Monday, December 20, 2021

අපි වයසට යන්නේ ඇයි?


ඔබ වසර 10,000කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර තිහකට නොවැඩියි. ඔබ වසර 100කට පෙර ජීවත් වූ අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 50කට නොවැඩියි. ඔබ මීට දශක කිහිපයකට පෙර ඉපදුනු අයෙක් නම් ඔබගේ ආයු අපේක්ෂාව වසර 80ක් දක්වා යා හැකියි. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ගේ ආයු අපේක්ෂාවත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුනා. කුඩා අවධියේ පටන් මැදි වියට එනතෙක් ම වයස්ගත වීම අපේ ශාරීරික වර්ධනයට බලපෑවා. වයසත් එක්ක ඇවිදින්න, දුවන්න වගේම නව ක්‍රියාකාරකම් රැසක් අපිට කිරීමට හැකියාව ලැබුනා. නමුත් අපගේ එක්තරා වයසක ඉඳන් මේ හැකියාවන් හීන වෙන්න පටන් ගන්නවා. අපි 'වයසට යනවා' කියලා කටවහරේ කියන්නේ ඒ කාලෙදි යි. නමුත් ඇයි අපි වයසට යන්නේ? තරුණ අවධියේ දී වයස්ගත වීම ශාරීරික වර්ධනයට හේතු වෙලා තවත් කාලයක දී වයස්ගත වීම ශරීරයේ දුබලතාවට හේතු වුනේ කොහොම ද? අපි අද සොයා බලමු ඒ ගැන. 

වයස්ගත වීම කියන්නේ රෝගයක් නෙමේ. දියවැඩියාව, ඇල්සයිමර් සහ ක්ෂයරෝගය ආදී දේවල් රෝග. වයස්ගත වීම මේ සමහර රෝග වලට හේතු වෙන්න පුලුවන් වුනත් වයස්ගත වීම රෝගයක් ලෙසින් සැලකෙන්නේ නැහැ. 

අපි වර්ධනය වෙන්නේ සෛල බෙදීමෙන්. එකෙන් දෙකක් දෙකෙන් හතරක් ආදී විදිහටත් තවත් ආකාර වලටත් අපේ ශරීරයේ සෛල බෙදෙනවා. මේ බෙදීමේ දී අපේ සෛල වල තියෙන වර්ණදේහත් ඒ එක්කම බෙදෙනවා. පාරම්පරික ලක්ෂණ ඉදිරි පරපුර අරගෙන යන්නේ මේ වර්ණදේහ තුලින්. මේ සෛල බෙදීම සම්බන්ධයෙන් හෙෆ්රික් නම් වූ විද්‍යාඥයෙක් විශේෂ සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු පවසනවා අපේ ශරීරයේ සෛල වලට බෙදීමට හැකියාවක් ලැබෙන්නේ නිශ්චිත ප්‍රමාණයක් දක්වා පමණයි කියලා.

වර්ණ දේහ වල කෙලවර සෑදී ඇත්තේ 'ටිලමියර්' නම් වූ ද්‍රව්‍යයකින්. මේ ටිලමියර් වර්ණ දේහ තුල තිබෙන්නේ වර්ණ දේහ වලට සිදුවන හානි වලින් ආරක්ෂා කරගන්න. නමුත් සෛල බෙදීමේ ක්‍රියාවලියේ දී මේ ටිලමියර් ටිකෙන් ටික කොට වෙනවා. ටිලමියර් කොට වෙලා කොට වෙලා අන්තිමේ දි නැති වුනාම යි සෛලයේ බෙදීම අවසන් වෙලා සෛලය මිය යන්නේ. අපි වයසට ගිහින් මිය යන්නෙත් මේ හේතුව නිසා.

