Friday, December 6, 2019

රොඩී මිනිසා හා බ්‍රාහ්මණ තරුණයා (කෙටි කථාව)



අහවල් රජතුමාගේ යැයි හරිහැටි කිව නොහැකි කාලයක සිටි රොඩී මිනිසෙක් බත් මුළක් බැඳ ගෙන දුර ගමනක් යාම සදහා නික්මුණේ ය. ගමන යෑම සදහා කෙටි මගක් වන ලැහැබ තුලින් වැටී තිබුනු හෙයින් ඔහු ඒ මග තෝරා ගත්තේ ය. මෙය ගම්මුන් බොහෝ දෙනා විසින් නිතර නොවුනත් කලින් කලට භාවිතා කරන ලද කෙටි මාර්ගයකි. මොහු තම ගමන ආරම්භ කර තරමක් වේලා ගත වූ පසු ඔහුට අතර මඟ දී තරුණයෙක් හමුවිය. මෙම තරුණයා බත් මුළක් අතැතිව ගමන් කරන පුද්ගලයා කවරෙක් ද යන්න දැන ගැනීමේ නියාවෙන් ඔහුගෙන් මෙසේ විචාළේ ය;

“ඔයා කව් ද? කොහෙ ඉදන්ද එන්නෙ?”

“මේ කිට්ටුම ගමක ඉන්න රොඩී කුලයේ උපන්නෙක් මම” තමන් කවුදැයි නොසඟවා ඔහු කීය.

“කොයි පළාතෙ ඉඳන්ද එන්නෙ?” රොඩී මිනිසා තරුණයාගෙන් ඇසීය.

“මම උත්තර ප්‍රදේශයේ ඉහළම කුලයේ බ්‍රාහ්මණයෙක්” තරුණයා ඉතා ගර්වයෙන් යුතුව පිළිතුරු දුන්නේ ය.
“කොහෙද මේ යන්නෙ?” රොඩී මිනිසා ඇසීය.

“අපේ පවුලේ මංගල්‍යකට කැලයෙන් එහා තියෙන නගරයට යන ගමන්”

“ඉතින් ඇයි මේ පයින්ම?”

“මම මගේ ශ්වයත් එක්ක කැලය මැදින් එනකොට සොර මුලකට අසුවුණා. උන් සේරම මගෙ වස්තුව උදුරගත්තා”

“හරිම කණගාටුයි මට ඒ ගැන”

ඔවුන් දෙදෙනාගේ කථාව එතරම් දුර ඇදී ගියේ නැත. එසේ වූයේ බ්‍රාහ්මණ තරුණයා තම කුල ගර්වය තකා රොඩී ගැමියා සමග දොඩමළු වීමට කැමැත්තක් නොදැක්වූ නිසාවෙනි. එකල මිනිසුන් සිතා සිටියේ මහ බඹා විසින් බ්‍රාහ්මණයන්ව තම මුවින් නිර්මාණය කල බවත් රොඩියන්ව තම යටිපතුල් වලින් මැවූ බවත් ය. මේ හේතුවෙන් මෙම කුලීන මිනිස්සු කුලහීන මිනිසුන් සමග ආශ්‍රය තමන්ට ගෞරවයක් කොට සැලකූහ.

දෙදෙනා එතරම් කථා බහකින් තොරව වුවත් එකට ගව් ගණනාවක් ගමන් කළෝ ය. දෙදෙනාටම ගමන් විඩාව ඇති වූයෙන් අසල තිබූ ගස් සෙවනෙහි හිඳගත්හ. මේ අසළම කුඩා දොළ පාරක් වූයෙන් ගැමියා එයින් මුහුණ කට සෝදා තමන් ගෙනා බත් මුළ ලිහා ගත්තේ ය. තරුණයා අත කෑමට කිසිවක් නොමැති බව බත් මුළ ලිහා කෑමට සූදානම් වූ ගැමියා දිටීය.

මේ නිසා ගැමියා බත් මුළෙන් කොටසක් තරුණයාට දෙමින් “මං ගාව සෑහෙන්න බත් තියෙනවා. ඔයා මේක කන්න. බඩගිනිත් ඇතිනේ” යැයි කීය.

“මටනම් ඕක එපා. ගන්න ඕක අහකට!” යැයි බඩගින්නට වඩා කුල ගර්වය උසස් කොට සැලකූ ඒ බ්‍රාහ්මණ තරුණයා රොඩී ගැමියාගේ බත් පත ඉවත් කරමින් ගිගිරුවේ ය.

ගැමියා බත් කා අවසන් වූ පසු ඉතිරි බත් කොටස බැඳගෙන යළින් ගමන යෑම ඇරඹීය. තරුණයාත් ඔහුත් සමග නැවත ගමනේ යෙදුණි. හෝරා කිහිපයක් ගතවිය. නැවත මොවුන්ට බඩගින්න හා ගමන් විඩාව දැනුනු හෙයින් අසල වූ ගසක් අසල හිඳගත්තෝ ය.

පෙර පරිදිම අසල වූ දොළ පාරෙන් මුහුණ කට සෝදා ගත් ගැමියා තම බත් පත ලිහාගෙන එය කෑමට පටන් ගත්තේ ය. උග්‍ර බඩගින්නකින් පෙළුණු බ්‍රාහ්මණ තරුණයා මෙම ගැමියා තමන්ට කලින් වතාවේ මෙන් කෑමට ආරාධනා කරාවි යැයි සිතුවේ ය. නමුත් අවාසනාවකට එය සිදු වූයේ නැත. ගැමියා තම කෑම කා අවසන් වූ පසු ඉතිරි වූ ඉඳුල් අසලක තබා නිඳන්නට විය.

තවත් තමන්ට බඩගින්න ඉවසීමට නොහැකි වූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසා සියල්ල කා අවසන් වීමට මත්තෙන් ඉඳුල්වත් කෑ යුතුයැයි සිතීය. එසේ සිතූ බ්‍රාහ්මණ තරුණයා රොඩී මිනිසාගේ ඉඳුල් පත උදුරාගෙන කන්නට පටන් ගත්තේ ය.

ඉඳුල් සියල්ල කා අවසන් වූ පසු ඔහුගේ බඩගින්න සන්සිදුණි. නැවත ඔහුගේ කුල ගර්වය ඔහු තුල නැගීමට පටන් ගත්තේ ය. තමන් මේ සිදු කලේ තමන්ට නොතරම් දෙයක් යැයි හැඟුනු බ්‍රාහ්මණ තරුණයා තමා කෑ බත් ලේත් සමග වමාළේ ය.

ලේත් සමග තමන් කෑ සියල්ල වමාරන දුටු රොඩී මිනිසා බ්‍රාහ්මණ තරුණයා වෙත ගොස් ඔහු පිට අත තබා ඔහුට උපකාර කිරීමට සූදානම් විය.

“අත ගන්න අහකට! මට රොඩී මිනිස්සුන්ගෙන් උදව් එපා!”

තවමත් ඔහුගේ කුල ගර්වය තම ශරීර දුබලතා වලට උඩින් නැගී සිටියි. රොඩී මිනිසා ඔහුට උදව් කිරීමට කෙතරම් උත්සහ කරත් බ්‍රාහ්මණ තරුණයා එය ප්‍රථික්ෂේප කළේ ය. මෙය අවසන් වූයේ බ්‍රාහ්මණ තරුණයා සිහසුන්ව ඇද වැටීමෙනි. මෙය දුටු රොඩී මිනිසා වහා ඔහු වෙත දිව ගොස් අසල වූ දොළ පාරෙන් ජලය ගෙන තරුණයාගේ මුහුණට ඉස්සේ ය. නමුත් ඉන් කිසිදු පළක් නොවුණි. අවසානයේදී ඔහු තීරණය කළේ කෙසේ හෝ මෙම තරුණයාව උසුලාගෙන අසලම ගමකට බෙහෙත් ප්‍රථිකාර සදහා රැගෙන යාමට යි.

රොඩී මිනිසා තවත් ගව් කිහිපයක් බ්‍රාහ්මණ තරුණයාවත් උසුලාගෙන හැකි ඉක්මනින් අසලම පිහිටි ගම වෙත ගියේ ය. එහි ගොස් ගමේ වෙදැදුරු සොයා තරුණයාට ප්‍රථිකාර කරන ලෙස ඉල්ලීය.

“අනේ වෙද මහත්තයෝ මේ තරුණයාට බොහෝම අමාරුයි. පුලුවන් බේතක් කරලා හොද කරල දෙන්න”

“ඔයාගෙ කුලය මොකක් ද?”

“මම රොඩී කුලයේ”

“අපි රොඩී මිනිස්සුන්ට උදව් කරන්නෙ නැහැ. ඒක අපිට ගෞරවයක්” වෙදැදුරු ගැමියාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප කරමින් කියා සිටියේ ය. 

“අනේ එහෙම කියන්න එපා වෙද මහත්තයෝ මම හැම වියදමක් ම දරන්නම්. ඇරත් ඔබතුමාට බෙහෙත් කරන්න තියෙන්නෙ බ්‍රාහ්මණ තරුණයෙක්ට.” කියා වෙද මහත්තයා අත තමන් සන්තක වූ සියලු කාසි දුන්නේ ය.

“එයාට හොද වුනාට පස්සෙ ඔබතුමාට තෑගිබෝග බොහෝම ලැබේවි’

පුරා දිනයක් ගතවිය.

“මම මේ ඉන්නෙ කොහෙද?” බ්‍රාහ්මණ තරුණයා අවදි වූ විගස වටපිට බලමින් විචාළේ ය.

“වෙද මහත්තයාගේ ගෙදර ඉන්නෙ.” ඒ අසල සිටි කාන්තාවක් පිළිතුරු දුන්නා ය.

“මාව මෙහාට ගෙනාවෙ කව් ද?”

“ගැමියෙක් ඔයාව අරගෙන ආවෙ. ඔයා සිහසුන් වෙලා හිටියෙ”

“අර රොඩී මනුස්සය ද?”

“ඔව් එයා රොඩී කුලයෙ කෙනෙක් කියල කිව්වා. මුලදි අපේ වෙද ගුරුන්නාන්සේ බෙහෙත් කරන්න කැමති වුනේ නැහැ. හැබැයි ඒ රොඩී මනුස්සයා සල්ලිත් දීලා බැගෑපත් වුන නිසයි බෙහෙත් කරන්න ගත්තෙ”
තමන්ට බෙහෙත් කිරීමට රොඩී කුල මිනිසා මුදල් දුන් බව අසා බ්‍රාහ්මණ තරුණයා කෝපයෙන් කෑ ගසන්නට විය.

“ගලවන්න මේවා මගේ ඇගෙන්..! මට එපා රොඩියගෙ මුදලින් බෙහෙත්…!” යැයි තම ශරීරයේ ඔතා තිබූ ඖෂධ කොළ හා බෙහෙත් තෙල් ඉවත් කරමින් ගිගිරුම් දෙන්නට විය.


[මෙම කෙටි කතාව සදහා සත්තධම්ම ජාතකය ඇසුරු කරගත් බව සදහන් කල යුතුයි]

Saturday, November 30, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [7] සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි?


ඉස්කෝලෙ මහත්තයා - හොදයි එහෙනන් හෙට එනකොට ඇට්ලස් තියෙන අය අරගෙන එන්න ඕන

නිමාලි - මොකක්ද ඇට්ලස් එකක් කියන්නෙ?

නිසල් - සිතියම් පොතටනෙ නිමාලි ඇට්ලස් කියන්නෙ?

