මිත්‍යාවක් හා විද්‍යාවක් අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. නමුත් ලෝකයේ විවිධ ශිෂ්ටාචාර වල මිත්‍යා කතා හොදින් කියෙව්වොතින් බොහෝ මිත්‍යා කතා සහ විද්‍යාව අතර සම්බන්ධතාවයක් දැකගන්න පුලුවන්.
මම හරිම කැමතියි ග්‍රීක ශිෂ්ටාචාරයේ කතා වලට. මිත්‍යා කතාවලට අනුව ග්‍රීසියේ ක්‍රීටය නම් වූ පුර රාජ්‍යයේ හිටියා ‘ඩෙඩලස්’ නම් අති දක්ෂ නිමැවුම්කරුවෙක්. වර්තමාන ව්‍යවහාරයේ නම් ඉංජිනේරුවෙක් කියලා කියතැහැකි. ක්‍රීටයේ රජතුමා වුනු ‘මීනෝස්’ දවසක් ඩෙඩලස් හමුවෙලා ඔහුට නියෝග කරනවා ක්‍රීටයේ පොළොව යට වංකගිරියක් හදන්න කියලා. ඔයාලා වංකගිරි ගැන අහලා ඇතිනේ. ඇතුල් වුනාට පස්සේ නැවත එළියට එන්න පාර හොයා ගන්න බැරි නිර්මාණයට තමා වංකගිරිය කියන්නේ.
ඩෙඩලස්, රජතුමාගේ නියෝගය ඉෂ්ට කරනවා. ක්‍රීටයේ පොළොව යට අති විශාල වංකගිරියක් නිර්මාණය කරන්න ඩෙඩලස්ට හැකියාව ලැබෙනවා. මේ වංකගිරිය නිර්මාණය කරන්නේ දරුණු සත්වයෙක්ව සිර කරන්න. සත්වයාගේ නම ‘මිනටෝර්’. මිනටෝර් අර්ධ මිනිස් සිරුරක් හා ගවයෙක්ගේ හිසක් සහිත දරුණු සත්වයෙක්. මේ සත්වයා පොළොව යට වංකගිරියක ඉන්න නිසා එළියට ඇවිදින් මිනිස්සුන්ට හානියක් කරන්න බැහැ. නමුත් මේ සත්වයා කෑ ගහනකොට මුලු ක්‍රීටයම හෙල්ලෙන්න පටන් ගන්නවා. ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. මුහුද ගොඩ ගලනවා. පොළොව දෙදරන්න පටන් ගන්නවා. මේ නිසා මිනටෝර් සත්වයා කෑ ගහනකොට ක්‍රීටයේ මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් මිය යනවා.
වර්තමානගේ බොහෝ චිත්‍රපට වලට මේ මිනටෝර් සත්වයා භාවිතා කරලා තියෙනවා. බැලූ බැල්මට ම කෙනෙක්ට තේරෙනවා මෙහෙම සත්වයෙක් ඇත්තට ම නැති විත්තිය. නමුත් අතීතයේ මිනිස්සු මිත්‍යා කතාවක මේ වගේ සත්වයෙක්ව නිර්මාණය කලේ ඇයි?
අතීතයේ මිනිස්සු සංචාරක ජීවිතයක් ගත කරනකොට රාත්‍රියේ දී ගිනි මැලයක් අසල රැස්වෙලා තමන්ගේ දවස ගැන කතා බහ කරනවා. ඒ කතා බස් වල දී තමන්ට තේරුම් බේරුම් කරගන්න තරම් දැනුමක් නැති සිදුවීම් ඔස්සේ කතාවක් ගොතන්න පටන් ගන්නවා. අසාමාන්‍ය විදිහට මුහුද චණ්ඩ වෙනකොට මුහුද පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා කිව්වා. අධික රස්නයක් ලබා දෙන්නේ හිරු දෙවියා කියලා සමහරු කිව්වා. උදේට ඉර එක තැනකින් පටන් අරගෙන සවස් යාමයේ දී තවත් පැත්තකින් ගිලෙනකොට අපි ඉන්නේ පැතලි ලෝකයක කියලා තවත් සමහරු කිව්වා. මෙහෙම අදහස් නිර්මාණය වීම ගැන අපිට කාටවත් වරදක් පටවන්න බැහැ. ඒ මිනිස්සුන්ට තමන් අවට වෙන දේවල් තේරුම් ගන්න බැරි නිසා තේරුම් ගන්න හැකි ආකාරයට කතන්දරයක් ගෙතුවා.
