Tuesday, February 26, 2019

දුරකථන සංවාදය (කෙටි කතාව)

කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරා ට කතා කිරීමට අවශ්‍ය විය. වජිරාගේ පෞද්ගලික දුරකථනය විසන්ධි වී තිබුනු බැවින් ඇයගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. පහත දැක්වෙන්නේ අසල සිට පත්තරය කියවමින් සිටි වජිරාගේ සහෝදරියගේ ස්වාමිපුර්ෂයාට ඇසුනු සංවාදය යි.

“මට වජිරා ට කතා කරන්න පුලුවන්ද?”

විරාමයක්

“නෑ එයා නෙමේ. උස, කොණ්ඩෙ බොකුටු කෙනා…”

විරාමයක්

“ඔව් නළ දතකුත් තියෙනවා තමා.”

විරාමයක්

“ඒක වෙන්න බැහැ එයාගෙ නංගි මැරුනෙ නැහැ.”

විරාමයක්. (පත්තරය කියවමින් සිටි ස්වාමියා එක් වරම තම බිරිඳ දෙස බැලීය.)

“ඔයා කොහොමද කියන්නේ? මමනේ එයාගෙ නංගි.”

විරාමයක්

“ඔව් එයා තමයි.”

විරාමයක්

“හරි එයාට කෝල් එක ට්‍රාන්සර් කරන්න.”

විරාමයක්

“හෙලෝ… මේ වජිරා ද?”

විරාමයක්

“ඔය කව්ද?”

විරාමයක්

“නැහැ එහෙම දෙයක් නැහැ. මට වජිරාටයි කතා කරන්න ඕනෙ.”

විරාමයක්

“උස කොණ්ඩෙ බොකුටු කෙනා. නළ දතකුත් තියෙනවා.නංගි තවම ජීවත් වෙලා ඉන්නවා.”

විරාමයක්

“එයා ඉන්නවා එයා තමයි කතා කරන්නෙ.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“බය වෙන්න එපා මම එහෙම කෙනෙක් නෙමෙයි. වජිරාට කතා කරන්න විතරයි ඕනෙ.”

විරාමයක්

“අන්න හරි. වජිරාට ෆෝන් එක දෙන්න.”

විරාමයක්

“ඇති යාන්තන් ඔයාට කතා කරන්න පුලුවන් වුනා. ඔයාලගේ කන්තෝරුවේ තව කවුරුහරි වජිරා කියලා කෙනෙක් ඉන්නවද? එයාගෙ නංගි මැරිල ද? කන්තෝරුවෙ අය හිතලා තියෙන්නෙ මම කතා කරන්නෙ අනිත් වජිරාට කියලා. මම එයාගෙ නංගි කියලා එක්කෙනෙක් බය වුනත් එක්ක. (සිනාසෙමින්) එයා විතරක් නෙමේ මගේ මහත්තයත් බය වුනා ඒක අහලා.(තවත් හයියෙන් සිනාසෙමින්) දැන් ඔයා මොනවාහරි වැදගත් වැඩකද ඉන්නේ? කතා කරන්න පුලුවන්නේ දැන්?”

විරාමයක්

“ඒ පාර කව්ද මේ?”

විරාමයක්

“ඔව් එයා තමයි. මට එයාට කතා කරන්න පුලුවන් ද?”

විරාමයක්

“ඒක මම එයත් එක්ක කතා කරන්නම්.”

විරාමයක්

“කේක් එකක් හදන්න තියෙනවා.”

විරාමයක්

“නෑ මම ඒක එයාගෙන් අහගන්නම්.”

විරාමයක්

“හරි එහෙනම්.”

දීර්ඝ විරාමයක්

“හැදි කීයක්ද කිව්වේ?”

විරාමයක්

“මං හිතන්නෙ ඔව්.”

විරාමයක්

“ඔහොම ඉන්න. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

විරාමයක්

තම ළමයින් දෙස හැරී “කෑ ගහන්නෙ නැතුව අතනින් ගිහින් ඉඳගන්න!”

විරාමයක්

“නෑ ඔයාට නෙමේ.”

විරාමයක්

“එහෙම හිතුවත් කමක් නැහැ. මට වජිරාට කතා කරන්න ඕනෙ.”

දීර්ඝ විරාමයක්

“හෙලෝ මේ වජිරා නේද?”

විරාමයක්

“කොහෙද අනේ ඔයා ඔච්චර වෙලා හිටියේ?”

විරාමයක්

“ඔයා දන්නවද මම ඊයෙ අලුත් ගවුමක් ගත්තා.”

විරාමයක්

“මේ මම අනේ… ඔයාගෙ නංගි.”

විරාමයක්

“හෙලෝ…”

විරාමයක්

“ඔයා මේ අඬනවද?”

විරාමයක්

“අනේ සමාවෙන්න මම කතා කලේ අනිත් වජිරා ට.”