නිමාලි - ඇයි සර් ඉතින් සිතියම් පොතට ඇට්ලස් කියල කියන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - සිතියම් පොතට ඇට්ලස් කියන්නෙ ග්‍රීක මිත්‍යා කථාවක ඉන්න චරිතයක් නිසා. ග්‍රීක මිත්‍යා කථා වල ඉන්නවා ටයිටන්ලා කියලා අමරණීය යෝධ මිනිස්සු කොටසක්. සියුස් පොසයිඩන් වගේ ග්‍රීක දෙවිවරු එන්නත් කලින් ලෝකෙ පාලනය කලා කියන්නෙ මේ ටයිටන්වරු. මෙයින් හිටපු ටයිටන් කෙනෙක් තමා ‘ඇට්ලස්’ කියන්නෙ. ඇට්ලස් ග්‍රීක දෙවිවරුන්ට විරුද්ධව කැරැල්ලක් එති කරපු නිසා දෙවියන්ගෙත් රජ්ජුරුවො උන සියුස් දෙවියො ඇට්ලස්ට දඬුවමක් දෙනවා. අහසෙ තිබ්බ දිව්‍යලෝකය කර උඩ තියාගෙන උස්සගෙන ඉන්න වුන එකයි ඇට්ලස්ට ලැබුනු දඬුවම. මේක කාලයත් එක්ක සමහර පොත් වල ලියවුනා සියුස් ඇට්ලස්ට දුන්න දඬුවම වුනේ පෘථිවිය කර උඩ තියාගෙන ඉන්න කියල. ඇට්ලස් පෘථිවියම කර උඩ තියාගෙන ඉන්න නිසයි සිතියම් පොතට ඇට්ලස් නම ලැබුනෙ.

කමනි - ග්‍රීක මිත්‍යා කථා වල හරි ලස්සන කථා තියෙන්නෙ.

ප්‍රසන්න - ඇට්ලස් කියල කන්දකුත් තියෙනවනේ. ඉස්කෝලෙ භූගෝල විද්‍යාවට කියල දුන්නා මතකයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො මොරොක්කෝ වල තියෙනවා ඇට්ලස් කියල කදු පන්තියක්. ඒකට නම ලැබිලා තියෙන්නෙත් කලින් කිව්ව ඇට්ලස් නිසාම තමා. එක ග්‍රීක මිත්‍යා කථාවක තියෙනව පර්සියස් කියන වීරයා මෙඩූසගේ හිසෙන් ඇට්ලස්ව ගල් කරා කියල. ඇට්ලස් යෝධයෙක් නිසා කාලයත් එක්ක එයා කන්දක් උනා කියලයි කථාවෙ තියෙන්නෙ.

නිසල් - මෙඩූසා කියන්නෙ අර ඔලුව වටේට නයි පෙන තියෙන ගෑනු කෙනානේ

සහන් - ඔව් එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන කෙනෙක් ගල් පිළිමයක් වෙනවලු

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි ග්‍රීක මිත්‍යා කථා වලට ආසයි වගේ..

සහන් - මම නම් ගොඩක් ආසයි. ග්‍රීක දෙවිවරු ගැන කථා අහන්න. සර් කැමති ග්‍රීක දෙවි කෙනෙක් ඉන්නවද?

ඉස්කෝලෙ මහත්තයා - ග්‍රීක දෙවිවරුන්ගෙන් මම කැමති දෙවිකෙනෙක් නම් ඉන්නවා. හැබැයි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙමේ. හැබැයි මම හිතන්නෙ ග්‍රීක දෙවිවරුන්ගෙන් එයා වැදගත්ම කෙනා කියල. එයා තමා ‘හෙස්ටියා’ කියන දේවතාවිය. මෙයා සියුස්ගේ සහෝදරියක්. ඉස්සර කාලෙ හැම ග්‍රීක නගරයකම පාහේ තිබුනා විශේෂ ගිනි මැලයක්. මොනම හේතුවක් නිසාවත් මේ ගිනි මැලය නිවෙන්න දෙන්නෙ නැහැ. නගරෙ ඉන්න මිනිස්සු රෑට මේ ගිනි මැලය ගාවට ඇවිත් එදා දවස ගැන අනිත් අයත් එක්ක කතා කරා. දැකපු පුදුම දේවල්, ඉස්සරහට කරන්න යන දේවල් කතා කරා. එතනදි මේ මිනිස්සු තමන්ට තේරුම්ගන්න බැරි පාලනය කරන්න බැරි දේවල් වලට නමක් දැම්මා ‘දෙවියන්’ කියල. හැම දෙවි කෙනෙක්ගෙම චරිත ලක්ෂන හැඩගැහුනෙ මේ කතාබස් වලින්. මේ ගිනි මැලය සම්බන්ධව හිටිය දේවතාවිය තමා ‘හෙස්ටියා’ කියන්නෙ. පවුලයි සමාජයටයි හෙස්ටියා මුල්තැන දෙන්නෙ.

අද ගත්තොත් පවුලෙ උදවිය එකට එකතු වෙලා කෑමක් ගන්න වෙලාවක්වත් තියෙනවද? පවුලෙ අය දවසට සැරයක් එකතු එලා ‘අද ඔයාගෙ දවස කොහොමද?’ කියල අහනවද? එදා ගිනි මැලයෙ සංස්කෘතිය අද සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා තියෙන්නෙ. ඉතින් එහෙම බලද්දි එදා හෙස්ටියා කලේ සුළු පටු දෙයක් නෙමේ.


Thursday, November 28, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [6] සියම් නිකායෙ උපසම්පදාව ගොවිගම කුලයට සීමා වුණේ ඇයි?

නිමාලි - මම ඊයෙ පත්තරේ දැක්කා ගොවිගම කුලයෙ අයට පැවිදි වෙන්න ආරාධනා කරන දැන්වීමක්. ඉතින් ගොවිගම කුලයෙ අයට විතරද පැවිදි වෙන්න පුලුවන්?

ඉස්කෝලෙ මහත්තයා - බුදුන්වහන්සේ වසල සූත්‍රයේ කියන්නෙ; “මිනිසෙකු උපතින් බ‍්‍රාහ්මණයෙකු වන්නේවත්, වසලයෙකු වන්නේවත් නැත. ක‍්‍රියාවෙන්ම මිනිසෙක් බ‍්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේය.කියලයි. ඉතින් බුදු බණට අනුව මහන දම් පුරන්න කුලයක් අදාල වෙන්නෙ නැහැ. තව ගත්තොතින් උපාලි සූත්‍රයෙ මෙහෙම තියෙනවා. බුදුන්ගෙ කාලයේ හිටපු ජෛනයෙක් වෙච්ච උපාලි ගෘහපතියා බුදුන්වහන්සේ සරණ යනවා. බුදුන් සරණ යන්න කලියෙන් මේ උපාලි ගෘහපතියා ජෛන නිගන්ඨයින්ට ආධාර උපකාර කරපු කෙනෙක්. ඉතින් බුදුන්වහන්සේ උපාලි ගෘහපතියාට කියනවා මෙහෙම; ‘‘ගෘහපතිය, ඔබගේ ගෙය නිගණ්ඨයන්ට බොහෝ කලක් පැන් පොකුණක් මෙන් විය. එම නිසා, ඉදිරියටත් ඔවුන්ට ඒ අන්දමින්ම සංග‍්‍රහ කළ යුතුය.’’ කියල. බුදුන්වහන්සේ කුල ජාති වලින් මිනිස්සු මැනපු කෙනෙක් නෙමේ. අද කවුරුහරි එහෙම කරනවනම් ඒක සම්පූර්ණයෙන් බුදු බණට විරුද්ධයි.

සහන් - තවම ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන නිකායන් තියෙනවද?

ඉස්කෝලෙ මහත්තයා - සියම් නිකාය තුල උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයව විතරයි.

සහන් - ගොවිගම කුලයෙ අයව විතරක් උපසම්පදා කරන්න ඕන කියලා ආවෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා - පෘතුගීසීන් ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ බුද්ධ ශාසනේට ලැබුවෙ හොද කලක් නෙමේ. ඒ ගැන කලින් දවසක කියන්න ඇතිනෙ. උපසම්පදාව ලංකාවෙ නැති වෙලා තිබුනු කාලෙක සරණංකර හාමුදුරුවො සියමෙන් උපසම්පදාව ගේන්න මූලිකත්වය ගන්නවා. කිහිප වතාවක්ම උත්සහ කරත් අසාර්ථක වෙලා අන්තිමේට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙ උපසම්පදාව සියමෙන් ගේනවා. සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරයත් හම්බෙනවා. මේකෙදි කුල බේදයක් නැතුවයි සාමණේරයන් වහන්සේලාව උපසම්පදා කරන්නෙ. සරණංකර හාමුදුරුවොත් උපසම්පදාව ලබන්නෙ මේ අවස්ථාවෙදි උපාලි තෙරුන්ගෙන්. මේ සියම් නිකායට අයිති වෙනවා මල්වත්ත හා අස්ගිරි කියන පාර්ශව දෙක.

දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර හාමුදුරුවන්ව බැහැදකින්න පුෂ්පාරාමයට යනකොට මලුවෙ සක්මන් කරමින් හිටපු ස්වාමින්වහන්සේලා කිහිප නමක් රජතුමා හමුවෙන්න ආවා. හැබැයි එක ස්වාමින් වහන්සේ නමක් ලඟ තිබුනු කාණුවකට බැහැලා බයාදුකමින් ගැහි හැහී රජතුමාට ආචාර කරා. රජතුමාට මේකට ගොඩක් කේන්ති ගියා. පස්සෙ හොයල බැලුවම මේ ස්වාමින්වහන්සේ පදු කුලයට අයිති ස්වාමින්වහන්සේ නමක්.

තවත් දවසක් රජතුමා පුෂ්පාරාමයට යනකොට මගුල් බෙර වයන සද්දයක් ඇහුනා. මේක ඇහිලා මොකක්ද මේ කියල බලන්න යනකොටයි දැක්කෙ පැවිද්දෙක් බෙර ගහනවා. හොයල බැලුවම ඒ හිටියෙ බෙරවා කුලයට අයිති පැවිද්දෙක්.අන්තිමේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අණ කරනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කියන උසස් කුලයෙ අයව විතරයි කියල.

නිසල් - ඒක හරිම අසාධාරණයිනේ…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවො.. සියම් නිකායෙ උපසම්පදා කලේ ගොවිගම කුලේ අයව විතරක් නිසා පහත් කුලවලට අයත් සාමණේරයන් වහන්සේලා එකතුවෙලා උපසම්පදා දෙකක් පවත්වනවා 1972 දී හා 1978 දී ඒ තොටගමුව විහාරෙදියි තංගල්ලෙදි යි. හැබැයි මේ උපසම්පදා දෙකම මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක පිළිගන්නෙ නැහැ. මේවා විනය නීති වලට පටහැනියි කියල තමා කීවෙ. ඔන්න ඔහොම ටික කාලයික් ගිහින් රජකමට පත් වුනු රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල.

