Sunday, December 12, 2021

පරම්පරාව, චෙස් සහ රෝමියෝ ජුලියට්


මගේ නම අවසන් වෙන්නේ ‘ප්‍රනාන්දු’ යන නමෙන්. මට මේ නම ලැබුනේ මගේ පියාගෙන්. තුෂාර ප්‍රනාන්දු තාත්තාගෙ නම. අපේ සීයගේ නම ඇලන් ප්‍රනාන්දු. අපි නම් කිව්වේ පප්පා කියලා මිසක් සීයා කියලා නෙමේ. පප්පාගෙත් තාත්තාගේ නම පීටර් ප්‍රනාන්දු. මගේ අම්මාගේ නම මිහිරි පෙරේරා. අම්මාගේ තාත්තාගේ නම මර්වින් පෙරේරා. ඔයාලා දන්න ගායකයා නම් නෙමේ. සීයගේ සම්පූර්ණ නම මහරගේ ක්ලැරන්ස් මර්වින් පෙරේරා. ගායකයෝ දෙන්නෙක්ගෙම නම් තියෙනවා එතන. සීයගේ තාත්තගේ නම අන්තෝනියෝ පෙරේරා. 

මට මගේ පරම්පරාවේ සුළු හෝ කරුණක් දන්න උපරිමයට ම කියන්න පුලුවන් ඔච්චරයි. 

මම මගේ සහෘද පාඨකයන්ගෙන් අහන්න කැමතියි ඔයාලට ඔයාගේ පරම්පරාවේ සීයලා කී දෙනෙක් නම් කරන්න පුලුවන් ද කියලා. අඩුම තරමේ වලව් පෙළපතකින් පැවත එන කෙනෙක්ට වුනත් තමන්ගේ සීයලා අට දෙනෙක්ව ආපස්සට කියන්න බැහැ මතකයෙන්. අපේ මතකයේ තියෙන්නේ අපේ පරම්පරාවේ සුළු කොටසක් විතරයි. අපෙන් පස්සේ පරම්පරා තුලින් අපිව මතකයෙන් ගිලිහිලා යනවා මහ කාලයක් යන්න කලින්. 

එහෙම බලනකොට අපි මේ රකින්න උත්සහ කරන ‘ජාතිය’ කියන එක ගැනත් ඇත්තට ම අපි මොනව ද දන්නේ? මම ක්‍රිස්තියානි වුනාට මගේ පරම්පරාවේ ආදිතමයන් බෞද්ධ අය වෙන්න ඇති. ඒ බෞද්ධ අයගේ පරම්පරා වල ආදිතමයන් යක්ෂ නාග ගෝත්‍රිකයන් වෙන්න ඇති. ඔවුන්ගෙනුත් ආදිතමයන් හිරු සඳු අදහපු පූර්ව ඓතිහාසික යුගයේ අය වෙන්න ඇති. ඔහොම දිගින් දිගට ම යනකොට අද වෙන් වෙන්ව තියෙන හැම ජාතියක ම ආගමකම අයට පැවත එන්නේ එක ම කොට්ඨාශයකින් කියලා නිගමනයට එන්න පුලුවනි.

අපි ඉස්කෝලේ යන කාලයේ තිබුනා රෝමියෝ සහ ජුලියට් කියලා ශේක්ස්පියර්ගේ කතාවක්. මේ කතාවේ රෝමියෝ සහ ජුලියට් හිටපු පවුල් දෙක ජන්මාන්තර වෛරක්කාරයෝ. මේ වෛරය කොතරම් පරන ද කියනවා නම් පවුල් දෙක තුල වෛරය පටන් ගන්න හේතුවක් කතාවේ කියන්නේ නැහැ. ඒ ඇයි කියනවා නම් කතාවේ වර්තමානයේ ජීවත් වුනු එක චරිතයක්වත් ඒ වෛරයට හේතුව දැනගෙන හිටපු නැති නිසා.

අපිත් මේ වගේ තමා විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවෙනකොට අපිට පරම්පරාවෙන් දායාද වුනු දේවල් ඉදිරියට අරගෙන යනවා විතරයි ඒවා දායාද වුනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැහැ. පරම්පරා ගැන කියනකොට මට මතකෙට එන්නේ ‘චෙස්’ ක්‍රිඩාව.

