Sunday, December 3, 2023

විවාද තරඟය (ශනිදා දහයට)

මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියේ තිබුනා සිංහල සාහිත්‍ය සමිතියක්. සතියට දවසක් සිංහල පීරියඩ් දෙකක් තියෙන වෙලාවට අපි සමිතිය පැවැත්වුවා. මේ සමිතියේ දී නොසෑහෙන්න දේවල් අපි කරා. ගොඩක් ඒවා සිංහලට අදාළ නෑ. චිත්‍ර ඇන්දා. සිංදු කිව්වා. ඒවත් සිංහලයි ඉංග්‍රීසියි දෙමළයි තුනෙන්ම. දෙමළ සිංදු නම් අපි අලුත් වචන හැදුවා සිංදු කියනකොට. සමහර දවස් වලට හෑන්ඩ් ෆයිට් තිබුනා. තවත් දවසක නාට්‍යයක්. විහිළු කතා එකී මෙකී සෑහෙන දේවල් කරා.

මේ විශේෂාංග අතරින් මම කැමතිම විවාද තරඟ වලට. මුලින්ම කියන්න ඕනේ අපේ පන්තියේ එවුන් විවාද තරඟයක් කියලා කිව්වම හිතන්නේ රෙස්ලිං වළල්ලක් මැද්දේ ගහගන්නවා වගේ දේකට. විවාද කරන්නේ මොන මාතෘකාව යටතේ ද කියලා සමහරු දන්නෙත් නෑ. මම මේ කියන්නේ අහගෙන ඉන්න මිනිස්සු විතරක් නෙමේ කතා කරන අය හිටං මොනාද කතාකරන්නේ කියලා දන්නේ නෑ. ඇරත් විවාද කරන හැටි ගැන ලොකු දැනුමක් තිබ්බෙත් නෑ. ඉතින් ඔහොම පන්තියේ විවාද කරපු කාලයේ නිවාසාන්තර විවාද තරඟයක් සිංහල ලොකු සමිතියෙන් පවත්වන්න යෝජනා වුනා.

ඒ කාලේ මාත් එක්ක එකට හිටපු අඹ යාලුවෝ තව දෙන්නෙක් හිටියා. අපි තුන් දෙනාට ඉංග්‍රීසි සර් කිව්වේ නම් ‘ත්‍රී මස්කටියර්ස්’ කියලා. ඒකත් අපිට ඉංග්‍රීසි සාහිත්‍යට උගන්නපු කතා පොතකින්. අපි තුන්දෙනා නිවාස තුනක උන්නේ. විවාද කරන්න ලොකුවට දන්නේ නැති වුනත් කෑමක් ගැන හරි විවාද කරන්න කැමති නිසා අපිත් එකතු වුනා කණ්ඩායමට. දැන් ඔන්න විවාද තරඟයට හැමදේම ලෑස්තියි. අපේ සිංහල සර් වෙන ඉස්කෝල දෙකකින් තවත් සර් කෙනෙක්වයි මිස් කෙනෙක්වයිත් ගෙන්නලා. අපි මුලදි සර්ට කිව්වේ නම් ඕවට ලොකුවට වද වෙන්න ඕන නෑ විනිශ්චයට සර් විතරක් හිටියම ඇති කියලා. එහෙම කිව්වේ ඇත්තටම සර් ගැන හිතලා නෙමේ. පිට මිනිස්සු ඉස්සරහා ලැජ්ජා වෙන්න බැරි නිසා.

දැන් තරඟය තියෙන්නේ ඉස්කෝලේ ඉවර වෙලා විනාඩි පහළොවකින්. කේක් බිස්කට් එහෙමත් ගෙනල්ලා තිබ්බේ බලන්න එන අයට කන්න දෙන්න. පිට ඉස්කෝල වලට කිව්වේ නෑ ඉතින් අපේ පන්ති වලම අයට කන්න බොන්න ගෙනාවේ. තරඟය පටන් ගන්නත් ඔන්න මෙන්න තියෙද්දි මහ හෝල් එකේ අත පයේ අලුහං දාලා වගේ තැන තැන ටික දෙනයි ඉන්නේ. අපි ග්‍රවුන්ඩ් එකටත් ගිහිල්ලා ක්‍රිකට් ගන්න ඉන්න මල්ලිලා ගාවට ගිහින්;

“කේක් කන්න ආසද? එන්න මෙහෙන්” කියලා හෝල් එකට දැක්කුවා.