විරාමයක්

“මම ඔයාව අපහසුතාවයට පත් කරන්න හිතුවෙ නැහැ.”

විරාමයක්

“නැහැ මම විහිළුවකුත් නෙමෙයි කලේ.”

විරාමයක්

“ඔව් මට තේරෙනවා.”

විරාමයක්

“හරි මට සමාවෙන්න.”

විරාමයක්

“අනිත් වජිරාට කතා කරන්න පුලුවන් වෙයිද?”

විරාමයක්

කිසිවක් නොකියා ඇය දුරකථනය විසන්ධි කලාය. ඒ අතර පත්තරය කියවමින් සිටි සැමියා “වජිරා මොනවද කියන්නෙ?” යැයි ඇසීය.

මලානික රූපයක් මුහුණෙහි රඳවාගත් ඇය මෙසේ පවසා සිටියාය.

“අද එයා කන්තෝරුවට ඇවිල්ලා නැහැ!”


Tuesday, February 19, 2019

සුයිප් මහත්තයා

‘සෙරෙප්පු මහත්තයා’. ඒ තමා මේ ඒරියල් එකේ ඒ කිව්වේ කොටුමේ මිනිස්සු මට කියාපු නම. නමුත් මගේ සැබෑ නම ජයන්ත සෙනෙවිපාල. නම සෙනෙවිපාල වුනාට දැන් මගේ රැකියාව කොටුවේ පේමන්ට් එකේ සෙරෙප්පු මැසීම. සෙරෙප්පු මැසීමෙන් සිතන තරම් ආදායමක් ලැබෙන්නේ නැහැ. කොටුවේ වැඩි දෙනෙක්ගේ දිනපතා සෙරෙප්පු කදෙන්නෙත් නැහැ, කැඩෙන සියලු දෙනා ඒවා සාදාගැනීමට මා වෙත පමිනෙන්නෙත් නැහැ. මේ නිසා එදා වෙල් තුන සොයා ගැනීමටවත් මගේ රැකියාව අපොහොසත්. ඒ නිසා දැන් මම ආහාර ගන්නේ බොහෝ විට දිනකට එක වේලක් පමණයි.

මාව දිනපතා දකින බොහෝ දෙනා කිවේ හිඟමනේ යෙදුනහොත් මිට වඩා විශාල අදායමක් ලබාගත හැකියි කියා. මේ කොටුවෙන් හිඟමනේ යෙදී ගොඩගිය අය බොහෝ සිටිති. බෝ ගහ යට ලොකු මහත්තයත් එවන් අයෙක්. කොටුවේ හිඟමනේ යෙදෙනවානම් ලොකු මහත්තයගෙන් අවසරය සහිත ලයිසන් එකක් අපි ලබාගත යුතුයි. ලොකු මහත්තයගෙන් අවසරය නැතිව හිඟමනේ යෙදෙනවා බොරු. දවසේ අදායමෙන් කොටසකුත් ගෙවන්න ඕනෑ. ඒ ලයිසන් එක නැතිව හිඟමනේ යෙදිලා අසුවුනහොත් අඩුම තරමේ මැණින් මාකට් එකේ මුට්ට කරගහලත් හමාරයි. මට මේ දේවල් රුස්සන්නේ නැහැ. ඇරත් නොකා නොබී මැරුණත් කාටවත් අතපාලා ජීවත්වෙන්න මට බැහැ.ඇඟේ පතේ අමාරුව නිසා මුට්ට කරගහන්නත් බැහැ. මේ දේවල් හේතුවෙනුයි වටේ පිටේ උදවිය මට ‘සෙරෙප්පු මහත්තයා’ කියන්නේ.

සෙරෙප්පුවක් මසා ලබාගන්නා රුපියල් තිහෙන් හතළිහෙන් දවසක් බඩ පුරවගන්නේ කෙසේද? කුමක් හෝ වෙනයම් ආදායම් මාර්ගයක් සොයා ගත යුතුමයි. දිනක් මේ දේවල් ගැන සිතමින් සිටින විටදී;

“අහස පොලොව ගැටලන්න වගේ මොනාද අප්පේ ඔච්චර කල්පනා කරන්නේ?” ඒ මා අසලම සිටි සුයිප් මඩුවේ ප්‍රියන්ත මල්ලිගේ හඬයි.

 මම දැන් සෙරෙප්පු මසන්නේ ප්‍රියන්ත මල්ලිගේ සුයිප් මඩුව අසලයි. මිට පෙර දෙවතාවක්ම පේමන්ට් එකේ සෙරෙප්පු මසා පොලිසිය රැගෙන ගිය පසුයි මෙතනට පැමිණියේ.

“වෙන මොනවා කල්පනා කරන්නද ප්‍රියන්ත මල්ලි, සල්ලි කීයක්හරි හොයාගන්න ක්‍රමයක් මිසක්”

“මං උඹට කලිනුත් කිව්වනේ, කකුලක් ගැට ගහගෙන පේමන්ට් එකේ ඉඳගනින් බං. උඹේ පෙනුමත් කැපෙනවා ඒකටම. ගේමක් නැතුව දවසට හත් අටසීයක් හොයතහැකි.”

“මං ඕවට නැහැ කියලා දන්නවනේ”

“එහෙනං ඉතින් මටත් උමබට කරන්න දෙයක් නැහැ. ඕනනම් මේ පරණ සුයිප් ටික විකුනහන් බෝතල් පත්තර කාරයෙකුට.” යැයි කියා ඔහු සුයිප් මඩුවට රිංගා ගත්තේය.

ප්‍රියන්ත මල්ලි විහිලුවට මෙන් කියුවද, ඔහුගේ අවසාන කියමන එදින පුරාම මගේ සිතේ රැව් දුන්නේය. ‘පරණ සුයිප් විකුණා කීයක්ම හරි හොයාගන්න ඕන’ මම මටම කියා ගත්තෙමි.

කොටුවේ අඩුම තරමින් සුයිප් මඩු තිහක්වත් තිබේ. මේ සියල්ලේම පරණ සුයිප් විකුණුවහොත් මට දිනකට රුපියල් දෙසියපනහක්වත් අවම වශයෙන් සොයාගත හැකියි. මේ සියල්ලම සිත් හි තබාගෙන පසුදින ප්‍රියන්ත මල්ලි හමුවට ගියෙමි.

“ඇත්තටම ඔය කියන විදිහට ඕවා අරගනියිද?” ප්‍රියන්ත මල්ලිව දුටු සැටියේම මම ඔහුගෙන විමසුවෙමි.

“මොනවද අරගන්නේ? මොනවා ගැනද ඔය කියවන්නේ?”

“සුයිප් ගැන බං, සුයිප් ගැන. ඒවා දුන්නොත් බෝතල් පත්තර කාරයෝ අරගනියිද?’

“මම ඊයේ විහිලුවට කිව්වා එක උඹ ඇත්තටම ගත්තද?”

“කියපන්කො, බෝතල් පත්තර කාරයෝ ගනියිද?”

“හැමෝම ගන්නේ නම් නැහැ. හැබැයි පංචිකාවත්තේ එකෙක් නං ඉන්නවා. ඌ නං ගනියි.”

“හරි එහෙනං. උඹට පුලුවන්ද හවසට ඔය පරණ සුයිප් ටික මට දෙන්න?”

“උඹ මේ ටික විකුණන් කීයක් ගන්නද හිතන් ඉන්නෙ. ඔන්න ඔහේ විකාර නැතුව හිටපන්”

“මට ඔය ටික දීපන්කො, ඉතුරු ටික මම කරගන්නන්”

“එහෙනං අරගනින්. මාත් හවසට ඕවා පුච්චන්න දාන එකනෙ ඉතින්”

එක සුයිප් මඩුවකින් සුයිප් ලබාගැනීම දැන් ස්ථිරයි. කොටුවේ තව බොහෝ සුයිප් මඩු තිබේ. මේ සැම මදුවකටම ගොස් පරණ සුයිප් ලබාගැනීම සදහා ඔවුන්ට කතා කල යුතුයි. මේ සියල්ල නිසා මම අද දින සෙරෙප්පු මැසිම නතර කලෙමි. එසේ කලේ අද දින ඇතුලත කෙසේ හෝ සියලුම සුයිප් මඩු වලට ගොස් ඔවුන්ගේ පරණ සුයිප් ලබාගැනීමේ අදිටනිනි.

මම බැරිමරගාතේ ඊළඟ සුයිප් මඩුව වෙත ගියෙමි.

“ආ… සෙරෙප්පු මහත්තයා, අද මොකෝ මේ පැත්තේ…” සුයිප් මඩුවේ සරත් මල්ලි මම ඔහු අසලට පැමිණෙන විටම අසා සිටියේ ය.

“එක දවසකට පරණ සුයිප් කොච්චරක් විතර ඔයාට ලැබෙනවද?” මම දැඩි බලාපොරොත්තුවකින් ඇසුවෙමි.
“මේ කුඩේ පිරෙන්න ලැබෙනවා. මොකද එකපාරටම එහෙම අහන්නේ?”

“මේකයි… ඔයාට බැරිද හවසට මට ඒ සුයිප් ටික දෙන්න?”

“පුච්චන්න තියෙන සුයිප් උඹට මොකටද බං?”

“පොඩි වැඩකට. දෙන්න පුලුවන්ද බැරිද විතරක් කියහන්කෝ?”

“හා හා ඉතින් දෙන්නන්. ඔය තියෙන්නේ, ඕන වෙලාවක ඇවිල්ලා අරගෙන පලයන්.”

