Tuesday, July 9, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [1] අතුරු මිතුරු දඹදිව තුරු




ගජනායක ඉස්කෝලෙ මහත්තයා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකි. ඔහු විශ්‍රාම ගත් පසුත් වසර හතලිහක් තිස්සේ කල ජීවිකාව වූ ගුරු වෘත්තියට තිත තැබීමට නොහැකි විය. එමනිසා ගමේ සිටින ළමුන් හවස් වරුවේ වලව්වට ගෙන්වා නොමිලයේ ඉගැන්වීම පටන් ගත්තේ විශ්‍රාම ගත් දාට පසු දා සිටමයි. මෙම පන්තියේ සිටින ප්‍රසන්න සහ නිමාලි සහෝදර සහෝදරියන් ය. සහන් ,නිසල් සහ කමනි පන්තියේ අනික් සාමාජිකයන් ය. මේ සියලුම දෙනා කුඩා පන්තිවල සිටින ළමුන් ය. දැන් මෙම පන්තිය පටන් ගෙන මාසෙකට වඩා වැඩි ය. සුදු සරමකින් සහ කමිසයකින් සැරසුනු ගජනායක ඉස්කෝලෙ මහත්තයා පන්තිය ආරම්භ කිරීමට වලව්වේ ඉස්තෝප්පුවට පැමිණියේ ය.

මෙසේ පැමිනෙන විට පන්තියේ ළමුන් සියලු දෙනා අත් බිම තබා සෙල්ලම් කරමින් සිටියෝ ය. “අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා, අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා, ඉහල ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා…” යැයි කියන විටම ඉස්කෝලෙ මහත්තයා ඉස්තෝප්පුවේ දොර අසලට පැමිණියේ ය.

ඉස්කෝලෙ මහත්තයා - ළමයි සෙල්ලම් කරනව වගෙයි

ප්‍රසන්න - ඉස්කෝලෙ මහත්තයා එන්න පරක්කු උන නිසයි ටිකක් සෙල්ලම්කලේ

ඉස්කෝලෙ මහත්තයා - ඔය සිංදුව සම්පූර්ණයෙන්ම කියන්න දන්න කෙනෙක් ඉන්නවද?

කමනි - (අත ඉහළට ඔසවන ගමන්ම) මම දන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - එහෙනන් කියමුකො බලන්න

කමනි - අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා
            අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
            ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
            උස කොල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේලියයි
            කුකුළා කපලා වැට මුල්ලේ කිකිළි කපලා දොර මුල්ලේ
            කළු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළු ලනතුරු
            බලා ඉදින් හෙට්ටියෝ….

ඉස්කෝලෙ මහත්තයා - දැන් කියන්න බලන්න කව්ද මේකෙ තේරුම දන්නෙ

(පන්තියේ කිසිවකුගෙන් මෙය පිළිතුරක් ලැබුනේ නැත. ඒ වෙනුවට ඔවුන් පුදුමයෙන් එකිනෙකා දෙස බලාගත්තෝ ය.)

කමනි - දන්නෙ නෑනෙ සර්.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එහෙනන් අහගන්න. ලංකාව අල්ලගෙන හිටියා බටහිර ජාතීන් තුන්ගොල්ලක්. දන්නවද ඒ කව්ද කියලා.

සහන් - ඒක දන්නවා සර්. පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රීසි

ඉස්කෝලෙ මහත්තයා - 

හරියටම හරි. ඔතනින් පලවෙනියෙන්ම ලංකාවට සේන්දු උනේ පෘතුගීසි. ඒ දවස්වල ලංකාව කොටස් තුනකට කැඩිලා තිබුනේ. එකක් කෝට්ටේ. අනිත් දෙස තමා උඩරටයි යාපනය යි. මෙන්න මේකාලෙ කෝට්ටෙ හිටියෙ හය වන විජයබාහු රජතුමා. රජතුමා දේවරාජ කියන කුමාරයෙක්ට රජ කම දෙන්න යනවයි කියලා දැනගත්තු රජතුමාගෙ පුත්තු තුන්දෙනා රජතුමාව මරලා කෝට්ටෙ තුනට බෙදාගන්නවා. මේකට තමා ‘විජයබා කොල්ලය’ කියල කියන්නෙ. අර කලින් කිව්ව පුත්තු තුන් දෙනා තමයි බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ. බුවනෙකබාහුට තමයි විශාලතම කොටස වෙච්ච කෝට්ටේ හම්බවෙන්නෙ. එයා රජ වෙනවා හත්වෙනි බුවනෙකබාහු විදිහට. රයිගම , රයිගම් බණ්ඩාර ලබාගන්නවා. සීතාවක ලැබෙන්නේ මායාදුන්නේ ට.

