Saturday, November 30, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [7] සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි?


ඉස්කෝලෙ මහත්තයා - හොදයි එහෙනන් හෙට එනකොට ඇට්ලස් තියෙන අය අරගෙන එන්න ඕන

නිමාලි - මොකක්ද ඇට්ලස් එකක් කියන්නෙ?

නිසල් - සිතියම් පොතටනෙ නිමාලි ඇට්ලස් කියන්නෙ?

නිමාලි - ඇයි සර් ඉතින් සිතියම් පොතට ඇට්ලස් කියල කියන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - සිතියම් පොතට ඇට්ලස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කථාවක ඉන්න චරිතයක් නිසා. ග්‍රීක මිත්‍යා කථා වල ඉන්නවා ටයිටන්ලා කියලා අමරණීය යෝධ මිනිස්සු කොටසක්. සියුස් පොසයිඩන් වගේ ග්‍රීක දෙවිවරු එන්නත් කලින් ලෝකෙ පාලනය කලා කියන්නෙ මේ ටයිටන්වරු. මෙයින් හිටපු ටයිටන් කෙනෙක් තමා ‘ඇට්ලස්’ කියන්නෙ. ඇට්ලස් ග්‍රීක දෙවිවරුන්ට විරුද්ධව කැරැල්ලක් එති කරපු නිසා දෙවියන්ගෙත් රජ්ජුරුවො උන සියුස් දෙවියො ඇට්ලස්ට දඬුවමක් දෙනවා. අහසෙ තිබ්බ දිව්‍යලෝකය කර උඩ තියාගෙන උස්සගෙන ඉන්න වුන එකයි ඇට්ලස්ට ලැබුනු දඬුවම. මේක කාලයත් එක්ක සමහර පොත් වල ලියවුනා සියුස් ඇට්ලස්ට දුන්න දඬුවම වුනේ පෘථිවිය කර උඩ තියාගෙන ඉන්න කියල. ඇට්ලස් පෘථිවියම කර උඩ තියාගෙන ඉන්න නිසයි සිතියම් පොතට ඇට්ලස් නම ලැබුනෙ.

කමනි - ග්‍රීක මිත්‍යා කථා වල හරි ලස්සන කථා තියෙන්නෙ.

ප්‍රසන්න - ඇට්ලස් කියල කන්දකුත් තියෙනවනේ. ඉස්කෝලෙ භූගෝල විද්‍යාවට කියල දුන්නා මතකයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො මොරොක්කෝ වල තියෙනවා ඇට්ලස් කියල කදු පන්තියක්. ඒකට නම ලැබිලා තියෙන්නෙත් කලින් කිව්ව ඇට්ලස් නිසාම තමා. එක ග්‍රීක මිත්‍යා කථාවක තියෙනව පර්සියස් කියන වීරයා මෙඩූසගේ හිසෙන් ඇට්ලස්ව ගල් කරා කියල. ඇට්ලස් යෝධයෙක් නිසා කාලයත් එක්ක එයා කන්දක් උනා කියලයි කථාවෙ තියෙන්නෙ.

නිසල් - මෙඩූසා කියන්නෙ අර ඔලුව වටේට නයි පෙන තියෙන ගෑනු කෙනානේ

සහන් - ඔව් එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන කෙනෙක් ගල් පිළිමයක් වෙනවලු

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි ග්‍රීක මිත්‍යා කථා වලට ආසයි වගේ..

සහන් - මම නම් ගොඩක් ආසයි. ග්‍රීක දෙවිවරු ගැන කථා අහන්න. සර් කැමති ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවද?

ඉස්කෝලෙ මහත්තයා - ග්‍රීක දෙවිවරුන්ගෙන් මම කැමති දෙවිකෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමේ. හැබැයි මම හිතන්නෙ ග්‍රීක දෙවිවරුන්ගෙන් එයා වැදගත්ම කෙනා කියල. එයා තමා ‘හෙස්ටියා’ කියන දේවතාවිය. මෙයා සියුස්ගේ සහෝදරියක්. ඉස්සර කාලෙ හැම ග්‍රීක නගරයකම පාහේ තිබුනා විශේෂ ගිනි මැලයක්. මොනම හේතුවක් නිසාවත් මේ ගිනි මැලය නිවෙන්න දෙන්නෙ නැහැ. නගරෙ ඉන්න මිනිස්සු රෑට මේ ගිනි මැලය ගාවට ඇවිත් එදා දවස ගැන අනිත් අයත් එක්ක කතා කරා. දැකපු පුදුම දේවල්, ඉස්සරහට කරන්න යන දේවල් කතා කරා. එතනදි මේ මිනිස්සු තමන්ට තේරුම්ගන්න බැරි පාලනය කරන්න බැරි දේවල් වලට නමක් දැම්මා ‘දෙවියන්’ කියල. හැම දෙවි කෙනෙක්ගෙම චරිත ලක්ෂන හැඩගැහුනෙ මේ කතාබස් වලින්. මේ ගිනි මැලය සම්බන්ධව හිටිය දේවතාවිය තමා ‘හෙස්ටියා’ කියන්නෙ. පවුලයි සමාජයටයි හෙස්ටියා මුල්තැන දෙන්නෙ.