දෙවෙනි සුයිප් මඩුවේ පරණ සුයිප් සාර්ථකව ලබාගැනීමට අවසරය ගත පසු මම අනෙක් සුයිප් මඩු වෙත පියනැග්ගෙමි. දැන් වෙලාව දහවල් එකේ හෝරාවට පැමිණ තිබේ. මේ වන විට කොටුවේ සියලුම සුයිප් කඩ වලට මා කතා කර අවසන්ය. නොසිතු අයුරින් ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ පරණ සුයිප් මා හට ලබාදීමට කැමැත්ත පල කළේය. සමහරු මුලදී පරණ සුයිප් ලබාදීමට අකමැති වුවත් ඔවුන්ට කිසිදු පලක් නැති පරණ සුයිප් මට දීමට අවසානයේ ඔවුන් කැමති විය.

කොටුවේ පමණක් සුයිප් මඩු සහ ජංගම සුයිප් විකුණන්නන් පනහකට අධික ප්‍රමාණයක් සිටිති. ඔවුන් සියල්ලන්ගේම පරණ සුයිප් මට ලැබුනහොත් ඒවා විකුණා මට හොද අදායමක් නිසැකයෙන්ම ලබාගත හැකියි.

සවස් යාමට එලබුනු පසු මම පරණ සුයිප් එකතු කිරීමට පටන් ගත්තෙමි. කොටුව පුරා ඇවිද සුයිප් එකතු කල මට අවසානයේදී කුඩා පොහොර උරයක් පිරෙන්න තරම් සුයිප් තොගයක් සම්බවිය. තවම සවස හය ඉක්මවා නොතිබුණු බැවින් අඩ දිනම මෙම සුයිප් ටික විකුණා කියක් හෝ සොයා ගැනීම මගේ අදිටන වී තිබුණි. මන්ද මම අද දවසට දවල්ට තබා උදයටවත් කිසිවක් නොකා සිටි බැවිනි.

ප්‍රියන්ත මල්ලිගෙන් පංචිකාවත්තේ පරණ සුයිප් මිලදී ගන්නා සිටින ස්ථානය අසාගෙන ඔහු සොයා යාමට පටන් ගත්තෙමි. හෝරාවක් පමණ ගතවූ පසු මට ඔහු සොයා ගැනීමට හැකිවිය.

“අයියේ, පරණ සුයිප් ගන්නවා කියන්නේ ඔයාද?” මම මට වැඩ පෙනුමෙන් වයසැති කෙසඟ සිරුරක් සහිත අයෙක්ගෙන් ඇසුවෙමි.

“ඔව් මම තමයි, මොනවද කෙරෙන්න ඕන?” මම ඔහුගෙන් ප්‍රශ්නය ඇසු සතියෙම ඔහු මගෙන් පෙරලා ඇසුවේය.

“මං ගාව පරණ සුයිප් වගයක් තියෙනවා. අරගන්න පුලුවන්ද?”

“කොච්චරක් තියෙනවද?”

“මේ තියෙන්නේ.” මම අතැති පොහොර උරය ඔහු දෙසට දික් කලෙමි.

“කෝ දෙන්න” කියා ඔහු තරාදිය ගෙන පොහොර උරයේ බර මැන බැලුවේය.

“කිලෝ හයහමාරක් විතර තියෙනවා. රුපියල් දෙසීයක් දෙන්නන්.”

“තව කියක්වත් වැඩිකරන්න බැරිවෙයිද මහත්තයෝ” මම ඔහුගෙන් අයැදුවෙමි.

“දෙන්න පුළුවන් උපරිම ගාන තමා කිව්වේ. ගන්න බැරිනං උරෙත් අරන් යන්න”

තව රුපියලක්වත් ලබා ගැනීම ගලෙන් පට්ටයක් ගන්නවා වැනි දෙයක් බව මට වැටහී ගියේය. එමනිසා දුන් දෙසිය රැගෙන මම එතනින් ඉවත්ව ගියෙමි. සෙරෙප්පු මසා අමතරව දිනකට රුපියල් දෙසීයක අදායම මා වැනි අයෙකුට හොදටෝම ප්‍රමාණවත්. වේල් දෙකක් බඩ පිරෙන්න කතහැකියි මෙම අදායමෙන්.

මම මේ වන විට පරණ සුයිප් ව්කිනිම මාස තුනකට අධික කාලයක් සාර්ථකව සිදු කරමින් පවතියි. දිනකට අවම වශයෙන් පරණ සුයිප් විකුණා රුපියල් තුන්සීයක් පමණ දැන් මම උපයයි. පෙරදී මට ‘සෙරෙප්පු මහත්තයා’ කියූ උදවිය දැන් මට පවසන්නේ ‘සුයිප් මහත්තයා’ කියා ය.

