Tuesday, August 31, 2021

මෙතෙක් බිහිවූ සාර්ථකම මුහුදු මංකොල්ලකරුවා


ඔබ පයිරට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටය නරඹා තිබෙනවා ද? එසේ නම් පහත පින්තූරයේ සිටින චීන කාන්තාව දැක ඇතුවාට සැක නැත. මෙම චිත්‍රපටය ලෝක ඉතිහාසය පුරා විවිධ කාලවල දී සිටි සැබෑ චරිත යොදා නිමවා ඇති අතර පහත පින්තූරයේ සිටින චීන මුහුදු මංකොල්ලකාරියත් ලෝක ඉතිහාසයේ සැබෑවට හමුවන චරිතයක්. ඇය එසේ මෙසේ චරිතයක් නම් නොවේ. 

බ්ලැක් බියර්ඩ් සහ හෙන්රි මෝගන් වැනි ප්‍රකට මුහුදු මංකොල්ලකරුවෝ තම උච්චතම අවස්ථාවේ දී නැව් දහයක් හා මිනිසුන් සියගණනක් පාලනය කල බව සඳහන් වේ. නමුත් ඇය තම උච්චතම අවස්ථාවේ දී නැව් 1800ක සංවිධානයකට නායකත්වය ලබා දුන්නා. ඇයව සැලකෙන්නේ එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථක ම මුහුදු කොල්ලකාරිය ලෙසට යි.

චීනයේ මුහුදු මංකොල්ලකරුවෝ අතර සංවිධානයක් තිබුනා. මෙහි ආරම්භක නායකයා වූයේ චෙන්ග්. මුහුදු මංකොල්ලකරුවන් 70,000ක් හා නැව් 1,200ක් සහිත වූ මෙම සංවිධානය එකල ආසියාවේ තිබූ විශාලත ම මුහුදු මංකොල්ලකරුවන්ගේ සංවිධානය බවට පත් වුනා. මෙම මංකොල්ලකරුවන්ගේ සංවිධානය ඉතා සාර්ථකව ගම් බිම් බිය වද්දමින් රජයේ නැව් වලට පහර දෙමින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනා. නමුත් 1803 වසරේ දී මුහුදේ යාත්‍රා කරමින් සිටිය දී සුළි සුළඟකට හසු වී මෙම සංවිධානයේ නායකයා වූ චෙන්ග් මිය යනවා.

‘මෙතරම් විශාල සංවිධානයක ඊළඟ ප්‍රධාන නායකයා වන්නේ කව් ද?’ යන්න මෙම සංවිධානයේ සිටි අනෙකුත් නායකයෝ හය දෙනාට ප්‍රශ්නයක් වුනා.

ඊළඟ නායකයා කව්දැ යි යන්න සාකච්ඡා අතරතුර දී පළමුවෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ කාන්තාවක්. ඇයව චෙන්ග් යට් සාඕ ලෙසත් සමහර තැන් වල ඇයව චින්ග් ෂී ලෙසිනුත් හදුන්වනවා. ඇය කලින් නායකයා වූ චෙන්ග්ගේ බිරිඳ. චෙන්ග් මුහුදු මංකොල්ලකාරයෙක් ලෙසින් මුදල් රැස් කිරීමේ කටයුත්තේ නියැලුනු අතරතුර ඔහුගේ මුදල් පරිපාලනය හා ව්‍යාපාර කටයුතු පාලනය කලේ ඔහුගේ බිරිඳ යි. 

කෙසේ හෝ තියුණු උණුසුම් සාකච්ඡා වල අතුරු ඵලයක් ලෙසට චින්ග් ෂී මුහුදු මංකොල්ලකරුවන්ගේ සංගමයේ ප්‍රධාන නායිකාව ලෙසින් පත් වෙනවා. සංගමයේ සිටි එකම කාන්තා නායිකාව ඇය යි. තම ස්වාමියාගේ මරණයත් සමඟ මංකොල්ලකරුවන් අතර විසිරී තිබූ පාලනය සංවිධානාත්මක පාලනයක් බවට පත් කිරීමට ඇයට හැකි වෙනවා. තමන් සංගමයේ ප්‍රධානියා බවට ඒත්තු ගැන්වීමට ඇය නිවුනු හා දරුණු ක්‍රම බොහොමයක් භාවිතා කරා.

සංවිධානයේ නමින් මුහුදු මංකොල්ලකරණයේ යෙදෙන සෑම නැවකින් ම ලැබෙන ආදායම සංවිධානයේ පොදු විශ්වාසවන්ත අරමුදලකට ලබා දිය යුතු බව ඇය කියා සිටියා. මෙම ආදායමෙන් 20%ක් නැවේ කපිතාන්ට ලැබෙන අතර ඉතිරි 80% සංවිධානයේ පොදු අරමුදලට ලබා දිය යුතු වුනා. එම 80%න් නැව් නඩත්තුවත් අනෙකුත් මංකොල්ලකරුවන්ට පඩි ගෙවීමත් සිදු කෙරුණා. මුල දී නම් මෙම යෝජනාවට බොහෝ දෙනෙක් අකමැති වූ නමුත් විරුද්ධ වූවන් සංවිධානයෙන් නෙරපීමෙන් හා මරණ දඬුවම ලබා දීම නිසා මෙම නීතියට විරුද්ධ වීම කෙටි කලකින් නැවතුනා.  

චින්ග් ෂී එතැනින් නැවතුනේ නැහැ. ඇය සංවිධානයට අලුතින් නීති පද්ධතියක් සැකසුවා. එම නීති අතර අල්ලාගත් සිරකරුවෙක් දූෂනය කිරීම, පොදු අරමුදලින් සොරකම් කිරීම හා අවසරයක් නොමැතිව ගොඩබිමට යෑමට දඬුවම මරණය බව එහි සඳහන්ව තිබුනා. මෙම නීති රීතී නිසා තනි සංවිධානයක් ලෙසින් මුහුදු මංකොල්ලකරනයේ යෙදීම ඔවුනට වඩා ඵලදායී බව වැටහී ගියා.

