Saturday, July 29, 2017

200 වෙනි බ්ලොග් සටහන

මම බ්ලොග් අඩවිය ආරම්භ කලේ 2015 වර්ෂයේ දෙසැම්බර් මාසයේ. ඒත් නියමාකාරව බ්ලොග් ලියන්න පටන් ගත්තේ 2016 වසරේ අප්‍රේල් මාසයේ ඉදන්. දැන් බ්ලොග් ලිපි ලියන්න පටන් අරගෙන අවුරුද්දකට වඩා වැඩියි.

 මම මුලින්ම ලිපි ලියන්න පටන් ගත්තේ ෆේස්බුක් සමාජ ජාලයේ. ඒ 2014 වසරේ අග බාගයේ ඉදන්. මුල් කාලයේදීම ෆේස්බුක් සමූහයකට සම්බන්ධ වෙලා ලිපි ලියන්න ගත්තා. වසරකට වඩා ඒ සමූහයට මම ලිපි 250කට ආසන්න ප්‍රමාණයක් සම්පාදනය කරලා දුන්නා. බ්ලොග් අඩවිය පටන් ගද්දි ඒවයින් 20ක් පමණයි බ්ලොග් අඩවියට ඇතුලත් කලේ. මට ෆේස්බුක් සමාජ ජාලයේ ලිපි ලියන්න කියලා උනන්දු කලේ කෝකිල ගිහාන් විතානතන්ත්‍රී සහෝදරයා. ෆේස්බුක් එකෙන් දැනඅඳුන ගත්ත යාළුවන්ගෙන් පලවෙනියෙන්ම හැබැහින් දැක්කෙ එයාව. ඒ එයාගෙ රාවණා අඩවිය කෘතිය එලිදක්වපු අවස්ථාවේදී. ගිහාන් අයියට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට ලිපි ලියන්න උනන්දු කෙරුවට.

 බ්ලොග් ලියන්න ගත්තම මට ඔය සම්බන්ධව ඒ හැටි දැනුමක් තිබ්බෙ නෑ. මුල්ම කාලයේදී අපේ අටං සහ ගුණසිංහ මහතාගේ උදව් හන්දා මට බ්ලොග් ලියන්න ගොඩක් පහසු වුනා. පස්සෙ මට බ්ලොග් අවකාශයෙන් යාලුවන් ගොඩ දෙනෙක් අඳුනගන්න ලැබුනා. ඒ ගොඩ දෙනෙක්ව හැබැහින් දැකගන්න පුලුවන් උනා 2016 බ්ලොග් සම්මාන උළෙල දී. ඒකෙදි මටත් ඉතිහාස අංශයෙන් තෙවන ස්ථානයට සම්මානයක් ලැබුනා. ඒ අගය කිරීමට මම බෙහෙවින් කෘතඥ වෙනවා.

 බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලය සහ දැන් ගත්තම ගොඩක් දේවල් කාලය සමඟ වෙනස් උනා. මුල් කාලයෙ වුන වැරදි සහ අතපසුවීම් කාලය සමඟ හදාගත්තා. බ්ලොග් ලිවීමෙන් ඇතිවුන සිත් රිදවීම් ඕනතරම් මට තියෙනවා. මට ලියන එකත් නහුතෙටම එපා වුන අවස්ථාත් නැතුවම නෙමේ. ඒත් මම පස්සෙ හිතාගත්තා ලියන එක නතර කරන එකෙන් මම ජයග්‍රහණය බොරුකාරයන්ට ලබා දෙනවා කියලා. කවුරු මොනවා කිව්වත් දැනටත් මගෙ බ්ලොග් එකට හෙන ගහනකන් බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ අය දිහා අනුකම්පා සහගතව බලනවා හැර මට කරන්න දෙයක් නෑ. මම මගේ ගමන යනවා.

 මගෙ බ්ලොග් අඩවියෙ මුල් කාලෙ නම වාසිතය නෙමේ. සතර අත පැතිර ගිය දැනුම තමා නම. ඒත් මම හිතුවා බ්ලොග් අඩවියට වෙනස්ම විදිහෙ නමක් දාන්න. කවුරුවත් මීට කලින් නොදාපු විදිහෙ එකක්. ඒ අනුව තමා උපාලි කන්නංගර සර් මට මගෙ බ්ලොග් අඩවියට වාසිතය කියලා නම දැම්මෙ. මේ නමේ තේරුම තමා දැනුම.

 වාසිතයෙහි පලවූ ලිපි බොහොමයක් පුවත්පත් සඟරා ආදියෙහි පලවුනා. මව්බිම පුවත්පත, දිවයින පුවත්පත , විජය පුවත්පත සහ සඟරා කිහිපයක පලවුනා.

 මේ බ්ලොග් සටහන තමා වාසිතයෙහි පලවූ 200 වෙනි බ්ලොග් සටහන. මම හිතනවා මම මෙතෙක් කල් ලිව්ව දේවල්වලින් ඔයාලා මොනවම හරි පොඩි දෙයක් හෝ අලුතෙන් ඉගෙනගන්න ඇති කියලා. වාසිතයෙහි ප්‍රධාන පරමාර්ථය දැනුම බෙදාදීම. මෙතුවක් කල් මාත් එක්ක හිටපු පාඨකයන්ට බොහමත්ම ස්තූතියි. ඉදිරියටත් මාත් එක්ක ඉදීවි කියලා විශ්වාස කරනවා. ඔයාලා නොහිටින්නට මම ලත් තැන ලොප් වෙනවා නොඅනුමානයි.

සියලු දෙනාටම ජයවේවා...


