Friday, March 20, 2020

ඒ මගේ පන..! [කෙටි කතාව]



 එදා වැහිබර දවසක්. සාමාන්‍යයෙන් වැහිබර දිනයක හොදවැයින් කෝපි එකක් සහ පොතක් ඇත්නම් ඊට වඩා දෙයක් අවශ්‍ය නැතැයි කියුවද මට නම් එය පෑහුනේ නැත. එවැනි දිනයක මට අවශ්‍ය වන්නේ පොරෝනයෙන් හිස සිට දෙපතුල දක්වාම වසාගෙන නිදා ගැනීමටයි. එදිනත් මා සිදු කලේ එයමයි.

නිදාගෙන සිටින විට පොරෝනය යටින් කවුරුන් හෝ කකුල කිති කවමින් උඩට ඇදෙන බව මට දැනුනි. මගේ කලවා පෙදෙසට පැමිණි විට සිරුර පුරා විදුලිය යාමක් මෙන් මට දැනෙන්නට විය. මේ වන විට මගේ ඇඟේ මවිල් කෙලින් වී හිරිගඩු ද පිපී තිබුණි. ඒ වැස්සට ද එසේත් නැත්නම් මේ පැමිණෙන අමුත්තා නිසයි හරිහැටි කීමට අපහසුයි. මට තවත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා මම පොරෝනය ඔසවා බැලුවෙමි.

ඒ මගේ පන!

සිනාසී මා දෙස බලා සිටියේ වසර ගණනාවක් හමු නොවූ ගජ මිතුරන් වසර ගණනාවකට පසු හමුවූ ලෙසයි. නමුත් අප දෙදෙනා දවසෙන් වැඩිමනක් කාලය ගත කරන්නේ එකටම ය. අප දෙදෙනා කෙතරම් කාලයක් ඒකට ගතකල ද සැම හමුවීමක්ම නැවුම් හමුවක් ලෙසයි මට දැනෙන්නේ.

හීන් සීරුවෙන් උඩහට ඇවිත් මගේ පපුව මත හිස තබාගත්තේමට ඔය හැර වෙන ලෝකයක් නෑකියනා ලෙසයි. මම එසැනින්ම හිස අතගෑමට පටන් ගත්තෙමි. ඉන්පසු මම ඇගේ නළලට ආදරණිය හාදුවක් ද දුන්නෙමි.

හාදුව දී මගේ අත් දෙකෙන්ම ඇයව තදකර වැලද ගත්තේ මේ ලෝකයේ මම හැර වෙන අයෙකුට ඇයව ලබාගත් නොහැකි වන ආකාරයටයි. ඇයත් ඇගේ මුහුණ මගේ පපුව මත පිරිමැද්දේමම කොහෙවත් යන්නෙ නෑ. මම ඔයාගෙම විතරයි' යැයි කියන්නට උත්සහ කලාක් මෙනි.

වැස්ස තවත් තද කරන්නට විය. සීතලත් එන්න එන්නම වැඩි වීමට පටන් ගත්තේය. අයවත් වැසෙන ආකාරයට පොරෝනයෙන් අයවත් වසාගෙන ඇයත් සමග තවත් ගුලි වුනෙමි. දැන් නම් අපව දකින කෙනෙකුට වුවද මේ දෙදෙනෙක් නොව එක අයෙක් ලෙසයි සිතෙන්නේ. කෙසේවෙතත් අප දෙදෙනා දෙදෙනෙක් නොව එක අයෙක්. මට ඇයව හමුවූ දා පටන් හැඟෙන්නේ එලෙසටයි.

මම ඇගේ නළලට හාදුවක් දුන් පසු ඇය පෙරලා මගේ මුළු මුහුණම සිප ගැනීමට පටන් ගත්තාය. ඇයව නැවත්වීමට මට කිසිසේත් නොහැකි විය. ඇත්තෙන්ම කිවහොත් අයව නැවැත්වීමට මට අවශ්‍ය වුයේත් නැත. මන්ද ඒ වන විට මම එම අවස්ථාව උපරිමයට විදිමින් සිටි බැවිනි. ඇය සෑම දිනකම මාව මෙසේ සිප ගනියි. මා අසල වෙනයම් කවුරුන් හෝ සිටියත් යට එය කම් නැත. ඇය දිගින් දිගටම මාව සිප ගනියි. මුලදී අපගේ නිවැසියන්ට මෙය අමුතුම තාලයේ අත්දැකීමකි. මුල් කාලයේ ඔවුන් මෙය දුටු විටත් පිළිකුල් කල නමුත් දැන් නම් මෙය ඔවුන්ට හොදටම පුරුදුය. පිළිකුල් කරන්නෙත් නැත. 

අප දැන් අහාර ගන්නෙත් එකටමය. මම කන්නේ මොනවද, ඇයටත් එයම අවශ්‍ය වේ. මේ නිසා මගේ මවට දැන් මා වැනිම අයෙක් නඩත්තු කිරීමට සිදුවී ඇත. මව මා සමග මේ ගැන වරක් ගෝරනාඩු කෙරුවද දැන් එයත් විසදී තිබේ. සුමානෙකට වතාවක් අපි දෙදෙනා නිවස කිට්ටුවම පිහිටි මල් වත්ත වෙත ඇවිදීමට යන්නෙමු. එය අපටම වෙන්වූ කදිම තෝතැන්නකි. එහි ඇති මල් පිපුණු විල් සහ ඒවා සිපගන්නා ගස් අපව වෙනම ලෝකයකට කැඳවාගෙන යයි. එහිදී එන සිසිල් සුළඟ විඳිමින් සැමදාම මෙසේ සිටින්නට හැකිනම්… මම මෙයට සිහින මවමි. අප දෙදෙනා මෙම උද්‍යානය වෙත එන්නේ තවත් කාරණයක් සිතේ පෙරදැරි කරගෙන ය. දවසින් වැඩි කාලයක් නිවස තුලට වී සිටින ඇයට සමාජශීලී වන්නට හැකි වන්නේ මෙවැනි අවස්ථාවක පමණි. ඒ නිසා මේ ඇඟේ ප්‍රියතම දවස කීවාට වරදක් නැත.

මේ සියල්ල ගැන සිතමින් මම ඇයවත් තුරුළු කරගෙන ජනේලයෙන් පිටත එයින් රූටා වැටෙන ජල බිංදු දෙස බලමින් සිටියෙමි. මේත් සමගම කවුරුන් හෝ තරප්පු පෙළ නැගගෙන එන හඬක් මගේ කන වැකුනි, ඒ අම්මා විය යුතුයි. අද මෙම නිවසේ අප දෙදෙනා හැර සිටින්නේ ඇය පමණයි. ඇය කාමරයේ දොර විවෘත කර ඈ අතෙහි වූ කොස්ස මා දෙස දිගු කොට මෙසේ කියන්නට වූවා ය.

“ඔය බල්ලත් එක්ක සෙල්ලන් කරා ඇති. දැන්වත් මේ කාමරේ අස්කරගන්න”


5 comments:

  1. මොකක්ද මහත්තයා මේ ලියලා තියෙන්නේ? මහත්තයට මානසික ව්‍යාධියක් වත් සැදී ඇති බවට මට දැන් සැකයි.

    ReplyDelete