මේ තුන් දෙනාගෙන් මායාදුන්නේ කියන්නේ දක්ෂ රණකාමියෙක්. පෘතුගීසීන්ව ලංකාවෙන් අතුගාලා දාන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්. එයා වගේම තමයි එයාගෙ පුතා ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයාගේ දක්ෂකම පෙන්නපු හොදම අවස්ථාවක් තමයි ‘මුල්ලේරියා සටන’. මේ සටනෙදි පෘතුගීසීන් 1600ක් මිය ගියා කියලයි කියන්නෙ.

කමනි - සර්, ටිකිරි කුමාරයා ගැන කියවෙන කවියක් තියෙනවා නේද? අපිට ඉස්කෝලෙ කියලා දුන්නා.

ඉස්කෝලෙ මහත්තයා - කියමුකො බලන්න කට්ටියටම ඇහෙන්න

කමනි - කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා
            යුදට උපන් කුමරා යයි නමක්‌ ඇතිවුනා
            පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා
            ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා

ඉස්කෝලෙ මහත්තයා - 

ටිකිරි කුමාරයා රාජසිංහ රජ්ජුරුවෝ කියලයි රජ වෙන්නේ. රාසිං දෙයියෝ කියලා ඒ පළාත්වල උදවිය කියන්නෙත් මේ රජතුමාටම තමයි. රාජසිංහ රජතුමා ශිව ආගම වැළද ගන්නවා අන්තිමකාලෙ. ඒකට හේතුව් වෙන්නෙ ඉන්දියාවෙ ඉදන් ආපු ‘අරිට්ට කී වෙණ්ඩු’ කියන ආඬි ගුරෙක්. රජතුමා මැරෙන්නේ විෂ උණ කටුවක් කකුලෙ ඇනිලා. හැබැයි ඉතිහාසය කියවද්දි නන් අපිට හම්බෙන්නෙ රාජසිංහ රජතුමාගෙ මුණුබුරා වෙච්ච රාජසූරිය කුමාරයාගෙයි දොඩම්පෙ ගණිතයාගෙයි කුමන්ත්‍රණයකින් රජතුමාට මැරුණා කියලයි. මේ ගැනත් කවියක් තියෙනව මෙහෙම,
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියා ය 
නපුරු උණ කටුව පතුලේ ඇනුනා   ය 
එක්ව සිටි සැවොම වට වී මතුළා   ය
රාජසිංහ දෙවි නාමේත් මැකුණා   ය

අරිට්ට කී වෙණ්ඩු ට තමා ‘මනම්පෙරුම මොහොට්ටි’ කියල කියන්නෙ. මේ මොහොට්ටි කියන ගෞර නාමය දුන්නෙත් රාජසිංහ රජතුමා තමයි. රාජසිංහ රජතුමාගෙ මරණෙන් පස්සෙ මුණුබුරා වෙච්ච රාජසූරිය රජවෙනවා. රාජසිංහ රජතුමාගේ සහෝදරියක් වෙන මහ බිසෝ බණ්ඩාර අරිට්ට කී වෙණ්ඩු එක්ක කුමන්ත්‍රණය කරලා රාජසූරිය රජතුමාව මරණවා.

ප්‍රසන්න - රජ වෙන්න තියෙන උවමනාවට එකම පවුලෙ අය මරාගන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවෝ බල ලෝභය කියන්නෙ හරිම භයානක දෙයක්. ඒ ලෙඩේ හැදුනොත් අම්මා තාත්තව මරලා හරි තමන්ට ඕන දේ ලබාගන්නයි ආශාව තියෙන්නෙ. ලංකාවෙ ඉතිහාසෙ ඕනතරම් උදාහරණ තියෙනවා. ඔය ළමයි කලා වැව දැකලා තියෙනවද?

