Wednesday, March 25, 2020

අසුන් මත සිට අධිරාජ්‍යයක් තැනු මොංගොල්වරු

“අසුන් මත සිට අධිරාජ්‍යයක් බිහි කල හැකි නමුත්, අසුන් මත සිට එය පාලනය කල නොහැකියි” යැයි වරක් කුබ්ලයි ඛාන්ගේ අනුශාසකවරයෙක් පැවසීය. මෙම කියමනෙන් මොංගල්වරුන්ගේ නැගීම හා බැසීම මනාව පිළිබිඹු වෙයි.මොංගොල්වරු අතිශය රණකාමී හා අසුන් හැසිරවීමේ ඉතා දක්ෂ අය වූහ. මොවුන් ප්‍රභවය ලබන්නේ මධ්‍ය ආසියාවේ ස්ටෙප්ස් තණබිම් වලය. මොවුන් ඒ අවට සිටි චීනය ඇතුලු අනෙක් රාජ්‍යයන් වලට තර්ජනයක් විය. එකල සාම්ප්‍රදායික සටන් ක්‍රමය වූයේ එක තැන සිට පහර දීමයි. නමුත් මොංගල්වරු පහරදී පසුබැස නැවත පහරදී සතුරා වෙහෙසට පත්කිරීමේ ක්‍රමවේදයක් යොදා ගත් හ​. මොංගොල් හමුදාවල සිටි ගැහැණු පිරිමි දෙපක්ෂයේම අසුන් මෙහෙයවීමේ නිපුණතාව හා දරාගැනීමේ ශක්තිය පුදුම දනවන සුළුයි. මොවුන් ගමන් ගන්නා සෑම තැනකදී ම යුවර්ට් නමින් හැදින්වෙන රවුම් හම් කූඩාරම් රැගෙන යයි. ආහාර සදහා ගත්තේ කිරි හා මස් වර්ග පමණි.
මොංගොල් හමුදාවක් දැක්වෙන සිතුවමක්. (Iknmongol.com)

මෙම මොංගොල් බලය අධිරාජ්‍යයක් ලෙස ගොඩනැංවූයේ යකඩ තනන්නා යන අර්ථය ඇති ටෙමුජින් ය. පසු කලෙක මිහිමඬලේ නායකයා යන අරුත ඇති චෙංගීස් ඛාන් යන නම මොහුට ව්‍යවහාර විය. ඉතාමත් දුක්ඛිත ළමා කාලයකට හිමිකම් කියන ටෙමුජින්ගේ පියාව ටාටර්වරු විසින් වස දී මරණයට පත් කරයි. ඉන් පලිය ගැනීම සදහා සේනා සංවිධානය කර ටාටර්වරු පරාජය කරයි. පසුව ගැල දණ්ඩකට වඩා උස සියලු පිරිමින් මරා දැමුනු අතර කාන්තාවන් හා ළමුන් වහල් භාවයට ගත්තේය. ක්‍රමක්‍රමයෙන් බලය වර්ධනය කරගත් චෙංගීස් මොංගෝලියාවේ ජනකොටස් තිහක පමණ පාලන බලය තමන් සතු කරගත්තේය. චෙංගීස්ගේ මෙම කෲර වැඩපිලිවෙල ඔහුගේ “ලේ සොහොයුරා” නොරිස්සූ අතර ඒ නිසා ඔහුව ද චෙංගීස් විසින් මරණයට පත් කලේය. සුළු කාලයක් තුල චීනයේ ජූෂෙන් හා ටැන්ගුට් ජනතාව තමන් යටතට පත් කරගත් අතර 1218 වන තුරු ලෝකය දිනා ගැනීමේ අභිලාෂයක් ඔහු සතුව නොවීය.
මැටි වලින් තනන ලද ජෙංගීස් ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳගේ පිළිරුවක්. (Wikipedia.org)

