Monday, February 5, 2018

තාමත් සැනසිල්ල අහිමි වෙල්ලස්ස

රත්න ශ්‍රී විජේසිංහ රචනා කොට ගුණදාස කපුගේ විසින් සංගීතවත් කොට ගායනා කල 'බිම්බරක් සෙනග ගැවසුන' ගීයේ අරුත පිලිබඳ ඔබ කෙදිනක හෝ සිතා බැලුවා ද? මෙයින් සැබෑවටම අරුත් ගන්වන්නේ 1818 වසරේදී ඉතා සශ්‍රීකව පැවති, පසුව මුඩු බිම් සොහොනක් බවට පත්වූ ස්ථානයක සිද්ධි දාමයක් පිලිබඳවයි. එය අප හදුන්වන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ල නමිනි. ජීවිත දහස් ගණනක් විනාශ කරමින්, වැව් අමුණු කඩා දමමින්, කාන්තාවන් දූෂණය කරමින්, ගවමහීෂාදීන් මරා දමමින් වෙල්ලස්ස ප්‍රදේශය අමු සොහොන් බිමක් බවට පත්වී අදට වසර දෙසීය යි.

මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධ වූ උඩරට ප්‍රදේශයේ ඇතිවූ තුන්වන යුද්ධය ලෙස හැදින්විය හැක. මෙම කැරැල්ල සදහා හේතු වූ කරුණු කිහිපයකි. මහාවංශය සදහන් කරන ආකාරයට එය හටගැනීමට මුල් හේතුව වූයේ සිංහල රදලවරුන් විසින් අකණ්ඩව කර ගෙන එන ලද රාජකාරියක් මුලාදෑනි තනතුරට මරක්කල මිනිසෙකු පත් කිරීමයි.

මේ කාලය අතරතුර උඩරට ඔටුන්නට හිමිකම් කියන්නෙක් භික්ෂූන් වහන්සේලා අට දෙනෙකු පිරිවරාගෙන වෙල්ලස්ස ප්‍රදේශයේ සැරිසරන බව බදුල්ලේ උප රෙසිඩන්ට් තනතුරේ සේවය කල විල්සන් නම් පුද්ගලයාට දැනගන්නට ලැබුණි. සැක කටයුතු එම පුද්ගලයා සහ ඔහුගේ සහචරයින් අල්වාගෙන එනු පිණිස ඔහු 1817 ඔක්තෝම්බර් මස 14 වන දින ජා භට කණ්ඩායමක් සමග වෙල්ලස්ස පළාතට ගියේ ය. මේ ගමන අතරතුරදී කැලෑවේ සැගවී සිටි මිනිසෙකුගේ ඊතල පහරකට හසුවේ විල්සන් මරු දුටුවේ ය. එවිට අවට කදු මුදුන්වල සැගවී සිටි සිංහලුන් 'මහ කළුගෙරියා මළා' යැයි කියමින් කෑ ගැසූ බව කියැවේ.

පසුව මෙය සංසිදුවීම සදහා කැප්පෙටිපොළ නිළමේ ව වෙල්ලස්ස ප්‍රදේශයට පිටත් කර හැරියේ ය. කැරැල්ල මැඩ පැවැත්වීම වෙනුවට කැප්පෙටිපොළ නිළමේ සිදු කලේ කැරලිකරුවන්ගේ පාර්ෂවයට එක්වීමයි. එවිට ඔහු සතුව තිබූ අවි ආවුධ නැවත ජෝන් ඩොයිලි වෙත යැවුවේ තමන්ගේ ඍජු ගුණය පෙන්වනු පිණිසයි.

සුළුවෙන් පටන් ගත් කැරැල්ල ක්‍රම ක්‍රමයෙන් ස්වාධිපත්‍ය සදහා වු සංග්‍රාමයකට පෙරළී ගියේය. මේ හේතූන් නිසා 1818 වසරේ පෙබරවාරි මස 21 වන දින උඩරට සියලු පළාත් මාර්ෂල් ලෝ නම් යුද්ධ නීතියට යටත් කලේය. මෙසේ තිබියදී මාර්තු මස වන විට සපරගමුවේ පහළ කොට්ඨාසය ද, තුන් කෝරළය සහ හතර කෝරළය ද, උඩු නුවර හා යටි නුවර හැර අනෙකුත් සියලුම උඩරට පළාත්වල වැසියෝ යුද්ධයකට සැරසුනහ.

මෙය මැඩපැවැත්වීම සදහා බ්‍රිතාන්‍යයන් විසින් කුරිරු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. පරම්පරා ගණනාවක් තිස්සේ සශ්‍රීකව පැවති වෙල්ලස්ස ප්‍රදේශයේ වැව් අමුණු පුපුරවාහැර, කුඹුරු සියල්ල ගිණිබත් කොට ඵල දරන සියලු ගස් කපා දැමුවේ වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇති කිරීමට යි. වෙල්ලස්ස ප්‍රදේශයට එම නම ලැබුනේ වෙල් ලක්ෂයක් පැවති නිසා බව කියැවේ. එවකට ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් මෙම වෙල් ලක්ෂයේ ප්‍රදේශය නැත්තටම නැති කිරීමට සමත් වෙයි. එවකට ලන්ඩනයේ ටයිම්ස් පුවත්පත මෙම වගාවන් ගිණි තැබීම ඉතාමත් බියකරු පියවරක් බවට වාර්තා කරයි.

