Sunday, June 21, 2020

ජේසුස් දෙවිකෙනෙක් වුන හැටි

ක්‍රිස්තියානි ආගම ගැන ලිපි කිහිපයක් ලියන්න කියලා මිතුරෙක්ගෙන් යෝජනාවක් ආවා. මීට කලින් කිහිප වතාවක්ම ක්‍රිස්තියානි අගමේ විවිධ අංශ ගැන ලියලා තියෙනවා. ක්‍රිස්තියානි කෙනෙක්ට වුනත් තමන් අදහන ආගම ගැන වැඩිය අහන්න ලැබෙන්නේ නැති කරුණු කිහිපයක් ගැන කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා. ජේසුස් කියන පුද්ගලයාව දේවත්වයෙන් කිතුනුවන් අදහනවා. ඒ කියන්නේ ජේසුස් දෙවිකෙනෙක්. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියලා සම්මත වුනේ ජේසුස් මියගොස් වසර තුන්සීයකට ආසන්න කාලයකට පස්සේ ඡන්දයකින් කියලා ඔයාලා අහලා තියෙනවද? අද කතාව ඒ ගැන.

හැම ක්‍රිස්තියානි කෙනෙක්ම හැම ඉරිදා දවසකම පූජාවේ එක්තරා විශ්වාස ප්‍රකාශයක් කියනවා. ඒකට කියන්නේ ‘නයිසියේ විශ්වාස ප්‍රකාශය’ කියලා. ඒකේ මුල් වාක්‍ය කිහිපය මෙහෙම කියනවා; ‘දෙවියන්ගෙන් ඒක ජනිත පුත්‍රයාණන් ද වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියන්ගෙන් ද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියන් ද වන බවත් ජනිත වූ නමුත් මවුනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වය (of the same substance) ඇතිව වැඩ සිටින බවත් විශ්වාස කරමු’

ක්‍රිස්තියානි ආගම ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වුනේ රෝම අධිරාජ්‍යයෙක් වුනු කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා ක්‍රිස්තියානි ආගම වැලඳ ගත්තට පස්සේ. ඊට කලින් ක්‍රිස්තියානි අයව භාවිතා කළා රෝමයේ කොලෝසියමේ සිංහයන්ට කන්න දාලා බලන්න එන මිනිස්සුන්ව සතුටු කරන්න. රාජ්‍යයයි ආගමයි ඉතා තදින් බැඳිලා තියෙන්නේ. ආගමේ මතබේද ඇතිවුනොත් ඒක රාජ්‍ය පාලනයට බාධාවක්. මේ වගේ ආගමික මතබේද තුරන් කරලා ඒවට විසඳුම් ලබාදෙන්න කැඳවනවා මන්ත්‍රණ සභාවක්. කිතුනු සභා ඉතිහාසය තුල මේ වගේ මන්ත්‍රණ සභා 21ක් තිබිලා තියෙනවා. පලමු මන්ත්‍රණ සභාව යෙදී තිබුනේ ක්‍රි.ව. 325 දී නයිසියේ නගරයේ. විසි එක්වෙනි මන්ත්‍රණ සභාව තිබුනේ 1962 – 1965 අතර කාලයේ.

කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ කාලයේ නයිසියේ නගරයේ මන්ත්‍රණ සභාවක් තියන්නේ ඒ කාලයේ ක්‍රිස්තියානි බිෂොප්වරුන්ට තිබුනු ප්‍රශ්න හා මතබේද වලට විසඳුමක් ලබාගන්න. මේ මන්ත්‍රණ සභාවෙන් පාස්කු දිනය පැවැත්විය යුතු දිනය, ආගම දේශනා කරන ආකාරය, දේවස්ථානයක් සෑදිය යුතු ආකාරය, පූජකයෙක් පත්කරගන්නා ආකාරය ආදිය කතා කෙරුණා. නමුත් මේ හැම එකකටම වඩා වැදගත් වුනු නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන මාතෘකාව වුයේ ‘ජේසුස්වහන්සේ දෙවිකෙනෙක් ද? නැද්ද?’ යන්නයි.

මුල් කාලයේ කිතුනුවන්ගෙන් සමහරක් විශ්වාස කළා ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියලා. තවත් කොටසක් විශ්වාස කරා ජේසුස් කියන්නේ මනුෂ්‍යයෙක්. දෙවියන් විසින් මවපු සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා. ජේසුස් දෙවිකෙනෙක් නෙමේ මනුෂ්‍යයෙක් කියලා විශ්වාස කළේ ඒ කාලයේ ක්‍රිස්තියානි ආගම පිලිබඳ දැනුම නැති අය නෙමේ. ක්‍රිස්තියානි ආගමේ ම බිෂොප්වරු. ජේසුස් මනුෂ්‍යයෙක් කියන මේ ඉගැන්වීම ප්‍රබල ලෙස සමාජයේ කතාබහකට ලවුනේ ඒරියස් කියන කිතුනු පූජකයා නිසා. ඒ නිසයි ඒ ඉගැන්වීමට ඒරියන්වාදය කියන්නේ. නයිසියේ මන්ත්‍රණ සභාවේ ප්‍රධාන අරමුණ වුනේ මේ ඒරියන්වාදය පිළිගන්නවාද? නැද්ද? යන්න සාකච්ඡා කිරීම.