එපමණක් නොව ඇය විවිධ නගර වල හා ගම් වල මූල්‍යමය ආයතන පිහිටුවීමට කටයුතු කරා. මෙම මූල්‍යමය ආයතන වලින් ඇයගේ සංවිධානයේ සිටින ඕනෑ ම සාමාජිකයෙක්ට ගොඩබිම තුල දී මූල්‍යමය ආරක්ෂාවක් ලැබුනා. මෙය එක්තරා ආකාරයක රාජ්‍යයක් තුල පැවති රාජ්‍යයක් ලෙසින් ද අර්ථ දැක්වීමට පුළුවන්.

ඇය කෙතරම් දක්ෂ නායිකාවක් ද පවසනවා නම් වරායක් බේරා ගැනීමට ඇමරිකානු නැව් පහක් පරාජයට පත් කිරීමත්, පෘතුගීසි නැවක් අල්ලා ගැනීමත් තායිලන්තයෙන් වූ ආක්‍රමණයක් වැලැක්වීමටත් ඇයට හැකියාව ලැබුනා එක් දිනක් තුල. 

වැඩි කලක් යාමට පෙර ඇයට සංවිධානයේ අභන්තර ආරවුලක් හේතුවෙන් ඇයගේ සංවිධානයේ සිටි තවත් නාවික කණ්ඩායමක් සමඟ සටන් වැදීමට සිදුවුනා. මේ හේතුවෙන් එම කලාපයේ ඇතිවූ නිරන්තර ගැටුම් නිසා වෙහෙසට පත් වූ ඇය එමගින් සිදුවූ විනාශය දුටු නිසා චීන රජයට යටත් වීමට තීරණය කරා. ඒ 1810 වසරේ. නමුත් ඒ ඇයගේ ම කොන්දේසි මත. සංවිධානයේ සාමාජිකයන්ට සමාව දිය යුතු බවත් මුදල් රාජ සන්තක නොකල යුතු බවත් ඇය කියා සිටියා. ඇයත් සමග සටන් කර කෙදිනකවත් ඇයව අල්ලාගත නොහැකි බව තේරුම් ගත් චීන රජය ඇයගේ කොන්දේසි වලට එකඟ වී ඇයගේ යටත් භාවය පිළිගත්තා.

ඇය තම ඉතිරි කාලය තමන් උපයාගත් ධනය භාවිතා කර සතුටින් කාලය ගත කරා. අවසානයේ දී වයස අවුරුදු 69 දී මෙතෙක් සිටි සාර්ථකම මුහුදු මංකොල්ලකාරිය වෙමින් ඇය සාමකාමීව මියගියේ සාමාන්‍ය මුහුදු මංකොල්ලකරුවෙක්ට හිමි පොදු අවසානය ප්‍රථික්ෂේප කරමින්.



Friday, August 27, 2021

හේඩ්‍රියන්ගේ ආදරය


පහත දැක්වෙන්නේ 1894 වසරේ දී ග්‍රීසියේ දී ගන්නා ලද වර්ණ ගැන්වූ ඡායාරූපයකි. මෙහි තිබෙන්නේ කලක් රෝම වැසියන්ගේ ගෞරවයටත් තවත් කලක ගැරහීමටත් ලක්වූ රෝම දෙවි කෙනෙක්ගේ පිළිමයකි. මෙම දෙවියා නමින් ‘ඇන්ටින්‍යුස්’ ලෙසින් හැදින්වේ.

දෙවි කෙනෙක් ලෙසින් හැදින්වුව ද මොහු දෙවි කෙනෙක් වීමට ප්‍රථම රෝම ශිෂ්ටාචාරයේ සිටි සාමාන්‍ය මනුෂ්‍යයෙකි. මොහුගේ කතාව කරලියට එන්නේ රෝමයේ පාලකයෙක්ව සිටි හේඩ්‍රියන් අධිරාජ්‍යයාගේ පෙම්වතා ලෙසිනු යි. දෙදෙනාගේ මෙම පෙම් සබදතාව අවසන් වන්නේ ඇන්ටින්‍යුස් නයිල් ගඟේ ගිලී මරණයට පත් වීමෙනු යි. ඔහු එසේ ගිලුනේ ඇයි දැයි හරිහැටි සඳහනක් නැතත් ඔහුට අධිරාජ්‍යයා සමඟ තිබූ සම්බන්ධයට අකුල් හෙලූ බොහෝ දෙනා එකල සිටි නිසා මෙය ඝාතනයක් බවටත් සැක පහල වේ. 

තම පෙම්වතාගේ මරණය පිළිබඳ පුවත දැනගත් පසු හේඩ්‍රියන් අධිරාජ්‍යා ශෝක වූ ආකාරය වෙනත් කිසිදු රෝම අධිරාජ්‍යයෙක් තම හිතවතුන් මිය ගිය පසු ශෝක වූ ආකාරයට දෙවෙනි නොවන බවට ඉතිහාස පොත පතේ ලියැවී තිබේ. හේඩ්‍රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම නිර්මාණය කර රෝමය පුරා දේවස්ථාන කරා යැව්වේ සැමටම තම පෙම්වතා ගැන කීමට යි. හේඩ්‍රියන්ට ඇන්ටින්‍යුස් කෙරේ වූ ආශාව හංගාගෙන සිටීමට අවශ්‍ය වූයේ නැහැ.

හේඩ්‍රියන් එතනින් නවතින්නේ නැත. තම පෙම්වතා මියගිය ඊජිප්තුවේ ඔහුගේ නමින් නගරයක් ද තනවයි. එය ‘ඇන්ටිනෝපොලිස්’ නමින් හැඳින්වෙන අතර රෝම අධිරාජ්‍යයෙක් ඊජිප්තුවේ තැනූ එකම නගරය මෙය යි. පුදුමය දනවන කරුණ නම් ඇන්ටින්‍යුස් නම් තරුණයාට රෝමයේ බොහෝ දෙනා ආදරය හා ගෞරව කිරීම යි. එහි ප්‍රථිපලයක් ලෙසට මොහු රෝම දෙවි කෙනෙක් බවට කලක් ගත වන විට පත් විය. හේඩ්‍රියන් අධිරාජ්‍යයා තම පෙම්වතාගේ පිළිම තනා රෝමය පුරා යැව්වේ තම පෙම්වතාව රෝමයේ මිනිසුන් දෙවි කෙනෙක් ලෙසින් ගෞරව කරනු දැකීමේ ආශාවක් ද නිසාවෙනි.

