Wednesday, April 22, 2020

සිංහල සාහිත්‍යයේ සුවිශේෂී සළකුණක් වූ බාරස කාව්‍ය ලියූ කරතොට හිමි

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලය ලංකා ඉතිහාසයේ මෙන්ම බුදු සසුනේ වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකියි. සරණංකර සංඝරාජ හිමිගේ මූලිකත්වයෙන් උපසම්පදාවේ සියමෙන් ගෙන්වූයේ මෙකල යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමග සරණංකර ස්වාමීන්ද්‍රයන් මෙන්ම කරතොට ශ්‍රී ධර්මාරාම හිමිත් එක්ව කටයුතු කර ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරතොට හිමිගේ සාහිත්‍ය ඥාණයට පැහැදුනු බව කියැවේ.

කරතොට ස්වාමින්වහන්සේ උපන්නේ 1734 වර්ෂයේ මාතර හි කරතොට ග්‍රාමයේ. පියා දාවිත් විජේසිංහ අප්පුහාමි වන අතර මව සමරකෝන් ලොකුහාමිනේ ය. කරතොර හිමි පැවිදි දිවියට ඇතුලු වන්නේ වේරගපිට විහාරයේ දී ය. එහි දී උන්වහන්සේගේ ගුරුවරයා වන්නේ මහකදුරුපොකුණේ ස්වර්ණජෝති තෙරුන් ය. ගුරුවරයා ජීවත්ව සිටි කාලයේ දී ම කරතොට හිමි මහනුවර මල්වත්තට ගොස් උපසම්පදා වෙයි. එහි දී වැඩිදුර අධ්‍යාපනය සදහා අත්තරගම රාජගුරු බණ්ඩාරගෙන් ගුරුහරුකම් ලබයි.

මෙහි දී අත්තරගම රාජගුරු බණ්ඩාර ගැනත් යමක් සඳහන් කළ යුතු යැයි හැඟේ. මොහු ශබ්දශාස්ත්‍ර උගත්තේ ගණනායක කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස සාමණේරයන් ගෙනි. [මෙකල උපසම්පදාව නොවූ නිසා සාමණේරයන් ලෙස හදුන්වා ඇත්තේ. සියමෙන් පැමිණි උපසම්පදාව රැගත් භික්ෂූන්ගෙන් දෙවනුව උපසම්පදා කර්මය ලැබුවේ උන්වහන්සේ යි. පළමුව උපසම්පදාව ලැබුවේ සියමෙන් පැමිණි සාමණේරයන් නමකි. එහෙයින් ලාංකිකයන් අතරින් මෙහි පලමුව උපසම්පදාව ලැබුවේ ගණනායක කොබ්බෑකඩුවේ හිමි ය.] අත්තරගම රාජගුරු බණ්ඩාර ධර්මවිනය ඉගෙන ගත්තේ සරණංකර හිමිගෙන් ය. ඉන්පසු උපාලි තෙරුන්ගෙන් පැවිදිකම් ලබයි. නමුත් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඉල්ලීමකට ගිහි වෙයි. ගිහි වුවද ගිහි පැවිදි දෙපක්ෂයට ම ඉගැන්වීමේ කටයුතු කරගෙන යයි. මේ හේතු නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජු මොහුට රාජගුරු ගෞරව නාමය ප්‍රධානය කරයි. කාරක පුෂ්ප මඤ්ජරිය, සුධීර මුඛ මණ්ඩනය, ශබ්ද මාලාව සහ වෘත්තාවතාරය මොහු විසින් රචිත ග්‍රන්ථයෝ ය.