අද ගත්තොත් පවුලෙ උදවිය එකට එකතු වෙලා කෑමක් ගන්න වෙලාවක්වත් තියෙනවද? පවුලෙ අය දවසට සැරයක් එකතු එලා ‘අද ඔයාගෙ දවස කොහොමද?’ කියල අහනවද? එදා ගිනි මැලයෙ සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් එහෙම බලද්දි එදා හෙස්ටියා කලේ සුළු පටු දෙයක් නෙමේ.


Thursday, November 28, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [6] සියම් නිකායෙ උපසම්පදාව ගොවිගම කුලයට සීමා වුණේ ඇයි?

නිමාලි - මම ඊයෙ පත්තරේ දැක්කා ගොවිගම කුලයෙ අයට පැවිදි වෙන්න ආරාධනා කරන දැන්වීමක්. ඉතින් ගොවිගම කුලයෙ අයට විතරද පැවිදි වෙන්න පුලුවන්?

ඉස්කෝලෙ මහත්තයා - බුදුන්වහන්සේ වසල සූත්‍රයේ කියන්නෙ; “මිනිසෙකු උපතින් බ‍්‍රාහ්මණයෙකු වන්නේවත්, වසලයෙකු වන්නේවත් නැත. ක‍්‍රියාවෙන්ම මිනිසෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේය.කියලයි. ඉතින් බුදු බණට අනුව මහන දම් පුරන්න කුලයක් අදාල වෙන්නෙ නැහැ. තව ගත්තොතින් උපාලි සූත්‍රයෙ මෙහෙම තියෙනවා. බුදුන්ගෙ කාලයේ හිටපු ජෛනයෙක් වෙච්ච උපාලි ගෘහපතියා බුදුන්වහන්සේ සරණ යනවා. බුදුන් සරණ යන්න කලියෙන් මේ උපාලි ගෘහපතියා ජෛන නිගන්ඨයින්ට ආධාර උපකාර කරපු කෙනෙක්. ඉතින් බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට කියනවා මෙහෙම; ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’ කියල. බුදුන්වහන්සේ කුල ජාති වලින් මිනිස්සු මැනපු කෙනෙක් නෙමේ. අද කවුරුහරි එහෙම කරනවනම් ඒක සම්පූර්ණයෙන් බුදු බණට විරුද්ධයි.

සහන් - තවම ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන නිකායන් තියෙනවද?

ඉස්කෝලෙ මහත්තයා - සියම් නිකාය තුල උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයව විතරයි.

සහන් - ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන්න ඕන කියලා ආවෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා - පෘතුගීසීන් ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ බුද්ධ ශාසනේට ලැබුවෙ හොද කලක් නෙමේ. ඒ ගැන කලින් දවසක කියන්න ඇතිනෙ. උපසම්පදාව ලංකාවෙ නැති වෙලා තිබුනු කාලෙක සරණංකර හාමුදුරුවො සියමෙන් උපසම්පදාව ගේන්න මූලිකත්වය ගන්නවා. කිහිප වතාවක්ම උත්සහ කරත් අසාර්ථක වෙලා අන්තිමේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙ උපසම්පදාව සියමෙන් ගේනවා. සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරයත් හම්බෙනවා. මේකෙදි කුල බේදයක් නැතුවයි සාමණේරයන් වහන්සේලාව උපසම්පදා කරන්නෙ. සරණංකර හාමුදුරුවොත් උපසම්පදාව ලබන්නෙ මේ අවස්ථාවෙදි උපාලි තෙරුන්ගෙන්. මේ සියම් නිකායට අයිති වෙනවා මල්වත්ත හා අස්ගිරි කියන පාර්ශව දෙක.

දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර හාමුදුරුවන්ව බැහැදකින්න පුෂ්පාරාමයට යනකොට මලුවෙ සක්මන් කරමින් හිටපු ස්වාමින්වහන්සේලා කිහිප නමක් රජතුමා හමුවෙන්න ආවා. හැබැයි එක ස්වාමින් වහන්සේ නමක් ලඟ තිබුනු කාණුවකට බැහැලා බයාදුකමින් ගැහි හැහී රජතුමාට ආචාර කරා. රජතුමාට මේකට ගොඩක් කේන්ති ගියා. පස්සෙ හොයල බැලුවම මේ ස්වාමින්වහන්සේ පදු කුලයට අයිති ස්වාමින්වහන්සේ නමක්.

තවත් දවසක් රජතුමා පුෂ්පාරාමයට යනකොට මගුල් බෙර වයන සද්දයක් ඇහුනා. මේක ඇහිලා මොකක්ද මේ කියල බලන්න යනකොටයි දැක්කෙ පැවිද්දෙක් බෙර ගහනවා. හොයල බැලුවම ඒ හිටියෙ බෙරවා කුලයට අයිති පැවිද්දෙක්.අන්තිමේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ කරනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කියන උසස් කුලයෙ අයව විතරයි කියල.