දෙමළ ළමයිවත් ගෙනාව තේරෙන්නේ නැති වුනත් අහන් ඉන්න කියලා. අපි එයාලට කිව්වේ නාට්‍යයක් පෙන්නනවා කියලා.

දැන් ඔන්න විවාද තරඟය පටන් ගත්තා. මමයි මගේ මිත්‍රයයි දෙපැත්තේ. මම නැගිට්ටා. සභාවෙන් අවසර ගත්තා. කලින් ලියාගෙන ආපු පොඩි කවි කෑල්ලකුත් කිව්වා. ඊට පස්සේ අරෙහෙමයි මෙහෙමයි කියලා අත පය එහෙට්ට මෙහෙට්ට කරලා කතාවත් කරා. බලන්න ආපු අය අත්පුඩිත් ගැහුවා. ඇත්තටම කියනවා නම් අපි කෙනෙක්ව දාලා තිබ්බේ අත්පුඩි ගහන්න ඕන වෙනකොට සිග්නල් එක දෙන්න කියලා. මේ මොහොත වෙනකන් හැමදේම සාමකාමී යි. විවාදය ලස්සනට යනවා. ඊළඟ කතාව තිබ්බේ මගේ මිත්‍රයට.

ඌ නැගිට්ටා. සභාවෙන් ඇමතිලි මුකුත් නෑ. “උඹ මට කලින් කිව්වා නම් ඔයිට වඩා ලස්සන කවියක් ලියලා දෙනවනේ” කියලා කිව්වා. ඊට පස්සේ මතක් වුනා සභාවක් තියෙනවා අවසර ගන්න කියලා. 

“අපේ සර්ගෙන් ද අනිත් සර්ගෙන් ද අනිත් මිස්ගෙන් ද අපේ සෙට් එකෙන් ද අවසරයි” කියලා කතාව පටන් ගත්තා. පටන් ගත්තු වෙලේ ඉඳන් මාවම කපපු එක කලේ. 

අපිට මාතෘකාව ලැබුනේ මොකක්හරි සෞඛ්‍ය අංශයේ දෙයක්. ඒ නිසා මම වතාවක් සික් රූම් එකේ මිස්ගේ සෙරප්පුව ඇඳේ මෙට්ටේ අස්සේ හංගපු එකකුත් කිව්වා. ඒකත් මම කරේ තනියම නෙමේ මගේ මිත්‍රයත් එක්ක. එයාට ඔලුව කැක්කුමයි කිව්ව නිසා පැනඩෝල් දෙකක් ගන්න එයාව සික් රූම් අරගෙන ගියා. හෙව්වා හෙව්වා මිස් හිටියේ නෑ. සෙරෙප්පු දෙක තිබ්බා හැබැයි. මට ආපු කේන්තියට සෙරප්පු ඇඳේ මෙට්ටේ අස්සේ ගැහුවා. ඕවා අහගෙන මම දහ අතේ කල්පනා කරා ‘දෙයියනේ මොකක්ද මුට වෙලා තියෙන්නේ’ කියලා.

මගේ මිත්‍රයා එතනින් නැවතුනේ නෑ. එයාගේ මේසය උඩ තිබ්බා ගහලා මරන්න පුලුවන් සයිස් පත්තර මිටියක්. මූ ඒක ගත්තා අතට. ආවා වේදිකාව මැද්දට. විවාද තරඟයක දි නාට්‍යක වගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද නටන්න බෑ. ඉන්න තැන ඉඳන් කතාව කරන්න ඕනේ. මගේ මිත්‍රයට ඒවා අදාලම නෑ. වේදිකාව මැදට ඇවිදින් එක අතක පත්තර මිටියක් තියාගෙන අනිත් අතේ ඇඟිල්ලක් සභාවට දික් කරගෙන “ඔයාලා හැමෝටම මම පෙන්නන්නම් මම මේ කියපු දේවල් වලට සාක්ෂි” කියලා පත්තර මිටිය අත් දෙකෙන්ම අරගෙන උස්සලා පෙන්නුවා.

