Sunday, July 25, 2021

ෆෙන්සිං


මේ දවස්වල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන නිසා සමහරවිට මම වගේ ඔයාලත් ඒ ඒ තරඟ නරඹනවා ඇති කියලා හිතනවා. මේ තරඟ අතරේ ලාංකිකයන්ට එක් නුහුරු තරඟයක් තියෙනවා. ඒ තමයි ෆෙන්සිං. සරලව ගත්තොත් කඩු ෆයිට්. මැන්ඩියට ඉන්න දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක් ඉස්සරහට එනවා. අනිකා පස්සට යනවා. පොඩි තට්ටුවක් දාපු හැටියේ ලයිට් එකක් පත්තු වෙනවා. චිත්‍රපට වල තියෙනවා වගේ මරාගන්න විදිහට කඩු ෆයිට් එක වෙන්නේ නැති නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේ තරඟය තරමක් නුහුරුයි.

ඔය ෆෙන්සිං ක්‍රීඩාව ලංකාවට හදුන්වාදෙන්නේ 2008 වගේ මෑත කාලයේ. ලංකාවට මෑත කාලයේ හදුන්වලා දුන්නට ඔලිම්පික් තරඟවල පැරණිතම තරඟ පහෙන් එකක් තමා ඔය ෆෙන්සිං කියන්නේ. මුල් කාලයේ මේ ක්‍රීඩාව පැවතුනේ ක්‍රීඩා සමාජ වල විතරයි. පාසලක මේ ක්‍රීඩාව පලමුවෙන් ම පටන් ගන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. මේ ක්‍රීඩාව හදුන්වලා දෙනකොට මම ඒ පාසලේ උසස් පෙළ කරපු සිසුවෙක්. අපිට දැනගන්න ලැබුනා ඉස්කෝලේ ඉවර වුනාට පස්සේ අලුත් ක්‍රීඩාවක් හදුන්වාදීමේ වැඩසටහනක් ඉස්කෝලේ ජිම් එකේ තියෙනවා කියලා. ඉතින් අපිත් ගියා බලන්න.

එතනදි තමා මම පලවෙනි වතාවට දෙන්නෙක් ෆෙන්සිං කරනවා සජීවීව දැක්කේ. වඩසටහන අවසන් වුනාට පස්සේ කිව්වා මේ ක්‍රීඩාවට කැමති අය නම් ලබාදෙන්න කියලා. ඒ වෙනකොට මම ක්‍රීඩා කිහිපයක් ම කරා. චෙස්, රයිෆල් ෂූටිං (වෙඩි තැබීම) සහ ආචරි (දුන්නෙන් විදීම). නමුත් මේ අලුත් ක්‍රීඩාවත් කරලා බලන්න ඕනේ කියලා හිතුන නිසා මම ෆෙන්සිං වලට බැඳුනා. ගෙදර ආවට පස්සේ අම්මා ඇහුවා යුද්ධෙටවත් යන්න හිතන් ඉන්නවද කියලා. 

මේ ක්‍රීඩාවෙදී කඩු වර්ග තුනක් තියෙනවා. අපි තෝරගන්න කඩු වර්ගය අනුව තමා දිගටම සෙල්ලම් කරන්න වෙන්නේ. තරඟාවලියක් වුනත් තියන්නේ ඒ ඒ කඩු වර්ග අනුව. තරඟයක් සිදු වෙන්නේ එකම කඩු වර්ගය තියෙන දෙන්නෙක් අතර. ෆොයිල්, එපී සහ සේබර් තමා කඩු වර්ග තුන. ඒ ඒ කඩුව අනුව තරඟයේ නීති වෙනස්. මේ කඩු වර්ග තුන අල්ලන විදිහ වුනත් එකිනෙක වෙනස්.

ෆොයිල් කඩුවට ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුව කෙරවලේ පොඩි බොත්තමක් තියෙනවා. ඒ බොත්තම ග්‍රෑම් 5ක විතර ස්කන්ධයකට එබෙනවා. ෆොයිල් කඩුවෙදී පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ සහ බෙල්ලෙන් පහල කොටසට විතරයි. පහර දෙනකොට කඩුවේ පැත්තක් වදින්න බැහැ. අර කිව්ව බොත්තම එබෙන්න ඕනේ. මොකද කඩුවට සම්බන්ධ කරපු වයර් එකක් අපේ අත දිගේ යනවා. ඒක සම්බන්ධ වෙනවා ලකුණු පුවරුවට.බොත්තම එබුන හැටියේ ලයිට් එකක් දැල්වෙනවා. ෆොයිල් වලදි නම් එක් ක්‍රීඩකයෙක් පහර දෙනකොට අනික් ක්‍රීඩකයා ඒ පහර වලක්වන්න ඕනේ. දෙදෙනාට ම එකවර පහර දෙන්න බැහැ.