කලක් ගත වන විට රෝමය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරෙත් ම ඔවුහු පේගන් ඇදහිලි (ක්‍රිස්තියානි නොවන ඇදහිලි) අතුගා දැමීමේ අරමුණින් එම ඇදහිලි වලට අදාල දේවස්ථාන හා පිළිම විනාශ කරන්නට පටන් ගත්තෝ ය. ඔවුන්ට හේන්ඩ්‍රියන් අධිරාජ්‍යයා විසින් නිමවන ලද තම පෙම්වතාගේ අගනා පිළිමයත් හමුවිය. ඇන්ටින්‍යුස් මේ වන විට රෝමවරුන්ට දෙවි කෙනෙක් වී හමාර යි. ඒ හේතුවෙන් කැරලි කරුවෝ මෙම පිළිමයේ අත් දෙක කපා දමයි.

නමුත් ඇන්ටින්‍යුස්ගේ බැතිමත්හු එම පිළිමය සම්පූර්ණයෙන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීමට පොළොව යට විශාල වලක් හාර වළලයි. අදට මෙම පිළිමයට වයස එක්දාස් නමසියයකට ආසන්න වන අතර 1894 දී ගවේෂකයෝ එම පිළිමය සොයා ගත් අවස්ථාව යි පහත දැක්වෙන්නේ. 

ආදරය ගැන ඔබට මට විවිධ මතිමතාන්තර තිබෙනවාට සැක නැත. නමුත් වසර එක්දහස් නමසියයකට එපිට සිටි පුද්ගලයෙක්ගේ දැඩි ආදරයක් මෙම පිළිමයෙන් කියාපාන බවට ඔබට අවංකව ප්‍රථික්ෂේප කිරීමට නොහැකියි.


 

Wednesday, August 25, 2021

අවසන් රාත්‍රී භෝජනය (කෙටි කතාව)


මම මගේ රෝගය ගැන කිසිවෙකුටත් නොකීමට ඉටා ගත්තෙමි.

මගේ මවටවත් නංගිටවත් නොකියමි. සුමුදුට නම් කොහෙත්ම කියන්නේ නැත. සමහර විට කමල්ටත් නොකියා සිටීමට ඉඩ තිබේ.

මම පෙර දී සිටියාටත් වඩා බොහෝ සෙයින් කෘෂ වී ඇති බව කණ්නාඩියෙන් මා දෙස බැලූ විට මට සිහිවන්නට විය. තරුණ කාලයේ දී පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ මගේ අතීතය ගැන කණ්නාඩියෙන් පෙනෙන පුද්ගලයාට කීමට මම උත්සහ කළෙමි.

‘ඉස්කෝලේ කාලේ ඔයා දිහා තමයි හැමෝම බැලුවේ. දිග කොණ්ඩය, පිරිපුන් ශරීරය සහ ලස්සන හිනාව නිසා ඔයාට හැමෝම ආදරය කරා’

මගේ අතීතය සිහිවූයේ ස්වල්ප වේලාවකට පමණි. මට මා ගැන සිතීමට තරම් දැන් කල්වේලා නැත. වෛද්‍යවරයා නම් මාස තුනකට පෙර කීවේ තවත් ඇත්තේ මාස හතරක් කියා ය. මට මා ගැන සිතන්න තරම් කාලයක් නැත. අද මගේ පවුලේ සියලු දෙනා රාත්‍රී කෑමට පැමිණෙයි. අපි සියලුම දෙනා මසකට වරක් මෙසේ හමු වී එකට රාත්‍රී ආහාර වේලක් ගැනීමේ සම්මුතියකට පැමිණ ඇත්තෙමු. අද ඒ දවසයි.

මම නාන කාමරයට ගොස් නෑමට පටන් ගත්තෙමි. මගේ හිසට වැටෙන ජල බිංදු හිසෙන් පොලා පැන ජනෙල් වීදුරුව වෙත විසි වේ. එසේ විසිවන ජල බිංදු වීදුරුව දිගේ පහලට අනෙක් ජල බිංදු පරයා වැටීමට උත්සහ දරයි. ජල බිංදුවක් තවත් ජල බිංදුවක් ඉක්මවා යෑමට උත්සහ දරන්නේ ඇයි? ඒවා යන්නේ එකම තැනකට නම්. මම කෙතරම් වේලා ස්නානය කරාද කීවොත් මගේ ඇඟිලි තෙතමනය නිසා රැලි වැටී තිබුණි. මතක ඇති කාලයකින් මෙතරම් වේලාවක් ස්නානය කලේ අද යි.

මම අල්මාරිය වෙත ගොස් අද රාත්‍රී ආහාරය වෙලාවේ අඳින්නට සුදුසු ගවුමක් තිබෙනවාදැයි සොයා බැලුවෙමි. මගේ විසි අටවෙනි උපන්දිනයට ලැබුනු රතු පාට ගවුමක් මගේ ඇස ගැටුනි. ලේ රතු පාට ගවුමක්. ඒත් සමගම කලකින් භාවිතා නොකල සුවඳ විලවුන් බෝතලයක් අල්මාරිය අස්සේ තිබී මට සොයා ගන්නට හැකිවිය. මම එයින් ස්වල්පයක් මගේ අතට දමා ඉඹ බැලුවෙමි. තවමත් අතීත සුවඳ ඒ අයුරින් ම පවතියි. සුවඳ විලවුන් බෝතලය අසලම තිබූ පුයර බඳුනත් අතට ගත් මා කණ්නාඩිය ඉදිරිපිටට ගොස් මාව හැඩගන්වා ගැනීමට උත්සහ කළෙමි.

