Thursday, January 31, 2019

ලංකාවේ පලමු වෘත්තීය නර්තනවෙදිනිය - වජිරා චිත්‍රසේන


ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුල කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුනේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපට වල කාන්තාවන්ගේ චරිත වලට පණ පෙව්වේ පිරිමින් ය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විටයි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හදුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවේ. හතලිහ දශකය මද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගත්තා. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මුලික අඩිතාලම් දමමින් වර්තමානයේදී ද දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කරමින් පවතියි. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය නමින් ‘වජිරා චිත්‍රසේන' යි.
වජිරා චිත්‍රසේන

කුඩා කල

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දිනයි.පියා කළුතර නගර සභාවේ සේවය කල අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියකි. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා කලදී ම මියගියේ ඇදුම රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් වජිරා අධ්‍යාපනය ලත් අතර ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආශාව තිබුනේ ඇයට වඩා ඇගේ මවටයි.

චිත්‍රසේන හමුවීම

වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේන ව හමුවීම තුලින්. වජිරා කුඩා අවධියේදී තරුණ චිත්‍රසේන, කළුතර නගර සභාවේ නගර ශාලාවේ ‘විධුර' නාටකය රග දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කල අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍යයන් බැලීමට පැමිණ ඇති අතර සමහර දවස් වලට එම නාට්‍යයන් රග දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරයන් සදහා වජිරාගේ නිවසට ද පැමිණ තිබෙනවා. මෙසේ චිත්‍රසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම ද වජිරාගේ නිවසට පැමිණ තිබෙනවා. මෙකල වජිරා ඉතා කුඩා වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධියයි. එකල චිත්‍රසේනයන්ගේ සහයක ශිල්පිනිය ලෙස කටයුතු කලේ මම ඉහතදී සදහන් කල චන්ද්‍රලේඛා ය. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට යන්නේ මෙම අවධියේ සිටයි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනයන්ගේ නිවසේයි. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වෙයි. එවිට යට වයස අවු. 18 කි.
වජිරා චිත්‍රසේන, අයිරාංගනී සේරසිංහ සහ නන්දා මලිනී 

චිත්‍රසේන කලායතනය පිහිටුවීම

1943 දි ලංකාව පුරා විසිරී සිටි දක්ෂ නර්තන ශිල්පියන් සහ බෙර වාදකයන් එකතු කර ගනිමින් චිත්‍රසේන නාට්‍ය සංසදය ඇරඹුණි. 1944 දි මෙය තවත් දියුණු වූ අතර එහි ප්‍රතිපලය වුයේ කොල්ලුපිටිය චිත්‍රසේන කලායතනය බිහි වීමයි. මෙම කලායතනය තුල නර්තන කලාව පමණක් නොව ඊට සම්බන්ධ අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් විද්වත් කතිකාවත් ගොඩනැගුණි. ඒ සදහා සම්බන්ධ වූ ය අතර සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල සහ සෝමබන්ධු විද්‍යාපති (චිත්‍රසේනයන්ගේ පළමු නැටුම් ශිෂ්‍යයා) ආදීන් විශේෂ වේ.

කලා ජීවිතය

වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ ‘විධුර' නාට්‍ය තුලිනි. ඇය එහි නාග කන්‍යාවකට රගපා තිබේ. විධුර නාට්‍යය සංගීතවත් කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසිනි. එකල ‘පැජන්ට් ඔෆ් ලංකා’ යන නමින් තිබු සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කළේය. ඒ ‘විජය සහ කුවේණි’ සහ ‘රාවණා හා සීතා’ ය. ඇය රවණා හා සිතා නාට්‍යයේ මුවෙකුට පනපොවා තිබේ. වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ ‘කුමුදුනි' මුද්‍රා නාට්‍ය මගිනි. එය නිර්මාණය වුයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය යි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බදු වූ ‘නල දමයන්ති' මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කරයි. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කල හපනා ,ගිනි හොරා ,වන මල් සහ ඇන්ටිගනි යන කලාකෘති වලට නිර්මාණය කල රංග වින්‍යාසයන් තුලින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වේ. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි.  චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග  1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේදී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදුනාය. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව ,පෝලන්තය , නැගෙනහිර ජර්මනිය ,ප්‍රංශය ,ඕලන්දය ,ස්විට්සර්ලන්තය ,සිංගප්පූරුව ඇතුළු රටවල් වලට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහලින් තැබීමට කටයුතු කලෝය.


ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවෙදිනිය වෙමින් කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවෙදිනියන්ට තම කුසලතා පෙන්වීමට මගක් සකස් කිරීමේ මුලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අය කලාවට දායාද කල අතර සිය ගණනක් කළා ගුරුන් හා ගුරුවරියන් බිහි කර හා බිහි කරමින් පවතියි. චිත්‍රසේන කලායතනය තුලින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තැබමින් කල සේවය ඉතා ප්‍රශංසනීයයි.  

මුලාශ්‍රයයන්:
1)චිත්‍රසේන - e-thaksalawa.moe.gov.lk
2)චිත්‍රසේන - apekattiya.wordpress.com
3)අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා, චිත්‍රසේනයි මමයි නැටුවා - slbcsns.blogspot.com
4)ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා - සිළුමිණ පුවත්පත
5)අපි කනබොන තැන්වල නටන්නේ නෑ - slbcsns.blogspot.com
6)ලාංකේය නර්තන වේදිකාවේ පුරෝගාමී නර්තන කලාකාරිනිය - srilankantheatre.blogspot.com


දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය කදවුරේ ඇතිවූ පළමු කැරැල්ල ලංකාවේ සෙබළුන්ගෙන්



දෙවන ලෝක යුද්ධ සමයේදී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව සිටි බව සැවොම දන්නා කරුණක්. යුද්ධය සඳහා සෙබලුන් හිඟ වූ විට බ්‍රිතාන්‍යයන් විසින් තම යටත් විජිත වල සිටි පිරිමින්ව යුද්ධය සදහා යොදාගත්තේය. මේ අතරින් සමහරුන්ව වෙනත් රටවල් වලට හා දිවයින් වල සේවයට අනුයුක්ත කර යවන ලදි. බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් යුධ වැදීමට සුදානම් ව සිටි සමහරක් ලාංකික සෙබලුන්ව ද මෙසේ වෙනත් රටවල් වලට යැව්වේය. බ්‍රිතාන්‍යයන් නාසි ජර්මනියට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමට දිනකට ප්‍රථම එනම් 1939 වසරේ සැප්තැම්බර් මස 2 වන දින ලංකාවෙන් සෙබලුන් පිරිසක් කොකෝස් දිවයිනේ යුධ පෙරමුණ සදහා යැව්වේය. කොකෝස් දිවයිනේ සිටි ලාංකික සෙබලුන් විසින් ඇතිකල කැරැල්ලක් නිසා දෙවන ලෝක යුද්ධ ඉතිහාසය තුල මෙය වැදගත් තැනක් ගනු ලබනවා. කැරැල්ල අසාර්ථක වූ නමුත් මෙය බ්‍රිතාන්‍ය කදවුර තුල ඇතිවූ පළමු කැරැල්ලයි. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ සටන් කල පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් කැරැල්ලක් ඇති කල එකම අවස්ථාව මෙයයි.

1941 වසරේදී ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දමා විශාල විනාශයක් සිදු කරනු ලබනවා. 1942 වසරේදී එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව තිබු සිංගප්පුරුව ජපානය විසින් අල්ලාගනු ලබනවා. ඉන්පසු ඉන්දියානු සාගරය අල්ලා ගැනීමට මාන බලන ජපානය ලංකාවේ කොළඹ හා ත්‍රිකුණාමල වරයන් වලට පහරදෙනු ලබනවා. මෙසේ නමසිය හතලිස් මුල් අවධියේදී ජපානයට වාසිදායක අයුරින් බොහෝ දෑ සිදුවන අතර ඔවුන් ක්‍රමක්‍රමයෙන් තම බලය වර්ධනය කරගනු ලබනවා. 
කොකෝස් දිවයින