එක්තරා දිනයක කොටුව දුම්රියපල ඉදිරිපිට පරණ සුයිප් එකතු කරමින් සිටින විටදී පොලිස් ජීප් රථයක් පමිං මා අසලින් නැවැත්වුයේය. ජීප් රථයේ පිටුපසින් පොලිසියේ මහත්වරුන් තිදෙනෙක් පිටතට පැමිණි අතර ඉදිරි අසුනේ සිටි හැඩිදැඩි සිරුරකින් සමන්විත පුද්ගලයෙක් ජීප් රථයෙන් පිටතට පැමිණියේය. තරමක් දැක පුරුදු පුහුනක් තිබු ඔහු පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා බව මම එකවරම ඇඳින ගත්තෙමි.

පේමන්ට් එකේ සෙරෙප්පු මසා පොලිසියට රැගෙන ගිය අවස්ථා දෙකෙහිදීම මට ගෙවන්නට සිදුවූ රුපියල් තුන්දහසක දඩය ගෙවා දැමීමට නොහැකිවා මාස අටක් සිර කුඩුවේ සිටි නිසා ඕ.අයි.සී. මහත්තයාගේ රුව මට හොදටෝම දැක හුරුයි.

“දාගන්නවා මුව ජීප් එකට” ඕ.අයි.සී. මහත්තයා මා දෙසට ඇඟිල්ල දිගු කරමින් සෙසු පොලිස් නිලදරින්ට එන කළේය.

“අනේ මහත්තයෝ මම මොන වරදක් කරාටද මාව අරගෙන යන්නේ?” මම ඕ.අයි.සී. මහත්තයා ඉදිරියේ වඳ වැටී කීවෙමි.

“කරපු දේ උඹම දන්නවා ඇතිනේ. ඔන්න ඔය පෝර උරෙත් දාගන්නවා ජීප් එකට.” යයි කියූ ඕ.අයි.සී. මහත්තයා මාව බලෙන්ම ජීප් රථයට දා ගැනීමට අණ කළේය.

“මහත්තයෝ මම මොනවත් වරදක් කලේ නැහැ. මාව අතඅරින්නකෝ!” ජීප් රථයට නැගුනු පසුත් මම කන්නලව් කලෙමි.

“හොර සුයිප් විකුණල තියෙනවා පහුගිය සති දෙකේ. උඹ තමයි මිනිහා. තැන හතර පහකින්ම ඔත්තුව ආවේ උඹයි මිනිහා කියලා.” ඕ.අයි.සී. මහත්තයා මාව අල්ලාගැනීමට හේතුව විස්තර කළේය.

“මම හොර සුයිප් විකුණුවේ නැහැ මහත්තයෝ… පරණ සුයිප් පංචිකාවත්තේ බෝතල් පත්තර කාරයෙක්ට විකිණුවා විතරයි. එකත් කරේ බඩගින්නට කියක් හරි හොයාගන්න” මම තවදුරටත් ජීප් රථයේ සිටි පොලිසියේ මහත්වරුන්ට මගේ නිර්දෝෂිභාවය කියා සිටියෙමි.

“ඕනනම් බස් ස්ටෑන්ඩ් එක ගාව සුයිප් මඩුවේ ප්‍රියන්ත මල්ලිගෙන් හරි එතන ඉන්න ඕන කෙනෙක්ගෙන් මං ගැන අහන්න. එයාල මං ගැන කියාවි”

“හරි එහෙනං යමුකෝ ඔය කියන ප්රියන්තව හම්බවෙන්න.” ඕ.අයි.සී. මහත්තයා එසේ කි විට මගේ සිතට මහත් සහනයක් දැනුනි. මන්ද මම ප්‍රියන්ත මල්ලිව බොහෝ කලක සිට අඳුනන බැවින් ඔහු මගේ නිර්දෝෂිභාවය පොලිසියේ මහත්වරුන් ඉදිරියේ කියාවි යන බලාපොරොත්තුවක් මට තිබුණි නිසාය.
ප්‍රියන්ත මල්ලිගේ සුයිප් මඩුව අසල පොලිස් ජීප් රථය කතර කළේය. පළමුව ඕ.අයි.සී. මහත්තයා රථයෙන් පිටතට පැමිණි අතර ඉන්පසු විලංගුලා සිටි මම පිටතට පැමිණියෙමි.

“ප්‍රියන්ත කියන්නේ කව්ද?”

“ම… ම.. මමයි මහත්තයෝ” ප්‍රියන්ත මල්ලි කැඩුණු ස්වරයෙන් කතා කළේය.

“තමුන් මේ මනුස්සයව අඳුනනවද? හොර සුයිප් විකුණලා අහුවෙලා තියෙනවා” ඕ.අයි.සී. මහත්තයා මා දෙසට ඇඟිල්ලක් දික් කරමින් ප්‍රියන්ත මල්ලිගෙන අසා සිටියේය.

මා දෙස ස්වල්ප වේලාවක් බලා දිටි ඔහු;

“නැහැ මහත්තයෝ මමනම් දන්නේ නැහැ” යැයි කීය.