නිසල් - ඒක හරිම අසාධාරණයිනේ…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො.. සියම් නිකායෙ උපසම්පදා කලේ ගොවිගම කුලේ අයව විතරක් නිසා පහත් කුලවලට අයත් සාමණේරයන් වහන්සේලා එකතුවෙලා උපසම්පදා දෙකක් පවත්වනවා 1972 දී හා 1978 දී ඒ තොටගමුව විහාරෙදියි තංගල්ලෙදි යි. හැබැයි මේ උපසම්පදා දෙකම මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක පිළිගන්නෙ නැහැ. මේවා විනය නීති වලට පටහැනියි කියල තමා කීවෙ. ඔන්න ඔහොම ටික කාලයික් ගිහින් රජකමට පත් වුනු රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල.

කොහොමෙන් කොහොම හරි 1779 දී අඹගහපිටියේ ඥානවිමලතිස්ස හිමියි තව ස්වාමින් වහන්සේලා කිහිප නමකුයි බුරුමයේ අමරපුරයට ගිහින් උපසම්පදාව ආයෙම අරගෙන පිහිටවනවා අමරපුර නිකාය. මෙන්න මේ නිකායෙ කුල බේදයක් නැතුව උපසම්පදාව ලබන්න පුලුවන්. ඒ 1803 දී. අමරපුර නිකායත් පස්සෙ කාලෙ එක ක හේතු නිසා බෙදෙනවා. 1956 වෙද්දි අමරපුර නිකාය බෙදිල තිබ්බ කොටස් 21ම එකතුව් වෙලා සංඝ සභාවක් පිහිටුවනවා. මේ සංඝ සභාවෙ පලවෙනි සභාපති තමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ. තව අමරපුර නිකායට අමතරව කල්‍යාණි වංශ, ධම්මරක්ඛිත, සද්ධම්මයුක්තික නිකායනුත් ඇතිවෙනවා. අඹගහවත්තේ සරණංකර හිමියන් රාමඤ්ඤ නිකායත් පටන් ගන්නවා. මේවයේ ඕනම කුලයකට අයිති කෙනෙක්ට උපසම්පදාව ලබන්න පුලුවන්.

නිමාලි - ඒ කියන්නෙ ගොවිගම කුලයට විතරක් උපසම්පදාව ලබන්න පුලුවන් උනේ රජකෙනෙක්ගේ නියෝගයක් මිසක් බුදුන්වහන්සේ කිව්ව දෙයක් නිසා නෙමෙයි.

ඉස්කෝලෙ මහත්තයා - බුදු බණට අනුව කාටවත් තව කෙනෙක්ව ජාති අගම් කුල අනුව වෙන් කරන්න බැහැ. අද ගොඩක් මිනිස්සු සිරිත් විරිත් සංස්කෘතිය කියන ගොඩට මේවා දාලා මොනවත් හොයලා බලන්නෙ නැතුව පිලිපදිනවා. සිරිතක් විරිතක් හෝ සංස්කෘතික අංගයක් අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු එකදිගට පිලිපැද්ද පලියට ඒක ‘නිවැරදි’ දෙයක් වෙන්නෙ නැහැ. අම්මා තාත්තා සීයා ආච්චි කරා කියලා නිවැරදි නොවන සංස්කෘතික අංග අපිත් කරන්න ඕන නැහැ. මේවා ඔය ලමයින්ට හොද පාඩම්…

සංස්කෘතියක් වෙනස් වෙනකොටයි ඒක රැකෙන්නෙ. ඒකත් හරි විදිහට වෙනස් වෙන්න ඕන. පොඩි උදාහරණයක් ගන්නම්, විවිධ යකැදුරෝ තොවිල් පවිල් කරනකොට කුකුළගෙ බෙල්ල කඩලා පුදනවා. හැබැයි බුදු සමය නිසා සිංහල යකැදුරා කුකුලගෙ කරමල විදලා ලේ බිංදක් අරගෙනයි තොවිලෙ කරන්නෙ. මේකටයි සංස්කෘතිය නිවැරදි විදිහට වෙනස් වෙනව කියන්නෙ.




Monday, November 25, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [5] ගණින්නාන්සේ


ප්‍රසන්න - සර්, මම මෑතකදී රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියෙව්වා. ඒකෙ තියෙනවා ගණින්නාන්සේ කියලා භික්ෂූ කොටසක් ගැන. මට ඒක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ගණින්නාන්සේ කියන්නෙ දරුවො මහනුවර යුගයෙ වගෙ කාලෙ හිටපු දුශ්ශීල භික්ෂූන්ට. ‘ගණෙල්ලො’ ‘ගණවොලින්’ කියලත් මෙයාලව හදුන්වනවා. සිවුරක් ඇඳගෙන ඒකට උඩින් බඳ පටියක් බැඳගෙනයි සාමන්‍යයෙන් ගණින්නන්සේ කෙනෙක් හිටියේ. උන්නාන්ස්ලාට දරුමල්ලොයි බිරින්දෑවරුයි හිටියා. ළමයින්ට කීවෙ ‘ගණ ගැටයන්’ කියල. රොබට් නොක්ස් නම් කියන්නෙ එහෙම අඹුදරුවො ගණින්නන්සෙලාට හිටියෙ නැහැයි කියල. ඒත් ඇත්ත කාරනය තමා එහෙම හිටපු එක. පන්සලේම තමා මේ ගණින්නන්සේගේ පවුල හිටියෙ. ගමේ මිනිස්සු දෙන දාන වලින් තමා මේ පවුල් නඩත්තු වුනේ. ගණින්නන්සේලගේ ගෙවල් වලට ‘ගණේගෙදර’, ‘විහාරේගෙදර’; ‘ගණේවලව්ව’ වාගෙ එක එක නම් කිව්වා. ගණ්න්නාන්සේලාට නම් තිබ්බෙ උපන් ගමේ නම විතරක් මුලට යොදලා ‘ලබුතල ගණින්’, ‘වෙලඟේ ගණින්’, ‘වේහැල්ලේ ගණවොලින්’ වාගෙ නම්.

