Friday, May 21, 2021

සාලියට රජකම අහිමි වුනේ අශෝකමාලා සැඩොල් නිසාද?

 

දුටුගැමුණු කියන්නේ ලංකාවේ ප්‍රකට රජකෙනෙක්. බොහෝ දෙනෙක් ඔහු ගැන අසා තිබෙනවා. රජ කෙනෙක්ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා රජවීම ලංකාවේ සිරිතක්. දුටුගැමුණුටත් හිටියා පුතෙක්. නම සාලිය. ඔහුට රජකම හිමිවෙන්නේ නැහැ. මහාවංශයේ නම් කියන්නේ අශෝකමාලා නම් චණ්ඩාල කාන්තාවක් විවාහ කරගත්තු නිසා සාලියට රජකම හිමිවුනේ නැහැ කියලා. ධර්මකීර්ති හාමුදුරුවෝ රචනා කරපු සද්ධර්මාලංකාරය කියවනකොට මෙහෙම කතාවක් තියෙනවා. දවසක් දුටුගැමුණු රජතුමා සාලිය කුමාරයාටයි අශෝකමාලා ටයි එන්න කියලා සාලිය කුමරුට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා තමන්ගේ පුතා අශෝකමාලා එක්ක හිටියත් රජකම බාරගන්න කියනවා. එහෙනම් සාලියට රජකම අහිමිවුනේ ඇයි? අශෝකමාලා චණ්ඩාලියක් නිසා ද? ඒ ගැන අපි මේ සටහනින් බලමු.

මහාවංශය අශෝකමාලාව හදුන්වන්නේ චණ්ඩාලියක් විදිහට. එහෙමත් නැත්නම් සැඩොල් කුලයේ කාන්තාවක් විදිහට. සැඩොල් කුලයේ කිව්වේ කසල සේදීමේ වැඩකටයුතු වල නිරත වූවන්ගේ කුලය. නමුත් මහාවංශ ටීකාවේ ඇයව හදුන්වා තියෙන්නේ ‘කම්මාරධීතා’ ලෙස. ඒ පදයේ තේරුම තමා කම්මල්කරුවෙක්ගේ දුව.

සද්ධර්මාලංකාරයේ සාලිය හා අශෝකමාලා හමුව හරි අපූරුවට විස්තර කරනවා. සාලිය අශෝකමාලාගෙන් අහනවා “ඔබ කව්ද” කියලා. එතකොට අශෝකමාලා කියනවා “ස්වාමිනී මම ඓශ්චර්යවත් කම්මල් කරුවෙක්ගේ දියණියක්” කියලා. මෙතන දී ඓශ්චර්යවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියනකොට තේරුම්ගන්න පුලුවන් අශෝකමාලා කියන්නේ දැලි කුණු ගාගත්තු කම්මල්කරුවෙක්ගේ දියණියක් නෙමේ ධනවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියලා.

ඒත් එක්කම අශෝකමාලා තමන්ව හදුන්වා දෙනකොට තමන් “කම්මාරධීතා චණ්ඩාලී” කියලත් කියනවා. ඒ කියන්නේ අශෝකමාලා ම කියනවා තමන් කම්මල්කරුවෙක්ගේ දියණියක් වගේ ම චණ්ඩාලියක් කියලා. ඒකට හේතුව තමා එකල යුගයේ තිබුනු අධ්‍යාපන ක්‍රමය. ඒ කාලයේ ඉගැන්වීම් කටයුතු කළේ බමුණෝ. ඔවුන් ඉන්දීය සිරිත් විරිත් බමුණු මත ලාංකික ජන සමාජයට ගෙනාවා. ඉන්දීය කුල ක්‍රමයට අනුව සියලුම ශිල්පීන් අයත් වෙන්නේ ශුද්‍ර හෙවත් චණ්ඩාල කුලයට. ලාංකික කුල ක්‍රමයට අනුව කම්මල්කරුවෝ පහත් කුලයෙහි ලා සැලකුවේ නැති වුනත් ඉන්දීය කුල ක්‍රමයට අනුව පහත්. මේ නිසයි මහාවංශ කතුවරයා අශෝකමාලාව චණ්ඩාලියක් ලෙසට හැදින්වූයේ.

ඒත් එක්කම අශෝකමාලා රාජකීය මුළුතැගෙයි ආහාර පිසීමේ කටයුතු වලත් නිරතවෙලා තියෙනවා. මේ නිසා ඇයව හදුන්වා තියෙන්නේ ‘මදුරහස්ත රසා’ කියලා. ඇය පිසින ආහාර පාන ඉතා රසවත් නිසයි එවැනි නමක් ලැබුනේ. රජ පවුලට ආහාර පිසින එක ලේසි පහසු කටයුත්තක් නෙමේ. හැමෝටම ඒකට අවසර ලැබෙන්නෙත් නැහැ. මේ නිසාත් අපිට නිගමනයකට එන්න පුලුවන් අශෝකමාලා කියන්නේ රජපවුලට අමුත්තෙක් නොවන බවට. වංශකතාකරුවා සාලියට අශෝකමාලාව හමුවුනේ අහම්බෙන් කියලා කිව්වට ඒක ඇත්තටම අහම්බයක් නොවන්න හේතු තියෙනවා.

