Saturday, January 14, 2017

බයිබලයෙන් එහා - 1 ( වසංගත දහය )


 මෝසෙස්ගේ උපත ක්‍රි.පූ. 1526 දී සිදුවූ බව ගණනය කර ඇත. මෙය පලමුවන අම්හොටෙප් පාරාවෝගේ මරණය සිදුවූ වර්ෂය ලෙස දක්වති. බිළිදුන් විනාශ කිරීමට නියෝගය දුන්නේ ඔහුට පසු රජ වූ පලමුවන ථුත්මෝස් රජු යැයි සැලකිය හැකියි. මෝසෙස්ගේ වැඩිමහල් සහෝදරයාට මේ වන විට වයස තුනක් වූ අතර මෝසෙස්ට වූ තර්ජනය ඔහු උපදින කාලයේ පැවතියේ නැත.


 එම නියෝගය කඩකල වින්නඹුවන් දෙදෙනෙකුගේ නම් බයිබලයේ සඳහන්ව ඇත. මොසෙස් ඉපදුන පසු ඔහුගේ මව ජෙකෙබෙත් මාස තුනක් සඟවා තබාගෙන පසුව කූඩයක බහා නයිල් නදියේ පා කර හැරියා ය. දරුවා ගඟෙන් බේරා ගත් පාරාවෝගේ දියණිය ඔහු මාලිගයේ හදා වඩා ගත්තාය. රජ මාලිගයේ සේවිකාවක් ලෙස මෝසෙස්ගේ මව සහ සොහොයුරිය වූ මීරියම් කටයුතු කලහ. මේ පාරාවෝගේ දියඹිය හට්ෂෙප්සුට් යැයි සමහරු දක්වති. ( දහ අටවන මිසර රාජවංශයේ පස්වන පාරාවෝ වූවාය. ඇය පාමුවන ථුත්මිඔස් හා අහ්මෝස් බිසවගේ දියණියයි. ක්‍රි.පූ. 1479 - 1458 තෙක් සමරාජ පාරාවෝ පදවිය ඉසිලුවාය. මීට පෙර මිසරයේ රජකම් කල අනික් රැජිණ වූයේ දොලොස්වන රාජ වශයේ සොබෙක්නෙෆෙරූ ය. )

  මෝසෙස්ගේ පුවත මෙසපොතේමියාවේ අගාද්හි සර්ගොන් ප්‍රවාදය සමඟ සැසදීමට විශාරදයන් උත්සහ කරයි. මෙම පුවතේ සර්ගොන්ගේ මව දරුවා කූඩයක දමා පා කර හැරියාය. පසුව අක්කි නැමැත්තා ඔහු ගඟෙන් ගොඩගෙන හදා ගත්තේය. පසුව සර්ගොන් සුමේරියාවේ රජ විය. තවත් සමාන්තර කථාන්තර පුවත් සුමේරියානු - ආකේඩියානු ලිපියක ඇත. හෙදියක් දරුවා මෙසේ ලබාගෙන රහසිගතව අවුරුදු තුනක් රැක්කාය. ඇයට ඒ සදහා වේතනයක් ලැබුණි. පසුව ඔහු ලියන්නෙකු ලෙස පුහුණු විය. මෙහිද සමානකම් ඇත.

 වයස අවුරුදු 40 දී මෝසෙස් මිසරයෙන් පලා ගියේ මිදියන් දේශයටය. ඒ එකල පාරාවෝ මෝසෙස්ව මැරීමට උත්සහ කල නිසාවෙනි. මෝසෙස් මිදියන් දේශයේ 40 වසරක් සිට නැවත පැමිණියේ තමන්ට බාදා කල පාරාවෝ මියගිය පසුය. මෙසේ මෝසෙස් නැවත මිසරයට පැමිණි පසු හමුවූ පාරාවෝ වූයේ දෙවන අම්හොටෙප් ය. මෝසෙස් පාරාවෝවරයාගෙන් ඉල්ලා සිටියේ දින තුනක වන්දනාවක් සදහා කාන්තාරය දෙසට යාමට ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දෙන ලෙසය. එයට පාරාවෝ ඉඩ හැරියේ නැත. ඒ නිසා රජුගේ තීරණය වෙනස් කිරීමට බලය යෙදීමට සිදු විය. මෙසේ බලය පෙන්වීම වසංගත වශයෙන් සිදුවිය.


