Monday, September 19, 2016

හස්ති වලප - 1 කොටස


මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය පිළිබඳ සුප්‍රකට මෙන්ම අප්‍රකට තොරතුරු රැසක් ඔබ හමුවේ තැබීමටයි. වලප යන්නෙහි තේරුම හැඬීම යන්නයි. කාලයාගේ ඇවෑමෙන් හස්තීන්ට සිදුවී ඇත්තේ සිනාසීමට නොව හැඩීමටය. 

වර්තමානය වන විට සත්ව විද්‍යාඥයන් විසින් ලෝකයේ සිටින අලි ඇතුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරයි. ඒ Elephas Maximus සහ Loxodonta Africanna යනුවෙනි. මේ අතරින් ආසියානු කලාපයේ අලි ඇතුන් Elephas Maximus යනුවෙන් හැදින්වේ.
Elephas Maximus

Loxodonta Africanna

  අතීතයේදී ලංකාවේ අලි ඇතුන් මීට වඩා ඉතාමත් සූක්ෂමව වර්ග 10කට බෙදා වෙන්කර ඇත. මෙසේ වෙන්කර ඇත්තේ ඔවුන්ගේ හැඩහුරුකම් අනුවය.  එම වර්ග 10 නම් :
  • කාලාවක
  • ගන්ගෙයි
  • තම්බ
  • පයාඩර
  • පිංගල
  • හේමන්ත
  • උපොශථ
  • සද්දන්ත
  • ගන්ධ
  • මංගල
 ( පසු ලිපියකින් මේ එක් එක් වර්ගය පිලිබඳ සාකච්චා කෙරේ )

  අලි ඇල්ලීම

 අතීතයේ සිංහලයන් විසින් අලි ඇතුන් අල්ලා ගත් ක්‍රම තුනක් විය. ඒවා නම;

  1. මදු ගසා අලි ඇල්ලීම ( Noosing )
  2. මත් වීමට බෙහෙත් අලියාට ලබා දී අල්ලාගැනීම
  3. විශාල කොටුවක් තුලට අලින් දමා හීලෑ අලි ඇතුන් ලවා එම අලින්ට පහර දී මෙල්ල කිරීම ( Elephant Kraal )
    මීට පෙර අවධි වලදී එනම් රාවණාගේ කාලයේදී අලි ඇතුන් අල්ලාගෙන ඇත්තේ වස් දණ්ඩ වාදනය කිරීමෙනි. අලි ඇල්ලීමේ කාර්යභාරය බාරව සිට ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන් ය. මේ කාලයේ 'විල් අලියා'  ලංකාවට ආවේණිකව සිට ඇති විශේෂයක් වන අතර පසු කාලයේ ( ඉන්දියාව සහ ලංකාව ඉතා සමීපව පිහිටි කාලයේ ) මෙම විල් අලියා ඉන්දියාවට සංක්‍රමණය වී ඇත. මෙම විල් අලියා එකල ගෘහාශ්‍රිතව ජීවත්ව ඇත. එම අලින්ව එකල සී සෑමට යොදාගෙන ඇත. පසු කලෙක මෙම විල් අලියා ලංකාවෙන් වඳවී ගොස් ඇත.

 මදු ගසා අලි ඇතුන් අල්ලාගැනීම සදහා  ඉන්දියාවෙන් ලංකාවට ගොන්ඩ් වංශිකයන් සංක්‍රමණය වී ඇත.

    මත්ද්‍රව්‍ය දී අලි ඇතුන් අල්ලා ගැනීම ඉතාමත් ලාභදායි ක්‍රියාවකි. මෙහිදී සිදු කරන්නේ අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගයක කංසා මිශ්‍ර පානයක් සකසා තබයි. ඉන්පසු අලියා විනාඩි 15ක් තුල සිහි නැතිව ඇද වැටේ. එවිට එම අලියාත් සමඟ සිටි අනෙක් අලින් එම අලියාව දමා යයි. එවිට මිනිසුන් සිහි නැතිවූ අලියාගේ පාද වල විලංගු දමා ගහක බඳියි. ඉන්පසු අලියාට යලි සිහිය ලබා ගැනීමට බෙහෙත් පොට්ටනියක් හොඩ්වැලේ බඳියි. පැයක් පමණ ගතවූ විට අලියාට සිහිය නොලැබුනොත් අලියාගේ මෙලොව ජීවිතයේ නිමාවයි ඒ. මෙම ක්‍රමය තුලින් අහිංසක අලි ඇතුන්ට ඉතාමත් හානිදායක බැවින් මෙම ක්‍රමය වර්තමානය වන විට සීමා වී ඇත.

