Monday, May 31, 2021

සොක්‍රටීස් හා ප්‍රජාතන්ත්‍රවාදය

 

දේශපාලනයේ ජයග්‍රහණයක් ලෙස සලකන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ අපට ලැබුනේ පැරණි ග්‍රීසියේ ඇතැන්ස් පුර රාජ්‍ය තුලිනුයි. වයස 18ට වැඩි සෑම පුද්ගලයෙක්ටම ඡන්දය භාවිතයට අවසර ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. පැරණි ග්‍රීසිය තුලම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතයන් ඉදිරිපත් කල දාර්ශනිකයන් සිටියි. ග්‍රීසියේ ප්‍රකට දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගේ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් හරිම කැමතියි සංවාදයට. සොක්‍රටීස් තමන්ගේ අදහස් තමන්ම නැවත ප්‍රශ්න කරනවා. මම පෞද්ගලිකව සොක්‍රටීස්ගේ කැමතිම ලක්ෂණයක් ඒක. තමන්ගේම අදහස් ස්වයං විචාරයකට ලක් කිරීම.

සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල තියෙන්නේ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස් රචනා වගේ ලියන්නේ නැතිව සංවාද ආකාරයට ලියවිලා තියෙන නිසා ඒ පොත් කියවීමත් කුතුහලක්. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරපු සංවාදයක් තියෙනවා.

සොක්‍රටීස්: නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?

ඇඩිමැන්ට්ස්: අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.

සොක්‍රටීස්: එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?

සොක්‍රටීස් මෙතනදී අරගන්නේ සරල නමුත් ප්‍රබල තර්කයක්. ඡන්දයක් භාවිතා කිරීම කුඩා කල පටන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු දෙයක් මිස අහඹුවක් නොවිය යුතුයි. මෙතනදි ඡන්දයක් භාවිතා කිරීම කියලා අදහස් කලේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන කාරණාවයි. තෝරාගන්නේ මොනවගේ පුද්ගලයෙක් ද කියන දැනුම හරිහැටි නොමැති පුද්ගලයන් ඡන්දය භාවිතා කිරීම නාවික දැනුමක් නැති පුද්ගලයෙක්ට කුණාටුවක දී නැවක් බාරදුන්නා හා සමානයි.

මේ කියන කාරණය කෙතරම් බරපතල කාරණයක් ද කියලා සොක්‍රටීස්ට ඔහුගේ ජීවිතයේ අවසානයේ දී හොදාකාරව ම තේරුම් ගත්තා. ක්‍රි.පූ. 399 දී ‘ඇතැන්ස් හි තරුණයන්ගේ මනස දූෂණය කිරීම’ යන චෝදනාව යටතේ සොක්‍රටීස්ට නඩුවක් ගොනු වෙනවා. අවසානයේ දී ඇතැන්ස් වැසියන් 500කගෙන් යුතු ජූරියක ඡන්දයක් පවත්වනවා සොක්‍රටීස් චෝදනාවලට වැරදිකරු ද? නිවැරදිකරු ද? කියලා බලන්න. අවාසනාවකට 58% ක් තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ සොක්‍රටීස් වැරදිකරු බව කීමට. ඒ අනුව සොක්‍රටීස් මියයන්නේ හෙම්ලොක් නැමැති වස පානය කිරීමෙන්.

ජනතාව තුලින් සුළුතරයකට පමණක් ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියන මතයේ සොක්‍රස්ටීස් හිටියේ නැහැ. තාර්කිකව හා ගැඹුරුව හිතන පුද්ගලයන්ට ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියලයි ඔහු කීවේ. ඡන්දය උපන් අයිතියක් ලෙස තිබෙන කාලයක තාර්කික හා ගැඹුරුව හිතන පිරිසක් බිහි කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය තුලින් පමණයි. නමුත් දැන් තියෙන තරඟකාරී අධ්‍යාපනය තුල තාර්කික පිරිසක් බිහිවීම හීනයක් විතරයි.

ලංකාවේ ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්නේ වයස 16 දී. බහුතරයක් සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නවත්තනවා. ඒ වෙනකොට ඒ ළමයට රට යන්නේ කොයි අතටද? රටක් පාලනය විය යුත්තේ කොහොමද? කියලා පැහැදිලි අදහසක් තියෙනවද? මේ යල්පැනපු අධ්‍යාපන ක්‍රමය හැඩගැස්වෙනකන් රටකට යහපත් කාලයක් උදාවෙයි කියලා හිතන්න එපා. ආගමික හෝ සමාජීය හෝ ඕනෑම අංශයක උන්නතියට බලපාන්නේ මේ අධ්‍යාපනය.

