Monday, May 31, 2021

සොක්‍රටීස් හා ප්‍රජාතන්ත්‍රවාදය

 

දේශපාලනයේ ජයග්‍රහණයක් ලෙස සලකන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ අපට ලැබුනේ පැරණි ග්‍රීසියේ ඇතැන්ස් පුර රාජ්‍ය තුලිනුයි. වයස 18ට වැඩි සෑම පුද්ගලයෙක්ටම ඡන්දය භාවිතයට අවසර ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසයි. පැරණි ග්‍රීසිය තුලම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතයන් ඉදිරිපත් කල දාර්ශනිකයන් සිටියි. ග්‍රීසියේ ප්‍රකට දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගේ ගුරුවරයා සොක්‍රටීස්. සොක්‍රටීස් හරිම කැමතියි සංවාදයට. සොක්‍රටීස් තමන්ගේ අදහස් තමන්ම නැවත ප්‍රශ්න කරනවා. මම පෞද්ගලිකව සොක්‍රටීස්ගේ කැමතිම ලක්ෂණයක් ඒක. තමන්ගේම අදහස් ස්වයං විචාරයකට ලක් කිරීම.

සොක්‍රටීස්ගේ ගෝලයා වුනු ප්ලේටෝගේ පොත් වල තියෙන්නේ සොක්‍රටීස්ගේ සංවාද. දාර්ශනික අදහස් රචනා වගේ ලියන්නේ නැතිව සංවාද ආකාරයට ලියවිලා තියෙන නිසා ඒ පොත් කියවීමත් කුතුහලක්. ප්ලේටෝගේ රිපබ්ලික් කියන පොතේ හයවන කොටසේ සොක්‍රටීස් ඇඩිමැන්ටස් නම් පුද්ගලයෙක් එක්ක කරපු සංවාදයක් තියෙනවා.

සොක්‍රටීස්: නැවකින් මුහුදේ සංචාරයක් යෑමට සිතනවානම් ඒ නැවේ කපිතාන් විදිහට තෝරාගන්නේ ඕනෑම කෙනෙක් ද? එහෙම නැත්නම් නාවික ගමනාගමන පිලිබඳ පළපුරුදු අයෙක් ද?

ඇඩිමැන්ට්ස්: අනිවාර්යෙන්ම නාවික ගමනාගමනය ගැන පළපුරුදු අයෙක්.

සොක්‍රටීස්: එහෙනම් ඕනෑම වැඩිහිටි පුද්ගලයෙක් රටේ පාලනයට සුදුසුයි කියලා අපි තෝරා පත්කරගන්නේ ඇයි?

සොක්‍රටීස් මෙතනදී අරගන්නේ සරල නමුත් ප්‍රබල තර්කයක්. ඡන්දයක් භාවිතා කිරීම කුඩා කල පටන් ක්‍රමානුකූලව ඉගැන්විය යුතු දෙයක් මිස අහඹුවක් නොවිය යුතුයි. මෙතනදි ඡන්දයක් භාවිතා කිරීම කියලා අදහස් කලේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නේ මොනවගේ පුද්ගලයෙක්ද කියන කාරණාවයි. තෝරාගන්නේ මොනවගේ පුද්ගලයෙක් ද කියන දැනුම හරිහැටි නොමැති පුද්ගලයන් ඡන්දය භාවිතා කිරීම නාවික දැනුමක් නැති පුද්ගලයෙක්ට කුණාටුවක දී නැවක් බාරදුන්නා හා සමානයි.

මේ කියන කාරණය කෙතරම් බරපතල කාරණයක් ද කියලා සොක්‍රටීස්ට ඔහුගේ ජීවිතයේ අවසානයේ දී හොදාකාරව ම තේරුම් ගත්තා. ක්‍රි.පූ. 399 දී ‘ඇතැන්ස් හි තරුණයන්ගේ මනස දූෂණය කිරීම’ යන චෝදනාව යටතේ සොක්‍රටීස්ට නඩුවක් ගොනු වෙනවා. අවසානයේ දී ඇතැන්ස් වැසියන් 500කගෙන් යුතු ජූරියක ඡන්දයක් පවත්වනවා සොක්‍රටීස් චෝදනාවලට වැරදිකරු ද? නිවැරදිකරු ද? කියලා බලන්න. අවාසනාවකට 58% ක් තමන්ගේ ඡන්දය භාවිතා කරන්නේ සොක්‍රටීස් වැරදිකරු බව කීමට. ඒ අනුව සොක්‍රටීස් මියයන්නේ හෙම්ලොක් නැමැති වස පානය කිරීමෙන්.

ජනතාව තුලින් සුළුතරයකට පමණක් ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියන මතයේ සොක්‍රස්ටීස් හිටියේ නැහැ. තාර්කිකව හා ගැඹුරුව හිතන පුද්ගලයන්ට ඡන්දය භාවිතයට අවසර දිය යුතුයි කියලයි ඔහු කීවේ. ඡන්දය උපන් අයිතියක් ලෙස තිබෙන කාලයක තාර්කික හා ගැඹුරුව හිතන පිරිසක් බිහි කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනය තුලින් පමණයි. නමුත් දැන් තියෙන තරඟකාරී අධ්‍යාපනය තුල තාර්කික පිරිසක් බිහිවීම හීනයක් විතරයි.

ලංකාවේ ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්නේ වයස 16 දී. බහුතරයක් සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය නවත්තනවා. ඒ වෙනකොට ඒ ළමයට රට යන්නේ කොයි අතටද? රටක් පාලනය විය යුත්තේ කොහොමද? කියලා පැහැදිලි අදහසක් තියෙනවද? මේ යල්පැනපු අධ්‍යාපන ක්‍රමය හැඩගැස්වෙනකන් රටකට යහපත් කාලයක් උදාවෙයි කියලා හිතන්න එපා. ආගමික හෝ සමාජීය හෝ ඕනෑම අංශයක උන්නතියට බලපාන්නේ මේ අධ්‍යාපනය.

සොක්‍රටීස් තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා ඡන්දයක් උදෙසා රසකැවිලි වෙළෙන්දෙක් හා වෛද්‍යවරයෙක් අතර සංවාදයක් ගැන හිතන්න කියලා.

රසකැවිලි වෙළෙන්දා: බලන්න, මාත් සමග තරඟකරන්න ඉන්න පුද්ගලයා ඔබට නිතර වේදනාවන් දෙනවා. නිතර බීමට අකමැති තිත්ත පානයන් දෙනවා. අරක කන්න එපා මේක කන්න එපා කියලා කියනවා. ඔහු නිතර ඔබට සංග්‍රහයන් පවත්වන්නෙත් නැහැ.

වෛද්‍යවරයා: මම ඔබට වේදනාවන් ලබා දෙනවා. බීමට තිත්ත පානයන් ලබා දෙනවා. කෑමට තහංචි දමනවා. නමුත් ඒ ඔබගේම හොදට.

ඔබ හිතනවාද මේ දෙදෙනා අතරින් මිනිසුන් වෛද්‍යවරයාව තෝරාගනියි කියලා. කොහෙත්ම නැහැ. මොකද ඔහුගේ අරමුණ තේරුම් ගන්න තරම් තාර්කික පුද්ගලයන් මේ සමාජයේ නැහැ.

සියලු දෙයින් සර්ව සම්පූර්ණ යුටෝපියානු සමාජයක් බිහි කිරීම කල නොහැකි දෙයක්. නමුත් අඩුම තරමින් විනාශය අවම කිරීම හෝ කල හැකියි. ප්‍රජාතන්ත්‍රවාදී ව සියලු දෙනාට ඡන්දය භාවිතයට අවසරය දුන්නත් ඒත් සමගම එන අධ්‍යාපනය අමතක වුනා. ඒ නිසා අපි වැඩිපුර පත්කරගන්නේ රසකැවිලි වෙළෙන්දෝ.

සොක්‍රටීස්ගේ මරණය - Jacqes-Louis David (1787)


Thursday, May 27, 2021

ජේසුස්වහන්සේව රැගෙන යාම - කැරවාජියෝ

 

පහත දැක්වෙන්නේ  1602 දී කැරවාජියෝ විසින් අඳින ලද සිතුවමක්. ජේසුස්වහන්සේගේ ගෝලයෙක් වුනු ජූදස් විසින් උන්වහන්සේව පාවාදෙනවා. ජේසුස්වහන්සේව අත්අඩංගුවට පත්වෙන්නේ ගෙත්සෙමන උයනේ දී. ජූදස් ජේසුස්වහන්සේව පාවා දුන් මොහොතේම ඒ ගැන පසුතැවිලි වී උන්වහන්සේව සිපගන්නවා. කැරවාජියෝ සිතුවමට නගන්නේ ඒ සිදුවීම.



ආගමික චිත්‍ර කලාව තුල කැරවාජියෝගේ සිතුවම් වලට ඔහුගේ කාලයේ දී ඔහුට ලැබුනේ එතරම් හොද ප්‍රථිචාරයක් නෙමේ. එකල ආගමික සිතුවම් වල දේවත්වය ආරූඩ කරන්න විවිද උපක්‍රම යෙදුවක් මොහු තමන්ගේ සිතුවම් තුල ජේසුස්වහන්සේට දේවත්වයක් ආරූඩ කිරීමට ගියේ නැහැ. ඒ නිසයි බොහෝ දෙනෙක් ඒ සිතුවම් විවේචනය කලේ.

මේ සිතුවම එළිදක්වපු අවුරුද්දේ කැරවාජියෝ සිටියේ සිරකුටියේ. ඊට වසරකට පසු අවන්හලක සේවකයෙක්ගේ ඇඟට උණු ආහාරයක් විසි කිරීම නිසා අත්අඩංගුවට පත් වුනා. ඊටත් වසරකට පසු පොලිස් නිලධාරියෙක්ට පහර දීම නිසා අත්අඩංගුවට පත් වුනා. අවසානයේ 1606 දී කැරවාජියෝ අතින් ඝාතනයක් සිදු වූ නිසා ඔහුට තමන්ගේ ජීවිතයේ ඉතිරිය ගත කිරීමට සිදුවූයේ මහමග දිනෙන් දින සංචාරය කරමින්. කැරවාජියෝගේ සිතුවම් වල විවේචනයන්ට ඔහුගේ පෞද්ගලික ජීවිතයත් එක් සාධකයක් වුනා.

15, 16 සියවස් වල රෝමය පුරා ප්‍රොතෙස්තන්ත ඇදහීම් පැතිරීගෙන යනකොට රෝම ආගමික මධ්‍යස්ථාන විවිධාකාරයේ ආගමික සිතුවම් එකතු කිරීමට පටන් ගත්තා. ඒ ප්‍රොතෙස්තන්ත ඇදහීම් වලට විරුද්ධව ජනතාව තමන්ගේ නිකායන්වලට නම්මවා ගැනීමට. කැරවාජියෝ රෝමයට පැමිණෙන්නේ 1592 දී. එවිට ඔහු නිවසක්වත් හිමි නැති තරුණයෙක්. එකල රෝමයේ ආගමික සංස්ථාවත් දූෂණයට ලක්වී තිබුනු නිසා කැරවාජියෝට ජීවත් වීමට එය කදිම තෝතැන්නක් වුනා. ඔහු තමන්ගේ ආගමික සිතුවම් වල ආගමික ඉතිහාසයේ අඳුරු පැතිකඩයන් නිරූපණය කරා. ස්නාවක ජොහාන් තුමාගේ ගෙල සිඳීම, ජේසුස්වහන්සේගේ උදරයේ පිහිටි තුවාලයට ගෝලයන් ඇඟිල්ල එබීම වැනි මිනිසුන් දකින්න අකමැති සිදුවීම් මොහු සිතුවමට නැගුවා. කැරවාජියෝ තමන්ගේ සිතුවම් වලට ආකෘති විදිහට තෝරාගත්තේ එකල සමාජයේ සිටි යාචකයන්, අපරාධකරුවන් ගා ගණිකාවන් ආදීන්. මේ සියලු දේ නිසා ඔහුගේ ආගමික සිතුවම් අනෙකුත් කලාකරුවන්ගේ ආගමික සිතුවම් වලින් විශාල වෙනසකට මුල පුරනවා.




දැන් අපි කැරවාජියෝගේ ජේසුස්වහන්සේව පාවාදීම සිතුවම දෙස බලමු. ජේසුස්වහන්සේව පාවා දුන් අවස්ථාව සිතුවමට නගපු මුල් අවස්ථාව මෙය නොවේ. මීට පෙරදී කලාකරුවන් අලංකාර වටපිටාවකින් විශාල ජනකායක් ඇතිවයි මේ සිදුවීම සිතුවම් කරන්නේ. නමුත් කැරවාජියෝ යොදාගන්නේ මිනිසුන් හත් දෙනෙක් පමණයි. පසුබිමේ තියෙන්නේ ඝන අන්ධකාරයක්.

අනෙකුත් ආගමික සිතුවම් වලදී ජේසුස්වහන්සේට දේවත්වයක් ලබාදුන්නත් මේ සිතුවමේ උන්වහන්සේව නිරූපණය කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහට. මේ සිතුවමේ චරිත 7ක්  තියෙනවා. වම් පසේ ගෝලයන් අතරින් ලාබාලතමයා වුනු ජෝන්. ඊට පස්සේ ජේසුස්, ජුදාස්, සෙබළු දෙදෙනෙක්, ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් සහ තවත් සෙබලෙක්. ජේසුස්වහන්සේව සෙබලු අල්ලාගන්න ආපු වෙලාවේ සමහරු තමන්ගේ උතුරු සළුව හැරදමා පැන ගියා කියලා සටහන් වෙනවා. මේ සිදුවීම නිරූපණයට කලාකරුවෝ පෙර දී නම් තමන්ගේ සිතුවමේ රතුපැහැති සළුවක් ඇන්දා. නමුත් පලාගිය පුද්ගලයාව ඇන්දේ නැහැ. නමුත් කැරවාජියෝ ඒ පලාගිය පුද්ගලයා ජේසුස්ගේ ලාබාලතම ගෝලයා යැයි උපකල්පනයෙන් ඔහුව නිරූපණය කරනවා. බයිබලයේ අවසන් පොත වූ එළිදරව් පොත රචනා කරන්නේ මොහු.



ජේසුස්වහන්සේ තමන් පාවාදීමකට ලක් වෙනවා කියලා කල් තියා දැනගන්නවා. මේ නිසා කැරවාජියෝ තමන්ගේ සිතුවමේ ජේසුස්ගේ මුහුණෙන් හැඟීමක් පෙන්නුම්කරන්නේ නැහැ. නමුත් ජූදස්ගේ මුහුණ හාත්පසින්ම වෙනස්. ඔහුගේ මුහුණ හැඟීම් වලින් පිරිලා. තමන් ජේසුස්ව මුදල් වලට පාවා දුන්නු නිසා ඒ මොහොතේම පසුතැවීමට ලක් වෙනවා. ජූදස්ට මුදල් ලැබුනාට පස්සේ ඔහු එවෙලේම ඒ මුදල් ආපසු ලබාදෙන්න හදනවා ජේසුස්ව බේරගන්න. නමුත් පරක්කු වැඩියි. මේ පසුතැවිල්ල නිසයි ජූදස් ජේසුස්වහන්සේව ඉඹින්නේ. තමන් කරපු දේ බරපතලකම හා පසුතැවීම ජූදස්ගේ මුහුණෙන් පෙන්නන්න කැරවාජියෝ සමත් වෙනවා. ඒත් එක්කම මැද ඉන්න දිලිසෙන ඇඳුමක් පැලද ඉන්න සෙබලා ජූදස්ගේ අත ජේසුස්ගෙන් ඉවත් කරනවා. සෙබලුන්ගේ ඇඳුමෙන් එකල රෝමානු රජය මිනිසුන් වෙත කෙතරම් බලපෑමක් එල්ල කිරීමට සමත් බලයකින් යුත් පිරිසක්දැයි නිරූපණය වෙනවා.



මේ සිතුවමේ ලාම්පුවක් අතින් ගත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමේ මේ සිතුවම ඇඳපු කැරවාජියෝ. මීට පෙරත් කලාකරුවන් තමන්ව තමන්ගේ සිතුවම් වල ඇතුලත් කරා. නමුත් ඒ කුඩාවට පැත්තකින්. සමහරු පොඩියට අත්සන හෝ නම කෙටුවා. නමුත් මෙහිදී කැරවාජියෝ තමන්ව සිතුවමේ ප්‍රධාන චරිතයක් බවට පත් කරනවා.



කැරවාජියෝ තමන්ගේ සිතුවම් නිර්මාණය කලේ අදුරු කුටියක. ඒ කුටියේ පැත්තක ඉහළින් ලාම්පුවක් එල්ලනවා ආලෝකයට. දවසක් තමන් කුලියට හිටපු කාමරේට ඉර එලිය ලැබෙන්න සිවිලිමේ හිලක් විදපු නිසා නඩුවක් අහන්නත් වුනා. සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳිනකොට කිහිප වතාවක්ම කටු සටහන් අඳින්න අවශ්‍යයි. ප්‍රධාන නිර්මාණය කරන්නේ අවසානයට. ලියනාඩෝ ඩා වින්චිගේ අත්පොත් කියවනකොට ඔහුගේ ප්‍රකට නිර්මාණ සදහා කටු සටහන් දකින්න ලැබෙනවා. නමුත් කැරවාජියෝගේ චිත්‍ර වල අධෝරක්ත කිරණ සටහන් වලින් අනාවරණය වුනේ ඔහු එසේ කටු සටහන් නොඇද බොහෝ අවස්ථාවලදී ප්‍රධාන නිර්මාණයේ නියැලී ඇති බවයි. අප අද කතාබහට ලක් කල චිත්‍රයත් එකවර ඇඳි සිතුවමක්. කැරවාජියෝ වෙනස් කර ඇත්තේ ජූදස්ගේ හිස පමණයි. මූලික සිතුවමේ ජූදස්ගේ මුහුණ තරමක් ඉහළින් සිතුවම් වී තිබෙන්නේ.

ඩා වින්චි වැනි චිත්‍ර ශිල්පීන් සිතුවම්කරණයේ යෙදෙන්නේ ඉතා සෙමින්. ඩා වින්චි මේ හේතුවෙන් තමන්ගේ සේවාදායකයන්ගේ දෝෂාරෝපණයට ද ලක්වී ඇත. ඔහු සිතුවම් ස්තරයෙන් ස්තරයට වර්ණ ගන්වයි. පලමු ස්තරය වර්ණ ගන්වා එය වියළුනු පසු ඊට උඩ ස්තරය වර්ණ ගන්වයි. නමුත් කැරවාජියෝ එසේ නොවේ. චිත්‍රයේ ස්තරයක් වර්ණ ගන්වා එය වියළීමට ප්‍රථම අනෙක් ස්ථරය වර්ණ ගන්වයි. මේ නිසා වර්ණ මිශ්‍ර වී නව වර්ණ සෑදෙයි. ඔහු ආලෝකකරණයට හා දිස්නයට භාවිතා කළේ ඊයම්. සෞඛ්‍යයට අහිතකර වුවත් ඔහු ඒවා භාවිතා කරා.

කැරවාජියෝ මියගොස් වසර වසර තුන්සීයක් පමණ ගතවන තෙක් ඔහුගේ මේ සිතුවම අතුරුදහන් වී තිබුනේ. මෙය සිතුවම් කර වසර දෙසීයකට පමණ පසු කැරවාජියෝගෙන් පැවත එන්නන් මෙය ස්කොට්ලන්තයට විකුණයි. 1921 දී ස්කොට්ලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටි අයර්ලන්ත ජාතික කාන්තාවක් පරණ බඩු කඩයකින් මෙම සිතුවම මිලට ගනියි. එතෙක් සියලු දෙනා සිතුවේ ඒ මුල් සිතුවම නොව වෙනත් කලාකරුවෙක් නිර්මාණය කල පිටපතක් කියා. ඉන්පසු ඇය මෙම සිතුවම ජේසුයිට් නිකායේ පූජකයෙක්ට මෙය පරිත්‍යාග කරයි. ඊටත් පසු වසර හැටක් යනතුරු මෙම සිතුවම ඔහුගේ කෑම කාමරයේ කුණු බැඳෙමින් එල්ලී තිබුණි. නමුත් අවසානයේ 1990 දී සොයාගත්තා මේ සිතුවම පිටපතක් නොව කැරවාජියෝගේ මුල් පිටපත ම බව.

කැරවාජියෝ රෝමයේ දී කල ඝාතනයෙන් පසු මෝල්ටාවට ගොස් ඉන්පසු සිසිලියට යයි. ඒ සෑම තැනකදීම ඔහු තම කලා කටයුතු වල නිරත වෙයි. ඒත් සමගම නව සතුරන්ද සාදා ගනියි. අවසානයේ දී ඔහු මියයන්නේ ටස්කනි හි මුහුදු වෙරළේ කිසිවෙක් නොමැතිව. කැරවාජියෝගේ මේ පෞද්ගලික අත්දැකීම් නිසා ඔහුට අවශ්‍ය වුනා තමන්ගේ ආගමික සිතුවම් එදිනෙදා සිදුවන සිදුවීමක් ලෙසට නිර්මාණය කරන්න. ඔහු දේවත්වය සිතුවමින් ඉවත් කරා. ආගමික සිදුවීම් වල ඇත්ත ඇතිසැටියෙන් කියා පෑවා.

කැරවාජියෝ මියගියේ සිෆිලිස් හෝ මැලේරියා වැලදුනු නිසා බවයි ඉතිහාසඥයන් සිතුවේ. නමුත් 2010 දී ඔහුගේ සිරුර සොයාගත්තා. එහිදී එළිදරව් වුනේ ඔහු මියයාමට හේතුව තීන්ත ලෙස යොදාගත් ඊයම් විෂ වීම බවයි.

Wednesday, May 26, 2021

අපූරු ධාතු ගර්භයක්

 

මෑතක දී සියබලාන්ඩුවේ මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්ථූපයක් කැනීමකට ලක් කරනවා. නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් නොවුනු ස්ථූපයක් නිසා ධාතු ගර්භය ස්ථූපය නිර්මාණය කරද්දි තිබුනු ආකාරයටමයි කැණීමේ දී තිබුනේ.

මේ ධාතු ගර්භය තුලින් සොයාගත් දේවල් අතරින් විශේෂිතම දේ විදිහට සැලකුනේ 17 cm පමණ උසකින් යුතු ක්‍රි.ව. 800ට පමණ අයත් තාරාදේවියකගේ ප්‍රථිමාවක්. ලංකාවේ මෙතෙක් බෞද්ධ ස්තූපයකින් තාරා දේවියකගේ ප්‍රතිමාවක් සොයාගත් පලමු අවස්ථාව. මේ ප්‍රතිමාව විශේෂ වෙන්න තවත් කාරණයක් තියෙනවා. ඒ තමා මේ ප්‍රතිමාව නිමවලා තියෙන්නේ කිරිගරුඩෙන් වීම. මේ ප්‍රතිමාව හැර කිරිගරුඩෙන් සෑදූ තාරාදේවියගේ ප්‍රතිමාවක් සොයාගත්තේ සිතුල්පව්වෙන් පමණයි.

කැණීමකට ලක්කල මානාභරණ ප්‍රදේශයේ කුඩා ස්තූපය.


මේ සොයාගැනීමෙන් මගේ සිත්ගියේ ඒ ප්‍රතිමාවට නෙමේ. ධාතු ගර්භය හදලා තිබුනු ආකාරයට. ගල් පතුරු හතරක් පෙට්ටියක් ආකාරයෙන් තියලා තවත් ගල්පතුරකින් උඩ කොටස වහලා තිබුනේ. මේ ආකාරයට ලංකාවේ පැරණි සුසාන භූමි තිබිලා තියෙනවා. පූර්ව ඓතිහාසික යුගයට අයිති ඒ සුසාන භූමි වලට කියන්නේ මහා ශිලා සුසාන කියලා.

ලංකාවේ ප්‍රකටම මහා ශිලා සුසානය තියෙන්නේ ඉබ්බන්කටුවේ. කාල නිර්ණයට අනුව නම් ඒ සුසානය අයත් වෙන්නේ ක්‍රි.පූ. 450ට. ඒ කියන්නේ මිහිදු හාමුදුරුවන් ලංකාවට පැමිණෙන්න වසර දෙසීයකට පමණ උඩදී. මේ ඉබ්බන්කටුව සුසාන භූමියේ ගල් පතුරු හතර මැද්දේ මංජුසාවක අළු තැන්පත් කරලා තියෙනවා. ස්ථූප නොතිබුනු පූර්ව ඓතිහාසික යුගයට අයිති සුසාන භූමියක ආකෘතිය ධාතු ගර්භයකට ගියේ කොහොමද?

