ස්කොට්ලන්තයේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමට හා ලාංකාවේ එස්.එස්.ඩී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කල ලෙස්ටර්ගේ පියාට අවශ්‍ය වූයේ ඔහුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරීමටයි. ලෙස්ටර් අධ්‍යාපනය ලද බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධානී පීටර් පිල්ලේ පියතුමාට අවශ්‍ය වූයේ ඔහුව රෝමානු කතෝලික පූජකයෙකු කිරීමටයි. එහෙත් ලෙස්ටර් ඊට එකඟ නොවීය. මුලදී කේසරී නම් ඉංග්‍රීසි පත්‍රයට ඇමරිකානු චිට්‍රපට ගැන ද එක්සත් ජාතික පක්ෂයේ UNP Journal නම් ඉංග්‍රීසි පත්‍රයට ද හේ ලිපි ලිවීය. එකල වයලීන වාදනය ඉගෙන ගන්නා කාලයේ විශාල වාද්‍ය වෘන්දයක් මෙහෙයවන්නෙක් වීමට ලෙස්ටර් සිහින මැව්වේ ය.
ඉංග්‍රීසීන් රට පාලනය කරමින් සිටි අවධියේ ලංකාවේ පලමු කතානාද චිත්‍රපටය ඉන්දියාවේ දී සෑදෙමින් තිබෙන විට ලෙස්ටර් එංගලන්තය බලා පිටත් වෙයි. එහිදී මොහු තම පලමු අධ්‍යක්ෂණ කටයුත්ත සිදු කරයි. මෙය නමින් සොලිලොකියු වන අතර ඒ සදහා බ්‍රිතාන්‍යයේ හොදම කෙටි චිත්‍රපටය සදහා වූ සම්මානය හිමිවුණි. ලෙස්ටර් මෙම චිත්‍රපටය හා සම්මානය රැගෙන ලංකාවට එන විට රේගුව විසින් මේවා රාජසන්තක කලේය. සම්මානයට සරිලන මුදලක් තැන්පත් කල පසු නැවත සම්මානය ලබාගත් බව පැවසේ. ඉන්පසු නැවත එංගලන්තයට ගිය ලෙස්ටර්ව ලංකාවට ගෙන්වා ගන්නේ ලෙස්ටර්ගේ සොලිලොකියු නරඹා තිබූ රැල්ෆ් කීන් ය. ඔහු ඒ වන විට රජයේ චිත්‍රපට ආයතනයේ සභාපති විය.
ලෙස්ටර් රැල්ෆ් කීන්ගේ සහයකයා ලෙස හිඳ 'හෙරිටේජ් ඔෆ් ලංකා' හා 'නෙළුන්ගම' වැනි චිත්‍රපට සම්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ පලමුවැනි ශ්‍රී ලාංකික චිත්‍රපටය ලෙස පිලිගැනෙන 'රේඛාව' සහ රැල්ෆ් කීන්ගේ වාර්තා චිත්‍රපට අතර ඇත්තේ සමීප සමානකම් ය. රැල්ෆ් කීන් තම සේවා කාලය අවසන් කර ලන්ඩන් වලට යයි. එහිදී ඔහු රේඛාව නරඹා ඒ පිලිබඳව ලෙස්ටර්ට ලියුමක මෙසේ ලියයි;
"මම ඔබේ රේඛාව බලනකොටයි මට හිතුනේ අපේ නෙළුන්ගම කොච්චර ආධුනික වැඩක් ද කියලා"
රේඛාවෙන් පසු ලෙස්ටර්ගේ දෙවෙනි චිත්‍රපට කටයුත්ත වූයේ සංදේශය (1960) චිත්‍රපටයයි. එකල ලක්ෂ එකහමාරකින් පමණ චිත්‍රපටයක් මනා ආකාරයෙන් නිමැවිය හැකි කාලයක සංදේශය සදහා ලක්ෂ පහක පමණ මුදලක් වැයවේ. මෙය එකල දැවැන්ත චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිතය කැරලි නායකයාගේ චරිතා සදහා ආනන්ද ජයරත්න රඟපෑ අතර ඔහුගේ සහයක ලෙස ගාමිණී ෆොන්සේකා රඟපෑහ.
