් එයට සහය පැතුවේ ලංකාවේ වැඩ සිටි බුරුමයේ යූ. විනයාලංකාර නාහිමියන්ගෙනි.

      පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමය සහ දෙමටගොඩ ශ්‍රී මකුටාරාමය යන උභය විහාර ආරම්භ කරමින් විහාරාධිපතිව වැඩ විසූ උන්වහන්සේ ලංකා ස්‌වේජින් මහානිකායේ මහානායක වශයෙන් ද කටයුතු කරමින් සිටියහ. ඒ වන විට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා දායක වෙමින් සිටි විනයාලංකාර හිමියන් තාවකාලිකව එයින් බැහැරව, රුවන්මැලි සෑයේ කොත සදහා සුදුසු චූඩාමාණික්‍යයක්‌ සපයා දීමට මැදිහත් වූයේ එය ද අතිශය වැදගත් කාර්යයක්‌ වූ හෙයිනි. චූඩා මාණික්‍යයක්‌ සදහා සුදුසු පළිගුවක්‌ සෙවීමේ අපේක්‌ෂාවෙන් වර්ෂ 1938 මැයි මාසයේදී බුරුමයට වැඩම කළ උන්වහන්සේ පසුව වැඩම කළේ පළිගු සදහා ප්‍රකට පැවති බුරුමයේ මෝගොක්‌ නම් නගරයට ය. එහි විසූ යූ. ටො, යූ. මට්‌, දෝනන්ටේ සහ ෂන්දස්‌ යන අය සතුව තිබූ රුපියල් 60,000 ක්‌ වටිනා විශාල ප්‍රමාණයේ පළිගුවක්‌ උන්වහන්සේට හිමිවන්නේ නොමිලේ ය.

      පසුව 1938 අගදී මෙරටට වැඩම කළ විනයාලංකාර හිමියන් චෛත්‍යවර්ධන සමිතියට පළිගුව භාරදුන් නමුත් මීළගට සමිතියේ නිලධාරීන් මුහුණු පෑ ගැටලුව වූයේ එවන් විශාල පළිගුවකින් චූඩා මාණික්‍යයක්‌ කැපීමට තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබීමයි. මෙනිසා චෛත්‍යවර්ධන සමිතියේ ඉල්ලීම මත චූඩා මාණික්‍යය සදහා නියමිත මිනුම් රැගෙන විනයාලංකාර හිමියන් නැවතත් පළිගුව රැගෙන බුරුමයට වැඩමකරන්නේ මෝගොක්‌ නගරයේ පළිගු කපන්නන් ලවා එම කාර්යය සිදුකරවා ගැනීමට ය.

      එහෙත් නියම කර තිබූ මිනුම්වලට පළිගුව කැපීමේදී එක පසකින් අවශ්‍ය ප්‍රමාණය නොවූ හෙයින් විනයාලංකාර හිමියන්ට සිදුවූයේ චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය නවතා දැමීමට ය.

      මින් අධෛර්යයට පත් නොවී නැවත වරක්‌ විශාල ප්‍රමාණයේ පළිගුවක්‌ සෙවීමේදී මීට පෙර පළිගුව පරිත්‍යාග කළ සිව්දෙනාගේ පතලකින් මෙතෙක්‌ මෝගොක්‌ නගරයේ කිසිදු පතලකින් හමු නොවූ තරමේ පළිගුවක්‌ හමු වූ බව උන්වහන්සේට සැලවිය.

