Sunday, May 28, 2017

බයිබලයෙන් එහා -6 කොටස [කතෝලික පල්ලිය පරිහානියට පත් වීම]


  16 වෙනි සියවස තුල සිදුවූ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිසා එතෙක් පැවති කතෝලික පල්ලිය බෙදී විවිධ නිකායන්වලට වෙන් විය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපාර වල අරමුණ වූයේ කතෝලික පල්ලිය විවිධ සංශෝදනයන්ට භාජනය කිරීමය. මෙම අවධිය වන විට කතෝලික පල්ලිය විවිධ දෝෂාරෝපණයන්ට ලක් වූ අතර පාප්තුමා අතින් වරදක් නොවන බව පිලිගනු ලැබීය. එම නිසා රජයත් මහ ජනතාවත් පාප්තුමාට අවනතව කටයුතු කල යුතුව තිබූ අතර පාප්තුමාට විරුද්ධව වචනයක්වත් පැවසිය නොහැකි විය. එසේ පැවසුවහොත් එය පාපයක් ලෙස සලකනු ලැබීය. රජයේ ඒකාධිකාරීත්වයට පාප්තුමා ඍජුව මැදිහත් වූ නිසා එකල රජවරුන් මහත් අසීරුතාවයකට පත්ව සිටියේය. මෙතරම් බලවත්ව සිටි කතෝලික පල්ලිය දෙදරා යාමට හේතු සොයා බැලීම වටී. මෙම ලිපියෙන් ඒ පිලිබඳ සාකච්ඡා කෙරේ.

  එක්තරා අවධියකදී පාප් ධූරය හෙබවූ සියලු දෙනා ප්‍රංශ ජාතිකයන් විය. 1309 දී පස් වන ක්ලෙමන්ට් පාප්තුමාට රෝමය අතහැර ප්‍රංශයේ ඇවිග්නොන් නගරයේ පදිංචි වන ලෙස ප්‍රංශ රජු බල කලේය. 1377 තෙක් පත්වූ පාප්වරුන් ජීවත් වුයේ මෙම නගරයෙහිය.
V වන ක්ලෙමන්ට්
මෙම කාල වකවානුව බැබිලෝනියන් අත්තඩංගුව යැයි හදුන්වනු ලැබේ. කෙසේවෙතත් 1377 දී XI වන ග්‍රෙගරි පාප්තුමා රෝමයේ වාසයට පැමිණේ. ඉන් වසරකට පසු එ 1378 දී ඔහු මියයයි. ඉන්පසු රෝමය මුල් කරගෙන නව පාප්තුමෙකු පත්කරගත් අතර ඔහු VI වන අර්බන් නම් විය. මේ වන විට පාප් ධූරය සදහා තිබූ ප්‍රංශ ආධිපත්‍ය අවම කිරීමට VI වන අර්බන් පාප්තුමා ක්‍රියාකල අතර සමහර කාදිනල් වරු මෙයට විරුද්ධ විය. එහි ප්‍රතිපලය වූයේ VI වන අර්බන් පාප් ධූරයේ සිටියදීම VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්වරයෙක් පත් වීමයි. ඔහු ඇවිග්නොන් නගරය මුල් කරගෙන පාප් ධූරය හෙබවීය.

 1389 දී VI වන අර්බන් පාප්තුමා මියගියායින් පසු IX වන බොනිෆස් පාප්තුමා පත්විය. 1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා මියගියායින් පසු XIII වන බෙනඩික්ට් පාප්තුමා පත් විය. 1404 දී IX වන බොනිෆස් පාප්තුමා මියගියායින් පසු VII වන ඉනසන්ට් පාප්තුමා පත් විය. 1406 දී ඔහු මියගිය පසු XII වන ග්‍රෙගරි පාප්තුමා පත් විය.
XIII වන බෙනඩික්ට් 

  මේ වන විට කතෝලික සභාව ඇද වැටී තිබෙන ආගාධයෙන් බේරීමට ක්‍රියාමාර්ග ගැනීමට 1409 දී ඉතාලියේ පීසා හිදී සමුළුවක් පැවැත්විනි. මෙහිදී නව පාප්තුමෙකු පත් කල අතර V වන ඇලෙක්සැන්ඩර් විය. එනමුත් මේ තීරණයට අනෙක් පාප්වරුන් දෙදෙනා වන XII වන ග්‍රෙගරි සහ XIII වන බෙනඩික්ට් පිලි නොගත්තේය. මේ හේතුවෙන් එකම කාලයකදී පාප්වරු තිදෙනෙක් ජනතාව පාලනය කලේය.

මෙසේ පාප්වරුන් තිදෙනෙක් එකවර පත් වී ක්‍රිස්තු භක්තිකයන්ගේ පක්ෂපාතීත්වය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා පාප්ධූරයේ ගෞරවනීයත්වය දෙදරා ගියේය. කෙසේ නමුත් 1417 වන විට රෝමය මුල්
XII වන ග්‍රෙගරි
කරගෙන එක් පාප්වරයෙක් පත් කර ගත්තද පාප්ධූරයට සිදුවූ හානිය පිලිසකර කරගත නොහැකි විය.

 මධ්‍යකාලීන අවධිය වන විට කතෝලික පල්ලියට විශාල වශයෙන් වස්තුව හා දේපළ අයිතිව තිබුනේය. ඔවුන් එය තවදුරටත් වැඩි දියුණු කරගනිමින් සිටියේය. සෑම කිතුනු පවුලකින්ම පීටර්ස් පෙන්ස් නම් වූ බද්දක් සහ පවුලේ ආදායමින් 1/10 ක ටයිත් නම් වූ බද්ධක් අය කරන ලදි. පාප්වරුන් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කල අතර ඔවුන්ගෙන් ඉටු විය යුතු සේවාවන් කිසිවක් සිදු නොවීය.

  යුරෝපයේ සිටි පාලකයෝ පල්ලිය තුල වර්ධනය වෙමින් තිබූ ධනය ගැන ඉතා අවධානයෙන් බලා සිටියේය. ඔවුන්ට එම ධනයට බද්දක් අය කිරීමට නොහැකි විය. ආගමික වශයෙන් වැරදි කල අයට වෙනමම උසාවියක් කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන ගියේය. පල්ලිය ක්‍රියාකාරීත්වය පිලිබඳ දොස් පැවරූ අයව කනුවක ගැට ගසා පුළුස්සන ලදි.
ශාන්ත පීතර දෙව්මැදුර 

 එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි බලවත් ජාතික රාජ්‍ය නැග ඒමත් සමඟ ප්‍රථම වරට කතෝලික පල්ලියට එරෙහිව අභියෝග එල්ල කල හැකි ප්‍රබල සතුරෙකු බිහි විය. එම රටවල්වල ක්‍රියාත්මක වූ කතෝලික පල්ලියේ ආධිපත්‍යට එම රාජ්‍ය පාලකයෝ විරුද්ධ වූයේ එවැන්නක් පැවතීම තම රාජ්‍යයේ අභිවෘද්ධියට හානියක් වන බව පසක් කරගත් නිසාය. මෙම පාලකයෝ විවිධ ක්ෂේත්‍ර තුලින් පල්ලියේ බලතල අඩු කිරීමට සමත් විය.
 
 රෙපරමාදු ව්‍යාපාරය ආරම්භ වීමට ආසන්න කාලයේදී කතෝලික පල්ලිය ලෞකිකත්වයට නැඹුරු වීම දක්නට ලැබුණි. ජනතාව මෙයට වඩාත් නැඹුරු වූයේ වෙළඳ කටයුතු වර්ධනය වීම නිසාවෙනි. කතෝලික පල්ලියද ධනය රැස් කිරීමේ කටයුතු වල නිරත විය. පල්ලියෙන් අය කරන ලද බදු දෙස සාමාන්‍ය ජනතාව බැලුවේ අවඥා සහගතවය. පල්ලියේ යම් ප්‍රතිසංස්කරණයක් සිදු වුවහොත් පල්ලියට අයිතිව තිබූ ඉඩම් වලින් කොටසක් තමන්ටත් ලබා ගත හැකි වනු ඇති බව ජනතාව විශ්වාස කලේය.

 12 වන සියවස මුල් කාලයේ සිටම පල්ලි සංවිධානයයට එරෙහිව ව්‍යාපාර සංවිධානය විය. මොවුන් සක්‍රමේන්තු චාරිත්‍රවලට හා පූජක පන්තියට තදබල ලෙස පහර ගැසූහ. මේවා මැඩපැවැත්වීම සඳහා පාප්වරු විවිධාකාර වූ පියවරවල් අනුගමනය කරන ලදි. 1328 සිට 1384 අතර
ජෝන් වයික්ලීෆ්
ජීවත් වූ ජෝන් වෛක්ලීෆ් පූජක පන්තිය ඇතුලු පල්ලියේ ක්‍රියාකාරකම් බොහොමයක් විවේචනය කලේය.
 
  ජෝන් වයික්ලීෆ්ගේ අනුගාමිකයන් ලොලාඩ්වරු ලෙස හැදින්වීය. ජෝන් වයික්ලීෆ් විසින් බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදි. මෙයටද බොහෝ දෙනා විරුද්ධ විය. පූජක පන්තිය විසින් බයිබලයේ කොටස් තම තමන්ගේ වාසියට අර්ථකතනය කර ජනතාවට ප්‍රකාශ කලේය. මෙසේ බයිබලය පරිවර්තනය වීමට ප්‍රථම සාමාන්‍ය ජනතාවට බයිබලයේ අඩංගු දෑ ගැන දැනගැනීමට සිටියේ පූජක පන්තිය පමණක් වූ බැවින් පූජක පන්තිය මෙයින් බොහෝ ප්‍රයෝජන ලබා ගත්තේය. බයිබලය ඉංග්‍රීසියට පරිවර්තනය වී සාමාන්‍ය ජනතාව අතට පත්වීම එකල පූජක පන්තියට බලවත් පහරක් වීය. පූජකවරයෙකු හා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වූ ජෝන් හස් [ 1369 - 1415 ]ව හා සවනරෝලා [1452 - 98 ] පුළුස්සා මරා දමන ලද්දේ පල්ලියේ වැරදි මැඩලීමට උත්සහ ගත් නිසාවෙනි.