Friday, July 28, 2017

උදේ කෑමට එන්න බෑ කියලා බීට්ල්ස්ලා ඉල්ලන් කෑම

ලොව මෙතෙක් බිහිවූ සංගීත කණ්ඩායම් අතුරින් බීට්ල්ස් නාමය ඉහලින් වැජබෙන බව ඔබ සැවොම දන්නා කරුණක්. 1965 අවසානය වන විට ඔවුන් ඔවුන්ගේ Rubber Soul ඇල්බමය එළිදැක්වූ අතර ඒත් සමඟම Revolver පටිගත කළෝය. කණ්ඩායමේ සාමාජිකයන්ගේ අදහසට අනුව මෙම ඇල්බම් දෙකෙහි ගීත ප්‍රසංග වේදිකාවක ගායනා කිරීම තරමක් අපහසු ඒවාය. කෙසේ හෝ ඔවුන් ලෝක සංචාරයක් කිරීමට සිතුවෝය.

 එනමුත් ඔවුන් 1966 වසරේ පිලිපීනයට ගිය විට ඔවුන්ට මුහුණ පාන්නට සිදුවූ ලොකුම ප්‍රශ්නය වේදිකාවේ අපහසු ගීත ගායනය නොවේ.

එහි ජනාධිපති ආර්යාව වූ ඉමෙල්ඩා මාර්කෝස් බීට්ල්ස් සංගීත කණ්ඩායමට උදේ කෑමකට මැනීලා හි පිහිටි ජනාධිපති නිවසට පැමිණෙන ලෙස ආරාධනා කලාය. ඇය සිතුවේ ඔවුන් කිසිදු පැකිලීමකින් තොරව එම ආරාධනාව පිලිගනීවි කියාය. එමනුත් අවාසනාවකට මෙන් සිදුවූයේ ඇය කිසිසේත් නොසිතූ දෙයකි. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ කලමනාකරු පැමිණ කියා සිටියේ ඔවුන්ට එම ආරාධනාව පිලිගැනීමට නොහැකි බවත් එවැනි ආරාධනා කණ්ඩායම ප්‍රතිපත්තියක් ලෙස පිලිනොගන්නා බවත් ය.

 සාදයට 200 දෙනෙක්ට ආරාධනා කර තිබියදී ආරාධිත අමුත්තන් පැමිණෙන්නේ නැත යන්න කන වැකුණු මොහොතේ සිට ඉමෙල්ඩා සිටියේ ඉතාමත් කේන්තියෙනි. වැඩි වේලා යාමට පෙර පිලිපීනයේ රූපවාහිනී නාළිකා හා රේඩියෝ මෙම පුවත සියලු දෙනාටම දැනුම් දුන්නෝය.

බීට්ල්ස් සංගීත කණ්ඩායම මැනිලා හි තමන් නවාතැන් ගත් හෝටලයේ සිට Channel 5 නාලිකාව හරහා මෙම ක්‍රියාව පිලිබඳ සමාව අයැද සිටියත් ඉමෙල්ඩා එසැනින් මෙම නාලිකාවේ විකාශනය නතර කරවන ලදි.

 මේ වන විට සංගීත කණ්ඩායමට අනුයුක්ත කර තිබූ ආරක්ෂකයින් ඔවුන්ව හැරදමා ගොස් තිබූ අතර පිලිපීන වැසියන් මැනිලා හි කණ්ඩායම නැවතී සිටි හෝටලයට පහර දීමට පටන් ගත්තේය. එමනිසා කණ්ඩායමට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යාමට සිදුවූයේ බොහෝ ගැටුම් මැද ය.

කණ්ඩායමේ කලමනාකරුවන් කිහිප දෙනෙක්ට තුවාල වූ අතර ගුවන්තොටුපළේ මිනිසුන්ගෙන් බේරීමට බීට්ල්ස් සංගීත කණ්ඩායමට කන්‍යා සොහොයුරියන් හා පියතුමන්ලා අතර සැඟවී යාමට සිදුවිය.

 මිනිසුන් පමණක් නොව ආරක්ෂකයින්ද මොවුන්ට පහර දීමට උත්සහ ගත් අතර ගුවන්යානයේදී ඔවුන්ට විශේෂ සැලකිලි කිසිවක් නොලැබුනු බව පසුව ජෝන් ලෙනන් පැවසූ අතර ඔවුන් ගුවන්යානයට ගොඩවූ විට අසුන් සිපගත් බවද පැවසීය.

කෙසේ හෝ අවසානයේ උදේ ආහාර වේලක් ප්‍රතික්ෂේප කල නිසා බීට්ල්ස් සංගීත කණ්ඩායම පිලිපීනයෙන් තහනම් වීමට සිදු විය.

කාලෙකින් ප්‍රශ්න අහන්න බැරි උනානේ... හරි එහෙනන් මේවට උත්තර දෙමු...

1)මේ කොහේද?

2)මොනාලිසාගේ ඇහිබැම ගැලවුනේ කොහොම ද?

3)මොනාලිසා චිත්‍රය තමන්ගේ නාන කාමරේ එල්ලගෙන හිටපු රජතුමා කව් ද?


Tuesday, July 25, 2017

Catacombs නොහොත් උමං සොහොන්

  මමී ගැන ලිපි කිහිපයක්ම බ්ලොග් අඩවියේ ලියලා තියෙන නිසා Catacombs ගැනත් ලිව්වොත් හොදයි කියලා හිතුනා. මමී වලට ඒ හැටි සම්බන්ධයක් නැති වුනත් මෙතනත් කතා වෙන්නේ ආදාහන ක්‍රමයක් ගැන.