සංඛපාල විහාරයේ දොර පලුවක ලියූ බාරස කාව්‍ය (elearning.lk)

රාජගුරු බණ්ඩාරයන්ගෙන් උගෙන කරතොට හිමි මහනුවර ගිහි පැවිදි දෙපිරිසටම ඉගැන්වීමේ කටයුතු වල නියැලුණි. ශ්‍රී පාද්ස්ථානයේ නායක පදවිය මාලිම්බඩ ධර්මධර හිමිගෙන් පසුව හිමිවන්නේ කරතොට හිමි වෙතට යි. කරතොට හිමි ට විශාල සතුරු පාර්ෂවයක් ඇති වන්නේ මේ නිසයි. මෙම සතුරන් අතර සරණංකර සංඝරාජ ස්වාමීන්ගේ පස්වැනි සිසුවා වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනායක හිමියන් ද වෙයි. එසේ වූයේ පහතරට වැසියෙක් වූ කරතොට හිමි ට ශ්‍රී පාද්ස්ථානයේ නායක ධූරය ලැබූ නිසා. එකල සමහර භික්ෂූන් අතර උඩරට පහතරට භේදය පැවතුණි. ඒ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය සහ පහතරට නායක පදවිය යන තනතුරු වලට ලෝභී වූ නිසාවෙන්. මල්වතු පාර්ෂවයේ ම ස්වාමීන්වහන්සේලා අතර මෙම බේදය පැවති බව නොරහසක්.

කරතොට හිමියන්ගේ ශිෂ්‍යන් අතර බටහිර ජාතිකයන් ද විය. ඉංග්‍රීසීන්ට 1815 දී උඩරට අල්ලා ගැනීමට පාර කැපූ ජෝන් ඩොයිලි කරතොට හිමියන්ගේ ශිෂ්‍යයෙකි. කරතොට හිමි සංඛපාල විහාරයේ සිටි කාලයේ ලන්දේසීන් ද උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමට පැමිණ තිබේ. මෙයින් ප්‍රයෝජන ගත් උන්වහන්සේගේ සතුරන් කරතොට හිමි ලන්දේසීන් සමග එක්ව ක්‍රියා කරනවා යැයි රාජාධි රාජසිංහ රජු හට ඒත්තු ගන්වා රජු සහ කරතොට හිමි අතර බේදයක් ඇති කළේ ය. මෙය තව දුරටත් වර්ධනය වූයේ කරතොට හිමි ගජමන් නෝනා සමග සම්බන්ධයක් ඇති බවට රජු හමුවේ තැබූ මුසාවක් හේතුවෙන්. රජු හට මේ සියල්ල සැල කලේ මල්වතු පාර්ෂවයෙන්.

මේ නිසා කෝපයට පත් රජු කරතොට හිමියන් ව මහවැලි ගඟෙන් එගොඩ කටුගස්තොට ගෙයක සිර කරයි. රාජාධි රාජසිංහ රජු සාහිත්‍යට ඉතා ලැදි අයෙක්. මේ නිසා කිසිවෙක්ට තේරුම් ගත නොහැකි ආකාරයට කවියක් සම්පාදනය කරන ලෙස සිරගතව සිටි අවධියේ දී කරතොට හිමිගේ ගුරුවරයෙක් වූ අත්තරගම රාජගුරු බණ්ඩාර කියා සිටියි. කරතොට හිමි ත් ගුරුතුමා කියූ පරිදි කාව්‍ය නිර්මාණය කර රජු වෙත යවයි. රජතුමා ට මෙය තේරුම් ගැනීමට නොහැකි වූ විට අනෙක් නායක ස්වාමින්වහන්සේලා ට මෙන්ම ගිහි පැවිදි දෙපක්ෂයට ම මෙම කාව්‍ය පෙන්වා එහි අර්ථය විමසයි. නමුත් ඒ කිසිවෙක් එහි අර්ථය තේරුම් කර දීමට සමත් වූයේ නැත. මේ නිසා මෙම කාව්‍යයේ නිර්මාපකයා වූ කරතොට හිමිගෙන් ම එහි අර්ථය විමසීමට රජතුමා තීරණය කරයි.


මෙම අතිශය දුර්ලභ කාව්‍යයට ‘බාරස කාව්‍ය’ යැයි කියයි. බාරස යනු 12ට සමාන පදයකි. මෙහි විශාල සමචතුරස්‍රයක් තුල කුඩා සමචතුරස්‍ර තිබේ. සෑම කුඩා කොටුවක් තුලම එක් අකුරක් සටහන් වේ. කවි 12න් පලමු කවි 3 කියවීමට වමේ සිට දකුණට සටහන කියවිය යුතුයි. ඉන් පසු එයම දකුණේ සිට වමට කියවූ විට තවත් කවි 3ක් ලැබේ. මෙම සටහනේ උඩ සිට පහලට කියවූ විට කවි 3ක් ලැබෙන අතර එයම පහල සිට උඩට කියවූ විට තවත් කවි 3ක් ලැබේ. මෙම කවි වලින් කියැවෙන්නේ බුදුන්වහන්සේගේ ගුණයන් හා බුද්ධ දේශනාවන් සම්බන්ධව යි.