  පල්ලියේ කටයුතුවල වූ දූෂිත තත්වය හෙලා දකිමින් විවේචනය කල ශ්‍රේෂ්ඨතම මානවවාදී විද්වතා වූයේ ඉරාස්ටස්ය. ඔහු පල්ලියට විරුද්ධව එළිපිට කැරළි ඇති කලේ නැත. ඔහුට උවමනා වූයේ පල්ලිය තුලින්ම මෙයට විරුද්ධව යම් බලවේගයක් ඇති කිරීමය.

  19 වන ලියෝ පාප්තුමා විසින් ශාන්ත පීතර දෙව්මැදුරේ විශාල ශාලාවක් ඉදි කිරීම සඳහා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් දියත් කලේය. මෙහිදී ඔවුන් පුණ්‍යපල පත්‍රිකා විකිණීමට පටන්ගත්තේය. එම පුණ්‍යපල පත්‍රිකා මිලදී ගන්නා අයෙකුගේ සියලු පව් කමා වන බව පවසන ලදි. ජර්මනියේ පුණ්‍යපල පත්‍රිකා විකිණූ මෙට්සල් හා මාටින් ලූතර් අතර ඇතිවූ සංවාද නිසා 1517 දී ආගමික විප්ලවයක් ඇති විය.

 මාටින් ලූතර් විසින් නායකත්වය ලබා දුන් ජර්මනියේ ප්‍රොතෙස්තන්තවාදී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පිලිබඳ ඊලඟ ලිපියෙන් සාකච්ඡා කෙරේ.

මූලාශ්‍ර :

1)ලෝක ඉතිහාසය -බී.වී.රාවෝ

2) http://aagiyakatha.blogspot.com/2013/03/blog-post_24.html?m=1

3) https://www.britannica.com/topic/Roman-Catholicism/The-age-of-Reformation-and-Counter-Reformation

4) https://en.m.wikipedia.org/wiki/Christianity_in_the_16th_century

5) http://m.christianity.com/church/church-history/centuries/16th-century-11631975.html

මේවටත් උත්තර දුන්නනන්;

1) " මගේ සීයා ඔටුවෙක් පිටේ ගියේ , මගේ තාත්තත් ඔටුවෙක් පිටේ ගියේ, මම පදින්නේ Mercedes රථයක්, මගේ පුතා පදින්නේ Land Rover රථයක්, එයාගේ පුතාත් Land Rover රථයක් පදීවි, හැබැයි එයාගෙත් පුතා ඔටුවෙක් පිටේ යාවි." මෙහෙම කිව්වේ කව්ද?

2) 14 වන සියවසේ මහාමාරිය රෝගය ව්‍යාප්තියට පාප්වහන්සේ කෙනෙක්ගේ ක්‍රියාපිලිවෙතක් හේතු වුනා... මේ ක්‍රියා පිලිවෙත මොකක්ද? පාප්වහන්සේ කව්ද?

3) මයිකල් ජැක්සන්ගේ Black or White ගීතයේ ඉන්න කාන්තාව නර්තනයේ යෙදෙන්නේ කිනම් නැටුම් වර්ගයකින්ද?

Thursday, May 25, 2017

බයිබලයෙන් එහා - 5කොටස [දික්කසාදයක් නිසා උපන් ඇංග්ලිකානු සභාව]


  එංගලන්තයේ කතෝලික පල්ලියට සහ එය දෙසූ දහමට විරුද්ධ ව්‍යාපාරයෙහි මුල් තැන ගත්තේ ජෝන් වෛක්ලීෆ්ගේ අනුගාමිකයන් විසින් සංවිධානය කෙරුණු ලොලාඩ් ව්‍යාපාරයයි. පුනරුද සමයේ ව්‍යාප්ත වූ මානවවාදී අදහස් සහ පල්ලිය තුල ප්‍රචලිතව පැවති දූෂණද එංගලන්තයේ ආගමික ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමේ අවශ්‍යතාව තීව්‍ර කරනු ලැබීය.

  එසේ වුවද එම කතෝලික පල්ලි විරෝධී ව්‍යාපාරයට විධිමත් සැලසුම් සහගත වැඩපිලිවෙලක් හෝ නායකත්වයක් නොවීය. එහෙයින් එංගලන්තයේ පැවතියේ රෙපරමාදු ව්‍යාපාරය ආරම්භවේදෝ නොවේදෝ යන සැකමුසු තත්වයකි. එසේ වුවද අන්තිමට එහි රෙපරමාදු ව්‍යාපාරය ආරම්භ වූයේ එයටම විශේෂිත වූ පසුබිමක් මුල් කොටගෙනය.

  එංගලන්තයේ කතෝලික පල්ලිය බිඳී යාමට හේතු වූයේ අට වන හෙන්රි රජු [1509 - 47] සහ ඔහුගේ පලමු බිසව වන ඇරගන් කැතරින් අතර වූ විවාහය පිලිබඳ මතුවූ ප්‍රශ්නයයි. රාජ්‍ය උරුමය ලබා දීම සඳහා කැතරින් කුමරියගෙන් පිරිමි දරුවෙකු නොලැබුනු අතර , හෙන්රි රජු ඈන් බොලීම් නම් කාන්තාව විවාහ කර ගැනීමට පාප්තුමාගේ අවසරය ඉල්ලා යැවීය. එහෙත් එයට සතුටුදායක පිලිතුරක් නොලැබුණි. තම කරදර කාලයේදී පාප්ගේ ලඟම හිතවතා වශයෙන් සිටි පස් වන චාල්ස් අධිරාජ්‍යයාගේ නැන්දනිය වූ කැතරින් දික්කසාද කිරීමට හෙන්රි රජුට ඉඩ දීම පාප්තුමාට කල නොහැකි විය.
අටවන හෙන්රි රජු. හෑන්ස් හොල්බෙයින් නම් පුද්ගලයා විසින් 1540 දී අඳිනා ලද චිත්‍රයකි.

  එයින් කුපිත වූ රජු එවක් පටන් එංගලන්තයේ රෙපරමාදු ව්‍යාපාරයට නායකත්වය දීමට ඉදිරිපත් විය. එවකට රජුට අවනතව කටයුතු කරන තත්වයක සිටි පාර්ලිමෙන්තුව කැඳවූ හෙන්රි රජු 'ආධිපත්‍ය' පිලිබඳ පනත සම්මත කරවාගෙන එංගලන්තයේ පල්ලි සංවිධාන කෙරෙහි පාප්ට තිබූ අධිකාරී බලය අවලංගු කලේය. තවද එංගලන්ත පල්ලියේ හා පූජකවරුන්ගේ අද්විතීය ප්‍රධානිය හා ආරක්ෂකයා ලෙස රජු පත් කිරීම එම පනත මගින් සිදු කෙරිණි. එසේ වුවද ඇංග්ලිකානු පල්ලියේ ආගමික වත් පිලිවෙත් හා දර්ශනයෙහි වෙනස්කම් සිදු වූයේ ස්වල්ප වශයෙනි.

 සෑම පල්ලියකම බයිබලයේ ඉංග්‍රීසි පිටපතක් තැන්පත් කල අතර එතෙක් භාවිතා කල ලතින් බයිබලය ඉවත් කරන ලදි. අට වන හෙන්රි රජුගේ අනුප්‍රාප්තිකයා වූ හය වන එඩ්වඩ් රජුගේ කාලයේදී ඇංග්ලිකානු පල්ලිය ප්‍රොතෙස්තන්ත ධර්මය දෙසට වඩාත් නැඹුරුවීමක් දක්නට ලැබුණි. එහෙත් උග්‍ර කතෝලිකවාදී මේරි කුමරිය රජවීමත් සමඟ [1553 - 58] ප්‍රොතෙස්තන්තවාදීන් විනාශ කිරීමේ ප්‍රතිපත්තියක් ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කලේය. ප්‍රොතෙස්තන්තවාදීන් විශාල ප්‍රමාණයක් රටින් පිටුවහල් කල අතර 300ක් පමණ දෙනා පුළුස්සා මරා දමන ලදි.
පලමු එලිසබෙත් රැජිණ 
මේරි රැජිණගේ අනුප්‍රාප්තිකයා වූ පලමුවන එළිසබෙත් රැජිණ අන්තවාදී ප්‍රතිපත්ති අතහැර මැදි පිලිවෙතක් අනුගමනය කල අතර එමගින් ඇංග්ලිකානු පල්ලිය නව මගකට යොමු කලාය. ආගමික වශයෙන් යුරෝපයේ බොහෝ අර්බුධ පැවතියද එංගලන්තයේ අතිශය බිහිසුණු තත්වයක් පැවති වාතාවරණයක වුවද රජ වූ එළිසබෙත් රැජිණ ආගමික සහනශිලී තත්වයක් ඇති කිරීමට සමත් වූවාය.

මූලාශ්‍ර:
ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ
https://en.m.wikipedia.org/wiki/History_of_the_Church_of_England

අද ප්‍රශ්න විදිහට අහන්නේ තුන් තේරවිලි... මේ තුන් තේරවිලි තෝරන්න...

1)පලතුරු තවාන
2)බුදු කුස්සිය
3)තියුනු යහන
4)වී වේලුනා
5)පනහයි දහයයි ඔලුව තියන එකයි
6)පිලිකුල් කකුල
7)කුපාඩියයි පහයි දෙකයි
8)මහත්තයා වහලේ
9)අහස් කෝට්ට
10)නාකි තුහ්
11)අයිස් මිටි
12)සප්ත ස්ථාන

Wednesday, May 24, 2017

බයිබලයෙන් එහා - 4 කොටස [පාස්කුව]


 පාස්කුව යන්න කිතුණුවන්ට හුරුපුරුදු වචනයකි. එය යුදෙව්වන්ට එදත් අදත් වැදගත් මංගල්‍යයකි. යුදෙව්වන් මෙම උත්සවය තුලින් සමරන්නේ දෙවියන්වහන්සේ විසින් ඔවුන් මිසර වහල් බැම්මෙන් ගලවනු ලැබීමයි. බයිබලයේ සිද්ධි පෙලට පෙළගැස්වූ විට මෙය ක්‍රි.පූ. 1300 දී පමණ සිදු වූ බවට ගණන් බලා ඇත. මෙම උත්සවයේදී දෙවියන්වහන්සේ ඔවුනට කළ මහත් දේ සඳහා තුති පුදමින් සිහිපත් කරති.

