Friday, April 24, 2020

විහාර මහා දේවියගේ දොළ දුක

මහාවංශයේ වීරයා ලෙස සැළකෙන දුටුගැමුණු රජතුමා විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳගෙන සිටි අවධියේ දී ඇයට අරුම පුදුම දොළ දුකක් හටගනියි. මෙය තුන් ආකාරයකි.

    1.    රියන් සියයක් දිග ඇති මී වද පටලයක් සමීපයෙහි හිස තබා සැතපී දොළොස් දහසක් සංඝයා වහන්සේලාට දී ඉතිරි මී තමන්ට කෑමට
    2.   අනුරාධපුරයේ රජ කරන එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සේදූ පැන් එම යෝධයාගේ හිස මත හිඳගෙන පානය කිරීමට
    3.  අනුරාධපුරයේ මල් කෙතෙන් මැළවී නොගිය මානෙල් මල් පළදින්නට හා තිසා වැවෙන් ගෙනා පැන් වලින් හිස සෝදා පැන් බොන්නට

මෙම අරුම පුදුම දොළ දුක ගැන මුලදී විහාර මහා දේවිය කාවන්තිස්ස රජු හට කීවේ නැත. මන්ද මෙය සන්සිඳවා ගත නොහැකි දොළ දුකක් යැයි ඇය සිතූ නිසා. නමුත් ඇයගේ යම් වෙනසක් දුටු නිසා දිනක් කාවන්තිස්ස රජු ඒ ගැන විමසයි. විහාර මහා දේවිය තමන්ගේ දොළ දුක රජතුමාට පවසයි.

රියන් සියයක මී වදයක් ගැන යමෙකු දැන්වුවහොත් බොහෝ වස්තු දෙන බව කියා අණ බෙර කරුවන් යවයි. මෙම සෙවීම සාර්ථක වූයේ මුනින් නවා තිබූ ඔරුවක මී වදයක් ඇති බව ගැමියෙක් විසින් රජතුමාට දැන්වීමෙන්. මෙමගින් විහාර මහා දේවියගේ පළමු දොළ දුක සන්සිදුවීමට රජතුමාට හැකි විය.

අනෙක් දොළ දුක් දෙක සංසිඳුවීමට කාවන්තිස්ස රජු කැඳවන්නේ වේළුසුමන යෝධයාවයි. එකල දඬුවම් ලැබූ අයෙක්ව සංඛේතවත් කිරීමට හිස අඩක් මුඩු කරයි. වේළුසුමන යෝධයාගේත් හිස අඩක් මුඩු කර අනුරාධපුරයේ එළාර රජු වෙත යවන්නේ කාවන්තිස්ස රජු ඔහුට දඬුවමක් ලබා දුන් බව පවසමින්. වේළුසුමන යෝධයා එළාර රජු සමීපයට ගොස් “දේවයන් වහන්ස, මම ඔබතුමා ඉතාම ධාර්මික, යුක්තුගරුක, සාධාරණ, එසේම ඉතා බලවත්ය යනුවෙන් ඔබ තුමන්ගේ ගුණ කාවන්තිස්ස රජු ඉදිරියේ කීවා. ඒ ඇසූ ඔහු මහත්සේ කිපී මිනිසුන් ලවා ගුටි බැට දෙවා, “තෝ තොගේ එළාර වෙත ම පළා යව” යි කියා මා රුහුණු රටින් එළවා දැමුවා” යැයි කීය.

මේ සියල්ල විශ්වාස කළ එළාර රජු ඔහු කුමන රැකියාවක යෙදී සිටියේ දැයි විමසා සිටියි. “දේවයන් වහන්ස මම අසුන් බලන්නට දනිමි. යුද්ධ කරන්නටත් දනිමි. ඔබවහන්සේට ඕනෑනම් කාවන්තිස්ස රජු බැඳ ගෙනැවිත් දෙන්නම්. ගඟෙන් එතෙර අද පටන් ඔබතුමාගේ යැයි සිතා ගනු මැනව” යැයි වේළුසුමන පැවසුවේ ය.