“හැමෝටම කලින් මම මගේ මිත්‍රයාට මේ සාක්ෂි පෙන්නන්නම්” කියලා මගේ දිහා බලලා මා ගාවට එන්න පටන් ගත්තා. මම ඔලුවෙන් සංඥා කරා එපා එපා ඕකනම් කරන්න එපා කියලා. 

මගේ මේසය හෙලවි හෙලවි තිබ්බේ. ඔංචිල්ලාවක් වගේ පැද්දෙනවා පොඩි තට්ටුවකින්. 

මගේ මිත්‍රයා මගේ ළඟට ආවා. මම එයා දිහා බැලුවා අහිංසක විදිහට. ඌ හිනාවුනා. “මෙන්න බලාගන්න සාක්ෂි” කියලා අර කිලෝ එකක් විතර බර පත්තර මිටිය මගේ මේසෙට දමලා ගැහුවා. එක සැරේම ‘දඩ බඩාස්’ ගාගෙන මුලු මේසෙම ෆ්ලැට්. පත්තර වේදිකාව පුරා සීසීකඩ. මගේ මිත්‍රයාට දැන් හිතාගන්න බෑ මොකක්ද වුනේ කියලා. සභාවේ හැමෝම හිනාවෙන අතරේ මිත්‍රයා මගේ දිහා පුදුම වෙලා බලාගෙන හිටියා තත්පර පහක් විතර.

ඊට පස්සේ මගේ මිත්‍රයා එයාගේ තැනට ගිහින් කියනවා “ඔය පත්තර කියවලා බලන්න ඔයාලා වැරදියි කියලයි ඒ ඔක්කොගෙම තියෙන්නේ’ කියලා. එහෙම කියනකොට මම වේදිකාව මැද්දේ දණ ගහගෙන මේසය උඩ තිබිලා වැටුනු මගේ පෑනයි කොලයයි හොයන්න අර පත්තර අවුස්ස අවුස්ස හිටියේ. අපි අමතර මේසයක් ලෑස්ති කරෙත් නැති නිසා මුලු විවාදය පුරාවටම මට මේසයක් තිබ්බේ නෑ. කුකුල් මඩුව වගේ පත්තර ගොඩක් මැද්දේ මම පුටුවක් තියාගෙන මොකද මේ වුනේ කියලා කල්පනා කරමින් හිටියා.

මම පස්සේ දැනගත්තා මගේ මිත්‍රයා මේ පත්තර අරගෙන තියෙන්නේ බෝතල් පත්තර කාරයෙක්ගෙන් මිසක් පරීක්ශන කරලා නෙමේ කියලා.

මගේ මිත්‍රයා ඉදායින් පස්සේ විවාද තරඟයක නීති රීති එහෙම ඉගෙන ගත්තා. අපි උසස් පෙළ ලියනකොටත් එකට විවාද කරා. ඒවයෙත් රසබර කතා තියෙනවා. වර්තමානයේ දී නම් මගේ මිත්‍රයා ප්‍රකට රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහටයි වැඩ කරන්නේ. නිව්ස් වල හරි ලස්සනට නිව්ස් කියනවා දකින හැම වෙලාවකම වගේ මතක් වෙනවා මූ පත්තර මිටියකින් මගේ මේසය සමතලා කරපු විදිහ.



Wednesday, November 29, 2023

කේක් කෑල්ල කා දැවිල්ල නිසා තොවිලයක් නැටීම



ඔයාලා කනකොට දැවිල්ල දෙයක් කැවුනොත් ඒ දැවිල්ල ඉක්මනින් නැති කරගන්න කරන්නේ මොකක් ද?

මම නම් හොදවැයින් උණු වතුර එකක් බොනවා. බොහෝ දෙනෙක් ඔය ක්‍රමය යි අනුගමනය කරන්නේ. ඒ ක්‍රමය බැලූ බැල්මට සාර්ථක ක්‍රමයක් බවට සිතෙන්නේ නැති වෙන්න පුලුවන්. මොකද කියනවා නම් කටේ දැවිල්ල තියෙද්දී උණු වතුර බිව්වම ඒ දැවිල්ල තව වැඩි වෙන නිසා. 