  යුදෙව් පවුලක සියලු දෙනා විසින් පාස්කු මංගල්‍යය දිනයේ දී එකට සහභාගි වී ආහාර වේලක් අනුභව කරනු ලැබේ. එම පවුලේ කුඩාම දරුවා පවුලේ වැඩිමහල් තැනැත්තා වෙත [ ඔහුට ඉගැන්වූ පරිදි ] ප්‍රශ්නයක් යොමු කරයි. එනම් මේ රැය අන් හැම රැයකටම වඩා වෙනස් වන්නේ ඇයි? යන්නය. දරුවාගේ ප්‍රශ්නයට පිලිතුරු වශයෙන් පවුලේ වැඩිමහල් තැනැත්තා යුදෙව්වන්ගේ සම්පූර්ණ ඉතිහාස කතාව කියා දෙමින් පාස්කු මංගල්‍යයේ විශේෂත්වය පහදා දෙයි. මුල් දිනයේදී මෝසෙස්ට දුන් නියෝගය අනුව අදත් යුදෙව්වන් විසින් පාස්කුවේදී පාවහන් ලා ගෙන කෑම අනුභව කරමින් සෙසු නියෝගද පිලිපදිනු ලැබේ. 


  මිසර දේශයෙන් ඊශ්‍රායෙල් ජනතාව නිදහස් කර ගැනීමට පාරාවෝ ගෙන් අවසර ලබා ගැනීම ඉතා දුෂ්කර විය. මිසර දේශයේ වසංගත ගණනාවක් හටගත්තද පාරාවෝගේ හිත දැඩිව තිබුණි. [ මෙම වසංගත සිදුවූයේ කෙසේදැයි පෙර ලිපියක ලියා ඇත. පහත සබැඳි වලින් ගොස් එය කියවන්න] මේ නිසා පාරාවෝගෙන් අවසරය ලබා ගැනීම දුෂ්කර විය. අවසාන වසංගතය වූයේ මිසර මනුෂ්‍යයන්ගේ හා සතුන්ගේ කුළුඳුලන් මියයාමයි. පාරාවෝ රජුගේ වැඩිමහල් දරුවාද මෙයින් මියගියේය. ඒ අවස්ථාවේ දී ඊශ්‍රායෙල් වරුන්ට මෝසෙස් නියෝග කර තිබුනේ බැටළු පැටවෙකු මරා ලේ උළුවහු මත තැවරීමටය. දෙවියන්වහන්සේගේ දූතයා ලේ සලකුණු බලා එම නිවෙස් පසුකරගෙන ගිය බව කියවේ. [ පසුකර යෑමේ මංගල්‍යය ලෙස හඳුන්වන්නේ ද ඒ නිසාය] මේ ලෙසින් ඊශ්‍රායෙල් පවුල් වල කුලුදුල් පුතුන් බේරුණි. මේ සියල්ල සිහිපත් කිරීම පාස්කු මංගල්‍යය මගින් සිදු කෙරේ. ඔවුන්ද මැරූ බැටළුවාගේ මස් පුළුස්සා අනුභව කරති. 

  එදා මිසර වහල් කමින් පිටවූ දිනයේ රොටි මුහුන් දමා සාදා ගැනීමට කාලයක් නොවීය. මුහුන් පිපීමට පෙර රොටි සාදාගෙන කඩිනමින් පිටත්ව යෑමට සිදුවිය. මෙම සිද්ධිය අර්ථවත්ව සැමරීමට අදත් පාස්කුවට පෙර දිනයේ යුදෙව් නිවෙස් වලින් මුහුන් ඉවත දමනු ලැබේ. පාස්කු දිනයේදී සියලු දෙනා මුහුන් නොදැමූ රොටි සිරිත් පරිදි අනුභව කරති.

  මිසර දේශයේ වහලුන් ලෙස ගත කල කටුක ජීවිතය සැමරීම සදහා එදින ආහාර සදහා තිත්ත පලා ද එකතු කරනු ලැබේ. මුල් පාස්කු දිනය ගැන පවුලේ වැසිමහල්ලා දරුවනට කියාදීමෙන් මුඛ පරම්පරාවෙන් යුදෙව් ජනයා අතර මේ සිද්ධිය සිහිපත් කිරීම අදත් සිදු කෙරේ.

  ජුදෙව් ජනතාව මෙම මංගල්‍යය නිසාන් මස 15 වෙනි දින සිට පටන් ගනියි. ඇසිරියානු හා හෙබ්‍රෙව් දින දර්ශනයට අනුව නිසාන් මාසය යනු පලමු මාසයයි. මෙය දින 30 කින් යුක්ත වේ. ග්‍රෙගෝරියන් දින දර්ශනයට අනුව මෙම මස මාර්තු සිට අප්‍රේල් මස අතර කාලයයි. මෙම මංගල්‍යය දින හතක් හෝ අටක් යනතුරු පවත්වයි.

  ජුදෙව් පාස්කු මංගල්‍යය ආසන්නව තිබියදී කුරුසිපත්වූ ජෙසුස් වහන්සේ යුදෙව් කිතුණුවන්ට දිස් වූයේ දෙවියන් වහන්සේගේ නොකැළක් බැටළු පෝතකයෙකු ලෙසය. එම රූපකය නව ගිවිසුමේ ද ඉදිරිපත් කෙරේ. එදා බැටළු පැටවකුගේ ලේ තැවරීම නිසා යුදෙව් ජනයා මිසරයෙන් බේරී විමුක්තිය ලැබුවා සේම ජේසුස්වහන්සේ කුරුසිය මත දිවි පිදීමත් උත්ථාන වීමත් නිසා මනුෂ්‍ය වර්ගයා පාපයෙන් මුදවා ගනු ලැබූ බව කිතුණුවන් විශ්වාස කරයි.  
අනෙක් ලිපි සඳහා සබැඳි

එහෙනන් මේවටත් උත්තර දෙමු...

1)රුක්මනී දේවිගේ මුල් නම කුමක් ද?

2)ජෙරුසලම් දේව මාළිගාව විනාශ කලේ කව් ද? ඒ ඇයි?

3)බයිබලයේ සදහන් වන ප්‍රථම දිවැසිවරයා කව් ද?

Tuesday, May 23, 2017

රෝම නීතිය හා පැක්ස් රොමානා


 රෝමන්වරුන්ගේ දීර්ඝකාලීන දායාදයක් ලෙස ඔවුන්ගේ නීතිය දැකිය හැකියි. වර්තමානය වන විට ලෝකයේ ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ රෝම නීතිය උපයෝගීකරගත් බව කීම අතිශෝක්තියක් නොවේ. ප්‍රථම නීති පද්ධතිය බිහිවූයේ ක්‍රි.පු. 150 දී චක්‍ර 12ක් ලෙසිනි. ඒවා තඹ පලක 12ක කොටා තිබූ අතර කාගේත් දැනගැනීම සඳහා වෙළඳ මධ්‍යස්ථානවල ප්‍රදර්ශනය කර තිබුනි. පසුකාලීනව සිදු වූ රෝම අධිරාජ්‍යයේ සහ එහි වෙළඳකටයුතු වල වර්ධනය හේතුකොට ගෙන ඇතිවූ වෙනස්කම් විශේෂයෙන් රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් වැනි දෑ සැලකිල්ලට ගනිමින් එකී නීති පද්ධතියේ ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවශ්‍යතාව මතුවිය.

  රෝම ආණ්ඩුව විසින් ප්‍රේටර් තෙරේග්‍රින්ස් නමින් හදුන්වනු ලැබූ විශේෂ විනිසුරුවරයෙකු පත් කලේය. ඒ රෝම අධිරාජ්‍ය තුල ජීවත්වූ විදේශිකයන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බැලීමටය. විටින් විට පත් වූ මෙම විනිසුරුවරුන් රෝම අධිරාජ්‍යට පැමිණෙන විදේශිකයන්ගේ සිරිත් විරිත් හා ගති පැවතුම් සලකා බලා රෝම නීතිය වෙනස් කරමින් වර්ධනය කලේය. මෙම නීති පද්ධතිය ජූස් ජෙන්මියම් ලෙස හැදින්විණි.

 අනෙක් ක්ෂේත්‍රවල විනිසුරුවරුන්ගේ නීති හා මහේස්ත්‍රාත්වරුන්ගේ නීති ලිඛිත නොවූ නීති ලෙස පැවතුණි. රෝම නීතිය විග්‍රහ කොට පද්ධතිගත කිරීමට සියවස් කිහිපයක්ම ගත විය.
ක්‍රි.ව. 527 සිට 565 අතර කාලයේ ජීවත්වූ නැගෙනහිර රෝම අධිරාජ්‍ය ජස්ටීනියන් නම් ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයෙකු පාලනය කලේය. රෝම නීතිය පද්ධතිගත කිරීමේ භාරදූර කාර්යය සාර්ථකව සිදුකරන ලදි. මෙය කෘතියක් ලෙස එළිදැක්වූ අතර එය ජස්ටීනියන් නීති පද්ධතිය ලෙස හදුන්වනු ලැබුණි.

 රෝම නීතිය මානුෂිකත්වය හා සාධාරණත්වය පදනම් කරගනිමින් සැකසී ඇති බැවින් ශිෂ්ට සම්පන්න ජාතීන් සියල්ලම පාහේ මෙම නීතිය පිලිගෙන ඇත. චූදිතයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වූ විට, එම එල්ල වූ චෝදනාවෙන් ආරක්ෂා වීම සඳහා  කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දිම රෝම නීතියේ අඩංගු විශේෂ ලක්ෂණයකි. කිසියම් පුද්ගලයෙක්ට විරුද්ධව එල්ල කරන චෝදනාවලට එම පුද්ගලයා වරදකරු ලෙස නීතිය ඉදිරියේ ඔප්පු කරන තුරු එම පුද්ගලයාට දඬුවම් ලබා දීම සපුරා තහනම් වේ. කවර විෂමතා පැවතියත් සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ එක සමාන බව පිලිගැනීම රෝම නීති පද්ධතියේ අර්තර්ගත තවත් වැදහත් ලක්ෂණයකි.
 
 පැක්ස් රොමානා ලෙස අදහස් කලේ රෝම සාමයයි. රෝම අධිරාජ්‍ය විශාල අධිරාජ්‍යයක් විය. මෙහි දේශසීමා ගත් කල බ්‍රිතාන්‍ය හා මෙසපොතේමියාව ඇතුලුව මධ්‍යදරණී මුහුදේ සියලුම ප්‍රත්‍යන්ථ ප්‍රදේශ කරා විහිදී තිබුණි. මෙම විශාල භූමි භාගය තුල ජීවත් වූ සියලු ජන කොටස් වල සාමය හා සමාදානය ස්ථාපිත කිරීම සඳහා පළාත් පාලන ආණ්ඩුක්‍රම ප්‍රථිසංවිධානය කලහ. මෙම කටයුත්තේදී තම අධිරාජ්‍ය යටතට පත් විවිධවූ ප්‍රදේශ වල ආගම්, සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට හානි නොවන අන්දමින් ක්‍රියා කිරීමට ඔවුන්ට සිදු විය.