1218 දී සමර්කාන්ඩ් හි කොරෙස්මි රජතුමා තමන් වෙතට පැමිණි චෙංගීස් ඛාන්ගේ වෙළඳ නියෝජිතයන්ව මරා ඔවුන්ගේ භාණ්ඩ රාජ සන්තක කර ගත්තේය. මෙයින් කුපිත වූ චෙංගීස් ඛාන් තම හමුදාව බටහිරට මෙහෙයවන්නට විය. මේ වන විට මොංගල්වරු ප්‍රාකාරවලින් ආරක්ෂා වූ නගර සාර්ථක ලෙස වැටලීමේ හැකියාව ප්‍රගුණ කොට තිබුණි. මෙසේ මැදපෙරදිග හා මධ්‍යම ආසියාවේ යුධ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් පසු සන්ධානගත වූ ගෝත්‍ර වල ගෝත්‍රික අනන්‍යතාවය නැති කර මොංගෝලියානු අනන්‍යතාවයක් ඔවුනට ඇති කිරීමට වැඩකටයුතු සිදු කලේය.චෙංගීස් ඛාන්ගේ මරණයෙන් පසු ඔහු එක්සත් කල රාජ්‍යය එකිනෙකා තරඟ කරන ඛානේට් රාජ්‍යයන් හතරකට බෙදී ගියේය. මේවා මොංගොල් චීනය, කිප්චැක් ඛානේටය (ගෝල්ඩන් හෝර්ඩය​), චගටායි ඛානේටය හා ඉල්ඛානේටය ලෙස හැදින්වේ. මෙයින් වඩාත් දියුණු ඛානේටය වූ මොංගොල් චීනය පාලනය කලේ කුබ්ලයි ඛාන් විසිනි.

චෙංගීස් ඛාන්ගේ මරණයෙන් පසු 1229 දී රාජ්‍යත්වයට පත් ඔහුගේ පුත් උගිදේ චීනයේ ෂිංග් රාජවංශයට එරෙහිව යුද්ධ කර 1234 වන විට ෂිංග් පාලනය​ අවසන් කලේය. වොල්ගා නදිය තරණය කරමින් රුසියාවට ඇතුලුවූ මොංගොල්වරු 1240 වන විට උතුරේ නගර කිහිපයක් හැරුණු විට මුලු රුසියාවම පාහේ තමන් සතු කර ගත්තේය. බැග්ඩෑඩය අගනුවර කරගනිමින් තිබුණු මුස්ලිම් අබාසිඩ් කාලිෆ් රාජ්‍යයද 1258 දී මොවුන් අතින් විනාශයට පත්විය.
1207 වන විට මොංගොල් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය(wikipedia) 

1260 වසරේ දී මුස්ලිම් මැම්ලුක්වරුන් හා මොංගල්වරුන් අතර පැවති සටන් මොංගල් යුධ ව්‍යාපාරවල තීරණාත්මක අවධියක් විය. මෙය අයින් ජලුට් සංග්‍රාමය නම් විය​. පහරදී පසුබැස සතුරා වෙහෙසට පත් කර නැවත පහරදීමේ පිලිවෙත මොංගොල්වරුන් අනුගමනය නොකල පලමු අවස්ථාව මෙයයි. මෙම සටනෙන් මොංගොල්වරු පරාජයට පත්වූ අතර පිස්තෝලයේ ආරම්භක අවස්ථාව වූ අරාබි භාෂාවෙන් මිඩ්ෆා නමින් හැදින්වෙන ආයුධය මැම්ලුක්වරුන් විසින් භාවිතයට ගත්තේය. මොංගල් හමුදාව මෙහෙයවූ කිට්බුකා නෝයන්ගේ හිස කඳෙන් වෙන් කර එය බෝලයක් ලෙස භාවිතා කරමින් මැම්ලුක්වරු පෝලෝ ක්‍රීඩාවේ යෙදුනු බව කියවේ.

උගිදේ ගේ මරණයෙන් පසු ඔහුගේ පුත්‍රයා ගුයුක් ඛාන් බලයට පත් විය. ඔහුගෙනුත් පසු මොංකේ බලයට පත් වූ අතර කුබ්ලයි ඛාන් මොංකේගෙන් රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. කුබ්ලයි ඛාන් යනු චෙංගීස් ඛාන්ගේ මුණුබුරෙකි. වසර හාරසියයක් මුලුල්ලේ කොටස් වලට කැඩී තිබුනු චීනය එක්සත් කොට එහි යුවාන් රාජවංශය පිහිටවනු ලැබීය.ඉන්පසු තම රාජ්‍යයට කොරියාව ඈඳා ගත් පසු ජපානය, වියට්නාමය, බුරුමය (මියන්මාරය) හා ජාවා ආදී රටවල් ආක්‍රමණය කලේය. කුබ්ලයි ඛාන්ගේ මරණයෙන් පසු රාජ්‍යයේ ක්‍රමික පසුබැස්මක් දක්නට ලැබුණි. මෙකල කළු මරණය (Black Death) පැතිරී ගිය අතර එමගින් ගම්මාන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගියේය. කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කල යුවාන් රාජවංශය 1368 දී මිං රාජ වංශය විසින් පරාජයට පත් කලේය.
මොංගොල්වරුන් සටන්කිරීම දැක්වෙන සිතුවමක් (Wikipedia)