කොහොමෙන් කොහොම හරි 1779 දී අඹගහපිටියේ ඥානවිමලතිස්ස හිමියි තව ස්වාමින් වහන්සේලා කිහිප නමකුයි බුරුමයේ අමරපුරයට ගිහින් උපසම්පදාව ආයෙම අරගෙන පිහිටවනවා අමරපුර නිකාය. මෙන්න මේ නිකායෙ කුල බේදයක් නැතුව උපසම්පදාව ලබන්න පුලුවන්. ඒ 1803 දී. අමරපුර නිකායත් පස්සෙ කාලෙ එක ක හේතු නිසා බෙදෙනවා. 1956 වෙද්දි අමරපුර නිකාය බෙදිල තිබ්බ කොටස් 21ම එකතුව් වෙලා සංඝ සභාවක් පිහිටුවනවා. මේ සංඝ සභාවෙ පලවෙනි සභාපති තමා බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ. තව අමරපුර නිකායට අමතරව කල්‍යාණි වංශ, ධම්මරක්ඛිත, සද්ධම්මයුක්තික නිකායනුත් ඇතිවෙනවා. අඹගහවත්තේ සරණංකර හිමියන් රාමඤ්ඤ නිකායත් පටන් ගන්නවා. මේවයේ ඕනම කුලයකට අයිති කෙනෙක්ට උපසම්පදාව ලබන්න පුලුවන්.

නිමාලි - ඒ කියන්නෙ ගොවිගම කුලයට විතරක් උපසම්පදාව ලබන්න පුලුවන් උනේ රජකෙනෙක්ගේ නියෝගයක් මිසක් බුදුන්වහන්සේ කිව්ව දෙයක් නිසා නෙමෙයි.

ඉස්කෝලෙ මහත්තයා - බුදු බණට අනුව කාටවත් තව කෙනෙක්ව ජාති අගම් කුල අනුව වෙන් කරන්න බැහැ. අද ගොඩක් මිනිස්සු සිරිත් විරිත් සංස්කෘතිය කියන ගොඩට මේවා දාලා මොනවත් හොයලා බලන්නෙ නැතුව පිලිපදිනවා. සිරිතක් විරිතක් හෝ සංස්කෘතික අංගයක් අවුරුදු ගානක් තිස්සෙ මිනිස්සු එකදිගට පිලිපැද්ද පලියට ඒක ‘නිවැරදි’ දෙයක් වෙන්නෙ නැහැ. අම්මා තාත්තා සීයා ආච්චි කරා කියලා නිවැරදි නොවන සංස්කෘතික අංග අපිත් කරන්න ඕන නැහැ. මේවා ඔය ලමයින්ට හොද පාඩම්…

සංස්කෘතියක් වෙනස් වෙනකොටයි ඒක රැකෙන්නෙ. ඒකත් හරි විදිහට වෙනස් වෙන්න ඕන. පොඩි උදාහරණයක් ගන්නම්, විවිධ යකැදුරෝ තොවිල් පවිල් කරනකොට කුකුළගෙ බෙල්ල කඩලා පුදනවා. හැබැයි බුදු සමය නිසා සිංහල යකැදුරා කුකුලගෙ කරමල විදලා ලේ බිංදක් අරගෙනයි තොවිලෙ කරන්නෙ. මේකටයි සංස්කෘතිය නිවැරදි විදිහට වෙනස් වෙනව කියන්නෙ.




Monday, November 25, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [5] ගණින්නාන්සේ


ප්‍රසන්න - සර්, මම මෑතකදී රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියෙව්වා. ඒකෙ තියෙනවා ගණින්නාන්සේ කියලා භික්ෂූ කොටසක් ගැන. මට ඒක ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕන.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ගණින්නාන්සේ කියන්නෙ දරුවො මහනුවර යුගයෙ වගෙ කාලෙ හිටපු දුශ්ශීල භික්ෂූන්ට. ‘ගණෙල්ලො’ ‘ගණවොලින්’ කියලත් මෙයාලව හදුන්වනවා. සිවුරක් ඇඳගෙන ඒකට උඩින් බඳ පටියක් බැඳගෙනයි සාමන්‍යයෙන් ගණින්නන්සේ කෙනෙක් හිටියේ. උන්නාන්ස්ලාට දරුමල්ලොයි බිරින්දෑවරුයි හිටියා. ළමයින්ට කීවෙ ‘ගණ ගැටයන්’ කියල. රොබට් නොක්ස් නම් කියන්නෙ එහෙම අඹුදරුවො ගණින්නන්සෙලාට හිටියෙ නැහැයි කියල. ඒත් ඇත්ත කාරනය තමා එහෙම හිටපු එක. පන්සලේම තමා මේ ගණින්නන්සේගේ පවුල හිටියෙ. ගමේ මිනිස්සු දෙන දාන වලින් තමා මේ පවුල් නඩත්තු වුනේ. ගණින්නන්සේලගේ ගෙවල් වලට ‘ගණේගෙදර’, ‘විහාරේගෙදර’; ‘ගණේවලව්ව’ වාගෙ එක එක නම් කිව්වා. ගණ්න්නාන්සේලාට නම් තිබ්බෙ උපන් ගමේ නම විතරක් මුලට යොදලා ‘ලබුතල ගණින්’, ‘වෙලඟේ ගණින්’, ‘වේහැල්ලේ ගණවොලින්’ වාගෙ නම්.

නිමාලි - එතකොට එයාලා බණ දේශනා කලේ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සලේ ඉඩම් පාවිච්චි කරගෙන ඉන්න ගමන් මිනිස්සුන්ට කීවා පන්සලට අයිති දෙයක් ගන්න් කෙනෙක් ප්‍රේතයෙක් වෙලා උපදිනවා කියල. ගොඩක් වෙලාවට ගණින්නන්සේලා දේශනා කරන්න පාවිච්චි කලේ ‘ජාතක කථා පොත’. වෙස්සන්තර වගේ ජාතකයක් තාලයට ගායනා කරලා ඒකෙ තේරුම කියල දෙන එකයි කලේ. ධර්ම දේශනා ගීතවත්ව ඉතිරිපත් කරන්නයි මේ ගණින්නාන්සේලා නිතරම වාගෙ උත්සහ කලේ. වෙස්සන්තර ජාතකයේ කවි එක් ගණින්නන්සේ කෙනෙක් ගායනා කරද්දි තවත් ගණින්නන්සේ කෙනෙක් උඩැක්කියක් වාදනය කරා. සමහරක් මිනිස්සුන්ට මේවා නොතේරුනාට එයාලා මේවට ගොඩක් ආසා වුනා.

නිසල් - එතකොට මේ ගණිනාන්සේලාට හරි මාර්ගය කියල දෙන්න කවුරුවක්වත් හිටියෙ නැද්ද?

ඉස්කෝලෙ මහත්තයා - මේ කාලෙ දරුවො ලංකාවෙ උපසම්පදා වෙච්ච භික්ෂුවක් හොයාගන්න බැරි එන තරමටම පිරිහිලයි තිබුනෙ. මේ කාලෙ ගණින්නාන්සේලා දන් වැළදුවෙත් පිඟානක. පිණ්ඩපාතය කියන්නෙ මොකක්ද කියලවත් දැනගෙන හිටියෙ නැහැ. දවසක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අස්ගිරි, පෝයමළු භික්ෂූන් මාළිගාවට ගෙන්නගෙන දානයක් දුන්නා. එතැනදි මේ භික්ෂූන් දානය වළදින්නෙ පාත්‍රයෙන් නෙමේ කියල රජතුමා දැක්කා. ඉතින් රජතුමා ඇහුවා මේ භික්ෂූන්ගෙන් අටපිරිකර කියන්නෙ මොනවද කියල. පාත්‍රය, පෙරහන, පටිය, තුන් සිවුර, කර කැත්ත, ඉදි කටුව කියන්නෙ පිරිකර ටට කියල කීව්වා. එහෙනන් පලවෙනි පිරිකර වෙච්ච පාත්‍රය දැන් කෝ කියල අහල රජතුමා මේ භික්ෂූන්ට පාත්‍රයෙන් දන් වළදන්න අණ කරා කියල කියනවා.

ඟැඩුඹස්වැවේ මුදලිඳුගෙ මුණුබුරෙක් වුන කවියෙක් මේ භික්ෂූක්ට නිවැරදි මාර්ගය පෙන්නන්න කියාලා ‘විනය සිවුපඳ කියල පොතකුත් ලියල තියෙනවා.

සහන් - මම අහලා තියෙනවා මේ ගණින්නාන්සේලා පොත් ලිව්වයි කියල.

ඉස්කෝලෙ මහත්තයා - මේ ගණින්නාන්සේලා භික්ෂූන්ගේ අඳුරු පරිච්ඡේදයක්විදිහට සමහර මිනිස්සු හිතුවත් උන්නාන්සේලාගෙනුත් සේවයක් වුනා. ඔය පරණ පොත පත අතුරුදහන් වෙන්න නොදී රැකගත්තෙ මේ ගණින්නාන්සේලා තමා. බණ පොත්, සිංහල සාහිත්‍ය පොත් ඉතිහාසෙන් නැතිවෙන්න නොදී ඒවා ලියල තියාගත්තා. ඔය පූජාවලිය වාගෙ පොත් තමා වැඩිමනක් ලියල තිබ්බෙ.

ඔය විතරක් නෙමේ මේ ගණින්නාන්සේලා අමුතුම බණකුත් කිව්වා. මේ බණ ගැන ‘ධර්මානිසංසය’ කියන පොතේ තියෙනවා. ඒකෙ කිව්වේ බුදුරජාණන් වහන්සේ කීව දහම් පදයක් ලිව්වොතින් එක අකුරකට නවදස් කෝටියක දිව්‍යලෝක සැප විදින්න පුලුවන් කියල. බුදුරජාණන් වහන්සේ එහෙව් දෙයක් කියල තිබ්බෙ නැතත් ඒකෙන් හොදක් උනා. මිනිස්සු දිව්‍යලෝකෙ සැප විදින්න කැමති නිසා බණ පොත් පිටපත් කරන්න ගත්තා. ඔය ජෛන ආගමෙත් මේවගේම ඉගැන්වීමක් තියෙනවා. ඒකෙ කියන්නෙ අනෙක් ආගමකට අදාල පොතක් වුනත් පිටපත් කරන එක පිං පලදෙන ක්‍රියාවක් කියල.

දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ හිටියා පෝයමළු විහාරයේ කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ කියල හිමිනමක්. දෙවන රාජසිංහ රජතුමා ඇසළ පෙරහැර නවත්වපු එකට අඹන්වෙල රාල ඇති කරපු කැරැල්ලට අනුශාසනා කලේ මේ කොබ්බෑකඩුවෙ ගණින්නන්සේ.