නමුත් උණු වතුර එක බිව්වම එක සැරේ දැවිල්ල වැඩි වුනත් මුලු දැවිල්ල ඉතා ඉක්මනින් අඩු වෙනවා. මට පොඩි කාලේ මේක හරි ලොකු ප්‍රශ්නයක්. මේක වෙන හැටි දැනගන්න දැඩි උවමනාවක් තිබ්බා. ඒක හරි සරල සිද්ධාන්තයක්.

අපි දැවිල්ල දෙයක් කනකොට අපේ දිවට ඔරොත්තු දෙන්න පුලුවන් එවෙලෙට අපි කන දේ තියෙන දැවිල්ල විතරයි. ඒ මොහොතේ දී අපි කන දේ තමා උපරිම දැවිල්ල වෙන්නේ. ඒ නිසයි අපිට ඉන්න අපහසු. උණු වතුර බිව්වම අපේ දැවිල්ල තව වැඩිවෙනවා. එතකොට දිව දරාගන්න උපරිම දැවිල්ල කලින් මට්ටම නෙමේ. දැන් මට්ටම ඊට වඩා ඉහළින් තියෙන්නේ. උණු වතුර බිව්වම උණු වතුර නිසා දැනෙන රස්නය වැඩි වෙලා යන්න කලින් නැතිවෙනවා. නමුත් දැන් දිව දන්න දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසයි අපි කාපු කෑමේ දැවිල්ල අපිට දැනෙන්නේ නැත්තේ. දැවිල්ල කට ඇතුලේ තිබ්බත් අපිට ඒක දැනෙන්නේ නැහැ උණු වතුර බිව්වට පස්සේ දැවිල්ලේ උපරිම මට්ටම වෙනස් වුන නිසා. ඒත් එක්කම උණු වතුර නිසා කටේ තියෙන මිරිස් වල සංඝටක හොඳින් ඉවත් වෙන නිසාත් දැවිල්ල ඉක්මනින් අඩු වෙනවා. 

ඔය වගේ ම තමා කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට. මම සාමාන්‍යයෙන් තේ එක්ක කේක් කෑල්ලක් පිළිගැන්වුවොත් කේක් කෑල්ල මුලින් කන්නේ නැහැ. කලින් කෑවොතින් පස්සේ බොන තේ එකේ සීනි අඩුයි වගේ තේරෙනවා. 

ඒක වෙන්නේ මෙහෙමයි. අපි කේක් කෑල්ල කනකොට අපේ දිවට ඒ මොහොතේ දැනෙන පැණි රසේ උපරිම මට්ටම වෙනස් වෙනවා. උපරිමය තමා කේක් කෑල්ලේ පැණි රස. නමුත් අපි බොන තේ එකේ තියෙන සීනි වල පැණි රස කේක් කෑල්ලේ පැණි රස තරම් නැහැ. මේ නිසා කේක් කෑල්ල ඇති කරපු පැණි රසේ උපරිම මට්ටමට තේ එකේ සීනි වලට යන්න බැහැ. ඒ හේතුවෙනුයි අපිට කේක් කෑල්ලක් කාලා තේ එකක් බොනකොට සීනි මදි වගේ තේරෙන්නේ. ඇත්තට ම සීනි මදි නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ.

ඉස්සර ගම් වල කාන්තාවකට එහෙම යකෙක් වැහුනම ගමේ තොවිලයක් තියෙනවා. තොවිල් විවිධ හේතු උදෙසා පවත්වනවා. දරුවන් නැති අම්මලාට දරුවන් ලැබෙන්න, ලෙඩ රෝග හොඳ කරගන්න සහ යක්කු වැහීම ආදී දේවල් වලට තොවිලය භාවිතා වෙනවා. 

යකෙක් වැහෙනවා කියන්නේ මානසික රෝගයක්. ඒ කාන්තාව බොහෝ විට යම්කිසි දෙයකට බය වෙලා ඉන්නේ. ඒ වගේ කාන්තාවක් සුව කරන තොවිලයේ මුලින් ම කරන්නේ කාන්තාව ඉස්සරහා තියාගෙන යක්කු විදිහට වෙස්මුහුණු දාගෙන ඇඳගත්තු මිනිස්සු ඇවිත් ඒ කාන්තාව තව තවත් බය කරන එක. දැන් මේ කාන්තාව බය වෙලා ඉන්නේ තමන් තොවිලයට එන්න හේතු කාරණා වුන දේ නිසා නෙමේ තොවිලයේ ම ඉන්න යක්කු විදිහට ඇඳගත්තු මිනිස්සුන්ට. 

දැන් රෝගී කාන්තාවට පැරණි බිය නැතිවෙලා අලුත් බියක් හටගෙන තියෙන්නේ. තොවිලය ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙද්දී තොවිලය තුලින් ම ඒ ඉන්න යක්කුන්ගේ බය ක්‍රමක්‍රමයෙන් අඩු කරලා නැති කරලා ම දානවා. දැන් කාන්තාවට අලුතින් හටගත් බියත් නැහැ. මෙතන දී ක්‍රියාත්මක වෙන්නෙත් කේක් කෑල්ලක් එක්ක තේ බොනකොට සහ දැවිල්ල දැනුනම උණු වතුර බොන සිද්ධාන්තයම තරමක් වෙනස් ස්වරූපයකින්. 

ලංකාවේ තොවිලය සහ ශාන්තිකර්ම සැඟවුනු විද්‍යාව ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. මේවා ගමේ ගොඩේ උන්දැලාගේ පලක් නැති දේවල් නම් වසර සිය ගණනක් තිස්සේ නොනැසී පවතීවි ද? 

Sunday, November 26, 2023

සදාචාර නියෝජිතයෝ (කෙටි කතාව)


ඇන්තනි මේසය මත තිබූ පත්තරය තම කබාය තුලට දමාගත්තේ කිසිවෙකුත් එය දැකීමට පෙර ය. පත්තරයේ පිටු අතර තමන් ඝාතනය කල යුතු පුද්ගලයාගේ තොරතුරු සඳහන්ව තිබුණි. 


“ඇන්තනි, ඔයාට හොඳටම විශ්වාස ද ඔයා සූදානම් කියලා?” ඔහුගේ මේසයේ ඔහුට පිටුපා සිටි ඇය ඇසීය. ඇගේ හඬ අවටින් ඇසෙන බිත්තර බැදෙන හඬටත් මිනිසුන්ගේ කතාබස් හඬටත් රූපවාහිනී හඬටත් වඩා අඩු සියුම් හඬක් විය. “අන්තිම වතාවේ සිද්ද්වෙච්ච දේ ඔයාගේ වරදක් නෙමේ.”


ඇය පැමිණීමට වරු දෙකකට පමණ පෙරාතුව ඇන්තනි පැමිණ අවන්හලේ ප්‍රධාන දොරට ඈතින් ම පිහිටි අසුනක් තෝරා ගත්තේ අවන්හලට පැමිණෙන සියලුම දෙනා ගැන හොඳින් ඇස් යොමා සිටීමට හැකි වන ලෙසටයි. අසුනක් තෝරා ගත් පසු ඔහු තම රිවෝල්වරය කබාය යට උකුලේ තබාගත්තා.


“ඔයා අපෙන් සෑහෙන්න කාලයක් ඈත් වෙලා හිටියා. ආපහු එන්න හිතුනේ ඇයි?” ඇය තම කෝපි කෝපයෙන් උගුරක් බොමින් ඇසුවා. 


“මට සල්ලි උවමනා කරලා තියෙනවා. නැත්නම් මම ආපහු එන්නේ නැහැ කවදාවත්”


ඇන්තනි පවසන්නේ ඇත්තක් බව ඇයට වැටහී ගියා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඇන්තනී කුඩා කුඩා රැකියා කලින් කලට කරමින් සිටියේ තමන්ගේ පෙර රැකියාවේ මිතුරන්ගේ උදව් ද ප්‍රතික්ෂේප කරමින්. මේ මොහොත වනතෙක් ඔහු කාමර මාරු කරමින් රැකියා මාරු කරමින් ගතකලේ සැඟවුනු ජීවිතයක්.