      තමන්වහන්සේ මුහුණ පෑ ගැටඵව පිළිබද විස්‌තර කිරීමෙන් පසුව රුපියල් 80,000 ක්‌ පමණ වටිනා එම පළිගුව ද ඔවුන් විසින් විනයාලංකාර හිමියන්ට පරිත්‍යාග කරන ලදී. අනතුරුව මෝගොක්‌ නගරයේ පළිගු කපන්නන් ලවා උසින් අගල් 18 ක්‌ ද, වට ප්‍රමාණය අගල් 25 1/2 ක්‌ ද වන සේ චූඩා මාණික්‍ය කපාගැනීමට විනයාලංකාර හිමියන්ට හැකි වූ අතර එය බරින් රාත්තල් 12 1/2 ක්‌ වී තිබේ. පසුව බුරුම බෞද්ධයන්ගේ පරිත්‍යාගයක්‌ වශයෙන් චූඩා මාණික්‍යය ස්‌වර්ණමය ආධාරකයක්‌ මත පිහිටුවා ලංකාවට පරිත්‍යාග කිරීමට විනයාලංකාර හිමියන් තීරණය කළ අතර බොහෝ බුරුම බෞද්ධයන් රන්, රිදී, මැණික්‌ මෙන්ම මුදල් ද මෙම කාර්යය සදහා පරිත්‍යාග කළ බව කියෑවේ. එසේම ස්‌වර්ණමය ආධාරකය තැනීමේ කාර්යය මෝගොක්‌ නගරයේ සිටි ධනවත් බෞද්ධයෙකු විසින් භාරගනු ලැබූ අතර ඒ සදහා නව උපකරණ මිලට ගත් ඔහු රන්කරුවන් සිය නිවසේ නවතාගෙන එම කාර්යය නිමාකරන්නට කටයුතු යොදන ලදී.

      ස්‌වර්ණමය ආධාරකය ඉදිකිරීමේ සැලසුම වී තිබුණේ එය රිදියෙන් වාත්තු කොට රන් ආලේප කිරීමටත්, ස්‌වර්ණමය ආධාරකය පුරා මැණික්‌ ඇල්වීමටත්, චූඩා මාණික්‍යය මස්‌තකයේ රනින් ධාතු කරඩුවක්‌ නිමවීමටත්, ඒ මත සිට සිව් දිශාවට මැණික්‌ වැල් දැමීමටත් ය. ඒ අනුව නව මසකින් නිර්මාණය කෙරුණු ස්‌වර්ණමය ආධාරකය උසින් අගල් 13 ක්‌ විය. මේ සදහා රන් රාත්තල් 12 ක්‌ සහ රිදී රාත්තල් 152 ක්‌ යොදාගෙන තිබූ අතර අල්වා තිබූ මැණික්‌ ගල් ප්‍රමාණය 4,796 කි. සෑම මැණික්‌ ගලකම වටිනාකම රුපියල් 250 ට වඩා වැඩි වූ අතර රුපියල් 120,000 ක්‌ වටිනා මැණික්‌ ගලක්‌ ද ඒ අතර වූ බව කියෑවේ. අවසාන වශයෙන් චූඩා මාණික්‍යය මත පිහිටු වූ ස්‌වර්ණමය ධාතු කරඩුවේ සර්වඥ ධාතූන් 98 ක්‌ තැන්පත් කිරීමෙන් මේ නිර්මාණය වන්දනීය තත්ත්වයට පත්කරලීමට විනයාලංකාර හිමියෝ කළහ.