ඉන්පසු බ්‍රිතාන්‍යයන් ගත් කුරිරු ක්‍රියා පිලිවෙත වන්නේ ජන සංහාරයයි. ඔවුන් මෙම ප්‍රදේශයේ සිටි වයස අවු. 18 ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග කලේ ය. අහිංසක ජනතාව ව එසේ අමු අමුවේ මරා දමා ඔවුන්ගේ සිරුරු ජල මාර්ගවලට දැමීය. එසේ සිදු කලේ රෝග ව්‍යාප්තියක් සිදු කරමින් වක්‍රාකාරයෙන් මිනිසුන් ඝාතනය කිරීමටයි. මෙම සංහාරය මිනිසුන්ට පමණක් නොව සතුන්ටද විය. වෙල්ලස්සේ සිටි ගවයන් ද මෙම කැරැල්ල නිසා මරු දිටීය. ගැහැණුන් දූෂණය කළේය. ගැහැණුන් හා දරුවන් බලා සිටියදී නිවෙස් ගිණිබත් කළේය. මුලු රටේ ජනතාව මිලියන හතරක් වන විට වෙල්ලස්සෙන් තිස් දහසක් මියයන්නේ දරුවන් දහස් ගනනකගේ පියවරුන් නැති කරමින් හා කාන්තාවන් දහස් ගනන් වැන්දඹුවන් කරමිනි.

මෙම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් කිරීම සදහා ඔවුන් තවත් ක්‍රියාමාර්ග ගත්හ. කැරලිකරුවන් සිටි ප්‍රදේශ කැලෑ ආඥාපනත යටතේ ආණ්ඩුවට පවරාගත්තේ ය. මේ හේතුවෙන් වෙල්ලස්සේ ඉතිරිව සිටි මිනිසුන් පානම්පත්තුවට පැන ගියෝය.

මේ ක්‍රියාමාර්ග පිලිබද ඔබ පුදුම විය යුතු නැත. මේ ඔවුන්ගේ සැටි යි. ලෝක ඉතිහාසය පුරාවට මොවුන්ගේ ආධිපත්‍යට ලක් වූ අනෙක් යටත් විජිත වලටද බෙදුවේ මේ හැන්දෙන් මය. මේ සියලු දේ අතරතුර 70 වෙනි නිදහස් දින සැමරුමේ ආරාධිතයන් ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් පැමිණීම වෙල්ලස්සේ එවකට රට වෙනුවෙන් දිවි පිදූවන් දන්නේ නම් ඔවුන් එසේ දිවි පිදුමට පසුතැවිලි වනවා නියතයි.

Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් වෙල්ලස්ස කැරැල්ල පිලිබඳ මෙසේ පවසා සිටියි; "කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."


මොල්ලිගොඩ අදිකාරම් ඇතුලු කැරැල්ලට සම්බන්ධ වූ අනෙකුත් රදලවරු සියල්ලෝම සිරබාරයට ගත්තේය. ඇහැලේපොළ නිළමේ ව 1818 මාර්තු මස 2 වන දින බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කිරීමට රහසිගතව අනුබල දෙන්නේ යැයි සැක කොට සිරබාරයට ගෙන දේශද්‍රෝහී භාවට ගැන කිසිදු විභාගයකින් තොරව මුරුසි දිවයිනට පිටුවහල් කලේ ය. ඇළ්ලේ පොළ නිලමේ ඇතුලු කිහිප දෙනෙක්ව කේරට් මාර්ෂල් නම් සංග්‍රාමික නීතියට අනුව ඇල්ළේ නිලමෙව පලමුව එල්ලා මැරීමට නියම වූවත් පසුව එම තීන්දුව වෙනස් කොට ඔහුගේ හිස ගසා දමන ලදි.

ගොවීන්ගෙන් රාජකාරිය ගැනීම තහනම් කොට ඒ වෙනුවට ගොවියන්ගේ ඵලදාවෙන් දහයෙන් කොටසක් අය කිරීමට ආඥාවක් පණවනු ලැබුණි. මෙම ආඥාව බොහෝ කලක් පැවතුණි. මෙම සටනට සම්බන්ධ වූවන් දේශද්‍රෝහීන් ලෙස ගැසට් කරන ලදි. මෙසේ රටින් පිටුවහල් කරන ලද 28 දෙනෙක්ට ගෞරව උපහාරයක් 2013 වසරේ සිදු කල අතර 2017 වසරේදී මෙම කැරැල්ලට සහභාගි වී දේශද්‍රෝහීන් ලෙස ගැසට් වී තිබූ අසූ දෙනෙකු දේශ ප්‍රේමීන් ලෙස ගැසට් කරන ලදි.

මහත් ලේ වැගිරීමකින් හා සශ්‍රීක වෙල්ලස්ස ප්‍රදේශය සොහොනක් බවට පත්වී වසර දෙසීයයක් සමරන මොහොතේ අප සැබෑවටම නිදහසක් හිමි කරගත්තා දැයි සිතා බැලීම කාලෝචිතයි.

රැස ජාතික පුවත්පත
05.02.2018


1 comment: