අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවටත් කතාවක් මම අහලා තියෙනවා. සමාජ ජාලා තුල පමණක් නොව අන්තර්ජාලයේ ඔබ මෙම මළ පොතේ අකුර කුමක්දැ යි සෙව්වොත් පහත පින්තූරයේ දැක්වෙන අක්ෂරය පැමිණෙනවා.
නමුත් සැබවින් ම මේ මළපොතේ අකුර ද? මළ පොතේ අකුර මෙය යැයි කීවත් එය සනාථ කිරීමට කිසිදු සාධකයක් මට හමුවූයේ නැහැ. මළ පොතේ අකුර මෙය යැයි කියන කිසිවෙකුටවත් මේ මළ පොතේ අකුර යැයි සනාථ කල හැකි යැයි මම සිතන්නෙත් නැහැ.
එසේ නම් මළපොතේ අකුර කියන්නේ මොකක් ද?
මළ පොතේ 'අකුර' නමින් යෙදුමක් බහුලව භාවිතා වුනත් මළ පොතේ 'අකුරු' නමින් බහු වචන පදයකුයි ගැමියෝ භාවිතා කළේ. මාලනී බුලත්සිංහල මහත්මිය වුනත් කියන්නේ මළ පොතේ 'අකුරු' බෑ කී මිනිහා ඉංගිරීසි පත්තරේ මුල ඉඳන් අගට බලනවා මිසක් මළ පොතේ 'අකුර' බැරි මිනිහා එහෙම කරනවා කියලා නෙමෙයිනේ.
සමහරු ඉස්පිළි පාපිළි නැති නිසා 'ඉ' ස්වරයට මළ පොතේ අකුර යැයි හඳුන්වනවා. නමුත් ඉස්පිළි පාපිළි යෙදෙන්නේ නැති තවත් අක්ෂර තියෙන නිසා 'ඉ' අක්ෂරයට මළ පොතේ අකුර කීමත් පිළිගන්න අපහසුයි.
ගැමි පුද්ගලයෙක් මියගියා ම අක්ෂරයක් අඩංගු තල්පතක් ගම වටා රැගෙන යන කතාවත් තරමක් පිළිගන්න අපහසුයි. එහෙම දෙයක් කිසිම ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අදහස පසු කාලීනව ඇතිවූ අදහසක් වෙන්න ඕන. ඇරත් ගැමියෙක් මැරුණම ඒක කටින් කියන්න බැරි ඇයි? කෙනෙක්ගේ මරණයක් වචනයෙන් පැවසීම අසුබ යැයි සඳහන් තැනකුත් නැහැ. මේ හේතු කාරණා නිසා අතීත ගැමියෙක් මිය ගියාම අක්ෂරයක් ලියූ තල්පතක් ගම වටේ රැගෙන යන කතාව අපිට බැහැර කරන්න වෙනවා.
ගැමි සංස්කෘතිය තුල සෑදෙන මිත්‍යාවක් පිටිපස්සේ සැඟවුනු සත්‍යයක් තියෙන්න පුලුවන්. මළ පොතේ අකුරු වල කතාවත් ඒ වගේ.
වර්තමානයේ දී නම් මළ ගෙදරක දී සතිපට්ඨාන සූත්‍රය සඡ්ඣායනා කරනවා. අතීතයේ දී සඡ්ඣායනා කල ජාතක කාව්‍යයක් තිබුනා.
ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය.
වෙස්සන්තර කාව්‍යයයේ (වෙසතුරු දා කව) දරුවන් දන් දෙනකොට මහ පොළොව කම්පා වුන විදිහ ඇහෙනකොට මළ ගෙදරක තියෙන ශෝකය තුනී වෙනවා කියලා අතීත ගැමියෝ විශ්වාස කළා. මේ නිසා හැම මළ ගෙදරක ම වෙස්සන්තර ජාතක කාව්‍යය සඡ්ඣායනා කළා.