  යටත් වැසියන්ට රෝම අධිරාජ්‍ය කෙරෙහි පක්ෂපාතීත්වය ලබා ගැනීම සඳහා ඔවුන් සියලුම දෙනාට රෝම පුරවැසිභාවය ලබා දෙන ලදි. එමගින් ඔවුන් රෝමන්වරු හා සම විය. රෝමන්වරු භුක්ති විඳි නිදහස ඔවුන්ටද විඳිය හැකි විය. අධිරාජ්‍යයේ දේශසීමා වල ප්‍රාකාර ඉදි කර රෝම හමුදා නතර කලේ විවිධ ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහාය.

  අධිරාජ්‍ය තුල සාධාරණ බදු ප්‍රථිපත්තියක් ක්‍රියාත්මක විය. අධිකරණ පද්ධතියද සාදාරණ එකක් වූ අතර දක්ෂ ආණ්ඩුකාරවරු පරිපාලනය සඳහා යොදවන ලදි. සොරකම් හා මංකොල්ලකෑම් නතර කල අතර බියෙන් හා සැකෙන් තොරව වෙළඳාම් කරගෙන යාමේ තත්වයක් උදා කරන ලදි. වෙළඳ හා වාණිජ කටයුතු සඳහා අධිරාජ්‍ය පුරා පොදු විනිමය ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. කල් ගතවන විට රෝම පාලක මණ්ඩලයට නියෝජිතයන් පත් කර එවීමේ අවස්ථාව අධිරාජ්‍ය පුරා පැවති ප්‍රාදේශීය ඒකක වලට ලැබුණි.

මූලාශ්‍ර:

1)ලෝක ඉතිහාසය - බී.වී.රාවෝ

2) https://en.m.wikipedia.org/wiki/Roman_law

3) https://en.m.wikipedia.org/wiki/Pax_Romana

4) http://www.ushistory.org/civ/6c.asp

හරි එහෙනන් මෙවටත් උත්තර දෙමු...

1)Three Course meal ක්‍රමය හදුන්වා දුන්නේ කව්ද?

2) ෆ්‍රිජ් එකක දොරවල් ඇරලා... ගෙදර දොර ජනෙල් සේරම වහලා  තිබුනොත් ගෙදර කූල් වෙයිද? [විහිළුවට අහපු එකක් නෙමෙ... :D]

3) By the rivers of babylon ගීතයේ මුල් ගායක කණ්ඩායම කවුරුන්ද?

Sunday, May 21, 2017

මං ඒ තුන් හතර දෙනාටම කෑම උයා පිහා දෙනවා 


  එකම පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක් සිටිනා විට එක බිරිඳක් එම සියලුදෙනාම උදෙසා කැන්දාගෙන ඒමේ සිරිතක් එකල ලංකාවේ තිබුණි. මෙය එකගෙයි කෑම ලෙස හැදින්වූ අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඉඩකඩම් හා දේපළ බෙදීයාම වැලැක්වීමයි.

 මෙම විවාහ ක්‍රමය බින්න බැහීම, කැන්දන් ඒම යන ක්‍රම දෙකටම අනුව සිදු කරයි. මෙම සිරිත අනුව මනාලිය කැන්දාගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොයුරාය. ඔහු බිරිඳගේ මුල් ස්වාමිපුර්ෂයාය. සෙසු සහෝදරවරු දෙවන ස්වාමිපුර්ෂයන් වේ. මෙහිදී ගෙදර ප්‍රධානිය වැඩිමහල් සොයුරාය. නිවසේ සිටින සියලු දෙනා ඔහුගේ වචනයට අවනත වේ.

 වැඩිමහල් සොයුරා එක් රැයක් බිරිඳ සමඟ ගත කරයි. ඒ ඊලඟ රැය ඊලඟට වැඩිමහල් සොයුරා සමඟ ගත කරයි. මේ ආකාරයට නිවසේ සිටින සෑම සොයුරෙක් සමඟම බිරිඳ මාරුවෙන් මාරුවට රැය ගත කරයි.


 සැමියෙකු බිරිඳ සමඟ කාමරයේ සිටින බව දැන්වීමට අමුඩ ලේන්සුවක් දොරේ එල්ලයි. මෙවිට අනෙක් සොයුරන් කාමරය තුලට නොයා තමන්ගේ වාරය එනතුරු බලා හිඳියි. කිසිම විටක අමුඩ ලේන්සු දෙකක් දොරේ එල්ලෙන තත්වයක් උදා නොවේ. දහවල් කාලයේදී ඕනෑම සහෝදරයෙකුට තම පොදු බිරිඳ සමඟ කාලය ගත කල හැක. කිසිදු සහෝදරයෙක්ට අකමැත්තක් පල කිරීමට එම බිරිඳට නොහැකිය. මන්ද ඒ සොයුරන් සියලු දෙනා තමාගේ ස්වාමිපුර්ෂයන් බැවිනි.

  බිරිඳට දරුවන් ලැබූ විට සොයුරන් සියලු දෙනා එම දරුවන්ගේ පියවරුන් වේ. මන්ද දරුවෙකුගේ සැබෑ පියා කව්ද යන වග බිරිඳවත් නිසැකයෙන් නොදන්නා නිසාය. වැඩිමහල් සොයුරා ලොකු තාත්තා ලෙසත් දෙවෙනියා මද්දුම තාත්තා ලෙසත් තෙවැනි සහෝදරයෙකු සිටී නම් ඔහු කුඩා තාත්තා ලෙසත් හදුන්වයි. තමන්ට ස්වාමිපුර්ෂයන් කිහිපදෙනෙකුම සිටීම සමහර බිරින්දෑවරු සතුටු වූ බව සමහර තැන් වල කියැවේ. මීට හේතුව සොයුරන් නොහොත් ස්වාමිපුර්ෂයන් සියලුම දෙනාගේ සැලකුම එකම බිරිඳකට හිමි වන බැවිනි.

 The Historic Tragedy Of Island Of Ceilao නම් පොතේ මෙසේ සඳහන් කර ඇත. පහත දැක්වෙන්නේ එයින් මා උපුටාගත් කොටසයි. [ ලංකාවේ ඓතිහාසික ඛේදවාචකය - කපිතාන් රෙබෙයිරෝ - 1685]

  "...තමාගේම කුලයට අයත් ස්වාමිපුර්ෂයෙකු සමඟ විවාහ වීමට තරුණියක් ගිවිස ගනියි. [කුලයෙන් පිට විවාහ වීමට ඇයට නොහැකියි] තමන් ඊට කැමති නම් ඇයගේ නෑදායන් භෝජන සංග්‍රහ පවත්වා විවාහය සිදු කරති. පසුදා සැමියාගේ සහෝදරයෙන් ඔහුගේ තැන ගනියි. සිය පුර්ෂයාට සොයුරන් සත් දෙනෙකු සිටිත් නම් ඇය මේ හත් දෙනාගේම බිරිඳ වන්නීය. ඇය ඔවුන් සමඟ මාරුවෙන් මාරුවර රාත්‍රිය ගත කරයි. තමාගේ සොයුරන්ට වඩා වැඩි අයිතියක් ස්වාමිපුර්ෂයාට නැත. දහවල් කාලයේදී කාමරය හිස්ව ඇත්නම් කාන්තාව සමඟ එයට පිවිසී කාලය ගත කිරීමට අයිතිය ඒ සෑම සොයුරෙකුටම ඇත. ඔහු කාමරය තුල සිටිනා විට අන් කිසිවෙකුට එයට ඇතුල් විය නොහැකිය. ඔවුන් කිසිවෙකු හෝ ප්‍රතික්ෂේප කිරීමට ඇයට අයිතියක් නැත. විවාහය සිදුවුයේ එක් සොයුරෙක් සමඟ වුවත් කාන්තාව සොයුරන් සියලුම දෙනාගේ බිරිඳ වන්නීය. එහෙත් විවාහය සිදුවී ඇත්තේ බාලම සොයුරා සමඟ නම් එම බිරිඳ කෙරෙහි අයිතිවාසිකම් පෑමේ අයිතිය සෙසු සොයුරන්ට නොමැත.

  එහෙත් ඔවුන් සියලු දෙනාගේම භාර්යාවන් වෙත කැමති විටෙක පිවිසීමේ අයිතිය මේ සොයුරා සතු වන්නේය. ස්වාමිපුර්ෂයාට සොයුරන් හත් දෙනෙකුට වැඩිය සිටිත් නම් ඒ අමතර සොයුරන්ට එම බිරිඳ කෙරෙහි අයිතියක් නැත. සොයුරන්ගේ සංඛ්‍යාව එකේ සිට පහ දක්වා නම් ඔවුහු එක ගැහැණියක් සමඟ සෑහීමකට පත් වෙති. සොයුරන් විශාල සංඛ්‍යාවක් සතු පුර්ෂයෙකු සමඟ විවාහ වන කාන්තාව වාසනාවන්තියක් ලෙස සලකනු ලබන්නීය. ඔවුන් සියලු දෙනාම ඇය වෙනුවෙන් වෙහෙස වී ගොවිතැන් කොට තමන්ගේ මුලු ආදායම ගෙදරට ගෙන එති. මෙසේ ගෞරවයට පාත්‍ර වන කාන්තාව වාසනාවන්ත දිවියක් ගත කරන අතර , ඇයගේ දූ දරුවන් ඒ සියලු සොහොයුරන් පියා ලෙස අමතයි. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පුර්ෂයෙකු සමඟ මෛථුනයෙහි යෙදුණු විට ඇයට මරණීය දණ්ඩනය හිමිවේ. ඇයගේම මව්පියවරු සහ සහෝදරයෝ ඇගේ චෝදනාකරුවෝ වෙති..."


 ඩේවි දුටු ලංකාව කෘතියේ පහත අයුරින් සටහන් වේ.

