Friday, February 28, 2020

ජීවිතය



ජීවිතය ත්‍යාගයකි
ඉපයීමට දිය යුතු
නිම් ඇති මාවතකි
මිනිසුන්ට නොපෙනෙන

කටු පඳුරු මාවතකි
අබලන් වුනු
සමහරු ඇවිද යති
කටු පඳුරු රැගෙන

මහ පුදුම දෙයකි මෙය
ඉර කිට්ටුම තැනකට වී
ඉරේ රශ්මියෙන්
ස්නානය කරන

ඉරටම පිච්චුනු බව
දැනගත් විට
පමා වී

අවසානය...



Tuesday, February 25, 2020

සීසර්ව මැරුවේ බෲටස් ද?

ක්‍රි.පූ. 44, මාර්තු මස 15 වන දින රෝමානු සෙනෙට් සභිකයන් කණ්ඩායමක් විසින් සෙනෙට් රැස්වීමකදී ජුලියස් සීසර්ව මරා දමයි. පිහි ඇනුම් 23 ක් ඇතිව මෙම ඒකාධිපතියා මරණය අත්කර ගනියි. එහෙත් මෙම මරණයට වගකිව යුත්තේ කව්ද?සීසර්, ඝාතකයන්ගෙන් එක් අයෙකු දෙස බලා තම අවසන් හුස්ම හෙළූ බව ෂේක්ස්පියර්ගේ පාඨකයන් දනියි. සීසර්ගේ යහලුවෙක් වූ ඔහු නමින් මාර්කස් ජුනියස් බෲටස් වේ. “Et tu, Brute?” “බෲටස්, ඔබත්” යන්න සීසර්ගේ අවසන් වදන් බව “ජුලියස් සීසර්” නම් නාට්‍යයේ සදහන් වේ. තත්ත්වය එසේ වුවත් සීසර් සත්‍ය වශයෙන් ම​ එසේ පැවසුවේ යයි සනාථ කළ නොහැක​. ඇතැම් වාර්තා අනුව ඔහු පවසා ඇත්තේ “ඔබත් මා දරුවා!” යනුවෙනි. එපමණක් නොව බෲටස් සීසර්ගේ ළඟම හිතවතෙක් හෝ ඝාතනයේ මහමොළකරු ද නොවේ.

ඝාතනය සැලසුම් කිරීමට කිහිප දෙනකුම සම් බන් ධ වූ අතර ඉන් මහ මොලකරු වූයේ වෙනත්ම පුද්ගලයෙකි. ඔහු නමින් ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් වේ. ඩෙසිමස්, මාර්කස් බෲටස්ගේ දුරින් නෑයෙකි. ෂේක්ස්පියර් විසින් ඩෙසිමස්ව සීසර් ඝාතනයට ඈදා නොමැති බැවින් ඔහු සියල්ලන්ටම අමතක වූ ඝාතකයෙක් වූ අතර මෙහි මහමොළකරු ද වූයේ මොහුයි. අනෙක් අතට, සීසර්ගේ ළඟින් ම හිඳ ඔහුට ද්‍රෝහී වුව්වකු වේ නම් ඒ සුප්‍රකට මාර්කස් බෲටස් නොව මේ කියන ඩෙසිමස් බෲටස් ය​.ෂේක්ස්පියර් විසින් සීසර් ඝාතනය උදෙසා ප්‍රධාන වශයෙන් දෙදෙනෙක් යොදවයි. ඒ මාර්කස් බෲටස් හා කැසියස් ලොන්ගිනස් ය. ෂේක්ස්පියර් ඩෙසිමස් ව නාට්‍යට ඇතුලත් කරද ඔහුගේ නම ඩෙසියස් ලෙස වෙනස් කරයි. මෙම වෙනස්කිරීම සාමාන්‍යයෙන් ප්‍රකට ඉතිහාස කතාවට පාදක වන නමුත්, ඩෙසිමස් මෙම ඝාතනයේ මහමොළකරු බව ඓතිහාසික මූලාශ්‍ර සොයා බැලීමේ දී පෙනී යයි.බෲටස් හා කැසියස්ට වඩා ඩෙසිමස්, ජුලියස් සීසර්ට හිතවත් ව සිටියේය. සීසර් බලය ලබා ගැනීම උදෙසා කෙරූ සිවිල් යුද්ධයේ දී ඉහත දෙදෙනා සීසර්ට විරුද්ධව සිටියත් ඩෙසිමස් සීසර්ගේ ළඟින්ම ඔහුට පක්ෂපාතීව සිටියේය. සිවිල් යුද්ධයෙන් පසු සීසර් විසින් බෲටස්ට හා කැසියස්ට සමාව දී තම දේශපාලනඥයින් ලෙස පත්කර ගත් නමුත් සීසර් ඔවුන්ව විශ්වාස කලේ නැත.

ඩෙසිමස් රෝම ප්‍රභූ පැලැන්තියට අයත් වූ අතර ඔහුගේ සීයා රෝම අධිරාජ්‍යය ස්පාඥ්ඥය දක්වා වර්ධනය කිරීමට සමත් විය. එනමුත් ඩෙසිමස්ගේ පියා එතරම්ම දක්ෂ නොවූ අතර මව කැරැල්ලකට ද අත ගැසීය. ඒ හේතුවෙන් ඩෙසිමස්ගේ පවුලේ කීර්තිය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගියේය. ඉන්පසු සීසර් පැමිණ ඩෙසිමස්ට තම පවුලේ ගෞරවය නැවත නගා සිටුවීම සදහා අවස්ථාවක් ලබා දුන්නේ ය.