ටිලමියර් කොට නොවෙන එක් සත්වයෙක් ඉන්නවා. ඒ තමා පොකිරිස්සා. පොකිරිස්සන්ගේ ශරීරයේ සෛල වර්ධනය වෙනකොට ඒවායේ ටිලමියර් කොට වෙන්නේ නැහැ. ඒ ටිලමොරේස් නම් එන්සයිමය නිසා. මේ නිසා පොකිරිස්සන් දිනෙන් දින ශක්තිමත් වෙනවා මිසක් මොන මොහොතකදිවත් වයසට යන්නේ නැහැ. ඒ සත්තු මිය යන්නේ මිනිස්සු වගේ තවත් සතෙක් උන්ව කෑවොත් විතරයි.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපිටත් පොකිරිස්සගේ වගේ ටිලමියර් කොට වෙන්නේ නැතිව තිබ්බනම් හොඳයිනේ කියලා. නමුත් ඒක හිතන තරම් හොඳ දෙයක් නම් නෙමේ. 

අපේ ශරීරයේ පිළිකා සෛලත් ක්‍රමක්‍රමයෙන් ගුණනය වෙනවා. මේවායේ වර්ණදේහ වල තියෙන ටිලමියර් කොට වෙන්නේ නැහැ. මේ නිසයි පිළිකාවක් පැතිරීම වළක්වන්න අපහසු. සාමාන්‍ය විදිහට සෛල බෙදිලා ටිලමියර් කොට වෙලා සෛල මිය යනවා නම් පිළිකා සෛලත් කාලයකින් අපේ ශරීරයෙන් තුරන් වෙන්න තිබ්බා. නමුත් එහෙම වෙන්නේ නැහැ. 

මේ හේතුව නිසාමයි අපේ ශරීරයේ අනෙකුත් සෛල වල ටිලමියර් කොට වෙන්නේ. එහෙම නොවුනා නම් ඒවායේ රෝග කාරකයක් තිබුනොතින් ඒ රෝග කාරකයත් නොනවත්වා ගුණ වෙන්න තිබුනා. 

එහෙම බැලුවොත් අපේ වයසට යෑමත් එක්තරා ආකාරයක අපිව ආරක්ෂා කරගන්න ශරීරය යොදන උපක්‍රමයක්. 



5 comments:

  1. සොබාදහමේ යාන්තරණේ හිතන්නත් බැරි තරම විවිධයි;
    විචිත්‍රයි ඒ වගෙම තැනකදී ටිකක් නොව හරි ගැටළු සහිතයි
    නමුදු ඒවා දිගින් දිගටම ගලා යයි- අපටත් උරුම වෙයි
    සොබාදහමට නොවෙන අවනත, සත්ත්වයා අප කියා සිහි වෙයි

    ReplyDelete
  2. පොකිරිස්සා අමරණීය සතෙක් කියලා අහල නං නෑ. එහෙම සත්තු නෑ කියලයි මට හිතෙන්නෙ. තාරකා ඉබ්බා වගේ දීර්ඝ කාලයක් ඉන්න සත්තු නං ඉන්නවා. මේ ස්වභාවික යාන්ත්‍රණයේ රහස් අපිට තාම බොහොම දුරයි කියන එකයි මගේ හැඟීම.

    අපූරු, හිතන්න දෙයක් තියෙන ලිපියක්.🙏👌😊

    ReplyDelete
  3. මටත් හැඟෙන්නෙ එහෙම සත්තු නෑ කියලයි.

    ReplyDelete
  4. කූඹි, පණුවො, මාළු වගේ සත්තු වයසට යන්නෙ නෑ කියල පෙනුනට ඒක සත්‍යයක් නෙවෙයි නෙ. ඒ වගේ විද්යාඤයින්ට සොයාගත නොහැකි පැත්තක් වෙන්න ඇතියි කියන ඒකයි මගේ අදහස පොකිරිස්ස සම්බන්ධව. බුදු දහමේ වයසට යෑම කියන කාරණය නම් විශාල අරුතක් ගැබ් වෙලා තියෙනවා. වයස ක්‍ෂය වීම පවා වයසට යෑමක්. කොහොම නමුත් නවීන විද්‍යාවත් දැන් පිළිඅරං ඉවරයි දෙයක, යමක හටගැන්ම පැවැත්ම හා නැතිවීම කියන සංසිද්ධි තුන නියතයක් බව. බුදු හිමියන් පෙන්වා දුන් සනාතන ධර්මයත් එයම නෙවේද ඉතින්.

    ReplyDelete