දැන් සියල්ල වෙනස්.


ඇය ඇයගේ අවධානය ඇන්තනී කෙරෙන් වෙන් කලේ නැත.  “ඇයි ඔයා අපෙන් ඈත් වෙලා හිටියේ ඇන්තනි? අපි ඔයාව නිතරමට හොඳින් බලාගත්තා නේ” ඇයගේ හඬෙහි හැඟීමක් තිබුනේ නැත. 


ආයතනය කොතරම් ඔහුත් සමඟ කොතරම් සම්බන්ධ වීමට උත්සහ කලත් ඒ සියල්ල මග හැරියා.  “ඔයාලා හොඳ මිනිස්සුන්ට කරදරයක් කරන්නේ නැහැ. ඒත් අන්තිම වුන දෙයින්.....” ඔහු වාක්‍ය අවසන් කලේ නැත. අහිංසක පාසල් දැරියගේ ලේ වලින් පුරුණු සිරුර ඔහුගේ මතකයට නැගුනා. ඔහුට තවදුරටත් කතා කිරීමට ශක්තියක් නැතිව ගියා. ඔහුගේ අත් උකුල මත වෙව්ලන්නට පටන් ගත්තා. 


ඔහු තමන්ගේ පැත්තකින් තිබුනු රූපවාහිනී යන්ත්‍රය දෙස බැලුවේ ඔහුගේ අවධානය වෙනතකට යොමු කිරීමට සිතාගෙන. එහි පොඩි ළමුන්ගේ සංගීත වැඩසටහනක්. කොතරම් අහිංසක ජීවිත ද? ඔහුට සිතුනා. “දෙවියනේ ආපහු ඒක වෙන්න පටන් ගත්තා” ඔහු ඔහුටම කියාගත්තා. ඔහුට හුස්ම ගැනීමට අපහසු වෙනවා දැනෙනවාත් සමඟ උකුල මත තිබූ වෙව්ලන දෑතින් තම මුහුණ වසාගත්තේ ඔහුගේ මනසෙහි මැවෙන රූප නැති කර ගැනීමට සිතාගෙනයි. පසුගිය මාස කිහිපය තිස්සේ ඇන්තනීට මෙසේ සිදුවුනු වාර නිමක් තිබුනේ නැත. සැනසිල්ලේ නිදාගත් රැයක් තිබුනේ නැත. “හුස්ම ගන්න, ඇන්තනි. හුස්ම ගන්න” මේ ඇසෙන්නේ ඔහුගේ මනස තුලින් ද නැතිනම් තමන් ඉදිරියේ සිටින කාන්තාවගෙන් දැයි ඔහුට වැටහීමක් තිබුනේ නැත.  ඔහු තම හිස මේසය මතට පහත් කලේ ආතතිය පහ වී යන බලාපොරොත්තුවෙනුයි.


එසැනින් ම කාන්තාව සේවකයෙක්ට කතා කර රූපවාහිනියේ වෙනත් යමක් දමන්නැයි කීවා. ඇය වහා ගොස් වතුර කෝප්පයක් රැගෙන ඇන්තනී වෙතට දුන්නා. ඔහු තම කබාය ඇතුලතින් බෙහෙත් පෙති කිහිපයක් රැගෙන එකවර ඒවා උගුරට දමාගෙන වතුර කෝප්පය එක හුස්මට බිව්වා. “සමාවෙන්න, දැන් ටික කාලයක් තිස්සේ මට මෙහෙම වෙනවා. මම බෙහෙත් අරගන්නවා. ඉක්මනට හොඳ වෙයි” ඇය ඔහුදෙස බලා හිස වැනුවා. තවමත් ඇයගේ අවධානය ඔහු වෙතයි. 