ඩෙසිමස් හොද අධ්‍යාපනයක් ලැබූ එඩිතර සෙන්පතියෙක් සහ යුධ වීරයෙකි. ඩෙසිමස් සීසර්ගේ හමුදාවට එක් වූයේ ඔහුට වයස විසි ගණන් වන විට දී රෝම අධිරාජ්‍යයට ගෝල් දේශය (ප්‍රංශය හා බෙල්ජියම) එකතුකර ගැනීමේ සටන් වලදීය. මෙම ගෝල් දේශය අත්පත් කර ගැනීමේ කාර්යයේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කල ඩෙසිමස්, සීසර්ට ගෝල් දේශය අත්කර දීමට සමත් විය. රෝමානු සෙනට් සභාවේ සිටි සීසර්ගේ සතුරන් සීසර්ව බලයෙන් පන්නා දැමීමට කටයුතු සිදු කරමින් සිටි අතර එය සිවිල් යුද්ධයකට පෙරලුණි. මෙම සිවිල් යුද්ධයේදී ඩෙසිමස් සීසර්ට පක්ෂපාතීව සිටියේ ය. ඉන්පසු නැවතත් ගෝල් දේශයේ මධ්‍යධරණී කොටසේ සටනකදී ඩෙසිමස් ජයග්‍රහණය කලේය. එමනිසා සීසර් ඩෙසිමස්ව ගෝල් දේශයේ ආණ්ඩුකාරයා ලෙස පත්කොට වෙනත් පෙදෙසක ඇති සටන් සදහා ගියේය. ඉන් වසර හතරකට පමණ පසු එනම් ක්‍රි.පූ. 45 දී සීසර් තම යුධ ජයග්‍රහණ ඇතිව විජයග්‍රාහීව රෝමයට පිවිසියේය. මෙසේ රෝමයට යන විට සීසර් අසලින්ම ඩෙසිමස් ද සිටියේය. මෙතරම් සීසර්ට පක්ෂපාතීව සිටි ඩෙසිමස් මින් මාස නමයකට පසු සීසර්ව ඝාතනය කලේ ඇයි?

බොහෝ රෝමානු වැසියෝ සීසර්ට තිබූ බලය පිලිබද බියකින් සිටිය හ​. රෝම අධිරාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යැයි කීවද එහි මේ වන විට තිබුනේ මිලිටරි ඒකාධිපතිවාදයකි. සීසර් ඊජිප්තුවේ ක්ලියෝපැට්රා රැජිණව තම අනියම් බිසව බවට පත්කර ගත්තේය. ක්‍රි.පූ. 44 මාර්තු මස වන විටදී ඇය රෝමය අවට පිහිටි සීසර්ට අයත් ස්ථානයක විසීමටද පැමිණි අතර ඇගේ ලාබාල දරුවා සීසර්ගෙන් ජන්මය ලද බවද පැවසීය. මේ සියල්ල රෝම සංස්කෘතිය හිස් මුදුනින් පිලිගත් අයගේ දෝෂාරෝපණයට හේතු විය.

ඩෙසිමස් නිදහසට වඩා ගෞරවය ගැන වැඩි සැලකිල්ලක් දැක්වූ අයෙක් බව ඔහුගේ ලියුම්වලින් ගම්‍ය වේ. රෝමයට විජයග්‍රාහීව පැමිණෙන විට සෙන්පතිවරුන් උදෙසා පෙළපාලියක් සූදානම් කිරීමට ඩෙසිමස් උත්සහ ගත්තද සීසර් එයට අවසර දුන්නේ නැත. සීසර් ඩෙසිමස්ට විවිධ දෑ ලබා දුන්නද ඔහුට ලැබිය යුතු ගෞරවය සීසර් ලබා දුන්නේ නැත.මෙකල වන විට සීසර්ගේ නෑදෑයෙක් වූ ගායස් ඔක්ටේවියස් නැගීගෙන පැමිණියේය. ඔහු සොල්දාදුවෙක් නොවූ නමුත් කපටි දේශපාලනඥයෙකි. මොහු සීසර්ගෙන් පසු ඔහුගේ තැන ලබා ගන්නවා දැකීමට ඩෙසිමස් කැමති වූයේ නැත. එපමණක් නොව ඩෙසිමස්ගේ බිරිද අයත් වූයේ සීසර්ගේ පවුල සමග එදිරිවාදීව සිටි පවුලකටයි.මේ හේතුවෙන් ඩෙසිමස් මූලිකත්වය ගෙන තවත් හැට දෙනෙකුද එක්ව ක්‍රි.පූ. 44 දී සීසර්ගේ ඝාතනය සැලසුම් කිරීමට පටන් ගත්තේය. සීසර්ව සෙනට් සභාවේදී ඝාතනය කිරීමේ අදහස ගෙනාවේ කැසියස් විසිනි. එය ක්‍රියාත්මක කලේ ඩෙසිමස් විසිනි. මන්ද සෙනට් සභාවේ සීසර් විශ්වාස කල අයෙකුට සිටියේ ඩෙසිමස් පමණි.

ඝාතනයට පෙර දින සීසර්ගේ නිවසේ රාත්‍රී ආහාරය සදහා ඩෙසිමස් ද සහභාගී වී සිටියේය. තමාව ඝාතනය කිරීමට යන බවට පැතිරෙන කටකතා හේතුවෙන් සීසර් පසු දින දී සෙනට් රැස්වීමට නොයාමටද තීරණය කලේය. මෙය දැනගත් පසු ඩෙසිමස් සීසර් හමුවට පැමිණ ඔහුගේ හිත වෙනස් කර සෙනට් රැස්වීමට රැගෙන ආවේය. එහිදී සීසර් ඝාතනය විය. මෙම ඝාතනයෙන් පසු ඩෙසිමස් අනෙක් ඝාතකයන්ට ආරක්ෂාව සැපයූයේ ය. එකල නගරයේ ආරක්ෂාවට සිටි භටයන් මෙන් දෙගුණයක ග්ලැඩියේටර් හමුදාවක් ඩෙසිමස් සතුව තිබුණි. මුලදී රෝම වැසියන් මෙම ඝාතකයන්ට උදව් කල නමුත් සීසර් ඝාතනයෙන් පසු ඔහුගේ අනුගාමිකයන්ගේ බලය දුටු විට එය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය. ඩෙසිමස් ඔක්ටේවියස්ට අකමැති වුවත් ඔක්ටේවියස් ඩෙසිමස් සමග බලය හඹා යෑමේ අරගලයට එකතු විය. එනමුත් වැඩි කල් යාමට මත්තෙන් ඩෙසිමස්ගේ හමුදාව ඔහුව අතහැර දැමූ අතර ඔක්ටේවියස් ද ඩෙසිමස් ව අතහැර දැමීය. ඉන්පසු සටනකදී ඩෙසිමස් පරාජය වී සතුරන් අතට පත්ව පසුව ඝාතනයට ලක් විය. බෲටස් හා කැසියස් සටනකින් පරාජය වී සියදිවි නසා ගත් අතර ඔක්ටේවියස් බල අරගලයේ නියුතුව අවසානයේ රෝමයේ පලමු අධිරාජ්‍යයා ලෙස නම් දැරීය.

