Wednesday, July 28, 2021

සක් දෙවිඳුගේ අඳෝනව (කෙටි කතාව)


අපේ ගමේ පැරණිතම වෙළඳසැල හිමිව තිබුනේ පිට ගමකින් පැමිණි මදාන් නම් වූ මුදලාලි හට යි. ඔහු ගමේ සිටි පොහොසත් ම ව්‍යාපාරිකයා විය. ඔහුගේ වෙළඳසැලේ තිබෙන සමහර බඩු බාහිරාදිය අහල ගම් හතකවත් දක්නට ලැබුනේ නැත. මේ නිසා ඔහු ඒවා අධික මිලකට ලකුණු කළේ ය. භාණ්ඩ අධික මිලකින් යුක්ත වූවත් ගමේ උදවියට මදාන්ගේ වෙළඳසැලෙන් එම භාණ්ඩ මිලදී ගන්නවා විනා වෙන තැනකින් ඒවා ගන්නට තැනක් තිබුනේ නැත. එම නිසා ඔහු දිනෙන් දින පොහොසත් විය.

ඔහු තම වෙලඳසැලේ විදේශීය භාණ්ඩ විකිණීමට පටන් ගත්තේ මුල් කාලයේ පටන්ම ය. ඔහුගේ නෑදෑ හිතවතුන් බොහොමයක් විදේශගතව සිටින බැවින් ඔවුන් ලවා විදේශීය භාණ්ඩ බොහොමයක් ලංකාවට ගෙන්වා ගත්තේ කුණු කොල්ලයට ය. ඉන්පසු මදාන් ඒවා රන් මෙන් විකුණ යි. ඔහු මෙම භාණ්ඩ වලින් අසාධාරණ ලාභයක් අත්කරගන්නා බව ගමේ ඈයෝ නොදන්නවා නොවේ. නමුත් ඔවුන්ට ඒ සදහා කරන්නට දෙයක් නැත.

කාලයක් ගත වූ පසු මදාන් හදිසියේ රෝගාතුර විය. එසේ රෝගාතුර වී සුමාන තුන හතරකින් ඔහු මළේ ය. මළගෙදරත් ජයටම සිදු විය. මළගෙදරින් පසු ඔහුගේ නිවස අස් පස් කරමින් සිටි අතරතුර මදාන්ගේ දිනපොතක් හමුවිය. මදාන් ව්‍යාපාරිකයෙක් නිසා ඔහු සෑම දෙයක් ම ලියා තබා ගැනීම සිරිතක් කොට ගත් අයෙකි. මෙම දිනපොතේ එක් තැනක මෙසේ සදහන් වී තිබුණි.

‘මේ සතියේ මගේ ලාභය රුපියල් විසි දාහයි. මේ හැම සල්ලියක් ම බැංකුවේ දාන්නත් බැහැ. මෙච්චර හම්බකරලා අන්තිමට මට ආදායම් බදු ගෙවන්න උනොත්. ඇරත් ගෙදර මිනිස්සු මම මෙච්චර හම්බකරනවා කියලා දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ. අරවා ගමු; මේවා ගමු කියලා සල්ලි ටික ඉවර වෙනකන් මතුරන්න ගනියි. ඒ නිසා මේ සල්ලි මම ගෙදර හංගනවා.’

සුමාන දෙක තුනකින් පසු දිනපොතේ මෙසේ සටහන් විය.

‘මම හංගපු සල්ලි වලින් රුපියල් දහදාහක් නැති වෙලා තියෙනවා. මම මේ සල්ලි හංගන බවක් කාටවත් කිව්වේ නෑ. අනිවාර්යෙන් මගේ ගෑනි මේ සල්ලි අරගන්න ඇත්තේ. ගිය සතියේ අලුත් සාරියක් අරන් ඕනේ කිව්වම මම බෑ කිව්වනේ. ඒකටත් එක්ක තරහෙන් ගන්න ඇත්තේ. එක්කෝ ගෙදර වැඩකාරයෝ ගත්තා වෙන්න බැරි නෑ. මට ඔය මිනිස්සුන්ව නම් සතේකට විශ්වාසයක් නෑ. අපේ ගෙදර අවුරුදු නමයක් තිස්සේ වැඩ කරන සිරිදාසව වත් මට විශ්වාස නෑ. මගේ ලොකු ළමයි දෙන්නත් විනෝද ගමනක් යන්න කියලා සල්ලි ඉල්ල ඉල්ල හිටියා. උන් දෙන්න ගත්තා වෙන්නත් පුලුවන්’

තවත් දින දෙකකින් පසු මදාන්ගේ දිනපොතේ කලබල අකුරින් මෙසේ සටහන් විය.

‘ඕකා තමා ගන්න ඇත්තේ. තව ටිකක් ගැහුවා නම් සිරිදාස ගත්තු සල්ලි නිකන්ම වමාරන්න තිබ්බා. කොහෙද අපේ ගෙදර එවුන් මට ගහන්න දුන්නේ නෑනේ. මම සිරිදාසව රස්සාවෙන් අස් කරා.’

සුමානයක් ගත විය. මදාන්ගේ දිනපොතේ මදාන් මෙම සොරකම ගැන ඊළඟට සිදු කිරීමට යන දේ ගැන එහි සදහන් විය.

‘මම යනවා සාස්තරයක් අහන්න. හොද ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා කියලා මට ආරංචි වුනා. ටිකක් දුර වුනාට මම යනවා එයාගෙන් සාස්තරයක් අහගන්න.’

මදාන් රුපියල් පන්දහසක් ගෙවාගෙන වාහනයක් ගෙන දුර බැහැර සිටි සාස්තර ගුරුන්නාන්සේ හමුවට ගියේ ය. එහි දී ගුරුන්නන්සේ දේවාරූඩ වී මදාන් හට සිදු වී ඇති දේ පවසා සිටියේ ය.

“රුපියල් දහදාහා නැතිවෙලා තියෙන්නේ පහුගිය මාසේ පෝය දවසට කලින් දවසේ.” දේවාරූඩ වූ ගුරුන්නාන්සේ කියා සිටියේ ය.

“ඔය දහදාහා නැති වුන දවසේ සුර ලෝකයේත් ලොකු කැලඹීමක් වෙලා තියෙනවා.”

“මොකක්ද ගුරුන්නාන්සේ වෙලා තියෙන්නේ?” මදාන් අත් දෙක වැඳ ගනිමින් කියා සිටියේ ය. ගුරුන්නාන්සේ සිදුවී ඇති දේ විස්තර කළේ ය.

පොහොය දිනයේ දී සක්‍ර දේවේන්ද්‍රයාගේ හිතවතෙක් වූ විශ්ණු දේව රාජයා සක්‍රයා හමුවට ඔහුගේ වාස භවනට ගියේ ය. එහි යන විටත් එහි වූ සේවිකාවන් පවසුවේ සක්‍රයා දිනකින් තම නිවසින් බහැරට නොගිය බවයි. විශ්ණු එහි යන විට සක්‍රයා ඇඳ මත එක් පැත්තකට ඇලවෙමින් වැතිරී උන්නේ ය.

“ඔයා දවස තිස්සෙම මේ වාස භවනෙන් එළියට ආවේ නැහැ කියන්නේ ඇයි? ඔයා බොහොම වේදනාවකින් වගේ ඉන්නේ” විශ්ණු ඇඳේ වැතිරී සිටි සක්‍රයාගෙන් අසා සිටියේ ය.

“බලන්නකෝ මට වෙච්ච දේ. මගේ පශ්චාත් භාගය හොදටම පිච්චිලා.” සක්‍රයා දුක්මුසු මුහුණින් කියා සිටියේ ය. සක්‍රයාගේ අසුන හදුන්වන්නේ පඬුපුල් අසුන ලෙසයි. පෘතුවියේ සිටින මිනිසුන් වැරදි ක්‍රියා වල නිරත වන විට සක්‍රයාගේ මෙම පඬුපුල් අසුන රත් වේ. එවිට සක්‍රයාට එහි අසුන් ගෙන සිටිය නොහැකි යි. පඬුපුල් අසුනේ රස්නය නිවීමට නම් වැරදි කල වුන්ට සක්‍රයා දඬුවම් ලබා දිය යුතු වේ.