මේ මන්ත්‍රණ සභාවට ලෝකයේ විසිරිලා ඉන්න පූජකයෝ 318 දෙනෙක් එනවා. මේ සමුළුවට අධික වියදමක් දරනවා වගේම අධිරාජ්‍යයාත් මේ සමුළුවට සහභාගි වෙනවා. සමුළුවට එනකොට අධිරාජ්‍යයා වුනත් ආවේ සොල්දාදුවෝ සමග නෙමේ. මිතුරන් කිහිප දෙනෙක් සමග. මොකද මේක යුද්ධයක් නෙමේ සාමාදානෙන් විසදගෙන එකමුතු වෙන්න කරන ප්‍රයත්නයක් නිසා.

දැන් සමුළුව පටන් ගත්තා. එකිනෙකා තර්ක ගෙනෙමින් ගේන ඒවා ප්‍රථික්ෂේප කරගෙන සමුළුව සති ගණනක් ඇදුනා. එක් වතාවක මේ පූජකයන් අතර ගැටුමක් ද ඇතිවුනා සංවාදය දුර දිග ගිහින්. ඉතින් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාට නිතර මතක් කරලා දෙන්න සිද්ධ වුනා ‘ඔයාලා හැමෝම ක්‍රිස්තියානි අය. අපි ඉන්නේ මේ සටනක නෙමේ’ කියලා. හරි වැරැද්ද කෙසේ වෙතත් මේ සමුළුවෙන් එකඟ වෙන ඕනම දේකට අධිරාජ්‍යයා කැමති වෙන්න සූදානමින් හිටියේ.

අවසානයේ දී සමුළුව ප්‍රධාන වශයෙන් දෙදෙනෙක්ගේ අදහස් මත දෝලනය වුනා. එක්කෙනෙක් ඒරියස් පූජකතුමා. අනිත් කෙනා තමා ඇතනාසියස් පූජකතුමා. ඇතනාසියස් පූජකතුමා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩීකන්වරයෙක්. ඒරියස් පූජකතුමාගේ මතයට ඉතා තදින් විරුද්ධ වුන කෙනෙක්. ඒරියස්ගේ මතය සමුළුවෙන් සම්මත නොවීමට තමන්ගේ සියලු බලය යොදනවා. මුලදී ඡන්දයක් තිබ්බත් අදහස් දෙකටම ලැබෙන්නේ සමාන ඡන්ද ප්‍රමාණයක්. මේ නිසා වාද විවාද දිගින් දිගටම කෙරීගෙන ගියා.

ඔය අතරේ ඇතනාසියස් පූජකතුමා විවාදය අතරේ විශේෂ වචනයක් භාවිතා කරනවා. ඒක තමා ‘හොමොවුසියන්’ (Homoousian) වචනය. ඒක යොදාගත්තේ ජේසුස්ගෙන් දෙවියන්ගෙයි අතර කිසිදු වෙනසක් නැහැ කියල කියන්න. මේ සංකල්පය සමුළුව තුලට ගෙනාවයින් පස්සේ ඒරියස් පූජකතුමා ඒ සංකල්පය තියෙන කිසිදු ලියවිල්ලකට එකඟ නොවන බව ස්ථිර වුනා. දැන් මේ විවාදය තිබුනටත් වඩා බරපතලයි. සමුළුවේ පූජකයන්ට එක්කෝ මේ අලුතෙන් ගෙනාපු සංකල්පයට (ජේසුස් හා දෙවියන් එක්කෙනෙක් බව) එකඟවෙන්න ඕන. එහෙම නැත්නම් විරුඩ්ධ වෙන්න ඕන. අතරමැදි අවස්ථාවක ඉන්න විදිහක් නැහැ.

මේ නිසා ඇතනාසියස් පූජකතුමා පෞද්ගලික සාකච්ඡා ආදියෙන් පූජකයන් එකින් එක්කෙනා තමන්ගේ මතයට අත්සන් කරවාගන්න සමත් වුනා. ජේසුස් කියන්නේ දෙවිකෙනෙක් කියන මතය සම්මත වුනොත් ඒ මතය පිළිගන්නේ නැති පූජකයන්ව රටින් පිටුවහල් කරන බවට දැන්වූවායින් පස්සේ ඒරියස් පූජකතුමා සමග හිටපු අනෙක් පූජකයිනුත් පැති මාරු කරා. රටින් පිටුවහල් වෙන බව දැන දැනත් ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් නෙමේ කියන මතයේ දැඩිව හිටියේ ඒරියස් පූජකතුමා, ඩීකන්වරයෙක් සහ බිෂොප්වරු දෙදෙනෙක් විතරයි.

මේ සිදුවීමෙන් පස්සේ ඒරියස් පූජකතුමාගේ මතය ක්‍රිස්තියානි ආගමට විරුද්ධ මතයක් බවට වැඩි ඡන්දෙන් පත්වුනා වගේම ඒ මතය තුල ඉන්න අයව රටින් පිටුවහල් කරන්නත් නීතියක් ගෙනාවා. දැන් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යාටත් හරි සතුටුයි. ඒ සමුළුවෙන් බහුතරයක් එක් අදහසකට එකඟ වුන නිසා. නමුත් මේක වැඩි කාලයක් තිබුනේ නැහැ.