සොක්‍රටීස් තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා ඡන්දයක් උදෙසා රසකැවිලි වෙළෙන්දෙක් හා වෛද්‍යවරයෙක් අතර සංවාදයක් ගැන හිතන්න කියලා.

රසකැවිලි වෙළෙන්දා: බලන්න, මාත් සමග තරඟකරන්න ඉන්න පුද්ගලයා ඔබට නිතර වේදනාවන් දෙනවා. නිතර බීමට අකමැති තිත්ත පානයන් දෙනවා. අරක කන්න එපා මේක කන්න එපා කියලා කියනවා. ඔහු නිතර ඔබට සංග්‍රහයන් පවත්වන්නෙත් නැහැ.

වෛද්‍යවරයා: මම ඔබට වේදනාවන් ලබා දෙනවා. බීමට තිත්ත පානයන් ලබා දෙනවා. කෑමට තහංචි දමනවා. නමුත් ඒ ඔබගේම හොදට.

ඔබ හිතනවාද මේ දෙදෙනා අතරින් මිනිසුන් වෛද්‍යවරයාව තෝරාගනියි කියලා. කොහෙත්ම නැහැ. මොකද ඔහුගේ අරමුණ තේරුම් ගන්න තරම් තාර්කික පුද්ගලයන් මේ සමාජයේ නැහැ.

සියලු දෙයින් සර්ව සම්පූර්ණ යුටෝපියානු සමාජයක් බිහි කිරීම කල නොහැකි දෙයක්. නමුත් අඩුම තරමින් විනාශය අවම කිරීම හෝ කල හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ව සියලු දෙනාට ඡන්දය භාවිතයට අවසරය දුන්නත් ඒත් සමගම එන අධ්‍යාපනය අමතක වුනා. ඒ නිසා අපි වැඩිපුර පත්කරගන්නේ රසකැවිලි වෙළෙන්දෝ.

සොක්‍රටීස්ගේ මරණය - Jacqes-Louis David (1787)


7 comments:

  1. මෙම ලිපිය මගින් අතිගරු ජනාධිපතිතුමාව අපගේ රට පාලනයට සුදුසු නැත බවක් හැඟවේ. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල විරෝධය මෙම ලිපියට දක්වා සිටිමු.

    ප්‍රියන්ත හේවගේ.

    ReplyDelete
  2. එක හුස්මට කියෙව්වා. රසවත් වගේම ගැඹුරක් තියෙන ලිපියක්. මට වෙලාවකට පුදුමත් හිතෙනව, යුරෝපයේ මේ ප්‍රදේශයෙන් මෙච්චර දාර්ශනිකයො, විද්වතුන් සහ අපූරු කලාකරුවො තොගයක් බිහිවුනේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. https://courses.lumenlearning.com/atd-fscj-philosophy/chapter/origins-of-greek-philosophy/

      Delete
    2. ප්‍රාජේ, මිතිල දෙන්නටම ස්තූතියි. පුදුමත් හිතෙනව, මේ බුද්ධිමත් මිනිසුන් ගැන. එතැනක් "ආගම" තමා ඒ දියුණුවට "කකුලෙන් ඇදලා" තියෙන්නෙ. අපොයි දෙයියනේ "තරුණයන්ගේ මනස දූෂණය කිරීම", අවාසනාවට උන්දලා ඉස්සර තාප්පවල මාගල් පෝසටර් එලපු කස්ටියව දැක්කෙ නෑ නෙව?

      මට පේනව යම් සමාන කමක්. මේ කියන ග්‍රීසියත්, රෙම්බ්‍රාන්ට් හිටි ඇම්ස්ටඩෑමයත් දෙකම ධනවත්, නමුත් සාමකාමී වෙළෙඳ නගර. ලංකාවේ ඒ මට්ටමේ දාර්ශණික/කලාත්මක/කාර්මික විප්ලවයක් ඇති නොවුනෙ ඇයි කියල , යම් අදහසක් දැන් තියනවා.

      Delete
  3. අවංකවම තම වැරදිත් පැවසීම
    ඒවා විමසමින් පාඩම් ඉගෙනීම
    නිවට නොවී මරුවා හා එක්වීම
    කළ සොක්‍රටිස් විරුවෙකි, මට හැමදාම!

    දැනුම තිබෙන හැමටම කොන්දක් නොමැත
    ඒ වාගෙමයි විලිලජ්ජාවකුත් නැත
    උන්ගේ ජීවිතෙන් උන්ටත් පලක් නැත
    සොක්‍රටීස්ලා මැරුණත් මැරී නැත!

    ReplyDelete