Sunday, April 5, 2020

කොරෝනා සටහන් - [1]

මුලින්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එකේ වෙනදට කියවනවා වගේ සටහනක් නෙමේ මේක. වෙනදට නම් ලියන්න ඕන තරම් ඉතිහාසය සම්බන්ධ මාතෘකා තියෙනවා හැබැයි ලියන්න වෙලාවක් නැහැ. ඒත් දැන් ලියන්න වෙලාව ඕන තරම් තිබුනත් ලියන්න හිතෙන්නෙ නැහැ.  ඒකෙත් හැටි. ඒ නිසා ඔහේ හිතට එන දේවල් ටිකක් මෙතන අතාරින්න හිතුනා.

මේ ටිකේ මම වැඩ කරන්නේ ලංකාවේ වෙලාවල් වලට නෙමේ. නිදාගන්නේ මහ පාන්දර. මහ කියන්නත් බැහැ ඉතින් වෙලාවකට. මොකද ඊයෙ නිදාගත්තේ පාන්දර 6 ට. නිදාගන්නේ උදේට කියමුකෝ. නැගිටින්නේ දවල්ට. උදේ කෑමක් කියලා දෙයක් සුමාන දෙකකින් විතර තාම කාලා නෑ. දවල්ට කියල කන්නෙත් හවස් වරුවේ. රෑට කනකොට එකොලහ දෙළහ වගේ වෙනවා. අමුම අච්චාරුවක් මේ ටිකේ යන්නේ.

අද නිකමට වගේ මම මගේ පරණ මුද්දර පොත් ටික එළියට අරගෙන බැලුවා. මුද්දර පන්දාහකට එහා තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔය කිව්වට ඔතන පන්දාහක් නැතුව ඇති මේකා ගෙස් කරලා කියනවා ඇත්තේ කියලා. නෑ මේක මම ගනන් කරා. අද ඊයේ නම් නෙමේ. අවුරුදු ගානකට කලින්. ඒ දවස්වල හාරදාස් අටසිය ගානක් තිබ්බේ. දැන් පන්දාහා පැනලා තියෙන්න ඕන. මුද්දර එකතු කරන්න ගත්තේ දෙක තුන වසරේ ඉදන්. මුලින්ම පප්පා තමා මුද්දර එකතු කරන්න පලවෙනි මුද්දර ටික දුන්නේ. පප්පා කියන්නේ අපේ තාත්තගේ තාත්තට. තාත්තගේ අම්මට කියන්නේ මම්මා කියලා.

මගේ මුද්දර එකතු කිරීමේ උච්චතම නැත්තන් ඉහළම කාලය තිබුනේ පහ හය හත වගේ වසර වලදී. ඒ කාලේ පන්තියෙ අනිත් ළමයි එයාලගේ මුද්දර පන්තියට ගෙනාවා. ඉතින් අපි වැඩිපුර තියෙන මුද්දර මාරු කරගත්තා. හැබැයි එතනින් නැවතුනේ නැහැ. මේක බිස්නස් සයිඩ් එකකටත් ගියා. මුද්දර විකුණන්න ගත්තා සමහරු. මමත් ඒකට හවුල් වෙලා සිලෝන් මුද්දර බර ගානක් ගත්තා කුණු කොල්ලෙට. කොහොමහරි මේකට වැඩි ආයුෂ තිබ්බේ නැහැ. පන්තියේ මිස්ට මේක අහුවෙලා කිව්වා “ආයේ ඕවා ගේනවා එහෙම නෙමේ” කියලා. ඒ විතරක් නෙමේ එක ඉන්ටර්වල් එකක් පන්ති අඩස්සියේ දැම්මා අපිව.

අද මේ මුද්දර ටික ආයෙ බලනකොට දැක්කා ලස්සන මුද්දරයක්. ඔලිම්පික් තරඟ ගැන මුද්දරයක්. තරඟය තමා ෆෙන්සිං. තේරෙන විදිහට කියනවනන් කඩු ෆයිට්. හැබැයි ටිකක් ඉරිලා. හොද ලස්සන මුද්දරයක් තිබ්බා ෆෙන්සිං ගැන තිබ්බ. හැබැයි ඒක මාත් මෝඩ වෙලා ඒ දවස්වල කුණු කොල්ලෙට විකිණුවා. ෆෙන්සිං ගැන කිව්වොත් ලංකාවේ ෆෙන්සිං ක්‍රීඩාව පලවෙනියෙන් හදුන්වලා දුන්නේ අපේ ඉස්කෝලෙට. ඒ කිව්වේ ගල්කිස්සේ ශාන්ත තෝමස් එකට. අපි ඒලෙවල් දවල්වලයි මේක ඉස්කෝලෙට ආවේ. අපේ ඉස්කෝලෙට මේක හදුන්වලා දුන්නට පස්සෙ දවසෙයි රොයල් එකට මේක හදුන්වලා දුන්නේ. ලංකාවට මේ ක්‍රීඩාව එන්නෙත් 2008 වගේ කාලෙක. 

ෆෙන්සිං මුද්දරය 

අපිට ආරන්චිය ආවා අලුත් සෙල්ලමක් හදුන්වලා දෙනවා අද හවස ඉතින් ඉස්කෝලෙ අහවර උන හැටියේ ජිම් එක ගාවයි ඕපනිං එක තියෙන්නේ කියලා. අපිත් ඉතින් ගියා. එතන හිටියා මුලු සරුවාංගෙම සුදෙන් වහගෙන කට්ටියක්. ඔලුවට දැල් දැල් හෙල්මට් එකක් වාගෙ එකක් දාගෙන උන්නෙ. එයාලට අපිව ඒක අස්සෙන් පේනවද මන්දා හැබැයි මට නන් කාවවත් පෙනුන්නෑ. හෙල්ලෙනකන් ඩමි වාගේ. සමචතුරස්‍රෙට කපාපු දිග රෙද්දක් බිම එලලා තිබ්බා. අර සරුවාංගෙම වහගත්තු දෙන්නා ඒ රෙද්ද දෙපැත්තට ගියා. කඩු දෙකකුත් දෙන්නගේ අතේ තිබ්බා. පළවෙනි වතාවට එහෙම කඩුවක් දැක්කේ එදා.

