Saturday, April 7, 2018

ගින්නෙන් දැවී ගිය "රාජකීය වික්‍රමය"

ප්‍රථම ලාංකික චිත්‍රපටය ලෙස සැලකෙන්නේ ඉන්දීය අධ්‍යක්ෂකමරයෙකු විසින් අධ්‍යක්ෂණය කර ඉන්දියාවේදී රූගත කර ලංකාවේදී 1947 වසරේදී තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි. 1925 වසරේ අවාසනාවන්ත ලෙස ගින්නකට හසු නොවන්නට ලංකාවේ තිරගත වූ පලමු චිත්‍රපටය ලෙස නම් දැරීමට තිබුණේ රාජකීය වික්‍රමය චිත්‍රපටයයි.

ලංකාවේ පලමු චිත්‍රපටය වූ රාජකීය වික්‍රමය සදහා මූල්‍යමය දායකත්වය සැපයූයේ එකල සිටි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ බෝරා ජාතික ටී.ඒ.ජී. නූර්බායි විසිනි. ලංකාවේ පලමු චිත්‍රපට නිශ්පාදකයා වන්නේද මොහුයි. ධාන්‍ය වර්ග මෙරටට ගෙන්වා මෙරට දේ පිටරටට යැවීම ඔහුගේ ව්‍යාපාරයයි. වැල්ලවත්තේ රෙදි මෝලෙහි අයිතිකරුව සිටි මිහුට නැව් කිහිපයක් ද හිමිව තිබුණි. 1900 මුල් දශකයේ පටන් නූර්බායි සක්‍රීයව චිත්‍රපට ප්‍රදර්ශනයේ නියුතුව සිටියේ ය.

එකල සිටි තවත් චිත්‍රපට ප්‍රදර්ශකයෙක් වූ සී. වැන්ගර් හා එක්ව "ලන්ඩන් බයිස්කෝප් චිත්‍රපට ප්‍රදර්ශන සමාගම" ඇරඹීය. රාජකීය වික්‍රමය නිර්මාණය කල අවධියේ දී ඔහු "නූර්බායි ඊස්ටන් කම්පැනි" නම් සමාගම සහ වැල්ලවත්තේ "ප්ලාසා" සිනමාහල ඇරඹීය.
නූර්බායි

මෙම චිත්‍රපටය  අධ්‍යක්ෂණය සදහා නූර්බායි යොදාගන්නේ ගුප්තා නම් ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ය. මීට දශක දෙකකට පමණ පසු නිමැවුණු කඩවුණු පොරොන්දුව චිත්‍රපටය රූගත කිරීම සදහා යොදාගත්තේ ඉන්දියාවයි. එනමුත් චිත්‍රපට නිශ්පාදනයට අවශ්‍ය සියලු කලමනා ලංකාවට ගෙන්වා රාජකීය වික්‍රමය ලංකාවේදී රූගත කිරීමට නූර්බායි පියවර ගත්තේය.

රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා චිත්‍රපටයේ එළිමහන් දර්ශනද තිබුනු බව කියැවේ. එම එළිමහන් දර්ශන ජයවර්ධනපුර දියවන්නා ඔය අසල දී කැමරාගත කොට ඇත.

1925 දී චිත්‍රපටයක රඟපෑමට කඩවසම් තරුණ තරුණියන් වුවමනා බවට තිබූ පුවත්පත් දැන්වීමක් දැක ඒ සදහා ක්‍රියාත්මක වූ තරුණයෙක් ඒ සදහා ඉල්ලුම් කලේය. ඔහු එන්.එම්. පෙරේරා නම් වේ. එන්. එම්. ව තෝරා ගැනුනේ රාජ කුමාරයෙකුගේ චරිතයකටයි. එකල රාජකීය වික්‍රමය චිත්‍රපටයේ රඟපෑම සදහා එන්.එම්. ට ගෙවා ඇත්තේ රු.100ක මුදලකි. එන්.එම්. තම බයිස්කෝප් දිවිය පිලිබඳ මෙසේ පවසයි;

"ඒ බයිස්කෝප් ජීවිතය ඉතා කරදරකාරී ජීවිතයක්. ඇඳුම් ඇඳගෙන, ශරීරයේ පාට වර්ග තවරාගෙන උදේ පටන් හවස් වන තුරුම දහදිය හෙලමින් සිටියා. චිත්‍රපටි ගන්නා අවස්ථාවල සූර්යයා වළාකුළු වලින් වැසුණු විට ඉර හොදින් පායන තුරු පැය ගණන් රස්තියාදු වෙමින් සිටියා."