නිමාලි - හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනෙ මේ වගේ දේකට වෙන්න ඇති නේද…

ඉස්කෝලෙ මහත්තයා - සිල්වත් භික්ෂුවකගෙන් ශාසනික ප්‍රතිපත්ත රැකෙනවා තමා. නමුත් රටයි ජාතියයි ආගමයි අන්තිම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක හිටිය මේ ගණින්නාන්සේලා සිවුරු හැරලා යනවට වඩා මේ කරපු සේවය වටිනවා. ඇරත් මේ කාලෙ ලංකාව වැටිලා තිබුනු තැන ගැන හිතනකොට භික්ෂුවක් ගණිනාන්සේ කෙනෙක් වෙච්ච එකට අපිට වරදක් කියන්නත් බෑ. කොහොමෙන් කොහොම හරි මේ තත්වෙ තිබුනු ලංකාවෙ බුද්ධ ශාසනේ හරි මාර්ගෙට ගත්තෙ අසරණ සරණ සරනංකර සංඝරාජ ස්වාමින් වහන්සේ. උන්නාන්සේ ගැන තවත් දවසක කියල දෙන්නම්කො…



Wednesday, November 20, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [4] සක්‍රයා සහ ගුත්තිල කාව්‍යය


ඉස්කෝලෙ මහත්තයා - හරි දැන් කියමු බලන්න ඊළඟට තියෙන කවිය

ප්‍රසන්න - කැර මිණි බරණ                 රැස්
රසින් සුර සැව්                සුවහස්
සුරන් සහ                     සහසැස්
නො කැර සිටියේ අහස් කුස හිස්

ඉස්කෝලෙ මහත්තයා - මේ කවිය එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. ගුත්තිල හා මූසිල තරඟය වෙලාවේ දෙවියන්ගේ මැණික් ආභරණ වලින් පිටවුණු රශ්මියෙන් දේදුණු රාශියක් හැදුනා. මුලු අහසම වසාගෙන සුරයන් එහෙම නැත්නම් දෙවිවරු සහ සක්‍රයා සිටියා කියලයි මේ කවියෙන් කියන්නේ. සුරස් සැව් කියන්නේ දෙවියන්ගේ දුන්න එහෙම නැත්නම් දේදුන්න කියන තේරුම. සහසැස් කියන්නේ ඇස් දාහක් ඇති තේරුමෙන් සක්‍රයාට.

නිසල් - ඇයි සක්‍රයාට සහසැස් කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - ඕකට උත්තරේ හින්දු සාහිත්‍යයේ තියෙනවා. මහා බ්‍රහ්මයා ලෝකයේ තියෙන සියලු සුන්දරත්වයන් එකතු කරලා මවනවා කාන්තාවක් ව. මේ කාන්තාවගේ නම තමා ආහල්‍යා. මහා බ්‍රහ්මයා හිමාල වනයේ හිටපු ගෞතම නම් බමුණට මේ සුන්දර ආහල්‍යා ව විවාහ කර දෙනවා.

ටික කාලයක් ගියාට පස්සේ සක්‍රයා දකිනවා මේ ආහල්‍යා ව. ක්‍රමක්‍රමයෙන් මේ දෙන්නා අතරේ අනියම් සබදතාවක් ඇති වෙනවා. දෙන්නට එකතු වෙන්න වැඩි කාලයක් ඕන නිසා ගෞතම බමුණව අසපුවෙන් තරමක් වෙලාවට ඈත් කරලා තියන්න සැලැස්මක් හිතනවා. ගෞතම බමුණා හැමදාම උදේට ශිව දෙවියන්ට පූජා ඔප්පු කරන්න. උදේට කුකුළා හඬලනකොටයි ගෞතම බමුණා ගෙයින් එලියට යන්නෙ.

දවසක් සක්‍රයා කුකුළෙක්ගේ වෙස් අරගෙන මධ්‍යම රාත්‍රිය උදා එනවාත් එක්කම ගෞතම බමුණගෙ අසපුව ළඟට ගිහින් කුකුලෙක් වගේ හඬලන්න පටන් ගත්තා. ඉතින් බමුණත් උදේ වෙලා කියල හිතලා පූජා භාණ්ඩත් අරගෙන එලියට ගියා. මේ යන තරමග අහස බැලුවම තවම තරු පේනවා. ඉතින් මොකක් හෝ වැරැද්දක් ඇති කියලා ආපහු අසපුවටම යන්න ගත්තා. අසපුවට ගියහම සක්‍රය යි ආහල්‍යයි එකට ඉන්නවා දැකලා කේන්තියට ආහල්‍යාව ගල් පිළිමයක් කරනවා. ඒ සාපය කරන්නේ රාම කුමාරයාගේ පාද ස්පර්ෂය ලැබුනහම නැවත පන එන විදිහට.

සක්‍රයට සාප කරනවා මුලු ඇඟේම ස්ත්‍රී යෝනි 1000ක් මැවෙන්න කියලා. ඉතින් සක්‍රයා ගෞතම බමුණගේ කකුල් දෙක අල්ලලා සමාව ඉල්ලනවා. මොකද ස්ත්‍රී යෝනි 1000ක් ඇගේ තියාගෙන ආපහු දිව්‍යලෝකෙට යන්න බැහැනේ. මේ ගැන දුක හිතිලා බමුණා මේ ස්ත්‍රී යෝනි 1000 ඇස් 1000ක් බවට හරවනවා. මෙන්න මේ නිසයි සක්‍රයාට සහසැස් කියන්නේ.

කමනි - සර් එතකොට වෑත්තෑවේ හිමිගේ ගුරුවරයා කව්ද?

සහන් - මම දන්නවා ඒකට උත්තරේ. තොටගමුවේ රාහුල හිමිගේ ගෝලයෙක් තමා වෑත්තෑවේ හිමි කියන්නේ.

ඉස්කෝලෙ මහත්තයා - ගුත්තිල කාව්‍යය ලිව්ව කෙනෙක් ගැන කාව්‍යයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ජනප්‍රවාදයේ තමා කියන්නේ වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා. වෑත්තෑවේ හිමිට රාහුල හිමිගෙන් ඈත් වෙලා යන්න වුනු ජනකතාව අහලා තියෙනවද?

ප්‍රසන්න - පළ නොකියා පළා බෙදුවා වගේ කතාව නේද?

ඉස්කෝලෙ මහත්තයා - වෑත්තෑවේ හිමි කියන්නේ ගුරුවරයා වගේම ඉතා දක්ෂ කවියෙක්. සමහරු කියන්නෙ නම් ගුරුවරයාටත් වඩා දක්ෂයි කියලා. මේ හැකියාවට තමන්ගෙ අප්‍රසාදය පලකරන්න දානය බෙදනකොට වෑත්තෑවේ හාමුදුරුවන්ගේ දානයේ තුන් පොළකට පළා බෙදන්න කියලා රාහුල හාමුදුරුවො අතවැසියෙක්ට කිව්වා. පල කියන්නෙ නැතුව පළා බෙදුවා කියලා දැනගත්තු වෑත්තෑවේ හාමුදුරුවෝ පන්සල අතහැරලා යනවා. ඊට පස්සෙ තමා ගුත්තිල කාව්‍යය ලිව්වා කියලා ජනප්‍රවාදයේ තියෙන්නේ.

ප්‍රසන්න - වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍යය ලියන්නේ පන්සලෙන් පිට උනාට පස්සෙද?

ඉස්කෝලෙ මහත්තයා - පන්සල අතහැරලා ගියාට පස්සේ මේ කාලේ රජතුමා ඒ කිව්වේ හය වන පරාක්‍රමභාහු රජතුමාගේ සේවකයෙක් වුනු සලාවත ජයපාල මැතිතුමාගේ ආරාධනයෙන් තමා ගුත්තිල කාව්‍යය ලියන්නේ. සලාවත කිව්වේ ඒ කාලෙ හලාවතට. පැරණි සාහිත්‍ය කෘති ගොඩක් ගත්තහම ඒ හැම එකක්ම පාහේ ඒ කාලේ සමාජයේ වැදගත් කෙනෙක්ගේ ආරාධනයක ප්‍රථිපලයක් විදිහටයි ලියැවිලා තියෙන්නේ. ගුත්තිල කාව්‍යය ලියන්න ආරාධනා කලේ සලාවත ජයපාල කියලා කාව්‍යයේම තියෙනවා 11 හා 12 කවි වල.

‘පිරිසිඳු යස              සඳුන්
සලාවත ජයපාල   මැතිඳුන්’

‘බැදි යවර                       බසින්
කෙළෙන් ආරාධනා   සතොසින්’

නිමාලි - එතකොට වෑත්තෑවේ හාමුදුරුවන්ට අන්තිමට මොකද වෙන්නෙ?

ඉස්කෝලෙ මහත්තයා - ජනකතා වල නම් තියෙන්නේ වෑත්තෑවේ හාමුදුරුවෝ සිවුර හැරලා රටින් පිට වෙලා ගියා කියලයි. වෑත්තෑවේ හිමි ගැන ලස්සන කෙටි කතාවක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියලා තියෙනවා ‘මගේ කතාව’ පොතේ. කෙටිකතාවේ නම තමා ‘මූසිල වෑත්තෑවේ වාදය’.




ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [3] බාලගිරි දෝෂය අද නොවේ හෙට


නිමාලි - ඔයාලා දන්නවද අපේ නැන්දට ඊයෙ බබෙක් හම්බුනා..

කමනි - ඇත්තට, හරි ෂෝක් නේ.

නිමාලි - ඔව් නංගි කෙනෙක්. මම තමයි ගෙදර උළුවස්සේ ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ කියල ලිව්වෙ.

මෙසේ කියනවාත් සමග ගජනායක ඉස්කෝලෙ මහත්තයා ඇවිදින් පන්තියේ හිඳ ගත්තේ ය.

ඉස්කෝලෙ මහත්තයා - මටත් ඊයෙ ආරංචි වුනා නිමාලිගෙ නැන්දට පොඩි දුවෙක් උපන්න බව. දන්න කෙනෙක් කියන්න බලන්න බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා හැම ගෙදරකම පාහෙ දොරේ උළුවස්සෙ ලියන්න හේතුව.

සහන් - අපේ ගෙදරත් ඕකම ලියල තිබ්බා. අම්මගෙන් අහුවම අම්මත් දන්නෙ නෑ කිව්වා.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව ඒ කිව්වෙ ඉන්දියාවෙ සිංහකුමාර රජ්ජුරුවන්ටයි හංසවතී බිසවටයි හිටියා රූමත් දූ කුමරියක්. මේ පවුලට තව හිටියා වැඩිමහල් සහෝදරයෙක් වුන දළ කුමාරයත්. දූ කුමරිය ඉපදුන වෙලේ නක්ෂත්‍රකරුවන් කීවෙ කවදාහරි මේ දූ කුමරිය තමන්ගේ සහෝදරයා වෙන දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙනවා කියල. මේකට රජතුමයි බිසවයි බොහෝම කලකිරුණා වගේම බිය වුණා. මේ නිසා කුඩා කාලෙදිම මේ දූ කුමරියව ලෙනක සඟවලා තිබ්බා දළ කුමාරයාට මුන ගැහෙන්න නොදී.

ප්‍රසන්න - හරියට පණ්ඩුකාභය රජතුමාගෙ අම්මා උන්මාද චිත්‍රාව එක්ටැම් ගේක හංගලා තිබ්බා වගේ.

සහන් - ඒ හංගලා තිබ්බෙ උන්මාද චිත්‍රාට ලැබෙන දරුවා එයාගෙ මාමලා දහදෙනාව මරනවා කියලා නක්ෂත්‍රකාරයො කිව්ව නිසානේ.

නිමාලි - ඉතින් ඒ මාමලා දහ දෙනාව මැරුවද?

සහන් - දන්න තරමින් නම් ඔක්කෝවම මැරුවෙ නැහැ.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ, පණ්ඩුකාභය රජතුමා මාමාවරු දස හෙනාවම මැරුවෙ නැහැ. අට දෙනයි මැරුවෙ. අභය හා ගිරිකන්ඩශිව කියන මාමලා දෙන්නට කිසි කරදරයක් කලේ නැහැ. උන්මාද චිත්‍රාව තිඹිරිගෙය තුලදිම මරන්නයි අභය හැර නෙක් මාමලාගේ අදහස වුනේ. ඒත් වැඩිමහල් සොහොයුරු අභයගේ අදහසට අනුවයි උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරලා තියන්නේ. අනෙක් මාමා වෙච්ච ගිරිකන්ඩශිවගෙ දුව වුන ස්වර්ණපාලි බිසව ව තමා පන්ඩුකාභය රජතුමා විවාහ කර ගන්නේ.

