Monday, May 11, 2020

මෙතෙක් සොයාගත් විශාලතම ළමා බිළි පූජාව

මහාචාර්ය ගේබ්‍රියෙල් ප්‍රියෙටෝ දිනක් විශ්ව විද්‍යාල සිසුන් කිහිප දෙනෙක් සමග පේරු හි නැගෙනහිර වෙරළ තීරයේ හුවන්චකිටෝ හි කැනීමක් සිදු කරමින් සිටියේ ය. එක් විශ්වවිද්‍යාල සිසුවෙක්ට කැනීම අතරතුර හිස්කබලක රුවක් දක්නට ලැබුනි. ඉතා කල්පනාකාරීව ඔහු තම බුරුසුවෙන් පිහදා එම හිස් කබල නිරාවරණය කරගත්තේ ය. ඒ සිටියේ කුඩා දරුවෙක්. වැඩි කාලයක් යාමට මත්තෙන් මෙම ස්ථානයට තරමක් උතුරට වන්නට වූ ස්ථානයක කැනීමකින් තවත් සොහොනක් හමුවිය. 2011 දී ආරම්භ වූ මෙම කැනීමෙන් මේ වන විට ළමුන් 269 ක් සොයාගෙන තිබේ. මෙය මෙතෙක් සොයාගෙන තිබෙන විශාලතම ළමා බිළි පූජාවයි.

ළමුන්ව පූජා කළ අවස්ථා ගැන ලෝක ඉතිහාසයේ මෙන්ම ආගමික සාහිත්‍යන්ගේත් දක්නට ලැබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ ආබ්‍රහම් තම දරුවාව දෙවියන්ට පූජා කරන්නට තැත් කරයි. එය එක් උදාහරණයක්. මෙම සොයාගැනීමට ප්‍රථම විශාලතම ළමා පූජාව පැවැත්වූ ස්ථානය ලෙසට හදුනාගෙන තිබුනේ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ ටෙනොචිට්ලන් (වර්තමාන මෙක්සිකෝව) නගරයේ ය. එහි 15 වන සියවසේ දී ළමුන් හතලිස් දෙදෙනෙක් පූජා කළ බවට සාක්ෂි හමුව පවතියි.

පේරුහි මෙම සොයාගැනීමේ මිහිදන් කර තිබුනේ කුඩා ළමුන්ව පමණක් නොවේ. ඔවුන් සමග ලාමා සත්වයින්වත් (466ක්) මිහිදන් කර තිබුනි. මෙම සත්වයින්ගේත් ළමුන්ගේත් පපු ප්‍රදේශයේ ඉළ ඇට හරහා යන කැපුම් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් එකල බොහෝ ශිෂ්ටාචාර වල තිබූ චාරිත්‍ර වලට අනුව යෙමෙක් මිහිදන් කරන විට ඔවුනොවුන් භාවිතා කළ බඩුබාහිරාදියත් ඒත් සමගම තැන්පත් කරයි. නමුත් මෙම සමූහ ළමා මිනී වළෙන් එවන් කිසිවක් දැකගැනීමට හැකියාවක් තිබුනේ නැත.

මෙම සමූහ මිනීවලවල් හමුවූ ස්ථානයේ අතිතයේ තිබුනේ චිමූ ශිෂ්ටාචාරය යි. 15 වන සියවස වන ඔවුන් තම පැවැත්ම තහවුරු කරගැනීමට දැරුවේ විශාල වෙහෙසක්. එක් අතකින් එල් නිනෝ වැනි ස්වභාවික සංසිද්ධිත් අනෙක් අතට ඒ අසලම තිබූ ඉන්කා ශිෂ්ටාචාරයෙන් ආ ප්‍රහාරයන් නිසාත් ඔවුන් පැවැත්ම සදහා විශාල සටනක යෙදුනේ ය. අවසානයේ දී ඉන්කා ශිෂ්ටාචාරය 1470 දී මෙය අල්ලාගනියි. ඉන් සියවසකට පමණ පසු ස්පාඥ්ඥයින් මෙම පෙදෙසට විත් ඉන්කා ශිෂ්ටාචාරයත් අල්ලා ගනියි.