එළාර රජුත් මෙයින් රැවටී වේළුසුමන යෝධයාට අස්හලේ ප්‍රධානී තනතුර ලබාදෙයි. දිනක් ඔහු අස්හලෙ හොඳම අසු වන ‘රණ මද්දව’ නම් අසු තෝරාගෙන තිසාවැවෙන් පැන් කලයක් මල්වතු ඔය අසල සඟවයි. ඊට පසු දින “මම කාවන්තිස්ස රජුගේ වේළුසුමනයායි. හැකිනම් මා අල්වා ගන්න” යැයි කෑ ගසමින් රණ මද්දව නම් අසු පිටේ පැන් කළය හා මානෙල් මල් ගෙන වේගයෙන් ගොස් මිහින්තලය අසළ දී වේගය අඩු කළේ ය. එළාර හට මෙම පුවත දැනගන්නට ලැබී ‘මේල්දේව’ නම් තම ප්‍රධාන යෝධයාව කැඳවා වේළුසුමන යෝධයාව මරා අල්ලාගෙන එන්නැයි අණ කළේ ය. ඔහු තවත් යෝධයෙක් සමග වේළුසුමන යෝධයාව අල්ලාගන්නට පැමිණෙන විට වේළුසුමන සැඟවී සිට දෙදෙනාගේ ම හිස කඳින් වෙන් කරයි.

ඉන්පසු දෙදෙනාගේ කොණ්ඩා දෙක එකට ගැටගසා මහවැලි ගඟේ ‘වඩමන්’ නම් තොටුපළට ළඟාවිය. එහි සිටි එළාර රජුගේ සෙබළුන් වේළුසුමන සමඟ සටන් කරත් ඔවුන් සියල්ලට ම අත්වූයේ මරණය යි. වේළුසුමන කාවන්තිස්ස රජු වෙත පැමිණ විහාර මහා දේවියගේ දොළ දුක සදහා අවශ්‍ය සියල්ල ඔහු ඉදිරියේ තබයි. මෙයින් බොහෝ සතුටට පත් කාවන්තිස්ස රජු වේළුසුමන යෝධයාට බොහෝ වස්තු ලබා දෙයි.

ඉන්පසු රජතුමා රන් තැටියක් ගෙන්වා එයට කඩුව සේදූ ජලය දමා හිස් දෙක මත විහාර මහා දේවිය හිඳුවා තිසා වැවෙන් ගෙනා ජලයෙන් ඇයව නහවා රන් තැටියෙන් පැන් පොවා මානෙල් මල් හිසේ පැළඳවීය. මෙසේ විහාරමහා දේවියගේ අරුම පුදුම දොළ දුක සන්සිදුනි.

මූලාශ්‍ර:

  • මහාවංශය
  • රාජාවලිය - ඒ. වී. සුරවීර සංස්කරණය
  • සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරයා - ගණේගම සරණංකර නාහිමි
  • කෞතුකාගාර සඟරාව - ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුව 
විහාර මහා දේවිය 


4 comments:

  1. මිතිල මහත්තයෝ. මට නම් මේක මහා තිරිසන් ආශාවක් ගැන කියවෙන්නක් වගේ. හතුරෙකුගේ බෙල්ල කපාපු කඩුව හෝදපු වතුර බොන්න- ඒ හිස පයින් පාගාගෙන....

    ඒ අදහස් මම 'දුකේ දුක හිතෙන කතන්දරේ' නමින් බ්ලොගයේ පොස්ටුවකුත් ලිව්වා මතක ඇතිනේ.

    මේවා කවුරු කොහොම විග්‍රහ කලත් හැමෝම දැනගෙන හිටිය යුතු ඓතිහාසික කතා.

    ReplyDelete
    Replies
    1. මේක තිරිසන් ආශාවක් නේන්නන්...පිලිගත හැකි මූලාශ්‍ර කිහිපයකම මේ සිදුවීම තියෙන නිසයි ලියන්න හිතුනේ...

      Delete