ළමුන් සියලුම දෙනා - ඔව්…

ඉස්කෝලෙ මහත්තයා - 

කලා වැව හැදුවෙ ධාතුසේන කියන රජතුමා. කලා වැවේ වැව් බැම්මට තියලා මැටි ගහලයි ධාතුසේන රජතුමාව මරන්නේ. හොදයි දැන් අපි ආයෙම කතාවට එමුකෝ.

දැන් රජ වෙන්නේ මහ බිසෝ බණ්ඩාරගෙ පුතා ‘නිකපිටියේ බණ්ඩාර’. මෙයා තවම අවුරුදු පහේ පොඩි දරුවෙක්. එහෙම කෙනෙක්ට පුලුවන් යැයි සීතාවක පාලනය කරන්න. ඉතින් සීතාවක පාලනය කරන්න මහ බිසෝ බණ්ඩාරට උදව් වෙන්නේ අරිට්ට කී වෙණ්ඩු. ඔන්න ඔයකාලෙ දියොගු ද සිල්වා කියන පෘතුගීසි නායකයා එක්ක එනවා සේනාවක් සීතාවක අල්ලන්න. අවුරුදු පහේ ළමයෙන් රජ වෙලා ඉන්නෙ කියලා දැනගත්ත නිසා එයාලා හිතුවා සීතාවක නිකන්ම අල්ලගන්න පුලුවන් වෙන් කියල. ඒත් අරිට්ට කී වෙණ්ඩු මේ මේ සේනාවට පහර දීලා පලවා හරිනවා.

මහ බිසෝ බණ්ඩාරට හිටියා තව දුවෙක්. මේ දුවටත්  රාජ්‍ය උරුමයක් තියෙන නිසා අරිට්ට කී වෙණ්ඩු ඇයව විවාහ කරගන්න අහනවා. මේකට මහ බිසෝ බණ්ඩාර කැමති වෙන්නෙ නැහැ. මේක දැනගත්තු මහ අතපත්තුවේ දොළොස් හමුදාව භාර අතපත්තු ආරච්චි අරිට්ට කී වෙණ්ඩු ට කැලෑ පත්තරක් ගහනවා. ඒ තමයි පාරෙ යන එන කොට එයාට අපහාස වෙන විදිහට කවි ගායනා කරන එක. එහෙම තමයි ‘අතුරු මිතුරු දඹදිව තුරු’ කවිය කරලියට ආවෙ.

නිසල් - අපි හැමතිස්සෙම මේ සෙල්ලම කරාට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.

නිමාලි - දැන් එතකොට අරිට්ට කී වෙණ්ඩු ට අන්තිමට මොකද උනේ?

ඉස්කෝලෙ මහත්තයා -

අරිට්ට කී වෙණ්ඩු යනවා පෘතුගීසීන් ගාවට. ගිහිල්ලා කියනවා සීතාවක අල්ලලා දුන්නොත් එයාලට පක්ෂපාතීව ඉන්නවා කියලා. ඊට පස්සෙ නමත් වෙනස් කරනවා ‘ජයවීර බණ්ඩාර’ විදිහට. පෘතුගීසීන් එක්ක එකතුවෙලා සීතාවකට පහර දීලා සීතාවක අල්ලගත්තත් මහ බිසෝ බණ්ඩාරගේ දුව ව විවාහ කරගන්න අරිට්ට කී වෙණ්ඩු ට හැකියාව ලැබෙන්නෙ නැහැ. අන්තිමට පෘතුගීසීන් අරිට්ට කී වෙණ්ඩු පෘතුගීසීන්ව පාවා දෙයි කියල සැක හිතලා මරලා දානවා.


එහෙනන් අදට පාඩම ඉවරයි. හෙට තව පාඩමකින් හමුවෙමුකො...

18 comments:

  1. තාමත් අර කවිය සම්පූර්ණයෙන් තේරැම් ගන්න බැරි උනා තව ඩිංගක් පැහැදිලි කරපංකො මලයා ?