මෙම ළමයින් පුජා කිරීම සම්බන්ධව හේතු විමසීමේ දී මෙම ප්‍රදේශයේ පැවති එක් ජනකතාවක් උදව් සපයයි. එනම් රජ කෙනෙක් මියගිය විට තමන් සතු වටිනාම වස්තුව පූජා කිරීම සම්බන්ධ ජනකතාවක්. යම් අයෙක්ට තමන්ගේ ජීවිතයට වඩා වටිනා දෙයක් ඇත්නම් ඒ තමන්ගේ ළමයින්. තමන්ගේ පවුලේ අනාගතය ශිෂ්ටාරයේ අනාගතයි ඔවුන් පූජා කරන්නේ. මේ නිසා රජතුමා මියගිය පසු ළමුන් පූජා කිරීම ගැන ජනකතාවක් මෙම ප්‍රදේශයේ ජනතාව අතර පවතියි. නමුත් චිමූ ශිෂ්ටාචාරයේ කීමට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති නිසාත් එහි ඉතිහාසය කියවීම බොහෝ දුරට පුරාවිද්‍යාත්මක සාක්ෂි මත යැපීම නිසාත් ළමා සොහොන සොයාගන්නා තෙක් එම ජනප්‍රවාදය හුදෙක් කතාවකට සමාන විය.

දැන් ඊට තුඩු දෙන පුරාවිද්‍යා සාක්ෂි හමුව ඇති නිසා මෙය රජෙකුගේ මියයාමක් නිසා දුන් බිළිදීමක්දැයි සොයාබැලීමට උක්ත පුරාවිද්‍යාඥයින් වෙහෙසුනා. ළමුන්ගේ හා සතුන්ගේ පපු ප්‍රදේශයේ කැපුම් සැමගෙම පාහේ බොහෝ දුරට එකම තැනක තිබීමත් පපුවට පිහිය එල්ල කරන විට (හදවත ඉවත් කිරීමට) පැකිලීමකින් තොරව එල්ල කළ සලකුණු තිබීමත් යන සාධක බිළි පූජාවක ලක්ෂන වන නිසා මෙයත් එයට අයත් බවට විශ්වාස කරයි. මෙය පමණක් නොව මීට කිට්ටු කන්දක් මුදුනේ තවත් ළමා සිරුරු නමයක් සොයාගත්තේ ය. එහි ළමුන්ව හම් රෙදි වලින් ඔතා තිබුනු අතර පපු ප්‍රදේශයේ කැපුම් තිබුනේ නැත. නමුත් හිස් කබල තැනින් තැන කැඩී තිබුනු බවක් දක්නට ලැබුනි.

නමුත් තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න කිහිපයක් පවතී. මෙම ළමුන් බිළි දුන්නේ දුප්පත් පවුල් වලින් ද පොහොසත් පවුල් වලින් ද? මිහිදන් කිරීම සමග බඩුබාහිරාදිය කිසිවක් තැන්පත් නොකිරීම නිසා මෙයට පිළිතුරු ලබාදීම අපහසුයි. පවුල් කීයකට ළමුන් අහිමි වුනා ද? ළමුන්ව බිළි දුන්නේ බලහත්කාරයෙන් ද? තවමත් මේවාට පිළිතුරු සොයමින් පවතියි. ඉතිහාසයේ අනාවරණය වීමට තවත් බොහෝ දේ ඇත.



6 comments:

  1. Replies
    1. ඉතිහාසය කියන්නේ බොහෝ තැන් වලදි දුක් වීමට සිද්ධවීමට වෙන තැනක්..

      Delete
  2. මිත්‍යා දෘෂටික ආගම්වාදීන් නිසා තවමත් ලෝකයේ මෙවැනි දේ සිදුවෙනවා. කොතරම් කථා කළත් තරමක් පාලනය කළත් ඉන්දියාවේ තමවත් මේවා දක්නට ලැබෙනවා. ලංකාවේ නිධන් ලබා ගැනීමට ළමුන් බිලිදෙනවා. විශේෂයෙන් අතිතයේ තුන් කුළුඳුල් දරුවන් ගෙවල්වලින් බොහොම රකිනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම ලිපියෙ කියල තියෙන ඇස්ටෙක්වරු ළමයි බිළිදුන්නේ වර්ෂාව බලාපොරොත්තුවෙන්... දෙමව්පියො කොච්චර දුක් වෙන්න ඇත්ද...

      Delete