Sunday, April 19, 2020

පෙළ පොතේ තිබෙන "පාන් නැත්නම් කේක් කාපල්ලා" කියමන නිවැරදි ද?

අද සිටින ලාංකික දරුවන් සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයේ ‘ප්‍රංශ විප්ලවය’ යන පාඩම ඉගෙනගන්නා විට ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කියමනක් මාරි ඇන්ටොනෙට් යන බිසවක් කියූ බවට උගන්වයි. අප කුඩා කාලයේ දීත් මේ අයුරින්ම එම කාරණය ඉගෙනගෙන තිබේ. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයටත් එම කියමනෙන් පැන කිහිප වතාවක් ම පැමිණ තිබේ. නමුත් සැබවින් ම මාරි ඇන්ටොනෙට් බිසව මෙම ප්‍රකාශය සිදුකර තිබේ ද? එය සොයා බැලීමටයි මෙම සටහන.

18 වන සියවස වන විට ප්‍රංශයේ දී තිබුනේ වැඩවසම් සමාජ ක්‍රමයක්. එකල සිටි රජුන් හා රදළයන් සුඛෝපභෝගිව දිවි ගෙව්වද ජනතාව අධික පීඩා ඇතිව දිවි ගෙවීය. මෙකල ඇමරිකානු නිදහස් සටනට ප්‍රංශය මුදල් බොහෝ සෙයින් වියදම් කල නිසා ඒ වියදම පිරිමැහීමට රජය බදු අයකිරීම වැඩි කළේ ය. එයිනුත් පීඩා වින්දේ අති බහුතර සාමාන්‍ය ජනතාවයි. මේ නිසා ප්‍රංශයේ රදළයන්ට එරෙහිව සාමාන්‍ය ජනතාව නැගී සිටියි. මෙය අපි ප්‍රංශ විප්ලවය ලෙස හදුන්වමු. මේ ප්‍රංශ විප්ලවය පිලිබද සරල විග්‍රහයක්.

කුසට ආහාරයක් නොමැතිව මිනිසුන්ගේ විලාපය ඇසුණු මාරි ඇන්ටොනෙට් බිසව “පාන් කැත්තම් කේක් කාපල්ලා” යැයි ප්‍රකාශයක් කෙරූ බවට සමාජයේ ප්‍රකටයි. මේ නිසා අවසානයේ දී ඇයව ගිලටීනයෙන් හිස ගසා මරා දමයි. ප්‍රංශ බසින් ඇති “Qu’ils mangent de la brioche” යනක් යමන  ඉංග්‍රීසියෙන් “Let them eat cake” යන පරිවර්තනය වී ලොව පුරා ප්‍රචාරය වුවත් එය නිවැරදි නොවේ. ප්‍රංශ වැකියේ අර්ථය “එයාලට බ්‍රියෝෂ් කන්න කියන්න” යනුයි. බ්‍රියෝෂ් යනු කේක් වර්ගයක් නොවේ. එය පාන් වර්ගයකි.

මෙම ප්‍රංශ කියමන මුලින්ම සදහන් වන්නේ ජීන් ජැක් රූසෝ විසින් රචිත Confession (පාපෝච්චාරණය) නම් කෘතියේ (6 වන වෙළුමේ). එහි මෙම කියමන සදහන් වන්නේ පහත ආකාරයෙන්.

At length I remembered the last resort of a great princess who, when told that the peasants had no bread, replied: “Then let them eat brioches.”

[මට මතකයි ශ්‍රේෂ්ඨ කුමාරිකාවක් ගොවීන් පාන් නැතැයි පැවසූ විට “එහෙනම් එයාලට බ්‍රියෝෂ් කන්න කියන්න” යැයි පැවසුවා.]

රූසෝ මෙහිදී මෙම කුමාරිකාව කවරෙක් ද යන වග සදහන් කරන්නේ නැහැ. ඉතිහාසඥයින් පවසන්නේ එහි සදහන් වන්නේ 14 වන ලුවී රජුගේ බිසව වන මරි තෙරේස් නම් බිසව බවයි. මරි තෙරේස් බිසව සිටියේ 16 වන ලුවී රජුගේ බිසව වූ මාරි ඇන්ටොනෙට් බිසව සිටි කාලයකට ආසන්න වශයෙන් සියවසකට පමණ පෙර. රූසෝ මෙම කෘතිය ලියූ කාලයේ දී මාරි ඇන්ටොනෙට් බිසව දස හැවිරිදි කුමරියකි. ඇය පළමුවරට ප්‍රංශයට පැමිණෙන්නේ දහසය වන වියේ දී 16 වන ලුවී රජු හා විවාහ වීමටයි.