සියල්ලෙන් සැරසුනු මා සාලයේ සිට වැසී ඇති දොර දෙස මගේ පවුලේ අය පැමිණෙන තුරු බලා සිටියෙමි. පලමුව පැමිණියේ සුමුදු ය. ඔහුගේ යතුරු පැදියේ ශබ්දය කන වැකෙනවාත් සමග මම ඔහුව හඳුනාගත්තෙමි. ඔහු යතුරු පැදිය නිවස ඉදිරිපිට නවත්වනවාත් සමඟ ඔහුව පිළිගැනීමට සිනාමුසු මුහුණින් මම ඔහු වෙත ගියෙමි. ඔහු මගේ පුතා. තමන්ගේ පුතා දකිනවා තරම් අම්මා කෙනෙක්ට ඇති සතුට කුමක් ද?

“අද තාත්තා එන්න පරක්කු වෙනවා කිව්ව ද?” මම ඔහුගේ අතෙහි වූ මළුව ගන්නා ගමන් ඇසුවෙමි. “තාත්තට වැඩ වගයක් තියෙනවා කිව්වා. එද්දි ටිකක් පරක්කු වෙයි.”

සුමුදුගේ සිනහව මුළු නිවසම ආලෝකමත් කරවන්නක් විය. ඔහුට මිතුරන් සමග වූ රසබර සිදුවීම් මට කියත්ම ඔහු තව තවත් හයියෙන් සිනාසෙයි. මමත් ඔහුත් සමග සිනාසුනේ ඔහු කී දේවල් නිසා නොව ඔහුගේ සිනාව මට සිනාවක් ගෙන දුන් බැවිනි. 

සුමුදු බීම බෝතලයක් ගැනීමට ශීතකරනය වෙත ගියේ ය. ඔහු එහි පියන විවෘත කර බීම බෝතලය සොයමින් සිටියි.

“කැම්පස් එකේ වැඩකටයුතු කොහොම ද?” මම කෑම මේසය පිළියෙල කරමින් ඔහුගෙන් ඇසුවෙමි. 

සුමුදු ඔහුට අවශ්‍ය බීම බෝතලය තෝරාගෙන, ශීතකරනයේ දොර වසා මා දෙසට හැරුණි. 

“කැම්පස් එක තමා කැම්පස් එක. අසයිමන්ට් වැහි වැහැලා.” ඔහු බීම බෝතලය විවෘත කර නැවතත් ශීතරණය දෙසට හැරුණි.

“ඒවා හොඳින් කරගෙන යනවනේ” මම සාලයේ මේසය අසල සිටගෙන ඔහු දෙස නොසෙල්වී බලාගෙන ඇසුවෙමි. මම ඔහුගේ කමිසයේ පිටුපස ලියා ඇති දේ කියවමින් මතකයේ ධාරණය කිරීමට උත්සහ කළෙමි. හරිහැටි නොකැපූ කොණ්ඩය ඔහුගේ ගෙලෙහි වූ කුඩා අකුරින් ලියූ වදන් වැල මම හොදින් නිරීක්ෂණය කළෙමි. 

ඔහු බීම බෝතලයෙන් බාගයක්ම එක උගුරට බොන්නට පටන් ගත්තේ ය. ඔහුගෙන් පිළිතුරක් එකවර නොලැබුනත් මම ඔහු දෙස බලාගෙන ඔහුව තව තවත් මගේ මතකයේ සිතුවම් කරන්නට ගත්තෙමි.

“හොදින් යනවා” මගේ දෙසට හැරෙමින් සුමුදු කිව්වේ ය.

“මම හිතනවා කැම්පස් ජීවිතේ ලස්සන ඇති කියලා” මම කිව්වෙමි.

ඔහු මා දෙස හැරී අනෙක් පැත්තක් බලා ගත්තේ ය. ඔහුගේ ඒ බැල්ම මම හොදින් හඳුනමි. ‘අම්මා දන්නවද මගේ ජීවිතය මගේ ආසාවන් ගැන. මේ ජීවිතය මොන වගේද කියලා එයා දන්නව ද?’ යන්න ඒ බැල්මේ තේරුමයි.

“ඔයා නෙතූට කතා කරාද?”

සුමුදු තවමත් කුස්සියේ මට පිටුපස හරවාගෙන සිටි ඉරියව්වෙන්ම සිට “ඔව්. ඊයේ රෑ" ඔහු හැරීගත් වනම කිව්වේ ය.

“ඉතින්?”

ඔහු කිසිවක් නොකියා හැඟීමක් නොමැති මුහුණකින් යුතුව කුස්සියේ දී සාදා ගත් පාන් පෙත්තක් සමග සාලයට විත් ඉඳගත්තේ ය. 

“එයා දන්නේ නැහැ එයාට මොනවද ඕනේ කියලා.” ඔහු පාන් පෙත්තෙන් කොටසක් කමින් කීවේ ය. “මම කිව්වා මම හැමදාටම බලාගෙන ඉන්නේ නැහැ කියලා”

මම ඔහුට ලබාදුන් අත්තම්මාගේ මුද්ද ගැන කල්පනා කළෙමි. ඔහු නෙතූට වරක් එම මුදුව ලබාදුන්නා. ඒ බොහොම කාලයකට පෙර. ඇයගේ අතෙහි ඒ මුදුව තිබෙන ආකාරය මම සිහියට නගන්නට උත්සහ කළෙමි. නමුත් මට කිසිවක් මතකයට එන්නේ නැත. ඇය කවදා හෝ මගේ අත්තම්මාගේ මුදුව පැළඳ සිටියි ද?

විවාහ උත්සවයේ දී මට මවගේ සහ පුතාගේ නර්තනයට සහභාගි වෙන්නට හැකි වේද? මුණුබුරු මිණිබිරියන්. 

මගේ දරුවා සතුටින් ඉඳියි ද? 

“හොඳයි. මුලින්ම ඔයා ඔයා ගැන හිතන්න ඕන. අනිත් අය ගැන හිතන්න කලින්” මම මගේ සිතිවිලි දාමය ගිලගෙන සුමුදුට පැවසුවෙමි.

“ඔව්.” ඔහු සිනාසුනේවත් කිසිදු හැඟීමක් ප්‍රකාශ වූයේ නැත.