    ReplyDelete
    Replies
    1. කුකුළහෙයි කිකිළිගෙයි කොටස නම් මම හරියට දන්නෙත් නෑ... අරිට්ට කී වෙණ්ඩු සිංහලයට නම හැදෙද්දි සම්පූර්ණ නම තමයි 'මානප්පෙරුම රාජගුරු ප්‍රසාදි මොහොට්ටාල'. රාජගුරු කියන්නෙ රාජසිංහ රජතුමා දුන්න නම්බු නාමයක්. ඒක තමයි සිංදුවෙ 'රාජ කපුරු සෙට්ටියා' කියල තියෙන්නෙ.

      මෙහෙම කවියක් ගැන මහාවංශයෙ සදහනක් නම් නෑ. හැබැයි රාජාවලියෙ තියෙනවා. එතන තියෙන්නෙත් 'සිව්පදයක්' කියල මිසක් සම්පූර්ණ කවිය නෙමේ.

      Delete
  2. පළමුවෙනි කවිය සම්පූර්ණවත් දෙවෙනි කවිය මඳක් වෙනස්වත් ගීතයක තියෙනවා. ලෙස්ටර් මහත්තයා හැදුව 'සංදේශය' film එකේ. ගායනා කරන්නේ ධර්මදාස වල්පොල. හරිම මිහිරියි. වෙලාව තියෙ නං අහලා බලන්න 'කටේ කිරි සුවඳ යන්නට...'

    ReplyDelete
    Replies
    1. මම ඒ සිංදුව අහලා තියෙනවා... කොහොමත් පරණ සිංදු වලට වැඩියෙන් ආස නිසා එහෙම ඒවම තමා නිතර අහන්නෙ...

      Delete
  3. අනෙක තමයි අවිස්සාවෙල්ල තරම් ළඟක තිබිලත් trip යන අය සීතාවක රාජසිංහ මාලිගයත්, උණ පඳුරත් නොබලයි යනේ!

    ReplyDelete
  4. ඉන්දියාවෙ ආපු පාර්සි (පර්සියාවෙන් ඉන්දියාවට සංක්‍රමණය වුන ) වෙලෙන්දන් ගේ යාඥාවක් ඇහුන අපේ අය ඒ වෙලෙන්දන් ගැන කියපු එකක් කියල වැඩි දෙනා නොදන්න මතයකුත් තියනවා
    Ahura Mazda = අතුරු මිතුරු , ඒ අය චෙට්ටි ජනවර්ගයට නොවැටුනාට වෙලෙන්දන් නිසා අපේ අය ඒගොල්ලන්ටත් හෙට්ටි කියන්න ඇති .
    As I said it is only an obscure theory. Impossible to prove

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Ahura_Mazda

      Delete
    2. හෙට්ටි කියන වචනේ හැදිලා තියෙන්නේ සෙට්ඨි වලින්ද?

      චුල්ල සෙට්ඨි ජාතකය (පුංචි වෙටලන්දන් දෙන්නාගේ කතාව)

      Delete
    3. @anthoniyo bahijata

      හෙට්ටි වර්ග දෙකක් තියෙනවා... කොළඹ හෙට්ටි, නාට්ටුකුටි හෙට්ටි කියල... අරිට්ට කී වෙණ්ඩු නාට්ටුකුටි හෙට්ටියෙක්... මෙයාලා ගැන වෙනම ආටිකල් එකක් ලිව්වා පත්තරේට... බ්ලොග් එකේ දාපු එකේ ලින් එක පල්ලෙහා...

      https://wasithaya.blogspot.com/2018/05/blog-post_22.html?m=1

      Delete
    4. @pra jay

      ස්තූතියි ඔත්තුවට... මේ ගැන තව ටිකක් හොයන්න ඕන...

      Delete
  5. ඕක ටිකක් වෙනස් විදිහකටත් අහල තියනව

    ‘අතුරු මිතුරු දඹදිව තුරු
    රාජ කපුරු සෙට්ටියා…
    වරා ගහක් දුටින් බොලං..
    වරා ගහට ගිහිං බොලං…
    පුහු කලටිය නෙලිං බොලං…

    අලුත ගෙනා මනමාලී
    හාල් පතක් ගරාලා

    පරණ ගෙනා මනමාලී
    බටු කොරහක් කපාලා
    ඉහළ ගෙටත් බෙදාලා
    පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී…

    හරි එක මොකක්ද දන්නෙනෑ...