 ඇත් ගාල

ඇත් ගාල් මඟින් අලි ඇතුන් මෙල්ල කිරීම අතීතයේදී ඉතා ප්‍රචලිතව පැවතුනි. ඇත් ගල් ක්‍රමය ලංකාවට හදුන්වා දී ඇත්තේ ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වු ගොන්ඩ් වංශිකයන් විසිනි. ඇත් ගාලක් සදහා අක්කර 85ත් 100ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ ඇත්ගාල සදහා යොදාගන්නේ දිය කඩිති ආදී අලි ඇතුන් නිතර ගැවසෙන ස්ථානය. ඇත්ගාල සදහා යොදාගන්නා ස්ථානයේ එකදු ගහක්වත් කපන්නේ නැත. මන්ද ගස් කපා එම ස්ථානය අලි ඇතුන්ට නුහුරු වුවහොත් ඇත්ගාල අසාර්ථක වේ.

  හල්මිල්ල, බුරුත, කොස් වැනි ලී වලින් ඇත්ගාලෙ වැට සාදයි. වැට අඩි 15ක් පමණ උසට සාදන අතර අඩි 4ක් පමණ පොලොව යටට පොලු බස්සවයි. මෙම වැට සාදන්නේ සෙලවෙන ආකාරයටය. මන්ද අලියෙක් ඇවිත් වැටේ ගැටුන විට වැට සෙලවෙයි, එවිට අලියා එයට බියවී පසුබසියි.
පනාමුරේ ඇත්ගාලෙ වැට


   මයුර සංදේශයේ හා කෝකිල සංදේශයේ ඇත්ගාල් ගැන කියැවේ.

මිල දියකැන් වටිනා රවි කුලේ        දුලේ
කුල දිගැතුන් උසුලන මී තලේ        බලේ
ගල මදකුන් ලොබිනෙන මී ලොලේ අලේ
බල මදකුන් මාතොට ඇත්හලේ     නිලේ
( මයුර සංදේශය )

සිදු බොන අටින් මේකුළු රැස්වුසෙ        වටින්
බැඳි කඹ පටින් සිටිනා ගලන මද         කටින්
නුඹ රත දිටින් දැක නොබමින් තසිත    අටින්
යා කර තුටින් පුවතර පවර මා             තොටින්
( කෝකිල සංදේශය )


  ලංකාවේ අවසාන ඇත්ගාල සාදා ඇත්තේ 1950දී එවකට කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා අතිනි. ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේ ඇත්ගාලක් සාදනවානම් රජයේ අවසර ගත යුතු වුවත් මඩුවන්වෙල දිසාවෙට එසේ අවසර ගතයුතු වූයේ නැත. මන්ද ඔහුට රටේ විශාල නින්දගම් ප්‍රමණයි හිමි වූ නිසාය. ඇත්ගාලක් තුල අලි ඇතුන් හීලෑ කරගන්නේ හීලෑ අලි ඇතුන් මගින් එම අලින්ට පහර දීමෙනි. මෙහිදී අලින් මියගිස් ඇති අවස්ථා එමටය.

 අතීතයේදී ඇත්ගාලක් තුල අලි ඇතුන් මෙල්ල කරන අවස්ථාව උත්සවශ්‍රීයක් ගනියි. සුද්දන්ට මෙම ක්‍රියාදාමය නැරඹීම සදහා විශේෂ මඩු සකස් කරයි. එමෙන්ම සුද්දන්ගේ කම් සැප සදහා ගණිකාවන්ද මෙම කාලයට මේ පෙදෙස්වලට පැමිනේ. ව්‍යාපාරිකයන්ට අතමිට සරුවන කාලයකි. එහෙත් අලි ඇතුන්?
පනාමුරේ ඇත් රජු


  ඇත්ගාල් ගැන කතා කිරීමේදී පනාමුරේ ඇත්ගාල විශේෂ වේ. ඒ පනාමුරේ ඇත් රාජා නිසාය. තම වර්ගයා වෙනුවෙන් ජීවිතය අවසන් වන තෙක් සටන් කල පනාමුරේ ඇත් රජු සිටි පනාමුරේ ඇත්ගාල ප්‍රථම වරට නිර්මාණය කලේ මඩුවන්වෙල දිසාවේ ය. 50 දශකයේදී මේ ඇත්රජුගේ මරණය පිලිබද පුවත්පත්වල කවි ගී සිංදු පලවිය. මේ හේතුවෙන් ලංකාවෙ අවසන් ඇත් ගාලත් අවසන් විය.
වෙඩි වැදී මියගිය පනාමුරේ ඇත් රජු

අතීතයේ පැවති ඇත්ගාල් කිහිපයක්


  • 1870 පිහිටවූ ලබුගම ඇත්ගාල

  • ලේ පොළොව ඇත්ගාල ( වයඹ පළාත ) . මෙහි අලි ඇතුන් කෝප වී ඇත්ගොව්වන් හා මිනිසුන් විශාල ප්‍රමාණයක් මරා ඇත.