      Delete
    6. සියලු වැඩ කටයුතු නිමාවීමෙන් පසු මෝගොක්‌ නගරයේ සිට විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනගරයට වැඩම කරවනු ලැබූ ස්‌වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය කෙටි කලක්‌ ලෝක ප්‍රකට ශ්වෙදගොන් චෛත්‍යය සමීපයේ ගොඩනැගිල්ලක තැන්පත් කර තිබුණේ බුරුම බෞද්ධයන්ට වන්දනාමාන කරනු පිණිස ය. අනතුරුව බුරුම ආණ්‌ඩුවෙන් ලංකාණ්‌ඩුවට පිරිනමන රාජකීය භාණ්‌ඩයක්‌ වශයෙන් ස්‌වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය බුරුමයේ ඉංගී්‍රසි ආණ්‌ඩුකාර ශ්‍රීමත් ඩගල්ස්‌ කොක්‌රේන් විසින් ලංකාවේ ඉංගී්‍රසි ආණ්‌ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කොල්ඩිකේට්‌ වෙත වර්ෂ 1940 දී එවන ලදී. ඒ සමගම බුරුම භික්‌ෂූන් තෙනමක්‌ සහ බුරුම ශිල්පීන් පිරිසක්‌ කැටුව විනයාලංකාර හිමි ද මෙරටට වැඩම කළහ. රතු මැණික්‌ කැට එබ්බවූ රිදී මල් බදුනක්‌, ආධාරකයක්‌ සහ වැස්‌මක්‌ සහිත රිදී පාත්‍රයක්‌, චූඩා මාණික්‍යය වැසීම සදහා වීදුරු ආවරණයක්‌ සහ දළදා කරඩුව වැසීම සදහා වීදුරු ආවරණයක්‌ ද උන්වහන්සේලා විසින් රැගෙන එනු ලැබුවේ බුරුම බෞද්ධයන්ගේ පරිත්‍යාගයක්‌ වශයෙනි. මේ පිරිස වර්ෂ 1940 මාර්තු 4 වැනිදා ලංකාවට සැපත් වූ අතර ලාංකික බෞද්ධයන්ගේ වන්දනය පිණිස ස්‌වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය පළමුව තැන්පත් කර තැබුණේ දෙමටගොඩ ශ්‍රී මකුටාරාමයේ ය. අනතුරුව මහ පෙරහැරින් අනුරාධපුරය වෙත වැඩම කරවනු ලැබූ චූඩා මාණික්‍යය ජුනි 10 වැනිදා අනුරාධපුරයේදී පිළිගනු ලැබුවේ අටමස්‌ථාන කමිටුව වෙනුවෙන් පී. බී. බුලන්කුලම දිසාවේ, රුවන්මැලි චෛත්‍ය වර්ධන සමිතිය වෙනුවෙන් එච්. බී. කිරිමැටිය සහ අනුරාධපුර නගර සභාව වෙනුවෙන් එස්‌. නඩරාජා යන පිරිස විසිනි.

      රුවන්මැලි සෑයේ කොත් පැළදවීමේ පිංකම් මාලාව ජුනි 15 වැනිදා ආරම්භ කෙරුණු අතර සෑයේ කොත පළදවා එයට චූඩා මාණික්‍යය සවිකිරීම ජුනි 17 වැනිදා උදෑසන 8. 50 ට යෙදුණු සුබ මොහොතින් සිදුකරනු ලැබුවේ රුවන්මැලි සෑයේ භාරකාර උදුරව හල්මිල්ලෑවේ රේවත, යූ. විනයාලංකාර, බද්දේගම පියරතන යන නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විසිනි. අනතුරුව දඹදිව ධර්මාශෝක අධිරාජයා විසින් දෙවනපෑතිස්‌ රජුට එවන ලද රාජාභිෂේක භාණ්‌ඩ අතර තිබුණු දක්‌ෂිණාවෘත ශංඛයෙන් (මෙම ශංඛය රුහුණේ සදගිරිසෑයෙන් හමුවී තිස්‌සමහාරාම විහාරයේ තැන්පත් කොට තිබේ) චූඩා මාණික්‍යය මතට පැන් ඉස සෑය අභිෂේක කරවන ලදී.