කොන්ස්ටන්ටීන්ට දැනගන්න ලැබෙනවා එයාට යුසේබියස් කියන පූජකයාවත් පිටුවහල් කරන්න සිද්ධ වෙනවා කියලා. යුසේබියස් නයිසියේ සභාවේ ජේසුස් කියන්නේ දෙවි කෙනෙක් කියන මතයට අත්සන් කරත් දැන් ප්‍රසිද්ධියේ ඒ මතය විවේචනය කරන්න ගන්නවා. නමුත් යුසේබියස්ව රටින් පිටුවහල් කරන එක ලේසි පහසු දෙයක් නෙමේ. යුසේබියස් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ දුරින් නෑදෑ කෙනෙක් වෙනවා වගේම රාජ සභාවේ සාමාජිකයෙක්. යුසේබියස් රාජ සභාවේ ජේසුස්ගේ දේවත්වය ගැන අයගේ අදහස් ටිකෙන් ටික වෙනස් කරන්න හදපු නිසා අධිරාජ්‍යයාට සිද්ධ වෙනවා යුසේබියස්ව පිටුවහල් කරන්න.

නමුත් කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයාගේ නංගි යුසේබියස්ට බොහොම කැමැත්තකින් හිටපු කෙනෙක්. මේ නිසා ආයෙමත් යුසේබියස්ව රාජ්‍යයට කැඳවනවා. යුසේබියස් මුලදී නයිසියේ සමුළුවේ අත්සන් කරද්දිත් දෙබිඩි සිතකින් හිටියත් පිටුවහල් කරපු නිසා දැන් ඒරියස්ගේ මතය (ජේසුස් මනුෂ්‍යයෙක්) යුසේබියස් දැඩිව විශ්වාස කරා. එයා උදේහවා අධිරාජ්‍යයාගේ සිත වෙනස් කරන්න උත්සහ කරා නයිසියේ සමුළුවේ සම්මතය ගැන. ඒක සාර්ථක වුනා.

ඒරියස් පූජකතුමාගේ අදහස් නයිසියේ සමුළුවෙන් ප්‍රථික්ෂේප වුනත් ඒක ව්‍යාප්ත වෙන එක වැලැක්වුනේ නැහැ. මේ නිසා කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා තම රාජ්‍ය තුල ඒරියස්ගේ හා ඇතනාසියස්ගේ මත දෙකටම ඉඩ ලබා දුන්නා. ඒරියස් පූජකතුමාවත් නැවත කැඳෙව්වා. ඒකෙන් එයා අදහස් කලේ රාජ්‍යයට සාමය උදාකරන්න. නමුත් යුසේබියස් පූජකතුමා එතනින් නවතිනවට කැමති වුනේ නැහැ. ඔහු දිගින් දිගටම ඇතනාසියස් පූජකතුමාව සහ ඔහුගේ මතය විවේචනය කරා. ඒක කොච්චර දුර දිග ගියාද කියනවනම් අවසානයේ දී ඇතනාසියස් පූජකතුමාව රටින් පිටුවහල් කරනවා.

මේ අධිරාජ්‍ය තුලින් ඒරියස්ගේ අදහස් ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. කොන්ස්ටන්ටීන් අධිරාජ්‍යයා මැරෙන්න කලින් ලෙඩ ඇඳේ ඉන්නකොට යුසේබියස් පූජකතුමා බෞතීස්ම කරනවා. මොකද ඒ කාලේ මිනිස්සු හිතුවා බෞතීස්මයෙන් සියලු පව් සෝදා හරින්න පුලුවන් කියලා. ඉතින් ගොඩක් මිනිස්සු මැරෙනකන් පව් කරලා මැරෙන්න මොහොතකට කලින් බෞතීස්ම කරගන්නවා.

තව කතන්දර නම් එමටයි. දැනට මේ ඇති. තවත් කතාවකින් හමුවෙමු.


Saturday, June 6, 2020

පාර කියන මී මැස්සෝ

මී පැණි කාලා තියෙනවද? ස්වාභාවික මී පැණි කවදාවත් නරක් වෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒකට හේතු වෙන්නේ හොවාඩ් කාටර් ටූටන්කාමන්ගේ සොහොන හොයාගත්තම ඒ සොහොනේ මී පැණි පිරවූ බඳුන් හමුවූ නිසා. වසර තුන්දහසකට පසුත් ඒවා හොඳ තත්ත්වයෙන් තිබුනා. ආරක්ෂිතව මී පැණි ගබඩා කරලා තිබුන නිසයි මී පැණි නරක් නොවුනේ. මී මැස්සන්ට යම්කිසි ස්ථානයක් නිවැරදිව සොයාගන්න අපූරු හැකියාවක් තියෙනවා. ඒක නැටුමක්. අද කතාව ඒ ගැන.

කාල් ෆොන් ෆ්රිෂ් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. 1973 දී ඔහුට වෛද්‍ය අංශයෙන් නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා. මී මැස්සන්ටයි කාල්ටයි ලොකු බැඳීමක් තිබුනේ. මී මැස්සන්ගේ ගති ලක්ෂණ සොයා බලන්න කාල් සෑම විටම උත්සහ කරා. කාල්ට තිබුනා මී මැසි ජනපද කිහිපයක්. මේවත් එක්ක තමා කාලය ගතකලේ.