නිමාලි - එතකොට එයාලා බණ දේශනා කලේ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සලේ ඉඩම් පාවිච්චි කරගෙන ඉන්න ගමන් මිනිස්සුන්ට කීවා පන්සලට අයිති දෙයක් ගන්න් කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදිනවා කියල. ගොඩක් වෙලාවට ගණින්නන්සේලා දේශනා කරන්න පාවිච්චි කලේ ‘ජාතක කථා පොත’. වෙස්සන්තර වගේ ජාතකයක් තාලයට ගායනා කරලා ඒකෙ තේරුම කියල දෙන එකයි කලේ. ධර්ම දේශනා ගීතවත්ව ඉතිරිපත් කරන්නයි මේ ගණින්නාන්සේලා නිතරම වාගෙ උත්සහ කලේ. වෙස්සන්තර ජාතකයේ කවි එක් ගණින්නන්සේ කෙනෙක් ගායනා කරද්දි තවත් ගණින්නන්සේ කෙනෙක් උඩැක්කියක් වාදනය කරා. සමහරක් මිනිස්සුන්ට මේවා නොතේරුනාට එයාලා මේවට ගොඩක් ආසා වුනා.

නිසල් - එතකොට මේ ගණිනාන්සේලාට හරි මාර්ගය කියල දෙන්න කවුරුවක්වත් හිටියෙ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - මේ කාලෙ දරුවො ලංකාවෙ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ. මේ කාලෙ ගණින්නාන්සේලා දන් වැළදුවෙත් පිඟානක. පිණ්ඩපාතය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අස්ගිරි, පෝයමළු භික්ෂූන් මාළිගාවට ගෙන්නගෙන දානයක් දුන්නා. එතැනදි මේ භික්ෂූන් දානය වළදින්නෙ පාත්‍රයෙන් නෙමේ කියල රජතුමා දැක්කා. ඉතින් රජතුමා ඇහුවා මේ භික්ෂූන්ගෙන් අටපිරිකර කියන්නෙ මොනවද කියල. පාත්‍රය, පෙරහන, පටිය, තුන් සිවුර, කර කැත්ත, ඉදි කටුව කියන්නෙ පිරිකර ටට කියල කීව්වා. එහෙනන් පලවෙනි පිරිකර වෙච්ච පාත්‍රය දැන් කෝ කියල අහල රජතුමා මේ භික්ෂූන්ට පාත්‍රයෙන් දන් වළදන්න අණ කරා කියල කියනවා.

ඟැඩුඹස්වැවේ මුදලිඳුගෙ මුණුබුරෙක් වුන කවියෙක් මේ භික්ෂූක්ට නිවැරදි මාර්ගය පෙන්නන්න කියාලා ‘විනය සිවුපඳ කියල පොතකුත් ලියල තියෙනවා.

සහන් - මම අහලා තියෙනවා මේ ගණින්නාන්සේලා පොත් ලිව්වයි කියල.

ඉස්කෝලෙ මහත්තයා - මේ ගණින්නාන්සේලා භික්ෂූන්ගේ අඳුරු පරිච්ඡේදයක්විදිහට සමහර මිනිස්සු හිතුවත් උන්නාන්සේලාගෙනුත් සේවයක් වුනා. ඔය පරණ පොත පත අතුරුදහන් වෙන්න නොදී රැකගත්තෙ මේ ගණින්නාන්සේලා තමා. බණ පොත්, සිංහල සාහිත්‍ය පොත් ඉතිහාසෙන් නැතිවෙන්න නොදී ඒවා ලියල තියාගත්තා. ඔය පූජාවලිය වාගෙ පොත් තමා වැඩිමනක් ලියල තිබ්බෙ.

ඔය විතරක් නෙමේ මේ ගණින්නාන්සේලා අමුතුම බණකුත් කිව්වා. මේ බණ ගැන ‘ධර්මානිසංසය’ කියන පොතේ තියෙනවා. ඒකෙ කිව්වේ බුදුරජාණන් වහන්සේ කීව දහම් පදයක් ලිව්වොතින් එක අකුරකට නවදස් කෝටියක දිව්‍යලෝක සැප විදින්න පුලුවන් කියල. බුදුරජාණන් වහන්සේ එහෙව් දෙයක් කියල තිබ්බෙ නැතත් ඒකෙන් හොදක් උනා. මිනිස්සු දිව්‍යලෝකෙ සැප විදින්න කැමති නිසා බණ පොත් පිටපත් කරන්න ගත්තා. ඔය ජෛන ආගමෙත් මේවගේම ඉගැන්වීමක් තියෙනවා. ඒකෙ කියන්නෙ අනෙක් ආගමකට අදාල පොතක් වුනත් පිටපත් කරන එක පිං පලදෙන ක්‍රියාවක් කියල.

දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ හිටියා පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ කියල හිමිනමක්. දෙවන රාජසිංහ රජතුමා ඇසළ පෙරහැර නවත්වපු එකට අඹන්වෙල රාල ඇති කරපු කැරැල්ලට අනුශාසනා කලේ මේ කොබ්බෑකඩුවෙ ගණින්නන්සේ.

නිමාලි - හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනෙ මේ වගේ දේකට වෙන්න ඇති නේද…

ඉස්කෝලෙ මහත්තයා - සිල්වත් භික්ෂුවකගෙන් ශාසනික ප්‍රතිපත්ත රැකෙනවා තමා. නමුත් රටයි ජාතියයි ආගමයි අන්තිම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක හිටිය මේ ගණින්නාන්සේලා සිවුරු හැරලා යනවට වඩා මේ කරපු සේවය වටිනවා. ඇරත් මේ කාලෙ ලංකාව වැටිලා තිබුනු තැන ගැන හිතනකොට භික්ෂුවක් ගණිනාන්සේ කෙනෙක් වෙච්ච එකට අපිට වරදක් කියන්නත් බෑ. කොහොමෙන් කොහොම හරි මේ තත්වෙ තිබුනු ලංකාවෙ බුද්ධ ශාසනේ හරි මාර්ගෙට ගත්තෙ අසරණ සරණ සරනංකර සංඝරාජ ස්වාමින් වහන්සේ. උන්නාන්සේ ගැන තවත් දවසක කියල දෙන්නම්කො…



Wednesday, November 20, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල කාව්‍යය


ඉස්කෝලෙ මහත්තයා - හරි දැන් කියමු බලන්න ඊළඟට තියෙන කවිය

ප්‍රසන්න - කැර මිණි බරණ                 රැස්
රසින් සුර සැව්                සුවහස්
සුරන් සහ                     සහසැස්
නො කැර සිටියේ අහස් කුස හිස්

ඉස්කෝලෙ මහත්තයා - මේ කවිය එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. ගුත්තිල හා මූසිල තරඟය වෙලාවේ දෙවියන්ගේ මැණික් ආභරණ වලින් පිටවුණු රශ්මියෙන් දේදුණු රාශියක් හැදුනා. මුලු අහසම වසාගෙන සුරයන් එහෙම නැත්නම් දෙවිවරු සහ සක්‍රයා සිටියා කියලයි මේ කවියෙන් කියන්නේ. සුරස් සැව් කියන්නේ දෙවියන්ගේ දුන්න එහෙම නැත්නම් දේදුන්න කියන තේරුම. සහසැස් කියන්නේ ඇස් දාහක් ඇති තේරුමෙන් සක්‍රයාට.

නිසල් - ඇයි සක්‍රයාට සහසැස් කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - ඕකට උත්තරේ හින්දු සාහිත්‍යයේ තියෙනවා. මහා බ්‍රහ්මයා ලෝකයේ තියෙන සියලු සුන්දරත්වයන් එකතු කරලා මවනවා කාන්තාවක් ව. මේ කාන්තාවගේ නම තමා ආහල්‍යා. මහා බ්‍රහ්මයා හිමාල වනයේ හිටපු ගෞතම නම් බමුණට මේ සුන්දර ආහල්‍යා ව විවාහ කර දෙනවා.

ටික කාලයක් ගියාට පස්සේ සක්‍රයා දකිනවා මේ ආහල්‍යා ව. ක්‍රමක්‍රමයෙන් මේ දෙන්නා අතරේ අනියම් සබදතාවක් ඇති වෙනවා. දෙන්නට එකතු වෙන්න වැඩි කාලයක් ඕන නිසා ගෞතම බමුණව අසපුවෙන් තරමක් වෙලාවට ඈත් කරලා තියන්න සැලැස්මක් හිතනවා. ගෞතම බමුණා හැමදාම උදේට ශිව දෙවියන්ට පූජා ඔප්පු කරන්න. උදේට කුකුළා හඬලනකොටයි ගෞතම බමුණා ගෙයින් එලියට යන්නෙ.

දවසක් සක්‍රයා කුකුළෙක්ගේ වෙස් අරගෙන මධ්‍යම රාත්‍රිය උදා එනවාත් එක්කම ගෞතම බමුණගෙ අසපුව ළඟට ගිහින් කුකුලෙක් වගේ හඬලන්න පටන් ගත්තා. ඉතින් බමුණත් උදේ වෙලා කියල හිතලා පූජා භාණ්ඩත් අරගෙන එලියට ගියා. මේ යන තරමග අහස බැලුවම තවම තරු පේනවා. ඉතින් මොකක් හෝ වැරැද්දක් ඇති කියලා ආපහු අසපුවටම යන්න ගත්තා. අසපුවට ගියහම සක්‍රය යි ආහල්‍යයි එකට ඉන්නවා දැකලා කේන්තියට ආහල්‍යාව ගල් පිළිමයක් කරනවා. ඒ සාපය කරන්නේ රාම කුමාරයාගේ පාද ස්පර්ෂය ලැබුනහම නැවත පන එන විදිහට.