 Catacombs කියන්නේ පොලොව යට මිනී තැන්පත් කරලා තියෙන උමං ජාලයක් නොහොත් උමං සොහොනක්. මේ ක්‍රමය භාවිතයට ඇවිල්ලා තියෙන්නේ යුදෙව් හා මුල් ක්‍රිස්තියානීන්ගෙන්. මුලින්ම මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ රෝමානු ජනතාවයි.

සාමාන්‍යයෙන්  අද කාලෙ කෙනෙක් මියගිය පසු ආදාහනය කිරීම ක්‍රිස්තියානි උදවිය විසින් සිදු කරයි. එහෙත් මුල් කාලීන ක්‍රිස්තියානි උදවිය එසේ කලේ නැත. එකල ඔවුන්ගේ කැමැත්ත වී තිබුනේ උමං සොහොනක මිනිය තැන්පත් කිරීමය. එමනිසා ක්‍රි.ව. තෙවන ශතවර්ෂය වන විට මෙම Catacombs හි පරිපාලනය සිදු කර තිබෙන්නේ පල්ලිය විසිනි.

 මෙම Catacombs පිලිඹඳ මුලින්ම සඳහන් වන්නේ ජේසුස්වහන්සේ ගෝලයන්ගේ කාලයේදී ය. ඔවුන් මියගිය පසු රෝමයේ Appian Way හි දෙවන හා තුන්වන සැතපුම් කණු අතර ඔවුන්ව වළඳමා ඇත. මෙම ස්ථානයට ලතින් භාෂාවෙන් catacombae යැයි කියයි.

 පොලොව යට ඇති උමං වල තිබෙන තරමක් ඝනකමකින් යුතු බිත්ති වල හතරැස් කොටු ලෙස හිල් සාදා තිබේ. මේවා හදුන්වන්නේ Loculi ලෙසයි. ඒවයේ මිනී තැන්පත් කරයි. සමාන්‍යයෙන් එකම පවුලේ හතර දෙනෙක් පමණ එක කොටුවක තැන්පත් කරයි. සමාජයේ නම් දරාපු විශේෂ පුද්ගලයෙක් නම් ඔහුට හෝ ඇයට විශේෂිත කුටීරයක් වෙන් කර තබයි. එමෙන්ම ආගම වෙනුවෙන් දිවි දුන් පුද්ගලයන්ව ද මෙසේ විශේෂ කුටීර වල තැන්පත් කරයි.

 මේවා තුලට සොල්දාදුවන්ට පැමිණීමට අවසර නැත. එමනිසා නීතියෙන් පලා යන පුද්ගලයින් මේ උමං සොහොන් තුලට පැමිණ දිවි ගලවා ගනියි. ක්‍රිස්තියානි උදවියගේ හිංසා පීඩා කාලය අවසන් වුනේ රෝමයේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයාගේ කාලයේදීය. ඒ ඔහු කිතුනු දහම වැළඳගත් නිසාවෙනි. ඊට පෙර අවධි වලදී කිතුනුවන් බොහෝ පීඩා වලට ලක්වූ අතර එවිට බොහෝ දෙනා මෙම උමං සොහොන් වල තම පූජාවන් පවත්වා ඇත.

 මෑතක් වන තුරුම පවත්වාගෙන ආ උමං සොහොනක් ලෙස Capuchin Catacombs හදුන්වාදිය හැකියි. එය 1533 සිට 1880 දක්වා නොකඩවා පවත්වාගෙන පැමිණ තිබේ.

 ඔස්ට්‍රෙලියාව, ඔස්ට්‍රියාව, ඊජිප්තුව, බොස්නියාව, එංගලන්තය, පින්ලන්තය , ප්‍රංශය, ග්‍රීසිය, යුක්‍රේනය, පේරු , ස්පාඤ්ඤය, පිලිපීනය සහ තුර්කිය ආදී රටවල්වලද Catacombs පිහිටා තිබේ. 

 පැරීසියේ තිබෙන උමං සොහොනේ මිලියන හයකට අධික පිරිසකගේ මිනී තිබේ. 1738 වර්ෂයේදී ඇරඹි මෙය වර්තමානය වන විට මෙය සංචාරක ආකර්ෂනය දිනාගත් ස්ථානයකි. 1874 සිට දිනපතා මහජනතාවට නැරඹීමට මෙය විවෘතව ඇත.

 18 වන ශතවර්ෂය වන විට Les Innocents [ පැරීසියේ තිබූ විශාලතම සොහොන] වැනි සොහොන් පිරී ඉතිරී ගියේය. මේ හේතුවෙන් අක්‍රමවත් ලෙස ආදාහන කටයුතු සිදු කෙරිනි. එමනිසා විවිධ විෂ බීජ හා දුර්ගන්ධය පැතිරීම ආරම්භ වූ විට ඒ අවට සිටි මිනිසුන් මේ පිලිබඳව පැමිණිලි කරන්නට විට.

 1763 දී XV වන ලුවිස් රජු විසින් නගරය තුල ආදාහන කටයුතු සිදු කිරීම තහනම් කලේය. එනමුත් සොහොන තවත් තැනකට ගෙන යාමට පල්ලිය කැමති නොවූ අතර රජුගේ නියෝගයටද පිටු පෑමටද ඔවුන්ට නොහැකි විය. එමනිසා මේ පිලිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. 1780 දී දීර්ඝ කාලීන වර්ෂාවක් හේතුවෙන් Les Innocents සොහොන වටකර ඇති බිත්තිය බිමට සමතලා විය. දැන් ප්‍රංශ බලධාරීන්ට කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු විය.