පුවත්පත තුල පිටු අතර පින්තූරයක් නමක් සහ ලිපිනයක් හැර වෙනත් යමක් තිබුනේ නැත. ආයතනයේ නීති වලට අනුව ඊට වඩා යම් තොරතුරක් ඔවුන්ට දිය නොහැකියි. නමුත් ඇන්තනීට ඊට වඩා දෙයක් දැන ගැනීමට උවමනා වුනා. අවසන් වතාවේ සිදුවුනු අනතුරෙන් පසු ඔහුට තවත් කෙනෙකු ඝාතනය කිරීමට කිසිදු කැමැත්තක් තිබුනේ නැහැ. එදායින් පසු තමන් අතින් සිදුවුනු වැරැද්ද ගැන ආයතනයෙන් කිසිදු ලියමනක් ඔහුට ලැබුනේ නැත. ඒ වෙනුවට ඔහුට ලැබුනේ තවත් කොන්ත්‍රාත් කිහිපයක් ගැන විස්තර පමණි. ඒ ලියුම් සියල්ල තමන්ගේ පැරණි නිවසට ලැබුනු අතර බැලූ බැල්මට ඔහුට සෑම සතියකට අවම එක් ලියමනක් ඔවුන්ගෙන් පැමිණ තිබුනි. ඇන්තනී ඔවුන්ට තවදුරටත් වැඩ කිරීමට සිතා සිටිනවා නම් ඔහුට තවත් විස්තර අවශ්‍යයි.


“ඇයි?”


ඇය ඔහු දෙස බලා සියුම් සුසුමක් හෙළුවා. ඇය මොහොතකට ඇන්තනී වෙතින් අවධානය පිටතට යවා රූපවාහිනිය දෙස බලාගෙන සිටියා. තවත් ගායනා තරඟයක්. සුළු මොහොතකින් ඇය ඇන්තනි දෙස බලා “ඔයා දන්නවනේ අපේ ආයතනයේ, සදාචාරයේ නියෝජිතනගේ තියෙන නීති මාලාව. ඒකේ හැටියට අපිට ඔයාට මීට වඩා දෙයක් කියන්න බැහැ. නැමුත් ඔයා අපේ විශ්වාසය දිනාගෙන සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක් නිසා මම ඔයාට පොඩි විශේෂයක් කරන්නම්” කීය. ඇය සීතල වූ කෝපි කෝප්පයෙන් තවත් එක් උගුරක් බී නැවත් ඇන්තනි දෙස බැලුවා. “මේ මනුස්සයා මහ නරුමයෙක්. නරුමයෙන්ගෙත් නරුමයෙක්. මේ නරුමයා වැඩියෙන් ම කැමති ළමයි එක්ක ඉන්න.”


ඇන්තනි පත්තර පිටු අතර තිබූ පින්තූරය අධ්‍යනය කිරීමට පටන් ගත්තා. අහිංසක ඇස් තිබුනු මුහුණක් ඔහු දුටුවේ. මෙවන් අයෙක් ළමා අපචාරයේ යෙදෙයි කියා කවුරුවත් සිහිනෙකින්වත් සිතන්නේ නැහැ. ළමුන් වුනත් මේ පුද්ගලයාව විශ්වාස කරන්නේ මේ අහිංසක පාටින් පෙනෙන නිසා විය යුතු යැයි ඔහු සිතුවා. නීතියෙන් බේරී සිටින මෙවන් පුද්ගලයන්ට නිසි දඬුවම දීමයි සදාචාර නියෝජිතයෝ සිදු කරන්නේ. 


පත්තර තුල තුබූ දෙවෙනි පින්තූරය දෙස ඔහු බැලුවා. එහි සිටියේ මවක්. ඇයටයි මේ ඝාතනය සිදු කිරීමට උවමනා වී තිබෙන්නේ. ඇන්තනී නැවතත් කබාය තුලට අත දමා තම රිවෝල්වරය පරීක්ෂා කරා. මේසයෙන් නැගිට ඔහු කිසිවක් නොකියා පාර දිගේ ඉදිරියට ඇදුනේ පත්තර පිටු අතර තිබූ ලිපිනය මුමුණමින්. වීදිය දිගේ ඔහු තරමක් දුර ඇවිද ගිය පසු නිවාස පේළියක් ඔහු දුටුවා. එහි දෙවන නිවසෙයි ඔහු සිටින්නේ. ඇන්තනි නිවස තුලට යාමට පෙර එහි ඉදිරිපස ඇති ළමුන්ගේ සෙල්ලම් පිට්ටනියක තිබූ බංකුවක් මත අසුන්ගෙන් වරුවක් පමණ නිවස දෙස බලා සිටියා. 


