Wednesday, August 25, 2021

අවසන් රාත්‍රී භෝජනය (කෙටි කතාව)


මම මගේ රෝගය ගැන කිසිවෙකුටත් නොකීමට ඉටා ගත්තෙමි.

මගේ මවටවත් නංගිටවත් නොකියමි. සුමුදුට නම් කොහෙත්ම කියන්නේ නැත. සමහර විට කමල්ටත් නොකියා සිටීමට ඉඩ තිබේ.

මම පෙර දී සිටියාටත් වඩා බොහෝ සෙයින් කෘෂ වී ඇති බව කණ්නාඩියෙන් මා දෙස බැලූ විට මට සිහිවන්නට විය. තරුණ කාලයේ දී පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ මගේ අතීතය ගැන කණ්නාඩියෙන් පෙනෙන පුද්ගලයාට කීමට මම උත්සහ කළෙමි.

‘ඉස්කෝලේ කාලේ ඔයා දිහා තමයි හැමෝම බැලුවේ. දිග කොණ්ඩය, පිරිපුන් ශරීරය සහ ලස්සන හිනාව නිසා ඔයාට හැමෝම ආදරය කරා’

මගේ අතීතය සිහිවූයේ ස්වල්ප වේලාවකට පමණි. මට මා ගැන සිතීමට තරම් දැන් කල්වේලා නැත. වෛද්‍යවරයා නම් මාස තුනකට පෙර කීවේ තවත් ඇත්තේ මාස හතරක් කියා ය. මට මා ගැන සිතන්න තරම් කාලයක් නැත. අද මගේ පවුලේ සියලු දෙනා රාත්‍රී කෑමට පැමිණෙයි. අපි සියලුම දෙනා මසකට වරක් මෙසේ හමු වී එකට රාත්‍රී ආහාර වේලක් ගැනීමේ සම්මුතියකට පැමිණ ඇත්තෙමු. අද ඒ දවසයි.

මම නාන කාමරයට ගොස් නෑමට පටන් ගත්තෙමි. මගේ හිසට වැටෙන ජල බිංදු හිසෙන් පොලා පැන ජනෙල් වීදුරුව වෙත විසි වේ. එසේ විසිවන ජල බිංදු වීදුරුව දිගේ පහලට අනෙක් ජල බිංදු පරයා වැටීමට උත්සහ දරයි. ජල බිංදුවක් තවත් ජල බිංදුවක් ඉක්මවා යෑමට උත්සහ දරන්නේ ඇයි? ඒවා යන්නේ එකම තැනකට නම්. මම කෙතරම් වේලා ස්නානය කරාද කීවොත් මගේ ඇඟිලි තෙතමනය නිසා රැලි වැටී තිබුණි. මතක ඇති කාලයකින් මෙතරම් වේලාවක් ස්නානය කලේ අද යි.

මම අල්මාරිය වෙත ගොස් අද රාත්‍රී ආහාරය වෙලාවේ අඳින්නට සුදුසු ගවුමක් තිබෙනවාදැයි සොයා බැලුවෙමි. මගේ විසි අටවෙනි උපන්දිනයට ලැබුනු රතු පාට ගවුමක් මගේ ඇස ගැටුනි. ලේ රතු පාට ගවුමක්. ඒත් සමගම කලකින් භාවිතා නොකල සුවඳ විලවුන් බෝතලයක් අල්මාරිය අස්සේ තිබී මට සොයා ගන්නට හැකිවිය. මම එයින් ස්වල්පයක් මගේ අතට දමා ඉඹ බැලුවෙමි. තවමත් අතීත සුවඳ ඒ අයුරින් ම පවතියි. සුවඳ විලවුන් බෝතලය අසලම තිබූ පුයර බඳුනත් අතට ගත් මා කණ්නාඩිය ඉදිරිපිටට ගොස් මාව හැඩගන්වා ගැනීමට උත්සහ කළෙමි.

සියල්ලෙන් සැරසුනු මා සාලයේ සිට වැසී ඇති දොර දෙස මගේ පවුලේ අය පැමිණෙන තුරු බලා සිටියෙමි. පලමුව පැමිණියේ සුමුදු ය. ඔහුගේ යතුරු පැදියේ ශබ්දය කන වැකෙනවාත් සමග මම ඔහුව හඳුනාගත්තෙමි. ඔහු යතුරු පැදිය නිවස ඉදිරිපිට නවත්වනවාත් සමඟ ඔහුව පිළිගැනීමට සිනාමුසු මුහුණින් මම ඔහු වෙත ගියෙමි. ඔහු මගේ පුතා. තමන්ගේ පුතා දකිනවා තරම් අම්මා කෙනෙක්ට ඇති සතුට කුමක් ද?

