Saturday, June 12, 2021

වත්ත මැද්දේ කානුවක්

 

වැස්ස වැස්ස වැස්ස. ඉවරයක් නෑ. අවුරුද්දකට වතාවක් මිනිස්සු යට වෙනවාමයි. යට වෙච්ච අයව දකින අනෙක් මිනිස්සු කිව්වේ; “ගේ හදනකොට අත්තිවාරම පාරට වඩා උඩකට වෙන්න දාගත්තනම් ඔය ප්‍රශ්න නෑනේ”, “ අරගන්නකොට ගන්න එපැයි හොද තැනකින් ඉඩමක්” වගේ කතා.

කියමනකුත් තියෙනවනේ ‘ඉහිරුණු කිරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ’ කියලා. වහිනකොට සමහරුන්ගේ වත්තේ කොටහක රැල්ල පාගන්න, තවත් කොටහක බෝට්ටු පදින්න එහෙම පුලුවන්. මුල් දවස් වල නම් මුහුදු වෙරලේ ගල්පර දානවා වාගේ වැලි කොට්ට දානවා ගේ ඇතුලට වතුර එන එක නවත්තන්න. හැබැයි සමහර වැස්ස කාලවල් වලට නම් ඔය වැලි කොට්ට වලින් වතුර නවත්තනවා බොරු.

මගේ යාලුවෙක් ඉස්සර හිටියා ලක්ෂපතියේ. එයාගේ ගෙවල් එහා පැත්තේ මනුස්සයාගේ ඉඩමත් හැම වැස්සකටම වගේ යටවෙනවා. දූපතක් වගේ. පොඩි එවුන් නම් බෝට්ටු හදලා සෙල්ලම් එහෙම කරනවා. දූපතක් වගේ ඒ ගෙදර. ඔක්කොටම වඩා අමාරුයි වතුර බහින්නැතුව එක තැන තිබ්බම එන පල් ගඳ. ගන්දස්සාරේ බෑ. කාලෙන් කාලෙට මතුවෙන දූපත නැතිකරගන්න ලක්ෂපතියේ යාලුවගේ අල්ලපු ගෙදර මනුස්සයා මෙහෙම ක්‍රමයක් කරා.

වත්ත වටේටම ලොකුවට හොදට තාප්පයක් ගහලා තිබ්බේ. වත්තෙන් එන වතුර යවන්න තාප්පේ යටින් හිලක් විදලා වතුර ටික තාප්පෙන් එහා පැත්තේ කානුවට යන විදිහට ක්‍රමයක් හදලා තිබුනත් එක එච්චර සාර්ථක වුනේ නැහැ. ඕකටම කියලා ලොකු වියදමක් දරන්න විදිහක් තිබ්බෙත් නැති නිසා මෙයා කැපුවා වත්ත මැද්දෙන් වලක්.මහා ලොකු වලක් නෙමේ අපේ දනිස්ස ගාවට වගේ එන්න ගැඹුරු වලක්. අඩි එකහමාරක් නැත්නම් දෙකක් ඇති. වත්ත මැද්දේ ඉදන් මේ වල තාප්පය ගාවට වෙනකන් ම කපාගෙන ගියා. ගිහිල්ලා අහක්වෙලා තාප්පය පොලොව යටින් හිල් කරලා බටයක් දැම්මා වලේ ඉදන් තාප්පය එහා පැත්තේ කානුවට.

ඊට පස්සේ වල යටට ගල් තට්ටුවක් දැම්මා. කළු ගලුයි තව එක එක ජාතියේ ගල්. ගල් තට්ටුවක් දාලා ඒකට උඩින් පස් තට්ටුවක් දැම්මා. එදායින් පස්සේ කොච්චර වැස්සත් මේ මනුස්සයාගේ ඉඩම යට වුනේ නෑ. ඉඩමට ආපු වතුර ඉඩම මැද්දේ කානුවෙන් කෙලින්ම පාරේ කානුවට වැටෙන නිසා. ඔය වල කපනකොටත් ටිකක් ආනතව (බෑවුමක් ඇතිව) කැපුවේ. නැත්තන් වතුර එක තැන රැඳෙනවනේ.