මෙම වසංගත ගැන විවිධ අදහස් පලවී ඇත. මෙම වසංගත ගැන ස්වභාවික හේතු දැක්වීමට උත්සහ දරා ඇත. රතු මුහුද තරණය කිරීම ගැන දක්වා ඇති හේතුව වන්නේ භීමිකම්පාවයි. තවත් මතයක් වන්නේ සන්‍ටෝරිත් හි ගිනි කන්දක් ක්‍රි.පූ. 1447 දී පිපිරීම නිසා ඇතිවූ මුහුදු රළ ඉහළ යාම නිසා මිසර හමුදාව විනාශ වූ බවයි. මේ ස්වභාවික හේතුවල ප්‍රථිපලයක් වශයෙන් වසංගත ඇතිවූ බව පෙන්වා ඇත.


 වසංගත වලින් පලමුවැන්න ඇතිවූයේ නයිල් ගඟ අසාමාන්‍ය ලෙස ගැලීම නිසාය. ගංගාව ලේ පාට වූයේ නයිල් ගඟාවේ ඉහළ ප්‍රදේශයේ මඩ වතුර ගලා ඒම නිසාය. ඉහළ නයිල් ප්‍රදේශයේ ඇති සුදු නයිල් සහ නිල් නයිල් සහ අත්බරා ගංගා ගලා බසින්නේ රතු පස ඇති ප්‍රදේශ හරහාය. එසේම ඒ පසෙහි බැක්ටීරියා ප්‍රමාණය අධික වූ නිසා ගංගාවේ මාළුන් මැරී ගිය බව දක්වා ඇත. නයිල් ගංගාව අද්දර ජීවත් වූ මැඩියන් අගෝස්තු මාසයේදී අධික ජල ගැලීම නිසා අධික විය. ( ජලයේ බැක්ටීරියා අධික නිසා ගොඩබිමට පැමිණේ)  ඒත් සමඟම මදුරුවන්ද වැඩි විය. මෙය ඇතිවූයේ ඔක්තෝම්බර් නොවැම්බර් කාලයේදී ය.


 ජල ගැල්ම අවසන් වූ පසු කාන්තාර ප්‍රදේශයේ සිට මැස්සන් හා මදුරුවන් ඇදී ආ බව පෙනේ. වතුරේ පල්වූ ගස්කොළන් වල මෙම කෘමීන් බිත්තර දැමූ නිසා වසංගතය බහුල විය. ජනවාරි වන විට මැස්සන් නැතිව ගියේ ය. මැරීගිය මැඩියන්ගෙන් ඇතිවූ තත්වය නිසා ගවයන්ගේ ආහාර වූ තණකොළවලට විෂබීජ ඇතිවී ඉන් ගවයන්ට හානි ඇති විය.


 ඉන්පසු ශරීරයේ බිබිලි දැමීමක් සිදු විය. එය විෂබීජයක් මගින් සිදුවිය. ඉන්පසු පෙබරවාරි මාසයේදී පලගැටි වසංගතයක්ද ඇතිවී අස්වැන්න කා දැමුණි. ඉන්පසු මඩජලය බැසගොස් වියලී ගිය පසු එමගින් දූවිල්ලක් ඇතිවී පරිසරය වැසී ගියේ ය. හෙබ්‍රෙව්වරු නයිල් නිම්නය අසල නොසිටි බැවින් මෙම වසංගත වලින් හානිවූයේ නැත.


 අවසන් වසංගතය වන්නේ කුළුදුල් දරුවන් මියයාමයි. මෝසෙස් හෙබ්‍රෙව්වරුන්ට පැවසුවේ මෙම වසංගයෙන් ගැල්වීමට නිවසේ දොරේ බැටළුවකුගේ ලේ ආලේප කරන ලෙසය. වසංගත බොහොමයකට මුහුණ දුන් නිසා ආහාර විශ වීම සාමාන්‍යෙ දෙයකි. පවුල්වල වැඩිමහල් දරුවාට වැඩියෙන් ආහාර කොටසක් ලබා දීම එකල සාමාන්‍යයෙන් සිදු කෙරිණි. එමනිසා වැඩි විශ ප්‍රමාණයක් ශරීරගත වන්නේ වැඩිමහල් දරුවාටය.   කෙසේ නමුත් බයිබලයේ ඇති දේ වචනාර්තයෙන්ම ලබා නොගත යුතුයි.

මූලාශ්‍ර : කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලයේ ප්‍රකාශිත ග්‍රන්ථ ඇසුරෙනි.

6 comments: