Sunday, April 15, 2018

ටයිටැනික් මුහුදුබත් වී වසර 106 යි

1911 වසරේ මාර්තු මස 31 වන දින අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හිදී මිනිසුන් 100,000ක් පමණ එක්රැස් වූයේ එකල වන විට වඩාත් විශාලතම හා වඩාත් සුඛෝපභෝගී වූ නැව වූ නෞකාව වූ ටයිටැනික් නැවේ මංගල ගමන දැක බලා ගැනීමටයි. මෙම නෞකාව අඩි 882ක දිගකින් ද අඩි 175ක උසකින් හා ටොන් 46,000ක බරකින් ද යුක්ත විය. මෙම නෞකාව එකලට සාපේක්ෂව දියුණු තාක්ෂණයකට හිමිකම් කියූ අතර රැහැන් රහිත මෝස් කෝඩ් සන්නිවේදන තාක්ෂණයක් ද තිබුණි.

ටයිටැනික් හි මංගල ගමනෙහි වූ දේශනයේ දී කපිතාන්වරයා කියා සිටියේ මෙම නෞකාව 'කිසිදා ගිල්විය නොහැකියි' යන්නයි. එහෙත් අවාසනාවකට නිව් යෝර්ක් බලා පිටත් වූ මෙම මංගල ගමනේ දින හතරකට පසු එනම් අප්‍රේල් මස 14 වන දින විශාල අයිස් පරයක ගැටී ටයිටැනික් නැව මුහුදුබත් විය. නෞකාව මුහුදුබත් වී ශතවර්ෂයකට අධික වුවත් මිනිසුන් 1,500කගේ පමණ ජීවිත අරගත් මෙම ඛේදවාචකයට හේතු තවමත් සොයයි.

මුල සිටම නැවේ කපිතාන්වරයා වූ ඊ.ජේ. ස්මිත් හට චෝදනා එල්ල වූයේ ඔහු නෞකාව අධික වේගයෙන් (නොට් 22) අයිස්පර ඇති උතුරු අත්ලාන්තික් සාගරයේ ගමන් කෙරවූ බවයි. ටයිටැනික් නැව අයිස්පරයේ හැපෙන්නට පැයකට පමණ පෙර ඒ අසලින් ගමන් කල කැලිෆෝනියන් නෞකාව ටයිටැනික් වෙත දැනුම් දුන්නේ ජලය පමණට වඩා මිදී ඇති බැවින් තමන් ටික වේලාවකට ගමන් කිරීම නවත්වන බවයි. එහෙත් ටයිටැනික් හි රේඩියෝ පරිපාලකයා වූ ජැක් ෆිලිප්ස් මෙම අනතුරු ඇඟවීම එතරම් තැකිය යුත්තක් නොවන බව සිතා එය කපිතාන්වරයාට දැන්වූයේ නැත.

2010 වසරේදී මෙම ඛේදවාචකයට තවත් හේතුවක් අනාවරණය විය. ලුවිස් පැටන් (ටයිටැනික් හි සේවය කල ජේෂ්ඨයෙක් වූ චාල්ස් ලයිටොලර් ගේ මිණිබිරිය) පවසා සිටියේ අයිස් පරයේ හැපෙන්නට යන මොහොතේ නෞකාව හරවන්නට යැයි කී විට කාර්යමණ්ලයේ සාමාජිකයෙක් තැති ගැනීමකට ලක්ව නෞකාව හරවා ඇත්තේ අයිස් පරය දෙසටයි.

1985 දී ඇමරිකානු-ප්‍රංශ ගවේෂකයන් ටයිටැනික් නැවේ සුන්බුන් තිබෙනා තැන සොයා ගත් පසු ඔවුන්ට අනාවරණය වූයේ නෞකාව අයිස්පරයේ ගැටුණු මොහොතේ මුහුද මතදී නෞකාව පලමුව දෙකට කැඩී ඉන්පසු මුහුදුබත් වූ බවය. මෙයට එක් හේතුවක් ලෙස සැලකෙන්නේ ටයිටැනික් හි නිමැවුම්කරුවන් වාසිය තකා එකලට අනුරූප තත්වයෙන් බාල රිවට් ඇණ යොදාගත් බවයි. මෙම කරුණ ටයිටැනික් නැවෙන් ගෙනා මිලියන තුනකට අධික රිවට් ඇණ සාක්ෂි දරයි.