මහාවංශයේ තියෙන විදිහට නම් අශෝකමාලා සමහ සාලිය කුමාරයා විවාහ වුන නිසයි ඔහුට රජකම අහිමි වෙන්නේ. නමුත් සද්ධර්මාලංකාරයේ මේ සිදුවීම තරමක් වෙනස් ආකාරයට කියනවා. දුටුගැමුණු රජතුමා සාලිය හා අශෝකමාලාට එන්න කියනවා තමන්ව හමුවෙන්න. ඒ හමුවේ දී දුටුගැමුණු රජතුමා සාලියනට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ රජතුමා සාලිය කුමාරයා හා අශෝකමාලාට විරුද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය බාරගන්න කියනවා.

ඉසුරුමුණියෙන් හමුවුනු කැටයමක මේ සිදුවීම සටහන් වෙලා තියෙනවා. පහත ඡායාරූපයේ තියෙන්නේ ඒ කැටයම. මේ කැටයමේ මැද ඉන්නේ දුටුගැමුණු රජතුමා. වම් පස ඉන්නේ සාලිය කුමාරයා. දුටු ගැමුණු රජතුමාගේ බිසව ඔහුව අස්වසන ලීලාවෙන් ඉන්නවා. ඒත් එක්කම මුල්ලක කුඩා රූපයක් තියෙනවා. ඒ අශෝකමාලා. රජතුමාට තියෙන බය පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමටයි කුඩාවට ඒ රූපය කැටයම් කරලා තියෙන්නේ.



අපි දැන් වර්තමාන කතාවෙන් මොහොතකට අතීතයට යමු. දුටුගැමුණු රජතුමා තරුණ කාලයේ රාජ්‍යයෙන් බැහැරට ගිය කාලයේ දී ඔහු ගේ පියා වුනු කාවන්තිස්ස රජතුමා මියයනවා. රජතුමා මියගියාට පස්සේ භික්ෂූන්වහන්සේලා සද්ධාතිස්ස කුමාරයාව රජකමට පත්කරනවා. ඔහු ලාබාල කුමාරයා බව දැන දැනම.  නමුත් කෙසේ හෝ අවසානයේ දී දුටුගැමුණු රජතුමා තත්ත්වය සමතයකට පත්කරලා රජකමට පත්වෙනවා.

මේ සිද්ධිය රජතුමාගේ මතකයේ තිබුනා. ඒ විතරක් නෙමේ තිස්ස කුමාරයාට භික්ෂූන්වහන්සේලා හිතවත් නිසයි ඔහුට සද්ධාතිස්ස කියලා ධාර්මික නමකුත් දුන්නේ. මේ නිසා තමන්ට තරුණ කාලයේ දී අත්විදින්න වුනු දේ තමන්ගේ පුත්‍රයා වුනු සාලියටත් අත්වෙයි කියන සැකය දුටුගැමුණු රජතුමාට තිබුනු නිසයි ඔහු සාලියට රාජකම බාරගන්න කියන්නේ.

නමුත් අවාසනාවකට රජතුමා අසනීප වී මියයනවා. දැන් සාලියට පැනයක් තියෙනවා. තමන්ගේ පියා සද්ධාතිස්ස සමග ඝට්ටනයෙන් රජකම ලබාගත්තා සේ තමුනුත් රජකම ලබාගැනීමට උත්සහ කරනවද? එසේත් නැතිනම් තමන්ගේ ආදරයත් සමග රජකම අතහැර සිටිනවාද? ඔහු තෝරගන්නේ තමන්ගේ ආදරය වුනු අශෝකමාලා ව. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුමවන ක්‍රමයක් තිබුනු නිසාත් සංඝයා වහන්සේලා සද්ධාතිස්ස කුමරුට සහයෝගය දක්වපු නිසාත් සාලිය කුමාරයාගේ මේ තීරණය නුවණින් ගත් තීරනයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවනි.

අශෝකමාලා හා සාලියගේ පරපුර ගැන ජනකතා බොහොමයක් ඇතිවෙනවත් එක්ක ඉතිහාසයෙන් ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. ඔහුගේ පරපුර සමහරවිට තවමත් අපි අතර ඉන්නවා ඇති.   