[ වසර දෙකකට පෙර Roar Sinhala වෙබ් අඩවිය සදහා ලියූ ලිපියකි. පහත ලින්කුවෙන් ගොස් එම වෙබ් අඩවියට ලියූ ලිපි කියවිය හැක.

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය - වජිරා චිත්‍රසේන

ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුණේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපටවල කාන්තාවන්ගේ චරිතවලට පණ පෙව්වේ පිරිමින් ය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විට යි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හඳුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවේ. හතළිහ දශකය මැද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගත්තා. ලාංකික මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මූලික අඩිතාලම් දමමින් වර්තමානයේ දී ද දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කරමින් පවතියි. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය නමින් ‘වජිරා චිත්‍රසේන' යි.

කුඩා කල

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දින යි. පියා කළුතර නගර සභාවේ සේවය කළ අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියකි. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා කල දීම මියගියේ ඇදුම රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයෙන් වජිරා අධ්‍යාපනය ලත් අතර, ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබුවා ය. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආශාව තිබුණේ ඇයට වඩා ඇගේ මවට යි.

චිත්‍රසේන හමුවීම

වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේනව හමුවීම තුළින්. වජිරා කුඩා අවධියේ දී තරුණ චිත්‍රසේන, කළුතර නගර සභාවේ නගර ශාලාවේ ‘විධුර' නාටකය රඟ දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කළ අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍යයන් බැලීමට පැමිණ ඇති අතර සමහර දවස්වලට එම නාට්‍යයන් රඟ දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරයන් සදහා වජිරාගේ නිවසට ද පැමිණ තිබෙනවා. මෙසේ චිත්‍රසේනයන්ගේ නාට්‍ය කණ්ඩායම ද වජිරාගේ නිවසට පැමිණ තිබෙනවා. මෙකල වජිරා ඉතා කුඩා වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධිය යි. එකල චිත්‍රසේනයන්ගේ සහායක ශිල්පිනිය ලෙස කටයුතු කළේ ඉහත දී සදහන් කළ චන්ද්‍රලේඛා ය. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයට යන්නේ මෙම අවධියේ සිට යි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනයන්ගේ නිවසේයි. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වෙයි. එවිට ඇයට වයස අවු. 18 කි.

කලා ජීවිතය

වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ ‘විධුර' නාට්‍ය තුළිනි. ඇය එහි නාග කන්‍යාවකට රඟපා තිබේ. විධුර නාට්‍යය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසිනි. එකල ‘පැජන්ට් ඔෆ් ලංකා’ යන නමින් තිබූ සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කළේය. ඒ ‘විජය සහ කුවේණි’ සහ ‘රාවණා හා සීතා’ ය. ඇය රවණා හා සීතා නාට්‍යයේ මුවෙකුට පනපොවා තිබේ. වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ ‘කුමුදුනි' මුද්‍රා නාට්‍ය මඟිනි. එය නිර්මාණය වූයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය යි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බඳු වූ ‘නල දමයන්ති' මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කරයි. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කළ හපනා ,ගිනි හොරා, වන මල්, සහ ඇන්ටිගනි යන කලාකෘතිවලට නිර්මාණය කළ රංග වින්‍යාසයන් තුළින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වේ. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි. චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග 1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේ දී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදුනා ය. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය,ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව ඇතුළු රටවල්වලට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහළින් තැබීමට කටයුතු කළෝ ය.
ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක, වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසිනි. වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අය කලාවට හඳුන්වා දුන් අතර සිය ගණනක් කලා ගුරුන් හා ගුරුවරියන් බිහි කර හා බිහි කරමින් පවතියි. චිත්‍රසේන කලායතනය තුළින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තැබමින් කළ සේවය ඉතා ප්‍රශංසනීය යි.  
මුලාශ්‍රයයන්:
1)චිත්‍රසේන - e-thaksalawa.moe.gov.lk
2)චිත්‍රසේන - apekattiya.wordpress.com
3)අම්මයි තාත්තයි කන්න බොන්න දුන්නා, චිත්‍රසේනයි මමයි නැටුවා - slbcsns.blogspot.com
4)ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා - සිළුමිණ පුවත්පත
5)අපි කනබොන තැන්වල නටන්නේ නෑ - slbcsns.blogspot.com
6)ලාංකේය නර්තන වේදිකාවේ පුරෝගාමී නර්තන කලාකාරිනිය - srilankantheatre.blogspot.com
කවරයේ පින්තුරය - වජිරා චිත්‍රසේන (සිළුමිණ පුවත්පත)

[ වසරකට පෙර Roar Sinhala වෙබ් අඩවිය සදහා ලියූ ලිපියකි. පහත ලින්කුවෙන් ගොස් එම වෙබ් අඩවියට ලියූ ලිපි කියවිය හැක.