චෙස් ක්‍රීඩාව සංස්කෘතීන් කිහිපයක එකතුවකින් සෑදුනු ක්‍රීඩාවක්. ඉන්දියාවේ රජ කෙනෙක්ට අවශ්‍ය වුනා වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් නිර්මාණය කරන්න. මොකද ඒ කාලයේ තිබුනු හැම ක්‍රීඩාවක් ම පාහේ කාසියක් දාදු කැටයක් උඩ දමා වාසනාව උරගා බැලුවා. ඒ අනුවයි චෙස් ක්‍රීඩාව උපත ලබන්නේ ඉන්දියාවේ. මේ ක්‍රීඩාවේ ඇත් අස් රිය පාබල කොටස් හතර ම තිබුනු නිසා ෂත්රන්ජ් නොහොත් චතුරංගනී කියලයි කිව්වේ. සිරසට හා තිරසට කොටු අට බැගින් තිබුනු ලෑල්ලකයි ක්‍රීඩාව කලේ. 

මේ ක්‍රීඩාවට පර්සියාවෙනුත් කොටස් එකතු වුනා. පර්සියාවේ රජතුමාට පොදුවේ කිව්වේ ‘ෂාහ්’ කියලා. ඒ රජතුමා මැරුණම කිව්වේ ‘ෂාහ් මාත්’ කියලයි. චෙස් ක්‍රීඩාවේ ‘චෙක් මේට්’ වදන හැදුනේ ‘ෂහ් මාත්’ වදනින්. චෙස් ක්‍රීඩාව කාලයත් එක්ක විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වුනා. 

වාසනාව උරගා නොබලන ක්‍රීඩාවක් තමන්ගේ යටත් වැසියෙක්ට හදන්න පුලුවන්කම ලැබුන නිසා ඉන්දියාවේ රජතුමා හිටියේ බොහොම සතුටින්.

“මට හරිම සතුටු යි ඔබගේ මේ නිර්මාණය ගැන. ඔබ කැමති ත්‍යාගයක් ඉල්ලන්න, මම ඔබට ඒ දේ ලබා දෙන්නම්” රජතුමා කිව්වා.

“රජතුමනි මම හරි ම සරල පුද්ගලයෙක්, ඒ නිසා ඔබතුමා මේ ක්‍රීඩාවේ දී එක් කොටුවකට ඉත්තෙක් දැම්මොත් මට හාල් ඇටයක් දෙන්න. ඊලඟ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට දෙකක් දෙන්න. ඊටත් පස්සේ කොටුවට ඉත්තෙක් දැම්මම හාල් ඇට හතරක් දෙන්න.” යටත් වැසියා කිව්වා.

රජතුමා හිතුවා මේක හරිම සරල සුළු දෙයක්නේ කියලා. රජතුමා ක්‍රීඩාව කරන්න කලින් ගාල් මළුවක් අරගෙන එන්න කියලා රාජ පුරුෂයින්ට කිව්වා. ඒත් එක්ක ම රජතුමාගේ පුරෝහිත කෙනෙක් ගණන් හදලා බැලුවා ඇත්තට ම රජතුමා මේ යටත් වැසියාට කොතරම් හාල් ඇට ප්‍රමාණයක් දෙන්න ඉන්නවද කියලා.

පළමු කොටුවට එක හාල් ඇටයයි. දෙවන කොටුවට දෙකයි. තුන්වන කොටුවට හතරයි. හතරවන කොටුවට අටයි. පස්වන කොටුවට දහසයයි. හයවන කොටුවට තිස් දෙකයි. හත්වන කොටුවට හැට හතරයි. අටවන කොටුවට එකසිය විසි අටයි. අටවන කොටුවට දෙසිය පනස් හයයි. නමවන කොටුවට පන්සිය දොළහයි. දහවන කොටුවට එක්දාස් විසි හතරයි.

දහවන කොටුවෙ දි විතරක් සහල් ඇට දාහක් ලැබෙනවා මේ යටත් වැසියාට. ඒ විතරක් නෙමේ දහවන කොටුවට කලින් තිබුනු කොටුවල දි ලැබුනු සහල් ඇටත් මේ යටත් වැසියා ලඟ තියෙනවා.

“රජතුමනි, මේ යටත් වැසියා මොහොතකට කලින් ඔබතුමාගෙන් ඉල්ලුව සහල් ප්‍රමාණය පෘතුවියේ මෙතෙක් පැවති සහල් ප්‍රමාණයටත් වඩා වැඩියි” පුරෝහිත රජතුමාට කිව්වා.

අවසානයේ දී රජතුමා යටත් වැසියාගේ හිස ගසා මරා දැමුවා. බොහෝ කතා අවසන් වෙන්නේ එහෙමයි.

චෙස් ක්‍රීඩාවේ කොටු කිහිපයක් ඉදිරියට යනකොට මුළු ලෝකය ම මෙතෙක් පරිභෝජනය කල සහල් ප්‍රමාණය ලැබෙනවා වගේ තමා අපේ පරම්පරා ත්. අපි පරම්පරා කිහිපයක් ආපස්සට ගියාම අපි හැමෝම එකම තැනක දී එකතු වෙනවා.

අපි මේ සරල දේ දේරුම් ගත්තේ නැත්නම් අපිට වෙන්නේ පවුල් දෙකක හේතුවක් නොදන්නා වෛරයක් නිසා රෝමියෝ ජුලියට් මැරුණා වගේ ම මැරෙන්න.



12 comments:

  1. මිනිහත් තිරිසනෙකි මොළයක් ඇතිව උපන්
    දියුණු වුණත් ඇත තිරිසන් ගතිය යටින්
    පැතිරුනෙ ලොව පුරා වැදෙමිනි නේක සටන්
    අපට ලොකුයි පුරුද්ද ජන්මෙට වැඩියෙන්

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සුන්ගේ ගති දැක්කම තිරිසන් සත්තුන්ගේ ගති හොඳයි කියලත් හිතෙනවා නිදි..

      Delete
  2. Mage bam danne na .eth rajapaksha nam kelinma enne prince vijayagena....ara indiyawen ellewa kiyala kiyanne horakam karala

    ReplyDelete
  3. රෝමියෝ ජුලියට් කිව්වම මතක් වුණේ ශේක්ෂ්පියර්ගෙ එක නං නෙවී. අපි පොඩි දවස් වල ජාතික රූපවාහිනී නාලිකාවේ ගියා ටෙලියක්. ඒක. ඒකෙ නමත් රෝමියෝ ජුලියට්. ඒකෙ හිටියෙ බෝම හුහුරුබුහුටි කෙලිත්තක්. මතක විදිහට භාතිය සංතුෂ්ලගෙ මල් පැන් පොදක් විෂුවල් එකේ ඉන්නෙ ඒ දැරිවි.

    චෙස් කිව්වම දැං නං ක්වින්ස් ගැම්බිට් තමා 😃😃😃

    සටහනෙන් දෙන පණිවුඩය අපූරුයි

    ReplyDelete
  4. අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට බුදුබව පාර්ථනා කරමු. උන්වහන්සේ ,මතු බුදු වන බෝධිසත්වයන් කෙනෙක්. මයිත්‍රී බුදුවරයෙක්.

    එවැනි උත්තමයෙක්ගේ නායකත්වය ය‍ටතේ ගමන් කරන ක්‍රිස්තියානි මිතිල ප්‍රනාන්දුලත් වාසනාවන්තයන්.


    අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට බුදු බව අත්වේවා!!

    ReplyDelete
  5. සිල්වා, මෙන්ඩිස්, ඩයස්, රුබේරු සහ තව හුඟක් වාසගම් පෘතුගීසි වාසගම් ( Silva, Mendez, Diaz, Ribeiro) වලින් ආවට ප්‍රනාන්දු හා රුද්‍රිගු වැඩිපුර යෙදෙන්නේ පෘතුගීසි මුල් නම් වශයෙන්(Fernando, Rodrigo) කියල මිතිලට නෝටිස් වුනාද? මාත් හොයා ගත්තෙ ලඟදි

    ReplyDelete