දවසක් පොඩි දීසියකට සීනි මිශ්‍ර කරපු ජලය දමලා මී මැසි ජනපදයට තරමක් ඈතින් තිබ්බා. කාල් එතනට වෙලා බලාගෙන හිටියා කවුරුහරි මී මැස්සෙක් එයිද කියලා. ඔන්න දවසක් එක මී මැස්සෙක් ආවා. මී මැස්සා ඇවිදින් අර රසවත් සීනි ද්‍රාවණය බොනවා දැන්. කාල් පින්සලකට තීන්ත ස්වල්පයක් අරගෙන අර මී මැස්සගේ පිටේ සළකුණු කරා. ඒ එයාව වෙන් කරලා හදුනාගන්න.

මේ මී මැස්සා සීනි ද්‍රාවණයෙන් ටිකක් බීලා ආයෙත් එයාගේ ගෙදරට ගියා. පැය කිහිපයකට පස්සේ ආයෙත් මේ මී මැස්සම එනවා සීනි ද්‍රාවණය බොන්න. දැන් ආවේ තනියෙන් හැබැයි. ඔහොම ටික වෙලාවක් ගියා. මී මැස්සා වතුර බොමින් ඉන්දැද්දිම තවත් මී මැස්සෝ කිහිප දෙනෙක් ආවා. මේ මී මැස්සෝ ආවේ කලින් කෙනාගේ පස්සෙන් නෙමේ. තනිවම. එක්කෙනෙකුත් නෙමේ කිහිප දෙනෙක්ම ආවා. අනිත් කාරණය තමා මේ මී මැස්සන් හිටියෙත් අර සලකුණු කරපු මී මැස්සා ඉන්න ජනපදය තුලමයි.

ඊළඟ දවසෙත් අර සලකුණු කරපු මී මැස්සා සීනි ද්‍රාවණය බොන්න ආවම කාල් මේ සීනි ද්‍රාවනයයි මී මැස්සවයි අරන් ඈතකට ගියා. කිලෝමීටර් කිහිපයක්ම ඈතට ගියා. දැන් මේ මී මැස්සා ආපු වැඩේ කරගෙන ජනපදයට ගියා. පැය කිහිපයකින් පුදුම දෙයක් කාල් නිරීක්ෂණය කරා. සලකුණු කරපු මී මැස්සගේ ජනපදයේ අනික් මී මැස්සෝ කිහිප දෙනෙක් සීනි ද්‍රාවණය තියෙන තැන හරියටම හොයාගෙන ආවා. කලින් තිබුන තැන වෙනස් කරත්.

මේ දේවල් අත්දකිනකොට කාල්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුනා. භාවිතා කලේ මී පැණි නෙමේ සීනි නිසා මී මැස්සන්ට සුවදින් හදුනාගෙන එන්නත් බැහැ. මේ මී මැස්සෝ කොහොමද සීනි ද්‍රාවණයට එන පාර හරියටම හොයාගත්තේ?

මේ ගැන හොයනකොට කාල් ඇඳිනගත්තා මී මැස්සන්ගේ විශේෂ චර්යාවක්. ඒක එක විදිහක නර්තනයක්. මේ නර්තනය සූර්යයාගේ පිහිටීමත් එක්ක සම්බන්ධයි. මේකෙදි මී මැස්සා ටිකක් පැද්දි පැද්දි ඉදිරියට ගිහින් වමට හෝ දකුණට හැරිලා අර්ධ වෘත්තයක මාර්ගයක ගිහින් ආයෙම නැටුම පටන්ගත්තු තැනට එනවා. පැද්දි පැද්දි ඉදිරියට ගියොත් ඒ කියන්නේ ඉර දෙසට යන්න කියලා. පසුපසට ගියොත් කියන්නේ ඉරෙන් ඉවතට යන්න කියලා. පැද්දෙන්නේ මැදදි යනකොට විතරයි. අර්ධ වෘත්ත කොටසෙන් යනකොට සාමාන්‍ය විදිහටයි යන්නේ.

වමට හෝ දකුණට හැරෙන කෝණයෙන් කියන්නේ ඉරත් එක්ක කොච්චරක් හැරිලා ගමන් කරන්න ඕනෙද කියන එක. කොච්චර දුරක් යන්න ඕනෙද කියලත් මී මැස්සා තමන්ගේ නර්තනයෙන් කියනවා. අර පැද්දෙමින් යන කොටසේ එක වතාවක් පැද්දෙන්න තත්පරයක් ගත වෙනවා කියලා හිතුවොත් එක තත්පරයකින් නිරූපණය වෙන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් එකක්.

අවුරුද්දේ ඕනම කාලයක ලෝකයේ හැම කෙරවලකම ඉන්න මී මැස්සෝ පාර කියන්නේ මෙහෙමයි.

මේ මස තුල පලවූ අනෙක් සටහන්:

සෙලවෙන අංශු 

බල්ලන් කුරුසිපත් කිරීම 

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය 


කාල් වොන් ෆ්රිෂ් මීමැස්සන් සමග 


Friday, June 5, 2020

මෙකැක් වඳුරන්ගේ පරීක්ෂණය

ග්‍රීක කතා වලට අනුව සියුස් හා ප්‍රොමිතියස් එකතු වෙලා ‘මිනිසා’ ව නිර්මාණය කරනවා. නිර්මාණය කරාට පස්සේ සියුස් කැමති වෙන්නේ නැහැ මිනිසුන්ට ‘ගින්දර’ ලබාදෙන්න. ගින්දර කියලා අදහස් කරන්නේ නව නිර්මාණ කිරීමට හැකියාව. එහෙම ගින්දර ලබාදුන්නොතකියි කවදා හෝ මිනිසුන් දෙවියන් හා සම වෙනවා කියලයි සියුස් විශ්වාස කලේ. නමුත් ප්‍රොමිතියස් ඒ දේ ගැන තැකුවේ නැහැ. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් වුනාට ඔහු මිනිස්සු තමන්ගේ යහළුවන් විදිහටයි සැලකුවේ.