සක්‍රයට සාප කරනවා මුලු ඇඟේම ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්න කියලා. ඉතින් සක්‍රයා ගෞතම බමුණගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලනවා. මොකද ස්ත්‍රී යෝනි 1000ක් ඇගේ තියාගෙන ආපහු දිව්‍යලෝකෙට යන්න බැහැනේ. මේ ගැන දුක හිතිලා බමුණා මේ ස්ත්‍රී යෝනි 1000 ඇස් 1000ක් බවට හරවනවා. මෙන්න මේ නිසයි සක්‍රයාට සහසැස් කියන්නේ.

කමනි - සර් එතකොට වෑත්තෑවේ හිමිගේ ගුරුවරයා කව්ද?

සහන් - මම දන්නවා ඒකට උත්තරේ. තොටගමුවේ රාහුල හිමිගේ ගෝලයෙක් තමා වෑත්තෑවේ හිමි කියන්නේ.

ඉස්කෝලෙ මහත්තයා - ගුත්තිල කාව්‍යය ලිව්ව කෙනෙක් ගැන කාව්‍යයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ජනප්‍රවාදයේ තමා කියන්නේ වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා. වෑත්තෑවේ හිමිට රාහුල හිමිගෙන් ඈත් වෙලා යන්න වුනු ජනකතාව අහලා තියෙනවද?

ප්‍රසන්න - පළ නොකියා පළා බෙදුවා වගේ කතාව නේද?

ඉස්කෝලෙ මහත්තයා - වෑත්තෑවේ හිමි කියන්නේ ගුරුවරයා වගේම ඉතා දක්ෂ කවියෙක්. සමහරු කියන්නෙ නම් ගුරුවරයාටත් වඩා දක්ෂයි කියලා. මේ හැකියාවට තමන්ගෙ අප්‍රසාදය පලකරන්න දානය බෙදනකොට වෑත්තෑවේ හාමුදුරුවන්ගේ දානයේ තුන් පොළකට පළා බෙදන්න කියලා රාහුල හාමුදුරුවො අතවැසියෙක්ට කිව්වා. පල කියන්නෙ නැතුව පළා බෙදුවා කියලා දැනගත්තු වෑත්තෑවේ හාමුදුරුවෝ පන්සල අතහැරලා යනවා. ඊට පස්සෙ තමා ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ.

ප්‍රසන්න - වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍යය ලියන්නේ පන්සලෙන් පිට උනාට පස්සෙද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සල අතහැරලා ගියාට පස්සේ මේ කාලේ රජතුමා ඒ කිව්වේ හය වන පරාක්‍රමභාහු රජතුමාගේ සේවකයෙක් වුනු සලාවත ජයපාල මැතිතුමාගේ ආරාධනයෙන් තමා ගුත්තිල කාව්‍යය ලියන්නේ. සලාවත කිව්වේ ඒ කාලෙ හලාවතට. පැරණි සාහිත්‍ය කෘති ගොඩක් ගත්තහම ඒ හැම එකක්ම පාහේ ඒ කාලේ සමාජයේ වැදගත් කෙනෙක්ගේ ආරාධනයක ප්‍රථිපලයක් විදිහටයි ලියැවිලා තියෙන්නේ. ගුත්තිල කාව්‍යය ලියන්න ආරාධනා කලේ සලාවත ජයපාල කියලා කාව්‍යයේම තියෙනවා 11 හා 12 කවි වල.

‘පිරිසිඳු යස              සඳුන්
සලාවත ජයපාල   මැතිඳුන්’

‘බැදි යවර                       බසින්
කෙළෙන් ආරාධනා   සතොසින්’

නිමාලි - එතකොට වෑත්තෑවේ හාමුදුරුවන්ට අන්තිමට මොකද වෙන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - ජනකතා වල නම් තියෙන්නේ වෑත්තෑවේ හාමුදුරුවෝ සිවුර හැරලා රටින් පිට වෙලා ගියා කියලයි. වෑත්තෑවේ හිමි ගැන ලස්සන කෙටි කතාවක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙනවා ‘මගේ කතාව’ පොතේ. කෙටිකතාවේ නම තමා ‘මූසිල වෑත්තෑවේ වාදය’.




ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [3] බාලගිරි දෝෂය අද නොවේ හෙට


නිමාලි - ඔයාලා දන්නවද අපේ නැන්දට ඊයෙ බබෙක් හම්බුනා..

කමනි - ඇත්තට, හරි ෂෝක් නේ.

නිමාලි - ඔව් නංගි කෙනෙක්. මම තමයි ගෙදර උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ කියල ලිව්වෙ.

මෙසේ කියනවාත් සමග ගජනායක ඉස්කෝලෙ මහත්තයා ඇවිදින් පන්තියේ හිඳ ගත්තේ ය.

ඉස්කෝලෙ මහත්තයා - මටත් ඊයෙ ආරංචි වුනා නිමාලිගෙ නැන්දට පොඩි දුවෙක් උපන්න බව. දන්න කෙනෙක් කියන්න බලන්න බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා හැම ගෙදරකම පාහෙ දොරේ උළුවස්සෙ ලියන්න හේතුව.