මෙය මගේ කනේ වැකුණු සැටියේම කුමක් කිව යුතුදැයි මටම සිතාගත නොහැකි විය. දිනපතා උදේ හවා මාව දකින කතාබහ කරන සමහර දින වලදී එකම බත් පාඨ බෙදාගෙන කෑ පුද්ගලයා දැන් මා දන්නේ නැතැයි පවසනවා! මම ජීප් රථයට ගොඩවන විටදීත් ප්‍රියන්ත මල්ලිගේ මලානික වූ මුහුණ දෙස බලා සිටියෙමි.

ඉන්පසු මම ඕ.අයි.සී. මහත්තයාගේ පැමිණිලි කිසිවකට වග උත්තර බඳින්න වෙහෙසුනේ නැත. ඔහුට ඕනෑම දෙයක් කියන්නට ඉඩදී මම කරබාගෙන සිටියෙමි. දැන් වසර කිහිපයකට මාව අච්චු ගසනවා ස්ථිරයි. කොටුවේ එක වේලක් කා ජිවත් වූ මම දැන් වේල් තුනක්ම කෑමට නියමිත නිසා මහඋළු ගෙදර සිටීම සැපතක්.  
පින්තුර අයිතිය - සමන් වීරතුංග

Tuesday, February 12, 2019

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ”



මේ ගෙවෙන්නේ කුමන දිනයක්දයි කීමට මම නොදනිමි. උදය ආහාරය ලැබී මේ වන විට වරුවක් පමණ ගතවී තිබේ. මගේ කාමරයේ මගේ තනියට තවත් අයෙක් සිටියි. ඔහු මෙතනට පැමිණ දැනට සතියක් පමණ ගත වුවත් ඔහු මා සමග මෙතෙක් වචනයක්වත් කතා කලේ නැත. මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල නමුත් ඔහුගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඔහුට මෙයට හුරු වීමට ටික කලක් යාවි. මම මෙතනට පැමිණි මුල් කාලයේ පෙන්වුයේත් මෙවන්ම හැසිරීමක්. මෙතනට ඇවිත් දැන් මාස තිහකටත් එහා නිසා දැන් මට මෙතන ගෙදර වගේ.

“මට ඔය වතුර එක දෙන්න" ඔහු මලානික ස්වරයකින් මගේ දකුණුපස පිහිටි මේසය මත තිබු වතුර ජෝගුව ඉල්ලුවේය. ඔහුගේ කටහඬ අසු පළමු අවස්ථාව මෙයයි. එසැනින්ම වතුර ජෝගුව ගෙන ඔහුට දුන්නෙමි. ඔහු එය ගෙන එක උගුරක් පමණක් බී ජෝගුව නැවත මට දුන්නේය.

“ඔයාගේ නම මොකක්ද?” කිසියම් සංවාදයකට මුල පිරීමට යයි සිතා මම ඔහුගෙන් ඇසුවෙමි. නමුත් ඔහු එය නෑසුනාක් මෙන් අඩි දහයක් පමණ උසකින් තිබෙන කම්බි කුරු ගසා ඇති ජනේලය දෙස බලාගත් වනම බලාගෙන සිටියේය.

“ඔයා අයි මෙහෙට ආවේ?” මම උත්සාහය ඇත නොහැර ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නැවතත් ඇසුවෙමි. නමුත් එයටත් ඔහු කිසිදු පිළිතුරක් නොදී මුනිවත රැකගෙන සිට ජනේලය දෙස බලාගෙන සිටියේය.

ඔහුගෙන් වචනයක්වත් නොඅසා කාලය ගතවුනි. තත්පර මිනිත්තු වී මිනිත්තු පැය වී දැන් දවල් ආහාරය ගන්නා වෙලාව දක්වා පැමිණ තිබේ. අදත් සුපුරුදු පරිදි තිබුනේ බත්, පරිප්පු සහ කරවල යි. මෙය මලබතක් වීමට අඩු වට්ටක්කා පමණි. මම මගේ මිත්‍රයත් සමග බත් බෙදාගැනීමට පෝලිමට වී සිටියෝය. මම ඔහුට ‘මගේ මිත්‍රයා' යැයි පැවසුවද ඔහුත් සමග මෙතෙක් එක වදනක්වත් කතා කර නැත. එම නිසා මම ඔහුට ‘මගේ මිත්‍රයා' යයි ආමන්ත්‍රණය කිරීම කෙතරම් උචිතයි ප්‍රශ්නාර්ථයකි. මට මෙහි කසිදු මිත්‍රයෙක් නොමැති නිසා මෙසේ නමට හෝ මිත්‍රයෙක් සිටීම මගේ සිතට සහනයක් ගෙනදෙයි.

මම කෑමට හිඳගත් ස්ථානයට එහා පැත්තෙන් මගේ මිත්‍රයා අසුන්ගත්තේය. කෑම පැය අවසන් වූ පසු අපි නැවතත් අපගේ කාමර වෙත පියනැග්ගෙමු.