“අද තාත්තා එන්න පරක්කු වෙනවා කිව්ව ද?” මම ඔහුගේ අතෙහි වූ මළුව ගන්නා ගමන් ඇසුවෙමි. “තාත්තට වැඩ වගයක් තියෙනවා කිව්වා. එද්දි ටිකක් පරක්කු වෙයි.”

සුමුදුගේ සිනහව මුළු නිවසම ආලෝකමත් කරවන්නක් විය. ඔහුට මිතුරන් සමග වූ රසබර සිදුවීම් මට කියත්ම ඔහු තව තවත් හයියෙන් සිනාසෙයි. මමත් ඔහුත් සමග සිනාසුනේ ඔහු කී දේවල් නිසා නොව ඔහුගේ සිනාව මට සිනාවක් ගෙන දුන් බැවිනි. 

සුමුදු බීම බෝතලයක් ගැනීමට ශීතකරනය වෙත ගියේ ය. ඔහු එහි පියන විවෘත කර බීම බෝතලය සොයමින් සිටියි.

“කැම්පස් එකේ වැඩකටයුතු කොහොම ද?” මම කෑම මේසය පිළියෙල කරමින් ඔහුගෙන් ඇසුවෙමි. 

සුමුදු ඔහුට අවශ්‍ය බීම බෝතලය තෝරාගෙන, ශීතකරනයේ දොර වසා මා දෙසට හැරුණි. 

“කැම්පස් එක තමා කැම්පස් එක. අසයිමන්ට් වැහි වැහැලා.” ඔහු බීම බෝතලය විවෘත කර නැවතත් ශීතරණය දෙසට හැරුණි.

“ඒවා හොඳින් කරගෙන යනවනේ” මම සාලයේ මේසය අසල සිටගෙන ඔහු දෙස නොසෙල්වී බලාගෙන ඇසුවෙමි. මම ඔහුගේ කමිසයේ පිටුපස ලියා ඇති දේ කියවමින් මතකයේ ධාරණය කිරීමට උත්සහ කළෙමි. හරිහැටි නොකැපූ කොණ්ඩය ඔහුගේ ගෙලෙහි වූ කුඩා අකුරින් ලියූ වදන් වැල මම හොදින් නිරීක්ෂණය කළෙමි. 

ඔහු බීම බෝතලයෙන් බාගයක්ම එක උගුරට බොන්නට පටන් ගත්තේ ය. ඔහුගෙන් පිළිතුරක් එකවර නොලැබුනත් මම ඔහු දෙස බලාගෙන ඔහුව තව තවත් මගේ මතකයේ සිතුවම් කරන්නට ගත්තෙමි.

“හොදින් යනවා” මගේ දෙසට හැරෙමින් සුමුදු කිව්වේ ය.

“මම හිතනවා කැම්පස් ජීවිතේ ලස්සන ඇති කියලා” මම කිව්වෙමි.

ඔහු මා දෙස හැරී අනෙක් පැත්තක් බලා ගත්තේ ය. ඔහුගේ ඒ බැල්ම මම හොදින් හඳුනමි. ‘අම්මා දන්නවද මගේ ජීවිතය මගේ ආසාවන් ගැන. මේ ජීවිතය මොන වගේද කියලා එයා දන්නව ද?’ යන්න ඒ බැල්මේ තේරුමයි.

“ඔයා නෙතූට කතා කරාද?”

සුමුදු තවමත් කුස්සියේ මට පිටුපස හරවාගෙන සිටි ඉරියව්වෙන්ම සිට “ඔව්. ඊයේ රෑ" ඔහු හැරීගත් වනම කිව්වේ ය.

“ඉතින්?”

ඔහු කිසිවක් නොකියා හැඟීමක් නොමැති මුහුණකින් යුතුව කුස්සියේ දී සාදා ගත් පාන් පෙත්තක් සමග සාලයට විත් ඉඳගත්තේ ය. 