ඉන්දියානු සාගරය අල්ලා ගැනීමට ජපානය මාන බලමින් සිටි නිසා ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍යන් යටතේ තිබුණු කොකෝස් දිවයින ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වනවා. ජපනුන් විසින් කොකෝස් දිවයින අල්ලා ගැනීමට ප්‍රයත්න දැරීම නිසා ඒවා වැලක්වීමට ලංකාවෙන් ද සෙබලුන් පිරිසක් සුදානම් කර කොකෝස් දිවයිනට පිටත් කර යවනු ලබනවා. මෙසේ පිටත් කර යවනු ලබන්නේ ගැරිසන් කාලතුවක්කු බලඇණියේ සිටි ලාංකික සෙබලුන් 56 දෙනෙක්. මෙම සෙබළුන්ට භාවිතයට ලබා දි ඇත්තේ 152mm හා 227mm වර්ගයේ තුවක්කු ය. මොවුන්ගේ නායකත්වය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතන්වරයෙන් ලෙස සේවය කල ජෝර්ජ් ගාඩිනර් නම් නිලධාරියා ය.

මෙකල ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වා සිටි නිසා ලාංකික දේශපාලඥයන්ගෙන් සමහරක් සිතා සිටියේ ජපානයේ උදව්වෙන් ලංකාවට නිදහස ලබාගත හැකියි කියා. එසේ සිතු දේශපාලඥයන් අතරින් ඉහලින්ම සිටියේ පසු කාලීනව ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ජපානය සමග රහසිගත සාකච්චා සිදුකල නමුත් ඒවා අතරමග නතර වුයේ ඩි. එස්. සේනානායක ඇතුලු තවත් දේශපාලඥයින් පිරිසක් බ්‍රිතාන්‍යයට පක්ෂපාතිව කටයුතු කල නිසාවෙනි. කෙසේ නමුත් යුද්ධය අවසන් වූ විටද ජේ.ආර්. ජයවර්ධන ජපානයට හිතවත්ව කටයුතු කල නිසා ජපානය හා ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වයක් ඇති විය. යුද්ධයෙන් පසු ජපානයට ගැන තීරණයක් ගැනීමට පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී එවකට මුදල් ඇමති ලෙස කටයුතු කල ජේ.ආර්. ජයවර්ධන ධම්ම පදය ඇසුරෙන් සිදුකල කතාවෙන් (වෛරයෙන් වෛරය නොසන්සිදේ) ජපානය ගැන බොහෝ රටවල් වල මතයන් වෙනස් වූ නිසා දිගු කාලීනව මෙය ලංකාවට වාසිසහගතව බලපෑවේය. උක්ත සදහන් කල ආකාරයේ දේශපාලන වාතාවරණයක් පවතී අවධියකයි කොකෝස් දිවයිනේ සිටි ලාංකික සෙබලුන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව කැරලි ගසනු ලබන්නේ.
ජේ.ආර්. ජයවර්ධන 

කැරැල්ල ඇති වන්නේ 1942 වසරේ මැයි මස 8 වන දින රාත්‍රියේදී. කැරැල්ලට නායකත්වය ලබාදුන්නේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු විසිනි. කොකෝස් දිවයිනේ සිටි ලාංකිකයන් 56 දෙනාගෙන් 30 දෙනෙක් මෙම කැරැල්ල සදහා කැමැත්ත පල කළේය. මෙම වසරේම මාර්තු 3 වන දින ජපනුන් ක්‍රිස්මස් දුපත අල්ලා ගත් අතර  ඔවුන් සැලසුම් කලේ කොකෝස් දිවයිනට ආසන්නයෙන් තිබු ක්‍රිස්මස් දිවයිනේ සිටි ජපනුන්ට  රාත්‍රියේදී සංඥා කර කොකෝස් දිවයින් ජපනුන්ට බාරදීමයි. මෙම සැලසුම කොකොඩ් දිවයිනේ කපිතාන්වරයා ලෙස කටයුතු කල ගාඩිනර් හට කල්තියාම දැනගන්නට ලැබී තිබුණි. එමනිසා කැරලිකරුවන් හට කාලතුවක්කු කැරැල්ල අතරතුරදී ලබාගැනීමට නොහැකි විය. මෙසේ දේවල් ආරම්භයේදීම සිදුවුයේ ලාංකික සෙබළුන්ගේ අවාසියටයි. කැරැල්ල අතරතුර වෙඩි හුවමාරුවකදී කැරලිකරුවන්ට විරුද්ධව කටයුතු කල සමාරිස් ජයසේකර නම සෙබලා මිය ගියේය. එමෙන්ම බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන්වරයෙක් වූ ස්ටෙෆන්ස් තුවාල ලැබුවේය.