ටික කාලයක් යනකොට ඔය පස් තට්ටුවේ තණකොළ එහෙම වැවුනා. ඔය වලට වටෙත් තණකොල වැවෙන නිසා දකින කෙනෙක්ට ඔතන වෙනසක් පේන්නේ නැහැ. පායන කාලෙට ඉක්මනටම වේලෙන්නේ ඔය කානුව උඩ තියෙන තණකොට ටික. කානුව උඩින් අපි ඇවිදගෙන ගියත් වෙනසක් දැනුනේ නැහැ.

රජයක් වුනත් මනුස්සයෙක් ගංවතුරෙන් යටවෙන එක ගැන ඔයිට වඩා හිතලා මතලා කටයුතු කරන්න ඕන. යටවුනාට පස්සේ හාල් තුනපහ ටිකක් දීලා ජාමේ බේරගන්න බැහැ. ඕවා උයන්නේ උන්දැලගේ මක්ක උඩ තියාගෙන ද?

ඉස්සර රජ කාලේ එහෙම ඕවට විසදුම් දීලා තියෙනවා. අභයගිරිය විහාරයේ හතර පැත්තේ තියෙනවා පොකුණු හතරක් (අභයගිරිය විහාර සංකීර්ණයේ කුඩා පොකුණු 65ක් තියෙනවා). සමහරු හිතන්නේ ඕවා තියෙන්නේ අලංකාරයට විතරයි කියලා. එහෙම නැහැ. වැස්ස කාලයට අභයගිරියේ වතුර එකතු වෙන්න පුලුවන්. ලෙඩ රෝග නිතැතින්ම බෝ වෙනවනේ ඒ නිසා. පන්සලට සැදැහැ සිතින් ගිහින් මදුරුවෙක් කාගෙන එන්නෙ මොකට ද?

අභයගිරිය දාගැබෙන් බේරිලා එන වතුර ටික සලපතළ මළුවේ එකතු වෙනවා. සලපතළ මළුවේ පිටතින් තියෙන ජල පිහිලි වලින් වතුර ටික වැලි මළුවට යනවා. වැලි මළුව දිගේ ජලය ගිහින් ශිලා ප්‍රාකාරයකට වතුර එකතු වෙනවා. ඊට පස්සේ උමං මාර්ගයක් ඔස්සේ ඔය වතුර පොකුණ වෙත යනවා. ඉතිහාසය තියෙන්නේ අපි තමයි හොදටම කරේ කියලා පාරම්බාන්න නෙමේ. දෙයක් ඉගෙනගන්න.

ඇත් පොකුණ 



12 comments:

  1. ඔයා කියන කතාව හරි.
    වහින වැස්ස පොලවට උරාගන්න තැනක් නැති කමත් එක්කම වැහිවතුරෙන් පිරෙන කාණු පද්ධති හරි හමන් විදිහට සුද්ද පවිත්‍ර නොකරන හින්දා තමයි වැඩි හරියක් නාගරික පෙදෙස් වතුරන් යටවෙන්නේ.

    ReplyDelete
  2. අල්ලපු ගෙදර මනුස්පයා නං මාරයි නෙව? රජකාලෙ, දියුණු වාරිමාර්ග තාක්ෂණයක් තිබූ බව අසා තිබුණත්, මේක ඇහුවෙ අදයි, ස්තූතියි.

