Tuesday, March 1, 2022

සතියට දවස් හතක් ආවේ කොහොම ද?


කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා. අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය. නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි? ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.

අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි. 

හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.

මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා. 

ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.

ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !

ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ. 

යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.

ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ. 

මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්‍රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !

අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ. 



පැරිස්ගේ තේරීම

පහත තියෙනවා විශේෂ ඡායාරූප තුනක්. එකක් මම අරගත්තේ ලන්ඩන් වල බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ දී. අනෙක් දෙක ලන්ඩන් වලම National Gallery එකේ දී. මේ ඡායාරූප වල තියෙන දේවල් එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධය එන්නේ මම කැමතිම මාතෘකාවක් වන ග්‍රීක මිත්‍යා කතා තුලින්. 

මේ කතාව පටන් ගන්නේ තීටිස් සහ පේලියස් නම් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන්. මේ විවාහ උත්සවයට ඒරීස් හැර ඔලිම්පස්හි හැම දෙවි දේවතාවුන් කෙනෙක්ටම ආරාධානා කරලා තිබුනා. ඒරීස් කියන්නේ 'අසමගිය' ඇතිකරන දේවතාවිය. විවාහ උත්සවයකට ඒ වගේ කෙනෙක් සම්බන්ධ වෙන එක හොඳ නැති නිසයි එයාට ආරාධනා නොකළේ.

හැමෝටම ආරාධනා කරපු විවාහ උත්සවයට තමන්ට ආරාධනා නොකරපු එක ගැන ඒරීස් තරහෙන් හිටියේ. මේ නිසා ඒරීස් මේ විවාහ උත්සවයට පැමිණියේ නැතත් උත්සව ශාලාවේ මේසයක් මත රත්තරන් ඇපල් ගෙඩියක් තියෙන්න සලස්වනවා. ඒ රත්තරන් ඇපල් ගෙඩියේ ලියලා තිබුනා 'ලෝකයේ පියකරු ම කාන්තාවට' කියලා.

මේ උත්සවයේ හිටපු කාන්තාවන් තුන් දෙනෙක්ට මේ ඇපල් ගෙඩිය ලබාගන්න ආශාවක් ඇති වුනා. එක් කෙනෙක් සියුස්ගේ බිරිඳ හේරා. අනෙක් කෙනා යුද්ධයට අධිපති දෙවඟන ඇතීනා. අවසාන වශයෙන් අලංකාරයට සහ ආදරයට අධිපති දෙවඟ වූ ඇෆ්‍රොඩයිට් හිටියා. මේ තුන් දෙනා අතරින් වඩාත් ම පියකරු කව් ද කියලා තෝරගන්න අපහසු නිසා එයාලා ගියා සියුස් ගාවට. 

දැන් සියුස් ඉන්නේ ලොකු ප්‍රශ්නයක. තමන්ගේ බිරිඳ සහ දුවලා අතරින් කෙනෙක්ව තෝරාගන්න අවශ්‍යයි. සියුස් කියන්නේ දෙවියන්ගේ දෙවි වුනාට මේ ප්‍රශ්නයේ දී සියුස්ට තීරණයක් දෙන්න නොහැකි වුනා. මේ නිසා තුන් දෙනා අතරින් වඩාත් පියකරු කව් ද කියලා තෝරන්න සියුස් පත් කරනවා සාමාන්‍ය මිනිසෙක්ව.

ඒ පුද්ගලයාගේ නම තමා 'පැරිස්' කියන්නේ. 

ක්‍රි.ව. දෙවන සියවසට අයත් පැරිස්ගේ පිළිරුවක්. 


හේරා පැරිස් ගාවට ගිහිල්ලා කියනවා "මම තමා සියුස්ගේ බිරිඳ හේරා. වඩාත් ප්‍රියමනාප කාන්තාව විදිහට මාව තෝරගත්තොත් මම ඔයාව ලෝකයේ ධනවත් ම රජතුමා බවට පත් කරන්නම්. ඔලිම්පස් වගේ අනර්ඝ මාළිගාවක් හදලා දෙන්නම්." කියලා.

ඒත් එක්කම ඇතීනා පැරිස් වෙතට ඇවිත්;

"මම තමා යුද්ධයට හා දැනුමට අධිපති දෙවඟන ඇතීනා. මෙතෙක් සිටි අනර්ඝතම සෙන්පතියා බවට මම ඔබව පත් කරන්නම්. මිනිසුන් දහස් ගණනක් මෙහෙයවා අධිරාජ්‍යයන් ඔබ යටතට ගන්න ඔබට හැකියාවක් ලබා දෙන්නම්" කියලා කිව්වා.

අවසාන වශයෙන් ඇෆ්‍රොඩයිට් පැරිස් වෙතට ආවා.

"මම ආදරයට හා අලංකාරයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිට්. මම ඔයාට මං වගේ ම පියකරු කාන්තාවක් ව විවාහ කරලා දෙන්නම්." 

වරයන් තුනක් තමා ඉදිරියෙන් තියෙද්දී පැරිස් තෝරගන්නේ ඇෆ්‍රොඩයිට් ව. නමුත් ඇෆ්‍රොඩයිට් මෙතන දී නොකීව දෙයක් තියෙනවා. ඒ තමා පැරිස් හට ලබා දෙන්නට පොරොන්දු වූ කාන්තාව මේ වෙනකොටත් විවාහ වෙලයි හිටියේ. ඒ ස්පාර්ටා වල මෙනලේයස් රජතුමා සමඟ. 

මේ කාන්තාවගේ නම තමා ට්‍රෝයි හි හෙලන්.

මෙනලේයස් රජතුමාගේ බිරිඳ වන හෙලන්ව පැරිස් පසුකාලීනව පැහැරගෙන යාම නිසා තමා ග්‍රීක සාහිත්‍යයේ ප්‍රකට ට්‍රොජන් යුද්ධය ඇති වුනේ.



පැරිස් විසින් ඇෆ්‍රොඩයිට් ,ඇතීනා සහ හේරා අතරින් අයෙක්ව තෝරාගන්නා අවස්ථාව. Peter Paul Rubens (1597)

පැරිස් විසින් ඇෆ්‍රොඩයිට්ව තෝරාගත් අවස්ථාව.