  • පෘතුගීසි හා ලන්දේසි යුගවල මාතර පොල්වත්තේ ඇත්ගාලක් තිබී ඇත

  • කටුවන හා වලස්මුල්ලේ ඇත්ගාල් දෙකක් තිබී ඇත.

  • එබවලපිටියේ ඇත්ගාල ( ව්‍යඹ පළාත 1884)

  • 1901 පලුගොල්ලේ ඇත්ගාල

  • 1920 අඹන්පොළ  පීල්ලවත්තේ ඇත්ගාල


ඊළඟ කොටහින්   අලි ඇතුන්ගේ චර්යාව හා රජ කාලයේ අලි ඇතුන්ගේ තොරතුරු ඇතුලු තවත් තොරතුරු සමඟ හමුවෙමු..... ඔබලාගේ අදහස් යෝජනා චෝදනා බලාපොරොත්තු වෙමි..


ලිපි පෙළ සඳහා මූලාශ්‍ර :

අලි ඇතුන්ගේ ඉතිහාසය ( ග්‍රන්ථය ) - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

නඩේ ගුරා සංසදයේ ලිපි

ලංකාදීප, සිළුමිණ , ලක්බිම, විජය, මව්බිම පුවත්පත්වල පලවූ ලිපි

අරුන රණවක, රොෂාන් බෝපිටිය, ශෂිකලන රත්වත්ත යන මහත්වරුන්ගෙන් ලත් තොරතුරු

කෝකිල සංදේශය, මයුර සංදේශය

පින්නවල අලි අනාථාගාරයෙන් ලත් තොරතුරු

වනජීවී දෙපාර්තුමේන්තුව

24 comments:

  1. නියමයි

    ReplyDelete
  2. බොහොම වටිනා ලිපි පෙළකට අත තබා තියෙන්නේ දිගටම ලියන්න මිථිල

    ReplyDelete
  3. ඉතා අගනා ලිපියක් . ලිපියට යොදාගත් මූලාශ්‍ර ගැනත් ලිව්ව එක හොදයි. ඩොයිලි දුටු උඩරට රාජ්‍ය පොතේ අලි අල්ලන හැටි තියෙනවා. ඉදිරි ලිපිවලට අවශ්‍ය වෙයි. පොඩ්ඩක් බලන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .... කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ඒක මම අරගත්තා... කියවන්න ඕනෙ...

      Delete
    2. Habai eake godak liyawechcha nathi than thiyanawa.....ali athun alleema ha e ha Sambanda nila sathraya gana LANKAWE HASTHI PARAPURA kyna pothe thyanwa ....eake thiyana thorathuru oyta godak upakara Wei mekata thawa dewal dnna....math Ali athun gana gdk wisthara hoyanwa ....e wagema mn asai me lipiyatama Ali athunge waidya sathraya kyana lipiyakuth ekathu karanawata...lipiya hodai.....mulin thiyana ali KUla piliwalata tynna ona...eka wadagth Kyla MN hithanawa ....oyage lipiya hodai thawath improve karagnna ..... Gdk sthuuthi me wage lipiyak Dnmata ....

      Delete
  4. බොහොම වැදගත් ලිපි මාලාවක ආරම්භයක්. ස්තූතියො මේ පිළිබදව ආරම්භයක් ගත්තාට. ( සතර අත දැනුම කියන ලිපි මාලාව නැද්ද? මගේ ලිස්ට් එකේ මොකක් හරි අවුලක්. හදාගන්න බලන්නම්.)
    දිගටම මේ පිළිබදව ලියන්න සහෝ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද සහෝ... සතර අත එකේ නමයි URL එකයි වෙනස් කරන්න උනා... ඒකයි... මේ පරණ බ්ලොග් එකම තමා... බොහොම ස්තූතියි දිගටම බ්ලොග් එකත් එක්ක රැදී සිටිනවාට... ජය වේවා...

      Delete
    2. අර ආගම් ගැන ලිපි මාලාවෙ තව තියෙනවා...

      Delete
    3. ස්තූතියි, ස්තූතියි.

      ජයවේවා!!!

      Delete
  5. බොහොම වටිනවා පුතණ්ඩි

    ReplyDelete
  6. බොහොම අගෙයි.ඔය පනාමුරේ ඇත් රජා කිව්වාට ඒ ඇතෙක් නෙමේ අලියෙක් ලු නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇතෙක් කියලා පටබැදුනේ නිර්භීත කමට... ඇතෙක් කිව්වට ලොකු අලියෙක්...

      Delete
  7. අලංකාරවත් ලෙස තොරතුරු පෙළගස්වා තිබෙනවා. කදිමයි.

    ReplyDelete