ඉබ්බන්කටුව මහා ශිලා සුසානය 


මේ දේ පැහැදිලි කරන්න තව උදාහරණයක් කියන්නම්. කරගහවෙලත් මේ ආකාරයේම සුසාන භූමියක් තියෙනවා. මේ සුසාන භූමියත් ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ සිට ක්‍රි.පූ. පස්වෙනි සියවසට අයත් විදිහටයි සැලකෙන්නේ. මේ සුසාන භූමියේ මැද්දේ තියෙනවා ස්තූපයක්. මේ හැම දේකින්ම අපිට දැකගන්න ලැබෙන්නේ බුදු දහම ලංකාවට පැමිණියාට පස්සේ බෞද්ධ සංස්කෘතිය ලංකාවේ අනෙක් ඇදහිලි අවශෝෂණය කරගත්තු ආකාරය.

බෞද්ධ සංස්කෘතිය ඉන්දියාවෙදිත් කාලානුරූපීව විකාශනය වුනා ලංකාවෙදිත් විකාශනය වුනා. ආගමික පොතපත සම්බන්ධයෙනුත් මේ කාරණය පොදුයි. සංස්කෘතියක් කියන්නේ හබරල කොළයක් උඩ තියෙන ජල බිංදුව වගේ නෙමේ. සංස්කෘතීන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න බැරි සංස්කෘතීන් මියයනවා. ඒ නිසා අද අපි දකින දේවල් කියවන දේවල් අදහන දේවල් ඒවයේ මුල් ස්වරූපයෙන්ම තිබුනු විදිහටම යි අපි අදහන්නේ කියලා හිතනවා නම් ඒ ගැන නැවත සිතා බැලිය යුතුයි.

ප.ලි. මම ඊයේ පලකරපු සටහන කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් ඒ සටහන කියවන්න මෙතනින්. 

Tuesday, May 25, 2021

වසූරිය හා උඩරට නිරෝධායනය

 

නිරෝධායනය යන්න දැන් අපට නුහුරු වදනක් නොවේ. මේ පැවසීමට යන්නේ ලංකාවේ පැවති වසූරිය රෝගය හා උඩරට රාජධානිය තුල පැවති නිරෝධායනයක් පිළිබදව. 17 සහ 18 සියවස් වලදී යුරෝපයේ රටවල් පුරා වසූරිය රෝගය පැතිරෙන්න පටන් ගත්තා. මේ රෝගය නිසා දහස් ගණනක් මිනිස්සු මියැදුනා. ලංකාවට මේ රෝගය අරගෙන එන්නේ පෘතුගීසි හා ලන්දේසි ජාතීන්.

කරලියැද්දේ බණ්ඩාර රජතුමා උඩරට පාලනය කරමින් ඉන්නකොට සීතාවක පාලකයා වුනු පලමු රාජසිංහ රජතුමා උඩරටට පහර දෙනවා. මේ වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල හිටියේ පෘතුගීසීන්. ඒ නිසා කරලියැද්දේ බණ්ඩාර රජතුමා තමන්ගේ දුව වුනු කුසුමාසන දේවිය යි කරලියැද්දේ බණ්ඩාරගේ බෑණා වුනු යමසිංහ බණ්ඩාරත් එක්ක පෘතුගීසීන් වෙතට යනවා ආරක්ෂාව සදහා. පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නකොට කරලියැද්දේ බණ්ඩාර රජතුමා මියයන්නේ වසූරිය රෝගය වැළදිලා. රජතුමා පමණක් නෙමේ මුහුදුබඩ ප්‍රදේශවල බොහෝ දෙනෙක් මියයනවා වසූරියෙන්. රාජාවලියේ සදහන් ආකාරයට රජතුමාගේ බිසවත් මෙම වසංගතයෙන් මියයයි.

මේ වසංගතය කොයි තරම් මුහුදුබඩ පැතිරුනාද කිව්වොත් 1599 වෙනකොට මුහුදුබඩ හිටපු සමහර පෘතුගීසීන් ලංකාවෙන් යනවා. මේ කාලය වෙනකොට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ජේසු නිකායික පූජකවරු හිටියා. මේ පූජකවරු වසූරිය වැළදුනු රෝගීන්ට බෙහෙත් හා ආහාරපාන බෙදාදීමේ කටයුතු වලත් නිරත වෙලා තියෙනවා.

මීට ටික කාලෙකට පස්සේ උඩරට රජකමට පත්වෙන්නේ දෙවන රාජසිංහ රජතුමා. මේ රජතුමාට ලන්දේසීන්ගේ උදව් ඇතිව මුහුදුබඩ හිටපු පෘතුගීසීන්ව ලංකාවෙන් නෙරපන්න හැකියාව ලැබෙනවා. ඉන්පසු ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ වල වෙළදාමේ නිරත වෙනවා. ලන්දේසීන්ට අවශ්‍ය වෙන්නේ නැහැ උඩරට රජතුමාත් සමග ප්‍රශ්නයක් ඇතිකරගන්න. මේ නිසා සියවසක් පමණ ලන්දේසීන් රජතුමා සමග හිතවත්වයි ඉන්නේ. රජතුමාට ලියුම් ලියනකොට ලන්දේසීන් “ඔබතුමාට සේවය කරන සුවච කීකරු සේවක” වැනි වදන් භාවිතා කරා. ඒත් එක්කම රජතුමාත් “මට සේවය කරන හිතවත් ලන්දේසි ජාතිය” වැනි යෙදුම් ලියුම් ලිවීමේ දී භාවිතා කරා.

මේ කාලයේ දී ලන්දේසීන් රජතුමාත් සමග වෙළදාම් ගැන කතා කිරීමටයි රජතුමාට තෑගි බෝග ලබාදීමටයි උඩරටට පැමිණෙන්න ගත්තා. යුරෝපයේ වසූරිය රෝගය පැතිරීමත් ලන්දේසීන් අන්තර්ජාතිකව වෙළදාමේ නියැලීමත් නිසා ලන්දේසීන් උඩරට රජතුමා සමග හමුවීම් රාජධානියේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවන බවට රාජ සභාවට තේරුනා.

මහනුවර රාජධානිය අවට රජතුමාට හා රජවාසලේ නිළධාරීන්ට නවාතැන් ගැනීමට විවිධ ස්ථානවල තානායම් තිබුනා. සීතාවක, ඉද්දමල්පාන සහ අට්ටාපිටිය වගේ ස්ථානවලයි මේ නවාතැන් තිබුනේ. උඩරටට එන විදේශිකයින්ව මේ ස්ථාන වල නතර කරලා නිරෝධායනය කරන්න උඩරැටියන් කටයුතු කරනවා. නමුත් ඔවුන් විදේශිකයන්ට කියන්නේ නැහැ නිරෝධායනය කරන වගක්. ‘රජතුමා දැන් මාලිගාවේ නැහැ. එන්න ටිකක් කල් යයි’ වගේ දේවල් කියලයි අර තානායම් වල විදේශිකයන් ව නතර කලේ.

මේ එන විදේශිකයන් අතර ඉන්නවා ජොහාන් හෙයිඩ් කියන ජර්මන් ජාතිකයෙක්. ඔහු 1744 දී ලංකාවේ දී තමන් ලද අත්දැකීම් අලලා Heydt’s Ceylon නමින් කෘතියක් රචනා කරනවා. ඒ කෘතියේ ඔහු සදහන් කරනවා අට්ටාපිටිය නම් ස්ථානයේ පිහිටි තානායමේ තානාපතිවරයා ඇතුලු පිරිස දවස් 14ක් සිටියා කියලා. හැම කෙනෙක්ව ම සති දෙකක් නිරෝධායනය කලේ නැහැ. සමහරුන්ව සති තුනක් පහක් නිරෝධායනය කරන්න ගත්තා. 

මේ නිරෝධායන කටයුතු කලේ උඩරටට මේ රෝගය පැතිරීමට ඉඩ නොදී රජතුමාව ආරක්ෂා කරන්න. කෙසේ නමුත් ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා 1805 ලියූ ලියුමක සදහන් වෙනවා ලංකාවේ අන්තිම රජතුමා වුනු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට වසූරිය වැළදී ඇති බවක්.

1816 දී ලංකාවේ වසූරිය රෝගය මඩින්න එන්නතක් බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ගෙනවා. ලංකාවේ හිටපු ඉංග්‍රීසි ජාතීන් මේ එන්නත ලබාගත්තත් ලාංකිකයෝ මේ එන්නතට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා ඉංග්‍රීසීන් ලංකාවේ උන්නු ප්‍රභූවරුන්ට මේ එන්නත පිලිගැන්වූවා. ලංකාවේ සාමාන්‍ය ජනතාවත් ඒ ප්‍රභූවරුන්ව අනුගමනය කරලා එන්නත විදගනියි කියලා හිතුවා. නමුත් එයත් සිදුවුනේ නෑ. මේ නිසා කැප්පෙටිපොල දිසාව ඉදිරිපත් වෙනවා රදලයින් අතරින් පලමු එන්නත විදගන්න. ඔහු ඒ ක්‍රියාව සිදුකල නිසයි අනෙක් අයත් එන්නත විදගත්තේ.

මූලාශ්‍ර:

  • පරංගි කෝට්ටේ - ටිකිරි අබේසිංහ
  • රාජාවලිය - සංස්. ඒ. වී. සුරවීර
  • ත්‍රි සිංහලේ - පෝල් ඊ. පීරිස් (පරි. අභය හේවාවසම්)
  • රාවය හා දිනමිණ පුවත්පත්
  • Heydt’s Ceylon – English translation by Major Raven Hart

Friday, May 21, 2021

සාලියට රජකම අහිමි වුනේ අශෝකමාලා සැඩොල් නිසාද?

 

දුටුගැමුණු කියන්නේ ලංකාවේ ප්‍රකට රජකෙනෙක්. බොහෝ දෙනෙක් ඔහු ගැන අසා තිබෙනවා. රජ කෙනෙක්ගෙන් පසුව ඔහුගේ පුත්‍රයා රජවීම ලංකාවේ සිරිතක්. දුටුගැමුණුටත් හිටියා පුතෙක්. නම සාලිය. ඔහුට රජකම හිමිවෙන්නේ නැහැ. මහාවංශයේ නම් කියන්නේ අශෝකමාලා නම් චණ්ඩාල කාන්තාවක් විවාහ කරගත්තු නිසා සාලියට රජකම හිමිවුනේ නැහැ කියලා. ධර්මකීර්ති හාමුදුරුවෝ රචනා කරපු සද්ධර්මාලංකාරය කියවනකොට මෙහෙම කතාවක් තියෙනවා. දවසක් දුටුගැමුණු රජතුමා සාලිය කුමාරයාටයි අශෝකමාලා ටයි එන්න කියලා සාලිය කුමරුට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා තමන්ගේ පුතා අශෝකමාලා එක්ක හිටියත් රජකම බාරගන්න කියනවා. එහෙනම් සාලියට රජකම අහිමිවුනේ ඇයි? අශෝකමාලා චණ්ඩාලියක් නිසා ද? ඒ ගැන අපි මේ සටහනින් බලමු.

මහාවංශය අශෝකමාලාව හදුන්වන්නේ චණ්ඩාලියක් විදිහට. එහෙමත් නැත්නම් සැඩොල් කුලයේ කාන්තාවක් විදිහට. සැඩොල් කුලයේ කිව්වේ කසල සේදීමේ වැඩකටයුතු වල නිරත වූවන්ගේ කුලය. නමුත් මහාවංශ ටීකාවේ ඇයව හදුන්වා තියෙන්නේ ‘කම්මාරධීතා’ ලෙස. ඒ පදයේ තේරුම තමා කම්මල්කරුවෙක්ගේ දුව.

සද්ධර්මාලංකාරයේ සාලිය හා අශෝකමාලා හමුව හරි අපූරුවට විස්තර කරනවා. සාලිය අශෝකමාලාගෙන් අහනවා “ඔබ කව්ද” කියලා. එතකොට අශෝකමාලා කියනවා “ස්වාමිනී මම ඓශ්චර්යවත් කම්මල් කරුවෙක්ගේ දියණියක්” කියලා. මෙතන දී ඓශ්චර්යවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියනකොට තේරුම්ගන්න පුලුවන් අශෝකමාලා කියන්නේ දැලි කුණු ගාගත්තු කම්මල්කරුවෙක්ගේ දියණියක් නෙමේ ධනවත් කම්මල්කරුවෙක්ගේ දියණියක් කියලා.

ඒත් එක්කම අශෝකමාලා තමන්ව හදුන්වා දෙනකොට තමන් “කම්මාරධීතා චණ්ඩාලී” කියලත් කියනවා. ඒ කියන්නේ අශෝකමාලා ම කියනවා තමන් කම්මල්කරුවෙක්ගේ දියණියක් වගේ ම චණ්ඩාලියක් කියලා. ඒකට හේතුව තමා එකල යුගයේ තිබුනු අධ්‍යාපන ක්‍රමය. ඒ කාලයේ ඉගැන්වීම් කටයුතු කළේ බමුණෝ. ඔවුන් ඉන්දීය සිරිත් විරිත් බමුණු මත ලාංකික ජන සමාජයට ගෙනාවා. ඉන්දීය කුල ක්‍රමයට අනුව සියලුම ශිල්පීන් අයත් වෙන්නේ ශුද්‍ර හෙවත් චණ්ඩාල කුලයට. ලාංකික කුල ක්‍රමයට අනුව කම්මල්කරුවෝ පහත් කුලයෙහි ලා සැලකුවේ නැති වුනත් ඉන්දීය කුල ක්‍රමයට අනුව පහත්. මේ නිසයි මහාවංශ කතුවරයා අශෝකමාලාව චණ්ඩාලියක් ලෙසට හැදින්වූයේ.

ඒත් එක්කම අශෝකමාලා රාජකීය මුළුතැගෙයි ආහාර පිසීමේ කටයුතු වලත් නිරතවෙලා තියෙනවා. මේ නිසා ඇයව හදුන්වා තියෙන්නේ ‘මදුරහස්ත රසා’ කියලා. ඇය පිසින ආහාර පාන ඉතා රසවත් නිසයි එවැනි නමක් ලැබුනේ. රජ පවුලට ආහාර පිසින එක ලේසි පහසු කටයුත්තක් නෙමේ. හැමෝටම ඒකට අවසර ලැබෙන්නෙත් නැහැ. මේ නිසාත් අපිට නිගමනයකට එන්න පුලුවන් අශෝකමාලා කියන්නේ රජපවුලට අමුත්තෙක් නොවන බවට. වංශකතාකරුවා සාලියට අශෝකමාලාව හමුවුනේ අහම්බෙන් කියලා කිව්වට ඒක ඇත්තටම අහම්බයක් නොවන්න හේතු තියෙනවා.

මහාවංශයේ තියෙන විදිහට නම් අශෝකමාලා සමහ සාලිය කුමාරයා විවාහ වුන නිසයි ඔහුට රජකම අහිමි වෙන්නේ. නමුත් සද්ධර්මාලංකාරයේ මේ සිදුවීම තරමක් වෙනස් ආකාරයට කියනවා. දුටුගැමුණු රජතුමා සාලිය හා අශෝකමාලාට එන්න කියනවා තමන්ව හමුවෙන්න. ඒ හමුවේ දී දුටුගැමුණු රජතුමා සාලියනට කියනවා “පුත, මා ඇවෑමෙන් ලෝ සසුන් දෙක යෙහෙන් රැක දැහැමෙන් රාජ්‍ය කරව” කියලා. ඒ කියන්නේ රජතුමා සාලිය කුමාරයා හා අශෝකමාලාට විරුද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ පුත්‍රයාට රාජ්‍ය බාරගන්න කියනවා.

ඉසුරුමුණියෙන් හමුවුනු කැටයමක මේ සිදුවීම සටහන් වෙලා තියෙනවා. පහත ඡායාරූපයේ තියෙන්නේ ඒ කැටයම. මේ කැටයමේ මැද ඉන්නේ දුටුගැමුණු රජතුමා. වම් පස ඉන්නේ සාලිය කුමාරයා. දුටු ගැමුණු රජතුමාගේ බිසව ඔහුව අස්වසන ලීලාවෙන් ඉන්නවා. ඒත් එක්කම මුල්ලක කුඩා රූපයක් තියෙනවා. ඒ අශෝකමාලා. රජතුමාට තියෙන බය පක්ෂපාතීත්වය පෙන්නුම් කිරීමටයි කුඩාවට ඒ රූපය කැටයම් කරලා තියෙන්නේ.



අපි දැන් වර්තමාන කතාවෙන් මොහොතකට අතීතයට යමු. දුටුගැමුණු රජතුමා තරුණ කාලයේ රාජ්‍යයෙන් බැහැරට ගිය කාලයේ දී ඔහු ගේ පියා වුනු කාවන්තිස්ස රජතුමා මියයනවා. රජතුමා මියගියාට පස්සේ භික්ෂූන්වහන්සේලා සද්ධාතිස්ස කුමාරයාව රජකමට පත්කරනවා. ඔහු ලාබාල කුමාරයා බව දැන දැනම.  නමුත් කෙසේ හෝ අවසානයේ දී දුටුගැමුණු රජතුමා තත්ත්වය සමතයකට පත්කරලා රජකමට පත්වෙනවා.

මේ සිද්ධිය රජතුමාගේ මතකයේ තිබුනා. ඒ විතරක් නෙමේ තිස්ස කුමාරයාට භික්ෂූන්වහන්සේලා හිතවත් නිසයි ඔහුට සද්ධාතිස්ස කියලා ධාර්මික නමකුත් දුන්නේ. මේ නිසා තමන්ට තරුණ කාලයේ දී අත්විදින්න වුනු දේ තමන්ගේ පුත්‍රයා වුනු සාලියටත් අත්වෙයි කියන සැකය දුටුගැමුණු රජතුමාට තිබුනු නිසයි ඔහු සාලියට රාජකම බාරගන්න කියන්නේ.

නමුත් අවාසනාවකට රජතුමා අසනීප වී මියයනවා. දැන් සාලියට පැනයක් තියෙනවා. තමන්ගේ පියා සද්ධාතිස්ස සමග ඝට්ටනයෙන් රජකම ලබාගත්තා සේ තමුනුත් රජකම ලබාගැනීමට උත්සහ කරනවද? එසේත් නැතිනම් තමන්ගේ ආදරයත් සමග රජකම අතහැර සිටිනවාද? ඔහු තෝරගන්නේ තමන්ගේ ආදරය වුනු අශෝකමාලා ව. සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුමවන ක්‍රමයක් තිබුනු නිසාත් සංඝයා වහන්සේලා සද්ධාතිස්ස කුමරුට සහයෝගය දක්වපු නිසාත් සාලිය කුමාරයාගේ මේ තීරණය නුවණින් ගත් තීරනයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවනි.

අශෝකමාලා හා සාලියගේ පරපුර ගැන ජනකතා බොහොමයක් ඇතිවෙනවත් එක්ක ඉතිහාසයෙන් ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. ඔහුගේ පරපුර සමහරවිට තවමත් අපි අතර ඉන්නවා ඇති.   


ප්‍රධාන මූලාශ්‍ර:

  • වංසත්ථප්පකාසිනී - අකුරැටියේ අමරවංස හිමි
  • සද්ධර්මාලංකාරය - සංස්. නෝමන් සිරිපාල
  • මහාවංශය - අනු. කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
  • දිවයින පුවත්පතේ පලවූ ලිපි
  • පුරාවිද්‍යා සගරා - පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව

Thursday, May 20, 2021

වැලිගෙපොල විහාරයේ ලෝක සිතියමක්

 

තමන් ජීවත් වෙන්නේ මොනවගේ ලෝකයක ද කියලා දැනගන්න මිනිස්සු හැමවිටම උත්සහා කරා. පහල පින්තූරයේ තියෙන්නේ වැලිගෙපොල කිට්ටුව තියෙන විහාරයක සිවිලිමේ ඇඳපු චිත්‍රයක්. මේක සිතියමක්. මේ සිතුවම් අයිති වෙන්නේ 19 වෙනි සියවසට.



මේ චිත්‍රයේ මහද්වීප ඇඳලා තිබුනා. එක් මහද්වීපයක හිටියේ යක්කු. ඒ තිබුනේ අප්‍රිකා මහද්වීපය. ලංකාවේ සිත්තරුන් දැනගෙන හිටියා අප්‍රිකාවේ ඉන්නේ කළු ජාතිකයින් කාපිරි ජාතිකයින් කියලා. මේ අයව තමා යක්කු විදිහට නිරූපණය කළේ.

ඒත් එක්කම ඉන්දියානු සාගරයේ මේ සිත්තරා අදිනවා නැවක්. ඒ නැවේ සළකුණු කරලා තියෙනවා VOC කියලා. ඉන්දියානු සාගරයේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ක්‍රියාත්මක වුනා කියන අදහස දෙන්නයි එහෙම සිතුවම ඇන්දේ.

මීට වඩා පැරණි සිතුවම් ද අපිට ලංකා ඉතිහාසය පුරාවට දකින්න ලැබෙනවා. ඒ අතර වඩාත් ප්‍රකට මෙන්ම අවභාවිතයට ලක්වූ සිතුවම තියෙන්නේ රන්මසු උයනේ. බොහෝ දෙනෙක් මේ කැටයම සක්වල චක්‍රයක් කියලා හැදින්වුවත් එය සත්‍යයක් නෙමේ. රන්මසු උයන පිළිබදව ඉදිරිපත් වූ මත අතුරින් වඩාත් පිළිගැනීමකට ලක්වෙන මතය තමා ඒ තියෙන්නේ ලෝක සිතියමක් බවට දැක්වෙන මතය.

මේ සිතියමේ මැද තියෙන කොටු වලින් උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය හා අපරගෝයානය වගේ ස්ථාන නිරූපණය වුනා. ලෝක සිතියමක් අඳිනකොට සාගරය අමතක කරන්න බැහැ. සාගරය නිරූපණය කරන්න මේ සිතුවමේ පිටත කවයේ ජලජ ජීවීන් කැටයම් කරා. මාළුවා, කැස්බෑවා යනාදීන්.

මෑතක දී මේ රන්මසු උයනේ සිතියමේ උඩින් බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් නිරාවරණය කරගන්න හැකියාව ලැබුනා. එතැන ලියැවිලා තිබුනේ ‘පන ති පනස’ කියලා. පන කියන්නේ ප්‍රාණ. ‘ති පනස’ කියන්නේ පනස් තුන. මේ රන්මසු උයනේ තියෙන සිතියමේ තියෙනවා රූප පහස් තුනක්. මේ එක් එක් රූපයෙන් මොනවගේ දෙයක් අදහස් වෙනවද කියලා නිශ්චිත එකඟතාවක් මේ වෙනකොටත් නැහැ. නමුත් ඒක සාධාරණයි. මේ තරම් පැරණි කැටයමක රූපාක්ෂර කියවීම ඉතා අපහසුයි. නිශ්චිත සාධක නැති නිසා. ඒ නිසා යම්කිසි මතයන් වලට එළබෙන්න විතරයි හැකියාව තියෙන්නේ.

මේ කැටයම පිළිබඳ තවත් මතයක් තියෙනවා. භාවනාවේ යෙදෙන යතිවරු මේ සිතියම කසිනාරම්මනයක් ලෙස භාවිතා කරා කියලත් මත පලවෙනවා. කැටයම යට පොළොව හොදින් මැදිලා තියෙන නිසයි ඒ නිගමනයට එළබිලා තියෙන්නේ.

කෙසේ නමුත් මම උක්ත සදහන් කරලා තියෙන්නේ වර්තමානය වනකොට පුරාවිද්‍යාඥයින් විසින් රන්මසු උයනේ කැටයම පිලිබඳ පිළිගත් මත කිහිපය යි. රාවණා හෝ සක්වල චක්‍රයක් ගැන පිළිගන්නේ මුහුණු පොතේ හා රාවණා ගුහා විශාරදයින් පමණි. ඔවුන් සමග මේ ලියන්නාට ආරෝවක් නැත. යුටෝපියාවක ජීවත් වීමේ අයිතිය ඔවුන් සතුයි.   

Wednesday, May 19, 2021

සුභ සහ යස

 

සයිමන් නවගත්තේගම මහත්තයාගේ නාට්‍යයක් තියෙනවා සුභ සහ යස කියලා. අර දොරටුපාල කෙනෙක් රජකමට පත්වෙන කතාව ඒ නාට්‍යයේ තියෙන්නේ. මේ කතාව අහපු කියවපු දැකපු කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වගේ දෙයක් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු.

ලංකාවේ උන්නු ඉළනාග රජතුමා වසර 10ක් තමන්ගේ පාලනය ගෙනගියා. ඊට පස්සේ රජකමට පත්වුනේ චන්ද්‍රමුඛසිව නම් තමන්ගේ පුත්‍රයෙක්. ඔහු වසර 9ක් රාජ්‍ය පාලනය කරගෙන ගියා. ඔහුටත් පස්සේ රජකමට පසු රජකමට පත්වෙන්නේ ඔහුගේ සහෝදරයෙක් වුනු යසලාලක තිස්ස රජතුමා. සුබ සහ යස නාට්‍යයේ යස කියන්නේ මේ රජතුමාට.