      මේ කටයුතුවලින් පසුව ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනය පිණිස රුවන්මැලිසෑයේ කොත්වහන්සේ නිරාවරණය කරනු ලැබුවේ ජුනි 19 පොසොන් පුර පසළොස්‌වක පොහෝ දින සවස 4. 00 ට යෙදුණු සුබ මොහොතින් දහස්‌ සංඛ්‍යාත බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ ය. මේ උත්සවය සදහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්‌වදේශ කටයුතු අමාත්‍ය ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක, කෘෂිකර්ම අමාත්‍ය ඩී. ඇස්‌. සේනානායක සහ ඩබ්ලිව්. ඒ. ද සිල්වා යන ජාතික නායකයෝ සහභාගි වූහ. ප්‍රතිසංස්‌කරණ කටයුතු නිමාවට පත්වන විට උසින් අඩි 338 කින් යුක්‌ත වූ රුවන්මැලි සෑයේ, සෑ මඵව අක්‌කර පහක පමණ විශාලත්වයකින් යුතුවිය. වර්ෂ 1872 පටන් වර්ෂ 1940 දක්‌වා වූ කාලසීමාව තුළ රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සදහා වැය වූ මුඵ මුදල රුපියල් ලක්‌ෂ 70 ක්‌ පමණ වන බව කියෑවේ.

      මේ අන්දමින් රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු වූ ආකාරය වර්තමානය වන විට බොහෝ දෙනාගෙන් මතකයෙන් ඈත්ව ගොස්‌ තිබෙන බවක්‌ පෙනෙන අතර මේ පිළිබද බහුතරයක්‌ බෞද්ධ ජනතාව දැනුවත්ව ඇති බවක්‌ ද නොපෙනේ. එවන් පසුබිමක්‌ තුළ රුවන්මැලිසෑයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු උදෙසා අමිල මෙහෙවරක්‌ ඉටු කළ නාරංවිට සුමනසාර හිමියන් ප්‍රධාන රන්සිරිනෙල් වෙද රාළහාමි ආදී උදාර පුද්ගලයන්ගේ මෙහෙවර අගය කරමින් මතු පරපුරට ද ඒ බව දන්වනු වස්‌ කිසියම් ස්‌මාරකයක්‌ හෝ කෞතුකාගාරයක්‌ රුවන්මැලිසෑ බිමේ ඉදිකිරීම අවශ්‍යතාවක්‌ව පවතී.

      (මූලාශ්‍ර - මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ චූඩාමාණික්‍ය වර්ණනාව, පූජ්‍ය තිරාණගම රතනසාර හිමියන්ගේ තිස්‌සමහාරාමය, බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ සිතියම් සහිත පුරාවිද්‍යාව සහ මහාචාර්ය උක්‌කු බණ්‌ඩා කරුණානන්දගේ අනුරාධපුර අටමස්‌ථානය හා නුවරකලාවිය යන කෘති සහ දිවයින පුවත්පතේ පළ වූ "රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා" ලිපි පෙළ ඇතුඵ අන්තර්ජාල මූලාශ්‍ර කීපයක්‌ ද පාදක කොටගෙන තිබේ.)

      Delete
    7. මම කියවපු වටිනාම කමෙන්ට් එක. ස්තූතියි.

      Delete
  4. වටිනා ලිපියක් . බොහොම ස්තුතී

    ReplyDelete
  5. වටිනා ලිපියක්. මෑත කාලවල ඔය වගේ දිනුම් ඇදිච්ච මිනිස්සු ඒක හරියාකාරව භාවිතා නොකර අන්තිමට හිඟමනට වැටිච්ච කතා කීපයක් තියෙනව. ඒ අතින් මේ මනුස්සය ඉගෙනගත්තෙ නැතත් මොළේ පාවිච්චි කරල වැඩ කරපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්වීප් ඇදුන නිසා හොදට හිටපු පවුල් විනාශ වුන අවස්ථාත් තියෙනවා... ස්තූතියි අයියෙ මෙහාට ගොඩ වුනාට...

      Delete
  6. 2. අඳුරේ සටන් කිරීමට ඇස හුරු කිරීම. ඩයිලේට් නොවී තිබුනහම ලේසියි
    3.ගැලීලියෝ. Museum of the History of Science (Galileo Museum), Florence.

    ReplyDelete
  7. නොදන්න කතාවක්....

    ReplyDelete