මේ හේතුවෙන් 1786 දී පැරීසියේ උමං සොහොන් ආරම්භ කරන ලදි. Les Innocents හි තිබූ මිනී සියල්ල පැරීසියේ උමං සොහොනට මාරු කිරීමට වසර දෙකක කාලයක් වැය විය. ඒ ආකාරයෙන් අනෙක් සොහොන් වල තිබූ මිනීද පැරිස් උමං සොහොනට මාරු කරන ලදි. මෙම කර්තව්‍ය අවසන් වූ විට පැරිස් උමක් සොහොනේ දිග ආසන්න වශයෙන් සැතපුම් 186ක් පමණ විය.
පැරිස් උමං සොහොන

 පැරිස් උමං සොහොන වර්තමානය වන විට මහජනතාවට නැරඹීමට විවෘතව ඇති නමුත් 1955 සිට මෙම සොහොනේ සමහර කොටස් නැරඹීම තහනම් කර තිබේ.


 ක්‍රි.ව. දෙවන හා තෙවන ශතවර්ෂය වන විට රෝමයේ උමං සොහොන් කරලියට පැමිණියේය. ඒ මිනිසුන් ආදාහනය කිරීමට ඉඩමද මද කම නිසාවෙනි. මුලදී රෝමානුවන් මිනිසෙකු මිය ගිය විට ඔහුව හෝ ඇයව පුළුස්සා එහි ඉතිරි කොටස් බඳුනක බහා තබයි.

 මරණයෙන් පසු උත්ථානයක් කිතුනුවන් අපේක්ෂා කල නිසා ඔවුන් තමන්ගේ සිරුරු පුළුස්සා ගැනීමට වඩා එම සිරුරු තැන්පත් කර ගැනීමට වැඩි කැමැත්තක් දැක් වූයේය. මේ හේතුවෙන් උමං සොහොන් සංකල්පය ඔවුන් අතර ඉතා ජනප්‍රිය විය.

 රෝමයේ ඇති මෙම කිතුනු උමං සොහොන් තුල ජේසුස්වහන්සේගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ පින්තූර ආදිය ඇඳ තිබේ. මේවා ක්‍රි.ව. හතරවන ශත්වර්ෂය පමණ වන විට ඇඳ තිබූ ඒවා බැවින් ඓතිහාසික වටිනාකම අතින් ඉහල තැනක් ගන්නා අතර පුරාණ ජුදෙව් චාරිත්‍ර හා මුල් කිතුනු සභාවේ විවිධ චාරිත්‍ර ගැනද යම් අවබෝධයක් මෙයින් ලබාගත හැකියි.




 රෝමයේ නීතියෙ හැටියට නගරය තුල මිනිසුන් ආදාහනය කිරීම තහනම් වූ නිසා මෙම උමං සොහොන් නගරයෙන් පිටත සාදන ලදි.

Catacombs හි ඡායාරූප ගැනීම තහනම් වන අතර අන්තර්ජාලයෙන් සොයාගත හැකි වූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.







මූලාශ්‍ර:

1) http://www.ancient-origins.net/ancient-places-europe/dark-underworld-paris-catacombs-002834/page/0/1

2) https://en.m.wikipedia.org/wiki/Catacombs

3) https://en.m.wikipedia.org/wiki/Catacombs_of_Paris

4) https://en.m.wikipedia.org/wiki/Catacombs_of_Rome

5) http://sathsamudura.blogspot.com/2011/03/human-libraries.html?m=1

6) http://heritagemalta.org/museums-sites/st-pauls-catacombs/

7) http://www.nationalgeographic.com/archaeology-and-history/archaeology/rome-catacombs/

Saturday, July 22, 2017

මා කියවූ පොත් - බෞද්ධ මනෝචිකිත්සාව [එච්.එස්.එස්. නිශශංක]

"මිනිසාට විවිධ වූ මානසික රෝග වැලැදෙන්නේ කෙලෙස් නිසාය. කවර ආගමකට ජාතියකට අයත් වුවත් කෙලෙස්වල ස්වභාවය පොදුය. ඒ නිසා කවර යම් ජන කොටසකට අයත් වුවත් මානසික රෝගී සෑම මිනිසාටම සුවය අත්කර දීමේ හැකියාව බෞද්ධ මනෝචිකිත්සාවට තිබේ. මිනිසා මානසික රෝගියෙකු කරවන ක්ලේශ බෞද්ධ මනෝචිකිත්සාවට හසුවෙයි"

මේ පොත ලියලා තියෙන්නෙ  එච්.එස්.එස්. නිශ්ශංක මහතා. මට මේ පොත කියවලා ඉවර කරන්න ගියේ එක දවසයි. හරියටම ගත්තොතින් දවසකුත් නෑ. 

 සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දෙ තමා මම මේක කියෙව්වේ. ඉස්කෝලෙ ඉවරවෙලා ගෙදර එන ගමන් කොටුවෙ ගුණසේන පොත් සාප්පුවට ගොඩ වෙලා තමා මම මේ පොත අරගත්තේ. ඉතින් බස් එකේ එනගමන් එකදිගට මේක කියෙව්වා. ගෙදර ඇවිල්ලත් එකදිගට කියෙව්වා. ඒ තරමටම පොතට ආසා වුනා. මම පොත මිලදී ගද්දි පොතේ මිල රු.280 යි. දැන් ඒ හැටි ලොකු වෙනසක් නැතුව ඇති.