මහාවංශයේ යසලාලක තිස්ස රජතුමාට රජකම අහිමිවීම ගැන අපූරු කතාවක් තියෙනවා. රජවාසලේ හිටියා සුභ කියලා දොරටුපාලකයෙක්. මේ දොරටුපාලකයා යසලාලක තිස්ස රජතුමාගේ රූපයට බොහෝ සෙයින් සමානයි. මේ නිසා දවසක් යසලාලක තිස්ස රජතුමා පොඩි විහිළුවක් කරනවා. දොරටුපාලකයාට රජ සළු පිළි අන්දවලා රජ පුටුවේ ඉන්දවනවා. තමන් දොරටුපාලකගේ ඇඳුම් ඇඳගෙන ඒ කිට්ටුවට වෙලා හිටියා. මිනිස්සු ඇවිදින් සුභ දොරටුපාල රජ කියලා හිතලා  දණ්ඩ නමස්කාරයේ යෙදෙනකොට දොරටුපාල විදිහට ඇඳගෙන උන්නු යසලාලක තිස්ස රජතුමාට හිනා යනවා. රජතුමා හිතපු නැති විදිහට සුභ දොරටුපාල රාජපුරුෂයන්ට අණ කරනවා දොරටුපාලකව තමන්ට හිනා වුනු නිසා ඝාතනය කරන්න කියලා. යසලාලක තිස්ස රජතුමා තමන්ගේ අනන්‍යතාව ඔප්පු කරන්න හැදුවත් එය අසාර්ථක වෙනවා. ඔහු මියයනවා.

වංශකතාකරුවා ඔය කියපු විදිහටම ඇත්තටම වෙලා තියෙනවද? කියන ප්‍රශ්නය ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවනි. විහිළුවකින් රජකෙනෙක් පත්වෙන්න පුලුවන්ද? නමුත් අපිට නම් ඒවා නුහුරු දේවල් නෙමේ නේ. සුභ දොරටුපාල රජකම් කරනවා වසර 7ක්. යම්කිසි ස්ථාවරත්වයක් නැතිව වසර හතක් පාලනය කරන්න අපහසුයි. අපි වසර පහක් ඉන්නෙත් බොහොම අමාරුවෙන්. මහාවංශ කතුවරයා යම්කිසි සිදුවීමක් ඓතිහාසිකව සාධක ඇතිව විස්තර කරන්න අපහසු අවස්ථා වලදී ඒවා නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.

ඉළනාග රජතුමාගෙන් පසුව චන්ද්‍රමුඛසිව ට රජකම ලැබෙන්නේ ඔහු ඉළනාග රජතුමාගේ පුතා නිසා. මහාවංශය එය රචනා කරන්නේ සාක්ෂි සාධක ඇතිව. නමුත් යසලාලක තිස්ස රජතුමාගෙන් පසු සුභ රජවුනේ කෙසේද කියලා මහාවංශ කතුවරයා දැනගෙන ඉන්නේ නැහැ. සුභ ගේ පවුල් පරිසරය රජපවුලට සම්බන්ධ ද කියලා දැනගෙන ඉන්නේ නැහැ.

මේ නිසා වංශකතාවේ ගලාගෙන යෑම නොනැවතී සිදුවෙන්න අවශ්‍ය නිසා වංශකතාකරුවා නාට්‍යානුසාරයෙන් ඒ හිඩැස පුරවනවා. ගජබාහු රජතුමාගේ නීලමහා යෝධයා මුහුද දෙබෑ කරපු කතාවත් මහාවංශයට එකතු වෙන්නේ සාක්ෂි නැති වුනත් වංශකතාවේ ගලාගෙන යෑම හේතුකොටගෙන.

සුභ රජතුමා හිටියේ ක්‍රි.ව. පලමුවන සියවසේ. මහාවංශය රචනා වෙන්නේ ක්‍රි.ව. පස්වන සියවසේ. මහාවංශ කතුවරයාම කියනවා තමන් මහාවංශය රචනා කරද්දි ජනමතයන් භාවිතා කරා කියලා. ඒ කිව්වේ කාලයක් පුරාවට ජනතාව තුලින් එන කතන්දර හා කියමන් ආදිය. මෙතරම් කාලයක් ගොස් රචනා වූ නිසා සමහර නොවැදගත් රජවරු ගැන ජනමතයන් නැහැ. ඒ නිසා ගැලපෙන විදිහට කතාව ගොතන්න සිදුවෙනවා.

මහාවංශය සමහර රජවරු නම් කරලා තියෙනවා ජනමතයන් අනුව. කල්ලාඨනාග එක් රජ කෙනෙක්. පාලියෙන් තියෙන නිසා හොදා. ගරු ගාම්භීරව කියන්න පුලුවන්. නමුත් සිංහලෙන් නම් තට්ට නාග. දැක්කනේ ජනමතයන් මහාවංශයට එකතු වුනු විදිහ. ඒ නිසා ඉතිහාසය අධ්‍යනය කරනකොට ඒ ගැනත් හිතන්න.  



දළදාව පැහැර ගනියි

 

1818 කැරැල්ලේ දී වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ට චෝදනා ගොනුකරලා උන්වහන්සේව යාපනයේ සිරගත කරනවා. චෝදනාව තමා ‘දළදා වහන්සේ පැහැරගෙන යෑම’. සුමංගල හාමුදුරුවෝ දළදා වහන්සේ පැහැරගෙන ගියේ කොහොමද? ඊට පස්සේ මොකද වුනේ? කියලා අපි මේ සටහනින් බලමු.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ දළදා වහන්සේ භාරව හිටියේ අස්ගිරි පාර්ෂවය. අස්ගිරි විහාරයේ අනුනායක විදිහටයි වාරියපොළ ශ්‍රී සුමංගල හිමි කටයුතු කළේ. 1815 උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසීන්ට ලංකාව අයත් වුනාට පස්සේ තමා දළදාව පැහැර ගැනීමට කටයුතු සූදානම් වෙන්නේ.

මේ කටයුත්තට යොදාගන්නේ කළුගංඔයේ කාරියකරවන රාළ. දළදා මාලිගාව වහන්න කිට්ටු වෙලාවක දී සබරගමුවේ ඉදන් වන්දනා නඩයක් එනවා. දළදා මාලිගාව වහන්න කිට්ටු නිසා හරි කලබලයකින් මේ අය එන්නේ. කලබලය නිසා කවුරුත් මල් අරගෙන එන්නේ නැහැ. මේ නිසා දළදා වහන්සේ භාරව හිටපු වාරියපොළ ශ්‍රී සුමංගල හිමි එතැන හිටපු ලස්කරිඤ්ඤා සෙබළුන්ට කියනවා මල් ටිකක් අරගෙන එන්න කියලා. ලස්කරිඤ්ඤා හමුදාව කියන්නේ ඉංග්‍රීසි යටතේ සේවය කරපු සිංහල කුලී හමුදාවට.

මේ අතරතුරේ තමා දළදාව පැහැරගන්නේ. දළදාව තියෙන්නේ කරඬු හතක් ඇතුලේ. දකින කෙනෙක්ට වෙනසක් නොදැනෙන්න පිට කරඬුව තියලා දළදාව අරගෙන යනවා. පසුව ඉංග්‍රීසීන් දැනගන්නවා පිට කරඬුව විතරයි තියෙන්නේ දළදාව නැහැ කියලා. අස්ගිරි විහාරයට ගියාම සුමංගල හාමුදුරුත් හිටපු නැති නිසා සුමංගල හාමුදුරුවෝ මේ කාර්යයට සම්බන්ධයි කියලා හොයාගන්නවා.

ටික කාලෙකට පස්සේ ඉංග්‍රීසීන්ට දැනගන්න ලැබෙනවා මාතලේ පුබ්බුලිය කියන ගමේ ගල් ගුහාවක ස්වාමින්වහන්සේලා කිහිප නමක් ඉන්නවා කියලා. ඔය ගමේදීම තමා මඩුගල්ලේ නිලමේවරයාව අත්අඩංගුවට පත් වෙන්නේ. ඔය නිසාම ස්වාමින්වහන්සේලා හිටපු ගල් ගුහාව වටකරනවා.

මේ වෙනකොට මාස හයක් විතර ගතවෙලා. සුමංගල හාමුදුරුවෝ තමන්ගේ සිවුරේ වම් පැත්තේ උරහිසේ කුහරයක් හදාගෙන එතැන දළදාව හංගගෙන හිටියේ. මේ නිසා උන්වහන්සේ තමන්ගේ හිස වම් පැත්තේ උරහිස දෙසට නමාගෙන හිටියේ. ඒ විතරක් නෙමේ රැවුල හා කොණ්ඩය වැවිලා තිබුන නිසා අඳුනගන්නත් අපහසුයි. මාස ගණනාවක් තිස්සේ වම් උරහිස දෙසට හිස නමාගෙන හිටපු නිසා උන්වහන්සේ අපවත් වෙනකොටත් ඒ ඉරියව්ව වෙනස් වෙලා නැහැ.    

දළදා වහන්සේ පැහැරගැනීම යටතේ ඉංග්‍රීසීන්ගෙන් චෝදනා ලබපු සුමංගල හාමුදුරුවෝ ඇතුලු තවත් ස්වාමින්වහන්සේලා හතලිස් නමක් යාපනයේ සිරගත කරනු ලබනවා. හතරවන ජෝර්ජ් රජතුමාගේ උපන්දිනය නිමිත්තෙන් උන්වහන්සේ ඇතුලු තවත් ස්වාමින්වහන්සේලා කිහිප නමක් 1821 දී සිරගත කිරීමෙන් නිදහස ලබනවා. උන්වහන්සේ අපවත් වන්නේ ඊටත් වසර දහයකට පසුවයි.



Sunday, May 16, 2021

පුකට දුම් ගැසීම

 

කා ගැන හරි පම්පෝරි කියලා එයාව මුරුංගා අත්තේ තියන්න හදනවට විහිලුවට කියනවා ‘පුකට දුම් ගහනවා’ කියලා. සමහරු අකුරු එහෙ මෙහෙ කරලා දුකට පුං ගහනවා කියලත් කියනවා.  ඔය පුකට දුම් ගහනවා කිව්වේ ඉස්සර තිබුනු වෛද්‍ය ක්‍රමයකට. මේ වෛද්‍ය ක්‍රමයෙන් මිනිස්සුන්ගේ ජීවිත බේරිලා වගේම නැති වෙලත් තියෙනවා.

18 වෙනි ශතවර්ෂය වෙද්දිත් බටහිර රටවල්වල වතුරේ ගිලුනු පුද්ගලයෙක්ව බේරගන්නේ කොහොමද කියලා හරිහැටි දැනගෙන උන්නේ නැහැ. ඔය තේම්ස් නදියට වැටිලා සිහි නැති වෙන මිනිස්සුන්ගේ සිහිය ගන්න ක්‍රමයක් වෛද්‍යවරු දැනගෙන හිටියේ නැහැ. මේ නිසා ඒ කාලේ හිටපු වෛද්‍ය විලියම් හාවේ සහ තොමාස් කෝගන් කියන දෙන්නා මේ දේට පිළියමක් හෙව්වා. Royal Humane Society එක පටන්ගත්තේ මේ දෙන්නා. මේකෙන් ජීවිතාරක්ෂක ක්‍රම ගැන හෙව්වා.

ඔය කාලයේදී එංගලන්තය තුල දුම්කොළ භාවිතය ප්‍රසිද්ධ වුනා. රතු ඉන්දියානුවොත් මේ දුම් තමන්ගේ ප්‍රථිකාර ක්‍රම වලට භාවිතා කරපු නිසා මේ වෛද්‍යවරු දෙන්නා ඒ ක්‍රම දියේ ගිලුනු කෙනෙක්ටත් භාවිතා කරන්න පුලුවන්දැයි හොයලා බැලුවා.

මේ නිසා දවසක් තේම්ස් නදියේ ගිලුනු පුද්ගලයෙක් ට මේ වෛද්‍යවරු දෙන්නා මේ දුම් භාවිතා කරන ප්‍රථිකාරය කරා. සිහිය නැතිවුනු පුද්ගලයාගේ සිහිය අරගන්න ඒ පුද්ගලයාගේ ගුද මාර්ගයට දුම් ඇතුලු කරා. හැමෝම පුදුම කරවමින් ඒ පුද්ගලයාට එකපාරට සිහිය ආවා. එදා ඉදන් වෛද්‍යවරු දියේ ගිලුනු කෙනෙක්ගේ සිහිය අරගන්න භාවිතා කළේ ගුද මාර්ගයට දුම් පිඹිම. තේම්ස් නදිය දිගේ දුම් පිඹින මධ්‍යස්ථානත් ඇති කරා.