මැෂින් තුවක්කු හරිහැටි ක්‍රියාත්මක නොවීම, නිවැරදි එල්ලයට වෙඩි නොතිබීම (පුහුණුව මදකම) හා කැරැල්ලට ලාංකිකයන්ගෙන් බොහෝ දෙනෙක් අකමැත්ත පල කිරීම ආදී හේතූන් නිසා කැරැල්ල අසාර්ථක විය. කැරැල්ල අසාර්ථක වීමෙන් පසු කැරලිකරුවන්ට යටත් වීමට සිදුවිය. කැරලි නායකයා වූ ග්‍රේෂන් ප්‍රනාන්දු කියා සිටියේ මෙහි නඩු විභාගය කොකෝස් දිවයිනේ නොව කොළඹ දි සිදුකරන ලෙසයි. කොළඹ දි නඩු ව්භාගය තිබුණහොත් ජාතික හැඟීම් වර්ධනය වන ආකාරයේ යමක් මොහු කියාවි යයි සිතා යුධ අධිකරණයක් යටතේ නඩුව කොකෝස් දිවයිනේම පැවැත්වූයේය. ඒ අනුව 15 දෙනෙක් කොකෝස් දිවයිනේ දි යුධ අධිකරණයකට ඉදිරිපත් කල අතර ඉන් 7 දෙනෙක්ට මරණිය දණ්ඩනය හිමි විය යුතු බව යෝජනා විය. තවත් 4 දෙනෙක්ට බරපතල දඬුවම් සහිත සිර දඬුවම් නියම කල යුතු බවට යෝජනා විය.
කොකෝස් දිවයිනේ පිහිටීම

 අවසානයේ දි කැරැල්ලට නායකත්වය දුන් ග්‍රේෂන් ප්‍රනාන්දු, කාර්ලෝ ඔගස්ටස් හා බෙනී ද සිල්වා යන අය වැලිකඩ බන්දනාගාරයේ දි එල්ලා මරා දමන ලදී. කැරැල්ල අතරතුරදී බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතිව සටන් කල මියගිය සමාරිස් ජයසේකර නම් සෙබලාව බ්‍රිතාන්‍ය හමුදාවේ පුර්ණ ගෞරව ඇතිව කොකෝස් දිවයින අසල පිහිටි හොර්ස්බර්ග් දිවයිනේ තාවකාලිකව මිහිදන් කර ඉන්පසුව සිංගප්පුරුවේ ක්රාන්ජි යුධ අනුස්මරණ සුසන භූමියේදී දේහය ස්ථිරව තැන්පත් කරන ලදී. මරණ දඬුවම නියම වුවන්ට නැවත දෙවන අධිකරණක් ඉදිරියේ නඩුව අසන්න යැයි මරණ දඬුවම හිමිවූ අයගේ පවුලේ උදවිය , සර්. ඔලිවර් ගුණතිලක සහ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයන් දෙදෙනෙක් එවකට ලංකවේ ආණ්ඩුකාරයාව සිටි සර් ඇන්ඩෲ කැල්ඩිකොට් සහ අද්මිරාල් ජෙෆ්රි ලේටන්ගෙන් ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප විය.

වැලිකඩදි එල්ලා මැරූ තිදෙනා බොරැල්ල කනත්තේ නොගැඹුරු වලක වළලන ලදී. කැරැල්ලට නායකත්වය දුන් ග්‍රේෂන් ප්‍රනාන්දු සමාව අයැදීම ප්‍රතික්ෂේප කල අතර ඔහු මියයාමට පෙර අවසානයට පවසා ඇත්තේ මෙයයි;  “විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකියි”

රැස පුවත්පත
07.01.2019