Saturday, September 4, 2021

ඉපදීම (කෙටි කතාව)

 මොර සූරන වැස්ස යැයි කුඩා කල සිංහල පොතේ කියෙව්වද එය දැක්කේ අද ය. අධික වර්ෂාව නිසා ලඟ සිටින පුද්ගලයාවත් පෙනෙන්නේ නැත. එතරම් ධාරානිපාත වර්ෂාවක් අප හමුවේ තිබේ. මම පාසල් ශාලාවට වී වැස්ස පහව යන තුරු බලා සිටියේ ය. ඒ අතර කවුරුන් හෝ මහ වැස්සේ ම ගස් අතරින් මේ දෙසට එන බව මට දකින්නට ලැබුණි. ඒ කවුරුන් දැයි හරිහැටි කිව නොහැකි වුවත් මේ වැස්සේ ම කුඩයක්වත් නොමැතිව මේ දෙසට එන්නේ කුමක් හෝ වැදගත් කාරණාවක් නිසා විය යුතුයි.


“අනේ පුතේ විගහට එන්නකෝ දුවට අමාරුයි. දැන්ම ම ඉස්පිරිතාලේ අරගෙන යන්න වෙයි” යැයි කීවේ ආයා අත්තම්මා ය. මේ ගමේ සිටින පවුල් දහය පහළොවෙන් කාගෙත් කරදරයක් වූ විට පළමුවෙන් ම එළිබහින්නේ ඇය යි. ඇයගේ ලේලිය ගැබිණි මවක් වන නිසා ඇය පැමිණි කාරණය මම වහා තේරුම් ගත්තෙමි.


“කලබල වෙන්න එපා අත්තම්මේ මම එන්නන්. මම සිරිල්වත් කතා කරගෙන එන්නන්. අපිට තනියම කන්දෙන් පහල බහින්න බැහැනේ”


“බුදු බව අත්වෙනවා පුතේ.. මගේ දුවට බොහොම අමාරුයි අනේ ඉක්මනට එන්න” 


වර්ෂාව නිසා මුහුණ වැසි ජලයෙන් තෙමී ගිය ද ඇයගේ කඳුළු හැංගුනේ නැත.


“අත්තම්මේ මේ කුඩෙත් අරගෙන දුව ගාවට යන්න. මම එන්නන්”


අත්තම්මා කුඩෙත් රැගෙන කලබලයෙන් දිව ගිය ද ඇයට කුඩය ඉහළ ගැනීමට නිච්චියක් වූයේ නැත. ඇයට දැන් අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් තම දුවව ඉස්පිරිතාලයට රැගෙන යාම යි. දුව හත් මසක දරු ගැබක් ඇති ගැබිණියකි. ඇයව කන්දෙන් පහල පිහිටි ඉස්පිරිතාලයේ නැවැත්වීම ගැන ගිය සුමානේ අත්තම්මා අපත් සමඟ කතා කල ද මේ වර්ෂාව නිසා එය කල් ගියේ ය. මේ ගමේ ඉස්පිරිතාලයක් තියා හදිස්සියකට තුවාලයක් වූ විට බෙහෙත් දමන්නටත් තැනක් නැත. දැන් අවශ්‍යතාව ගිනි පෙත්තටම නැග අවසන් ය.


මම සිරිල්වත් තව කොල්ලෝ දෙදෙනෙක්වත් කතා කරගෙන ආයා අත්තම්මාගේ නිවසට දිව ගියෙමි. ඇය අප එනතුරු කටු මැටි නිවසේ කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සී බලා සිටියා ය. 


“මහත්තයෝ දුවට ඇවිදගන්න අමාරුයි.. දැන් මොකද කරන්නේ?” අප නිවසට ඇතුලු වත්ම අත්තම්මා පවසා සිටියා ය. ඒ අතර මහ වැස්සේ ශබ්දය පරයා යමින් නිවස තුලින් දුව වේදනාවෙන් කෑ ගසන ශබ්දය අපට ඇසේ.


“තවත් බලන් ඉන්න බෑනේ. අපි මෙයාව උස්සගෙන යන්නම්. දුවව රෙද්දකින් හොඳට පොරවන්න” යැයි කී සිරිල් අපව කැඳවගෙන නිවස තුලට ගොස් ඇයව ඔසවා ගත්තේ ය.


ඇයවත් රැගෙන අපි මහ වැස්සේ කන්දෙන් පහලට යාමට පිටත් වුනෙමු. දුෂ්කර ම කාර්යය එය යි. අප දැන් සිටින්නේ උඩගල දෙබොක්ක ග්‍රාමයේ ය. පහල ඇති උඩත්තව ගමට යාමට නම් කැලයක් මැද්දෙන් කිලෝමීටර් හතක පමණ කන්දකින් පහලට යා යුතු වේ. දැන් අපට එය සිදු කිරීමට ඇත්තේ මහ වැස්සක් අතරතුර යි. ඇරත් දැන් දැන් අඳුරත් වැටීගෙන එයි. අලින් නිතර නිතර ගැවසෙන ප්‍රදේශයක් බැවින් හවය හය පසු වූ විට කිසිවෙක් නිවසින් බැහැර වන්නේ නැත.


