කුරුස යුද්ධ හේතුකොටගෙන මධ්‍යදරණී මුහුද හා රතු මුහුද ඔස්සේ යුරෝපා ජාතීන් පෙරදිගට ඒමට තිබූ මුහුදු මාර්ගය ඇහිරී ගිය නිසාවෙන් ඔවුන් පෙරදිගට ඒමට වෙනත් මාර්ග සොයාගැනීමට උනන්දු වූහ. කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කින් විසින් අල්ලා ගැනීම යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීමට වෙනත් මාර්ග සෙවූ ප්‍රධානතම කාරණය විය. මේ අනුව 1498 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට සම්ප්‍රාප්ත විය. වස්කෝ ද ගාමාගේ මෙම ගමනෙන් ලද භාණ්ඩ වලින් විශාල ලාභයක් ඔවුන් ලැබූ හෙයින් පෘතුගීසීහු පෙරදිග වෙළදාම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ.
කුරුඳු තලන්නන් |
මෙකල ඉන්දියාවේ මුහුදු වෙළදාමේ ප්‍රධාන වශයෙන් නිරත වී සිටියේ මුස්ලිම්වරුන්ය. ඔවුන්ගෙන් මෙම වෙළදාම පැහැරගැනීමට 1505 වසරේ මාර්තු මාසයේදී විශාල නාවුක හමුදාවක් සමඟ ෆැන්සිස්කු ද අල්මේදා පෙරදිග පතිරාජයා ලෙස පත්කොට එවීය. මුහුදු වෙළද මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක පිහිටි ලංකාව ඔවුන් දැන සිටියේ "සිංහලයන්ගේ රට" යන අරුත ඇති සෙයිලන් නමිනි. ලංකාව එකල කුරුදු වලට ප්‍රසිද්ධියක් ඉසිලීය. වාණිජමය අතින් වැදගත් වූ මෙම දිවයින යටත් කරගන්නා ලෙස පෘතුගාලයේ අධිරාජ්‍යයා ෆ්‍රැන්සිස්කු ද අල්මේදාට පැවසුවද ඔහුට එම කාර්යය මඟහැරුණි. මේ අතරවාරයේ මුරුසි දිවයින අසලින් මුස්ලිම් වෙළඳ නැව් කිහිපයක් හඹාගිය ෆ්‍රැන්සිස්කු ද අල්මේදා ගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදා කුණාටුවකට අසුවී ගාලු වරායට සේන්දු විය.
පෘතුගීසීන්ගේ මෙම ලංකා ගමන පෘතුගීසි ලේඛනයන්ගේ දක්වා ඇත්තේ අතිශෝක්තියද සහිතවය. ලොරෙන්සෝ ද අල්මේදා රටේ රජතුමාව මුණ ගැසීමට කැමැත්තක් දැක්වූ අතර පෘතුගීසි භාෂාව දත් මුස්ලිම් වෙළෙදුන් පිරිසක් මොවුනට සහය වීමට ඉදිරිපත් වී ඇත. රජතුමා මුණගැසීමට ගිය පෘතුගීසි කඹ්ඩායමේ මූලිකයා වූයේ පයෝ ද සූසා නැමැත්තෙකි. මෙම මුස්ලිම් වෙළෙදුන් දීර්ඝ මාර්ගයක් ඔස්සේ මොවුන්ව රට තුලට ගෙන ගිස් විශාල මන්දිරයක වෙසෙන රජු ලෙස පෙනී සිටින තේජවන්ත පුද්ගලයෙක්ව මුණගස්වා ඇත. තමන් මෙරටට පැමිණියේ කුරුදු වෙළදාමේ නිරත වීමට බවත් මෙරට සමඟ මිත්‍ර සම්බන්ධතා ගොඩනංවා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් පයෝ ද සූසා පැවසීය. මෙහිදී රජතුමා සතුටු වූ අතර කුරුදු වෙළදාමට අවසර ලබා දී කුරුදු තොගයක් ද ලබා දෙන ලදි. රජතුමා ලෙස පෙනී සිටි තැනැත්තා ගාලු වරායේ අධිපති විය හැකි බවත් ඔහු එතරම් කතා කිරීමට ප්‍රියතාවයක් නොදැක්වූ බවත් මුස්ලිම් වෙළෙදුන් තමන්ව මුලාවට ලක් කරන්නට ඇති බවත් පයෝ ද සූසා , ලොරෙන්සෝ ද අල්මේදාට පවසන ලදි. මෙම ගමන සිහිවීමට පෘතුගීසි ලාංඡනය සහිත ස්ථම්භයක් පිහිටුවා කුරුදු යම් ප්‍රමාණයක් මිලට ගෙන ලොරෙන්සෝ ද අල්මේදා ලංකාවෙන් පිටත් විය. මෙය ඇසූ ෆ්‍රැන්සිස්කු ද අල්මේදා බොහෝ සතුටට පත්වූ බව සදහන්.