එකපාරට ටිං ගාලා සද්දයක් එක්කම මුන් දෙන්නා ගහගන්න ගත්තා. ෆිල්ම් වල දකිනවා වගේ නන් නෙමේ. හැබැයි අවුලකුත් නෑ. අන්තිමට කිව්වා ෆෙන්සිං ඉගෙන ගන්න කැමති අය නම් ටික දීලා යන්න කියලා. මාත් ඉතින් ඕන දෙයක් වෙච්චාවේ කියලා නම දුන්නා. මේ වෙනකොට මම ඉස්කෝලෙ රයිෆල් ෂූටිං කරා, චෙස් කරා. තව එකක් කරන්න ඕන කියලා හිතුන නිසා මේකට බැදුනා. පළවෙනි දවසේ ප්‍රැක්ටිස් ගියේ හරි ආසාවෙන් ‘අද කඩුවෙන් කොටනවා’ කියලා හිතාගෙන. හැබැයි හිතුවා වගේ උනේ නෑ. සුමාන හතර පහක් යනකන් කඩුවක් දෑහට දැක්කෙ නෑ. ඒ වෙනුවට කරේ මැන්ඩියට ඉදගෙන ඉස්සරහට පස්සට ගිය එක. මේවා දැකලා සමහරු ඇහුවා “මොකක්ද බං උඹලා කඩු ෆයිට් කරන්න ඇවිල්ලා නටන්න ඉගෙන ගන්නවද?” අපි මක් කියන්නද ඉතින්. අපිත් මේකක් හිතාගෙන ආවා නෙමේනේ.

කොහොමහරි අන්තිමට කඩු ලැබුනා. මම තෝරගත්තේ එපී කියන කඩුව. ඒකෙ කෙරවලේ පොඩි බට්න් එකක් තියෙනවා. ග්‍රෑම් පහක බරක් වැටුනහමයි ඒක ක්ලික් වෙන්නේ. ඉතින් අපිට ලකුණු ගන්න ඕන නම් කඩුව අනිත් කෙනාගෙ ඇඟේ වද්දලා බට්න් එක ක්ලික් කරගන්න ඕනෙ. අනිත් කඩු වර්ග දෙක තමා ෆොයිල්, සේබර්. එපී එකට පුලුවන් හිසේ ඉදන් දෙපතුල වෙනකන් ඕන තැනකට ගහලා ලකුනු ගන්න. හැබැයි අනික් ඒවට ඒක බැහැ. ඉස්කෝලෙන් පස්සේ මේ සෙල්ලම දිගටම කරගෙන ගියේ නම් නෑ. ඒත් අපිත් එක්ක හිටපු සමහරු කරගෙන ගියා.

අදට මේ ඇති කියලා හිතෙනවා. තව මොනාහරි වල් පල් ටිකකින් හම්බෙමු.


5 comments:

  1. මම හිතන්නේ ලංකාවේ ගොඩක් ළමයි පාසැල් කාලයේ ගණුදෙනු කරන්න පුරුදු වෙන්නේ ඔය මුද්දර මාරු කර ගැනීමේ වැඩෙන්. මමනම් කරලා නැහැ. අපේ මල්ලි ඔය වැඩේ කළා. ඇත්තටම මෙය හරිනම් ගුරුවරුන් විසින් දිරිමත් කළ යුතු වැඩක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ළමයින්ව හරියට තේරුම් අරගෙන ඒ ඔස්සේ හරි විදිහට දිරිමත් කරනවනම් ගුරුවරු ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුනා ලමයගේ ජීවිතේ... මට චිත්‍ර අඳින්න බැහැ... ඒකට තිබ්බ ආසාවත් නැත්තටම නැති කලේ ගුරුවරයෙක්... හරි විදිහට දිරිමත් කලානම් හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න තිබ්බා කියලා නෙමේ කියන්නේ... අඩුම තරමේ ආසාවවත් ඉතුරු වෙන්න තිබ්බා වෙනස් විදිහට ඒ දවස්වල ක්‍රියාත්මක උනානම්...

      Delete
  2. මටත් හිතුනේ ගුරුවරයා කළ දේ වැරදියි කියලා.. මමත් කාලයක් ඔය මුද්දර එකතු කිරිල්ල කළා.. හැමදෙම වගේ ඒකත් කාලයත් එක්ක අභාවයට ගියා..හැබැයි හරි ජොලි වැඩක් ඒ දවස්වල.

    දැන් ඔය විනෝදාංශය කරණ එක ලෙසි නෑ.. මොකද ලියුම් ගනුදෙනු අඩුනෙ...

    ReplyDelete
    Replies
    1. ලියුම් ගනුදෙනු අඩු නිසා දැන් නම් කෙරෙන්නෙ නෑ මටත්... ලියුමක් ආවත් රෙජිස්‍ටර් පෝස්ට් එකේ...

      Delete
  3. මහත්තයා භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක් නේද? හැමදාම පහන තියලා දෙවියන්ට පිං දෙන්න. එතකොට ඕක ඇරිලා යයි.

    ReplyDelete