    //ඉතිහාසය තියෙන්නේ .. පාරම්බාන්න නෙමේ. දෙයක් ඉගෙනගන්න// 😂

    ReplyDelete
    Replies
    1. පොකුණුවල තාක්ෂණය හරිම ඉහළයි. කුට්ටම් පොකුණේ ජලය දෙපාරක් පෙරිලයි ඇතුලට යන්නේ. පොකුණ සුද්ද කරන්නම කියලා වෙනම නල මාර්ගයකුත් තියෙනවා. කුට්ටම් පොකුණට වැව් දෙකකින් උමං මාර්ගයෙන් වතුර ගෙන්නලත් තියෙනවා. ලංකාවේ උමං තාක්ෂණය ඉස්සර සෑහෙන දියුණුයි.

      Delete
  3. තාක්ෂණය නඟියි ඉහළ, ඉහළින් හිණි පෙත්තටම
    ගන්නවද වැඩක් අපි දැන් මොළයෙන්ම
    පරහිතකාමි බව නැති හැඟුමෙන් නරුම
    මත්වෙන එක විතරමද අපහට උරුම?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය තුලින් වර්තමාන ගැටලු වලට විසදුම් හොයන්න පුලුවන් නිදි. ඒත් කවුරුත් කරන්නැති එකයි ප්‍රශ්නය.

      Delete
    2. නිදිගෙ කවියෙ අන්තිම පද දෙකේ "මත් වෙන" කොටස දෑක්කම මතක් වුනේ මේක:

      ඔන්ලයින් මිනිස් ජාවාරමේ ඩන්ස්ටන් මාට්ටු... මහළු ව්‍යාපාරිකයින් රැසක් ගැනුම්කාර ලැයිස්තුවේ

      අපේ සමාජෙ ඇතුලතින් කුණු වෙනවා, කොච්චර සුදු හුණු ගෑවත්, පාරම් බෑවත් ඒක වෙනස් වෙන්නෙ නෑ. වරක් පැතුම් කිව්වා, මේකට හේතුව එකිනෙකා අතර තියෙන "රැට් රේස්" එක කියලා. "ලිවින් ෆෝ ද ඩේ" සමාජ සම්මතයක් වෙලාලු. ඇත්ත ද. ඒක? උපන් රටට වෙන දේ ගැන දුකයි. සහෝදරවරු කියාවි මේක ධනවාදයෙ වැරැද්ද කියලා. මම උගතෙක් නූනත්, හිතෙනවා මෙතන ඊට වඩා අරටු බැහැපු අවුලක් තියනවා කියලා. දේශපාලනය සහ සමාජ ආයතන ඔක්කොම "මදේටම කුණු වෙලා" කොට, විසඳුම මොකක්ද මට තේරෙන්නෙ නෑ. හිතේ අමාරුවට, අනවශ්‍ය දෙයක් ලියවුනා නං සමාවෙන්න.

      Delete
    3. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි එදා ඉඳලම එක-එක ජාතීන්ගෙන් ගොඩක් දේවල් උකහාගන්න දක්ෂයි. කැමතියි.

      මම අහලා තියෙනවා කතාවක්- ඉස්සර. ලෝකේ යම්කිසි වාණිජ භාණ්ඩයක් හැදුවම පළමුවෙන්ම සාම්පල්ස් ටිකක් වෙළෙඳ පලට දාලා බලනවලු, පාරිභෝගිකයන්ට අල්ලනවද කියලා බලන්න. එහෙම දාන එක රටක්ලු ලංකාව. මෙහෙ අයට ඒ නිෂ්පාදනය හිතට අල්ලනවා නං ඕනෙම රටකට ඒවා විකුණාගන්න පුළුවන්ලු. ඒ තරම පුළුල් එකක්ලු අපේ රුචිය.
      ඉතිං කියන්න හැදුවේ, අපි වැඩියෙන්ම ගන්නේ 'නොගත යුතු කොටස' වගෙය කියලා මට හිතෙන එකයි.

      ඕකට අපේ තාත්තා කිව්ව දේකුත් කියන්න හිතුණා. 'බලපන්. මෙහාට ආව හැම ජාතියක් එක්කම හාමු වෙච්චි ජාතියක් අපි. චීන්නුන්ව, සුද්දොන්ව, අප්‍රිකන්කාරයන්ව දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්.... උන්ගේ තියෙනවා එක විදිහක්. ඒකට අපේ. දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක්. පාට- උස- මහත- කොණ්ඩ එකක්වත් එක විදිහක්ද? ඉතිං කොහෙද බං ජාතියක් විදිහට එක විදිහකට හිතන්නේ?'