ප්‍රධාන මූලාශ්‍ර:

  • වංසත්ථප්පකාසිනී - අකුරැටියේ අමරවංස හිමි
  • සද්ධර්මාලංකාරය - සංස්. නෝමන් සිරිපාල
  • මහාවංශය - අනු. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
  • දිවයින පුවත්පතේ පලවූ ලිපි
  • පුරාවිද්‍යා සගරා - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව

14 comments:

  1. හ්ම්...වෙනස්ම කියවීමක්. මේ විස්තර දැණගෙන හිටියෙ නෑ. ඔව් දුටුගැමුණු කුමාරයගෙත් බිසවත් සාමාන්‍ය කාන්තාවක්, ඒත් ඒක රජවෙන්න බාධාවක් නොවිච්ච එකේ, මෙහෙම වෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. දුටුගැමුණු රජතුමාට කතී කියලා බිසවක් හිටියා කියලා කොසවකන්ද සෙල්ලිපියේ තියෙනවා. නමුත් ඒ බිසව සාමාන්‍ය ජනයා අතරින් ආපු කෙනෙක් කියලා නැහැ. කුමාරයා කාලේ කොත්මලේ දී රන් මැණිකා කියලා කෙනෙක්ව විවාහ කරගත්තා කියන කතාව පසුකාලීනව ඇති වුනු ජනකතා කියලයි විශ්වාස කරන්නේ. මොකද ඒ කතාවල එන නම් පවා මෑතකාලීන නම්. අනුරාධපුර යුගයේ නෙමේ. කොහොම උනත් ජනකතා හැදෙන්නත් මොනවාහරි හේතුවක් තියෙන්නත් එපැයි.

      Delete
  2. යතිවරු බලවත්ය කොයි ආගමෙත් වගේ
    නටවත් පාලකයො හැකි හැම විටම වගේ
    පෙන්වත් නයුවො සමහර විට කුක්කො වගේ
    යතිවරු දන්නෙ නෑ, අද නං වෙච්චි රඟේ

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය නැවත නැවත සිදුවෙනවලුනේ. එදා වගේ තමා අදත්.

      Delete
  3. +++++
    දුටුගැමුණු හා තිස්ස ගැන වෙනමම කතාවක් කියන්නත් පුලුවන්. වෙන්න පුලුවන් හිතලුවක්.
    ඒක ඒතරම් පොලයිට් දෙයක් නෙමෙයි. දුටුගැමුණුගෙ පරම්පරාව ගැන කියවෙන දෙයක්. ඒකෙ ව්දිහට ඔහු හා තිසා අර්ධ සහෝදරයන්

    ReplyDelete
    Replies
    1. කියමුකෝ ප්‍රා.ජේ. ඒ කතාවත්. විහාරමහා දේවිය කැළණියේ කිව්වට එයා රුහුණේ කෙනෙක් කියන්න සාක්ෂි තියෙනවා.

      Delete
    2. ඒ කතාවෙ හැටියට විහාරමහාදේවි කාවන්තිස්සගෙ මාලිගාවට යනකොට ප්‍රෙග්නන්ට්. මර්වින් සිල්වලගෙ ගමේ කතාවක්.ඒ කතාවෙන් ඉතිහාස කතාවෙ සමහර කෑලිවලට පැහැදිලිකිරීම් ලැබෙනව

      Delete
  4. ඔබේ පර්යේෂනයන් පිළිබඳ සතුටුයි මල්ලී
    විචාරක දියණිය

    ReplyDelete
  5. ඔබේ පර්යේෂනයන් පිළිබඳ සතුටුයි මල්ලී
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. උඹ ඔය ගෑණු කියන එව්වා අහන්න එපා මල්ලි.
      පිරිමියෙක් වුනාම පවුලක් රකින්න පුළුවන් දෑතේ කර්මාන්තයක් ඉගෙන ගනින්.

      Delete
  6. ස්තූතියි වාසිත ඔබේ ලිපියට. ඔබ වංසත්ථප්පකාසිණිය හා මහාවංශය උපුටා දැක්වීම හොදයි. නමුත් ඒ කුමන ගාථා වලද කියාත් දැක්වූවානම් වඩාත් අගනේයි. මහාවංශය සිංහල පරිවර්තනයක් පාවිච්චි කරන්නේ නම් වඩා නිවැරදි පරිවර්තනයක් පාවිච්චි කරන්න. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පළකල මහාවංශ පරිවර්තනය වඩා නිවැරදි බවයි මගේ හැගීම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කට්ටා. මම ඊළඟ වතාවේ ගාථා දාන්නම්. මහාවංශයේ පරිවර්තන දෙකක් මං ගාව තියෙනවා. බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ පරිවර්තනය මට ලැබුනේ මම හත අට වසරේ ඉන්නකොට මගේ සීයගෙන්. ඉතිහාසයට ආසාවක් ආවෙත් ඒ නිසා තමා.

      Delete