"... අනියම් භාර්යා පරිහරණය සහ බහු භාර්යා සේවනය ආගම් විරෝධ නමුදු සිංහලයෝ මේ දෙකටම ඉඩ දෙති. තිබ්බනයෙහි මෙන් උඩරට බහු භාර්යා සේවනයට වඩා බහු පුරුෂ සේවනය අපූර්ව විය. එහි ස්‌ත්‍රියකට බොහෝ විට පුරුෂයෝ දෙදෙනෙක්‌ වෙති. ස්‌වාමි පුරුෂයන් සත්දෙනකු සිටින ස්‌ත්‍රියක්‌ ගැන ද මට අසන්නට ලැබිණි. මෙය අසාමාන්‍ය චාරිත්‍රය කුලයකට හෝ පන්තියකට සීමා වූවක්‌ නොවේ. පවුල් සැමියන් හැමවිටම සොහොයුරෝය. වරක්‌ මට මේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ තම සොහොයුරා සමග පොදුවේ එක්‌ භාර්යාවක්‌ පාවාගෙන සිටි මහළු උඩරට රදළවරයකු විසිනි. ළමයි වැඩි මහල් සොහොයුරා ලොකු අප්පච්චි ලෙසින්ද බාල සොහොයුරා කුඩප්පච්චි ලෙසින්ද ඇමතූහ. පවුලේ සම්පූර්ණ සමගිය පවත්නා බව පෙනුණි..."

 සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි කෘතියේ මේ පිලිබඳව පහත අයුරින් සඳහන් වේ.

"... භාර්යාවන්ගේ හා ස්‌වාමි පුරුෂයන්ගේ සංඛ්‍යාව පිළිබඳව සීමාවක්‌ නොමැතිව බහු භාර්යා හා බහු පුරුෂ සේවනයට අවසර තිබේ. කෙසේ වුවත් භාර්යාව තම ස්‌වාමිපුරුෂයා ඉල්ලා සිටි නමුත් ඔහුගේ සොහොයුරකු පවා සියපවුල් සැමියකු ලෙස භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළ හැක. යෝජනා කරනු ලබන හවුල් සැමියා පළමු වන සැමියාගේ සොහොයුරෙක්‌ නොවේ නම් එබඳු හවුල් විවාහයක්‌ සඳහා පළමුව බිරිඳගේ පවුල් අනුමැතිය ලබා ගත යුතුය..."

 රොබට් නොක්ස් මෙසේ පවසයි ;

"ලංකාවේ නායකයා වන රජුටත් සිටින්නේ එක බිරිඳකි. එහෙත් එහි ගැහැනියකට පුරුෂයන් දෙදෙනකු සිටීම ස්‌වාභාවිකය"

 මේ පිලිබඳව ඔබ දන්නා අමතර දෑ තිබෙනවානම් පහතින් සඳහන් කරන්න. ලිපිය පිලිබඳ කුඩා හෝ අදහසක් දක්වනවානම් කෘතඥ වෙමි.

 මූලාශ්‍ර :

1) පුරාණ ලංකාවේ ගම්දොර විත්ති - ජී. ඇම්. සේනාරත්න

2) එදා හෙළඳිව - රොබට් නොක්ස්

3) සිංහලේ ආණ්ඩු ක්‍රමය - ජෝන් ඩොයිලි [ සෝමරත්න , එච්. එම්. ඇල්ලෙපොල]

අද අහන්නේ හැමෝටම උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක්. පල්ලෙහා තියෙන පින්තූරවලින් පෙන්නන ස්ථාන හඳුනාගන්න.

1)


2)

3)





4)



මෑතකදි නිර්මාණය වූ එකගෙයි කෑම පිලිබඳ ගීතයක්...











Tuesday, May 16, 2017

ප්‍රශ්න තුන



 [ පහත දැක්වෙන්නේ ප්‍රකට ගත්කතුවරයෙක් වන ලියෝ ටෝල්ස්ටෝයි විසින් 1885 දී එළිදක්වනු ලැබූ කෙටිකතාවක මවිසින් කරනු ලැබූ සිංහල පරිවර්තනයයි.]

 සෑම දේම පටන්ගත යුතු නිවැරදි වෙලාව කුමක් ද? ඇහුම්කන් දිය යුතු හා ඇහුම්කන් නොදිය යුතු  පුද්ගලයන් කව් ද? කල යුතු වැදගත්ම කාර්යය කුමක් ද? යන ප්‍රශ්න තුනක් එක්තරා රටක රජකෙනෙකුට පැණ නැගුණි. ඒවාට පිලිතුරු දැන ගතහොත් සියලු දෙයින් ඔහුට ජය ගතහැකි බව ඔහු විශ්වාස කලේය.


  මෙම ප්‍රශ්න වලට පිලිතුරු දන්නා අයෙක් වෙතොත් රජතුමා හමුවට පැමිණෙන ලෙසත් නිවැරදි පිලිතුරු ලබා දුනහොත් රත්‍රන් විශාල ප්‍රමාණයක් ත්‍යාගය ලෙස ලබා දෙන බව රට පුරා ප්‍රචාරය කරන ලදි. රටේ උගතුන් විශාල ප්‍රමාණයක් රජතුමා හමුවට පැමිණි අතර ඔවුන් නොයෙකුත් පිලිතුරු ලබා දුනි.

  පලමු පැනයට  පිලිතුරු ලෙස සමහරු පැවසුවේ දින, සති හා මාස ඇතුලත් කර දින දර්ශනයක් සකසා එයට වැදගත් දින ඇතුලු කර ඒ අනුව ජීවත්විය යුතු බවයි. තවත් සමහරු පැවසුවේ යම් දෙයක් කිරීමට නියම වෙලාව වේලාසනින් පැවසිය නොහැකි බවයි. තවත් පිරිසකගේ අදහසක් වූයේ තනි පුද්ගලයෙක්ට යම් දෙයක් සිදු කිරීමට නිවැරදි වේලාව තෝරාගත නොහැකි බවත් ඒ සඳහා උගතුන් කිහිප දෙනෙකුගෙන්ම සෑම විටම උපදෙස් ලබාගත යුතු බවත්ය. ඒත් සමඟම සමහරු පැවසුවේ රජතුමා මායාකාරයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවයි. මන්ද ඔවුන් පමණයි සිදු වීමට යන දෑ පිලිබද දන්නේ.

  දෙවෙනි පැනයටත් මේ ආකාරයෙන්ම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. සමහරු රජතුමාට වැදගත්ම වන පුද්ගලයින් වන්නේ උපදේශකයන් බවත් සමහරු
 දේවගැතිවරුන් බවත් සමහරු වෛද්‍යවරු බවත් සමහරු සොල්දාදුවන් බවත් පැවසුවේය.

 තෙවන ප්‍රශ්නයට එනම් ලොව තිබෙන වැදගත්ම දෙය කුමක්ද? යන පැනයටත් ඉහත ආකාරයටම විවිධාකාර වූ පිලිතුරු ලැබුණි. විද්‍යාව , යුධ කලාව , ආගමික පූජා ආදිය බොහෝ දෙනාගේ පිලිතුරු අතර විය.

 සියලු දෙනාගේ පිලිතුරු විවිධාකාර විය. රජතුමා ඒ එකක්වත් සමඟ එකඟ වූයේ නැත. එමනිසා ත්‍යාගය කාහටවත් ලැබුනේ නැත. එනමුත් රජතුමාට තවමත් මෙම ප්‍රශ්න තුනට පිලිතුරු දැන ගැනීමට උවමනා විය. ඔහු හුදකලාව වෙසෙන තාපසයෙක් මෙන් පුද්ගලයෙක්ව මුණ ගැසීමට යාමට තීරණය කලේය. ඔහුගේ තියුණු බුද්ධිය නිසා ඔහු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයකට පත්ව සිටියේය.

 මෙම තාපසයා ජීවත්වූයේ කැලෑවකය. එමෙන්ම ඔහු කැලෑවෙන් පිටතට පැමිණියේ අතිශය කලාතුරකිනි. රජතුමා සාමාන්‍ය පුරවැසියෙක් මෙන් හැඳපැළඳ තම ශරීරාරක්ෂකයින්ව තාපසයාගේ නිවසින් බොහෝ පිටතට වෙන්නට සිටින්නට කියා තම අශ්වයාගෙන් බැස තනිවම තාපසයා හමුවට ගියේය.

  රජතුමා මෙම පුද්ගලයාව හමුවීමට ගිය විට ඔහු තම පැල්පත ඉදිරියේ පොලොව හාරමින් සිටියේය. ඔහු රජතුමා තම ඉදිරිපිට ඉන්නවා දැක රජතුමාට ආචාර කර නැවතත් තම කාර්යයේ නිරත විය. මොහු ශරීරයෙන් දුර්වල වූ අතර පොලොව කොටන සෑම වාරයක් පාසා විශාල හුස්මක් අරගනියි.

  රජතුමා ඔහු අසලට පැමිණ " මම  ඔබව මුණගැහෙන්න ආවේ ප්‍රශ්න තුනකට උත්තර දැනගන්න. හැම දෙයක්ම පටන් ගන්න ඕන හරි වෙලාව මොකක්ද? ඇහුම්කන් දියයුතු හා නොදියයුතු පුද්ගලයන් කව්ද? කල යුතු වැදගත්ම කාර්යය මොකක්ද?" යැයි ඇසුවේය.

  ඔහු රජතුමා කියූ දේට සවන් දී එයට කිසිදු ප්‍රථිචාරයක් නොදක්වා නැවත පොලොව හාරන්නට විය.

  " ඔබව මහන්සියි" රජතුමා පැවසීය. " ඕක මට දෙන්න මම පොලොව හාරන්නම්"

  "ස්තූතියි" යැයි ඔහු පවසා සවල රජතුමාට ලබා දී පොලොව මත වාඩි විය.

 රජතුමා පස් පිඩැලි කිහිපයක් කැපූ පසු නැවතත් ප්‍රශ්න තුන ඔහුගෙන් ඇසුවේය. එම පැනයට ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඔහු රජතුමා දෙසට අත දිගු කර "ඔයා දැන් ටිකක් විවේක ගන්න, ඕක මට දෙන්න" යැයි පැවසීය.


  එනමුත් රජතුමා සවල ඔහුට නොදී දිගටම එම කාර්යයේ නිරත විය. පැයක් ගතවිය, තවත් පැයක් ගතවිය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. හිරු ගස් අතරින් සැඟවී යාමට පටන් ගත්තේය.

 " ඔයාට මේවට උත්තර දෙන්න පුලුවන්ද? බැරිනම් කියන්න, මට ගෙදර යන්න"

 රජතුමා පැත්තක් හැරී බලන විට රැවුලක් සහිත මිනිසෙක් කැලයේ සිට දුවගෙන එනවා දුටුවේය. ඔහු තම දෑතින් බඩ තදකරගෙන සිටි අතර එයින් පිටතට රුධිරය වෑස්සී තිබුණි. ඔහු රජතුමා අසලට පැමිණි විට බිම ඇදගෙන වැටුනේය. රජතුමා සහ මහළු තාපසයා ඔහුගේ ඇදුම් ඉතා ඉක්මනින් ඉරා දැමුවේය. විශාල තුවාලයක් ඔහුගේ සිරුරේ විය. රජතුමා හැකි ඉක්මනින් ඔහුව හෝදා තම අත්පිස්නාවෙන් හා මහළු මිනිසා ලඟ තිබූ වෙලුම්පටි වලින් එතුවේය. රුධිරය ගැලීම නතර නොවීය. වෙළුම් පටි රුධිරයෙන් තෙත් වීය. රජතුමා නැවත වෙළුම් පටි ගලවා, තුවාලය සෝදා නැවතත් වෙළුම් පටි වලින් තුවාලය එතුවේය. රුධිර වහනය නැවතුනු පසු තුවාලකරුවා බීමට යමක් ඉල්ලුවේය. රජතුමා නැවුම් ජලය ගෙන ඔහුට බීමට ලබාදුන්නේය. මේ වනවිට සවස් වී තිබුණි. රජතුමා මහළු තාපසයාගේත් උදව් ඇතිව තුවාලකරුවාව තාපසයාගේ පැල්පතට ගෙන ඇඳ මත තැබුවේය. ඔහු ඇඳ මතට ගිය විට හීන් ඇස් පියාගෙන නින්දට වැටුනේය. රජතුමාත් බොහෝ තෙහෙට්ටුවට පත් වූ බැවින් ඒ අසලම නින්දට ගියේය. මෙලෙස රජතුමා මුලු රැයම තාපසයගේ පැලෙහි නිදාගත්තේය.

    රැය ගතවිය උදය උදාවිය. රජතුමා නින්දෙන් නැගිටි පසු තමන් සිටින්නේ කොහිදැයි සිහියට ඒමට මද වෙලාවක් ගතවිය. ඒත් සමඟ රැවුලක් සහිත පිරිමි පුද්ගලයෙක් ඔහු දෙස දීප්තිමත් දෑසින් බලා සිටිනු දැක්කේය.

  "මට සමාවෙන්න" දුර්වල කටහඬින් ඔහු පැවසුවේය. ඒත් සමඟම රජතුමා සිටගෙන ඔහු දෙස බැලුවේය.

  "මම ඔයාව දන්නෙ නෑ. සමාවදෙන්න ඔයා මට වරදක් කරලා නෑ" රජතුමා පැවසීය.


  "ඔයා මාව දන්නෙ නෑ, ඒත් මම ඔයාව දන්නවා. මම ඔයාව මරන්න බලාගෙන හිටපු ඔයාගෙ හතුරෙක්. ඔයා මගේ සහෝදරයාගේ හිසගසා දාලා එයාගේ දේපල රාජසන්තක කලා. මම දැනගත්තා ඔයා මේ මහළු තාපසයාව මුණගැහෙන්න එනවා කියලා. මුණගැහිලා එන අතරමඟදී ඔයාව මරන්නයි මම උත්සහ කලේ. ඒත් දවසම ගෙවුනත් ඔයා ආපහු ආවෙ නෑ. ඒ නිසා මම ඔයාව හොයාගෙන ආවා. ඒ එන අතරතුර ඔයාගේ ආරක්ෂයන්ව මුණගැහුනා, එයාලා මාව අඳුනගෙන මට පහර දුන්නා. එතනින් බේරිලා එනකොට තමා ඔයාව මුණගැහුනේ. මම ඔයාව මරන්නයි හැදුවේ. ඒත් ඔයා මාව බේරුවා. ඒ නිසා මම ඔයාගේ විශ්වාසවන්තම සේවකයා වෙන්නම්. මගේ දරුවනුත් ඔයාට විශ්වාසවන්තව සේවය කරාවි. "

  රජතුමා ඔහුත් සමඟ සමාදාන වූ අතර, ඔහුව යහළුවෙක් කරගත්තේය. ඒත් සමඟම ඔහුට ප්‍රථිකාර කිරීමට රාජකීය වෛද්‍යවරයෙක් හා සහෝදරයාගේ දේපල නැවත ලබා දෙන්නට පොරොන්දු විය.

  රජතුමා තුවාල ලැබූ පුද්ගලයාගෙන් සමුගෙන නැවත මාලිගයට පිටත් වීමට පෙර මහළු මිනිසාව මුණගැසීමට ගියේය. ඒ ඔහුගේ පැන වලට පිලිතුරු ලබාගැනීම බලාපොරොත්තුවෙනි. මහළු මිනිසා පෙර දිනයේදී සකස් කල පොලොවෙහි පැල සිටවමින් සිටියේය.

 රජතුමා මහළු මිනිසා අසලට පැමිණ මෙසේ පැවසීය "මම අන්තිම වතාවට ආයාචනා කරලා ඉල්ලනවා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා"

  "ඔයාට දැනටමත් උත්තර ලැබිලා තියෙන්නේ" බිම සිටි මහළු මිනිසා රජතුමා දෙස බලා පැවසීය.

 "කව්ද උත්තර දුන්නෙ? ඔයා මොනාද මේ කියන්නේ? " රජතුමා පුදුමයෙන් පැවසුවේය.

 "ඔයා දැක්කෙ නැද්ද" මහළු මිනිසා පැවසීය. " ඔයා මගේ දුර්වලකම දැකලා පොලොව කෙටුවෙ නැත්තම් ඔයා යන අතරමඟ පහරකෑමට ලක්වෙන්න තිබ්බා. ඒ නිසා වඩා වැදගත්ම කාලය තමා ඔයා පොලොව කොටමින් සිටි වෙලාව. වඩාත්ම වැදගත් පුද්ගලයා තමා මම. වඩා වැදගත්ම කාර්යය තමා මට හොදක් කිරීම. ඊට පස්සෙ තුවාල ලැබූ පුද්ගලයෙන් දුවගෙන ආවා, වඩාත් වැදගත් වෙලාව තමා ඔයා ඒ පුද්ගලයා වෙත ගිය වෙලාව. ඔයා ඒ තුවාල ලැබූ පුද්ගලයාට උදව් කරේ නැත්නම් ඒ පුද්ගලයා ඔයත් එක්ක සාමාදාන වෙන්නෙ නැතුව මියයන්න ඉඩ තිබුණා. ඒ නිසා ඒ පුද්ගලයා තමා වඩා වැදගත් පුද්ගලයා, ඔයා එයාට කරපු දේ තමා වඩා වැදගත් කාර්යය. ඒ නිසා මතක තියාගන්න. වඩා වැදගත් කාලවල් එකයි තියෙන්නේ. ඒ තමා දැන්! මේක තමා වැදගත්ම වෙලාව මොකද මේ වෙලාවෙ තමා අපිට මොනා හරි බලයක් තියෙන්නේ. වඩා වැදගත්ම පුද්ගලයා තමා අපිත් එක්ක මේ වෙලාවෙ ඉන්න පුද්ගලයා. අපි දන්නෑ අපිට ඉස්සරහට කාත් එක්ක වැඩකටයුතු කරන්න සිද්දවෙයිද කියලා. වඩා වැදගත්ම කාර්යය තමා ඒ පුද්ගලයාට හොදක් කරන එක. මොකද ඒකෙන් තමා ඒ පුද්ගලයාට ජීවිතය ලැබෙන්නේ."
 


 
 
 

Wednesday, May 10, 2017

පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- [2 කොටස]


 පලමු කොටසට සබැඳිය පුරාණ නූතන ලාංකීය ජන සමාජයේ නොබිදෙන බැම්ම -කුල- 1 කොටස

 මෙම ලිපියෙන් තවදුරටත් රොඩී ජනතාව හා රත්නවල්ලි කවි පිලිබඳව සාකච්ඡා කරයි. පෙර කියූ පරිදි රොඩී ජනතාවගේ නායකයා රත්නවල්ලි ලෙසද හුලවාලියා ලෙසද හඳුන්වයි. මොවුන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ අතර මොවුන් සිදුකරන මන්ත්‍ර 'නීච කුල බන්ධන' හා 'මහා මාතාංග' යන නමින් හඳුන්වන ලදි. රොඩියන් කලක් අභිකුණ්ඨක ජීවිතයක් ගත කලේ ඔවුන්ට නිවාස තනා ගැනීමට අවසරයක් නොලද නිසාවෙනි. එනමුත් පසු කලෙක රජවරුන් මොවුන්ට වෙනමම ගම්මාන ලබා දුන් අතර ඒවා 'ගුබ්බෑයම්' ලෙස හදුන්වන ලදි.



 රොඩී කුලය ආරම්භය පිලිබඳව ජනප්‍රවාද කිහිපයක්ම පවතියි. ඉන් එකක් ලිපි මාලාවේ පලමු කොටසේ සදහන් කරන ලදි. වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන් පවසන පරිදි ඉන්දියාවේ පංචම කුල වලට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය පැවතගෙන එයි. ජනප්‍රවාද අතරින් වඩා ප්‍රමුඛ තැනක් උසුලන්නේ රොඩී ජනතාව පරාක්‍රමභාහු රජුගේ දියණියක් වන රත්නවල්ලිගෙන් පැවත එන බව කියන ජනප්‍රවාදයයි. යට මහලේ මිදුල අමදිමින් සිටි සේවකයෙකුගේ හිසට ඉහල මහලයේ සිටි රත්නවල්ලි කුමරියගේ කෙල පිඬක් නොදැනුවත්වම වැටුණි. මෙයට පලිගැනීමට යැයි සිතා එම සේවකයා මාලිගාවේ දොර අසල නිදාගනිමින් , රත්නවල්ලිව තමාට විවාහ කරනොදෙන්නේ නම් එතැනින් නැගිටින්නේ නැති බව පැවසීය. රජවාසලේදී පුද්ගලයෙක් නිරාහාරව මියයාව අවැඩක් බව සිතූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියව එම දාසයාට විවාහ කර දෙන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව එක් මතයකි. තවත් ජනප්‍රවාදයක එන්නේ රත්නවල්ලි කුමරිය දාසයෙක් සමඟ රහසින් පෙම් බැඳ එහි ප්‍රථිපලයක් වශයෙන් ඈ ගැබ්ගැනීමයි. මෙය ඇසූ පරාක්‍රමභාහු රජු රත්නවල්ලි කුමරියගේ උඩුකය නිරුවත් කොට කොණ්ඩය ඉහලට වෙන්න බැඳ දාසයාට පාවාදී රජමැදුරෙන් පිටමං කල බවයි. මෙයින් රොඩී ජනතාව පැවත එන බව කීම තවත් මතයකි.



 රත්නවල්ලි හා බැඳුණු තවත් ජනකතාවක් පවතියි. එය පෙරදි සදහන් කල රොබට් නොක්ස්ගේ එදා හෙළඳිව කෘතියෙහි සදහන් ජනප්‍රවාදයට යම් සමානකමක් දක්වයි. රත්නවල්ලි මිනීමස් අනුභව කිරීමට ඉතා ගිජු බවක් දක්වන ලදි. රජවාසල කරණවෑමියා මේ පිලිබඳව දැන සිටියේය. පොහොය දිනක රජුට සැපයීමට දඩමස් සොයාගැනීමට නොහැකි වූයෙන් කරණවෑමියා සොහොනකට ගොස් එහි දමාගිය මිනියක් දඩමස් ලෙස සකසා රජුට පිලිගන්වන ලදි. රජු මෙයට ඉතා කැමැත්තක් දැක්වූ අතර නැවතත් මෙම මස් වර්ගයම රැගෙන එන්නයි පැවසීය. රජුට දඩමස් කියා මිනීමස් පිලිගැන්වූ බව රත්නවල්ලි කුමරිය දැනගන්නා ලදි. එහෙත් ඇය මිනීමස්වලට ගිජු වී සිටි බැවින් මේ පිලිබඳව කිසිවක් රජුට නොපවසන ලදි. කෙසේ හෝ රජු මෙම කාරණාව ගැන දැනගත් පසු රත්නවල්ලි කුමරියව කරණවෑමියාට විවාහ කරදෙන ලදි. ඉන්පසු දින හතක් නගරයේ සිඟමන් යැදීමට ඔවුන්ට අණ කල අතර ඉන්පසු නගරයෙන් නෙරපන ලදි. මොවුන්ගෙන් රොඩී ජනයා පැවත එන බව තවත් මතයකි.


  ඉංග්‍රීසි ජාතික එල්.ඩී.බර්නාඩ් මහතා විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සදහන් වේ. රත්නවල්ලි යනු සූර්ය වංශයෙන් පැවත එන මිනිස් දෙව්දුවකි. ඇයගේ වාසස්ථානය තෙලඹු ගසයි. අනුරාධපුරයේ තිබුනු මෙම තෙලඹු ගසට රොඩී ජනයා වන්දනාමාන කලහ. දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය සෑදීමට තෝරාගත්තේ මෙම තෙලඹු ගස තිබූ ස්ථානයයි. රජතුමා රත්නවල්ලිට බිලි පූජා කර මෙම ස්ථානයේ ස්ථූපය සෑදීමට අවසර ගන්නා ලදි. රත්නවල්ලිගේ කැමැත්ත පරිදි මෙම ස්ථානයට රුවන්වැලිසෑය යන නම තබන ලදි.

 මෙහිදී සදහන් කල යුතු විශේෂ කරුණක් වන්නේ එල්.ඩී. බර්නාඩ් මහතා රත්නවල්ලි හා ස්වර්ණමාලි පටලවාගෙන ඇති බවයි. මේ සමඟම මට අමරදේවයන් ගායනා කරන මහගම සේකරයන් රචනා කල ගීතයක් මතකයට නැගේ.

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි

උනා නීල වර්ණ වරල
දෑලේ මල් ගැවසි ලියේ
නගා ඉන්ද්‍ර චාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති
රත්න තිලක පැළඳි ලියේ
සිනාසිසි විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නළලත
අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු
කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණ දාම
තාල හඬට හඩන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ

  ඉංග්‍රීසි ජාතික හියු නෙවිල් මහතා 1887 දී ටැප්‍රොබේනියන් සඟරාවට රත්නවල්ලි කවි 13 ක් සොයා පලකරන ලදි. මෙම කවි ඔහු විසින් සොයාගෙන ඇත්තේ වන්නි ප්‍රදේශයෙනි. ඔහු සොයාගත් කවි වලින් පලමු කවි තුන නම් ;

 නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

 ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

 සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

 උක්ත කවි වලින් රත්නවල්ලි යනු තලඹු ගසෙහි වැඩ සිටිනා දෙව්දුවක් බවත්, තවත් කවියකින් ඈ පරාක්‍රමභාහු රජුගේ දියණියක් බවත් පවසයි. රත්නවල්ලි කවි ලියූ සහිත්‍යකරුවා ඉතිහාසය හා කාලවකවානු ගැන සැලකිල්ලක් නොදක්වා ජනවහරේ ආ සිද්ධීන් මුල් කොටගෙන මෙම කවි ලියූ බව පැහැදිලිය. රත්නපුර දිස්ත්‍රික්කයේ තුලාපිටිය කුප්පායමෙන් සොයාගත් තවත් කවි කිහිපයක් පහත දැක්වේ.

 උඩුමාලෙන් බැහැපන් රත්න වල්ලියේ
සළු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
මුතු පළඳින්නට බැහැපන් රත්න වල්ලියේ
රොඩියට දෙන්ට බැහැපන් රත්න වල්ලියේ

අතමුල වළලු අතමුල සෙලෙවි සෙලවියේ
පාමුල ගිගිරි පාමුල සෙලෙවි සෙලෙවියේ
කරේ තියෙන මුතු දෙපොටත් නොසෙල්ලියේ
සබේ මැදට බහුකෝ රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
රුහුණේ සිටන් එන්නෙ ඇල්ලි මැල්ලියේ
දෙපයේ ලාපු ගිගිරින් සෙල්ලි සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ


  අතීත රොඩී ජන ජීවිතය ගැන පෙර ලිපියේ සාකච්ඡා නොකල කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරමු.  මංකොල්ලයක් , සොරකමක් ආදී වරදකට රොඩියෙකු චෝදනා ලැබුවහොත් හුලවාලියා (රොඩී නායකයා) මේ පිලිබඳව සිරගෙයි කංකානමට දැන්විය යුතු විය. ඉන්පසු සිරගෙයි කංකානම චෝදනා ලැබූ රොඩියාව තොටුපලට රැගෙන ඒමට දිනයක් නියම කරයි. මීට හේතුව වන්නේ රොඩියෙක්ව ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට අවසර නැති නිසාවෙනි. නඩුව විභාග කර දිනයේදී සිරගෙයි කංකානම ඔරුවක නැගී රොඩියා සිටින ඉසව්වට නෑවිත් නඬුව විසදයි. මෙය නැරඹීමට චෝදනා ලැබූ රොඩියාගේ නෑදෑ හිතවතුන්ද අනෙකුත් රොඩියන්ද පැමිණෙයි. වරද ඔප්පු වුවහොත් එරමිනියා හෝ කැප්පෙට්ටියා පොල්ලකින් රොඩියාට තලයි. මේ දඩුවම දීමට වෙනත් රොඩී ගමකින් පුද්ගලයෙක් ගෙන්වයි. 


 මොවුන් සිඟා කෑමට අමතරව රජුගේ භාණ්ඩාගාරයට කස සැපයීම, කොඩි ආදිය එල්ලීම සදහා ලණු සැපයීම , රජමාලිගයට මස් සැපයීම, කසල බැහැර කිරීම, මල සිරුරු බැහැර කිරීම සිදුකරන ලදි. මොවුන්ට අංගසම්පූර්ණ නිවසක් තනා ගැනීමට අවසර නොවීය.

 සමාජය විසින් සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර මොවුන්ට සිදු කිරීම තහනම් විය. උපත, වැසිවියට පැමිණීම, විවාහය හා මරණය ආදී විශේෂ අවස්ථාවලදී අනෙක් අය සිදු කරන්නාවූ චාරිත්‍ර කිසිවක් ඔවුන්ට කිරීමට අවසර නොවීය. එනමුත් රොඩියන් ඔවුන්ටම විශේෂිත වූ චාරිත්‍ර අනුගමනය කල බව සදහන් වේ. දරුවෙකු වැඩි වියට පත්වූ විට රොඩියන්ට රධා කුලයේ කාන්තාවකගේ (රෙදි නැන්දාගේ) සේවය නොලැබුණි. මන්ද රධා කුලයේ කාන්තාවන් තමන්ට වඩා පහත් කුලයක් වන රොඩියන්ට තම සේවය ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නැති නිසාවෙනි. මොවුන්ගේ ආගම බුධු දහම වුවද බුදු දහමේ එන්නාවූ චරිත්‍ර වාරිත්‍ර කිරීමට මොවුන්ට අවසර නොවීය.


 බටහිර ජාතීන් ලංකාවට පැමිණීමත් සමඟ රොඩියන්ට සිංහල සමාජය විසින් දමා තිබූ තහංචි බොහොමයක් ඉවත් කරන ලදි. සිඟාකෑම පමණක් කිරීමට තිබූ තහංචිය, කාන්තාවන්ගේ උඩුකය නිරාවරණය කර තබා ගැනීමට තිබූ තහංචිය, ආර්ථික වශයෙන් පනවා තිබූ තහංචි බටහිර ජාතීන් නැති කරන ලදි. එනමුත් සිංහල සමාජය මෙයට ඉතා අකමැත්තක් දැක්වූ බව සදහන් වේ. ක්‍රිස්තියානි මිෂනාරිවරුන් රොඩියන්ට ධර්මය දේශනා කල අතර ඔවුන් ඉතා ඉක්මනින් කිතුනු දහම වැලඳගත්තේය. මන්ද එකල සිටි බෞද්ධ සමාජය ඔවුන්ව කොන් කර තැබූ නිසාවෙනි. රොඩියන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැක. ඒ නාහල්ල හෙවත් උඩකටුව රොඩී හා නවරත්නවල්ලි හෙවත් වන්නි රොඩී ලෙසය. උඩකටුව රොඩී කොටස් දෙකකට බෙදේ. ඒ තිරිංග රොඩී පෙලපත හා හල්පේ රොඩී පෙලපත ලෙසය.