සහන් - අපේ ගෙදරත් ඕකම ලියල තිබ්බා. අම්මගෙන් අහුවම අම්මත් දන්නෙ නෑ කිව්වා.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව ඒ කිව්වෙ ඉන්දියාවෙ සිංහකුමාර රජ්ජුරුවන්ටයි හංසවතී බිසවටයි හිටියා රූමත් දූ කුමරියක්. මේ පවුලට තව හිටියා වැඩිමහල් සහෝදරයෙක් වුන දළ කුමාරයත්. දූ කුමරිය ඉපදුන වෙලේ නක්ෂත්‍රකරුවන් කීවෙ කවදාහරි මේ දූ කුමරිය තමන්ගේ සහෝදරයා වෙන දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙනවා කියල. මේකට රජතුමයි බිසවයි බොහෝම කලකිරුණා වගේම බිය වුණා. මේ නිසා කුඩා කාලෙදිම මේ දූ කුමරියව ලෙනක සඟවලා තිබ්බා දළ කුමාරයාට මුන ගැහෙන්න නොදී.

ප්‍රසන්න - හරියට පණ්ඩුකාභය රජතුමාගෙ අම්මා උන්මාද චිත්‍රාව එක්ටැම් ගේක හංගලා තිබ්බා වගේ.

සහන් - ඒ හංගලා තිබ්බෙ උන්මාද චිත්‍රාට ලැබෙන දරුවා එයාගෙ මාමලා දහදෙනාව මරනවා කියලා නක්ෂත්‍රකාරයො කිව්ව නිසානේ.

නිමාලි - ඉතින් ඒ මාමලා දහ දෙනාව මැරුවද?

සහන් - දන්න තරමින් නම් ඔක්කෝවම මැරුවෙ නැහැ.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ, පණ්ඩුකාභය රජතුමා මාමාවරු දස හෙනාවම මැරුවෙ නැහැ. අට දෙනයි මැරුවෙ. අභය හා ගිරිකන්ඩශිව කියන මාමලා දෙන්නට කිසි කරදරයක් කලේ නැහැ. උන්මාද චිත්‍රාව තිඹිරිගෙය තුලදිම මරන්නයි අභය හැර නෙක් මාමලාගේ අදහස වුනේ. ඒත් වැඩිමහල් සොහොයුරු අභයගේ අදහසට අනුවයි උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරලා තියන්නේ. අනෙක් මාමා වෙච්ච ගිරිකන්ඩශිවගෙ දුව වුන ස්වර්ණපාලි බිසව ව තමා පන්ඩුකාභය රජතුමා විවාහ කර ගන්නේ.

හොදයි දැන් අපි ආයෙම අපේ කතාවට එමු. දූ කුමරිය දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙයි කියල බයට කුමරියව ගල් ලෙනක හංගලා තියනවා. මේ නිසා කුමරියට ‘ගිරි දේවිය’ කියල කියනවා. දැන් ඔහොම කාලයක් ගතවුනා. කුමරියත් දැන් තරුණ වයසේ. දළ කුමාරයා දැන ගන්නවා එයාගෙ නංගිව ලෙනක සඟවලා තියෙන බවක්. ඉතින් මේ ලෙනට ඇතුලු වෙන්න දළ කුමාරයා උත්සහ කරත් මුලදි නම් ඇතුල් වෙන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි අවසානයේ කොහොමහරි ලෙන තුලට ගිහින් තමන්ගේ සහෝදරියව මුනගැහෙනවා. නැකැත්කරුවො කිව්වත් වාගෙම දළ කුමාරයා යි ගිරි දේවිය යි සංවාසයේ යෙදෙනවා.

පස්සේ තමන්ගේ සහෝදරයා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය දුකින් බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා. මේක දැකපු සක්‍රයා ගිරි දේවියගේ සිරුර සඟවනවා. තමන්ගෙ සහෝදරිය මැරුණා කියල දැනගත්ත දළ කුමාරයා ලෙනට ගියත් සිරුරක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ නිසා දළ කුමාරයා උන්මත්තකයෙක් අගේ ගම් නියම් ගම් පාළු කරමින් සතුන් මරමින් ගමින් ගමට යන්න ගත්තා.

මේ නිසා මේක නවත්තන්න කියලා සක්‍රයා ගිරි කුමරියගේ සිරුරට පණ දීලා සිරුර දළ කුමාරයාට පෙන්නලා සක්‍ර භවනට ගියා කියලයි කියන්නෙ. දළ කුමාරයා මැරිලා ආයෙක් යකෙක් වෙලා උපදිනවා. ඒ යකාට තමා ගරා යකා කියන්නෙ. 

නිසල් - ගිරි දේවි ටයි දළ කුමාරයාටයි වෙන් වුනු ලංකාවෙ කෝවිල් එහෙම තියෙනව ද?

ඉස්කෝලෙ මහත්තයා - එහෙම කෝවිල් නම් නැහැ. හැබැයි මේ දෙන්නව ප්‍රයෝජනයට අරගෙන ගම් වල මිනිස්සු ඉඩෝර කාලෙට යාතුකර්ම කරනවා. දළ කුමාරයාගෙයි ගිරි දේවියගෙයි නිරුවත් රූප හෙකක් අඹලා රෑ වෙන්න අදුර වැටෙනකොටම දෝලාවකින් මේ රූප දෙකම වැව් පිටියට අරගෙන යනවා. ඊට පස්සෙ ඒක තැන්පත් කරලා මිනිස්සු ගෙවල් වලට යනවා. මේ රූප කවුරුත් දකින්න් කලියෙන් වැස්සෙන් හේදිලා යනවා කියලයි ගම්මු විශ්වාස කරන්නෙ.