“සතුටින් ඉන්න” මම කිව්වෙමි. “ජීවිතේ, ආදරේ, ඕනම දෙයක්. සතුටින් ආරක්ෂාවෙන් ඉන්න”

සුමුදු කෑම මේසයට පැමිණ මා අසලින් ඉඳගෙන පාන් පෙත්ත කෑම අවසන් කළේ ය. “ඔයා හොඳින් ද? මූණ සුදුමැලි වෙලා.” මා දෙස බලමින් ඔහු කීවේ ය.

“මම හොඳින්” යැයි කියමින් මේසයේ වූ අත් පිස්නය මම අතට ගත්තෙමි.

“නෑ ඇත්තට. ඔයාට දාඩිය දාලා. මට පේනවා. මෙතන හොඳටම සීතලයි.”

බොරු සිනහවකුත් සමග මම “මම හොඳින් සුමුදු” යැයි කිව්වෙමි.

“ඔයාලා නිවාඩුවට කොහේ හරි යන්න.” නැවතත් බොරු සිනහවක්.

ඒත් සමගම දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න නිවසේ සීනුව නාද වන්නට විය.

“මම ගිහින් බලන්නම්” මම එතැනින් පැන ගියෙමි.

මගේ මවත් නංගීත් පැමිණ ඇත. දොර අසලට යන විටත් ඔවුන් දෙදෙනාගේ කච බචේ ඇසෙන්නට විය. ඔවුන් දෙදෙනාවත් පිළිඅරගෙන ඔවුන්ගේ අතෙහි වූ මළුත් ගෙන මම කුස්සියට ගියෙමි.

“මට මේ බඩු ටික ලැබුනේ සෑහෙන ලාබෙට. හාස්කමක් වගේ” නංගී ඇය ගෙනා ආහාර පාන ගැන කියන්නට විය.

හාස්කමක්. මටත් දැන් අවශ්‍යව ඇත්තේ එයයි.

“මෙතනින් හොඳ සුවඳක් එනවා” මගේ මව කුස්සිය දෙසට පිය නගමින් කියා සිටියා ය. ඇය කුස්සියට ගොස් පිසීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඉතිරි කෑම පිසීමට පටන් ගත්තා ය. ඇය කඩිසර ය. මා මෙන් නොව ඇයට එක දිගට සෑහෙන වේලාවක් වැඩ කටයුතු කිරීමට හැකියාවක් ඇත.

“කමල් කොහේද?” අම්මා කෑම පිසින ගමන් ඇසුවා ය.

“ආච්චී, තාත්තා දැන් එයි. මෙසේජ් එකක් දැම්මා මේ ළඟ කියලා” සුමුදු කෑ ගසමින් කියා සිටියේ ය.

“කමල් සෑහෙන්න මහන්සියෙන් වැඩ කරනවා. දවසක්වත් නිවාඩු ගන්නේ නැහැනේ” නංගී තම මළුව තුලට එබෙමින් කියා සිටියා ය. ඇය එසේ කියනවාත් සමග ඇය මළුවෙන් මිදි වයින් බෝතලයක් එළියට ගත්තා ය.

“කට්ටියම දැක්කද මේක” ඇය සිනාසෙමින් වයින් බෝතලය එහළට ඔසවමින් පැවසුවා ය. “හැමෝම ගන්න කෝප්පයක් අතට. අක්කේ මෙන්න ඔයාට. මේ වයින් හරිම රහයි. ඔයා අද මේ වයින් බොන්න ඕන”

ඇය මගේ අතට වීදුරුවක් දුන්නා ය. “හරි එහෙනන් මම බොන්නම්කෝ” මම සිනාමුසු මුහුණින් ඈ වෙත වීදුරුව දික් කළා ය. ලේ රතු පැහැති වයින් මගේ වීදුරුව දිගේ පිරුණි.

ඉන්පසු සුමුදුත් වීදුරුවක් ගෙන තම නැන්දා වෙත පිය නැගුවා ය. 

“ආච්චී ඔයත් වයින් ටිකක් බොන්න”

මගෙ මවත් සිනා වෙමින් “එහෙනන් ටිකක් දාන්නකෝ. ටිකයි හැබැයි.” යැයි කියා සාලෙට පැමිණියා ය.

අප සියලුදෙනා වයින් වීදුරුව තොල කට ගාමින් සිනා සාගරයේ ගිලුනි.

“හෝ... හෝ... මොකද මේ” කමල් සිනාවෙමින් නිවස තුලට ඇතුලු වුනේ ය. ඔහු එනවා මට දැනුනේවත් නැත. එතරම්ම අපි සිනා වෙමින් සිටියෙමු. කමල් සුමුදු වෙත ගොස් තරුණ මිතුරන් දෙදෙනෙක් විලාසයෙන් වැලඳ ගෙන වීදුරුවක් අතට ගත්තේ ය.

“අපි මොනවද මේ සමරන්නේ” කමල් මා දෙස බලා වීදුරුව ඉහළට ඔසවමින් කියා සිටියේ ය.

මම අතෙහි තිබූ ලේන්සුවෙන් කම්මුල් පිස දමා සියලු දෙනා දෙස බැලුවෙමි. සැවොම සතුටින් සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියි.

“අපි සමරන්නේ.... අපි දැන් ඉන්න... මේ මොහොත"



Friday, August 20, 2021

අලෙක්සැන්ඩ්‍රියාවේ ශ්‍රේෂ්ඨතම විද්වතාගේ ඝාතනය

 ඒ ක්‍රි.ව. 415 වසර යි. රෝම අධිරාජ්‍යයට අයත්ව තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාව නගරයේ ආණ්ඩුකාරවරයා හා කතෝලික පූජකයෝ අතර වාචික හා භෞතික ගැටුම් උග්‍ර වූ වසරකි. ගැටුම් කෙතරම් උග්‍ර වූවා ද කිවහොත් කැරලි ඇති කල කතෝලික පූජකයන්ගේ නායකයෙක් ආණ්ඩුකාරවරයාගේ අණ පරිදි ඝාතනය වේ. මෙම ඝාතනයට කතෝලික ප්‍රජාව දෝෂාරෝපණය කරන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි කාන්තාවකට. එහි ප්‍රථිපලයක් ලෙස ඒ වසරේ දිනක ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහ පාරේ ගමන් කරමින් සිටි අතරතුර මෙම කැරලිකරුවන් විසින් ඇයව ඝාතනය කරයි.