    ReplyDelete
  6. මිථිල අයියේ පුලුවන් නම් 1987 කම්කරු දින තහනම සහ අභයරමයේදි වුනු පොලිස් ප්‍රහාරය පිලිබද විස්තරයක් දාන්නකෝ

    ReplyDelete
  7. මම ඔයාගෙ මේ සමහර පෝස්ටි අරන් F.B එකේ දානවා. ඒකට කමන් නැද්ද සර්...

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අතුරු මිතුරු දඹදිව තුරු
    රාජ කපුරු හෙට්ටියා .........

    කට්ටිය හෙට්ටිල ගැන ලියන කොට මටත් ලියන්න හිතුන. ඒ මමත් හෙට්ටියෙක් නිසා. ඒ නිසා මම හෙට්ටිල ගැන ලියවිලා තියෙන පැරණි ලිපි හොයා හොයා කියෙව්ව. පළමුවෙන් කියන්න ඕන දේ තමයි මේ හෙට්ටිල පැරණි ජම්බුදීපයට සම්බන්ද පිරිසක්. (ජම්බුදීපය කොහේ තිබුනත්. ඉන්දියවේ හෝ ලංකා භුමියේ හෝ ) ඒ නිසානේ අතුරු මිතුරු දඹදිව තුරු කියන්නේ 😄.
    චුල්ල සෙට්ටි ජාතකයේ කියවෙන්නෙත් බුදුන් වහන්සේගේ කාලයේ හිටපු සිටු වරයෙක් ගැන. ඒ අනුව සෙට්ටි නම බුද්ධ කාලයට යනවා. සමහර විට බුද්ධ කාලයටත් බොහෝ පෙර කාලයකට යනවා වගේ. මම එහෙම කියන්නේ මේකයි. මේ "හෙට්ටි" කියන්නේ පුරාණ කාලේ හිටපු රජවරු දීපු තානාන්තරයක්. මේක කාගෙවත් පුද්ගලික නමක්වත්, එහෙම නැත්නම් ගමක නමක්වත් නෙවෙයි. මේකේ මුල් පාලි/ මාගදී වචනය සෙට්ඨෝ, "ශ්‍රේෂ්ඨ" හෝ "ශ්‍රේෂ්ඨයා" යන්නයි. "අග්ගෝ හමස්මින් ලෝකස්ස, ජෙට්ටෝ හමස්මින් ලෝකස්ස, සෙට්ඨෝ හමස්මින් ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දානී පුන භවෝ" කියන ගාථාව අහල තියෙනවනෙ. ඒකෙ සෙට්ඨෝ කියන වචනයෙන් කියන්නේ මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි කියන එකයි. ඒ අනුව සෙට්ඨෝ කියන පාලි /මාගදී වචනයේ තේරුම අපට ලැබෙනව. ඒක සිංහලට හෝ සකු බසට පෙරලිලා තමයි සෙට්ටි කියන එක හැදිලා තියෙන්නේ. තව දුරටත් ඒක බිඳිලා දැන් සිංහල හෙට්ටි වෙලා 😄. සමහර විට ජම්බුදීපයේ රජකම් කලා කියන රාම කුමරු / රජු වෙන්න පුළුවන් පළමුවෙන්ම සෙට්ඨෝ, "ශ්‍රේෂ්ඨා" කියන නම්බු නාමය / තාන්න මාන්නය දුන්නේ. ඒ රාම රාවණ යුද්ධයට සම්බන්ධ වෙලා ඉතිරිවුණ සෙනවියන්ට වෙන්න පුළුවන්.