අත්තම්මාගේ පුතත් නැති වූයේ රෑක කන්ද පහලට යෑමට ගොස් අලියෙක්ගේ පහර කෑමට ලක් වීමෙනි. ඒ මාස හතරකට පමණ පෙර ය.


“පරිස්සමෙන් ඔතන බෑවුමක් තියෙන්නේ” ඇයව ඔසවාගෙන සිටි සිරිල් කීය. සතිපතා කන්දෙන් එහාට මෙහාට ගොස් සිරිල් හොඳ පුරුදුකාරයෙක් වුවත් අඳුරත් වැස්සත් ඔසවාගෙන සිටි ගැබිණියත් නිසා මෙය අතිෂය අපහසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.


ගමනේ ටික දොහක් ගිය විට අත්තම්මා මට කතා කරමින් “පුතේ මට රිපෝට් කාඩ් ටික ගේන්න අමතක වුනානේ. මම ගිහින් ඉක්මනට අරගෙන එන්නන්” යැයි කීවා ය.


“ඕක ඕන්නෑ අත්තම්මේ දැන් ඔයා තනියෙන් යන්න එපා”


“නෑ නෑ මම විගහට ගිහින් එන්නන් ඔයාලා යන්න”


“එක්කෝ මට කියන්න තියෙන තැන මම යන්නන්”


“ඔයා මගේ දුව ගාවින් ඉන්න. සිරිල්ටත් අමාරු ඇතිනේ. ඔයාලා මාරුවෙන් මාරුවට උස්සගෙන යන්න. මම ගිහින් එන්නන්” යැයි කියූ ඈ මට කිසිවක් කීමට ඉඩ නොදී නැවත කන්ද නැග අපට නොපෙනී ගියා ය.


වැස්ස නිසා අඩි පාර ලිස්සෙන සුළු ය. අප පස් දෙනා හීන් සීරුවෙන් අඩිය තබා කන්ද පහලට ගියේ අයියානායක දෙවියන්ට කන්නලව් කරමින් ය. ඒ අතර විටින් විට අලින්ගේ කුංචනාදය ද අපට ඇසෙයි. 


අඳුර විසින් කැලෑව වසා ගනිද්දිම අපිට නිරුපද්‍රිතව පහල ගමට ඒමට හැකියාව ලැබුනෙමු. ගමේ ත්‍රීවීල් එකක සිරිල් ඇයව ඉස්පිරිතාලය එක්කරගෙන ගියේ ය.


මම ඉස්පිරිතාලයට යන විට එළිය වැටී තිබුණි. ඉතා සතුටින් අලුත උපන් දරුවාටයි අම්මාටයි අවශ්‍ය කලමනා රැගෙන මම වාට්ටුව දෙසට ගියෙමි. වාට්ටුව ඉදිරියේ පුටුවක ඉඳගෙන ඔලුව නමාගෙන සිටි සිරිල් මා එනවා දැක නැගිට්ටේ ය.


“ළමයා හම්බුනාද මාමේ?” මම සිනාමුසු මුහුණින් ඔහු වෙත දිව යමින් අසා සිටියෙමි.


“ළමයා හම්බුනා. පුතෙක්. නිලේකා නැතිවුනා බං.” සිරිල් මගේ පිටට තට්ටුවක් දමා වාට්ටුවෙන් එළියට ගියේ ය.


කරන්නේ කුමක් දැයි කියන්නේ කුමක් දැයි නොතේරුනු මම එතැනම ඉඳ ගත්තෙමි. ඒ අතර නිලේකාව බලන්නටැයි කියා උඩහා ගමේ දෙදෙනෙක් පැමිණියේ ය.


“ඊයේ රෑ ආයා අත්තම්මා ඇවිත් කිව්වා දුවට අමාරුවෙලා මෙහාට ගෙනාවා කියලා. දුවට කොහොම ද?”


“නැන්දා නැතිවුනා මාමේ. පුතෙක් ලැබුනා.”


“දෙයියනේ මොන වින්නැහියක්ද මේ. ආයා අත්තම්මා දුකින් ඇත්තේ. කෝ එයා?”


“ඇයි අත්තම්මා ඔයාලත් එක්ක ආවේ නැද්ද?”


“නැහැ, අපිත් එක්ක ආවේ නැහැ. අපි ඊයේ රෑ එපා කියද්දිමයි කඩදහි වගයක් පපුවට තුරුල් කරගෙන අර මහ වැස්සේ කන්ද පහලට බැස්සේ”





3 comments:

  1. හ්ම්.. අමුතු කතාවක්. කියෙව්වා.

    ReplyDelete
  2. මූනු පොතෙනුත් කියව්ව. දැනුත් කියව්ව.
    ඒක පට්ට..
    තොර.ුරුම හොයන්න යන එකේ වාසිය ඔන්න. ඕන විදියෙ විස්තර කතා වස්තු තියේ ‍කතන්දර වලට

    ReplyDelete