ඇය නමින් හිපේෂියා. ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි සාමාන්‍ය කාන්තාවක් නොවේ. ඇය පුරාණ රෝම අධිරාජ්‍යයේ දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි ශ්‍රේෂ්ඨතම විද්වතා ය. ලොව විශාලතම පුස්තකාය ඇලෙක්සැන්ඩ්‍රියාවේ තිබූ නිසා මෙය සැලකුනේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස යි. හිපේෂියා උපත ලබන්නේ ක්‍රි.ව. 355 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ඇයගේ පියා නමින් තියොන් වන අතර ඔහු ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙකි. කුඩා කල පටන් හිපේෂියාට ඇයගේ පියා ග්‍රහලෝකවල ගමනාගමනය, තාරකා වල පිහිටීම, ආකිමිඩිස් නියමය හා පයිතගරස් ප්‍රමේයය ආදී නොයෙකුත් සංකල්ප ඉගැන්වීම සිදුකලා.

වැඩිකල් ගතවූයේ නැත. හිපේෂියා තම තරුණ අවධියට එලබෙන විට ඇය තම පියාගේ දැනුම පසුකොට අවසන් ය. ඇය ගණිතය, තාරකා විද්‍යාවට අමතරව දර්ශනය ද ඉගෙන ගත්තා. ඉන්පසු ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි ප්ලුටෝනියානු පාසලේ ප්‍රධානියා බවට පත් විය. මෙය වර්තමානය හා සැසදීමේ දී නම් විශ්ව විද්‍යාලයක කුලපති තනතුර පත් වූවා හා සමාන ය. එකල කාන්තාවන්ට සමාජයේ හිමිව තිබූ ස්ථානය හා සැසැදීමේ දී මෙය විප්ලවීය අවස්ථාවකි. ලෝකයේ දෙවෙනියට පැරණිතම විශ්ව විද්‍යාලය වන ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර ප්‍රථම වරට කාන්තාවක් කුලපති තනතුර පත්වූයේ 2015 වසරේ දී. තත්ත්වය එසේ තිබිය දී මීට වසර හත්සියයකට එපිට සිටි හිපේෂියාගේ මෙම පත්වීම කෙතරම් වැදගත් එකක් දැයි ඔබ ම සිතා බලන්න.

ඇය විශ්ව විද්‍යාලයේ ප්‍රධානී තනතුර දැරූ කාලයේ දී විද්‍යාත්මක උපකරණ ගැන මුල සිට අගට සටහන් ඇතුලත් කෘති ලිවීම, ගණිතය පෙළපොත් ලිවීම හා නව ගණිත ක්‍රම (දීර්ඝ බෙදීමේ කෙටි ක්‍රම ආදිය) සොයා ගැනීම සිදු කලා ය. ගණිතය සම්බන්ධව පොතපත ලියූ ප්‍රථම කාන්තාව ඇය යි. ඇය බෙහෙවින් ප්‍රකට වූයේ ඇගේ ඉගෙන්වීම් නිසාවෙන්. ඇය විශ්ව විද්‍යාලයේ දී ඉගැන්වීම් කටයුතු කලේ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ප්ලෝටිනස් හා පයිතගරස් නම් දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් මුල් කරගෙන යි.

ඇය ගණිතය ඉගැන්වීමේ දී අංක ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව හා සංගීතය යන කොටස් හතර ප්‍රයෝජනයට ගත්තා. එහි දී මේවා අතර ඇති සම්බන්ධතාවය සෙවීමට ඇය උත්සහ ගත්තා. ඇය ගණිතය ඉගෙනගත්තේ ඇති කුතුහලය නිසාම නොවේ. ඇය විශ්වාස කලා අංක යනු විශ්වයේ පවතින පූජනීය භාෂාව කියා. තාරකා විද්‍යාව පිලිබඳ දැනුමත් ගණිතය පිළිබඳ දැනුමත් මේ සඳහා ඇයට ඉවහල් වුනා.

හිපේෂියාගේ කාලයේ රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම වූයේ කතෝලික දහම යි. එම දහම අදහන්නේ නැති අයව හැදින්වූයේ පේගන්වරු ලෙසයි. හිපේෂියාත් එම සමාජයේ කතෝලිකයෝ සැලකුවේ පේගන්වරියන් ලෙසයි. නමුත් හිපේෂියා කතෝලික ආගමට පෙර රෝමයේ පැවති කිසිදු ආගමක් හෝ දෙවි කෙනෙක් ඇදහූ අයෙක් නොවේ. ඇයට නිශ්චිත ආගමක් තිබුනේ නැත. ඒ වෙනුවට ඇය කලේ තමන්ට හැකි ආකාරයට විවිධ ආගම් ඉගෙනගෙන ප්‍රශ්න හා ගැටලු දෙස ඒ ඒ ආගම් තුලින් බලා විමසීමයි.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම හෝ වෙනයම් ආගමක් අදහන්නේ නැති කෙනෙක් වූ නිසා රෝම අධිරාජ්‍ය කෙලවරේ සිට පවා තරුන තරුණියෝ මෙන්ම වැඩිහිටියෝ හිපේෂියාගේ ගුරුහරුකම් ලබා ගැනීමට ඇලෙක්සැන්ඩ්‍රියාවට පැමිණීමට පටන් ගත්තා. එසේ ඉගෙන ගැනීමට තම ආගම නිසා ඉගෙනීමට බාධා වූ අය බොහෝ සිටියා. මේ සියලුම දෙනාම හිපේෂියා බාරගත්තේ ඉතාමත් ලෙන්ගතුකමකින්.