වෛශ්‍යාවක ව සිට රැජිණක් වූ තියඩෝරා

තියඩෝරා චරිතය අපට හමුවන්නේ බයිසැන්තියානු අධිරාජ්‍ය සමයේ දී ය. එනම් ක්‍රි .ව. හයවන ශතවර්ෂය තුළ දී යි. ආරම්භයේ දී ගණිකාවක ව සිට පසු ව, පළමු ජස්ටීනියන් අධිරාජ්‍යයාගේ බිරිඳ වී රැජිණක් වීම ලෝක ඉතිහාසයේ සුවිශේෂී මෙන්ම අහඹු සිදුවීමකි.
තියඩෝරාගේ කුඩා කාලය පිළිබඳ ඇත්තේ තොරතුරු අල්පයකි. ප්‍රොකොපියස් නම් ඉතිහාසඥයාට අනුව තියඩෝරා උපන්නේ ක්‍රි. ව. 497 දී ය. ඇයගේ පියා අකේෂස් නැමැත්තෙක් වන අතර, ඔහුට දූවරු තිදෙනෙක් විය. අකේෂස්ගේ රැකියාව වූයේ කොන්ස්තන්තිනෝපලයෙහි පිහිටි හිපඩ්‍රෝම් (අශ්වයන් වැනි සතුන් විනෝද කටයුතු සදහා යොදාගනු ලැබූ රෝමයේ/ ග්‍රීසියේ ගොඩනඟනු ලැබූ රංග පීඨයක්) රංග පීඨයේ විනෝද කටයුතු සදහා වලසුන් පුහුණු කිරීම යි. ඔහුගේ දියණියන් තිදෙනා ම ඉතා රූමත් වූ අතර, ඔහුගේ මරණයෙන් පසු දියණියන්ගේ මව විසින් ඔවුන්ව පළාතේ ප්‍රසිද්ධ රංග වේදිකාවට හඳුන්වාදෙන ලදී. මොවුන් අතරින් තියඩෝරා අතිශයින් ජනප්‍රිය වූ අතර, ඇය කාම ආශාවෙන් පෙළුණු ඕනෑම පිරිමියෙක් සමග කිසිදු පැකිලීමකින් තොරව යහන්ගත වීමට හුරුපුරුදු වූ වෛශ්‍යාවක් බවට පත් වූවා ය. නමුත් සැලකිය යුතු කරුණක් නම්, ඇය ආරම්භයේ දී යෙදී සිටි වේදිකා රංගනය හා පසු ව යෙදුණු ගණිකා වෘත්තිය එකල බයිසැන්තියානු අධිරාජ්‍යය තුළ ගෞරවනීය නොවන රැකියා ලෙස සැලකූ බව යි.
මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින ස්ථානයක වුව ද සියලු ඇඳුම් උනා දැමීම තියඩෝරාට එතරම් අමාරු කාර්යයක් නොවීය. ඇය පිරිමින් සමග එක් වී ගැබ් ගත් සෑම අවස්ථාවක දී ම පාහේ ඇය එම දරු ගැබ විනාශ කළා ය. ඇයගේ මෙම රූප සොබාවට එක් විශේෂ පුද්ගලයෙන් වශී විය. ඔහු ජස්ටීනියන් නම් වූ අතර, රජ පවුලේ සාමාජිකයෙකි. තියඩෝරා සමග දැඩි ප්‍රේමයකින් පසු වූ ජස්ටීනියන්, මුල දී ඇය ව තම අනියම් බිරිඳ කොට තබා ගත්තේ ය. ඇය ඉල්ලන ඕනෑම දෙයක් දීමට ජස්ටීනියන් එක පයින් කැමති වූ අතර, ඔහුට ඇය ව තම නීත්‍යනුකූල බිරිඳ ලෙස තබා ගැනීමට දැඩි වුවමනාවක් විය. නමුත් එකල සෙනට් තානාන්තරයක් දැරූ පුද්ගලයෙක්ට ගණිකාවක් හෝ රංගන ශිල්පිනියක් විවාහ කරගැනීම නීතියෙන් තහනම් විය. මේ නිසා ඔහු තම මාමා වූ ජස්ටින් අධිරාජ්‍යයා හට කන්නලව් කර මෙම නීතිය ද වෙනස් කරමින් තියඩෝරා සමග විවාහ වූයේ ය.
ක්‍රි .ව. 527 දී ජස්ටින් අධිරාජ්‍යයා මියගිය අතර, ඔහුගෙන් පසු ජස්ටීනියන්, අධිරාජ්‍යයා බවට පත් ව තියඩෝරා රැජිණ බවට පත්විය. ඇය ජස්ටීනියන්ගේ උපදේශිකාව ලෙස කටයුතු කරමින් ජස්ටීනියන්ගේ දකුණු අත ලෙස කටයුතු කළා ය. ඇයගේ රාජ්‍ය පාලන හැකියාව ගැන මොනවට කියාපාන නිදසුනක් ක්‍රි .ව. 532 ජනවාරි මස දී රාජ්‍යයේ සියලු දෙනාට අත්දකින්නට ලැබුණි. ජස්ටීනියන් අධිරාජ්‍යයාට විරුද්ධ ව කැරැල්ලක් ඇති වූ අතර, එහි අරමුණ වූයේ ඔහු ව සිහසුනෙන් නෙරපා දැමීම යි. අධිරාජ්‍යයාගේ අනෙකුත් උපදේශකයින් ඔහුට අධිරාජ්‍යය අතහැර පලා යන ලෙස උපදෙස් දුන් නමුත්, තියඩෝරා කියා සිටියේ ඔහු අධිරාජ්‍යය තුළ සිට කැරලිකරුවන් මැඩ පැවැත්විය යුතු බව යි. ජස්ටීනියන් ඇයගේ කීම අනුව ක්‍රියාත්මක වූ අතර, කැරලිකරුවන් මැඩලීමට බෙලසේරියස් සෙනවියාට පැවරීය. එහි ප්‍රථිපලය වූයේ කැරලිකරුවන් හිපඩ්‍රෝමයට ගාල් කර ඝාතනය කිරීම යි. කැරලිකරුවන් මැඩ පැවැත්වූ නමුත් ඔවුන් ඒ වන විටත් නගරයට විශාල වශයෙන් හානි කර තිබුණි. ජස්ටීනියන් හා තියඩෝරා එක් ව කොන්ස්තන්තිනෝපල් නගරය නැවත සැකසූ අතර, එය අවසන් වූයේ එකල ලෝකයේ තිබූ අලංකාරතම නගරවලින් එකක් ලෙස කොන්ස්තන්තිනෝපලය වැජඹවීමෙනි. මෙම නගර නිර්මාණයෙහි විශේෂ සන්ධිස්ථානයක් වන්නේ හග සොෆියා හෙවත් ශුද්ධ වූ ප්‍රඥාවේ දේවස්ථානය නැවත ගොඩනැඟීම යි. එය වර්තමානයේ දී ද දක්නට ලැබේ.
ජස්ටීනියන් විසින් සම්පාදනය කරන ලද නීති සංග්‍රහයට තියඩෝරා විශාල කාර්යභාරයක් ඉටු කළා ය. ඒ අතරින් වැඩිමනක් කාන්තාවන් හා සබඳි නීතීන් ය. උදාහරණ ලෙස කාන්තාවන්ට දේපළ තබා ගැනීමට අයිතිය ලබා දීම, දික්කසාදය ලබා ගැනීමට කාන්තාවට අවසරය ලබා දීම, හා කාන්තාවක් දූෂණය කිරීමට මරණ දඬුවම ලබා දීම ඉන් විශේෂ වේ. තියඩෝරා වයස අවු. 48 දී බරපතල රෝගී තත්ත්වයක් මත (බොහෝ විට පිළිකාවක්යැ යි කිය යි) මියගියා ය. ඇය ව කොන්ස්තන්තිනෝපලයේ අපෝස්තුළිවරුන්ගේ දේවස්ථානයේ භූමිදාන කළ අතර, ජස්ටීනියන් මියගිය පසු ඇය අසල ම භූමිදානය කරන ලදී.
ජස්ටීනියන් හා තියඩෝරා ගැන විස්තර අපට හමුවන්නේ ප්‍රොකොපියස් නම් ඉතිහාසඥයා ලියූ ග්‍රන්ථ මඟිනි. ඔහු ජස්ටීනියන් සිටි කාලයේ දී ම ජීවත් වූ අයෙක් වූ අතර, ඔහුගේ එක් පොතක හැර අනෙක් පොත්වල ඇත්තේ ජස්ටීනියන් හා තියඩෝරා ගැන ගුණ වර්ණනාවන් ය. නමුත් ජස්ටීනියන් මියගිය පසු ප්‍රොකොපියස් විසින් ලියන ලද ‘The Secret History’ නම් ග්‍රන්ථයේ මෙම දෙදෙනාගේ පිළිකුල් සහගත පක්ෂය අනාවරණය කරයි. එහි සඳහන් වන්නේ මෙම දෙදෙනා ලේ පිපාසිත කෲර පාලකයන් බව යි.
තියඩෝරා කෙතරම් අලංකාර හා බුද්ධිමත් කාන්තාවක වුව ද, ආදරයේ නාමයෙන් ජස්ටීනියන් විසින් එතරම් අපකීර්තිමත් ඉතිහාසයක් ඇති වෛශ්‍යාවකට රාජ්‍ය පාලනයේ බරපතල වගකීම් ලබා දෙන්නේ ඇයි? මේ සියල්ල සිදුවූයේ ආදරය නිසා ම ද? නැතිනම් වෙනත් හේතුවක් තිබේ ද? මෙයට පිළිතුරක් දීමට තවම කිසිවෙකු සමත් වී නැත.
[ වසර දෙකකට පෙර Roar Sinhala වෙබ් අඩවිය සදහා ලියූ ලිපියකි. පහත ලින්කුවෙන් ගොස් එම වෙබ් අඩවියට ලියූ ලිපි කියවිය හැක.
මූලාශ්‍රයයන්:
ලෝක ඉතිහාසයේ මං සලකුණු - ජස්ටින් බෙලගමගේ
ancient-origins.net
History.com