මේ නිසා දවසක් ප්‍රොමිතියස් සියුස්ගෙන් ගින්දර හොරකම් කරලා මිනිසුන්ට ලබා දෙනවා. මේක දැනගත්තු සියුස් තමන්ගේ හොදම යහළුවා වුන ප්‍රොමිතියස්ට දඬුවමක් ලබා දෙනවා. අත පය යකඩ දම් වැල් වලින් බැඳලා ඉන්නකොට දිනපතා රාජාලියෙක් ඇවිදින් ප්‍රොමිතියස්ගේ අක්මාව ඉරා කනවා. ප්‍රොමිතියස් අමරණීය කෙනෙක් නිසා දිනපතා රාත්‍රියේ දී මේ අක්මාව නැවත වැඩෙනවා. මේ දේ සදාකාලිකව සිදුවෙන්න සියුස් නියම කරනවා.

ප්‍රොමිතියස්ට මිනිසුන් සමඟ ඥාතීත්වයක් නෑ. ඔවුන්ගෙන් කිසිම උපකාරයක් ලැබෙන්නෙත් නැහැ. නමුත් ප්‍රොමිතියස් ඔවුන්ට උදව් කරනවා තමන් මේ කරන දෙයින් සියුස් කෝප වෙන බව දැන දැනම. තමන්ට අවසානයේ දී දරුණු ඉරණමක් අත්වෙන බව ප්‍රොමිතියස් නොදැන හිටියේ නැහැ. තමන්ට සම්බන්ධකමක් නැති ප්‍රති උපකාර කරන්න බැරි කෙනෙක් වෙනුවෙන් වෙහෙසීම කැපවීම ලේසි පහසු දෙයක් නෙමේ.

බයිබලයේ තියෙනවා ‘පටු මාවතක්’ ගැන. ඒකේ යෑම පහසු නෑ. ගොඩ දෙනෙක් ඒ මාර්ගයේ යන්නෙත් නෑ. නමුත් නිවැරදි නැවතුමට යන්න නම් ඒ මාර්ගයේ යා යුතුමයි.

“මේ ඉන්නේ අපේ එකානේ… අපි ඇරෙන්න මෙයාට වෙන කවුද උදව් කරන්න ඉන්නේ…”

ඔය කියමන මම විවිධාකාර විදිහට විවිධ තැන් වලදී අහලා තියෙනවා. අපි උදව් කරන්න ඕන ‘අපේ’ එකෙක්ට විතර ද? මම සිංහල නිසා මම රැකගන්න ඕන සිංහල ජාතිය විතර ද?

1960 දශකයේ මෙකැක් වඳුරන් යොදාගෙන පර්යේෂණ බොහොමයක් සිදු කෙරුනා. සමහර පරීක්ෂණ වල සදාචාරාත්මක බව අදටත් ප්‍රශ්න කෙරෙනවා. වඳුරෝ පහලොස් දෙනෙක්ට ආහාර සැපයුවා එක කොන්දේසියක් මත. තමන්ට ආහාර අවශ්‍ය නම් ඒ වඳුරා දම්වැලක් අදින්න ඕන. එතකොට තමන්ට කිසිදු සම්බන්ධකමක් නැති වඳුරෙක්ට ‘විදුලි සැරයක්’ වදිනවා. මේ පරීක්ෂණය ඉදිරියට ගියාට පස්සේ වඳුරෝ දැනගන්නවා තමන්ට කෑම අවශ්‍ය නම් තව වඳුරෙක්ට විදුලි සැර විදින්න සිදුවෙනවා කියලා.

නමුත්, තමන්ගේ බඩගින්න වෙනුවෙන් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න ඕන කියලා දැනගත්තම බහුතරයක් වඳුරෝ දම්වැල ඇඳීම ප්‍රතික්ෂේප කරන්න ගත්තා. වඳුරන් තුනෙන් දෙකක් වැනි විශාල කොටසක් තව කෙනෙක්ට විදුලි සැර වැද්දීම වෙනුවට නිරාහාරව සිටීමට කැමැත්ත පල කරා. එක වඳුරෙක් සති දෙකකට ආසන්න කාලයක් නිරාහාරව හිටියා තව කෙනෙක්ට රිද්දන්න බැරිකමට. කලින් පරීක්ෂණ වලදී විදුලි සැරට ලක්වුනු වඳුරෙක් තව වඳුරෙක්ට විදුලි සැර වද්දන්න පෙළබුනේ අනිත් අයට වඩා අඩුවෙන්.

තමන්ගේ යැයි නොකියා පොදුවේ ‘මිනිසෙක්’ වෙනුවෙන් කැපවිම වෙහෙසීම ලේසි පහසු දෙයක් නොවේ. භෞතික සුවයක් නැතත් මානසික සුවය තියෙන්නෙ එතැන. තීරණය ඔබ සතුයි.