ඔය ගිරි දේවියගේ ආකාර නැත්නම් අවතාර දොළහක් තියෙනවා. එයින් බාලගිරි වෙසින් ඉඳලා කුඩා ළමයි ලෙඩ කරනවනවා කියලයි විශ්වාස කරන්නේ. ඒවා තමා,

1.           මදනගිරි
2.           හපුමල් ගිරි
3.           බාලගිරි
4.           මෝලන් ගිරි
5.           භූත ගිරි
6.           නීල ගිරි
7.           රත්න ගිරි
8.           හඳුන් ගිරි
9.           පට්ට ගිරි
10.        කොටගිරි
11.        අඳුන් ගිරි
12.        වලියක් ගිරි




Monday, November 18, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [2] කනත්ත හා සුසාන භූමිය

පන්තියේ සියලුම දෙනා පාඩමට ලැහැස්ති වෙමින් සිටියි.

නිමාලි - කමනි මම ඔයාව ඊයෙ සිරිදෝරිස් සීයගේ මළගෙදරදි දැක්කෙ නැහැනේ. ඇයි ආවෙ නැත්තේ, මම හිතුවා ඔයා එයි කියලා.

කමනි - අනේ මට එන්න බැරි උනේ අම්මට ටිකක් අනීප මදි නිසා. එයාට උණ ගැනිලා හිටියා ඒකයි. හැබැයි කනත්තට නම් ආවා.

නිමාලි - කනත්තෙ සෑහෙන්න සෙනඟ හිටියා. අම්මට දැන් කොහොම ද?

කමනි - අම්මට දැන් හොදයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි දන්නවද කනත්ත කියන්නෙ මොකක්ද කියලා?

කමනි - අර අපේ පන්සල එහා තියෙන්නෙ. මිනිස්සු මැරුණහම වලලන්නේ.

ඉස්කෝලෙ මහත්තයා  - ඔය කනත්ත කියන වචනෙ ආපු විදිහ දන්න කෙනෙක් එහෙම ඉන්නවද මේ පන්තියෙ?

නිසල් - ආපු විදිහක්නන් දන්නෙ නැහැ. අපි පොඩිකාලෙ ඉදන්ම කියන්නෙ කනත්ත කියල තමයි.

සහන් - අපේ සීයා නම් කනත්තට කැරකෝප්පුව කියන අචනෙ පාවිච්චි කරනවා මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - කැකෝප්පුව කියන්නෙ සුසාන භූමියට මිසක් කනත්තට නෙමේ.

සහන් - එතකොට කනත්ත කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - අහගන්නකො එහෙනම්. ලංකාවෙ තියෙන පැරණිතම සුසාන භූමියක් තමයි බොරැල්ල සුසාන භූමිය. මේ වෙනකොට ලක්ෂ විස්සකට කිට්ටු ප්‍රමානයක් ඒ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙනවා. බොහෝම ඉස්සර ඔය බොරැල්ල සුසාන භූමිය තිබුණු ඉඩමයි බෞද්ධාලෝක මාවතේ වැඩිමනකටයි කීවෙ ‘කුඹි කැලේ’ කියලා. බොරැල්ල කනත්ත තියෙන ඉඩමෙ නම තමා ‘කනත්තවත්ත’ කියන්නෙ. ඔන්න ඔය නිසයි හැම සුසාන භූමියකටම කනත්ත වචනෙ පාවිච්චියට ආවෙ.

ප්‍රසන්න - හේන් වගා කරද්දිත් කනත්ත වචනෙ පාවිච්චි කරනව මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ. හේන් වගා කරනකොටත් කනත්ත අචනෙ පාවිච්චි වෙනවා තමා. ගොවියො හේනක් වගා කරන්න කලියෙන් හේන වගා කරන්න හොද තැනක් හොයනවා කැලෙන්. ඊට පස්සෙ හේනට පාවිච්චි කරන කැලේ කොටහේ තියෙන ගස් සේරෝම කපලා හේන මැද්දට දාලා ගිනි තියෙනවා. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ හේනට කියන මොකක්ද කියලා.

කමනි - (ඉහළට අත ඔසවන ගමන්ම) නවදැලි හේන..


ඉස්කෝලෙ මහත්තයා - බොහොම හොදයි දුවේ. මේ හේන මහ කාලයක් පාවිච්චි කොරන්න වෙන්නෙ නැහැ. මොකද පසේ සාරවත් බාවය කාලයත් එක්ක නැති වෙන නිසා. ඉතින් කාලයත් එක්ක ගොවියො තමන් වගා කරපු හේන අතහැරලා වෙනත් හේනකට යනවා. ඊට පස්සෙ කලින් අතහැර දාපු හේන කැලයේ කොටසක් වෙනවා. මෙන්න මේ කොටසටයි ගමේ මිනිස්සු කනත්ත කීවෙ.