හොදයි දැන් අපි ආයෙම අපේ කතාවට එමු. දූ කුමරිය දළ කුමාරයාත් එක්ක සංවාසයේ යෙදෙයි කියල බයට කුමරියව ගල් ලෙනක හංගලා තියනවා. මේ නිසා කුමරියට ‘ගිරි දේවිය’ කියල කියනවා. දැන් ඔහොම කාලයක් ගතවුනා. කුමරියත් දැන් තරුණ වයසේ. දළ කුමාරයා දැන ගන්නවා එයාගෙ නංගිව ලෙනක සඟවලා තියෙන බවක්. ඉතින් මේ ලෙනට ඇතුලු වෙන්න දළ කුමාරයා උත්සහ කරත් මුලදි නම් ඇතුල් වෙන්න ලැබෙන්නෙ නැහැ. හැබැයි අවසානයේ කොහොමහරි ලෙන තුලට ගිහින් තමන්ගේ සහෝදරියව මුනගැහෙනවා. නැකැත්කරුවො කිව්වත් වාගෙම දළ කුමාරයා යි ගිරි දේවිය යි සංවාසයේ යෙදෙනවා.

පස්සේ තමන්ගේ සහෝදරයා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය දුකින් බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා. මේක දැකපු සක්‍රයා ගිරි දේවියගේ සිරුර සඟවනවා. තමන්ගෙ සහෝදරිය මැරුණා කියල දැනගත්ත දළ කුමාරයා ලෙනට ගියත් සිරුරක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ නිසා දළ කුමාරයා උන්මත්තකයෙක් අගේ ගම් නියම් ගම් පාළු කරමින් සතුන් මරමින් ගමින් ගමට යන්න ගත්තා.

මේ නිසා මේක නවත්තන්න කියලා සක්‍රයා ගිරි කුමරියගේ සිරුරට පණ දීලා සිරුර දළ කුමාරයාට පෙන්නලා සක්‍ර භවනට ගියා කියලයි කියන්නෙ. දළ කුමාරයා මැරිලා ආයෙක් යකෙක් වෙලා උපදිනවා. ඒ යකාට තමා ගරා යකා කියන්නෙ. 

නිසල් - ගිරි දේවි ටයි දළ කුමාරයාටයි වෙන් වුනු ලංකාවෙ කෝවිල් එහෙම තියෙනව ද?

ඉස්කෝලෙ මහත්තයා - එහෙම කෝවිල් නම් නැහැ. හැබැයි මේ දෙන්නව ප්‍රයෝජනයට අරගෙන ගම් වල මිනිස්සු ඉඩෝර කාලෙට යාතුකර්ම කරනවා. දළ කුමාරයාගෙයි ගිරි දේවියගෙයි නිරුවත් රූප හෙකක් අඹලා රෑ වෙන්න අදුර වැටෙනකොටම දෝලාවකින් මේ රූප දෙකම වැව් පිටියට අරගෙන යනවා. ඊට පස්සෙ ඒක තැන්පත් කරලා මිනිස්සු ගෙවල් වලට යනවා. මේ රූප කවුරුත් දකින්න් කලියෙන් වැස්සෙන් හේදිලා යනවා කියලයි ගම්මු විශ්වාස කරන්නෙ.

ඔය ගිරි දේවියගේ ආකාර නැත්නම් අවතාර දොළහක් තියෙනවා. එයින් බාලගිරි වෙසින් ඉඳලා කුඩා ළමයි ලෙඩ කරනවනවා කියලයි විශ්වාස කරන්නේ. ඒවා තමා,

1.           මදනගිරි
2.           හපුමල් ගිරි
3.           බාලගිරි
4.           මෝලන් ගිරි
5.           භූත ගිරි
6.           නීල ගිරි
7.           රත්න ගිරි
8.           හඳුන් ගිරි
9.           පට්ට ගිරි
10.        කොටගිරි
11.        අඳුන් ගිරි
12.        වලියක් ගිරි




Monday, November 18, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [2] කනත්ත හා සුසාන භූමිය

පන්තියේ සියලුම දෙනා පාඩමට ලැහැස්ති වෙමින් සිටියි.

නිමාලි - කමනි මම ඔයාව ඊයෙ සිරිදෝරිස් සීයගේ මළගෙදරදි දැක්කෙ නැහැනේ. ඇයි ආවෙ නැත්තේ, මම හිතුවා ඔයා එයි කියලා.

කමනි - අනේ මට එන්න බැරි උනේ අම්මට ටිකක් අනීප මදි නිසා. එයාට උණ ගැනිලා හිටියා ඒකයි. හැබැයි කනත්තට නම් ආවා.

නිමාලි - කනත්තෙ සෑහෙන්න සෙනඟ හිටියා. අම්මට දැන් කොහොම ද?

කමනි - අම්මට දැන් හොදයි.

ඉස්කෝලෙ මහත්තයා - ඔය ළමයි දන්නවද කනත්ත කියන්නෙ මොකක්ද කියලා?

කමනි - අර අපේ පන්සල එහා තියෙන්නෙ. මිනිස්සු මැරුණහම වලලන්නේ.

ඉස්කෝලෙ මහත්තයා  - ඔය කනත්ත කියන වචනෙ ආපු විදිහ දන්න කෙනෙක් එහෙම ඉන්නවද මේ පන්තියෙ?

නිසල් - ආපු විදිහක්නන් දන්නෙ නැහැ. අපි පොඩිකාලෙ ඉදන්ම කියන්නෙ කනත්ත කියල තමයි.

සහන් - අපේ සීයා නම් කනත්තට කැරකෝප්පුව කියන අචනෙ පාවිච්චි කරනවා මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - කැකෝප්පුව කියන්නෙ සුසාන භූමියට මිසක් කනත්තට නෙමේ.

සහන් - එතකොට කනත්ත කියන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - අහගන්නකො එහෙනම්. ලංකාවෙ තියෙන පැරණිතම සුසාන භූමියක් තමයි බොරැල්ල සුසාන භූමිය. මේ වෙනකොට ලක්ෂ විස්සකට කිට්ටු ප්‍රමානයක් ඒ සුසාන භූමියේ මිහිදන් කරලා තියෙනවා. බොහෝම ඉස්සර ඔය බොරැල්ල සුසාන භූමිය තිබුණු ඉඩමයි බෞද්ධාලෝක මාවතේ වැඩිමනකටයි කීවෙ ‘කුඹි කැලේ’ කියලා. බොරැල්ල කනත්ත තියෙන ඉඩමෙ නම තමා ‘කනත්තවත්ත’ කියන්නෙ. ඔන්න ඔය නිසයි හැම සුසාන භූමියකටම කනත්ත වචනෙ පාවිච්චියට ආවෙ.

ප්‍රසන්න - හේන් වගා කරද්දිත් කනත්ත වචනෙ පාවිච්චි කරනව මම අහලා තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් පුතේ. හේන් වගා කරනකොටත් කනත්ත අචනෙ පාවිච්චි වෙනවා තමා. ගොවියො හේනක් වගා කරන්න කලියෙන් හේන වගා කරන්න හොද තැනක් හොයනවා කැලෙන්. ඊට පස්සෙ හේනට පාවිච්චි කරන කැලේ කොටහේ තියෙන ගස් සේරෝම කපලා හේන මැද්දට දාලා ගිනි තියෙනවා. දන්න කෙනෙක් කියන්න බලන්න ඒ හේනට කියන මොකක්ද කියලා.

කමනි - (ඉහළට අත ඔසවන ගමන්ම) නවදැලි හේන..


ඉස්කෝලෙ මහත්තයා - බොහොම හොදයි දුවේ. මේ හේන මහ කාලයක් පාවිච්චි කොරන්න වෙන්නෙ නැහැ. මොකද පසේ සාරවත් බාවය කාලයත් එක්ක නැති වෙන නිසා. ඉතින් කාලයත් එක්ක ගොවියො තමන් වගා කරපු හේන අතහැරලා වෙනත් හේනකට යනවා. ඊට පස්සෙ කලින් අතහැර දාපු හේන කැලයේ කොටසක් වෙනවා. මෙන්න මේ කොටසටයි ගමේ මිනිස්සු කනත්ත කීවෙ. 



Tuesday, July 9, 2019

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [1] අතුරු මිතුරු දඹදිව තුරු




ගජනායක ඉස්කෝලෙ මහත්තයා විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකි. ඔහු විශ්‍රාම ගත් පසුත් වසර හතලිහක් තිස්සේ කල ජීවිකාව වූ ගුරු වෘත්තියට තිත තැබීමට නොහැකි විය. එමනිසා ගමේ සිටින ළමුන් හවස් වරුවේ වලව්වට ගෙන්වා නොමිලයේ ඉගැන්වීම පටන් ගත්තේ විශ්‍රාම ගත් දාට පසු දා සිටමයි. මෙම පන්තියේ සිටින ප්‍රසන්න සහ නිමාලි සහෝදර සහෝදරියන් ය. සහන් ,නිසල් සහ කමනි පන්තියේ අනික් සාමාජිකයන් ය. මේ සියලුම දෙනා කුඩා පන්තිවල සිටින ළමුන් ය. දැන් මෙම පන්තිය පටන් ගෙන මාසෙකට වඩා වැඩි ය. සුදු සරමකින් සහ කමිසයකින් සැරසුනු ගජනායක ඉස්කෝලෙ මහත්තයා පන්තිය ආරම්භ කිරීමට වලව්වේ ඉස්තෝප්පුවට පැමිණියේ ය.

මෙසේ පැමිනෙන විට පන්තියේ ළමුන් සියලු දෙනා අත් බිම තබා සෙල්ලම් කරමින් සිටියෝ ය. “අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා, අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා, ඉහල ගෙටත් බෙදාලා පහල ගෙටත් බෙදාලා…” යැයි කියන විටම ඉස්කෝලෙ මහත්තයා ඉස්තෝප්පුවේ දොර අසලට පැමිණියේ ය.

ඉස්කෝලෙ මහත්තයා - ළමයි සෙල්ලම් කරනව වගෙයි

ප්‍රසන්න - ඉස්කෝලෙ මහත්තයා එන්න පරක්කු උන නිසයි ටිකක් සෙල්ලම්කලේ

ඉස්කෝලෙ මහත්තයා - ඔය සිංදුව සම්පූර්ණයෙන්ම කියන්න දන්න කෙනෙක් ඉන්නවද?

කමනි - (අත ඉහළට ඔසවන ගමන්ම) මම දන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - එහෙනන් කියමුකො බලන්න

කමනි - අතුරු මිතුරු දඹදිව තුරුරාජ කපුරු සෙට්ටියා
            අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා
            ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා
            උස කොල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේලියයි
            කුකුළා කපලා වැට මුල්ලේ කිකිළි කපලා දොර මුල්ලේ
            කළු කපුටා සුදු වනතුරු මෝල් ගහේ දළු ලනතුරු
            බලා ඉදින් හෙට්ටියෝ….

ඉස්කෝලෙ මහත්තයා - දැන් කියන්න බලන්න කව්ද මේකෙ තේරුම දන්නෙ

(පන්තියේ කිසිවකුගෙන් මෙය පිළිතුරක් ලැබුනේ නැත. ඒ වෙනුවට ඔවුන් පුදුමයෙන් එකිනෙකා දෙස බලාගත්තෝ ය.)