ක්‍රීටයේ පොළොව යට හිටියා යි කියන මිනටෝර් සත්වයාගේ කතාවත් ඒ වගේ. ග්‍රීක ඉතිහාසයේ මිත්‍යා කතා අඩංගු පැරණිතම ලේඛන වල මේ මිනටෝර් සත්වයාගේ රූපය ගැන සඳහනක් නැහැ. ඒ වෙනුවට සත්වයා පොළොව යට ඉඳන් කෑ ගහනකොට පොළොව උඩ වෙන විනාශය ගැන සඳහන් වෙනවා.
පෘථිවිය මත භූ තැටි තියෙනවා. මේ භූ තැටි නිතර චලනය වෙමින් තියෙන්නේ. මේ චලනය නිසා තමයි වසර මිලියන ගණනාවකට උඩ දී ලෝක සිතියම වර්තමාන ලෝක සිතියමින් බෙහෙවින් ම වෙනස් වෙන්නේ. මේ භූ තැටි දෙකක් අතර ප්‍රදේශ නිරන්තරයෙන් භූමි කම්පා වලට ලක් වෙනවා. ඒ භූ තැටි දෙක එකට ගැටෙන නිසා. ක්‍රීටය කියන්නේ දූපතක්. මේ ක්‍රීට දූපත පිහිටන්නේ ඒජියන් සහ නුබියන් භූ තැටි දෙක අතරමැද. සාමාන්‍යයෙන් භූ තැටි දෙකක් අතර තෙරපීමේ දී ඇතිවෙන භූමි කම්පා වලට වඩා ක්‍රීට දූපතේ භූ තැටි චලනයෙන් ඇති වන භූමි කම්පා භයානකයි. මේකට හේතු වෙන්නේ නුබියන් භූ තැටිය අප්‍රිකා මහද්වීපයට සම්බන්ධ වෙලා තියෙන නිසා.
2014 වසරේ දී ක්‍රීටයේ රිච්ටර් පරිමාණයේ ඒකක 2ට වඩා වැඩි භූමි කම්පා 1,300කට අධික ප්‍රමාණයක් හටගෙන තියෙනවා. මධ්‍යධරණී මුහුදෙන් වට වෙලා තියෙන නිසා මේ භූමි කම්පා වලින් මුහුද ගොඩ ගැලීම සිදු වෙනවා වගේ ම ක්‍රීටය භූගෝලීයවත් වෙනස් වෙනවා. මීනොස් රජතුමාගේ කාලයේ ක්‍රීටයේ භූමි කම්පා ගැන අද වගේ දත්ත වාර්තා හොයාගන්න නැතත් ක්‍රීටයේ ඈත අතීතයේ පටන් ම භූගෝලීයව වෙනස් වූ බවට සාධක තියෙනවා. සමහර කාල වල දී ක්‍රීටය එකවර අඩි තිහකින් එසවී තිබෙනවා. එසේ වන්නේ පෙර කී ආකාරයේ භූ තැටි ගැටීමේ දී.
අතීතයේ ග්‍රීසියේ හිටපු මිනිස්සුන්ට ක්‍රීටයේ නිතර සිදුවෙන භූමි කම්පා සිදුවෙන්නේ කොහොමද කියලා පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. ඒ නිසා පොළොව යට ‘මිනටෝර්’ නමින් සත්වයෙක් සිටින බවට කතාවක් ගෙතුනා. කාලයත් සමඟ ග්‍රීක පරම්පරා තුලින් මිනටෝර් සත්වයාගේ කතාව පෝෂණය කලේ ඒ සත්වයා සම්බන්ධ තවත් කතා ගොතමින්.
භූමිකම්පාවක් ගිය දුරක්!
මිතිල මේ නිර්මාණ ශිල්පියාමද පුතාත් එක්ක අත්තටු හදාගෙන පැනලා යන්න ගියේ?
ReplyDeleteස්තුතියි මේවා ලියනවාට. මාත් ග්‍රීක පුරාණෝක්තිවලට හරිම ආසයි!
දැන් මතක් වුණා. පුතාගෙ නම ඉකාරස්...
Deletehttps://www.goodreads.com/book/show/39359728-the-king-must-die
ReplyDeletehttps://www.goodreads.com/book/show/248632.The_Bull_from_the_Sea
ඔය නවකථා දෙකේ තියෙන්නෙ තීසියස්ගෙ කතාව.
ඒකෙත් ඔය භූමිකම්පා තියරි එක ඇතුලත්