සාමාන්‍ය මිනිසුන් භික්ෂූන් වහන්සේලාගේ චරිතය රඟපෑම හේතුකොටගෙන එකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් සංදේශය තහනම් කලේය. මේ පිලිබඳව ගාමිණී ෆොන්සේකා පූජ්‍ය මාපලගම විපුලසාර හිමිට සැල කර අතර උන්වහන්සේ ඇතුලු විසිපස් නමක් සංදේශය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නරඹා සියලු දෙනාගේ අත්සන් ඇතිව තහනම ඉවත් කරන ලෙස පවසා සංස්කෘතිය ඇමතිවරයා වෙත පෙත්සමක් යැවීය. එයින් සංදේශයේ තහනම අහෝසි විය.
සංදේශය අන්තර්ජාතික චිත්‍රපට උත්සව කිහිපයකදී ලංකාව නියෝජනය කලේය. එයින් එක් උත්සවයක් වූ චෙකොස්ලොවැකියාවේ කාලෝවිවේරි චිත්‍රපට උලෙලේ දී සංදේශයේ දර්ශන, අධ්‍යක්ෂකගෙන් හෝ නිශ්පාදකගෙන් අවසරය නොගෙන කප්පාදු කර චිත්‍රපටයේ අර්ථයට හානි වෙන අයුරින් ප්‍රදර්ශනය කෙරූ නිසා ලෙස්ටර් එම උලෙලෙන් ඉවත් විය.
ලෙස්ටර්ගේ 12 වෙනි චිත්‍රපටය වූයේ අහසින් පොළොවට චිත්‍රපටයයි. මෙය අයිලීන් සිරිවර්ධනගේ පලමු නවකතාව වන අතර එය චිත්‍රපටයකට සුදුසු යැයි ලෙස්ටර්ට යෝජනා කරන්නේ සරච්චන්ද්‍රයන් විසිනි. රුක්මණී දේවිය ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපෑ පලමු හා අවසන් අවස්ථාව මෙම චිත්‍රපටය වන අතර ඇයට මෙම චිත්‍රපටය නැරඹීමට ද නොහැකි විය. මෙම චිත්‍රපටය තුන්වන ලෝකයේ හොදම චිත්‍රපටය ලෙස ඊජිප්තුවේ කයිරෝ හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙලේ දී සම්මාන ලැබීය. මෙම සම්මානය පිලිගැනීමට එහි යන්නේ අහසින් පොලොවට චිත්‍රපටයෙහි සරත් දොස්තර මහතාගේ චරිතයට පණ පෙවූ ටෝනි රණසිංහයි.
ලෙස්ටර් විසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගන්නට වෑයම් කල විට වික්‍රමසිංහයන් පැවසුවේ ඒ සදහා රෝහිණී නවකතාව වඩා උචිත බවයි. එහෙත් ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයකට ගැනීම ගැන දැඩිව සිටි අතර රෝහිණී නවකතාව චිත්‍රපටයකට නැගුවේ නැත. මාර්ටින් වික්‍රමසිංහගේ තවත් නවකතාවන් කිහිපයක් (මඩොල් දූව, කලියුගය හා යුගාන්තය) ලෙස්ටර් අතින් චිත්‍රපට ගත කෙරුවත් රෝහිණී එසේ නොවුණි. ඉතා සාර්ථක වූ ගම්පෙරළිය චිත්‍රපටය 1965 වසරේ ජනවාරි මස ඉන්දියාවේ නවදිල්ලි හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකදී සම්මාන දෙකකට පාත්‍ර විය.
ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයක් වූ බැද්දේගම චිත්‍රපටයේ රඟපෑම සදහා එකල ප්‍රකට විද්‍යාඥයෙකු වූ ආතර් සී ක්ලාක් එක් විය. ඒ ඉංග්‍රීසියෙන් අසන බැද්දේගම නඩුවේ සුදු ඒජන්තවරයාගේ චරිතයට පණ පෙවීමටයි.
එක්සත් ජාතික පක්ෂයේ රජයේ මන්ත්‍රීවරයෙක් ව සිටි ටිරෝන් ප්‍රනාන්දු ට පුරන් අප්පු චරිතය අළලා චිත්‍රපටයක් කිරීමට උවමනාව තිබුණි. මීට හේතු වූයේ පුරන් අප්පු ටිරෝන්ගේ මව් පාර්ෂවයෙන් පැවත එන ලේ ඥාතියෙකු වීමයි. මුලදී මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ඇරයුම යන්නේ මණික් සන්ද්‍රාසාගරට ය. ඔහු එය ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ "ටිරෝන්ගේ අභිප්‍රාය පුරන් අප්පුව මොරටු වීරයෙක් කරන්නයි" යනුයි. අවසානයේ ලෙස්ටර් ටිරෝන්ගේ මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස්ටර් භාර ගනියි.