 බෞද්ධ මනෝචිකිත්සාවේ පියවර හයේ ක්‍රමය ගැන මූලිකවම මේ පොතෙන් සාකච්ඡා කෙරෙනවා. පොතේ අවසානයේ මෙම ක්‍රමය මගින් සුවවූ රෝගීන්ගේ ප්‍රථිකාර පිලිබඳ වාර්තා තියෙනවා.[නම් ගම් මොනවත් නෑ. මූලිකවම රෝගය සම්බන්ධව සටහන් තියෙනවා]

 කෙනෙක්ට හිතෙන්න පුලුවන් බෞද්ධ මනෝචිකිත්සාව කියන නම නිසා මේ ක්‍රමය බෞද්ධ අයට විතරක් භාවිතා කල හැකි එකක් කියලා. ඒත් ඒක වැරදියි. ඕනම ජාතියක ඕනම ආගමිකයෙක්ට මේ ක්‍රමය වලංගුයි. මේ පියවර හයේ ක්‍රමයේ අවසානයේදී සුව වූ රෝගියාව ඔහුගේ ආගම වෙත යොමුකරනවා.

 මමත් නීතියෙ හැටියට ක්‍රිස්තියානි කෙනෙක්. ඒ නිසා මට පැහැදිලිව කියන්න පුලුවන් මේ ක්‍රමය ඕනම කෙනෙක්ට වලංගු වෙනවා කියලා. මම නිදහස් මතධාරියෙක්. ඒ නිසා මගෙ ආගම මොකක්ද කියලා හරි එකක් කියන්න බෑ. ඒ නිසයි උඩ නීතියෙ හැටියට කියලා ලිව්වෙ.


ප.ලි. පින්තූරය ක්ලික් කරාම පැහැදිලි රූපයක් පෙනේවි.




මා කියවූ පොත් - අසිරිමත් ඉන්දියාව [ඒ.එල්. බෂාම්]

මේ කියන්න යන්නෙ පොතක් ගැන. මම පහුගිය ටිකේ ලිව්ව ඉන්දියාව ගැන ලිපි වලට අවධානය යොමු කලා නම් ඒවයේ මම මූලාශ්‍රයක් විදිහට යොදාගත්ත අසිරිමත් ඉන්දියාව කෘතිය දකින්න ඇති.

 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු මේ පොතේ මුල් පොත වුන THE WONDER THAT WAS INDIA කෘතියේ රචකයා වන්නේ ඒ. එල්. බෂම්. මේ පොත ගුණපාල සේනාධීර, ටී.ඩබ්.එච්. අබේසිංහ සහ ඩබ්. එම්.කේ. විජේතුංග යන තිදෙනා තමා මේක පරිවර්තනය කරලා තියෙන්නේ. සිංහල පරිවර්තනයේ ප්‍රථම මුද්‍රණය 1962.

 මේ පොතේ පිටු 700කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දකින ඕනෙම කෙනෙකුට මේ පොත අධික මිලක් විය යුතු යැයි හිතෙන්න පුලුවන්. ඒත් මේක අධ්‍යාපනය ප්‍රකාශන දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරන පොතක් නිසා මේකෙ මිල වෙන්නෙ රු.425ක් පමණයි.  

 සිංහලෙන් ලියවුනු හා පරිවර්තනය වුනු කෘති අතරින් ඉන්දියානු ඉතිහාසය අධ්‍යනය කරන්න මීට වඩා හොද කෘතියක් ඇති කියලා මමනම් සිතන්නෙ නැහැ. සමහර පොත් තියෙනවා එක් අංශයකින් ගැඹුරට කතා කරනවා. එත් මේ පොතෙන් අංශ කිහිපයක්ම ගැඹුරට කතාකරනවා.

 මම මේ පොත මුල ඉඳන් එකදිගට කියවන්න ගත්තෙ නෑ. එක් එක් මාතෘකා අරගෙන තමා වෙන වෙනම කියෙව්වේ. දැනට පොතේ බොහෝ ප්‍රමාණයක් කියවලා ඉවරයි. ඔයාලගෙ පහසුවට මම පොතේ පටුනේ පින්තූර පහත දාන්නම්. ඔයාලත් ඉන්දියානු ඉතිහාසය ගැන ස්ව අධ්‍යනයක් කරන්න කැමතිනම්. ඒ අධ්‍යනය කෘති අතර අනිවාර්යයෙන්ම තිබිය යුතු කෘතියක් තමා මේ. අරගෙන කියවන්න.

ප.ලි. මම අන්තිමට දාපු ටජ්මහල ගැන පෝස්ට් එක තාවකාලිකව ඩ්‍රාෆ්ට් දැම්මා. ඒකෙ තව එකතු කරන්න දේවල් කිහිපයක් තියෙන නිසා.









අපි නොදන්න ටජ්මහල

ආදරයේ සංඛේතය විදිහට ටජ් මහල අම්බානෙකට ප්‍රසිද්ධයිනේ. ඒත් ඇත්තටම ගත්තොත් ටජ්මහල ආදරයේ සංඛේතයක් ද? ටජ් මහල කියන්නෙ අපි හිතන් ඉන්න විදිහෙ එකක් ද? මේ ගැන තමා මම දැන් කියන්න යන්නෙ. මේක ටිකක් දිග ලිපියක්. ඒ නිසා කොටස් වශයෙන් හරි හෙමිහිට කියවන්න. මේක කියෙව්වට පස්සෙ පොඩි කාලෙ ඉඳන් ටජ්මහල ගැන තිබ්බ අදහස වෙනස් වෙන්න පුලුවන්. ඒකට මම වගකියන්නෙ නැති බව සලකන්න.