එන්.එම්

චිත්‍රපටයේ අනෙක් චරිත ලෙස සිබිල් පිට්, ඇන්.පී.ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා, ග්‍රේෂන් පෙරේරා ආදීන් රඟපෑවේය. මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සිදු කලේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන එම්. සාර්ලිස් හා ජී.එස්. ප්‍රනාන්දු අතිනි. එමෙන්ම මෙම නිහඬ චිත්‍රපටයේ සෑම දෙබසක්ම ලියැවුණේ සාර්ලිස් මාස්ටර්ගේ ගෝලයෙක් වූ ජී.එස්. අතිනි. නූර්බායි විසින් ඔහුට මේ සදහා ගෙවීමට වූ මුදල එකවර ගෙවූ බවත් විටින් විට ඒ සදහා තෑගි බෝග ලබා දුන් බවත් සදහන් වේ. එයින් ගම්‍ය වන්නේ නූර්බායි තුලින් වූ මෙම චිත්‍රපටයට තිබූ මහත් උදයෝගයයි.

රාජකීය වික්‍රමය චිත්‍රපටය ඉන්දියාව වෙත ගෙන ගන්නේ රසායනාගාර කටයුතු සදහායි. ඉන්දියාවේ තැන් කිහිපයකත් සිංගප්පූරුවේත් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වූ බවට සදහන් වේ. එනමුත් අවාසනාවන්ත අයුරින් ඉන්දියාවේ සිට ලංකාව වෙත නැවෙන් මෙම චිත්‍රපටය පැමිණෙන විට ගින්නකට හසු වී විනාශ වී ගිය බව කියැවේ.

සැබවින්ම මෙසේ මෙම චිත්‍රපටය ගින්නකට හසු වීම අහම්බයක් ද? එසේත් නැතිනම් එකල සිටි ඉන්දීය චිත්‍රපට ප්‍රකාශකයන්ගේ ක්‍රියාවක් ද?

මෙම චිත්‍රපටය ලංකාවට ගෙන ඒමේදී නැවෙහි ගබඩා කාමරයක වූ ගින්නකින් චිත්‍රපටය විනාශ වී ගිය බව කියැවේ. මෙම චිත්‍රපටයේ පිටපත් නොතිබුනේ ඒ සදහා අධික වියදමක් යන නිසාවෙනි. එකල සේයා පටලවලට ගිනි ආරක්ෂණ රසායනික එක්කොට නොතිබූ නිසා අධික උෂ්ණත්වයකදී ගිනි ගැනීමට පුළුවන. එහෙත් එකල මෙරටට ගෙනා අනෙක් චිත්‍රපට මෙසේ අධික උෂණත්වයකට ලක්ව විනාශ වූයේ නැත.

මෙම චිත්‍රපටය බොම්බායේ දී ප්‍රදර්ශනය කෙරුණු පසු අභිරහස් ලෙස විනාශ වූ බවටද කියැවේ. මේ සදහා ඉන්දීය චිත්‍රපට ශිල්පීන් වගකිව යුතු බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි.

කෙසේ හෝ කුහක ඊර්ෂ්‍යා මිනිසුන්ගේ ග්‍රහණයට රාජකීය වික්‍රමය ලක් වී විනාශ වුවද පසුව බිහි වූ ලාංකික සිනමාව කෙරෙහි මෙය සුවිශාල දායකත්වයක් සැපයූ බව නොරහසකි.

No comments:

Post a Comment