1937 වසරේදී දහ අට හැවිරිදි ලෙස්ටර් කවි පොතක් ලියා මුද්‍රණය කරවයි. මෙය නමින් 'The Cathedral and a Star' වේ. පිටු 18 කින් යුත් මෙම කෘතියේ ලෙස්ටර් විසින් ලියූ කවි 25ක් අඩංගු වේ. පසුව ඔහු විසින්ම මෙම කෘතිය ගිනි තබා විනාශ කරයි. වරක් ඒ මන්දැයි ඇසූ විට ලෙස්ටර් සිනහමුසු මුහුණින් පවසා සිටියේ "සේරම එළිවෙනවනේ" කියාය.
මෙම යෞවන කවියා හට තම කවි පොතෙහි පිටපතක් ජවහර්ලාල් නේරුතුමාට පිලිගන්වන්නට අවස්ථාව උදා විය. ඒ තම පියා මාර්ගයෙනි. නේරු ලංකාවට පැමිණ නැවතී සිටියේ බම්බලපිටියේ පිහිටි දමිළ ප්‍රභූ නිවසකය. මෙම ප්‍රභූවරයා ලෙස්ටර්ගේ පියාගේ මිතුරෙකි. නේරුද සාහිත්‍යයට ලැදි අයෙක් බව දන්නා නිසා පුතුගේ කවි පොත පිලිගැන්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. එය සථල විය.
ලෙස්ටර් විසින් වෘත්තාන්ත චිට්ග්‍රපට විස්සක් තනා ඇති අතර එක් ඉංග්‍රීසි භාෂිත වෘත්තාන්ත චිත්‍රපටයජ් තනා ඇත. එය 1976 දී එළිදැක්වුණු 'The God King' චිත්‍රපටයයි.
බොහෝ සිනමාවේදීන් එක් තේමාවක් හෝ තේමාවන් කිහිපයකට සීමා වී තම නිර්මාණකරණයේ යෙදුනත් ලෙස්ටර් තම හැකියා ප්‍රයෝජනයට ගනිමින් නොයෙක් තේමාවන් ඔස්සේ නිර්මාණකරණයෙහි යෙදුනේ ය.
ප්‍රංශ රජය විසින් මෙම මහා සිනමාවේදියාට ' Comander of Arts and Lester' සම්මානයෙන් ද කෑන්ස් චිත්‍රපට උළෙලේ දී 'ෆෙඩ්‍රිකෝ ප්ලිනි' ගෞරව සම්මානයෙන් ද ඉන්දීය රජය විසින් 'යාවජීව කර්තව්‍ය' සම්මානයෙන් ද 1966 දී මෙක්සිකෝවේ අකපුල්කෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී 'Golden head perlank' සම්මානයෙන් ද පිදුම් ලැබීය. පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාල වලින් ආචාර්ය උපාධි ලෙස්ටර් හිමි කරගෙන තිබෙන අතර ඔහු ලංකාවේදී ලැබූ සම්මාන අති විශාලයි. ඒ අතර ලාංකිකයෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වන 'ශ්‍රී ලංකාභිමාන' සම්මානය ද වීම විශේෂයි.
2007 දී 'අම්මාවරුනේ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කර මොහු සිනමා ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ගනියි. පසුගිය අප්‍රේල් 29 වන දින ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා කලාකරුවා ලොව සිටි වයස්ගතම සිනමාවේදියා වෙමින් 99 වසරක් ආයු වැද මෙලොවෙන් සමු ගනියි. ඔබට සුබ ගමන්!
වටිනා ලිපියක්.
ReplyDeleteඑතුමාට සුභ ගමන්.
ජයවේවා!!!
ඇත්තටම අගනා ලිපියක්..... ස්තූතියි බෙදාගත්තට
ReplyDeleteඔහුට සුභ ගමන්.
ReplyDeleteස්තුතියි ඔබට....
වටින තොරතුරු ටිකක්...
ReplyDeleteඔහුට නිවන් සුව පතමි...