“මගේ නම සරත්. දුවගේ මනුස්සයා මං අතින් නැතිවුනහඬයි මම මෙහාට ආවේ” අවසානයේ ඔහු කතා කිරීමට පටන් ගත නිසා එය මගේ සිතට මහත් න්දහසක් ගෙන දුන්නේය.

“මම සමන්. මම දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. තව අවුරුදු දහයක් විතර ඉතුරුයි” මම මා ගැන කීමට පටන් ගත්තෙමි.

“ඇයි ඔයා දුවගේ මනුස්සයව මැරුවේ?”

“ඒ මනුස්සයා කොහොමත් මගේ දුවට ගැලපුන කෙනෙක් නෙමේ. බදිද්දිත් මම ඒකට විරුද්ධ වුනා. දවසක් දුව ගෙදර නැති අතරේ වෙන ගෑනියෙක් එක්ක මට ඔය මනුස්සයව අතටම අහුවුනා. එවෙලේ මම ටිකක් බීලත් හිටියේ. එතනදී රණ්ඩුවක් වෙලයි මේ දේ උනේ.” යැයි මගේ මිත්‍රයා කීය. ඔහු එය පවසන විට ඔහුගේ මුවෙහි කිසිදු පසුතැවිල්ලක ලකුණක් නුදුටුවෙමි. මෙහි අනෙක් අයගේ පාපෝච්චාරණ අසා සිටිනවාට වඩා මෙය වෙනස් අත්දැකීමක්. සාමාන්‍යයෙන් පාපෝච්චාරණයකදී තමන් කල දේ ගැන පසුතැවිලි නොවන අය සිටින්නේ ඉතා කලාතුරකිනි. මගේ මිත්‍රයත් එයින් කෙනෙක්.

“මට හිතෙන විදිහට ඔයා කරපු දේ හරි. එහෙම මනුස්සයෙක් එක්ක කොහොම පවුල් කන්නද?” යයි කියමින් ඔහුගේ කීම මම සනාථ කර සිටියෙමි.

“ඔයා කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද?”

“මම අද විතරයි ඉන්නෙ. හෙට වෙනම කාමරයකට මාව මාරු කරයි. එතනින් සතියකට පස්සේ මාව එල්ලලා මරලා දායි. ගිය අවුරුද්දේ එල්ලුම් ගහත් ගෙනාවනේ” යැයි මගේ මිත්‍රයා මරණයට කිසිදු බියක් නොමැති අයෙක් සේ කිවේය.

“ඔයා මැරෙනවට බය නැද්ද?”

“මම මොකටද මැරෙනවට බය වෙන්නේ. මට බය එක දෙයක් ගැනයි. ඒ මගේ දුව ගැන. මට ඉන්නෙ එයා විතරයි. එයාට දැන් ඉන්නෙත් මම විතරයි. එයා ආයෙම කලින් කරගත්තා වගේ වැරද්දක් කරගත්තොත්”

“නෑ. එහෙම වෙන එකක් නෑ. එයා දැන් පාඩමක් ඉගෙනගෙනයි ඇත්තේ” යැයි ඔහුව අස්වැසීමට සිතා මම කීවෙමි.

“ මගේ දුව හිතන්නේ මම එයාගේ පවුල විනාශ කරා කියලා. එත් මම දැන් කිව්වා කියලා හිතාගන්න, එයා කවදාහරි මට පිං දෙයි මම මේ කරපු දේට” මගේ මිත්‍රයා දැඩි අධිෂ්ටනයකින් යුතුව කියා සිටියේය.

“එහෙනං ඒ නිසයි ඔයාගේ දුව ඔයා බලන්න ආවෙ නැත්තේ”

“ඔව්, දුව විතරක් නෙමේ ගමේ අයත් හිතන්නේ මමයි වැරදිකාරයා කියලා. එත් ගමේ මිනිස්සු හිතන විදිහ මට වැඩක් නැහැ. මම මැරෙන්න කලින් වතාවක් හරි දුව දකින්න තිබුනොත් ඇති.”

“ඔයාට දුවව ආයෙත් දකින්න පුළුවන් වෙයි කියලා මට හරියට කියන්න බැහැ. හැබැයි එයා කවදාහරි ඔයාව තේරුම් ගනීවි”

සංවාදය එතනින් එහාට ඇදී ගියේ නැත. ඔහුට තවත් කතා කිරීමට කැමැත්තක් නැති බව මට වැටහී ගිය අතර හේ රාත්‍රී ආහාරය ද ප්‍රතික්ෂේප කළේය. දිනය ගෙවී ගියේය.

මාස කිහිපයක් ගතවිය. මගේ කාමරයට තවත් අයෙක් මෙදින පැමිණියේය. හේ පැසුණු කොණ්ඩයක් සහිත අයෙක් වූ අතර ඔහුට තිබුනේ කෙසඟ සිරුරකි. ආ වෙලේ පටන් මොහු සිටියේ දැඩි කල්පනාවකිනි. කාමරයේ තිබුණු දැඩි නිහඩතාව බිඳීමට සිතූ මා ඔහුත් සමග කතා කිරීමට තීරණය කලෙමි.