බල්ලන් කුරුසිපත් කිරීම

කුරුසිපත් කිරීම ගැන ඔයාලා අනිවාර්යෙන්ම අහලා ඇති. මේ දඩුවම් ක්‍රමය ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුනේ කුරුසිපත් කිරීමෙන් ජේසුස්ව මරණයට පත්කල නිසා. මේ දඩුවම් ක්‍රමය ජේසුස්ගේ කාලයෙන් බොහෝ ඈතට දිව යනවා. රෝමන්වරුන්ගේ ප්‍රධාන දඩුවම් ක්‍රම අතරින් කුරුසිපත් කිරීමත් තිබුනා. මේවයේ කුරුසිපත් කලේ අපරාධකාරයින්ව. නගරයක් වටලා අල්ලා ගත්තාට පස්සේ මුලදී යටත් නොවූ සාමාන්‍ය වැසියන්වත් මේ ආකාරයට කුරුසිපත් කරලා තියෙනවා කියලා සාක්ෂි සාධක හමුවෙනවා.

නමුත් රෝමන්වරු චාරිත්‍රයක් විදිහට බල්ලන්ව කුරුසිපත් කල බව අසා තියෙනවද? රෝමය කියන්නේ බල්ලන්ට ආදරය කරපු රාජ්‍යයක්. බල්ලන් වෙනුවෙන් සොහොන් හදපු අවස්ථාත් තියෙනවා. නමුත් ක්‍රි.පූ. 390 දී රෝමයේ නගරයක් ආක්‍රමණය කරනවා ගෝල් දේශයේ වැසියන්. රාත්‍රී කාලයක සිද්දවෙන මේ ආක්‍රමණයේ දී රැකවලට හිටපු බල්ලන් නින්දට ගිහින් හිටපු නිසා අනතුරු අඟවන්න හැකියාවක් ලැබුනේ නැහැ. නමුත් එවෙලේ හිටපු පාත්තයෝ කණ්ඩායමක් කෑ ගහන්න පටන් ගත්තු නිසා රෝමන් සෙබළුන් මේ ආක්‍රමණය ගැන දැනගන්නවා. ඊට පස්සෙයි ආරක්ෂක නළා නාද කරලා සටන් කරන්න ගන්නේ.

මේ දේ සංකේතවත් කරන්න, ‘බල්ලන්ට හොද පාඩමක් උගන්වන්න’ රෝමන්වරු වාර්ෂිකව පවත්වනවා චාරිත්‍රයක්. මේකට කියන්නේ ‘සප්ලීසියා කැනම්’ කියලා. අගෝස්තු මස 03 වෙනිදා පවත්වන මේ උත්සවයේ දී පණපිටින් බල්ලන්ව කුරුසිපත් කරලා නගරයේ වීදී සංචාරයක යෙදෙනවා. මේ කුරුස X, Y හැඩවලට තමා නිමවෙලා තිබුනේ. මේ උත්සවයේ දී බල්ලන්ට දඩුවම් දුන්නා විතරක් නෙමේ පාත්තයින්ව රත්තරන් වලින් සරසලා නගරය පුරා ගෙනිච්චා. කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා කිතුනු දහම වැළඳ ගත්තට පස්සේ සියලු ආකාරයේ කුරුසිපත් කිරීම් තහනම් කිරීමට කටයුතු යොදනවා. එතෙක් වසර සිය ගණනක් ක්‍රෑර චාරිත්‍රයකින් බල්ලන් වාර්ෂිකව ඝාතනය කෙරුනා.

බල්ලා කියන සතා අපිට ඉතා හිතවත් සතෙක් නිසා මේ අපරාධය කෙනෙක්ට තදින් දැනෙන්න පුලුවන්. නමුත් එහෙම නොවෙන සතෙක් මැරුවොතින් මේ සානුකම්පිත හැඟීමම අපිට ඇතිවෙයි ද? සතෙක් මැරීමෙන් අපිට ගෞරවයක්, පළිගැනීමක්, වාසනාවක්, මුදලක් ලැබෙනවා නම් ඒ ඝාතනය දිහා අපි සානුකම්පිතව බලයි ද? මේවා අපි අපෙන්ම ප්‍රශ්න කරගන්න ඕන දේවල්.

මද්දකට හසු වෙලා මැරුණු කොටියව මරපු පුද්ගලයා එයාගේ ගෙදර ඉන්න බල්ලට හරිම ආදරේ මනුස්සයෙක් වෙන්න පුලුවන්. හිතන්න අපි ආදරේ කරන්නේ ඇත්තටම සතාගේ ‘ජීවිතයට’ ද? නැත්නම් අපේම ආසාවල් වලට ද? කියලා. මාස කිහිපයකට උඩදී ඒක දේශික හූනු විශේෂ කිහිපයකට ජාතික වීරයන්ගේ නම් දානකොට ප්‍රශ්නයක් ආවා මතක ඇතිනේ. ඒ අපේ ඔය ආසාව නිසා. මිනිස්සු ආසා කරන්නේ ඇඟ පතින් ලොකු තේජාන්විත සත්තුන්ට. ඒත් පරිසරවේදියෝ එහෙම නෙමෙයි. හූනත් එකයි කොටියත් එකයි.