“එයා දන්නේ නැහැ එයාට මොනවද ඕනේ කියලා.” ඔහු පාන් පෙත්තෙන් කොටසක් කමින් කීවේ ය. “මම කිව්වා මම හැමදාටම බලාගෙන ඉන්නේ නැහැ කියලා”

මම ඔහුට ලබාදුන් අත්තම්මාගේ මුද්ද ගැන කල්පනා කළෙමි. ඔහු නෙතූට වරක් එම මුදුව ලබාදුන්නා. ඒ බොහොම කාලයකට පෙර. ඇයගේ අතෙහි ඒ මුදුව තිබෙන ආකාරය මම සිහියට නගන්නට උත්සහ කළෙමි. නමුත් මට කිසිවක් මතකයට එන්නේ නැත. ඇය කවදා හෝ මගේ අත්තම්මාගේ මුදුව පැළඳ සිටියි ද?

විවාහ උත්සවයේ දී මට මවගේ සහ පුතාගේ නර්තනයට සහභාගි වෙන්නට හැකි වේද? මුණුබුරු මිණිබිරියන්. 

මගේ දරුවා සතුටින් ඉඳියි ද? 

“හොඳයි. මුලින්ම ඔයා ඔයා ගැන හිතන්න ඕන. අනිත් අය ගැන හිතන්න කලින්” මම මගේ සිතිවිලි දාමය ගිලගෙන සුමුදුට පැවසුවෙමි.

“ඔව්.” ඔහු සිනාසුනේවත් කිසිදු හැඟීමක් ප්‍රකාශ වූයේ නැත.

“සතුටින් ඉන්න” මම කිව්වෙමි. “ජීවිතේ, ආදරේ, ඕනම දෙයක්. සතුටින් ආරක්ෂාවෙන් ඉන්න”

සුමුදු කෑම මේසයට පැමිණ මා අසලින් ඉඳගෙන පාන් පෙත්ත කෑම අවසන් කළේ ය. “ඔයා හොඳින් ද? මූණ සුදුමැලි වෙලා.” මා දෙස බලමින් ඔහු කීවේ ය.

“මම හොඳින්” යැයි කියමින් මේසයේ වූ අත් පිස්නය මම අතට ගත්තෙමි.

“නෑ ඇත්තට. ඔයාට දාඩිය දාලා. මට පේනවා. මෙතන හොඳටම සීතලයි.”

බොරු සිනහවකුත් සමග මම “මම හොඳින් සුමුදු” යැයි කිව්වෙමි.

“ඔයාලා නිවාඩුවට කොහේ හරි යන්න.” නැවතත් බොරු සිනහවක්.

ඒත් සමගම දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න නිවසේ සීනුව නාද වන්නට විය.

“මම ගිහින් බලන්නම්” මම එතැනින් පැන ගියෙමි.

මගේ මවත් නංගීත් පැමිණ ඇත. දොර අසලට යන විටත් ඔවුන් දෙදෙනාගේ කච බචේ ඇසෙන්නට විය. ඔවුන් දෙදෙනාවත් පිළිඅරගෙන ඔවුන්ගේ අතෙහි වූ මළුත් ගෙන මම කුස්සියට ගියෙමි.

“මට මේ බඩු ටික ලැබුනේ සෑහෙන ලාබෙට. හාස්කමක් වගේ” නංගී ඇය ගෙනා ආහාර පාන ගැන කියන්නට විය.

හාස්කමක්. මටත් දැන් අවශ්‍යව ඇත්තේ එයයි.

“මෙතනින් හොඳ සුවඳක් එනවා” මගේ මව කුස්සිය දෙසට පිය නගමින් කියා සිටියා ය. ඇය කුස්සියට ගොස් පිසීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඉතිරි කෑම පිසීමට පටන් ගත්තා ය. ඇය කඩිසර ය. මා මෙන් නොව ඇයට එක දිගට සෑහෙන වේලාවක් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත.

“කමල් කොහේද?” අම්මා කෑම පිසින ගමන් ඇසුවා ය.

“ආච්චී, තාත්තා දැන් එයි. මෙසේජ් එකක් දැම්මා මේ ළඟ කියලා” සුමුදු කෑ ගසමින් කියා සිටියේ ය.

“කමල් සෑහෙන්න මහන්සියෙන් වැඩ කරනවා. දවසක්වත් නිවාඩු ගන්නේ නැහැනේ” නංගී තම මළුව තුලට එබෙමින් කියා සිටියා ය. ඇය එසේ කියනවාත් සමග ඇය මළුවෙන් මිදි වයින් බෝතලයක් එළියට ගත්තා ය.