මේ අතර එකල සිටි සිරල් නම් ආර්ච් බිෂොප්වරයා ට ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි පේගන්වරු ඉවත් කිරීමට අවශ්‍යතාවයක් පැන නැගුනා. මේ සඳහා ඔහු එකල කතෝලික පූජකයන් තුලින් කැරලි ඇතිකල අතර එම ආගම අදහන්නේ නැති බොහෝ දෙනෙක්ට ඒ තුලින් කරදර විඳීමට සිදුවූ අතර ඔවුන්ගේ පූජා ස්ථාන විනාශ කිරීමටත් කටයුතු කලා.

මේ කටයුත්තේ දී නීත්‍යානුකූල අයිතියක් ලබා ගැනීම සඳහා ආර්ච් බිෂොප්වරයා එකල ආණ්ඩුකාරවරයා වූ එරස්ටීස්ගේන් අවසර පැතුවා. එරස්ටීන් මෙම ඉල්ලීමට එකවර කැමති වූයේ නැහැ. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ වඩාත් දැනුමැති තැනැත්තා ලෙසින් ප්‍රකට වූ හිපේෂියා හමු වී මේ සඳහා කුමක් කල යුතු දැයි විමසුවා. එහි දී හිපේෂියා පැන නැගී ඇති ගැටලුවේ ස්වභාවය ආණ්ඩුකාරවරයාට කියා දුන් අතර ගන්නා තීන්දු තීරණ සාධාරණව අරගන්නා ලෙසත් පැවසුවා.

මෙම උපදෙස් ලැබීමෙන් පසු ආණ්ඩුකාරවරයා මෙම පේගන්වරු මර්ධනයට නීත්‍යානුකූල අවසරය බිෂොප්වරයාට ලබා දුන්නේ නැහැ. මර්ධනය වෙනුවට පේගන්වරුන්ට ආරක්ෂාව ආණ්ඩුකාරවරයා ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා තත්ත්වය තවත් දරුණු අතට හැරුනා. කෙතරම් දරුණු වූවා ද කිවහොත් ඇතිවූ ගැටුමකින් ආණ්ඩුකාරවරයාගේ පක්ෂයෙන් කැරලිකරුවන්ගේ නායකයා ඝාතනයට පවා ලක්වෙනවා. මෙම ඝාතනයට බිෂොප්වරයා චෝදනා කරන්නේ හිපේෂියා ට. එමෙන් ම ඇය ඉගැන්වූ ගණිතය හා තාරකා විද්‍යාව නිසා ඇයව මායාකාරියක් ලෙසින් හංවඩු ගසනවා.

දිනක් හිපේෂියා ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහ පාරේ තම අශ්ව කරත්තයේ ගමන් කරමින් සිටි විට කැරලි කරුවන් ඇයව වට කර ඉතා ක්‍රෑර ලෙස ඝාතනය කරනු ලබනවා. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 60ක්.

හිපේෂියාගේ ඝාතනය ඇලෙක්සැන්ඩ්‍රියාවේ මෙන් ම රෝම අධිරාජ්‍ය තුල අධ්‍යාපනය වෙනස් කිරීමට සමත් වෙනවා. එකල බොහෝ විද්‍යාර්ථීන් සිටියේ ඇලෙක්සැන්ඩ්‍රියාව තුලයි. නමුත් දැන් ඔවුන්ගේ නායිකාව දරුණු ලෙස ඝාතනය වී ඇත. මේ නිසා ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි ගුරුවරු ඇතුලු බොහෝ විද්‍යාර්ථීන් ඇලෙක්සැන්ඩ්‍රියාව අතහැර වෙනත් දේශයන් කරා සංක්‍රමණය වීමට පටන් ගත්තා. විවිධ ආගම් අදහන විවිධ ජාතීන්ට හිපේෂියා යටතේ ආරක්ෂාව පැවතුනත් දැන් ඇය ජීවතුන් අතර නැහැ. ඒ නිසා එම එම පුද්ගලයෝ ඉගෙනගැනීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියාව අතහැර යෑමට පටන් ගත්තා.

හිපේෂියාගේ ක්‍රෑර ඝාතනයෙන් පසු ඇලෙක්සැන්ඩ්‍රියාව දැනුමේ කේන්ද්‍රස්ථානය ලෙස පැවතීමත් මිය ගියා.



Wednesday, August 18, 2021

වංකගිරියක සිර වූ මිනටෝර්


මිත්‍යාවක් හා විද්‍යාවක් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. නමුත් ලෝකයේ විවිධ ශිෂ්ටාචාර වල මිත්‍යා කතා හොදින් කියෙව්වොතින් බොහෝ මිත්‍යා කතා සහ විද්‍යාව අතර සම්බන්ධතාවයක් දැකගන්න පුලුවන්.

මම හරිම කැමතියි ග්‍රීක ශිෂ්ටාචාරයේ කතා වලට. මිත්‍යා කතාවලට අනුව ග්‍රීසියේ ක්‍රීටය නම් වූ පුර රාජ්‍යයේ හිටියා ‘ඩෙඩලස්’ නම් අති දක්ෂ නිමැවුම්කරුවෙක්. වර්තමාන ව්‍යවහාරයේ නම් ඉංජිනේරුවෙක් කියලා කියතැහැකි. ක්‍රීටයේ රජතුමා වුනු ‘මීනෝස්’ දවසක් ඩෙඩලස් හමුවෙලා ඔහුට නියෝග කරනවා ක්‍රීටයේ පොළොව යට වංකගිරියක් හදන්න කියලා. ඔයාලා වංකගිරි ගැන අහලා ඇතිනේ. ඇතුල් වුනාට පස්සේ නැවත එළියට එන්න පාර හොයා ගන්න බැරි නිර්මාණයට තමා වංකගිරිය කියන්නේ.

ඩෙඩලස්, රජතුමාගේ නියෝගය ඉෂ්ට කරනවා. ක්‍රීටයේ පොළොව යට අති විශාල වංකගිරියක් නිර්මාණය කරන්න ඩෙඩලස්ට හැකියාව ලැබෙනවා. මේ වංකගිරිය නිර්මාණය කරන්නේ දරුණු සත්වයෙක්ව සිර කරන්න. සත්වයාගේ නම ‘මිනටෝර්’. මිනටෝර් අර්ධ මිනිස් සිරුරක් හා ගවයෙක්ගේ හිසක් සහිත දරුණු සත්වයෙක්. මේ සත්වයා පොළොව යට වංකගිරියක ඉන්න නිසා එළියට ඇවිදින් මිනිස්සුන්ට හානියක් කරන්න බැහැ. නමුත් මේ සත්වයා කෑ ගහනකොට මුලු ක්‍රීටයම හෙල්ලෙන්න පටන් ගන්නවා. ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. මුහුද ගොඩ ගලනවා. පොළොව දෙදරන්න පටන් ගන්නවා. මේ නිසා මිනටෝර් සත්වයා කෑ ගහනකොට ක්‍රීටයේ මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් මිය යනවා.

වර්තමානගේ බොහෝ චිත්‍රපට වලට මේ මිනටෝර් සත්වයා භාවිතා කරලා තියෙනවා. බැලූ බැල්මට ම කෙනෙක්ට තේරෙනවා මෙහෙම සත්වයෙක් ඇත්තට ම නැති විත්තිය. නමුත් අතීතයේ මිනිස්සු මිත්‍යා කතාවක මේ වගේ සත්වයෙක්ව නිර්මාණය කලේ ඇයි?

අතීතයේ මිනිස්සු සංචාරක ජීවිතයක් ගත කරනකොට රාත්‍රියේ දී ගිනි මැලයක් අසල රැස්වෙලා තමන්ගේ දවස ගැන කතා බහ කරනවා. ඒ කතා බස් වල දී තමන්ට තේරුම් බේරුම් කරගන්න තරම් දැනුමක් නැති සිදුවීම් ඔස්සේ කතාවක් ගොතන්න පටන් ගන්නවා. අසාමාන්‍ය විදිහට මුහුද චණ්ඩ වෙනකොට මුහුද පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වා. අධික රස්නයක් ලබා දෙන්නේ හිරු දෙවියා කියලා සමහරු කිව්වා. උදේට ඉර එක තැනකින් පටන් අරගෙන සවස් යාමයේ දී තවත් පැත්තකින් ගිලෙනකොට අපි ඉන්නේ පැතලි ලෝකයක කියලා තවත් සමහරු කිව්වා. මෙහෙම අදහස් නිර්මාණය වීම ගැන අපිට කාටවත් වරදක් පටවන්න බැහැ. ඒ මිනිස්සුන්ට තමන් අවට වෙන දේවල් තේරුම් ගන්න බැරි නිසා තේරුම් ගන්න හැකි ආකාරයට කතන්දරයක් ගෙතුවා.

ක්‍රීටයේ පොළොව යට හිටියා යි කියන මිනටෝර් සත්වයාගේ කතාවත් ඒ වගේ. ග්‍රීක ඉතිහාසයේ මිත්‍යා කතා අඩංගු පැරණිතම ලේඛන වල මේ මිනටෝර් සත්වයාගේ රූපය ගැන සඳහනක් නැහැ. ඒ වෙනුවට සත්වයා පොළොව යට ඉඳන් කෑ ගහනකොට පොළොව උඩ වෙන විනාශය ගැන සඳහන් වෙනවා.

පෘථිවිය මත භූ තැටි තියෙනවා. මේ භූ තැටි නිතර චලනය වෙමින් තියෙන්නේ. මේ චලනය නිසා තමයි වසර මිලියන ගණනාවකට උඩ දී ලෝක සිතියම වර්තමාන ලෝක සිතියමින් බෙහෙවින් ම වෙනස් වෙන්නේ. මේ භූ තැටි දෙකක් අතර ප්‍රදේශ නිරන්තරයෙන් භූමි කම්පා වලට ලක් වෙනවා. ඒ භූ තැටි දෙක එකට ගැටෙන නිසා. ක්‍රීටය කියන්නේ දූපතක්. මේ ක්‍රීට දූපත පිහිටන්නේ ඒජියන් සහ නුබියන් භූ තැටි දෙක අතරමැද. සාමාන්‍යයෙන් භූ තැටි දෙකක් අතර තෙරපීමේ දී ඇතිවෙන භූමි කම්පා වලට වඩා ක්‍රීට දූපතේ භූ තැටි චලනයෙන් ඇති වන භූමි කම්පා භයානකයි. මේකට හේතු වෙන්නේ නුබියන් භූ තැටිය අප්‍රිකා මහද්වීපයට සම්බන්ධ වෙලා තියෙන නිසා.

2014 වසරේ දී ක්‍රීටයේ රිච්ටර් පරිමාණයේ ඒකක 2ට වඩා වැඩි භූමි කම්පා 1,300කට අධික ප්‍රමාණයක් හටගෙන තියෙනවා. මධ්‍යධරණී මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ භූමි කම්පා වලින් මුහුද ගොඩ ගැලීම සිදු වෙනවා වගේ ම ක්‍රීටය භූගෝලීයවත් වෙනස් වෙනවා. මීනොස් රජතුමාගේ කාලයේ ක්‍රීටයේ භූමි කම්පා ගැන අද වගේ දත්ත වාර්තා හොයාගන්න නැතත් ක්‍රීටයේ ඈත අතීතයේ පටන් ම භූගෝලීයව වෙනස් වූ බවට සාධක තියෙනවා. සමහර කාල වල දී ක්‍රීටය එකවර අඩි තිහකින් එසවී තිබෙනවා. එසේ වන්නේ පෙර කී ආකාරයේ භූ තැටි ගැටීමේ දී.

අතීතයේ ග්‍රීසියේ හිටපු මිනිස්සුන්ට ක්‍රීටයේ නිතර සිදුවෙන භූමි කම්පා සිදුවෙන්නේ කොහොමද කියලා පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. ඒ නිසා පොළොව යට ‘මිනටෝර්’ නමින් සත්වයෙක් සිටින බවට කතාවක් ගෙතුනා. කාලයත් සමඟ ග්‍රීක පරම්පරා තුලින් මිනටෝර් සත්වයාගේ කතාව පෝෂණය කලේ ඒ සත්වයා සම්බන්ධ තවත් කතා ගොතමින්.


භූමිකම්පාවක් ගිය දුරක්!