රතු පාටින් රවුම් කර ඇත්තේ වර්තමානය වන විට මෙම ස්මාරකය වරායේ තිබෙන ස්ථානයයි |
ෆ්‍රැන්සිස්කු ද අල්මේදා මෙම සිද්ධිය කෙටියෙන් ලිපියකින් ලියා තම බෑනා වූ දියෝගු ද අල්මේදා අතේ පෘතුගාලයේ පතිරාජයා වෙත යැව්වේය.
පෘතුගීසි ලේඛන තුල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිඹදව විස්තර පදනම් වී ඇත්තේ දියෝගු ද අල්මේදා විසින් වාචිකව පෘතුගාලයේ පතිරාජයාට පැවසූ තොරතුරු අනුවය. ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගෙන් පෙරදිග පතිරාජ පදවිය ඉවත් කර වෙනත් අයෙකු ඒ වෙනුවට පත් කිරීමට පෘතුගාල පතිරාජයා සිතා සිටියේය. එනමුත් සෙයිලාන් පිලිබද මෙම සිද්ධිය නිසාවෙන් ෆ්‍රැන්සිස්කු ද අල්මේදාගේ තනතුර රැකුණේය. තම තනතුර රැක ගැනීම උදෙසා සහ පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීම උදෙසා අතිශෝක්ති සහිත විස්තරයක් පෘතුගාල පතිරාජයාට පවසන ලෙස ෆ්‍රැන්සිස්කු තම බෑනට උපදෙස් දුන් බවට සැක නැත.
මේ අනුව බලන කල ලොරෙන්සෝ ද අල්මේදාගේ ප්‍රථම ලංකා ගමන පිලිබඳ දැක්වෙන තොරතුරු අතිශෝක්ති වශයෙන් පිලිගැනීමට සිදුවේ. ලොරෙන්සෝ කොළඹ වරායට ගොඩ බෑම, පෘතුගීසීන්ගේ හැසිරීමෙන්ද කාලතුවක්කු හඬට ද බියට පත් කොලොම්තොට වැසියන් මේ පිලිබද රජතුමාට සැල කිරීම, රජතුමා චරපුර්ෂයෙකුලවා පෘතුගීසීන්ගේ ශක්තිය පිලිඹද සොයා ගැලීම, කෝට්ටේට ගිය පෘතුගීස් ගමන, ලංකාවේරජු බියට පත්ව වාර්ෂිකව පෘතුගාල රජුට කුරුදු බහාර් 400 ක් දෙන බවට පෘතුගීසින් සමඟ ගිවිසුමකට එළඹීම යනාදී කරුණුබෙහෙවින් අසත්‍ය කරුණු ලෙස සලකන්නට සිදුවේ. මේ කතන්දර ෆ්‍රැන්සිස්කු විසින් පෘතුගාල පතිරාජයාගේ සිත් දිනා ගැනීමට ගොතන ලද ඒවා ය. කෙසේ වුවත් 1505 ඇතිවූ මෙම සිද්ධියෙන් පෘතුගීසීන් අප රට පිලිබදව ඉතා උනන්දුවක් දැක්වූ බව කිව යුතුය.
මූලාශ්‍ර :
1) ශ්‍රී ලංකාවේ ඉතිහාසය - තුන්වන කොටස ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව )
2) ලංකා ඉතිහාසයෙන් කතා - පරිවර්තනය ලලිත් හීන්ගම
3) ඓතිහාසික යුග හතරක් - සුමනසිරි දසනායක
4) මහාවංශය
මේවටත් උත්තර දෙමු....
1) මේ ඉන්නෙ කව් ද? වැඩි විස්තර එහෙම දන්නවනන් කියන්න.
1) මේ ඉන්නෙ කව් ද? වැඩි විස්තර එහෙම දන්නවනන් කියන්න.