ජීවිතයට වටිනාකමක් දෙන්න. සත්තුන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත්. ඇමරිකාවේ පොලිස් නිළධාරියෙක් කළු ජාතිකයෙක්ව ගෙල සිරකරලා මරා දැමීම නිසා දැන් ඇතිවෙලා තියෙන තත්ත්වයටත් හේතුව අපි ජීවිතයට නිවැරදි වටිනාකමක් නොදීම. ජාති අනුව ආගම් අනුව පාට අනුව බෙදෙන්න පුලුවන් හැම ආකාරයකටම බෙදීමෙන් අපි ජීවිතයට තියෙන වටිනාකම අමු අමුවේ කුරුසිපත් කරනවා.

රෝමන්වරුන්ගේ බල්ලන් වාර්ෂිකව ඝාතනය වැනි පල රහිත චාරිත්‍ර කොතෙකුත් අදත් අපිට දකින්න පුලුවන්. චාරිත්‍ර මුවාවෙන් සත්තු බුරුතු පිටින් ඝාතනය වෙන්නේ. සමහර චාරිත්‍ර වලට සතුන් සම්බන්ධ නැහැ. සතා වෙනුවට ඉන්නේ මිනිසෙක්. ඒ අපේ සමාජයේ කිඳා බැහැලා තියෙන බහුතරයක් චාරිත්‍ර. අපිත් පරම්පරාවෙන් ආපු පලියට ඒ චාරිත්‍ර ප්‍රශ්න නොකර පිළිගන්න සූදානමින් ඉන්නවා. ළමයෙක් වැඩි වියට පත්වුනාම කාමරයක් අස්සට දාලා තැම්බුම් හොදි පොව පොවා ඉන්න එකෙන් අත්වෙන සෙතේ මොකක් ද? මනුස්සයෙක් උදෙන්ම නැගිටලා ව්‍යාපාරයක් පටන් ගන්නෙයි කියලා එළියට බහිනකොට හූනෙක් චික් චික් ගෑවොත් එලියට බහින්නෑ. ඒ මනුස්සයගේ දවසම මූසලයි ඉතින්. මුස්පේන්තු චාරිත්‍ර මේවා.

ඔයැයිලා බාරහාර එහෙම ඔප්පු කරලා ඇතිනේ. මමනම් මේක හදුන්වන්නේ පගාව දීමක් විදිහට. පන්සලට, කෝවිලට පල්ලියට යනවා මිනිස්සු බාරහාර වෙන්න. ගිහින් කියනවා “මාව මේ විභාගයෙන් පාස් කරොත් මීටරයක් දිග ඉටිපන්දමක් පූජා කරනවා”, “මට මේ රස්සාව ලැබුනොත් පල්ලියේ එහා කෙරවලේ ඉඳන් අල්තාරෙට වෙනකන් දණ ගහගෙන එනවා.”. කිතුනුවෝ දෙවියන්ව තමන්ගේ පියාණන් ලෙසින් හදුන්වනවා නම් ඔවුන් බාරහාර වීමෙන් කරන්නේ තමන්ගේ තාත්තට පගාව දීම. මේ චාරිත්‍ර දැන්වත් ප්‍රශ්න කරන්න ගන්න. මම මේ කියන දේත් පිලිගන්න අවශ්‍ය නැහැ කවුරුත්. මගේ මේ අදහසුත් ප්‍රශ්න කරන්න. කවුරුත් කිව්ව පලියට, පොතක තිබුනට, පරම්පරාවෙන් ආවට පිලිගන්න එපා. පුලුවන්තරම් ප්‍රශ්න කරන්න. විචාරන්න.


Wednesday, June 3, 2020

සෙලවෙන අංශු


අද ලියන්නේ මොනවද කියලා හිතමින් ඉන්නකොට විශේෂ මාතෘකාවක් මතකෙට ආවේ නැහැ. බාගෙට ලියලා නතර කරපුවා, මිතුරන් ලියන්නෙයි කියලා කිව්ව දේවල් තිබුනත් ඒවා ලියන්න මූඩ් එකක් මේ වෙලාවේ නැහැ. මම මේ කියන දේ ලියන අය දන්නවා ඇති. ඒ නිසා මම හිතුවා මගේ මතකෙට එන එදිනෙදා අපි අත්දකින ස්වාභාවික සන්සිද්ධි කිහිපයක් වෙන්නේ කොහොමද කියලා තේරෙන භාසාවෙන් කියන්න.

අපි අවට තියෙන හැමදෙයක්ම හැදිලා තියෙන්නේ ‘පරමාණු’ වලින්. පරමාණු, වචනේ බරපතලයි වගේ ද? එහෙනන් අපි පරමාණු වෙනුවට භාවිතා කරමු ‘කුඩා අංශු’ කියන වචනය. මේක කොච්චර කුඩාද කියනවනම් අපේ ඇහැකට පේන්නේ නැහැ. ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවත් පේන්නේ නැහැ. ඉස්කෝලේ කාලේ දැකලා ඇති පොඩි එව්වා ලොකු කරලා බලන ‘ආලෝක අන්වීක්ෂය’. ඒකෙන් පේන්නෙත් නැහැ. ඒ තරමට පොඩියි.

