Friday, May 22, 2020

පුස්කොළ සකස් කිරීම හා ලිවීම


ශතවර්ෂ විසි දෙකකට අධික කාලයක් තිස්සේ ලාංකිකයන් ලිවීම සඳහා භාවිතා කල කොළ වර්ගය පුස්කොළ ලෙසින් අපි හදුන්වමු. මෙය පිළියෙළ කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. මේ සදහා යොදාගනු ලබන්නේ තල ගොබයකි. තල් කොළ ලෙසින් නොකියා පුස්කොළ යනුවෙන් පවසන්නේ ‘කිසිවක් නොලියන ලද හිස් කොළය’ යන අර්ථයෙනි. සාමාන්‍යයෙන් පත්‍ර අසූවක පමණ තල ගොබයක් අඩි දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වේ. මෙය පියවර ලෙසින් පහත දැක්වේ.

  1. ඉරටුව ඉවත් කර පත්‍රය රෝලක් ලෙසින් ඔතයි. මෙය හදුන්වන්නේ ‘වට්ටු’ යන නමින්.
  2. දිය හැලියකට වට්ටු දමා මද ගින්නේ තම්බා ගනියි.
  3. පසුව ඒවා ඉවතට ගෙන දින තුනක් පමන එළිමහනේ තබයි.
  4. සිනිදු මතුපිටක් ඇති ලීයක් ගෙන තල කොළය මැද මට්ටම් කරයි.
  5. ඉන්පසු නියමිත දිග ප්‍රමාණ අනුව තල පත කපා ගනියි. (සාමාන්‍යයෙන් දිග අඟල් 6සිට 32 දක්වාත් පළල අඟල් 2ක් පමණ)
  6. පොත් ලණුව යැවීමට එක් එක් පත් ඉරුවේ රත් කළ යකඩ කූරකින් සිදුරු දෙකක් විදියි.
  7. පත් ඉරු එකට තබා සිර කර සෑම පත් ඉරුවක්ම සමාන වන පරිදි පැති දාර රත් යවටෙකින් පිළිස්සීම. (මෙමගින් පුස් බැඳීමත් කාවන් කෑමත් වැළකෙන බව කියයි)
  8. එක් වෙළුමකට අයත් පත් ඉරු ‘කම්බ’ නම් වැසුම් දෙකක් අතර හිර කරයි. ලී කම්බ බොහෝ විට කැටයම් වලින් අලංකාර වෙයි.

පුස්කොළ පොත් වල ලිවීමේ කටයුතු උල්කටුව හා පන්හිඳ යන කූරු භාවිතා කරයි. උල්කටුව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ආධුනිකයන් විසින්. මෙය අඟල් දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වන අතර ලේඛකයාගේ පහසුව තකා පන්හිඳේ දිග වෙනස් වේ. පන්හිඳ කිහිපයක් ඇති ලේඛකයන් ඒවා කොපුවක බහා තබන අතර පත් ඉරු කපා ගැනීම සඳහා පිහියකුත් එම කොපුවෙහිම තබා ගනියි. පන්හිඳක ප්‍රධාන කොටස් පහකි.

  1. ඡත්‍රය
  2. පත්‍රය හෙවත් තලය
  3. නළය හෙවත් කඳ
  4. ගණ්ඩ හෙවත් පොහොට්ටුව
  5. ලේඛනිය හෙවත් ලියන තුඩ

පුස්කොළ පොතක ලිවීමේ කලාව පහසු කාර්යයක් නොවේ. එය ඉතා ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු විෂයකි. සාමාන්‍යයෙන් අප පෑනක් අල්ලාගන්නා ආකාරයෙන් දකුණතින් පන්හිඳ අල්ලා ගන්නා අතර වම් අතේ මහපට ඇගිල්ල මත පන්හිඳේ ලේඛනිය තබා ගත යුතුයි. ලියන විට පත් ඉරුවේ සිදුර වටා ද දෙපසින් අඟල් එකක් එකහමාරක් පමණ තබා ලේඛනයෙහි යෙදීම සිදු කරයි.

පත් ඉරුවේ දෙපැත්තෙහිම ලේඛන කටයුතු සිදු කළත් පිටු ලකුණු කරන්නේ ඉදිරිපස පත් ඉරුවේ පමණයි. එසේ පිටු ලකුණු කිරීමට භාවිතා වන්නේ අප දැන් භාවිතා කරන ඉලක්කම් නොවේ. සිංහල හෝඩියේ ව්‍යඤ්ජන අකුරුයි. පලමු පත් ඉරුවේ ‘ස්වස්ති’ යනුවෙන් මංගල වචනය ලියා පසුව ‘ක’ අකුරෙන් (පලමු ව්‍යඤ්ජන අක්ෂරය) පටන් ගෙන පිළිවෙලින් ‘කි’ ‘කී’ ආදී වශයෙන් ලියැවේ. සංස්කෘත හෝඩියේ ව්‍යඤ්ජන තිස් හතරෙන් එක් ව්‍යඤ්ජනයක් ආකාර 16 බැගින් ගත් විට අකුරු 544ක් ලැබේ. මේ නිසා පත් ඉරු 544කින් පසු නැවත ‘ක’ අකුරෙන් ආරම්භ කල යුතුයි. මෙහිදී ‘ක’ අකුරට පසු ‘ද්ව’ ලෙස සටහන් කළ යුතුයි. එවිට පත් ඉරුව ලියැවෙන්නේ ‘ක ද්වි’ ලෙසයි. මෙසේ දෙවන කාණ්ඩයත් අවසන් වූ පසු තෙවන කාණ්ඩය ‘කත්‍රි’ ලෙසින් ඇරඹෙයි.