අතීත ගැමියෝ මළ පොත කීවේ ඒ වෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පතට. මේ තල්පත කියවන්න පුලුවන් වෙන්නේ අකුරු සාස්තරේ දන්න අයට විතරයි. ගමේ බොහෝ දෙනෙක් අකුරු සාස්තරේ දන්නේ නැති නිසා මේ මළ පොත, එහෙමත් නැතිනම් වෙස්සන්තර ජාතක කාව්‍යය කියවන්න පුලුවන් වුනේ කිහිප දෙනෙක්ට විතරයි.
ටික කාලයක් යනකොට මිනිස්සුන්ට මේ ජාතක කාව්‍යයේ කවි ටික ඇහිලා ඇහිලම කට පාඩම් වෙනවා. අකුරු සාස්තරේ නොදන්න කෙනෙක් වුනත් තල් පත අතේ තියාගෙන කටපාඩමින් කවි ටික කියන්න පුලුවන් වුනා.
ඒත් සමහරු ජාතක කාව්‍යය නිතර ඇහිලත් කටපාඩම් කරගත්තේ නැහැ. මේ අයට තමා ගම්මු කීවේ 'මළ පොතේ අකුරුවත් බැරි මිනිහෙක්' කියලා.
ඔය වෙස්සන්තර ස්ටෝරිය නං පිළිගන්න පුලුවන් කතාවක්. අනික්ව නං අනේ මංඳ. ඔය ප්‍රවාද මතිමතාන්තර ඔක්කම කලිං අහල තිබ්බ්බකවදාවත්ට ඔළුවට වැටිල නෑ. තේරුමකුත් නෑ කියල හිතෙනව 😊😊😊
ReplyDeleteවෙස්සන්තර ජාතක කාව්‍යය ලියූ තල්පත - මලපොතේ අකුරු වීම පිළිගන්න අමාරුයි වාසිත. ඔයාට හමුවුන සාක්ෂි වගේ දේවල් ඔය සම්බන්ධව තියෙනවනම් එකත් මේකට අමුණන්නකො..
ReplyDeleteඋඩ පින්තූරයේ තියෙනවා වගේ අකුරක් කොහෙවත් නැහැ. මෑතකාලයේ බොහෝ විට ෆේස්බුක් එකේ කවුරුහරි කරපු ලස්සන ඇන්දිල්ලක් විදිහටයි ඔය අකුර ජනප්‍රිය වෙන්න ඇත්තේ. එහෙම නැතුව වෙස්සන්තර ජාතක කාව්‍යයේවත් ඔහොම අකුරක් නැහැ.
Deleteමිතිල, මට මතක හැටියට නම් fb එකෙන් ඔය අකුර පෙන්වන්න කලින් මුද්‍රිත මාධ්‍යයකින් මම ඕක දැකල තියෙනවා. තැන තමයි හරියටම මතක නැත්තේ. කල්පනා සඟරාවේ හරි රිවිරැස පත්තරේ හරි වෙන්නොනි.
ReplyDeleteඕක නිකං පිරුලක් වගේ වෙන්න බැරිද. ලූලා නැති වලට කනයා පණ්ඩිතය කිව්වා වගේ. මට හිතෙන්නෙ එහෙමයි. මෙලොව දෙයක් කියවගන්න බැරි කෙනාට දාපු අනුවර්ත නාමේ ඒක වෙන්න බැරිද
ReplyDeleteතව මතයක් තියෙනවා
ReplyDeleteමලපොත කියන වචනය හැදිලා තියෙන්නේ මලපත කියන වචනෙන්.
එහි අරුත කල්තබා ගැනීමට අවශ්‍ය නැති සටහන් ලිවීමට පාවිච්චි කල තම්බා වේලන ලද තල් කොලය.
බේත් සීට්ටු, නැකත් පත්‍ර වගේ දේ ලියන්න පාවිච්චි කලේ මලපත්.
පොත් ලියන්න පාවිච්චිකලේ පුස්කොල.