මේ කුඩා අංශු එහාට මෙහාට පැද්දෙන්න ගන්නවා කියන්නේ එතන පොඩි ‘රස්නයක්’ ඇති වෙනවා කියන එක. වේගයෙන් සෙලවෙන්න ගන්නවා කියන්නේ රස්නය වැඩියි. සෙලවීම අඩු වෙනවා කියන්නේ රස්නය අඩු වෙනවා. පන්තියක ළමයෙක් විකාර වැඩක් කරනකොට අල්ලපු ළමයටත් ඒක බලාන ඉන්න බැහැනේ. එයත් ඒකට එකතු වෙනවා. ඔය වගේ තමයි අර අංශු සෙලවෙනකොට එයා තව කිට්ටු අංශුවක හැප්පෙනවා. එතකොට ඒ අංශුවත් ඕං දැන් සෙලවෙන්න ගන්නවා. ඔහොම ඔහොම සෙලවෙන අංශු ගාන වැඩිවෙනවා. මේකට තමා රස්නය පැතිරෙනවා කියන්නේ.

අංශු සෙලවෙනකොට රත් වෙනවා වගේම රත් වෙනකොට අංශු සෙලවෙනවා කියලත් කෙනෙක්ට ගන්න පුලුවන්. අපි යකඩයක් අරගෙන එක කෙරවලක් අතින් අල්ලගෙන අනිත් කෙරවල ටිකක් රත් කරමු. ටික වෙලාවකට පස්සේ යකඩයේ අල්ලන් ඉන්න කොටස රත් වෙනවා දැනෙනවා නේද? ඒ අර කිව්ව අංශු ගැස්සි ගැස්සී ඇවිල්ලා ඔයාගෙ අත ගාව යකඩ කොටසේ අංශු ටිකත් සොලවපු නිසා. ඔයාගේ අත ගාව යකඩේ අංශු සෙලවෙන්න ගත්තම යකඩේ බිම දාන්න, නැත්තන් අත පිච්චෙයි.

දැන් ඔයාගේ අතට දෙනවා මිටියක්. ඔයා මේ මිටියෙන් යකඩෙකට තලන්න ඕනේ. එතන දී අපි යකඩෙන් තලනකොට යකඩෙයි මිටියයි අතර වායු කොටසේ අංශු සෙලවෙන්න ගන්නවා. සෙලවෙනකොට මොකද වෙන්නේ? එතන රත් වෙනවා. මිටියකින් යකඩෙකට කිහිප වතාවක් ගහලා එතන ලාවට අල්ලලා බලන්නකෝ. රස්නේ දැනෙනනවනේ.

රස්නේ දෙයක රස්නය අඩු කරනවා ඒ කිව්වේ කූල් කරනවා කියල හිතමු. එතකොට අර සෙලවෙන අංශු වල වේගය අඩු වෙලා සෙලවෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා. මේක තමා ‘ඝන’ අවස්ථාව කියන්නේ. ඒ අයිස්. ඔන්න ආයෙම රත් කරන්න ගත්තම මේ අංශු සෙලවෙන්න ගන්නවා. එතකොට ඒ තියෙන්නේ ‘ද්‍රව’. ඒ ජලය. දැන් ඕකත් ආයෙම රත් කරන්න ගන්නවා. එතකොට අර අංශු කලින්ට වඩා සෑහෙන්න වේගයෙන් යන්නේ. ඒ නිසා එක අංශුවකට තව අංශුවක් අල්ලගන්නවත් බැහැ. පුදුම වේගයක්. මේකට අපි කියනවා ‘වායු’ කියලා. ඒ ජල වාෂ්ප.

ඔය අංශු ගැන කතා කරනකොට මට ෆුට් සයිකලේ මතක් වෙනවා. පොඩි කාලේ කිව්වේ පුස්සයිකලේ කියලා. දැන් ඕකේ රෝදෙක හුලං බැස්සා කියලා හිතමු. අපිත් ඉතින් තුනටියෙන් නැවි නැවී පොම්පෙන් හුලං ගහනවා. එතකොට රෝදය පිම්බෙනවා. පොම්පය උඩ පල්ලෙහා යවනකොට පොම්පය රත් වෙනවා අත්දකින්න පුලුවන්. ඒත් ඇයි එහෙම වෙන්නේ?

අර පොම්පයේ උඩ පල්ලෙහා යන කොටස උඩ තියෙන කොට ඇතුලේ තියෙන වායු අංශු ඇවිල්ලා ඒකේ වදින්න ගන්නවා. වැදිලා ආපහු පල්ලෙහාට විසි වෙනවා. ටිකෙන් ටික පොම්පය පල්ලෙහාට තද කරනකොට අර අංශු ආයෙත් වදිනවා. හැබැයි දැන් ටිකෙන් ටික වේගය වැඩි වෙනවා. මොකද අංශු වලට එහාට මෙහාට යන්න තරම් ඉඩකඩ දැන් අඩුයි. අංශු වල වේගය වැඩි වෙනවා කියන්නේ රස්නය වැඩි වෙනවා. ඒකයි පොම්පය රත් වෙන්නේ. දැන් අපි ආයෙමත් පොම්පය උඩට අදිනවා. එතකොට අර අංශු වල වේගය අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ වායුව සීතල වෙනවා. වායුවක් පැතිරී යනකොට සීතල වෙනවා කියල විද්‍යාවේ දී කියන්නේ ඒ නිසා.

සෙලවෙන අංශු ගැන කතා තව ගොඩක් තියෙනවා. ඒවා පසුවට.