‘මොන හයියකින් ද ළමා අපචාරකයෙක් මෙච්චර ළමයි ගැවසෙන තැනක ජීවත්වෙන්නේ’ ඇන්තනී තමන්ටම කියා ගත්තේ ඔහුගේ කේන්තිය වැඩි කරමින්. තව දුරටත් ඔහුට ඉවසා සිටිය නොහැකියි. ඔහු නිවස ඉදිරිපසටගොස් දොර අසල සිටගත්තා. ඔහුට ජනෙල් වීදුරු තුලින් රූපවාහිනියක එළියක් පෙනුනා. වීදියේ එතරම් පිරිසක් සිටියේ නැහැ. ඔහු පිටුපස හැරී බැලුවා. අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් අසල සිටි මවක් හා කුඩා දරුවෙක් දෙසට ඔහුගේ නෙත් යොමු වුනා. නැවත හැරීමක් නැහැ. 


ඔහු සිතට ධෛර්යය ගෙන දොරට එක් වරක් තට්ටු කරා. කිසිවෙකුගෙන්වත් පිළිතුරක් නිවස ඇතුලතින් පැමිණියේ නැහැ. ඔහු නැවත තුන් වතාවක් දොරට තට්ටු කරා. ඔහුගේ අතෙහි ඇති සෑම මාංෂපේෂියකටම රුධිරය වහනය වනවා ඔහුට දැනුනා. පඩිපෙළක් බැස යමෙක් ඇතුලෙන් පැමිණෙන සද්දය ඔහුට ඇසුනා. “ටිකක් ඉන්න මම එනවා” ඒ පිරිමි කෙනෙක්. ඇන්තනී තම අතෙහි තිබූ රිවෝල්වරය තද කරගත්තා. වෙඩි තැබීමට පෙර මේ හරිම කෙනා දැයි දැනගත යුතුයි. කිසිවක් මේ වතාවේ වරදින්න බැහැ. ඔහු තමන්ටම කියා ගත්තා. 


දොර නිවස තුලට විවෘත වුනා.


ඇන්තනීට කෑගසනවා හැර වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. ඔහුගේ මුවින් වචන පිටුනේ නැහැ. මේ සිදුවන දෙය ඔහුට අදහාගත නොහැකියි. පිට්ටනියේ අයිස්ක්‍රීම් අතැතිව සිටි ළමයාගේ අතින් අයිස්ක්‍රීම් බිම වැටුනු අතර ඔහු මවගේ කකුල බදාගත්තා. වීදියේ බයිසිකල් පදිමින් සිටි අය වහා නිවස දෙස බැලුවා. ගත වූයේ මොහොතයි. නිවස සිට් පුද්ගලයාගේ ග්‍රහණයෙන් ගැලවීමට නොහැකිව සිටි ඇන්තනීව ඔහු නිවසට ඇදගෙන ගියා. 


ඇන්තනීගේ උදරයෙන් ලේ වහනය වුවත් ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහෙන්නේ නැහැ. සියල්ල සිදු වීමට ගත වූයේ මොහොතයි. ඔහුට නිවසේ දොර වසා අගුලු දමන සද්දයක් ඇසුනා. ඇන්තනී බිම දිගේ ඉදිරියට ඇදෙත්ම පුද්ගලයෙක් ඔහු දෙසට පැමිණෙනවා පෙනුනත් ඔහුට සියල්ල අපැහැහැදිලිවයි පෙනෙන්නේ.


ඇන්තනී බිම දිගේ ඇදි ඇදී පසුපසට යනවාත් සමඟ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවා. “ඇයි?


ඇන්තනීට තම ජීවිතයේ අවසන් වතාවට ඇසුනේ ඔහු කී දෙයයි. “අපි සදාචාර නියෝජිතයෝ”