 අපි මුලින්ම යමු නමට. ඕක හැදුවාය කියලා නම් දරාපු සා ජහාන් මුස්ලිම්නේ. මේ මහල් කියන වචනෙ මුස්ලිම් එකක් නෙමේ. අනික මුස්ලිම් රාජ්‍ය මොකකවත් ගොඩනැගිලි නම් කරන්න මහල් කියන වචනෙ භාවිතා කරලා නෑ. සාමාන්‍ය පිලිගැනීම තමා මේ ගොඩනැගිල්ලේ අග නම උන මහල් කියන එක දැම්මෙ සා ජහාන්ගෙ බිරිඳක් උන මුම්ටාස් මහල්ගෙ නම භාවිතා කරලා කියලා. ඒත් ඒකත් වෙන්න බෑ. මොකද මෙයාගෙ නම මුම්ටාස් උල් සාමේනි. ටජ් හා මහල් කියන වචන දෙකම සංස්කෘත භාෂාවෙන් ආපු දෙයක්.

 හින්දු දේවාලයක් ඇතුලට යද්දි පාවහන් ගලවන්න ඕනෙ. ටජ්මහලේ කිරිගරුඬ වේදිකාව මතට යද්දිත් පාවහන් ගැලවිය යුතුයි. සාමාන්‍යයෙන් සොහොනකට යද්දි පාවහන් පැලදීම අනිවාර්යයයි. ටජ් මහල හින්දු කෝවිලක් කියන්න සාක්ෂි බොහොමයක් තියෙනවා. සමහර ඒවා පල්ලෙහා පින්තූර වලින් දාන්නම්. ටජ් මහලෙ කෙන්ඩියක තියෙන කැටයම් වල 108 කියලා සලකුණු කරලා තියෙනවා. මේ සංඛේතය හින්දු සංස්කෘතියෙන් එන දෙයක්.

 සා ජහාන්ගෙම ලේඛනගත සාක්ෂි වල තියෙනවා මුම්ටාස් බිසවගේ භූමිදාන කටයුතු සදහා ජායිපූර් වල ඒ කාලෙ හිටපු මහරාජා වන Jaysigh ගෙන් බුබ්බුලාකාර ශීර්ෂයක් තියෙන Raja Mansigh මාලියග අත්පත් කරගත්තා කියලා. ටජ් මහල හදන්න සා ජහාන්ට අවු. 22ක් ගියා කියලා ටජ්මහල ඉස්සරහා ඵලකයේ ලියලා තිබ්බට ඒක ලියලා තියෙන්නේ ට්‍රෙවෙනියර් කියලා ප්‍රංශ ආභරණ වෙළෙන්දෙක්ගේ සටහන් ඇසුරින්. ඔය කාලෙම ඉන්දියාවෙ හිටිය පෘතුගීසි පූජකයෙක් වන මැන්රික්ගේ සටහන් වලට අනුව මේකට දහසක් පමණ කම්කරුවන් සේවයේ නිරත වෙලා තියෙනවා. අනිත් කාරණේ තමා එයා පැහැදිලිව කියනවා කලින් තිබ්බ ගොඩනැගිල්ල ඉස්ලාම් ස්වරූපයකට අදාල වන විදිහට අංග එකතු කරා මිස අලුතෙන් ගොඩනැගිල්ල හැදුවෙ නැති බවක්.


 ගොඩනැගිල්ලට ගිය වියදම් කිරිගරුඬ ගැන පැහැදිලි සටහනක් නැති නිසා මේක සම්පූර්ණයෙන්ම සා ජහාන් හැදුවාය කියලා කියන සාක්ෂි සැක සහිත වෙනවා. ඒත් එක්කම සා ජහාන්ගෙ කාලයේ පැමිණි යුරෝපීය ජාතිකයින් අග්‍රා නගරය ගැන තබපු සටහන් වලින් මේ ගොඩනැගිල්ල සා ජහාන් අලුතෙන්ම හදපු ගිඩනැගිල්ලක් නෙමේ කියලා සාක්ෂි සපයනවා.

 1974 දී මර්වින් මිල්ස් කියන මහාචාර්යවරයා ටජ්මහලේ යමුනා ගං ඉවුර අසල තියෙන දොරකින් කැබැල්ලක් කාබන් 14 කාල නිර්ණ පරීක්ෂණ වලට ලක් කරා. ඒක සා ජහාන් රාජ්‍ය කාලයට වසර 300කට එපිට එකක් බව අනාවරණය වුනා. කොහොම උනත් අවාසනාවකට මේ දේ හෙළිදරව් උනාට පස්සෙ අදාල නිලදාරීන් මේ දොර ගලවලා අයින් කරලා එතන සිමෙන්ති වලින් බැදලා ආවරණය කරලා තියෙනවා. දොර ගලවලා ඉවත් කරන්න කලින් ගත්ත ඡායාරූපයක් පහල තියෙනවා.
ලී දොර ඉවත් කිරීමට පෙර

 ගොඩක් පුරාවිද්‍යාඥයින්ගේ මතය වෙන්නේ ටජ්මහල හින්දු දේවාලයක ආකෘතියකට් හදපු එකක් බවයි. ගණ දෙවියන් නිරූපණය කරන අලින්ගේ රූප, හින්දු පූජා වල භාවිතා කරන විශේෂිත පුෂ්පයන්ගේ කැටයම් සහ හින්දු ආගමේ විශේෂ සලකුණක් වූ ඕම් ලාංඡනය ද ටජ්මහල තුල දක්නට ලැබේ.


ටජ්මහලේ අර්ධ ගෝලාකාර ශීර්ෂයේ කොත විශාලනය කරලා බැලුවම ඒක ඉස්ලාම් ආගමේ අඩසඳ පිහිටලා තියෙන විදිහට නෙමේ පිහිටලා තියෙන්නේ. සාජහාන් මේ ගොඩනැගිල්ල ඉදි කරාද? මුම්ටාස් දේවියගේ සිරුර උත්සවාකාරයෙන් මේකෙ තැන්පත් කරාද කියලා නිශ්චිත පිලිතුරක් තාම ලැබිලා නෑ.

 මුම්ටාස් දේවියගේ මරණය සිදුවූ වර්ෂය හරිහැටි කියන්න තාම කවුරුත් දන්නෙ නෑ. ඒක ක්‍රි.ව. 1629, 1630, 1631 හෝ 1632 වර්ෂවලදි වෙන්න ඇති කියලා අනුමාන කරනවා විතරයි. මොකද සා ජහාන්ගේ අන්තප්පුරයේ කාන්තාවන් පන්දාහකට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ එක එක්කෙනා ගැන ලිඛිතව දත්ත සටහන් කර තබාගන්න එක ලේසි පහසු දෙයක් නෙමේ.

 සාජහාන් හා මුම්ටාස් දේවිය අතර ඇතිවූවාය කියන ආදරය පස්සෙ කාලෙ ගෙතුවේ සාජහාන්ට ටජ්මහලේ අයිතිය පවරන්න. සාජහාන් මුම්ටාස් දේවිය සමඟ විවාහ වෙන්න කලින් සහ පස්සෙ විවාහ විශාල ප්‍රමාණයක් සිදු කරගෙන තියෙනවා. සා ජහාන් බල ලෝභී මසුරු තැනැත්තෙක් බවයි කියවෙන්නේ. අනික මුම්ටාස් කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මේ තරම් විශාලෙට අවමඟුල් උත්සවයක් දෙන්න රාජවංශිකයන්ට සිතක් පහල වීමත් වෙන්න පුලුවන් දෙයක් නෙමේ.
මුම්ටාස් දේවිය මියගිය ස්ථානය

 මුම්ටාස් බිසව මියගිහින් තියෙන්නේ අග්‍රාවට සැතපුම් 600ක් දුරින් පිහිටි බුර්හන්පූර් හිදී. එයාගෙ සොහොන තාම එහෙ තියෙනවා. ඒ ප්‍රදේශයේ මිනිසුන් කියන දෙයක්තමා මුම්ටාස්ගේ දේහය මියගිහින් මාස හයක් පුරාවට අව්වට වැස්සට හා සතුන්ට නිරාවරණය වෙලා මෙහෙ තිබ්බා කියලා. පහල පින්තූර තියෙනවා. ටජ්මහලෙන් හින්දු සම්භවය නැති කරලා දාන්න මුම්ටාස්ගේ නම අයුතු ලෙස භාවිතා කරලා තියෙනවා කියලා ගොඩක් ඉතිහාසඥයන් චෝදනා එල්ල කරනවා.
මුම්ටාස් දේවියව සත්‍ය වශයෙන් මිහිදන් කලායැයි සැලකෙන ස්ථානය

 මුම්ටාස් දේවිය ජීවත්ව හිටි කාලයේ එයා වෙනුවෙන් මොනම ගොඩනැගිල්ලක්වත් ප්‍රසාධයක්වත් ඉදිකල බවට කිසිදු සාක්ෂියක් නෑ. ටජ්මහල හදන්න ගිය වියදම් ගැන කිසිදු වාර්තාවක් රාජකීය ලියවිලි වල සදහන් වෙලා නෑ. සා ජහාන්ට මේක හදන්න වසර 22ක් සහ සේවකයින් 20000ක් පමණ ගියා කියලා කතාව ගෙතුනට අමුද්‍රව්‍ය ඇනවුම් කිරීම්, මේවට ගිය වියදම් , ගොඩනැගිලි සැලසුම් ආදී කිසිවක් පිලිබඳ ලියවුනු එක කොල කෑල්ලක්වත් නිල ලේඛන වල නෑ.

 සාමාන්‍යයෙන් ඉන්දියානු සම්ප්‍රදාය තුල සොහොනක පැලකරන්නේ සෙවණ තියෙන ගස්. මොකද සොහොනක ගස්වල හැදෙන ගෙඩි ආදිය කෑම අසුභයි කියලා පිලිගැනීමක් තිබ්බා. ඒත් ටජ්මහල අවට වැවෙන්නේ හින්දු පුද පූජා වලට අවශ්‍ය පුෂ්ප හා පත්‍ර දරන ශාක. ඒ නිසාත් ටජ්මහල මුල් කාලීනව ශිව දෙවියන්ව වන්දනා කල හින්දු දේවලයක් බවට විශ්වාස කරනවා.

 සාමාන්‍යයෙන් හින්දු දේවාලයක් හදන්නේ ගංගාවක් හෝ මුහුදක් අසල. ටජ්මහලත් ඒ වගේම යමුනා ගංගාව අසල තමා හදලා තියෙන්නේ. මොහොමඩ් නබි නායක තුමා ඉස්ලාම් ධර්මයේ මෙහෙම කියලා තියෙනවා “යමෙකුගේ සොහොන අප්‍රකට ස්ථානයක් වියයුතුය. අඩුම තරමේ එය සොහොන් ගලක් පිහිටුවා ‍හෝ අනන්‍යයන්ට ප්‍රදර්ශනය නොකල යුතුය”. ඉතින් මේ අනුව ගත්තොත් ටජ්මහල මේ නීතිය සම්පූර්ණයෙන්ම කඩ කරලයි හදලා තියෙන්නේ.

 ටජ්මහලේ හතර දිශාවට පිහිටලා තියෙන සමාන පිවිසුම් ආරුක්කු හින්දු සම්ප්‍රදායේ එකක්. මේකට චතුර්මුකි කියලයි කියන්නේ. ටජ්මහලේ ගෝලාකාර ශීර්ෂය දෝංකාර දෙන අර්ධ ගෝලයක්. ඒත් එක්කම තියෙනවා සංගීත ශාලාවක්. ඒත් ඕක මුස්ලිම් දෙවස්ථානයක් කියලා තමා ගෙතිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් සොහොනකට අවශ්‍ය වෙන්නෙ නිශ්ෂබ්ද වටපිටාවක්. ඒත් හින්දු දේවස්ථාන වල නන් බෙර සීනු නාද තව තවත් තීව්‍ර කරලා ඇහෙන්න මේ විදිහට හදලා තියෙනවා. අනික මේ ගෝලාකාර ශීර්ෂයේ මුදුන නෙළුම් මලක හැඩයක් තියෙන්නේ. මුස්ලිම් ගොඩනැගිලි වල මීට වඩා වෙනස් ආකාරයක් ගන්නෙ.
සංගීත ශාලාව

 ටජ්මහලේ ඇතුල්වීමේ දොරටුව දකුණු පැත්තට තමා තියෙන්නේ. ඒත් මුස්ලිම් ගොඩනැගිලි සම්ප්‍රදාය තුල ඇතුල්වීමේ දොරටු පිහිටන්නෙ බටහිරට මුහුණලා.

 සාජහාන් රජුගේ කාලයේ සිටම මේ දක්වා කාමර 22ක් ගඩොලින් බැඳ සීල් තබා ඇත. ඒවයෙහි හින්දු ආගමට අයත් චිත්‍ර බිත්ති වල හා සිවිලිමේ ඇති බව P.N. Oak මහතා පවසයි. මෙම කාමර වලට පැත්තකින් දිගු කොරිඩෝවක් ඇති අතර මෙම කාමර වරින් වර සීල් ඉවත් කර නැවත සීල් තබා ඇත. 1934 වසරේ දිල්ලියේ විසූ පුද්ගලයෙක් බාගෙට ඇරී ඇති දොරක් තුලින් එබිකම් කර දුටු දෙයින් ඔහු පුදුමයට පත්වූ බව කියැවේ. එනම් එක ගොඩකට ගසා ඇති ශිව දෙවියන්ගේ ප්‍රථිමා හා හින්දු ආගමික චිත්‍ර කාමරය තුල තිබීමයි.
වසා ඇති කාමරයක සීල් ඉවත් කල අවස්ථාවක ගත් ඡායාරූපයක්

 සාජහාන්ට මූගල් අධිරාජ්‍ය හිමිවී වසර දෙකක් හෝ තුනක් ඇතුලත මුම්ටාස් දේවිය මියගියා බව ඔවුන් පවසන අතර මේ කාලයේදී සාජහාන් යුද්ධ විශාල ප්‍රමාණයට මුහුණ දෙමින් සිට ඇත. මේ හේතු නිසා ටජ්මහල සම්පූර්ණයෙන් තැනීමට තරම් රාජ්‍යයේ මුදල් කිසිසේත්ම නොතිබිය යුතුය.

 1973 වසරේ මෙහි ජල බුබුල කැනීමකට ලක් කල අතර එයින් අනාවරණය වූයේ ඊට අඩි 6ක් යටින් තවත් ජල බුබුලක් ඇති බවයි. ටජ්මහල අවට පැරණි හින්දු දේවාල, ආදාහණාගාර විශාල ප්‍රමාණයක් ඇත.

අවිධිමත් ලෙස තැනුනු වා කවුළු

 මෙහි බිම්මහලට පිවිසෙන පියගැටපෙළවල් සාජහාන් රජුගේ කාලයේ සිට බාහිර අයට වසා ඇත. එමෙන්ම බිම්මහලට පිවිසෙන තවත් දොරටු ගඩොලින් බැඳ සීල් තබා ඇත.

 සාජහාන් රජු එයාගෙ ජීවිතයේ අවසන් වසර අටක කාලය අග්‍රාවේම පිහිටි රතු බලකොටුවේ සිරකරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ එයාගෙම පුතා වන අවුරන්සෙබ්ගෙ අණින්. සාජහාන් මෙම බලකොටුවේ සිටියදී දර්පණ කැබලි කිහිපයකින් ටජ්මහල දෙස බලා මුම්ටාස්ගෙ නම මුමුණමින් සිටි බව කියයි. ඒත් මේක මිත්‍යාවක් විතරයි. සජහාන්ට ලැබුනේ බිම්මහලේ සිරකුටියක්. අනිත් එක ඔය කියන දර්පණ කැබලි රතු බලකොටුවෙ සවි කලේ 1930 ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහයකයෙකු වූ ඉන්ෂා අල්ල ඛාන් විසිනි. ටජ්මහලේ කාමර 400 සිට 500ක් පමණ ඇති අතර මේවයේ මිනිසුන් ජීවත් වූ බව කියවෙනවා. සොහොනක ජීවත් වීමට කැමති වන්නේ කව්ද? මෙයත් ගැටළුවක්. ඒත් එක්කම සා ජහාන් රජුගේ කාලය අවුල් වියවුල් වලින් පිරිච්ච කාලයක් කියලයි කියන්නේ. එහෙනන් මේ දීර්ඝ ලිපිය ඉවරයි. පල්ලෙහා තියෙන ඡායාරූප ටිකත් බලලා ඔයාලගෙ අදහස කියන්නකො...

මූලාශ්‍ර :

1) http://www.hindunet.org/hindu_history/modern/taj_oak.html

2) http://www.stephen-knapp.com/was_the_taj_mahal_a_vedic_temple.htm

3) http://satyashodh.com/veer_savarkar_remmembered_in_england.htm

4) http://www.hindunet.org/hindu_history/modern/godbole_taj1.html

5) http://www.hindunet.org/hindu_history/modern/godbole_taj2.html