මෙම කියමන මාරි ඇන්ටොනෙට් බිසව හා සම්බන්ධ කරමින් ලියූ සටහනක් සොයාගත හැක්කේ ප්‍රංශ විප්ලවයෙන් වසර 50 කට පමණ පසු පළවූ කෘතියකිනි. එම කෘතියෙත් කතුවරයා ලියා ඇත්තේ ඔහු අසා තිබූ ‘කටකතාවක්’ ය. මාරි ඇන්ටොනෙට් බිසව ළමුන්ගේ අධ්‍යාපනය හා සාමාන්‍ය මිනිසුන්ගේ යහපත උදෙසා ක්‍රියා කල අයෙක් වූ අතර තමන් රජ පවුලේ සාමාජිකයෙක් බැවින් විප්ලවවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවටත් පත්විය. මේ හේතුවෙනුයි ඇය පිලිබද දුර්මත සමාජයේ සංසරණය වූයේ. මෙම කුඩා කියමනක් නිසා මෙතරම් වද විඳීමට අවශ්‍ය නැතැයි ඔබට සිතෙන්නට පුලුවනි. නමුත් අසත්‍යක් ලෙස තහවුරු වී ඇති කරුණක් සත්‍යක් ලෙස හුවා දක්වමින් පෙළ පොත් වලට ඇතුලත් කිරීම අධ්‍යාපනයේ දුර්වලකම පෙන්වීමකි.

බොහෝ දෙනා සිදු කරන පරිදි පෙලපොත කටපාඩම් නොකර එහි අඩංගු කරුණු හැකි අයුරින් සොයා බලා සත්‍ය අසත්‍ය බව තහවුරු කරගෙන ඉතිහාස අධ්‍යනයක යෙදෙන ලෙස ඔබේ දරුවාට කියා දෙන්න. අන්තර්ජාල පහසුකම් ඇති බැවින් ඉතා පහසුවෙන් මෙවන් කරුණු සොයාගත හැකියි. පොත පත කියවා විචාරශීලීව ඉගෙනීමෙන් ඔබට මෙවන් වැරදි සහගත තැන් නිවැරදි කරමින් උගත හැකියි.

පහත දැක්වෙන්නේ වර්තමාන සාමාන්‍ය පෙළ ඉතිහාසය පෙළ පොතේ කොටසක්.


7 comments:

  1. බොරු කියල දැන දැනම කටපාඩම් කරන බොරු අතර ඇත්ත කියල හිතන් හිටපු බොරුවක් :) කෝකටත් මේකෙත් ඇත්ත නැත්ත හොයල බලන්න ඕන 😊
    වටිනා සටහනක් !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. මම ලිව්ව එකෙත් ඇත්ත නැත්ත හොයලා බලලා පිලිගන්න. ඒකයි වෙන්න ඕන.

      Delete
  2. මණ්ඩාවල පඤ්ඤාවාස හාමුදුරුවන්ගේ (එයා ප්‍රංශේ ඉන්නේ) ලිපියක තිබුන හැටියට ඔ්ක විප්ලව කාරයන්ගේ බොරු ප්‍රචාරයක්.

    අපේ මෛත්‍රීපාල සිර්ිසේනගේ මඩු වලිග කතාවත් ඔයවගේම අර්ථය විකෘති කරලා ඉංග්‍රීසියට පරිවර්තනය වුනා.

    ReplyDelete
  3. එව, බලව, විමසව! ඒ වුනාට කෙරෙන්නෙම...

    ReplyDelete
    Replies
    1. යමක් දිහා විචාරශීලීව නොබලන එක ගොඩක් වැරදි වලට මුල...

      Delete
  4. ඕක දැන් අයින් කරල නේද පොතෙන්.

    ReplyDelete

ඉතිහාසය වෙනස් කළ මිත්‍යා රජු : ප්‍රෙස්ටර් ජෝන්

  “අපි කුළු බඩු සහ ක්‍රිස්තියානින් සොයා පැමිණෙමු.” මෙසේ කියා වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණි බවයි ඉතිහාස වාර්තා වල සදහන් වන්නේ. නමුත් ඔවුන් ...