කමනි - දන්නෙ නෑනෙ සර්.

ඉස්කෝලෙ මහත්තයා - ඔන්න එහෙනන් අහගන්න. ලංකාව අල්ලගෙන හිටියා බටහිර ජාතීන් තුන්ගොල්ලක්. දන්නවද ඒ කව්ද කියලා.

සහන් - ඒක දන්නවා සර්. පෘතුගීසි, ලන්දේසි , ඉංග්‍රීසි

ඉස්කෝලෙ මහත්තයා - 

හරියටම හරි. ඔතනින් පලවෙනියෙන්ම ලංකාවට සේන්දු උනේ පෘතුගීසි. ඒ දවස්වල ලංකාව කොටස් තුනකට කැඩිලා තිබුනේ. එකක් කෝට්ටේ. අනිත් දෙස තමා උඩරටයි යාපනය යි. මෙන්න මේකාලෙ කෝට්ටෙ හිටියෙ හය වන විජයබාහු රජතුමා. රජතුමා දේවරාජ කියන කුමාරයෙක්ට රජ කම දෙන්න යනවයි කියලා දැනගත්තු රජතුමාගෙ පුත්තු තුන්දෙනා රජතුමාව මරලා කෝට්ටෙ තුනට බෙදාගන්නවා. මේකට තමා ‘විජයබා කොල්ලය’ කියල කියන්නෙ. අර කලින් කිව්ව පුත්තු තුන් දෙනා තමයි බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ. බුවනෙකබාහුට තමයි විශාලතම කොටස වෙච්ච කෝට්ටේ හම්බවෙන්නෙ. එයා රජ වෙනවා හත්වෙනි බුවනෙකබාහු විදිහට. රයිගම , රයිගම් බණ්ඩාර ලබාගන්නවා. සීතාවක ලැබෙන්නේ මායාදුන්නේ ට.

මේ තුන් දෙනාගෙන් මායාදුන්නේ කියන්නේ දක්ෂ රණකාමියෙක්. පෘතුගීසීන්ව ලංකාවෙන් අතුගාලා දාන්න ලොකු වෙහෙසක් ගත්ත කෙනෙක්. එයා වගේම තමයි එයාගෙ පුතා ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයාගේ දක්ෂකම පෙන්නපු හොදම අවස්ථාවක් තමයි ‘මුල්ලේරියා සටන’. මේ සටනෙදි පෘතුගීසීන් 1600ක් මිය ගියා කියලයි කියන්නෙ.

කමනි - සර්, ටිකිරි කුමාරයා ගැන කියවෙන කවියක් තියෙනවා නේද? අපිට ඉස්කෝලෙ කියලා දුන්නා.

ඉස්කෝලෙ මහත්තයා - කියමුකො බලන්න කට්ටියටම ඇහෙන්න

කමනි - කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා
            යුදට උපන් කුමරා යයි නමක්‌ ඇතිවුනා
            පරංගි දේසේ රජුටත් මර උණ ගැණුනා
            ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුනා

ඉස්කෝලෙ මහත්තයා - 

ටිකිරි කුමාරයා රාජසිංහ රජ්ජුරුවෝ කියලයි රජ වෙන්නේ. රාසිං දෙයියෝ කියලා ඒ පළාත්වල උදවිය කියන්නෙත් මේ රජතුමාටම තමයි. රාජසිංහ රජතුමා ශිව ආගම වැළද ගන්නවා අන්තිමකාලෙ. ඒකට හේතුව් වෙන්නෙ ඉන්දියාවෙ ඉදන් ආපු ‘අරිට්ට කී වෙණ්ඩු’ කියන ආඬි ගුරෙක්. රජතුමා මැරෙන්නේ විෂ උණ කටුවක් කකුලෙ ඇනිලා. හැබැයි ඉතිහාසය කියවද්දි නන් අපිට හම්බෙන්නෙ රාජසිංහ රජතුමාගෙ මුණුබුරා වෙච්ච රාජසූරිය කුමාරයාගෙයි දොඩම්පෙ ගණිතයාගෙයි කුමන්ත්‍රණයකින් රජතුමාට මැරුණා කියලයි. මේ ගැනත් කවියක් තියෙනව මෙහෙම,
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියා ය 
නපුරු උණ කටුව පතුලේ ඇනුනා   ය 
එක්ව සිටි සැවොම වට වී මතුළා   ය
රාජසිංහ දෙවි නාමේත් මැකුණා   ය

අරිට්ට කී වෙණ්ඩු ට තමා ‘මනම්පෙරුම මොහොට්ටි’ කියල කියන්නෙ. මේ මොහොට්ටි කියන ගෞර නාමය දුන්නෙත් රාජසිංහ රජතුමා තමයි. රාජසිංහ රජතුමාගෙ මරණෙන් පස්සෙ මුණුබුරා වෙච්ච රාජසූරිය රජවෙනවා. රාජසිංහ රජතුමාගේ සහෝදරියක් වෙන මහ බිසෝ බණ්ඩාර අරිට්ට කී වෙණ්ඩු එක්ක කුමන්ත්‍රණය කරලා රාජසූරිය රජතුමාව මරණවා.

ප්‍රසන්න - රජ වෙන්න තියෙන උවමනාවට එකම පවුලෙ අය මරාගන්නවා…

ඉස්කෝලෙ මහත්තයා - ඔව් දරුවෝ බල ලෝභය කියන්නෙ හරිම භයානක දෙයක්. ඒ ලෙඩේ හැදුනොත් අම්මා තාත්තව මරලා හරි තමන්ට ඕන දේ ලබාගන්නයි ආශාව තියෙන්නෙ. ලංකාවෙ ඉතිහාසෙ ඕනතරම් උදාහරණ තියෙනවා. ඔය ළමයි කලා වැව දැකලා තියෙනවද?

ළමුන් සියලුම දෙනා - ඔව්…

ඉස්කෝලෙ මහත්තයා - 

කලා වැව හැදුවෙ ධාතුසේන කියන රජතුමා. කලා වැවේ වැව් බැම්මට තියලා මැටි ගහලයි ධාතුසේන රජතුමාව මරන්නේ. හොදයි දැන් අපි ආයෙම කතාවට එමුකෝ.

දැන් රජ වෙන්නේ මහ බිසෝ බණ්ඩාරගෙ පුතා ‘නිකපිටියේ බණ්ඩාර’. මෙයා තවම අවුරුදු පහේ පොඩි දරුවෙක්. එහෙම කෙනෙක්ට පුලුවන් යැයි සීතාවක පාලනය කරන්න. ඉතින් සීතාවක පාලනය කරන්න මහ බිසෝ බණ්ඩාරට උදව් වෙන්නේ අරිට්ට කී වෙණ්ඩු. ඔන්න ඔයකාලෙ දියොගු ද සිල්වා කියන පෘතුගීසි නායකයා එක්ක එනවා සේනාවක් සීතාවක අල්ලන්න. අවුරුදු පහේ ළමයෙන් රජ වෙලා ඉන්නෙ කියලා දැනගත්ත නිසා එයාලා හිතුවා සීතාවක නිකන්ම අල්ලගන්න පුලුවන් වෙන් කියල. ඒත් අරිට්ට කී වෙණ්ඩු මේ මේ සේනාවට පහර දීලා පලවා හරිනවා.

මහ බිසෝ බණ්ඩාරට හිටියා තව දුවෙක්. මේ දුවටත්  රාජ්‍ය උරුමයක් තියෙන නිසා අරිට්ට කී වෙණ්ඩු ඇයව විවාහ කරගන්න අහනවා. මේකට මහ බිසෝ බණ්ඩාර කැමති වෙන්නෙ නැහැ. මේක දැනගත්තු මහ අතපත්තුවේ දොළොස් හමුදාව භාර අතපත්තු ආරච්චි අරිට්ට කී වෙණ්ඩු ට කැලෑ පත්තරක් ගහනවා. ඒ තමයි පාරෙ යන එන කොට එයාට අපහාස වෙන විදිහට කවි ගායනා කරන එක. එහෙම තමයි ‘අතුරු මිතුරු දඹදිව තුරු’ කවිය කරලියට ආවෙ.

නිසල් - අපි හැමතිස්සෙම මේ සෙල්ලම කරාට මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ.

නිමාලි - දැන් එතකොට අරිට්ට කී වෙණ්ඩු ට අන්තිමට මොකද උනේ?

ඉස්කෝලෙ මහත්තයා -

අරිට්ට කී වෙණ්ඩු යනවා පෘතුගීසීන් ගාවට. ගිහිල්ලා කියනවා සීතාවක අල්ලලා දුන්නොත් එයාලට පක්ෂපාතීව ඉන්නවා කියලා. ඊට පස්සෙ නමත් වෙනස් කරනවා ‘ජයවීර බණ්ඩාර’ විදිහට. පෘතුගීසීන් එක්ක එකතුවෙලා සීතාවකට පහර දීලා සීතාවක අල්ලගත්තත් මහ බිසෝ බණ්ඩාරගේ දුව ව විවාහ කරගන්න අරිට්ට කී වෙණ්ඩු ට හැකියාව ලැබෙන්නෙ නැහැ. අන්තිමට පෘතුගීසීන් අරිට්ට කී වෙණ්ඩු පෘතුගීසීන්ව පාවා දෙයි කියල සැක හිතලා මරලා දානවා.


එහෙනන් අදට පාඩම ඉවරයි. හෙට තව පාඩමකින් හමුවෙමුකො...

Wednesday, July 3, 2019

ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය)



ආදම්ගේ දින පොතෙන් කොටසක්

මට මතක ලෙසට ඇය කුඩා දේවල් වලින් සතුටු වන ඉතා තරුණ ගැහැණු ළමයෙක්. ලෝකයේ තිබෙන සෑම දෙයක් ම පාහේ ඇයව ප්‍රබෝධමත් කරනවා. ඇයට මලක් සම්බවුන විට ඇය එයින් අතිෂයින් සතුටට පත් ව එය සිප ගනිමින් එයට කතා කරමින් එයට ආදරය උපදවන නම් තබයි. මල් පමණක් නොව ඇය අනෙක් දෑ වලට ත් සිදු කරන්නේ මේ දෙයම යි. වර්ණ වලට ඇයවශී වී තිබෙන්නේ. ඇයට හමුවන සෑම දේම ඇය වර්ණ වලින් නම් කරනු ලබයි. - දුඹුරු ගල්, කහ වැලි, කොළ පාසි, කොළ පැහැති පත්‍ර, නිල් අහස, කඳු වල දම් පැහැති සෙවණැලි, ඉර බැස යන විට මුහුදේ පාවෙන රත්‍රන් පැහැති දූපත්, සුදු පැහැති හඳ, දිළිසෙන තරු. මේ දේවල් මට තේරුම් ගිය ලෙසට නම් මේ එකක වත් ප්‍රායෝගික වටිනාකමක් නැහැ. යමක වර්ණයක් හා හැඩයක් තිබූ පමණින් ඇය ඒවා කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නට පටන් ගෙන ඒ වෙනුවෙන් ම කාලය වැය කරයි. ඇයට මිනිත්තු කිහිපයක් කිසිවක් කතා කරන්නේ නැතිව සිටින්නට හැකියාව තිබුනා නම් මම වඩාත් ම කැමති දේ වන්නේ එය යි. එවිට වත් මට වෙහෙස නිවා ගන්නට හැකියි.