පුස්කොළ පොතක ලියූ දෑ කියවීමට නම් ‘කළුමැදීම’ සිදුකල යුතුයි. ගැඩුඹ ලී දවා ලබාගත් අඟුරු සියුම්ව කුඩුකර දුම්මල තෙලෙන් අනා පිළියෙළ කරගත් මිශ්‍රණයෙන් පත් ඉරු තවරයි. මෙසේ තැවරීමෙන් පසු දහයියාවලින් හෝ පිරිසිදු සුදු රෙදි කැබැල්ලකින් පිස දමයි. මෙම දුම්මල නිසා පුස්කොළය හොද තත්ත්වයෙන් තබාගත හැකි අතර කාවුන්ගෙන් වන උවදුරු ද වැළකේ.

පුස්කොළ පොතක රූප සටහන් අඳින්නේ කලාතුරකින්. කොළඹ පුස්තකාලයේ තිබෙන වෙස්සන්තර ජාතකය ඇතුලත් පුස්කොළ පොතේ කවි 837ක් තිබේ.මෙහි සෑම පත් ඉරුවකම පාහේ කවියට අදාළ රූපයක් ඇඳ තිබේ. එසේ ඇඳි චිත්‍ර 318ක් මෙම පුස්කොළ පොතෙහි දක්නට ලැබේ. දැනට ඇති පුස්කොළපොත් අතරින් පැරණිතම පුස්කොළ පොත වන්නේ චුල්ලවග්ගපාලියේ අත්පිටපතයි. මෙය 13 වන සියවසට අයත් වූවක්.

ලංකා ඉතිහාසය තුල තල්පත් භාවිතා වූ අවස්ථාවක් ලෙස උත්තිය කුමරු තම සහෝදර කැළණිතිස්ස රජුගේ අගබිසවට පෙම් හසුන තල්පතක ලියා යැවීම සදහන් කළ හැකියි. දකුණු ආසියාතික රටවල්වල ප්‍රචලිත වූ තල්පත් ලේඛනය මෙන්ම ඊජිප්තු වැනි ශිෂ්ටාචාර වල ප්‍රචලිත වූ පැපිරස් පත්‍ර ලේඛනයක් ද හදුනාගත හැකියි. ඒ ඒ සංස්කෘතීන් තුල මෙම අංග කාලයත් සමග වර්ධනය වූ ආකාරය ඉතිහාසය කියවීමේ දී දැකගත හැකියි.

මූලාශ්‍ර:

  • මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි
  • ලංකාවේ අධ්‍යාපනය (සියවස් ප්‍රකාශනය) I කාණ්ඩය -අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • පැරණි ලංකාවේ ග්‍රන්ථ නිශ්පාදනය - සී.එම්. ඔස්ටින් ද සිල්වා


6 comments:

  1. කඩදාසි කොම්පියුටර් නොතිබු යුගයක දැනුම ඉදිරියට ගෙනියන්න මිනිසුන් කොපමණ මහන්සිවුවුනාද. එත් දැන් අපමණ පහසුකම් තිබිලාත් ලියන එකත් කියවන්නේ නැති ලෝකයක් බිහිවෙලා

    ReplyDelete
    Replies
    1. මේකනෙ අසංග අයියේ, මිනිස්සුන්ට දෙයක වටිනාකම තේරෙන්නේ නැති වෙලාවට...

      Delete
  2. මිතිල මහත්තයෝ, කළු මැදීමෙන් 'කාවයියන්ගෙන් ආරක්ෂා වෙනවය' කියන තැන 'කාවුන්ගෙන්' විය යුතුද? කාවයියා කියන්නේ මිරිදිය මාළුවෙක්නේ.

    ReplyDelete
    Replies
    1. දෙයියනේ ඔව්මයි මම කාවයියො කියල ලියල තියෙන්නේ...මම ඒක හැදුවා... ලියනකොට ඔටෝ කරෙක්ට් වෙන්න ඇති... මේක ෆෝන් එකෙන්නේ ලිව්වේ...

      Delete
  3. https://en.wikipedia.org/wiki/Corypha_umbraculifera මේ .ශාකය තල , තල මල වරුණ කියල කවි තියෙන්නේ. ඒ මල පිපුණම ගහ මැරෙනවා . ඉතින් මිනිස්සු මල පිපීම අසුභ දෙයක් ලෙස හිතල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ කවි ඉස්කෝලෙ කාලෙ ඉගෙනගත්තා... ස්තූතියි...

      Delete