      බස්සා මහත්තයෝ, තමුන්නාන්සේ මගේ හිතෙත් කැකෑරෙන වේදනාවක් එළියට දැම්මෙව්වා. ස්තුතියි ඒ වෙනුවෙන්!

      Delete
  4. ඇත්තටම ඔය වගේ පුංචි පුංචි ක්‍රම සහ විධි තියෙනවා කරදරවලින් එතෙර වෙන්න. ඒවා බොහෝ විට අපේ පැරැණ්නෝ පාවිච්චිකලා. බොහෝ මෑතක වනතුරු දකුණේ වගේම උතුරේත් මෙවැනි ක්‍රම භාවිතා කරමින් එයාලගේ සාමාන්‍ය ජීවිතය වඩාත් සුව පහසු කර ගත්තා. තවමත් ජපානයේ, ඉංන්දියාවේ ඔයවගේ උපක්‍රම භාවිතා කරණවා නවීන තාක්ෂණය එක්කමත් තනි තනිවත්. ඔබ බාලදක්ෂ විද්‍යාව පොත කියෙව්වානම් එහිත් තියෙනවා පුංචි පුංචි උපක්‍රම; ජීවිතේ ඕනෑම බැරෑරුම් අවස්ථාවකදී ප්‍රයෝජන ගත හැකි! ඇත්තටම කෑම්පින් වලින් මිනිසුන්ට උගැන්වෙන්නේත් මේ වගේ උපක්‍රම. ගස් කැපීමට අපි කෙතරම් විරුද්ධ උවත් ඔවුන් ගාව තියෙනවා ඕන දෘඨ ගහක් ඇදලා නවලා ගන්න පුළුවන් ගැටයක්. ඒකට උපයෝගී කරගන්නේ ටිකක් ලොකු කෙක්කක්. ගැට කීවාම මතක් උනේ ලොරි සහයකයින් භාවිතා කරණ ගැටයකුත් තියෙනවා අපිට හුතා ගන්නවත් බැරි. මම මේ ලඟදි හක්බෙල්ලාවක; අපේ ඨීපී කෑම්ප් සිට් එකේ වැඩක කරණ වෙලාවෙදි එතන මගේ උදව්වට ආපු ධම්මික මල්ලියි නීල් මල්ලියි ගල් වලින් පාලමක් හදපු හැටි හිතා ගන්න වත් බෑ. ඒ අය බොහෝ විට පාවිච්චි කරණ්නේ තමන්ගේ ශක්තියට වඩා ගලේ බරත් ලීවරත්. හරියට අයිකීඩෝ ක්‍රීඩාව වාගේ.
    අපේ පාසලේ ක්‍රීඩාංගනය සාදන අවස්ථාවේ එහි කේන්ද්‍රයේ සිට පරිධිය දෙසට දිවැවුනු පයිප්ප ජාලයක් වැළලුව බව මට හොඳට මතකයි. ඒවා මැටි (ටෙරා කොටා වැනි) ඒවාද නැතිනම් සිදුරු කරන ලද පීවීසී බටද කියලා නම් මතක නෑ.
    "ගිය හකුරට නාඩන්නේ - තියෙන හකුර රැකගන්නේ!"

    ReplyDelete
  5. ඒ උනාට අපි තමයි හොඳටම කරේ

    ReplyDelete
  6. අපේ මිනිස්සුන්ට ඕන කරන තාක්ෂණය තියෙනව. වැඩේ තියෙන්නෙ ඒක පාවිච්චි නොකර කවුරි හරි කරල දෙනකල් බලාගෙන ඉන්න එකයි.

    ReplyDelete