සදුදා දවල් -

මේ ලෝකයේ මම අකමැති දේවල් සියල්ල මගේ අකමැති ලැයිස්තුවේ නැහැ. සතුන් අතරිනුත් මම අකමැති සතුන් සිටියි. නමුත් ඇයට එසේ නැහැ. ඇය, පැමිණෙන සියලුම දෙනාව කිසිදු විවේචනයකින් තොරව බාර ගනියි. ඇය සිතන්නේ උන් සියල්ල වටිනාකමක් සහිත අය බවත් අප ඒ සියල්ල සාදරයෙන් පිලිගත යුතු බවත් ය.

විශාල බ්‍රොන්ටොසෝරස් සත්වයා අපගේ කූඩාරම ට පැමිණි විට ඇය ඌව සුරතලය ට ගෙන ඇති කරන්න ට සිතුවා. එවිට මම ඇයට තේරුම් කිරීමට උත්සහ කලේ එයින් අත්වන මහත් ව්‍යසනය පිලිබඳවයි. අඩි විසි එකක් උස අඩි අසූ හතරක් දිග සත්වයෙක් ව එසේ සුරතලයට ඇති කල හැකි ද? ඌ අපට කරදරයක් කරන්නට නොසිතුවත් අපට ඌව මෙතැන තබා ගන්නට බැහැ. ඌ ඉඳගත් විට මා සෑදූ කූඩාරම සැනෙකින් බිමට සමතලා වේවි. අනික ඒ සත්වයාගේ ඇස් දෙක දෙස බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඌ කෙතරම් අඥාණ සත්වයෙක් ද කියා. ඇයි මම පවසන මේ සුළු කාරණය ඇය තේරුම් නොගන්නේ?

ඇය තවමත් සිතන්නේ ඒ රාක්ෂයා ව සුරතලයට ඇති කිරීමට යි. ඒ ගැන ඇය දිගින් දිගටම මාත් සමග වාද කරයි. ඇය පැවසුවා උගෙන් අපට කිරි දොවා ගත හැකි බව. ඇය එයට මගේ සහය ඉල්ලූ නමුත් මට එය ප්‍රථික්ෂේප කරන්නට සිදු වූවා. එය අවදානම් වැඩියි. එපමණක් නොව එය සිදු කිරීමට තවම අපට ඉනිමගක් ඇත්තේ නැහැ. ඉන්පසු ඇය උගේ ඇඟ මතට නැග අවට පරිසරය නරඹමින් ඇවිද යාමට උත්සහ කළාය. උගේ වල්ගය අඩි තිහක් හෝ හතලිහක දිගකින් යුක්ත ය. එය බිම ඇද වැටුනු විශාල ගසක් වැනියි. ඇය ඒ මතින් යමින් උගේ පිට මතට යාමට උත්සහ කල විට උත්සහ කල විට එයින් රූටා ඇද් වැටුනු අවස්ථාවේ දී එය ඇයට තරමක් රිදුම් දෙන්නට ඇති. මම එය ඇගේ මුහුණෙන් දුටුවෙමි.

මෙයින් ඇය සෑහීමකට පත් වුනාද? කිසිසේත්ම නැත. ය කිසිවකින් සැහීමකට පත්වන අයෙක් නොවේ. ඇය සැහීමකට පත් වන්නේ ඔප්පු කල හැකි දේවල් වලින් පමණි. තහවුරු නොකළ න්‍යායන් යට අදාල වන්නේ නැහැ. එනමුත් මෙහි කිසිදු වරදක් නැති බව ද මට හැගෙයි. පරාජය පිළිගැනීම මට දැන් හුරු වී තිබේ. ය සමග වැඩියෙන් කාලය ගත කරන විට ය සමග වන වදයන්ගෙන් පරාජය පිළිගත යුතු බව මට දැන් හැගී ගොස් තිබේ. මෙම අති විශාල සත්වයා ගැන ඇය තරමක් වෙනස් විදිහේ අදහසක් මා සමග පැවසුවාය. ඇය පවසන ආකාරයට අපට මෙම විශාල සත්වයාව හීලෑ කරගත හැකි වුවහොත් ඌව වැව මත සිටවා අපට ඌව පාලමක් ලෙස යොදාගත හැකියි. මට සිතෙන ආකාරයටමෙය කදිම අදහසක්. වැඩි කල් යාමට පෙර ඌ හීලෑ වූ බැවින් අප ඇයගේ අදහස අත්හදා බැලීමට සූදානම් විය. මෙහි දී සැළකිය යුතුයි ඌ හීලෑ වූයේ ඇයට පමණයි. මට නොවේ. අප කෙතරම් ඌව වැව මත එකතැන තැබීමට උත්සහ කළත් ඌ ඇය පසුපස ම ගමන් කරයි. එකතැන සිටින්නේ ම නැත. මෙය සෑම සුරතල් සත්වයෙකුගේ ම ස්වභාවය යි. දැන් නම් ඌ ඇවිදින කන්දක් වැනියි. 


ඒවගේ දිනපොතෙන් කොටසක් 

අඟහරුවාදා - බදාදා - බ්‍රහස්පතින්දා සහ අද -

දින සියල්ල ඔහුව නොදැක ගත වුණි. තනියම සිටීම ඉතා අපහසුයි. නමුත් පැමිණි විට නොපිලිගැනීමට වඩා එය පහසුයි.

සිකුරාදා -

මට තනිවම සිටින්නට අපහසු නිසා දැන් කුමක් හෝ මිත්‍ර සමාගමක් අවශ්‍යයි. එමනිසා මම කල්පනා කළේ සතුන් සමග මිත්‍ර වන්නට. ඔවුන් ඉතා සිත් ගන්නා සුළු, අවංක අයුරින් පිළිගන්නා සහ වල්ගයක් තිබෙනවා නම් වල්ගය වනා පිලිගන්නා කොටසකි. වැදගත්ම කාරණය ඔවුන් කෙදිනකවත් මාව ප්‍රථික්ෂේප කරන්නේ නැහැ. ඔවුන් උද්‍යෝගයෙන් කෙළි සෙල්ලම් කරනවා පමණක් නොව විනෝද ගමන් යාම සදහා ද මාත් සමග එක්වෙයි. මම සිතන්නේ ඔවුන් තමා නියම මහත්වරු. පසුගිය දවස් කිහිපයේ ම සතුන් සමග ඉතා හොද කාලයක් ගත කළා. ඒ නිසා මට කිසිදු තනිකමක් දැනුනේ ම නැහැ.

පසුගිය කාලයේ අපි ලෝකයේ සියලුම පෙදෙස් වලට විනෝද ගමන් ගියෙමු. ඒ නිසා මම පලමු හා එකම සංචාරකයා යි. ඇවිදගෙන යන විට ඉතා සිත් ගන්නා සුළු දර්ශන දක්නට ලැබෙයි. මම මාගේ පහසුව තකා ව්‍යාග්‍රයින්ගේ පිටේ ගමන් කරයි. එසේ ගමන් කරන්නේ උන්ගේ පිට සිනිදුවට හා මට ඉඳගැනීමට සරිලන ආකාරයට වක්‍රව සෑදී ඇති නිසාවෙනි. දුර ගමන් යාම සදහාමම තෝරා ගන්නේ අලියාව යි. ඔහු ඔහුගේ හොඬවැලෙන් මාව ඔසවා ඔහුගේ පිට මත තබා ගනියි. අපි ගිමන් හරින්නට ටිකකට නතර වූ විට ඔහු පිටුපසට නැවී ඉඳගෙන මට ඔහුගේ පිට දිගේ ලිස්සා යාමට සලස්ව යි. 

කුරුල්ලන් සහ සතුන් එකිනෙකා සමග ඉතා මිත්‍රශීලී ව සිටියි. උන් එකිනෙකා සමග විරසක ව සිටිනවා මම දැක ඇත්තේ ම නැහැ. උන් එකිනෙකා සමග කතා කරන අතරතුර මටත් කතා කරයි. මම සිතන ආකාරය ට උන් කතා කරන්නේ විදේශීය භාෂාවක්. උන් කතා කරන එකදු වචනයක් වත් මට තේරෙන්නේ නැහැ. ඔවුන් මට කතා කල විට මම ඔවුන්ට ප්‍රථි පිළිතුරු සැපයුව ද ඒවා ද ඔවුනට නොවැටහෙයි. විශේෂයෙන් එසේ නොවැටහෙන්නේ බල්ලාට සහ අලියාට යි. මෙය මාව ලැජ්ජාවට පත් කළාය. මට සිතෙන ආකාරය ට මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන් මට වඩා දක්ෂ බවයි. 


මම මේ වන විට බොහෝ දේවල් ඉගෙනගෙන ඇත්තෙමි. මම දැන් උගතෙක් වුවත් පෙරදී එසේ නොවේ. උගතෙක් නොවූ නිසා මට කෙඳි ගිය අවස්ථාද නැතුවා නොවේ. පෙරදී කඳ උඩට ජලය ගලාගෙන යාම දැක ගැනීමට තරම්වත් මම උනන්දු නොවූයෙමි. නමුත් දැන් මම පරීක්ෂණ සිදු කර සොයාගත්තේ රාත්‍රී කාලයේදී හැර කඳ දිගේ ඉහලට ජලය ගමන් කරන බවයි. මන්ද කන්ද උඩ ජලය කිසිවිටෙකත් නොසිදෙන බැවින්. රාත්‍රී කාලයේදී කඳ උඩට ගිය ජලය අනිවාර්යෙන්ම පහලට පැමිණිය යුතුයි. යම් දෙයක් ඉගෙන ගැනීමට හොදම ක්‍රමය පරීක්සන කරමින් ඒවා සනාථ කර ගැනීමයි. උපකල්පනය කරමින් කාලය ගත කළහොත් කෙදිනකවත් උගතෙක් වීමට නොහැකියි.

සමහර දේවල් තිබෙනවා අනුමාන කිරීමෙන් හා සිතීමෙන් පමණක් ඒ ඒ දේවල් දැනගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ දේවල් දැනගන්නා තුරු නිතර පරීක්ෂණ පැවැත්වීම අත්‍යවශ්‍ය යි. එයට හොද ඉවසීමක් තිබීම ද ඉතා වැදගත්. මේවා සොයාගත් පසු අතිශයින් සතුටක් ඇතිවන අතර ලෝකය ගැන ආසාවක් සහ කුතුහලයක් ඇතිවන්නේ ද මේ නිසයි. මෙම කුතුහලය නැතිනම් ලෝකය නීරස තැනක් වනු නියත යි. ජලය පිලිබද රහසත් මම සියාගන්නා තුරු තිබුන්සෙ එක්තරා ආකාරයක වස්තුවක් ලෙසට යි. නමුත් මා එය සොයාගත් පසු එය කෙරෙහි තිබූ මගේ කුතුහලය නැතිවී ගියා මෙන්ම යමක් නැති වූ විට දැනෙම හැඟීමට මා හට දැනුනි.

ලී වලට පිහිනිය හැකි බව, පත්‍ර සහ පිහාටු වියළී යන බව ඇතුලු නොයෙකුත් දෑ මම දනිමි. ඒ මම සිදු කල පරීක්ෂණ වල ප්‍රථිපල මගිනි. මෙම එක් රැස් කල සියලු කරුණු කාරණා වලින් පර්වතයකට පිහිනිය හැකි බව මට නිගමනය කා හැකියි. දැනට නම් එය ඔප්පු කරන්නට හැකියාවක් නැහැ. එය කෙසේ හෝ ඔප්පු කිරීමට මම උපරිම උත්සහ කරමි. නමුත් එසේ කල විට මෙම පරීක්ෂණය කෙරෙහි තිබූ තැතිගැන්ම නැතිවී යාවි. මම මෙම තැතිගැන්මට කැමැත්තක් හා ආදරයක් ඇත්තෙමි. එක් තැතිගැන්මක් නැති වූ විට තවත් එකක් පැමිණෙයි. මෙසේ ලෝකයේ තිබෙන සියලු තැතිගැන්ම වල් අවසන් වූ විට මම කෙසේ ජීවත් වන්නද? පෙරදින මුලු රාත්‍රිය පුරාවට ම මම කල්පනා කලේ මේ පිලිබඳව යි. මගේ මෙම පරීක්ෂණ නිසාවෙන් ලෝකයේ සියලු තැතිගැනීම් අවසන් වුවහොත්…

මුල දී මම නිර්මාණය වූ හේතුව මට ම සිතා ගන්නට නොහැකි විය. නමුත් මට දැන් වැටහෙන අන්දමට මම නිර්මාණය වී ඇත්තේ මේ අලංකාර ලෝකයේ රහස් සොයාගෙන සතුටු වී, මේවා කල්පනාකාරීව සැළසුම් කර අපට ලබා දුන් පුද්ගලයාට ස්තූති කිරීමට යි. මට තවත් බොහෝ දෑ ඉගෙන ගැනීමට ඇති බව සිතමි. මේ තිබෙන දේවල් ඉක්මනින් භාවිතා කලහොත් සති කිහිපයකින් ඒවා අවසන් විය හැකි බැවින් මේවා සකසුරුවමින් භාවිතා කිරීම නුවණට හුරු බව මට සිතෙයි. පිහාටුවක් ගෙන අතහැරිය විට එය පාවී ගොස් නොපෙනී යන නමුත් මැටි පිඩක් සුළගේ අතහැරිය විට එසේ සිදු නොවේ. සෑම අවස්ථාවක දීම එය පහළට ඇද වැටෙයි. එකම දේ බොහෝ අවස්ථාවක් සිදු කල ද සෑම විට ම සිදු වන්නේ මෙයම යි.

නමුත් එසේ වන්නේ ඇයි? මට ප්‍රත්‍යක්ෂයි එය පහතට නොවැටෙන බව, නමුත් මට එය එසේ පෙනෙන්නේ ඇයි? මගේ නිගමනය හැටියට නම් එය දෘෂ්ටි මායාවක් විය යුතුයි. දෙකෙන් එකක් එසේ විය යුතුයි. නමුත් ඒ පිහාටුව ද මැටි පිඩ ද යන්න මම නිශ්චිතව නොදනිමි. නිවැරදි කොයි එක ද යන්න මට ඔප්පු කිරීමට හැකියාවක් ද නැහැ. කළ හැකි එකම දේ වන්නේ දෙකෙන් එකක් ව්‍යාජ එකක් බව කීම පමණයි. නිවැරදි කෝක ද යන්න අදාල පුද්ගලයාට අදාළ තේරීමක්.

නැරඹීම තුලින්, තරු දීර්ඝ කාලීනව නොසිට නැති වී යන බව මම දනිමි. හොදම වර්ගයේ තරු අහසේ දිය වී අහස දිගේ පහළට ඇද වැටෙනු මම දැක ඇත්තෙමි. එක් තරුවකට දිය වන්නට හැකි නම් අනෙක් සියලු තරු ත් දිය වීමට පුලුවන. එසේ නම් තරු සියල්ල එක් රැයක් තුල දී දිය වී යාමට පුලුවන. එම දුක කවදා හෝ පැමිණෙම බව මම දනිමි. රාත්‍රී කාලයේ දී නින්ද පැමිණෙන තුරු මම තරු දෙස බලා ඒවායේ දිලිසීම මගේ මතකයේ තැන්පත් කර ගතිමි. එසේ කරන්නේ කෙදිනක හෝ තරු අපගෙන් ඉවත් ව ගිය විට කළු පැහැති අහස මත මගේ මතකයේ තිබූ අලංකාර තරු වල දිලිසීම නැවත මතකයට නගා ගෙන මගේ කදුළු වලින් ඒවා ප්‍රතාපවත් කළ හැකි නිසයි.

වැටීමෙන් පසු

ආපසු හැරී බලන විට, උයන මට දැනෙන්නේ හීනයක් ලෙසයි. එහි පුදුම දනවන සහ සිත් වෂී කරන අලංකාරය අපට දැන් අහිමි ව ඇත. අපට කවදාවත් එය නැවත දැකගත නොහැකියි.

උයන අහිමිව ගිය නමුත් මට ඔහුව හමු විය. මට එයින් සෑහීමකට පත් විය හැකියි. ඔහු ඔහු ට හැකි අයුරින් මට ආදරය කරයි ; මමත් උපරිම ශක්තියෙන් හා උද්යෝගයෙන් ඔහුට ආලය කරන්න ට පටන් ගෙන තිබේ. මම මගෙන් ම ඇසුවහොත් ඇයි මම ඔහුට ආදරය කරන්නේ කියා , මට දීමට කිසිදු පිලිතුරක් නැහැ. මට එය දැන ගැනීමට හැකියාව නැහැ ; මට එය දැන ගැනීමට අවශ්‍යත් නැහැ. මගේ දැනුම් තේරුමේ හැටියට ආදරය ලෙස හදුන්වන දෙය තර්ක කර හෝ කරුණු රැස් කර අපට පැහැදිලි කළ නොහැකියි. එය අනෙක් ක්ෂීරපායීන්ට මෙන්ම අනෙක් සතුන් ට දක්වන්නා වූ ආදරය වැනි ම දෙයක් ලෙසයි මා සිතන්නේ. මම සමහර කුරුල්ලන්ට කැමැත්තක් දක්වන්නේ ඔවුන්ට හොදින් ගායනා කල හැකි නිසාවෙන්. ආදම්ට මම ආදරය කරන්නේ ඔහුට ගායනා කල හැකි නිසා නොවේ. ඔහු ගායනා කිරීම වැඩිවන තරමට මම ඔහුගෙන් අත්ව සිටීමට ප්‍රිය කරයි. එමනිසා එය කිසිසේත් විය නොහැකියි. ඔහු කැමති දේවල් වලට මමත් කෙසේ හෝ කැමැත්තක් ඇති කර ගැනීමට උත්සහ කරනවා. මුලදී මම කිරි වලට අකමැති වුයේ එය ඇඹුල් රස නිසා, නමුත් මම දැන් එයට හුරු වීගෙන යන්නෙමි.

ඔහුගේ දක්ෂකම ගත විට එය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහුට එතරම් අඩු බුද්ධියක් ලැබීමට ඔහුට චෝදනා කල යුතු වන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට බුද්ධිය ලබා දෙන්නේ දෙවියන් විසින්. කාලය යන විට ක්‍රමයෙන් ඔහුගේ බුද්දිය වර්ධනය වේවි. අනුන් ගැන සිතීම, විනීත බව නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. මේ අංශයෙන් නම් ඔහු ඉතා දුර්වලයි. එයත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වේවි. 

මම ඔහුට ආදරය කරන්නේ ඔහු සිදුකරන කර්මාන්තය නිසාද? නැහැ. එය විය නොහැකියි. නමුත් ඔහුට මේ සම්බන්ධව දක්ෂකමක් තිබෙනවා. එහෙත් ඔහු එය මගෙන් සැමවිටම සැඟවීමට උත්සහ කරනවා. අන් සෑම අවස්ථාවකදීම ඔහු මත සමග රහසක් තබන්නේ නැහැ. ඔහු මත සමග තබාගන්න එකම රහස මෙයයි. මෙය මට විශාල දුකක් ඇති කරනවා. ස,අහර අවස්ථා වලදී මම සම විටම කල්පනා කරන්නේ මෙය පිළිබඳවයි. විටෙක මේ නිසා හරිහැටි නිදා ගැනීමටත් හැකියාව ලැබෙන්නේ නැහැ. මෙය මගේ සතුටට බාධාවක්.

ඔහුගේ අධ්‍යාපනය නිසාත් නොවේ මම ඔහුට ආදරය කරන්නේ. ඔහු ස්වයං අධ්‍යාපනයක් ලත් අයෙක්. අංශ කිහිපයක් ගැනම ඔහු හොදහැටි දන්නා නමුත් මගේ ආදරයට හේතුව මෙය විය නොහැකියි.

ඔහුගේ ලිංගය තරමක් අසාමාන්‍ය වුවාට ඔහුට ඒ ගැන චෝදනා කිරීමෙන් ඵලක් නැහැ. ඔහුගේ ලිංගය සැදුවේ ඔහු නොවේ. ඇරත් මගේ ලිංගයත් තරමක් අසාමාන්‍යයි. එහි අයිතියත් මට හිමිවන්නේ නැහැ. මන්ද මගේ ලිංගයත් සැදුවේ මම නොවන නිසාවෙන්.

එසේනම් අයි මම ඔහුට ආදරය කරන්නේ? මම සිත ආකාරයට ඒ ඔහු පිරිමියෙක් වන නිසා.

ඔහුගේ යටි පෙදෙස හොදයි. ඔහුගේ එම පෙදෙසට මම කැමති වුවත් එය නොමැතිවත් මට ඔහුට ආදරය කල හැකියි. ඔහු මට තලා දුෂණය කලත් මම ඔහුට දිගටම ආදරය කරවී යයි සිතමි. මට සිතෙන ආකාරයට එය ලිංගිකත්වය පිලිබඳ කරුණක්. 

ඔහු ඉතාමත් ශක්තිමත් සහය කඩවසම්. ඔහුගේ එම ගුණාංගයට මම ආදරය කරමි. නමුත් එම ගුණාංග නොමැති වුවත් මම මියයන තුරු ඔහුට ආදරය කරමි. 


ඔව්, මම සිතන ආකාරයට මම ඔහුට ආදරය කරන්නේ ඔහු පිරිමියෙක් සහ ඔහු මගේ වීම නිසා බවයි. මම කලිනුත් කියූ ආකාරයට ආදරය යන හැඟීම වචනයෙන් විස්තර කල හැකි එකක් නොවේ. එය පැමිණෙන ආකාරය අපි කවුරුවත් දන්නේ නැහැ.

වසර හතළිහකට පසු -

මේ ලෝකයේ සැමදාම අපහට සිටිය නොහැකියි. මේ ලෝකය සැදී ඇත්තේ එලෙසයි. අප දෙදෙනාගෙන් එක අයෙකුට මුලදී මේ ලෝකය අතහැර යාමට සිදු වුවහොත් මම ප්‍රත්තන කරන්නේ ඒ මම විය යුතු බවයි. ඔහු ශක්තිමත්, නමුත් මම දුර්වලයි. දැන් ඔහුගෙන් මට ඇති ප්‍රයෝජන වලට වැඩ මගෙන් ඔහුට ඇති ප්‍රයෝජනයක් නැහැ. ඔහු නොමැති ජීවිතය ජිවිතයක් නොවේ. මම මෙය කෙසේ දරාගන්නද? මම තමයි පළමු බිරිඳ; මම නැවත පැමිණෙන්නේ අවසාන බිරිඳ ලෙසින්.

ඒවගේ සොහොනේ 

ආදම් - ඇය කොතැනක සිටියත් එතැන ඒදන් උයන තිබේ.