“මම සමන්. ඔයා කව්ද? ඇයි මෙහාට ආවේ?”

එකවරම ඔහු මා දෙස බලා තත්පර කිහිපයක්ම ඒ අයුරින් සිටියේ ය. ඒ මගේ ප්‍රශ්න වලට උත්තර බැදීමෙන් පලක් නැහැ කියන්නා සේය. නමුත් අවසානයේ ඔහු නොසිතූ අයුරින් මුව විවෘත කළේය.

“මම ජගත්. හොරකන් කරලා ඒ ගෙදර ගැනිවත් මරුවා”

නමුත් මොහුව දුටු විට එවැන්නක් කල අයෙක් ලෙස කිසිසේත් පෙනෙන්නේ නැත. එමනිසා මම ඔහුගෙන් පැමිණි කාරණය ගැන තවත් ප්‍රශ්න කලෙමි. එවිට ඔහු;

“මේක මම කරපු දෙයක් නෙමේ. මගේ බෑනගේ වැඩක්. එයා ඉස්සරත් එහෙමයි. හැදෙයි කියලා හිතුවා. ඒත් හැදිලා නැහැ. මෙකෙන්වත් හැදෙයි.”

“ඉස්සරත් එහෙමනං ඔයාගේ දුවට එයාගෙන් දික්කසාදය අරගන්න තිබ්බනේ. ඔහොම ඉන්නකොට දීග කන්න පුළුවන්යෑ”

“දුවගේ එලේවල් දවස් වලදී මේ මනුස්සයා නිසා දුවට ළමයෙක් හම්බෙන්න උන්නා.මේ මනුස්සයා දුවට වඩා අවුරුදු 13 ක් ම වැඩිමල්. ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්න ලජ්ජා නිසා මේ දෙන්නව බැන්දුවා. පස්සෙයි දැනගත්තේ මෙයාට තව ගෑනියෙක් ඉන්නවා කියල. ඒත් එයනන් කිව්වා ඒ ගෑනිව අත් අරිනවා කියලා. දුවගේ අම්මා මරුනෙත් මේ සිද්ධි දරාගන්න බැරුව. ඔය අතරේ තමා හොරකන් සිද්ධියට අර මනුස්සයා අහුවුනේ”

“ඇයි ඉතින් ඔයා වැරැද්ද බාර ගත්තේ? ඒ මනුස්සයට හොද පාඩමක් උගන්නන්න තිබ්බ වෙලාවක්නෙ ඒක”

“කොච්චර වැරදි තිබුනත් දුව තවමත් ගන්නේ එයාගේ මනුස්සයාගේ පැත්ත. එයා හිරේ ගියොත් දුව මැරෙනවා කියල කිව්වා. මට කාටවත් වඩා වටින්නේ මගේ දුවව. ඒ නිසයි වැරදි මම භාරගත්තේ.”

“ඒත් ඔයා හිතනවද දුවට අර මනුස්සයා එක්ක හොදින් ඉන්න පුළුවන් වෙයි කියල. ඇරත් ඔයත් නැතුව”

එම පැනයට මට ඔහුගෙන් පිළිතුරක් ලැබුනේ නැත. නැවත නැවතත් මම එම ප්‍රශ්නය ඔහුට කීවත් ඔහු දිගටම සිටියේ මුනිවත රකිමිනි. ඊටපසු දින කිහිපයේම මම ඔහුත් සමග කතා කිරීමට උත්සහ කල අවස්ථාවන් වලදී ඔහු තනි වචනයෙන් දෙකෙන් පිළිතුරු දී සංවාදය අවසන් කල නමුත් පෙරදී මෙන් පැහැදිලිව කතා කලේ නැත.

සති දෙකක් පමණ ගතවූ පසු කාකි ඇදුමින් සැරසුණු දෙදෙනෙක් සහ සුදු කලිසමක් සහ සුදු කමිසයක් ඇදගත් අයෙක් මගේ කාමරයට පැමිණියේය.

“වෙලාව හරි” යැයි එක තරබාරු නිලධාරියෙක් පවසා සිටියේය.

එවිටම මා අසල සිටි පුද්ගලයා නැගිට වටපිට බලා ඔවුන් වෙත ගියේය. කාමරයේ දොර අසලටම ගොස් ඔහු මා දෙස බැලීය.ඔහුගේ දෑස කඳුලින් තෙත් වී තිබුණු අතර දෑත් වෙව්ලමින් තිබුණි. කටහඬ අවධි කල ඔහු කැඩුණු ස්වරයෙන්;

“මගේ දුව හොදින් ඉඳියි නේද මහත්තයෝ” යැයි පවසා පිටවී ගියේය.