චෙංගීස් ඛාන්ට පෙර මොවුන් අප්‍රකට අර්ධ ගෝත්‍රික ජන කණ්ඩායමක් පමණක් විය. දඩයම , සත්ව පාලනය හා යුධ ශිල්ප දැනුම තිබුණු මොවුන්ට දේශපාලනය ගැන තිබුනේ අල්ප දැනුමකි. කුබ්ලයි ඛාන් ඇතුලු කිහිප දෙනෙක් හැරුණු කොට දේශපාලනය ගැන බොහෝ දෙනා සිතුවේ පවුල් පාලනයක් ලෙසයි. යුධ සෙනෙවියන්ගේ පෙළඹවීම නිසා නාස්තිකාර යුධ ව්‍යාපාරවල නිරත වූ බැවින් ද මොංගල් අධිරාජ්‍ය පිරිහීමට පත් විය. ලොව විශාලතම යාබැදි රාජ්‍යය පාලනය කල මොංගොල් අධිරාජ්‍යය අවුරුදු 150ක් වැනි කෙටි කාලයක් තුල ඉතිහාස සටහනක් විය.

මූලාශ්‍ර:
  • Genghis Khan (History Channel)
  • Livescience.com
  • ලෝක ඉතිහාසයේ මං සලකුණු – ජස්ටින් බෙලගමගේ
[මෙය වසර දෙකෙකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. මෙම වෙබ් අඩවියට මවිසින් ලියූ තවත් ලිපි කියවන්න පිවිසෙන්න මෙතනින් ]

ප.ලි.

Mongol යන වදන මොංගොල්/ මොංගල් යන දෙආකාරයට ම උච්චාරණය කළ හැකියි. ඩවුන් සින්ඩ්‍රෝමය සෑදුනු දරුවන් නොහොත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ව්‍යවහාරයේ දී බොහෝ දෙනෙක් 'මොංගල්' යන වදන භාවිතා කරයි. ඩවුන් සින්ඩ්‍රෝමය හඳුනාගත් මුල් කාලයේදී මේ සදහා භාවිතා වුයේ 'මොංගලිසම්' යන වදනයි. මේ සදහා හේතු වූයේ මෙම සින්ඩ්‍රෝමය ඇති දරුවන්ගේ හැඩහුරුකම් මොංගෝලියානුවන්ට සමානකම් දැක්වූ නිසාවෙන්. මෙම සින්ඩ්‍රෝමය හදුනාගත් ජෝන් ඩවුන් මෙය හැදින්වූයේ 'මොංගලොයිඬ්' ලෙසයි. මේ සින්ඩ්‍රෝමය සදහා ලංකාවේ 'මොංගල්' යන වදන භාවිතයට ආවේ මේ අයුරින්.

නමුත් 1961 දී විද්‍යාඥයන් 19 දෙනෙක් යෝජනාවක් පරිදි මෙහි නම වෙනස් කිරීමට කටයුතු කරනු ලබනවා. 1965 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'මොංගෝලියානු ජනතාවගේ ජනරජයේ'' [1924 -1992] ඉල්ලීමක් පරිදි ඉහත වදන් භාවිතය අතහරිනු ලබනවා. නමුත් 1980 අවධි තෙක් තැනින් තැන එම වදන් භාවිතා වූ අවස්ථා නැතුවා නොවේ. අවසානයේ දී 1975 වසරේ දී ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් එහි නාමය 'ඩවුන් සින්ඩ්‍රෝමය' ලෙස වෙනස් කරනු ලබනවා.

නමසිය හැත්තෑව අසූව යුගයන් වන විට අන්තර්ජාතිකව මෙම වදන් භාවිතය අතහැරියත්, අපි?


3 comments:

  1. 'නමසිය හැත්තෑව අසූව යුගයන් වන විට අන්තර්ජාතිකව මෙම වදන් භාවිතය අතහැරියත්, අපි?'

    ඔව් ඉතින් මිතිල සිසුවාත් ඔහු මාර්තු 22 පල කෙරු කෙටි කතාවක ශ්‍රවණ අපහසුතා/ වචන උච්ච්රානය කිරීමේ අපහසුතාවයක් ඇති ඇති දරුවෙක් ගැන සදහන් කරා. එහිදී ගොළුවා ලෙස තමයි මිතිලත් ඔහුගේ කතාවේ අර දරුවාව ආමන්ත්‍රණය කර ඇත්තේ. ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට කියලා පැරැන්නෝ කිව්වේ නිකන්ම නෙමෙයි.

    ReplyDelete
  2. Conn Iggulden's historical novels are a good way of learning about Mongol history in an entertaining way.

    ReplyDelete
  3. Noyan was killed by Ertugrul. He was the father of Osman. That was the beginning of the Ottoman Empire and the end of Mongol dominance.
    Ertugrul is a legend in Turkey.

    ReplyDelete