නමුත් මේ දුම් පිඹීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ කියලා ඒ වෛද්‍යවරුන්ට හරි ආකාරව දැනුමක් තිබුනේ නැහැ. මේ නිසා උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ඒ කාලේ ගුද මාර්ගයට දුම් පිඹින්න ගත්තා. කොලරාව පාචනය වගේ ලෙඩ වලටත් ඕක කරන්න ගිහින් මිනිස්සු මැරුණ අවස්ථාත් තියෙනවා.

ඔය ගුද මාර්ගයට දුම් පිඹින එකෙන් වෙන්නේ මේකයි. ගුද මාර්ගය තුලින් අවශෝෂණය වෙන දේවල් කෙලින්ම හෘදයට යන්න තියෙන හැකියාව වැඩියි. දුම් වල තියෙනවා නිකොටින්. මේ නිකොටින් වලින් හෘදයේ පේෂි සංකෝචනය කරනවා. ඒ කිව්වේ හකුලනවා. මේකෙන් හදවත ක්‍රියාකාරී වෙලා ශරීරය පුරාවට ලේ ගමනාගමනය නැවතත් පටන් ගන්නවා. ඒ කාලේ වෛද්‍යවරුන් මේ වෛද්‍යක්‍රමයෙන් මොකක්ද වෙන්නේ කියලා අදහසක් තිබ්බේ නැහැ වගේම අද ගොඩ දෙනෙක්ට පුකට දුම් ගහන්නේ ඇයි කියලා අදහසකුත් නැහැ.  



Friday, May 14, 2021

කිත්සිරි රජුව මැරීමට කුමන්ත්‍රණයක්

 

වැලිවිට සරණංකර හිමි කියන්නේ ලංකාවේ බුදුසසුන අන්තෙටම පිරිහිලා තිබුන කාලයක බිහිවුනු යතිවරයෙක්. උන්වහන්සේගේ නොපසුබට උත්සහය නැත්නම් අද වෙනකොට ලංකාවේ බුදු දහමක් නැහැ. සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය ලබාදෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. සරණංකර හාමුදුරුවෝ සංඝරාජ ධූරයේ ඉන්නකොටම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේව සිරගත කරනවා. මේ සිදුවීමට හේතුවුනු කතාව අද සටහනෙන්.

සරණංකර හාමුදුරුවන්ට සංඝරාජ ධූරය ලැබෙන්න තියෙනවා කියලා උන්වහන්සේට ඇමති කෙනෙක්ගෙන් ආරංචි වෙනවා. මේ තොරතුර දැනගත්තු උන්වහන්සේ පන්සලේ උළුවස්සේ ‘උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ, උඩඟු නොව මහණ’ කියලා තුන්වතාවක් ලියාගත්තා. මුලු ලංකාවේම භික්ෂූන් පාලනය කිරීමේ රාජ බලය හිමි වුනත් උන්වහන්සේ ඒකෙන් තමන්ට සුළු අභිමානයක්වත් ඇති වෙනවට කැමති වුනේ නැහැ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රජකමට පත් වුනාට පස්සේ බුදු දහම වැළදගත්තත් පැරණි හින්දු චාරිත්‍ර අතහැරියේ නැහැ. රාජ සභාවට එනකොට නළලේ අළු ගාගෙන ආවේ. මේ ගැන සමරක්කොඩි අදිකාරම් , මොලදණ්ඩේ ගජනායක නිලමේ වගේ මල්වතු විහාරයේ සමහර භික්ෂූන්වහන්සේලා කැමති වුනේ නැහැ.

ඒ හේතුව නිසා මේ පිරිස රජතුමාව මරන්න ක්‍රමන්ත්‍රණය කරනවා. රජතුමාව මරලා සියමෙන් ආපු භික්ෂූන්වහන්සේ කෙනෙක්ව සිවුරු හරවලා රජකමට පත්කරන්නයි සැලසුම වුනේ. සියමෙන් ආචාර්යවරයෙක් දහම් පොත් හතරක් සමග ලංකාවට ආවා කියලා මේ පිරිස ලංකාව පුරා ප්‍රසිද්ධ කරනවා. ඊට පස්සේ මේ ආචාර්යවරයාගේ ධර්මදේශනාවක් අහන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට ආරාධනා කරනවා. පෝය ගෙයි ඇතුලේ උල් හිටවපු බොරු වළක් කපලා රජතුමාව වට්ටලා පස් දාලා වහන්නයි හිතාගෙන උන්නේ.

මේ කුමන්ත්‍රණය අස්ගිරි විහාරයේ යටවත්තේ නම් නායක හාමුදුරු නමකට ආරංචි වෙනවා. උන්වහන්සේ ගෝපාල මුදියන්සේ කියන රජවාසලේ සේවකයෙක්ට මේ බව දන්වනවා. ඒ පුද්ගලයා මේ තොරතුර රජතුමාට කියනවා. සමහර මූලාශ්‍ර වල නම් තියෙන්නේ පිළිමතලව්වේ නම් නිලමේ කෙනෙක් මේ බව රජතුමාට දැන්වුවා කියලා. කොහොමහරි රජතුමා මේ බව දැනගන්නවා.

තමන්ව පිරිසක් මරන්න ලෑස්ති වෙලා ඉන්න බව දැන දැනම රජතුමා ධර්ම දේශනාව අහන්න යනවා. ගිහින් බොරු වළ ගාව ධර්ම දේශනාව ඉවර වෙනකන්ම ඉන්නවා. තමන්ට ආපු ඔත්තුව ඇත්තද නැද්ද කියලා සැක හැර දැනගන්න රාජසිංහ රජතුමා බොරු වළට තමන්ගේ ජය කොන්තයෙන් අනිනවා. තමන්ව මරණයට පත් කරන්න හිටපු විදිහ ඇහැටම දැකපු නිසා කේන්තියෙන් රජවාසලට ගිහින් මල්වතු පාර්ශවයේ නායක ස්වාමින්වහන්සේලාවයි රදලවරුන්වයි වැලිවිට සරණංකර හිමියන්වයි රාජසභාවට කැඳවනවා.

රජතුමා සරණංකර හිමිගෙන් මේ අමුතු පිංකම ගැන තොරතුරු ඇහුවත් සරංණකර හිමි කිසිවක් කියන්නේ නැහැ.  ඒත් රජතුමා දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගත්තු නිසා සරණංකර හිමි පිළිගන්නවා තමන් රජතුමාගේ ඝාතන කුමන්ත්‍රණය දැනගෙන හිටියා කියලා.

“එහෙනම් මට ඒ ගැන නොදැන්නුවේ ඇයි?” කියලා රජතුමා කේන්තියෙන් අහනවා.

“රජතුමනි, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්. මම ඒ තරමටම පර පණ නැසීමට බිය ඇත්තෙමි. මම ඔබතුමාට මේ බව දැන්වුවානම් ජීවිත කීයක් වැනසෙන්නට තිබ්බාද?”

සරණංකර හාමුදුරුවෝ  උත්තර දීලා අනිත් පැත්තට රජතුමා අහනවා “එහෙනම් මම මැරුණොත් හොඳ ද?” කියලා.

“නොකී නිසා මට වරදක් නැහැ” සරණංකර හිමි පිළිතුරු දුන්නා.

“එහෙනම් තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳ ද?” කියලා රජතුමා අහනකොට සරණංකර හාමුදුරුවෝ පිළිතුරු දුන්නේ නැහැ.

මේ නිසා රජතුමා කේන්තිය නිසා සරණංකර හාමුදුරුවන්ට කියනවා “වැලිවිට කණා සස්නේ වවනවා යැ යි කියා ලෝක ශාසන දෙකම නසාපි” කියලා.

අවසානයේ සරණංකර හාමුදුරුවන්ව සිරගත කරලා කිහිප දෙනෙක්ට දඬුවම් විදිහට මරණ දඩුවම ලබාදෙනවා. සරණංකර හාමුදුරුවන්ට වැඩි කාලයක් සිරගත වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේ ඉදන් සන්නාසියෙක් මහනුවර ඇවිල්ලා රජතුමා ඉදිරියේ ගාථාවක් කියනවා. මේ ගාථාවේ තේරුම රජතුමා භික්ෂූන්වහන්සේලාගෙන් විමසුවත් ඒ ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. සරණංකර හිමියන්ට මේ ගාථාවේ තේරුම කියලා දෙන්න පුලුවන් කියලා දැනගත්තම රජතුමා සරණංකර හිමියන්ට සමාව දෙනවා.

සරණංකර හිමියන් මීට කලින් පිටුවහල් වෙලා හිටපු කාලෙකත් ඔය බමුණෙන් කියපු ගාථාවක තේරුම විස්තර කරපු නිසයි සරණංකර හාමුදුරුවන්ට ආයෙමත් මහනුවර එන්න පුලුවන්කම ලැබුනේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සරණංකර හිමිට සංඝරාජ පදවිය පිරිනැමීම 


Thursday, May 13, 2021

අපි නොදන්න දිව

 

1901 දී ජර්මානු ජාතිකයෙක් වුන හැනිග් පර්යේෂණ පත්‍රිකාවක් එළිදක්වනවා මිනිස් දිව සම්බන්ධව. දිව විවිධ රසයන්ට සංවේදනය වන ස්ථාන ගැන සිතියමක් පෙළ පොත්වලට ආවේ ඒ පර්යේෂණ පත්‍රිකාව නිසා. දිවේ අගින් පැණි රස හා ලුනු රසත් දිවේ දෙපැත්තෙන් ඇඹුල් රසත් දිව පිටිපස්සෙන් තිත්ත රසත් දැනෙනවා කියලයි ඒ සිතියමේ තියෙන්නේ. දිවේ රස සංවේදනය සම්බන්ධ මේ සිතියම පෙළ පොත් වලයි පුවත්පත් වලයි පලවෙලා තියෙනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සිතියම වැරදියි. අද කතාව ඒ ගැන. 

දිවේ රස සංවේදන සිතියම ගොඩ දෙනෙක් පිළිගත් නමුත් වැරදි වැටහීමක්. හැනිග්ගේ පර්යේෂණත් සමග මේ සිතියම සැසදෙන්නේ නැහැ. මේ වගේ ව්‍යාජ තොරතුරක් බොහෝ දෙනෙක් විශ්වාස කරන්න පෙළබුනේ මොන හේතු නිසාද? අපි හොයලා බලමු. දිවේ රස සංවේදනය ගැන ඩේවිඩ් පර්යේෂණ සිදුකලේ ජර්මනියේ. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස සහ ලුණු රස හදුනාගන්න දිවත් සමග විවිධ පර්යේෂන සිදුකළා. එතනදී හැනිග් හොයාගත්තා දිව පුරාවටම හැම රසයක්ම දැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ අතර තැන් කිහිපයක් විවිධ රසයන් සංවේදනය වීමේ සියුම් වැඩි වීමක් තියෙනවා කියලත් හොයාගත්තා. මේ කරුණ වරදවා වටහාගෙන තමා අද තියෙන දිවේ රස සංවේදන සිතියම නිර්මාණය වෙන්නේ.

මේ වගේ වැරදි වටහාගැනීම් වලට ප්‍රධාන හේතුව තමා වැරදි තොරතුරු. ඉස්සර පොඩි කාලේ කරා රහස් කෝච්චිය කියලා එකක්. ඒකෙදි කරන්නේ කෝච්චියේ කෙරවලේ ඉන්න කෙනාට මොකක්හරි වාක්‍යයක් කියනවා. ඊට පස්සේ එයා ඒක හොරෙන් එයාගෙ එහා පැත්තේ ඉන්න කෙනාට කියනවා. ඔහොම ඔහොම දිගටම යනවා. අන්තිමට ඉන්න කෙනා එයාට ඇහුන වාක්‍ය කියනකොට ඒක මුල් වාක්‍යට හාත්පසින්ම වෙනස්. ඒක සිද්ධවුනේ වැරදි තොරතුරු හුවමාරු වුන නිසා.

හැනිග් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාව එළිදක්වන්නේ ජර්මන් භාෂාවෙන්. මේ නිසා කුඩා පරිවර්තන දෝෂයක් විශාල වෙනසකට මුල පුරන්න පුලුවන්. මම පොඩි උදාහරණ දෙකක් කියන්නම්. බයිබලයේ තියෙනවා යක්ෂයා කියලා වචනයක්. වැරදි දෙයක් කරනවා නම් යක්ෂයා තමා ඒක කරවන්නේ කියලයි කියන්නේ. යක්ෂයා කිව්වම අපේ ඔලුවට එන්නේ දිග නැට්ටක් තියෙන ඇඟ පුරා කටු පිරුණු විරූපී සත්වයෙක්ව. නමුත් බයිබලයේ මුල් සටහන් වල යක්ෂයා කියන වචනෙට යෙදුනේ ‘ඩියාබොලොස්’ කියන ග්‍රීක වචනය. මේ වචනයේ තේරුම ‘යම් කෙනෙක්ව යහපතින් ඉවතට ගැනීමට හේතුවන බලවේග’. ඕක තමා යක්ෂයා කියලා වැරදි විදිහට පරිවර්තනය වුනේ.

අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පතක පළවුනා අගහරු ග්‍රහයා ගැන. (මමත් ඒ පුවත්පතට වසර කිහිපයකට උඩදී ලිපි කිහිපයක් ලිව්වා.) මුල් ඉංග්‍රීසි ලිපියේ තිබුනේ අගහරු ග්‍රහයාගෙන් Building Blocks of Life හොයාගත්තා කියලා. ඒකේ තේරුම ජීවය පැවැත්මක අවශ්‍ය කාබන්, හයිඩ්‍රිජන්, ඔක්සිජන්, නයිට්‍රිජන් සහ පොස්පරස් යන මූලද්‍රව්‍ය අගහරු ග්‍රහයගෙන් හොයාගත්තා කියන එක. ඕක පත්තරේ ගියා අගහරු ග්‍රහයගෙන් බ්ලොක් ගඩොල් හොයාගත්තා කියලා. මේ නිසා අපි යමක් ලියනකොට හෝ කියවනකොට ඒ හා සම්බන්ධ වාග් මාලාවේ යම් දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි.

අපේ දිවේ රස සංවේදනය සම්බන්ධ ප්‍රකට සිතියම හැනිග් පර්යේෂණ පත්‍රිකාව එළිදක්වා වසර දහයකට විතර පස්සේ පුවත්පතක පළවෙනවා. හැනිග් ගේ සංකීර්ණ සිතියම් වලට වඩා ඒක හරිම සරලයි. මිනිස්සු හරි කැමතියි සරලව යමක් ග්‍රහණය කරගන්න. ඒ දේවල් තමා වැඩි කාලයක් මතකයේ රැදිලා තියෙන්නේ. බොරුවක් වුනත්. විද්‍යාව වගේ ක්ෂේත්‍රයක දේවල් අපිට සරලව ඉගැන්වුවට ඒවයේ පසුපස සංකීර්ණයි වගේම විවාදයට ලක් කළ හැකි දේවල් තියෙනවා. හැනිග් ප්‍රධාන රස හතරක් ගැන කතාකරාට මේ වෙනකොට උමාමි නමුන් තවත් ප්‍රධාන රසයක් හදුනාගෙන තියෙනවා. තවත් රසයන් ප්‍රධාන රස අතරට ගේනවද කියලා විවාද තියෙනවා. මේ වගේ සංකීර්ණව දෙයක් මිනිස්සු තේරුම් ගන්නවට වඩා පහසුවෙන් මිනිස්සු සරල බොරුව විශ්වාස කරනවා.

අයින්ස්ටයින් 


Wednesday, May 12, 2021

සිරිසංඝ බෝධි මාලිගාවේ දී

 

ඉස්සර ආසාවෙන් අහන්න හුරු වෙලා හිටියා නිශ්ශංක දිද්දෙණිය මහතා ගායනා කරපු ‘සිරි සංඝබෝධි මාලිගාවේ දී’ ගීතය. මේ ගීතය එන්නේ ජෝන් ද සිල්වා මහතාගේ සිරි සංඝබෝ නාට්‍යයෙන්. පස්සේ BNS මේ සිංදුවේ ප්‍රථිනිර්මානයකුත් කරා. අද මේ කෙටි සටහන ඒ සිංදුවෙන් කියවෙන දේ ගැන.

අනුරාධපුර රාජධානි කාලයේ ලංකාවේ හිටියා විජය කියලා රජ කෙනෙක්. කුවේණිත් එක්ක හිටපු විජය නෙමේ මේ වෙන කෙනෙක්.  ඔය කාලයේ මිත්‍ර කුමාරවරු තුන්දෙනෙක් අනුරාධපුරයට එනවා. සංඝ තිස්ස , සංඝ බෝධි සහ ගෝඨාභය ඒ කුමාරවරු තුන්දෙනා. මේ තුන්දෙනා එන්නේ පැරණි මිණිපේ ජනපදයේ ඉදන්. මේ කුමාරවරුන්ට රජපවුලට සබදකමක් තියෙනවයි කියලා කිව්වට හරිහැටි සාක්ෂි සාධක නැහැ.

මේ කුමාරවරු තුන්දෙනා අනුරාධපුරයේ තිසා වැවේ ඇල මතින් ඒදණ්ඩකින් ගමන් කරනකොට ඒ කිට්ටුව පැලක හිටපු අන්ධ පුද්ගලයෙක් “මහ පොළොව බාරගන්න රජවරු තුන්දෙනෙක්” කියලා කියනවා. මේක ඇහුන ගෝඨාභය කුමාරයා තමන්ගේ මිත්‍ර අනෙක් කුමාරවරු දෙන්නට හොරෙන් අර අර්ධ පුද්ගලයා ගාවට ගිහින් අහනවා “අපි තුන්දෙනාගෙන් වැඩිම කාලයක් රජකම් කරන්නේ කව්ද?” කියලා. අන්ධ පුල්ගලයා “අන්තිමට රජකමට පත්වෙන පුද්ගලයා වැඩිම කාලයක් රජකම් කරනවා” කියලා කියනවා.

මේ කුමාරවරු තුන්දෙනා අනුරාධපුරයට ඇවිදින් රජවාසලේ ඉහළ තනතුරුවලින් විජය රජතුමාට සේවය කරන්න ගත්තා. මේ තුන්දෙනා අතරින් සංඝ තිස්ස කුමාරයා විජය රජතුමාට කලින් රජකම් කරපු සිරිනාග රජතුමාගේ වැඩිමහල් පුත්‍රයා කියලත් කියනවා. රජපවුලේ ඇතිවුන අර්බුධයකින් අනුරාධපුරය අතහැරලා මහියංගණයට ගියා කියලයි වංශකතාකරු කියන්නේ.

කොහොමහරි මේ සංඝතිස්ස කුමාරයා සේනාපති තනතුරේ ඉන්නකොට විජය රජතුමාව මරලා රාජ්‍ය පැහැරගන්නවා. ඉස්සර හැම රජකෙනෙක්ම රුවන්වැලිමහාසෑය ප්‍රතිසංස්කරණය කිරීම සිරිතක් කරගත්තා. මේ නිසා සංඝතිස්ස කුමාරයත් මහාසෑයේ ඡත්‍රයේ රන් ආලේප කරලා මහාසෑය අකුණු වලින් ආරක්ෂා වෙන්න මහාසෑයට වජ්‍රචුම්බට සවි කරා. වජ්‍රචුම්බට කියන්නේ අද අකුණු සන්නායක වගේ අකුණු ඇදගෙන ඒවා භූගත කරලා අකුණු වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කරන ක්‍රමෝපායක්. ලංකාවේ තිබුනු තාක්ෂණය සුළුපටු නැහැ. ලංකාවේ අතීත තාක්ෂණය ගැන කියනකොට මේවයි කතාකරන්න ඕන. එහෙම නැතුව ඇහැකට නොදැක්ක කොහෙවත් සදහනක් නැති අහස් යාත්‍රා වගේ හිතලු නෙමේ.

සංඝතිස්ස කුමාරයා ජම්බු කන්න හෙන රුසියා. අන්තප්පුරයත් එක්ක මාතොටිනුත් (මන්නාරමින්) එහාට යනවා ජම්බු කන්න. මේ නිසා ගම්වැසියන් කිහිප දෙනෙක් රජතුමාට ජම්බු වලට වස දාලා දීලා රජතුමාව මරවනවා. සංඝ තිස්ස රජතුමාගෙන් පස්සේ රජකමට පත්වෙන්නේ සංඝබෝධි කුමාරයා. සිරිසඟබෝ රජතුමා කියන්නේ මේ රජතුමාට.

සිරිසඟබෝ රජතුමා දැහැමි පාලකයෙක් විදිහට ප්‍රසිද්ධයි. මිනිස්සුත් මේ නිසා රජතුමාට පක්ෂපාතීව හිටියේ. සිරිසඟබෝ රජතුමා නියං කාලයේදී මහාසෑයේ මළුවේ ඉදගෙන සත්‍ය ක්‍රියා කරා කියලා අහලා තියෙනවා. හොරු කල්ලි අල්ලගෙන එයාලට කරුණු හොදහැටි පැහැදිලි කරලා දීලා සල්ලිත් දීලයි ඒ හොරුන්ව යවලා තියෙන්නේ. හොරුන්ට දඩුවම් දුන්නයි කියලා මිනිස්සුන්ට පෙන්නන්න ඕන නිසා මළමිනී පෙන්නුවලු.

සිරිසඟබෝ රජතුමාගේ කාලයේ රක්තාක්ෂයා කියලා යක්ෂයෙක් හිටියා කියලා සදහන් වෙනවා. මේ යක්ෂයා දිහා බලාගෙන හිටියොත් ඇස් රතු වෙනවලු. මේක දරුණු උණ රෝගයක් වෙන්න පුලුවන්. මිනිස්සුන්ට ඒ දේවල් තේරුම් බේරුම් කරගන්න බැරි නිසා ඒ වගේ නමක් දැම්මා වෙන්න පුලුවනි.

ගෝඨාභය කුමාරයා මේ කාලයේ සිරිසඟබෝ රජතුමාගේ භාණ්ඩාගාරික විදිහටයි කටයුතු කළේ. ගෝඨාභය කුමාරයාට උවමනාවක් තිබුනා සිරිසඟබෝ රජතුමාගෙන් රාජ්‍ය පැහැරගන්න. සිරිසඟබෝ නාට්‍යයේ ‘සිරි සංඝබෝධි මාලිගාවේ දී’ ගීතය ගායනා කරන්නේ ගෝඨාභය කුමාරයා. ඒ ගීතයෙන් කියන්නේ තමන් රට අල්ලගන්න සැලසුම් කරන විදිහ.

‘සිරි සංඝබෝධි මාලිගාවේ දී…

මා දැක ප්‍රාණේ හානි වෙන්ට බැට දෙම්…’

සිරි සංඝබෝධි රජතුමාව මාලිගාවේ දී අල්ලාගෙන ඔහු මරණයට පත්වෙන තුරු පහර දෙමි.

‘අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා’

ජනතාවගේ ආලය දිනාගත් රජතුමාව සැන්දෑ කාලයේ දී අල්ලාගෙන ඔහුගේ කොන්ද කඩා දමමි.

‘ධර්මේ සීලෙ රක්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා’

ධර්මය හා ශීලය ආරක්ෂා කරන රජතුමාව මරා දමමි. මේ කරන දෙයින් කර්මය පලදෙන්නේ බොහෝ කලකට පසු නිසා ගැටලුවක් නැත.

‘කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාලිගා සොයා’

යුද්ධයක් ඇතිවීමට දැන් හොදම කාලයයි. තේජවන්ත, සීලවන්ත හා ධාර්මික සිරිසඟබෝ රජතුමාව මම නිසැකයෙන්ම මාලිගාවේ සොයා විනාශ විනාශ කරමි.

නමුත් සිරිසඟබෝ රජතුමාට රටේ ජනතාවගේ පක්ෂපාතීත්වය නිසා ඒක සුළුපටු දෙයක් නෙමේ කියලා ගෝඨාභය කුමාරයා දැනගෙන උන්නා. ගෝඨාභය කුමාරයාගේ ආශාව දැනගත්තු සිරිසඟබෝ රජතුමා තමන් රජකමට ලෝභ කෙනෙක් නොවන නිසා කැමති කෙනෙක්ට රාජ්‍ය කරන්න කියලා තවුස් වෙස් අරගෙන අනුරාධපුරයෙන් පිටමං වෙනවා.

මීට පස්සේ රජකමට පත්වෙන්නේ ගෝඨාභය කුමාරයා. මේ රජතුමා රජකමට පත්වෙලා එතනින් නවතින්නේ නැහැ. සිරිසඟබෝ රජතුමාගේ හිස අරගෙන එන කෙනෙක්ට මසුරන් ලබාදෙනවා කියලා අණබෙර යැව්වා. මේ හේතුවෙන් අහිංසක මිනිස්සු බොහෝ දෙනෙක්ගේ හිස කදෙන් වෙන්වුනා. මේ විනාශය බලාගෙන ඉන්න බැරිකමට තමන්ගේ හිස සිරිසඟබෝ රජතුමා දන් දුන්නා කියලයි මහාවංශය කියන්නේ. ලංකාවේ වෙනයම් රජකෙනෙක් මේ වගේ පරිත්‍යාගයක් කරා කියලා වෙන කිසිම තැනක සදහනක් නැහැ. සිරිසඟබෝ රජතුමාගේ මේ උතුම් ගුණය නිසා පසුවට පැමිණි රජවරු බොහෝ දෙනෙක් තමන්ගේ නමට ඉස්සරහින් ශ්‍රී සංඝබෝධි කියන ගෞරව නාමය භාවිතා කළා.

සිරිසඟබෝ නාට්‍ය රචනා කල ජෝන් ද සිල්වා මහතා 


Friday, May 7, 2021

සන්දේශ කාව්‍ය සහ දේශපාලනය

 

තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ සාහිත්‍යයේ ඉහළින්ම තියෙන නමක්. චන්ද්‍රාවතී සහ ලෝකනාථා කියන කාන්තාවෝ දෙන්නා නැත්නම් රාහුල හාමුදුරුවෝ කියල කෙනෙකුත් නැහැ කියලා මම කියමනක් අහලා තියෙනවා. අපි මේ සටහනෙන් බලමු ඇයි එහෙම කියන්නේ කියලා.

කෝට්ටේ හිටියා රජකෙනෙක් හයවෙනි පරාක්‍රමබාහු කියලා. ඒ කාලේ මෙයාට මෙයාට එරෙහිව නැගී හිටින්න තරම් බලවත් කෙනෙක් හිටියෙත් නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා. පරාක්‍රමබාහුට රජතුමාට පස්සේ රජකම දෙන්න පුතෙක් හිටියේ නැහැ.  රජතුමාට හිටියේ දුවලා දෙන්නෙක්. එක්කෙනෙක් චන්ද්‍රාවතී අනික් කෙනා ලෝකනාථා. ලෝකනාථා දේවියට උලකුඩය දේවිය කියලත් කියනවා. ඉස්සර ගැහැණු දරුවන්ට රජකම ලබාදෙන සිරිතක් තිබ්බෙත් නැහැනේ. මේ නිසා සවැනි පැරකුම්බා රජතුමා පිරිමි ළමයි තුන්දෙනෙක්ව පුත් තනතුරේ තියාගෙන හදාගත්තා. එයින් කෙනෙක්ට රජකම දෙන්න කියලා හිතාගෙන.

වැඩිමලා සපුමල් කුමාරයා දෙවැන්නා ජයබාහු කුමාරයා තුන්වැන්නා අම්බුලුගල කුමාරයා. ජයබාහු කුමාරයා පස්සේ පැවිදි වෙනවා තොටගමුවේ රාහුල හිමි විදිහට. පැරකුම්බා රජතුමාගෙන් පස්සේ රජකම ලැබෙන්න තිබුනේ සපුමල් කුමාරයාට. එයානෙ වැඩිමලා. අනික එයා දක්ෂ සෙන්පතියෙක් විදිහට රටේ මිනිස්සුන්ගෙත් කැමැත්ත දිනාගෙන හිටියේ.

නමුත් රාහුල හාමුදුරුවෝ මේකට කැමති වුනේ නැහැ. රාහුල හාමුදුරුවෝ කිව්වා රජතුමාට එතුමගේ මුණුබුරෙක්ට රජකම දෙන්න කියලා. ඒ වෙනකොට රජතුමාගේ වැඩිමහල් දුව වුන චන්ද්‍රාවතී කුමරිය අඩුමතරමේ බැඳලවත් උන්නේ නැති නිසා රජතුමාට මුණුබුරෙක් හිටියෙත් නැහැ. මෙන්න මෙතනදී රාහුල හාමුදුරුවෝ තමන්ගේ සාහිත්‍ය දැනුම ප්‍රයෝජනයට ගන්නවා රටේ දේශපාලන ප්‍රශ්නයකට විසදුමක් විදිහට.

මේ වෙනකොට රටේ මිනිස්සු සපුමල් කුමාරයාට රජකම ලැබෙනවට කැමැත්තෙන් හිටියේ. රාහුල හාමුදුරුවන්ට අවශ්‍ය වුනා මිනිස්සුන්ගේ මේ කැමැත්ත වෙනස් කරන්න. අද වගේ ටීවී ඇඩ් දාන්නත් බැහැනේ. ඒ නිසා ලිව්වා සන්දේශ කාව්‍යයක්. සමකාලීන බොහෝ දෙනෙක් වෙතට තමන්ගේ අදහස ගෙනයන්න හොද ක්‍රමයක් ඒක. ගම්බිම්, ඇළදොල, ගංගා, පොකුණු, වනසතුන් ආදීන් ගැන වැනුමෙන් තමන්ගේ හිතවත් දේශපාලන නායකයන් මිනිසුන්ගේ ගෞරවයට පත් කරන්න පුලුවන් ක්‍රමයක් සන්දේශ කාව්‍යයක් කියන්නේ. සන්දේශ කාව්‍යයක් කියන්නේ කවියගේ ප්‍රාර්ථනාව අරමුණ මිනිසුන්ගේ ප්‍රාර්ථනාව හා අරමුණ කරන්න පුලුවන් හරිම සියුම් උපක්‍රමයක්. රාහුල හාමුදුරුවෝ මේ ක්‍රමය භාවිතා කරා.

රාහුල හාමුදුරුවෝ ලියනවා පරෙවි සන්දේශය. මේ සන්දේශ කාව්‍යයේ අරමුණ වෙන්නේ කුලවත් පුරුෂයෙක් චන්ද්‍රාවතී බිසවට ලැබෙන්නත් කිරුළ දරන්න සුදුසු පුත් කුමරෙක් චන්ද්‍රාවතී බිසවට ලබාදෙන්නත් කියලා උපුල්වල් දෙවියන්ගෙන් කරන ඉල්ලීමක්. නමුත් අවාසනාවකට චන්ද්‍රාවතී බිසව විවාහ නොවී මියයනවා.

රාහුල හාමුදුරුවෝ තමන්ගේ අපේක්ෂා නැතිකරගත්තේ නැහැ. හයවෙනි පරාක්‍රමබාහු රජතුමාට ඉන්නවා තව දුවෙක්. උලකුඩය දේවිය. ඉතින් ලිව්වා තව සන්දේශ කාව්‍යයක්. අපි හැමෝම අහලා තියෙන සුප්‍රකට සැළලිහිණි සන්දේශය. සැළලිහිණි සන්දේශයේ අරමුණ උලකුඩය දේවියට පුතෙක් ලබා දෙන සේ කැළණියේ විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක්. නමුත් මෙතනදී මේ ඉල්ලීම තමන්ගේ ඉල්ලීමක් විදිහට නෙමේ උලකුඩය දේවියගේ සැමියගේ ඉල්ලීමක් විදිහටයි සන්දේශය ලියැවෙන්නේ.

රාහුල හාමුදුරුවන්ගේ මේ පැතුම ඉටුවෙනවා. උලකුඩය දේවියට පුතෙක් ලැබෙනවා. නම ජයබාහු. සවැනි පරාක්‍රමබාහු රජතුමා මියගියාට පස්සේ ජයබාහු රජකමට පත්වෙනවා. මේ අතරේ සපුමල් කුමාරයා රජකමට පත්කරන්න අපේක්ෂාවෙන් හිටපු පිරිසකුත් ඉන්නවා. මේ පක්ෂයෙන් සපුමල් කුමාරයාව වර්ණනා කරලා සන්දේශ කාව්‍යයක් ලියනවා. මේ සන්දේශයෙ නම කෝකිල සන්දේශය. කෝකිලයා සන්දේශය දෙවිනුවර ඉදන් යාපනය වෙනකන් අරගෙන ගිහින් යාපනයේ ඉන්න සපුමල් කුමාරයාට දෙන්නේ. මොකද ඒ වෙනකොට සපුමල් කුමාරයා යාපනය ජයගෙන පාලනය කරගෙන උන්නේ. මේ සන්දේශයෙන් කවියා (ඉරුගල්තිලක හිමි කිව්වට පැහැදිලි සදහනක් නැහැ) සපුමල් කුමාරයා පැරකුම්බා රජතුමාට නොදෙවෙනි පාලකයෙක් විදිහටයි විස්තර කරන්නේ.

උලකුඩය දේවියගේ පුතා ජයබාහු රජකමට පත්වුනාට අවුරුදු දෙකකට වඩා රජකම් කරන්න ලැබෙන්නේ නැහැ. සපුමල් කුමාරයා ජයබාහු රජතුමාව මරලා රජකමට පත්වෙනවා හයවෙනි බුවනෙකබාහු විදිහට. මේ සිදුවීමෙන් පස්සේ රාහුල හාමුදුරුවෝ ආගමික හා දේශපාලන කටයුතු වලින් ඈත් වෙනවා.

රාහුල හාමුදුරුවන් කරපු ශාසනික කටයුතු දැන් පැවරිලා තියෙන්නේ රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයෙක් වුන වීදාගම මෛත්‍රී හිමියන්ට. බුවනෙකබාහු රජතුමාගේ කාලයේ රාමඤ්ඤ දේශයෙන් ගෙනා උපසම්පදාව පවත්වන්න භික්ෂූන් රැස් කලේ වීදාගම මෛත්‍රී හිමියන්. මේ හේතූන් එක්ක වීදාගම මෛත්‍රී හිමි බුවනෙකබාහු රජතුමාට (පෙර සපුමල් කුමාරයා) හිතවත්ව හිටියා කියලා කියන්නත් පුළුවන්.

දේශපාලන පරිසරයකින් තොරව ලියැවුනු සන්දේශ කාව්‍ය දෙකක් විදිහටයි ගිරා සන්දේශයයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ. ගිරා සන්දේශයේ කතුවරයෙක් ගැන නිසි සදහනක් නැතත් හංස සන්දේශය ලිව්වේ වීදාගම මෛත්‍රී හිමි කියලයි පිළිගන්නේ. මේ කාව්‍ය දෙකෙන් ශාසනික ආයතන දෙකක් වර්ණනා කරන්නේ. කෝට්ටේ යුගයේ ප්‍රධාන ශාසනික ආයතන දෙකක් තිබුනා. එකක් ග්‍රාමවාසය අනික වනවාසය. ග්‍රාමවාසයේ නායකයා රාහුල හාමුදුරුවෝ. ගිරා සන්දේශයේ කියැවෙන්නේ රාහුල හාමුදුරුවෝ හිටපු තොටගමුවේ විජයබා පිරිවෙන ගැන වර්ණනයක්.

වනවාසයේ නායකයා වුනේ කෑරගල වනරතන හිමි. හංස සන්දේශයේ වර්ණනාවට ලක්වෙන්නේ වනතරන හිමියන් විසූ ගම හා විහාරය. ඒත් එක්කම ගිරා සන්දේශයේ එන වර්ණනා සිනාවට ලක්කරන විදිහටයි හංස සන්දේශය ලියවෙන්නේ. වීදාගම හිමි මෙහෙම ලියන්නේ රාහුල හාමුදුරුවෝ සපුමල් කුමාරයාට විරුද්ධ වුන නිසා සපුමල් කුමාරයාව සතුටු කරන්න වෙන්නත් පුලුවන්. හංස සන්දේශයෙනුත් ගිරා සන්දේශයෙන් වැනුමට ලක්වෙන රාහුල හාමුදුරුවන්ගේ දැනුම ලඝු කොට දක්වන්න කරපු උත්සහයනුත් නිසා ඒ සන්දේශ වලටත් දේශපාලන බලපෑමක් තිබුනා කියන්න පුලුවන්.

දේශපාලන අරමුණු වලින් රචනා වුනේ මේ සන්දේශ කාව්‍ය කිහිපය විතරක්ම නෙමේ. කෝට්ටේ යුගයට කලින් ගම්පොළ යුගයේ ලියැවුනු සන්දේශ කාව්‍ය දෙකකුත් තියෙනවා. තිසර හා මයුර සන්දේශය. තිසර සන්දේශයෙන් වැනුමට ලක්වෙන්නේ දැතිගම්පුර විසූ පස්වෙනි පරාක්‍රමබාහු රජතුමාව. පස්වෙනි පැරකුම්බා රජතුමා ලංකාව පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා විදිහටයි තිසර සන්දේශයේ කතුවරයා විස්තර කරන්නේ. මයුර සන්දේශයෙනුත් කියන්නේ බුවනෙකබාහු රජතුමාව ආරක්ෂා කරන්නෙයි කියලා උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලනවා.

උක්ත සන්දේශ කතුවරුන්ගේ දේශපාලන අරමුණු ඉටු වුනත් නැතත් දේශපාලන ගැටුම සාහිත්‍ය තුලින් සිදුවුන නිසා ලංකාවට හොද සන්දේශ සාහිත්‍යයක් හිමිවුනා.

විභීෂණ දෙවියන්