දෙවෙනි අවස්ථාව


මහළු සිංහ රජෙකි මහ කැලයේ
දුටුවලු නරියෙක් එත ඔහු වෙතනේ
කඩා පැන කමි ඔබ අද දිනයේ
සිතුවා රජා කට ලෙව කමිනේ

නරියා ඔහු වෙත ආ විට
කඩා පැන්නලු ඔහු කන්නට
රජතුමනි මා වැනි අයෙක් කෑ විට
හොඳ නැත ඔබ වැනි අයෙකුට

වෙළේ ඇත වෘෂභ රාජයා
ඔහුගේ ඇත මස් ගොබ රාජයා
අතහැරියොත් ඔබගේ මේ බාලයා
ගෙන එමි ඔබට ඒ වෘෂභ රාජයා

මහ වනයේ කිරුළු පළන් රජු
ඔහුගෙන් පසු කුමරෙක් නැති රජු
හඬා වැළපෙන අපගේ මහ රජු
සොයති රජෙක් ඔහුගෙන් පසු

මේ අසා ඒ වෘෂභයා
සිතයි මම වෙමි ඒ කුමාරයා 
රැගෙන යනු මගේ රජු වෙතටා
අණ කරයි ඔහු රජ වීමට පෙරටා

ඔහු යයි ගරු සරු ලීලාවෙන්
මහළු රජා පනියි ඔහු වෙත ගර්ජනාවෙන්
මහළු නිසාදෝ ඔහුගේ බාහුවෙන්
පලා ගියා වෘෂභයා නොපමාවෙන්


කිම්දෝ ඔහු මා වෙත පැන්නේ
අසයි වෘෂභයා රුපු මුහුණ සමගින්නේ
රජකමට කෙනෙකුයි අප මහ රජ සොයන්නේ
සැක හැර බැලීමටයි ඔහු ඔබ වෙත පැන්නේ

නැවත ඔබ යන විට
පැන්නත් සිහ රජු ඔබ වෙතට
සිටිනු තෙදවත් රජෙකු විලසට

ලැබෙයි රජකම ඔබට අද දිනම 

කපටි නරියා කී ලෙසටම
වෘෂභයා ඉටු කළා ඔහුගේ කාරිය
රජකමේ සිහිනය තබාගෙන
වෘෂභ රජු ගියා අවසන් නින්දට

මා සෝදා පැමිණෙන තුරු
රැකගෙන සිටිනු මේ මළ කුණු
නැතහොත් ඔබේ මළ කුණු
නොතිබෙයි සවස් වනතුරු


සිහ රජු පැමිණෙන තුරු
නොසිටි අපේ මහ මොළ කරු
කයි වෘෂභ රජුගේ හිස මස් කටු
එසැනම පැමිණෙයි අපේ රජු

සිහ රජු මොළය නැති බව දුටු විට
මෙසේ කීවා නරියා හනිකට
මොළය ඇත්නම් ඔහු හට
එයිද ඔහු දෙවෙනි වතාවට



Wednesday, February 19, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය - [9] කුකුළු හැවිල්ල



ඉස්කෝලෙ මහත්තයා - 

අද අපි කතාකරන්න යන්නේ සිංහලෙන් ලියැවුණු ලස්සන ගීතයක් ගැන. භරතමුණි පඬිවරයා ‘නාට්‍ය ශාස්ත්‍ර’ පොතේ සාහිත්‍යමය රසයන් කොටස් නමයකට බෙදනවා. දන්න අය කියමු බලන්න ඒ කොටස් නමය. 

නිමාලි - හාස්‍ය, භයානක…

ප්‍රසන්න - අද්භූත, ශාන්ත….

නිසල් - බීභත්ස්‍ය, ශෘංගාර, කරුණා…

කමනි - වීර…

ඉස්කෝලෙ මහත්තයා - තව එකක් තියෙනවා.

කමනි - මතක් වෙන්නෙ නෑනෙ.

ඉස්කෝලෙ මහත්තයා -

ඉතුරු රසය තමා රෞද්‍ර රසය. අද අපි කතා කරන්න යන ගීතයත් ලියැවිලා තියෙන්නේ රෞද්‍ර රසයෙන්. ගීතය ගායනා කරන්නේ සුනිල් ශාන්ත ලියන්නේ රැපියෙල් තෙන්නකෝන්. රැපියෙල් තෙන්නකෝන් කියන්නේ හෙළ හවුලේ විශිෂ්ටතම කවියා. මේ ගීතය තියෙන්නේ තෙන්නකෝන් මහත්තයගේ ‘හැවිල්ල’ පොතේ. ගම්බද කාන්තාවක් තමන්ගේ කුකුළා මැරිලා ඉන්නවා දැකපු නිසා උන්නැහේ යනවා නා ගහක් ගාවට. එතනට ගිහිල්ලා කතරගම දෙවියන්ගෙනුයි ඒ නා ගසේ ඉන්න වෘක්ෂ දේවතාවුන්නාන්සෙගෙනුයි තමන්ගෙ කුකුළා මරා හාපු හොරාව මරන්නයි කියලා පළිගහනවා. ඒ නිසා තමා මේකට හැවිල්ලක් නැත්නම් සාපයක් කියන්නේ. මේ ගීතයට සම්බන්ද පසුබිම තියෙන්නෙ නම් ගීතයට කලින් තියෙන කවි පද පේලි වල. හොදයි කියමු බලන්න ගීතයේ මුල් පද කිහිපය.

කමනි -

දුදනො'ද බිඳ
ලද තෙද කඳ
කඳ දෙව් රද
සාමිනේ!

ඉස්කෝලෙ මහත්තයා -

දුදනන් කියන්නේ නපුරු ගති පැවතුම් තියෙන මිනිස්සු. දුදනන්ගේ බලය බිඳපු නිසා විශාල තේජසක් අත්වුනු කඳ දෙවියො ඒ කිව්වේ කතරගම දෙවියන්ටයි මේ කොටහින් කතා කරන්නේ. ඊළඟ කොටස.

නිසල් -

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබ ගෙ පාළු යකා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නො දී මකා

ඉස්කෝලෙ මහත්තයා -

මේ කොටසින් කියන්නේ තමන්ගේ කුකුළව මරා දාපු කෙනාට තව එක බදාදා දවසක් ඉන්න දෙන්න නැතුව මරන්න කියලා. මේ එක්කම කතරගම දෙවියන්ව උපහාසෙකටත් මේ කාන්තාව ලක් කරනවා. කතරගම දෙවියන්ගෙ දදය ඒ කිව්වේ කොඩිය පාළුවට ගිහිල්ලයි කියනවා. මොකද කතරගම දෙවියන්ගේ කොඩියෙ ඉන්නෙත් කුකුළෙක්.

සහන් - කතරගම දෙවියන්ගෙ කොඩියට කුකුළෙක් ආවෙ කොහොම ද?

ඉස්කෝලෙ මහත්තයා -

කතරගම දෙවියන්ගේ කොඩියට කුකුළා ආපු විදිහ ගැන ජනප්‍රවාද කිහිපයක් ම තියෙනවා. තාරක කියන අසුරයාගේ වැඩිමල් සොහොයුරා තමා සූරපද්මන්. සූරපද්මන්ගේ බෙල්ල කපලා සූරපද්මන්ව මරන්න කොච්චර උත්සහ කරත් ඒක හරිගියේ නැහැ. මොකද සූරපද්මන් සිංහ , ව්‍යාග්‍ර හා එළු හිස් ඇතිව ආයෙත් ඉපදෙන්න ගත්තා. මේ නිසා කඳ කුමාරයා සූරපද්මන්ගෙ හිස තිරස්ව කපන්නෙ නැතිව සිරස්ව කපලා ශරීරය දෙපලු කළා. ඉතින් සූරපද්මන් කඳ කුමාරයා ගාව වැඳවැටිලා ඉල්ලුවා එයාව මරන්න එපා කියලා. ඉතින් කතරගම දෙයියො මේ කපාපු පලු දෙකට වරයක් දුන්නා. එක පලුවක් මොණරෙක් වෙලා කතරගම දෙවියන්ගේ වාහනය වුනා. අනිල් පලුව කුකුළෙක් වෙලා කොඩිය වුනා.

තවත් කතාවක කියන්නේ අසුරයන්ව පරද්දන්න ශිව දෙවියන් ලවා කතරගම දෙවියන්ව මවන්න මුල් වුනු විශ්ණු දෙවියෝ කඳ කුමාරයාට පොඩි කාලෙ සෙල්ලම් කරන්න කුකුළෙකුයි මොණරෙකුයි තෑගි දුන්නා කියලා. හොදයි ඊලඟ කොටස.

ප්‍රසන්න -

බලා එල්ල
හෙළුව හෙල්ල
මුලැ මැ බෙල්ල
මරු තැනේ,

ඉස්කෝලෙ මහත්තයා -

මේ කොටහින් ගැමි කාන්තාව කියනවා තමන්ගෙ කුකුළව මරාපු කෙනාට දෙන්න ඕන දඬුවම ගැන. කතරගම දෙවියන්ට කියනවා හරියට එල්ලය බලලා මරපු කෙනාගෙ බෙල්ලටම වදින්න තමන්ගෙ හෙල්ලය විදින්න කියලා. ඊළඟ කොටස.