ටයිටැනික් ඛේදවාචකයට වසර සියය සපිරූ එනම් 2012 වසරේ සාකච්චා වූ මාතෘකාවක් වූයේ මෙම ඛේදවාචකයට අවට පරිසරයද වැදගත් තැනක් ඉසිලූ බවයි. එම වසරේ හිරු හා චන්ද්‍රයා පෘතුවියට ඉතා ආසන්නයෙන් පිහිටා තිබූ වසරක් නිසාවෙන් ගුරුත්වාකර්ෂණ බලය හේතුකොටගෙන බොහෝ අයිස්පර උතුරු අත්ලාන්තික් සාගරයේ මතුපිට පාවෙමින් තිබූ බව පලමුව විවාදයට ලක්විය.

දෙවෙනුවට සාකච්ඡා වූයේ එදින රැයේ තිබුනු වායුගෝලයේ සංයුතිය නිසාවෙන් අයිස්පරය පැහැදිලිව නොපෙනුණු බවයි. එමෙන්ම ඒ අසල තිබූ කැලිෆෝනියන් නෞකාවට ටයිටැනික් නැව පෙනී ඇත්තේ ළගින් පිහිටි කුඩා නැවක් ලෙසයි. කැලිෆෝනියන් නැව යැවූ රේඩියෝ සංඥා වලට පිලිතුරක් නොතිබූ බැවින්ද ඒ ටයිටැනික් නැව යැයි ඔවුන් නොසිතූ බවද සාකච්ඡා විය.

ටයිටැනික් නැවේ කාර්යමණ්ඩලයේ සිටි ඩේවිඩ් බ්ලෙයර් සතුව බයිනොකියුලර (දෙනෙති) අඩංගු කාමරයේ යතුර තිබුනි. එහෙත් ඔහු ගමනේ අතරමගදී නැවෙන් සමුගත් විට ඔහු වෙනුවට පත් වූ තැනැත්තාට එම යතුර බාර දීමට ඔහුට අමතක විය. එමනිසා දුර තිබෙන අයිස්පර පැහැදිලිව දැක බලා ගැනීමට කාර්යමණ්ඩලයට අපහසු විය. කෙසේ හෝ 2007 වසරේ දී මෙම යතුර යූරෝ 90,000ක මුදලකට වෙන්දේසි විය.

නැවේ මගීන්ට මෙන්ම කාර්යමණ්ඩලයට ඇති තරම් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුනා නම් මෙතරම් ජීවිත හානියක් වලක්වා ගන්නට හැකියාව තිබුනි. ටයිටැනික් නැව පිටත් වී ඇත්තේ ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් පමණක් ඇතිවයි. මෙය නීතියට අනුව ගෙන යා යුතු අවම ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණයයි. ටයිටැනික් නැව පරීක්ෂා කල ක්ලාක් නම් සිවිල් සේවකයා පවසා සිටියේ තවත් 50%ක් අමතර ජීවිතාරක්ෂක බෝට්ටු රැගෙන යන ලෙසයි. එහෙත් මෙම සුප්‍රකට නෞකාවේ ගමනට බාධා කිරීම තම රැකියාවට තර්ජනයක් බව සිතූ ඔහු නෞකාව දියත් කිරීමට අවසර දුන්නේ ය. මෙය ඔහුගේ අත් අකුරින් ලියැවුණු ලියුමක සදහන් වේ. තවත් වැදගත් කාරණයක් නම් ටයිටැනික් නෞකාව ගැටුනු පසු මිනිසුන් 1500කට ආසන්න ප්‍රමාණයක් මුහුදට බිලි දී ජීවිතාරක්ෂක බෝට්ටු 20 මිනිසුන් රැගෙන ගියේ හිස් ආසන 400කට ආසන්න ප්‍රමාණයක් සහිතවයි.
















8 comments:

  1. ස්තුතියි ලිපිය වෙනුවෙන් ....

    ReplyDelete
  2. ලඟදි ඉඳලයි කියවන්න පටන් ගත්තේ .ඔක්කොම ලිපි දිගටම කියවනවා . ස්තුතියි . අපුරු ලිපි පෙළක්

    ReplyDelete
  3. හොඳ විස්තරයක් මචං...
    ජය වේවා!!

    ReplyDelete
  4. සුප්පා සුපිරි !

    ReplyDelete
  5. ටයිටැනික් වගේ සිද්ධියකට නැවත මුල පුරන්නඅපේ ලෝකය ආයේ සූදානම් වෙනවා . ඒ හඳේ සවාරියක් යන්න කැමති අයට මේ දවස්චල ඉල්ලුම් කරන්න පුළුවන්. වියදම ඇමරිකානු ඩොලර් වලින් තමයි ගෙවන්නේ ඉතින් මේකත් ලේසි පාසු කටයුත්තක් නොවෙයි. සල්ලි තියන තැනටයි වාසි. එහෙත් සල්ලි ජිවිතේ ටරම් වටින් නෑ කියලා ටයිටැනික් අපට කිවුවා. ඒත් ................. අපේ අය කොතනද ?
    විචාරක දියණිය

    ReplyDelete