සේබර් කඩුවටත් ග්‍රෑම් 500ක විතර ස්කන්ධයක් තියෙනවා. මේ කඩුවෙන් පහර දෙන්න පුලුවන් තුනටියෙන් උඩ කොටසට විතරයි. හිසත් ඇතුලුව. මේ කඩුවේ බොත්තමක් නෑ කඩුව අග. කඩුවේ පැත්තක් වැදුනත් ළකුණු ලැබෙනවා.

අනිත් කඩුව තමා එපී. මේ කඩුව අනික්වට වඩා ස්කන්ධය වැඩියි. ඒකට තියෙන්නේ ග්‍රෑම් 775ක සකන්ධයක්. මේ කඩුවේ නම් හිසේ සිට දෙපතුල දක්වා සරුවාංගේ ඕනම තැනකට පහර දෙන්න පුලුවන්. ක්‍රීඩකයන් දෙදෙනාටම එකවර පහර දෙන්නත් පුලුවන්. ඉතින් මම තෝරගත්තේ එපී.

මේ ක්‍රීඩාව කරද්දී අඳින ඇඳුම ඇන්දම පෝරණුවක් අස්සේ ඉන්නවා වගේ. පුදුම රස්නයක් තියෙන්නේ. ඇඳුමට යටින් තවත් ආවරණයක් පලදින නිසා ආරක්ෂාවත් තියෙනවා. කලින් කිව්වා වගේ පාසලක ෆෙන්සිං පලමුවෙන් පටන් ගත්ත පාසලේ පලමු ෆෙන්සිං කණ්ඩායමට ඇතුලත් වෙන්න මටත් හැකියාව ලැබුනා. ක්‍රීඩාවලින් ඉදිරියට යන්න මගේ උවමනාවක් තිබ්බේ නැති නිසා උසස් පෙළින් පස්සේ ඒ ක්‍රීඩාව අත හැරියා. මේ සටහන කියවපු ඔයාට මෙවර ඔලිම්පික් ෆෙන්සිං ක්‍රීඩාව නරඹනකොට පැහැදිලි අදහසක් ඇතිව නරඹන්න පුලුවන් වේවි කියලා හිතනවා.



4 comments:

  1. ෆෙන්සිං ගැන මගේ තිබුනු කුහුල වැඩි වූයේ බෲස්ලී ගැනාහපු කථාවකින්. එය කොයිතරම් දුරට ඇත්තක්දැයි මා නොදන්නා නමුදු ඉන් කියැවුනේ බෲස්ලීද ෆෙන්සිං අමතර ක්‍රීඩාවක් ලෙස සිදු කොට ඇති බවය!
    එහෙත් මෑත් භාගයේදී ෆෙන්සිං වලට ආදරයක් ඇති වූයේ කලකට පෙර මගේ මිත්‍ර සුමිත් උදයංග තෝරා දුන්නු චිත්‍ර පටයක් බැලීමෙන්. ඒ ෆෙන්සර්! ඉතාමත් කාව්‍යමය කතාවක් කීවොත් එය ඇත්තක්.
    එය ඔබගේ ලිපිය තරම්ම රසවත්!

    ReplyDelete
  2. මෙච්චර විස්තර තියා නමක්වත් අහල තිබුන්නැති මැට්ටේකි මං
    බැලුවම අපූරු ක්‍රීඩාවක් නොවැ, මිතිල කියා තියෙනා ෆෙන්සිං
    චිත්තරපටිවල දැකලා තිබ්බේ, ඉඳහිට මං ඔය වගේ කඩු හටං
    හටනට විනයක් තියෙන්න ඕනෑ- පාර්ලිමේන්තුවේදී නොවෙයි නං!

    ReplyDelete
  3. https://www.tf.uni-kiel.de/matwis/amat/iss/kap_1/basics/b1_1_3.html

    ReplyDelete
  4. මෙලෝ අලබෝලයක් නොදැන උනත් මාත් ගොඩ කාලයක් තිස්සෙ බලපු ගේම් එකක් ඔය. ඇති යන්තං මෙහෙමවත් විස්තරයක් දැනගත්ත.

    ReplyDelete