“පහුගිය කාලෙම මට හරියට මගේ ආසනේ ඉඳගෙන්න ඉන්න ලැබුනේ නැහැ. මගේ ආසනේ හොදටම රත් වෙලා.”

“ඉතින් ඔයාට තියෙන්නේ වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්න නේ. ඕක මහ දෙයක් ද?” විශ්ණු තම මිත්‍රයාගෙන් අසා සිටියේ ය.

“මේ අපි ආරක්ෂා කරන්න පොරොන්දු වෙච්ච ලංකාවේ මිනිස්සු. මේ වැරදි කරන මිනිස්සු ම මට උදේ හවා පූජා වතාවත් කරනවා. එහෙව් එකේ මම කොහොම ද ඒ මිනිස්සුන්ට ම දඬුවම් කරන්නේ? ඒ නිසයි මගේ පශ්චාත් භාගය පිච්චෙනකන් ම මම ඉවසගෙන හිටියේ. ඒ විතරක් යැ; හින්දු ආගමිකයාට, ක්‍රිස්තියානි ආගමිකයාට විතරක් දඬුවම් දෙන්න ගත්තොත් සුළු ජාතීන්ට විතරක් දඬුවම් කරනවා කියලා මට බනීවි. ඕවා අහන් ඉන්න පුලුවන් කතා ද?” සක්‍රයා තම දුක විශ්ණු හට කියා සිටියේ ය.

“මගේ පුටුව රත්කරන්න සෑහෙන කාලෙක ඉදන් දායක වෙච්ච කෙනෙක් ඉන්නවා මදාන් කියලා. එයා පිටරට ඉන්න නාදෑයෝ සහ හිතවතුන්ගෙන් කුණු කොල්ලෙට භාණ්ඩ ගෙන්නගෙන ගමේ මිනිස්සුන්ට අසාධාරණ ලාභයක් තියාගෙන විකුණනවා. සමහර ඒවා මේ මදාන්ට ලැබෙන්නේ නොමිලේ. ලංකාවේ ඉන්න අසරණ දුප්පත් අයට පිහිට වෙන්න කියලා පිටරට එකතු කරගන්න ආධාරත් එවනවා මේ මදාන්ට. අසරණ මිනිස්සුන්ට නොමිලේ බෙදන්න තියෙන එකත් ලොකු මුදලකට විකුණලා ලාභ ගන්නවා.” සක්‍රයා තවදුරටත් කියා සිටියේ ය.

“මේක කවදාහරි නවතින්න එපැයි. අපි ලංකාවේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පොරොන්දු වුනේ ඒ මිනිස්සු යහපත් ජීවිතයක් ගත කරනකන් විතරයි. යහපත් ජීවිතයෙන් බහැර වුනොත් අපි අනිවාර්යෙන්ම දඬුවම් කරන්න ඕනේ. අපිට දවස ගානේ පූජා කරන අයට පවා.” විශ්ණු සක්‍රයා අස්වසමින් උපදෙස් දුන්නේ ය.

මේ අතර දේවාරූඩව සිදු වී අති දෙය විස්තර කල ගුරුන්නාන්සේ දේවාරූඩය එකවර සිරුරෙන් ඉවත්ව ගියේ ය. ඉන්පසු සිදු වී ඇත්තේ කුමක් දැයි ගුරුන්නාන්සේ මදාන්ගෙන් නැවත අසා සිටියේ ය. පුපුරන්න තිබෙන බෝම්බයක් මෙන් බලාගෙන සිටි ගුරුන්නාන්සේ මදාන් තම කතාව කියූ විගස “බැහපිය දොට්ට” කියමින් මදාන්ගේ කන හරහා පහරක් ගසා සිටියේ ය.

එදින රාත්‍රියේ මදාන්ගේ දිනපොතෙ හි මෙසේ සටහන් විය.

‘අද ගුරුන්නාන්සේ හමුවෙලා ආපු වෙලාවේ ඉදන් හොදටම අඟපතට මහන්සියි. ඇඟත් රත් වෙලා. උණ වගේ.’

[මෙම කෙටි කතාව ප්‍රබන්ධයකි.]



4 comments: