ලංකාවේ ඕනම කෙනෙක් නම කිව්වත් අඳුනන රජ කෙනෙක් තමා ‘දුටුගැමුණු’ කියන්නේ. මහාවංශ කතුවරයා මහාවංශයේ වීරයා කරන්නෙත් මේ දුටුගැමුණු රජතුමාව. දුටුගැමුණු ගැන මහාවංශය තුල පරිච්ඡේද කිහිපයකින් ම විස්තර කරලා තියෙනවා. හැම කුඩා සිද්ධියක් ගැන ම විස්තරයක් තියෙනවා. නමුත් එක දෙයක් හැර.
රුවන්වැලි මහා සෑය දුටුගැමුණු රජතුමාගේ ප්‍රකට නිර්මාණයක්. මේ නිර්මාණය කරන අතරතුර රජතුමා හදිසියේ අසනීප වෙනවා. අසනීප වෙලා රුවන්වැලි මහා සෑය හදලා ඉවර වෙන්න කලින් මිය යනවා. රජතුමා අසනීප වුන බවක් ලියලා තිබුනත් එහෙම අසනීප වෙන්න හේතුව මොකක් ද? ලෙඩේ මොකක් ද? බෙහෙත් කලේ කව් ද? කියලා කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අච්චර ලොකුවට දුටුගැමුණුව විස්තර කරලා අන්තිමට මැරෙන්න හේතුව නොදාපු එක නම් ගැටලුවක්.
දුටුගැමුණුගේ මේ මරණය ගැන ජනකතාවක් නම් තියෙනවා. ඒ කතාව මේකයි. රුවන්වැලි මහා සෑය හදමින් ඉන්න අතරතුර මේ මහා සෑය වන්දනා කරන්න එනවා රූමත් නාග කන්‍යාවෝ කිහිප දෙනෙක්. ඔතනදි නාග කන්‍යාවෝ කියන්නේ ඉතින් රූපකයක්. නයි නෙමේ. නාග ගෝත්‍රයේ රූමත් මනුෂ්‍ය කාන්තාවෝ කියලා කියමුකෝ. මේ රූමත් කාන්තාවෝ මහා සෑය වඳින්න ආපු බව රාජපුරුෂයෝ රජතුමාව දැනුවත් කරනවා.
මේ තොරතුර දැනගත්තු රජතුමා වහාම යනවා මේ රූමත් කාන්තාවෝ බලන්න. බලලා නතර වෙන්නේ නැහැ. රජතුමා එක් කාන්තාවකගේ අතින් අල්ලලා යන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා.
“රජතුමනි, මාව අතාරින්න. මම නාග කන්‍යාවක්. මගේ ස්වාමිපුර්ෂයා නාග රාජයෙක්.” නාග කන්‍යාව රජතුමාට කිව්වා.
“නාග රාජයාට මම මොකටද බය වෙන්නේ, එනවා මෙහෙන්” කියලා රජතුමා මේ නාග කන්‍යාවව මාළිගාවට අරගෙන යනවා. ගිහින් මේ නාග කන්‍යාවත් එක්ක එකතුවෙනවා.
මේ එකතුවීමෙන් පස්සේ නාග කන්‍යාව රජතුමාට මෙහෙම කියනවා; “රජතුමනි මේ කිසිම දෙයක් කාටවත් දැනගන්න තියන්න එපා. මගේ ස්වාමිපුර්ෂයා දැනගත්තොත් මහා විනාශයක් වෙන්නේ.”
මෙහෙම කියලා මේ කාන්තාව යන්න කලින් කවදාවත් තිසා වැවට බහින්න එපා කියලා රජතුමාට එක් උපදෙසක් දෙනවා. මේ නාග කන්‍යාව ගෙදර ගියත් එයාගේ අමුතු හැසිරීම ගැන සැක හිතුනු නාග රාජයා දවසක් මේ ගැන ප්‍රශ්න කරනවා. එතනදී හැම දේම මේ නාග කන්‍යාව තමන්ගේ ස්වාමිපුර්ෂයාට කියනවා. මේ නිසා මේ නාග රාජයා දුටුගැමුණු රජතුමාත් එක්ක හිටියේ බොහොම කේන්තියෙන්.
මේ අතර රජතුමා මුලදි බය නැතුව කතා කරත් තිසා වැවේ නාන එක නතර කරනවා. නමුත් ටික කාලයකින් මේ අනතුරු ඇඟවීම ගැන රජතුමාට අමතක වෙලා තිසා වැවේ නාන්න යනවා. අවසානයේ මේ වැවේ හිටපු නයෙක් දෂ්ට කරලයි රජතුමා අසනීප වෙන්නේ.
ඒ තමා ජන කතාව.
නාග ගෝත්‍රිකයෝ මේ නාග කන්‍යාවගේ සිදුවීමට පෙර ඉඳන් ම දුටුගැමුණු රජතුමා සමඟ අමනාපයෙන් හිටියේ. ඒ තමන් වැඳපුදාගත් ධාතූන් වහන්සේලා රවට්ටලා අරගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරපු නිසා. මේ බව මහාවංශයේ තිස් එක්වෙනි පරිච්ඡේදයේ අපූරුවට තියෙනවා. රුවන්වැලිසෑයේ තැන්පත් කිරීමට නාග රජ්ජුරුවන්ගෙන් ධාතූන් ඉල්ලපු සෝණුත්තර තෙරුන්වහන්සේට නාගරජ්ජුරුවෝ මෙහෙම කියනවා;
“භික්ෂුව, බලනු මැන. නොයෙක් ආකාරයෙන්, නොයෙක් රන් රුවන්වලින් ඉතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චේතියඝරය. තමුන්නාන්සේගේ ලංකාද්වීපයේ සියලු රන් රුවන් එකතු කළත් මෙහි පඩිපෙළ පාමුල ඇති සඳකඩපහණක් තරම්වත් වටිනාකමක් නෑ. මේ චේතියඝර ආදියේ ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද! ඒ නිසා භික්ෂුව, මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතූන් වහන්සේලා ගෙනියනවා යන මෙය තොපට ගැලපෙන දෙයක් නොවේ.”
නාගයෝ සහ දුටුගැමුණු රජ අතර තිබුණු අමනාපකම ඒ කාලයේ සමාජය දැනගෙන හිටියා. දුටුගැමුණු රජතුමාගේ මරණයට නාගයෝ සම්බන්ධ කතාවක් කාලයත් සමඟ පැටලුනේ ඒ නිසා විය යුතුයි.
[ඡායාරූපය - බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න]