 සි සි සි සි දයල නිනි නිනි නිරජ ලල ල ල

සි රි ව ල දියන වසවමු සිනද කුස ක ල
සි දි බ ව ගිමණ රඟනඟමිණ පළුන ස ල
සි රි ගන නිරත නමදිමි නවණ නුවත ල

න ව රද නවස සිරි පතළ මණි මන ර ක
න ර මණ නතන වසුලව නමසු පස ස ක
න න සඳ දමන නල’සනි රුසිරු නද පි ක
න ව නුසනද පුරණ රසු නමදු විනය ක

ග ත යදි සතොස දඟනුන දවනි දම න ද
ග රු පිසු වදු වනර සන නව ගනත’ම ද
ගණ නද නකළණ පියසි හරන නප’ප ද
ග ග ගග නරති සස සස නජර දද ද ද

ලල’ලල ව්දසි කක ක කන’ ගන ද දද ද
ලක සත දුරම රස පිය බිදම් නම ප ද
ල ස නව සඳසෙ නසදන සවන, මත ප ද
ලකුළුණු නිදිසමපන විසිකරණ දන න ද

නිමුගමි දමන තව් නිසුදරිසි තණ යි ස
නිවන දිය දද පලසර දන තිනු සය ස
නිසගම ‘රහසිරි’සුල නවදු වගර’ පි ස
නිවරණ නිවද සිවනරනව සද න න ස

සිලවන ගණ නඳන දසතප නිදි සුද ග
සිවබග නපුන රමසනු වදුව ය’ පිණ ග
සිරි දිරි සරස වරන’වනද වතරුණ ග
සිසි සිසි නදන නන’ නන දුමිඳ’ ගග ග ග

දද’ ද’ද රජන සස සස කිරන ගග’ග ග
දප ‘පන නරහ සියපිණ ලකණදන න ග
දමතන ගවන නසරණ වඳුව සුපිරු ග
දනමද නිවද තනුගද සතොස දියත ග

කයන විදුමන සුරනර පුදන සනුව න
කපිදන රුසිරි නිසලන නම ද දසන න
කස සපසුමන වලසුවනතන න මර න
කරනම නිමල තපරිසි සවන දරව න

ලතවනු නවන මිදිමන තරණි නගරි සි
ලසනලු පණමි ගණ ගරණ මගිව බදි සි
ලකසකු දන සිමුව සවන යදි ලව රි සි
ලල ලල ජරණි නිනි නි නි ලයද සිසිසි සි

ගග ගග දමිදු නන නන නදන සිසිසි සි
ගන රුතවදන වනරව සර සරිදි රි සි
ගණපිය වදුව නුසමර නපුන ගබ ව සි
ගද සුදිනිපත සදනදන නගනවල සි

සණන ද සවන රණවසි දමනි නරව නි
සපිරග වදුව නලසුරිසි හරමග ස නි
සයස නුතිනද රසලපදද යදිනව නි
සසි නත සිරිද සුනි වතනමද මිගමු නි

දන නද නකස විනප මසදිනි නුලූ කු ල
දපත මනවස නදසන සෙද සවන ස ල
දපම නමද බියපි සරමරදු තස ක ල
දද දද නගණ කකක ක සිඳවි ලල ල ල

මෙම කාව්‍ය තේරුම් කර දීමත් සමග කරතොට හිමිගේ ඥාණය සම්බන්ධයෙන් රජු ඉතා පැහැදීමකට පත්වෙයි. උන්වහන්සේට තිබූ සියලු දඬුවම් ඉවත් කළ අතර සංඛපාල විහාරය ඇතුලු ගම් බිම් විශාල ප්‍රමාණයක් පූජා කරයි. එමෙන්ම පහතරට සංඝනායක ධූරයත් කරතොට හිමියන් ට ලබා දෙයි. සංඛපාල විහාරය පූජා කිරීම නිසා ඒ ගැන කවියක් කීමට රජතුමා කරතොට හිමියන්ට ආරාධනා කරයි. උන්වහන්සේ එසැනින් කවි දෙකක් නිර්මාණය කරයි.

සක වසිනෙක් දහස් සත්සිය දෙ සිව්වන
ලක සිරි රජදිරජ සිහ නිරිඳුට සවන
තික රජ ගුරු ගෝල දම්රම් යති රුවන
සක කළෙ මෙ බර කව් ගැබ නම් අමූතු වන

මෙනිරි ඳු මෙසක නරඹා සිය සකි නිඳුරා
නෙවිරි දු කිවිඳු කැළ ගෙල බන් පාස යූරා
පිරිසි දු මෙනෙන් පල්ලේබැද්ද ගම් වරා
මෙයති ඳුහට පිදී මිහි පවතිනා තුරා

බාරස කාව්‍ය සහ උක්ත කවි දෙක අදටත් සංඛපාල විහාරයේ දොර පලුවක ලියා තිබේ. සංඛපාල විහාරය පූජා කිරීමත් සමග රජතුමා පහත කාව්‍ය කියූ බවට ප්‍රසිද්ධ ය.

කරතොට දහම්රම් නායක යතිඳු හට

නරදෙට මෙමා බුහුමන් කරපු හැටියෙට

වරිගෙට ගෝල නමකට ඔහුගෙ යමෙකුට

වරදට යමක් නොකරනු මින් ඉදිරියට

 

කරතොට හිමියන්ට මෙන්ම උන්වහන්සේගන් පැවත එන ගිහි පැවිදි ගෝල පිරිසෙන් කිසිවෙක් වරදක් කලහොත් දඬුවම් ලබා නොදෙන ලෙස රජතුමා උක්ත කවියෙන් පවසයි. උඩරට පහතරට බේදය පැවතුනු නිසා ශ්‍රී පාදස්ථානයේ නායක පදවි ධූරය කරතොට හිමියන්ට අහිමි වේ. දිගින් දිගටම කරතොට හිමියන්ට වූ සතුරුකම් පැවතුනි. මේ නිසා නැවතත් උන්වහන්සේ ලන්දේසීන්ට පක්ෂව ක්‍රියා කරනවා යැයි චෝදනාවක් එල්ල වේ. මේ නිසා නැවත කරතොට හිමියන්ව අල්ලාගෙන එන ලෙස රජු නියෝග කරයි. රජතුමා මෙම නියෝගය කරන්නේ දොඩම්වල නිලමේට යි. මොහු කරතොට හිමිගේ හිතවතෙක් වූ නිසා ඔහු කල් ඇතිව මේ බව කරතොට හිමියන්ට පවසයි. ඉන්පසු මෙහිමියන් ලන්දේසීන් වෙත ආරක්ෂාව පතා යයි. ලන්දේසීන් ඔවුන් යටත පැවති පහතරට ප්‍රදේශවල නායක පදවිය පිරිනැමීමට කටයුතු කරයි. ලන්දේසි හමුදාව උන්වහන්සේට ආරක්ෂාව සැපයූ අතර සිව්පසය වෙනුවෙන් මාස්පතා රික්ස් ඩොලර් 25ක ගෙවීමක් ද සිදු කර ඇත.

 

ඉංග්‍රීසීන් යටතේ දීත් කරතොට හිමියන්ට පහතරට නායක පදවිය හිමි විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ශ්‍රී පාදස්ථානයේ හා සබරගමු දිසා සංඝනායක ධූරය කරතොට හිමියන්ට පිරිනමයි. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් මාතර දිසාපතිට යැවූ ලිපියක “මාතර නගරයේ වැඩ සිටින උගතෙකු වූ කරතොට නායක හිමියන් විශේෂයෙන් ආශ්‍රය කළ යුතුය. උන්වහන්සේගේ සිත රිදෙන යමක් නොකළ යුතුවාක් මෙන්ම සිත දිනාගෙන රාජකාරි කළ යුතුය සඳහන් වේ. 

සංඛපාල විහාරය 


 කරතොට හිමියන් අවසන් කාලයේ දී තම ගම්පළාතේ විසූ බව සදහන් වන අතර උන්වහන්සේගේ භෂ්මාවශේෂ වේරගම්පිට රජමහා විහාරයේ ස්ථූපයක තැන්පත් කර ඇත. උන්වහන්සේ අපවත් වූ දිනය පිලිබඳ පැහැදිලි සාක්ෂියක් නොමැති අතර එය 1822, 1826, 1827 හා 1832 ලෙස විවිධ මූලාශ්‍ර වල සදහන් වේ.

 

කරතොට හිමියන්ගේ ගිහි පැවිදි ශිෂ්‍ය සමාජය අදටත් පවතියි. මෙම දෙපිරිස අතර කරතොට හිමියන් අපවත් වී කලක් ගතවූ විට මත ගැටුමක් හටගනියි. රාජාධි රාජසිංහ රජු කරතොට හිමියන්ට පල්ලෙබැද්ද නින්දගම් පූජා කරයි. මෙය අක්කර 5000කට ආසන්න ඉඩම් ප්‍රමාණයකි. මෙම ඉඩම් නිසා ගිහි හා පැවිදි පිරිස බෙදී නඩු කියයි. ගිහි පිරිස පැවසුවේ රජතුමා විසින් මෙම ඉඩම් පෞද්ගලික ත්‍යාගයක් ලෙස කරතොට හිමියන් හට දුන් නිසා මෙම ඉඩම් ගිහියන් සතු විය යුතු බවයි. පැවිදි පාර්ෂවය පැවසුවේ රජු මෙම ඉඩම් සන්නසකින් පූජා කල බවත් 1818 ජනවාරි 03 දින කරතොට හිමියන් මෙම ඉඩම් ලියාපදිංචි ඔප්පුවකින් ධම්මජෝති හිමි ඇතුලු ගෝල පරම්පරාවට ප්‍රධානය කල නිසා මෙම ඉඩම් පැවිදි පක්ෂය සතු විය යුතු බවයි. අවසානයේ දි මුළු නින්දගම ම සංඛපාල විහාරයට සහ පැවිදි පරපුරට අයත් බවට නඩු තීන්දුව ලබා දෙයි. කෙසේ හෝ වර්තමාන බුදු සසුන අමරණීය කිරීමට කරතොට හිමිගෙන් වූයේ සුවිශේෂී සේවයක්.

 

මූලාශ්‍ර:

  • මාතර මානව වංශය - පී.ඩී.එස්. වීරසූරිය  
  • සංඝරාජ සාධුචරියාව
  • සරණංකර සංඝරාජ සමය - කොටගම වාචිස්සර හිමි
  • ලංකාදීම, සිළුමිණ, දිවයින පුවත්පත්


7 comments:

  1. අගේ ඇති ලිපියක්.
    මේ සිදුවීම් කියවන විට හිතෙන්නේ මිනිසාට උරුමවී ඇති සකලවිධ ක්ලේශයන් ගැනයි. තණ්හාව ගැන වැඩියෙන්. ඒ එක්කම ආත්මාර්ථකාමිත්වය. හැමදාටම මේවා පොදුයි නේද? ඒ නිසාම කොතරම් අයුතු, අකටයුතු දේවල් සිදුවෙනවාද? ඉතිහාසය දැනගැනීමේ ප්‍රයෝජනය එයින් මිනිසත් බව ඉගෙන ගැනීමට හැකිවීම නොවේද?

    ReplyDelete
    Replies
    1. ඉතිහාස විෂයෙන් අපිට වර්තමානය තේරුම්ගන්න පුලුවන්... තේරුම්ගෙන අනාගතය හදාගන්න පුලුවන්...

      Delete
  2. ඉතා හොද ලිපියක් ස්තුතියි හැකිනම් එම කවිවල තේරුම විස්තර කරන ලිපියකුත් ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඒ කවි වල තේරුම් වෙනම ම ලියන්නම්...

      Delete
  3. හුගක් හොඳට ලියල තියනව

    ReplyDelete
  4. අදටත් ඔය මල්වත්ත අස්ගිරි මහ නායකතනතුරට යම් යම් පුශ්ණ තියෙනව

    ReplyDelete