නිමාලි -

කතරගමට රුහුණු රටේ
හිඟා කකා, ලබන විටේ
පයින් මැ ගොස් ඇවිදැ වටේ
පොළොවැ උලා නළල් ඇටේ

දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී
දෙවියනේ,”

ඉස්කෝලෙ මහත්තයා -

මේකෙන් කියන්නේ තමන් ඉල්ලපු දේ, ඒ කිව්වේ කුකුළගෙ මිනීමරුවට දඬුවම දුන්නොත් ගැමි කාන්තාව ඉෂ්ට කරන භාරය ගැන. ඊළඟ වාරයේ කතරගමට හිඟා කාලා ලැබෙන සල්ලි වලින් ඇවිත් කතරගම දේවාලය වටේ පයින්ම ඇවිදලා නළල පොලොවෙ උලා ගන්නවයි කියනවා. මෙතනදී කතරගම දේවාලය වටේ නිකන්ම ඇවිදිනවා නෙමේ පැදකුණු එහෙම නැත්නම් ප්‍රදක්ෂිණා කරන්නේ. යම් දේකට හෝ යම් කෙනෙක්ට කරන ගෞරවයක් විදිහට ඒ කෙනා හෝ දෙය දිහා බලාගෙන තමන්ගේ දකුණු පැත්ත හරවාගෙන ඇවිදීමට තමයි ප්‍රදක්ෂිණා කරනවා කියන්නේ. ඊළඟ කොටසින් කියන්නේ එහෙම කතරගමට ඇවිල්ලා කතරගම දෙවියන් ඉදිරියේ බිම දිගා වෙලා වැඳලා එහෙම නැත්නම් දණ්ඩ නමස්කාරය කරලා ‘දෙවියනේ’ කියලා කෑ ගහනව කියලයි. හොදයි ඊළඟ කොටස.

කමනි -

රනින් කුකුළු රුවක් පුදමි
රිදියෙන් බිජුවටක් පුදමි
රන් දුනු හී දෙකක් පුදමි
රුවට රිදී රුවක් පුදමි

ඉස්කෝලෙ මහත්තයා -

මෙතනින් කියන්නේ දෙවියන්ට දෙන අල්ලසක් ගැන. රත්තරනින් අඹාපු කුකුලෙක්, රිදියෙන් හදාපු බිත්තරයක් රත්තරනින් හදාපු දුන්නක් හා ඊතලයක් විතරක් නෙමේ කතරගම දෙවියන්ගේ රූපයට සමාන රිදී රූපයක් අඹලා දෙන්නම් කියල කියනවා. මේකෙන් ඒ කාලෙ විතරක් නෙමේ අද ඉන්න සමහර මිනිස්සුන්ගේ මෝඩ කම කවියා උපහාසයකට ලක් කරනවා. කුකුළෙක් මියගියේ. නමුත් ඒකෙ පළිය ගන්න ඒ වගේ සිය ගුණයක් වියදම් කරන්න මිනිස්සු පෙළබෙනවා. ඊළඟ කොටස.

සහන් -

කතරගමේ
බල මහිමේ
දුටු ද එ මේ?
හැම තැනේ

කියමින් නම'කුරු ඔබගේ‍
බොළඳුන් ගෙ ද කිරි තුඬ'ගේ
රඟ දෙන්නට වඩමි අගේ
එකති'න් හිමි සඳිනි මගේ

මට කළ මෙ විපත අනේ
බලා ගන්නැ දෙවියනේ!
වැජැඹෙන නා මෙ විමනේ
බලන්නැ! නා සාමිනේ

ඉස්කෝලෙ මහත්තයා -

කතරගමේ බල මහිමය මේ හැම තැනම පැතිරිලා තියෙනවා දැක්ක ද? කියල ප්‍රශ්නයක් අහනවා. ඒ විතරක් නෙමේ තවම කිරි සුවඳ මුවෙන් ගියෙ නැති කුඩා ළමයින්ගේ මුවෙන් කතරගම දෙවියන්ගේ නම කියැවෙන්න තරමට උන්නාන්සේගේ වටිනාකම වර්ධනය කරනවැයි කියල කියනවා. අන්තිමට මේ ගැමි කාන්තාව කියනවා නා විමනේ ඉන්න නා දෙවියනේ මට විපතක් කල පුද්ගලයාට දඬුවම් දෙන්න කියලා.

මෙතනදී නා විමන කියලා හදුවන්නේ හුඹහක් නෙමේ. නා සාමිනේ කියන්නෙ නාග රාජයෙක් නෙමේ. මොකද මේ ගැමි කාන්තාව තමන්ගෙ නිවස කිට්ටුව තියෙන නා ගසක් ගාවට ගිහිල්ලයි මේ පළි ගැහිල්ල කරන්නේ. ගස් බෙනයක නාගයෝ ඉන්න බවක් වැඩිය අහන්න ලැබෙන්නෙ නැහැ. නමුත් ජාතක කතා පොතේ ‘නකුල ජාතයේ’ නම් එහෙම හිටපු කතාවක් තියෙනවා. "එසමයෙ පන්සල සමීපයෙහි සක්මන් කෙළවර තුඹසක මුගටියෙක් වාසය කෙරෙති. එතනට සමීපයෙහි ගස් බිලක (බෙනයක) සර්පයෙක් වාසය කෙරෙයි" කියලයි තියෙන්නේ. කොහොම උනත් මේ ගැමි කාන්තාව පළි ගැහිල්ල කරන්නේ සංහිදක් ඒ කිව්වේ දෙවියන්ට පහන් දල්වන්න සාදපු තැනකට ගිහිල්ලා. ඉතින් මේ කොටහේ කියවෙන නා සාමින් කියන්නේ නා ගසේ වැඩ හිඳින වෘක්ෂ දේවතාවන්ට.



Monday, February 17, 2020

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය [8] කෙම්ගෙඩිය සහ මල් පූජාව


කමනි - සර් මට පොඩි දෙයක් අහන්න තියෙනවා.

ඉස්කෝලෙ මහත්තයා - ඔව් කියන්න පුතේ.

කමනි - ඊයෙ අපේ ගෙදර ඉන්න හරකගෙ බෙල්ලෙ මොනාදෝ ගුලියක් එල්ලලා තියෙනවා දැක්කා. ඉතින් මම අපේ සීයගෙන් ඇහුවා මොකක්ද ඒ කියලා. සීයා මට මුකුත් කිව්වෙ නෑ. මුකුත් ඒ ගැන කතා කරන්න එපා කිව්වා. ඇත්තටම ඒ මොකක් ද?

ඉස්කෝලෙ මහත්තයා - සීයා එහෙම කියලා තියෙන්නේ ඒක කෙමක් නිසා. කෙමක් කරද්දි කතා කරන්නෙ නෑ.

කමනි - කෙමක්? ඒ කෙම මොකක් ද?

ඉස්කෝලෙ මහත්තයා - හරකුන්ට කුර ලෙඩ හැදුනහම ඒකට බෙහෙතක් හොයාගන්න ගමේ මිනිස්සු වෙදමහත්තයා ගාවටයි යන්නෙ. ඉතින් වෙද මහත්තයා බෙහෙත් පොට්ටනියක් හදලා දෙනවා. මේ බෙහෙත් පොට්ටනියත් අරගෙන ගමේ මිනිස්සු කාත් එක්කවත් කතා කරන්නෙ නැතුව හරකගෙ බෙල්ලෙ බඳිනවා. මේ බෙහෙත් පොට්ටනියෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ වෙද මහත්තයා විතරයි. ඉතින් ගමේ මිනිස්සු මේ බෙහෙත් පොට්ටනියට කිව්වා කෙම්ගෙඩිය කියලා. පස්සෙ කෙංගෙඩිය උනේ ඔය කෙම්ගෙඩිය තමා. හරි එහෙනන් ඊළඟ කවිය කියමු.

ප්‍රසන්න - පරසතු මලින් පුද
ලද මුනි සඳුට දියනද
වනපස මලින් පුද
කලැයි පවසනු කවර වරදද

ඉස්කෝලෙ මහත්තයා - හොදයි. ඔය කවිය කලින් කවි වගේම එන්නෙ වෑත්තෑවේ හිමි ලිව්ව ගුත්තිල කාව්‍යයෙන්. පරසතු කියන්නෙ දිව්‍යලෝකෙ හැදෙනවයි කියල විශ්වාස කරන මල් විශේෂයක්. මේ කවියෙන් වෑත්තෑවේ හිමි අහන්නේ බුදුන් වහන්සේට දිව්‍යලෝකයේ හැදෙන පරසතු මල් පිදුවත් කැලෑ මල් පිදුවත් මේ දෙකේ ඇති වෙනස මොකක්ද කියලා.

නිමාලි - ඇයි සර් අපි බුදුන් වහන්සේට මල් පූජා කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - බුදුන් වහන්සේ මල් පූජාවෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න උත්සහ කලේ ජීවිතයේ අනිත්‍ය බව. බුදුන්ට පුදපු මලක් වුනත් පරවෙනවා. ජීවිතයත් මේ වගේ. ස්ථිර නැහැ කියල පෙන්නන්නයි මල් පූජාවක් කරන්න කිව්වෙ.

සහන් - මම දවසක් දැක්කා ටී.වී. එකේ මල් දහදාහක පූජාවක්. ඒකෙන් ලැබෙන්නෙ මොනව ද?

ඉස්කෝලෙ මහත්තයා - මලක ලස්සන තියෙන්නෙ ඒක ගහේ තියෙනකොට මිසක් කැඩුවම නෙමේ. ජීවිතේ අනිත්‍යයි කියලා තේරුම්ගන්න මල් දහදාහක් පූජා කරන්න ඕන නෑ. මෙක තනිකරම ලෞකික දෙයක්. ඔයාලා දන්නවද බුදුන් වහන්සේ සිවුරක් තෝරගන්න කිව්වෙ කොහොමද කියල.

කමනි - කියන්නකො ඒක ගැනත්.

ඉස්කෝලෙ මහත්තයා - මැරුණු මනුස්සයෙක්ව වහපු රෙදි කඩක් අරගන්න කිව්වා. මොකද එහෙම රෙදි කඩක් කවුරුත් පාවිච්චි කරන්න කැමති නැති නිසා. ඊට පස්සෙ ඒ රෙදි කඩ කුඩා කොටස් වලට ඉරලා ආයෙ මහගෙන ඒක සිවුර විදිහට භාවිතයට ගන්නයි කිව්වෙ. මේ තරම් අල්පේච්චව ජීවත් වෙන්න උගන්නපු බුදුන්වහන්සේ මල් දහදාහක් පූජා කරන්න කියයි ද?



Friday, February 14, 2020

උරුමය

නොසැලිව හිඳගෙන එක්තැන්ව
දඟකාර පොඩිත්තන් දෙස
හොරැහින් බලයි සිනාසී
මට අහිමි උරුමය දෙස

කවදා කෙදිනක ලැබේවිදැයි කියා
බලා සිටිමි මම ඇඟිලි ගැනගෙන
අහෝ එයත් උරුම නැති මම
කෙසේ විඳින්න ද මේ විරාමය

පෙර කරුමය ද මේ පල දෙන්නේ
එනමුත් නෑ මම ඔහු හඳුනන්නේ
නොදුටු කෙනෙකුගෙ වරදට
කිම් ද මට දඬුවම් දෙන්නේ

සැවොම එකසේ කීවත්
වෙනසක් දැනුනි ද ඔබට දැන්වත්
ඉල්ලමි මම යටහත්
කරනු මැන මා සුවපත්

කුමට ද ඔබේ බල
ඇයි ද තබාගෙන රහසව
නොඇසේ ද මගේ හඬ
සිටී ද ඔබ බිහිරිව

හිමි වූවොත් මගේ උරුමය
සළකමි ඔබට ඔබේ වදන් ලෙසට
නැතහොත් ඔබ වෙතට
එමි මම නොපැකිල