    ඉස්සර ඒ ශ්‍රේෂ්ඨයන් හදපු ගම්බිම් බොහොමයක් තිබිල තියෙනවා. ඒවායින් කීපයක් අදටත් ලංකාවේ ඉතිරි වෙලා තියෙනවා. හෙට්ටිපොළ (ලංකාවේ ස්ථාන 2 ක), හෙට්ටිවත්ත(ලංකාවේ ස්ථාන කීපයක), අං හෙට්ටිගම, කුරුණෑගල මින්හෙට්ටිය, කෑගල්ලේ හෙට්ටිමුල්ල(අශෝක අධිරාජයා රජකම් කල පාටලීපුත්‍ර නගරය තිබෙන්නේ මේ අවට බවට සැකයක් තිබෙනවා), මාතර වැලිගම හෙට්ටි වීදිය මේ ආදී වශයෙන්. කොළඹ හෙට්ටි වීදියත්, උඩරට නායක්කර් රජවරුන්ට පෙර ජම්බුදීපයේ හෙට්ටි ගමක් වෙන්න පුළුවන්. තවත් විදිහකට කියනව නම් ජම්බුදීපයේ හෙට්ටින් සමාන වන්නේ ජපානයේ සමුරායිවරු, බ්‍රිතාන්‍යයේ නයිට්ස් වරු ආදින්ටයි. පසු කාලයේදී මේ සෙට්ටින් සිංහල සහ දෙමළ ජාතිකයින්ට මිශ්‍ර වුණා කියල හිතන්න පුළුවන්. නමුත් මුල් සෙට්ටින් හෙවත් ශ්‍රේෂ්ඨා වරුන් සිංහලවත් දෙමල වත් නොවෙයි. ජම්බුදීපවාසීන්. පසු කාලයේදී ජම්බුදීපය අවට ප්‍රදේශය මුහුදට යට වීම නිසාත්, යම් යම් යුධ කල කෝලාහල නිසාත්, මේ සෙට්ටි ජනයා භාරත දේශයටත් නේපාලය වැනි රටවලටත් සංක්‍රමණය වුණා කියල හිතන්න පුළුවන්. ඒ කියන්නේ අදටත් ලංකාවේ හෙට්ටින් සිටින අතර, භාරතයේ සෙට්ටි නමිනුත්, නේපාලයේදී ශ්‍රෙස්තා නමිනුත් සිටින්නේ මේ පිරිසයි. සමහර විට දකුණු ඉන්දියාව ප්‍රදේශයේත් දෙමළ ජනයාට මිශ්‍ර වූ සෙට්ටින් සිටින්නට පුළුවන්. වචනය දෙමළ ඌරුවට වෙනස් වී චෙට්ටි යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් වෙන්න පුළුවන්. ඔවුන් කොළඹට පැමිණ පදිංචි වූ විට කලම්බු චෙට්ටි යනුවෙන් හැඳින්වුවා වෙන්නත් පුළුවන්. තවත් ලියවිල්ලක කියනවා මේ සෙට්ටින් ජම්බුදීපයේ අශෝක අධිරාජයාට නෑදෑ වෙනවා කියල. ඒකෙ කියන විදිහට අශෝකත් සෙට්ටියෙක්ලු. සංගමිත්ත තෙරණිය සමග අනුරාධපුරයට පැමිණි සෙට්ටින්ලු මුලින්ම අනුරාධපුරය නගරය ගොඩනැගුවේ. සමහර විට අශෝකගේ රජ අනින් තවත් සෙට්ටින් පිරිසක් භාරතයට ගිහින් සාංචි, අමරාවතී වැනි වෙහෙර විහාර හදල එහේම පදිංචි වුණා වෙන්නත් පුළුවන්.
    මොහොට්ටි කියන නම හැදිලා තියෙන්නේ කන්ද උඩරට රාජ සමයේ හෝ පොළොන්නරු සමයේ වෙන්න පුළුවන්. ඒ මහ +හෙට්ටි කියන වචන දෙක එකතු වීමෙන්. පෙර කියන ලද ගම්වල (හෙට්ටිපොළ ආදී .... ) සිටි හෙට්ටි ගම් ප්‍රධානින් මහ හෙට්ටි නමින් හදුන්වා පසුව මොහොට්ටි වුණා. මොහොට්ටාල කියන්නේ, මොහොට්ටි කියන එකේ ගෞරවාර්ථය. රජ්ජුරුවෝ කතා කල විදිහ. කිව්ලේගෙදර මොහොට්ටි ඒකට උදාහරණයක්. මේ තමයි දැනට දන්නා කරුනු. තව කව්රුහරි දන්නවා නම් තව ලියන්න.

    ReplyDelete