“කට්ටියම දැක්කද මේක” ඇය සිනාසෙමින් වයින් බෝතලය එහළට ඔසවමින් පැවසුවා ය. “හැමෝම ගන්න කෝප්පයක් අතට. අක්කේ මෙන්න ඔයාට. මේ වයින් හරිම රහයි. ඔයා අද මේ වයින් බොන්න ඕන”

ඇය මගේ අතට වීදුරුවක් දුන්නා ය. “හරි එහෙනන් මම බොන්නම්කෝ” මම සිනාමුසු මුහුණින් ඈ වෙත වීදුරුව දික් කළා ය. ලේ රතු පැහැති වයින් මගේ වීදුරුව දිගේ පිරුණි.

ඉන්පසු සුමුදුත් වීදුරුවක් ගෙන තම නැන්දා වෙත පිය නැගුවා ය. 

“ආච්චී ඔයත් වයින් ටිකක් බොන්න”

මගෙ මවත් සිනා වෙමින් “එහෙනන් ටිකක් දාන්නකෝ. ටිකයි හැබැයි.” යැයි කියා සාලෙට පැමිණියා ය.

අප සියලුදෙනා වයින් වීදුරුව තොල කට ගාමින් සිනා සාගරයේ ගිලුනි.

“හෝ... හෝ... මොකද මේ” කමල් සිනාවෙමින් නිවස තුලට ඇතුලු වුනේ ය. ඔහු එනවා මට දැනුනේවත් නැත. එතරම්ම අපි සිනා වෙමින් සිටියෙමු. කමල් සුමුදු වෙත ගොස් තරුණ මිතුරන් දෙදෙනෙක් විලාසයෙන් වැලඳ ගෙන වීදුරුවක් අතට ගත්තේ ය.

“අපි මොනවද මේ සමරන්නේ” කමල් මා දෙස බලා වීදුරුව ඉහළට ඔසවමින් කියා සිටියේ ය.

මම අතෙහි තිබූ ලේන්සුවෙන් කම්මුල් පිස දමා සියලු දෙනා දෙස බැලුවෙමි. සැවොම සතුටින් සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියි.

“අපි සමරන්නේ.... අපි දැන් ඉන්න... මේ මොහොත"



5 comments:

  1. සාමාන්‍ය සිද්ධියක්.ඒත් අළුත් නිර්මාණයක්.රසවත්.
    ලිවීමේ දි මා කථන/රචන දෙ බසම එක සාහිත්ය නිර්මාණයක් සඳහා භාවිතා කරන්නේ නෑ. දෙකෙන් එක් ක්රමයකුයි භාවිතා කරන්නෙ. නිර්මාණ කියවන්නන් එ මගින් භාෂා නියමයනුත් ඉගෙන ගන්නා නිසා.
    පොත ඉදිරිපත් කළා ද?

    ReplyDelete
    Replies
    1. කවුරුන් හෝ කියූ දෙයක් ලිවීමේ දී කථන භාෂාව භාවිතා කරන්න පුලුවන් නේද?

      තවම පොත ඉදිරිපත් කරන්න වුනේ නැහැ. මම ගිය මාසේ 30 වෙනිදා ඉඳන් නිරෝධායනයේ. අසනීප වෙලා හිටියේ. අද ගොඩගේ එකට කතා කරනවා විසඳුමක් තියෙනවද කියලා අහන්න. කාලය දවසකින්වත් දික් කරොත් ගිහිල්ලා දෙන්න පුලුවන්.

      Delete
  2. එක හුස්මට කියෙව්වා. කනගාටුදායක තිත්ත ඇත්ත. ඒත් ආදර්ශය හරියි කියල හිතෙනවා. “අපි සමරන්නේ.... අපි දැන් ඉන්න... මේ මොහොත".

    මම කවදාවත් "ලිවින් ෆෝ ද ඩේ" ක්‍රමය අගේ කරපු කෙනෙක් නෙමෙයි, ඒත් දැන් ලෝකයේ, ජීවිතයේ අවිනිශ්චිතභාවය බැලුවාම, අනේ මන්දා? කියල හිතෙනවා.

    හොඳ නිර්මාණයක්. සුභ පැතුම්. ස්තූතියි.

    ReplyDelete
  3. Nice, timely to remind us to live in moment. Wijebahu

    ReplyDelete