  මොවුන්ගේ භාෂාව වැදි භාෂාවට යම් සමානකමක් දක්වන අතර මෙම භාෂාව ගාඬි බස ලෙස හදුන්වයි. පහත දැක්වෙන ඡායාරූප මගින් රොඩී ජන වහ්‍ර පිලිබඳ දැනගත හැකියි. ඡායාරූපය මත Click කල විට වඩා පැහැදිලි රූපයක් පෙනේවි.















ලිපි මාලාවට මූලාශ්‍ර;

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

7) http://www.wikiwand.com/si/රොඩී

8) රත්නවල්ලිගේ දරුවෝ රොඩී ජන පුරාණය - එම්.ඩී. රාඝවන් ( පරිවර්තනය චන්ද්‍රශ්‍රී රණසිංහ)

9) https://pinthaliya.wordpress.com/2013/11/01/ස්වර්ණමාලි-හා-රත්නවල්ලි/


මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේකනන් හරි ලේසි ප්‍රශ්නයක්... මෙයා කව් ද?


2) සහරා කාන්තාරයට හිම වැටුනේ කවද්ද?


3) ලෝකයේ විශාලතම සොහොන තියෙන්නේ කොහේ ද?


Friday, May 5, 2017

පුරාණ - නූතන ලාංකීය ජන සමාජ ස්ථරයේ නොබිඳෙන බැම්ම - කුල - 1 කොටස


 වර්තමානය වන විට එතරම් තදබලව නොපැවතුනද අතීත ලාංකීය ජන සමාජයේ උග්‍ර ලෙස මුල් බැසගත් අංගයකි කුල ක්‍රමය. මෙම ලිපි පෙළ මගින් ලාංකික කුල ක්‍රමය පිලිබඳ සාකච්ඡා කෙරේ.  මිනිසුන් කුල වලට බෙදුනේ වත් පොහොසත්කමින් නොවේ. ඔවුන් එසේ බෙදුනේ ලේ පරපුරෙනි. නොක්ස් පවසන අන්දමට ප්‍රධාන වශයෙන් මෙය කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය. එනම් කුලිනයෝ සහ කුල හීනයෝ ලෙසය. උසස් යැයි පිලිගත් කුල වල උදවිය පහත් යැයි පිලිගත් කුල වල උදවිය සමඟ කිසිදා එකට කෑම නොගත්තේය. උසස් කුල වල උදවිය උඩුකය ආවරණය කිරීමට කබායක් පැළදියද පහත් කුලවල උදවිය උඩුකය නිරාවරණය කරගෙන සිටිය යුතු විය. එමෙන්ම ඔවුන්ට උස් පුටු වල ඈඳිගැනීම තහනම් වීය. ඔවුන්ගේ ආසනය වූයේ මිටි පුටු සහ බිම එළන ලද පැදුරු ය.


 විවාහ ගැන සැලකීමේදී උසස් යැයි සම්මත කුල වල අය කිසිදා තමන්ට වඩා පහත් යැයි සම්මත කුල වල උදවිය සමඟ විවාහ නොවීය. විවාහ සිදුවූයේ එකම කුලයක අය සමඟය. එසේ නොමැතිව විවාහ වීම තමන්ට අගෞරවයක් බව එකල මිනිසුන් සලකන ලදි. දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන සාලිය කුමරු ආලයෙන් බැඳුනේ සැඩොල් ස්ත්‍රියක් වන අශෝකමාලා සමඟය. මේ හේතුවෙන් සාලිය කුමරුට රජකම පවා අහිමි වුන බව කියයි. අඩු කුලයක පුද්ගලයෙක් කෙතරම් ධනය ලබාදුන්නත් උසස් කුලයක පුද්ගලයෙක් ඔවුන් හා විවාහ නොවීය. උසස් කුලයක කාන්තාවක් පහත් කුලයක පිරිමියෙක් සමඟ සංවාසයේ යෙදුනහොත් ඇයට හිමිවන්නේ නිසැක මරණයයි. මෙම සමාජයේ කාන්තාවකගේ පතිවත තම ජීවිතයට වඩා වටිනා බව පිලිගන්නා ලදි.

 කාන්තාවගේ තත්වය එසේ වුවත් , උසස් කුලයක පිරිමියෙක් පහත් කුලයක කාන්තාවක් සමඟ සංවාසයේ යෙදීම පිළිකුලට කාරණාවක් නොවීය. එහෙත් ඔවුන් ඇයව තමන්ගේ බිරිඳ ලෙස පවරාගෙන නිවසට කැඳවාගෙන එන්නේද නැත. එසේ වුවහොත් "දහම් පසක්නා" නම් නිලධාරීවරයා විසින් ඔහුට නිසැකයෙන්ම දඩුවම් කරයි. මෙම දඩුවම දඩයක් හෝ බන්ධනාගාරගත කිරීමක් විය හැකිය. විටෙක මේ දඩුවම් දෙකම ලබා දිය හැකිය. දඩුවම මෙයින් අවසන් නොවේ. බොහෝවිට එම පිරිමියාව , කාන්තාවගේ රැහැට එලවා දමයි. විවාහක ස්ත්‍රියක් වෙනත් පුර්ෂයෙකු සමඟ සිට අසුවුවහොත් එම පුද්ගලයා කෙතරම් උසස් වංශවත් පුද්ගලයෙක් වුවත් නිසැක මරණය ඔහුට හිමි වේ. කාන්තාවටද එම දඩුවම එලෙසම ලැබේ.


 කුල ක්‍රමයේ තවත් අතීතයට ගිය විට අපට අටලොස් කුල, දේවතා කුල හමුවේ. කුවේණිය අතහැර දැමූ විජය තම බිසෝ තනතුරට මධුරා පුරයෙන් කාන්තාවක් හා පරිවාර කාන්තාවන් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගත්තේය. ඒ සමඟම අටළොස් කුලවලට අයත් ශිල්පීය සමූහවලින් දහසක් දෙනාද මේ සමඟම ලක්දිවට පැමිණ ඇත. එම අටළොස් කුල නම් ; සරස්කුල, කුලිංගකුල, කපු කුල, බලත්කුල, පෙනෙරකුල, කුඹල් කුල, මල්කරු කුල, ඔසද වටු කුල, සන්නාලි කුල, අරක්කැමි කුල, කුඹුරු කුල, බෙරවා කුල, ස්වර්ණකාර කුල, වඩු කුල, සිත්තර කුල, ලෝකුරු කුල, සත්කරු කුල සහ උයන් ගොවි කුල.

  ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආවතේව කටයුතු සඳහා දේවතා කුල දහ අටක්ද ක්ෂත්‍රීය සිටු බ්‍රහ්මන, කුටුම්භික, වාණිජ , ධනුග්ගහ, තරච්ඡ, කුලිංග, බලත්ථ, පේසකාර, කුම්භකාර, මාලාකාර, සිබ්බක, සූදක, ගන්ධකාර, කම්මාර, ලෝහකාර, සුවණ්නකර, වඩ්ඩති, චිත්තකාර, අතොජ්ජවාදක, ජත්තකාර, උද්‍යානපාලක යන කාර්මික කුල වලින් අට දෙනා බැගින් ලංකාවට පැමිණි බව සදාන් වේ. මේ අය පොදුවේ හඳුන්වා ඇත්තේ බෝධාහාර කුල යනුවෙනි.

 සිංහල කුල ක්‍රමය ගත් විට ප්‍රධාන වශයෙන් කුල 15ක් දැකගත හැකියි. මීට අමතරව කුඩා අප්‍රසිද්ධ කුල තිබිය හැක. සිංහල කුල ක්‍රමයේ විශාලතම කුලය ගොවි කුලයයි. කරාව , සලාගම, දුරාව සහ හුණු කුල අයත් වන්නේ පහතරට කුල වලටය. මේවා බහුලව පහතරට ව්‍යාප්තව ඇත. ඉහල කුලවලට සේවය කිරීමට බැඳී සිටි කුල සේවා කුල ලෙස හැදින්වේ. ආචාරී, නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මෙයට අයත් වේ. ඉඩම් භුක්තිය උදෙසා සේවය කිරීමට මොවුන් බැඳී සිටියහ. මෙයින් වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ පෙන්වයි. එමෙන්ම තම ශිල්පීය දැනුම රැක ගැනීමටද මොවුන් බැඳී සිටියහ. කින්නර , ගහල සහ රොඩී කුල අයත් වන්නේ සමාජයෙන් කොන් වූ කුල යටතටය. මේ එක එකක් පිළිඹඳව සාකච්ඡා කිරීමට මෙම ලිපි මාලාවෙන් බලාපොරොත්තු වේ.


 සමාජයෙන් කොන් වීමට ලක්වූ කුලයක් වන රොඩී කුලයට එසේ වීමට හේතුව සොයා බැලීම වටී. රොබට් නොක්ස් පවසන ආකාරයට එය මෙසේ සිදුවිය. අතීතයේ රොඩියන් යනු රජුට දඩමස් සැපයූ වැද්දෝය. දඩමස් නොලැබුනු එක්තරා දවසක මොවුන් රජුට මිනී මස් ගෙනැවිත් දුන්නේය. රජු මේ මිනී මස් බව නොදැන එය භුක්තිවිඳ එහි රසවැටී එම මස්ම නැවත ගෙන එන ලෙස රොඩියන්ට පැවසුවේය. එනමුත් රජුගේ කපුවාට මෙම මසෙහි රහස දැනගන්නට ලැබුණි. ඔහු එකෙනෙහිම මේ පිලිබදව රජතුමාට රහසින් කීවේය. මෙය ඇසූ රජතුමා මහත් කෝපයට පත්විය. " මරණ දණ්ඩනය වූ කලී වරද කරුවන්ට පමුණුවනු ලබන දණ්ඩනයයි. මොවුන් මට කල නින්දාවට එම දඩුවම ප්‍රමාණවත් නොවේ." යැයි කල්පනා කර රජු මෙසේ අණක් නිකුත් කලේය. " මස් වැදි ගනයට අයත් සෑම කෙනෙක්ම , ලොකු කුඩා හැම කෙනෙක්ම ගමෙන් බැහැරට ගොස් වාසය කල යුතුය. කිසිම මංගල උත්සවයකට හෝ කිසිදු උත්සවයකට නොපැමිණිය යුතුය. තවද ඔවුන්ගේ ජීවිකාව පිණිස ඔවුන් විසින් කිසිදු වැඩක් නොකල යුතුය. ජීවිකාව පිණිස සෑම කෙනෙක්ම ගෙයක් ගෙයක් පාසා සිඟා කෑ යුතුය. හැම රටවැසියෙකුගේම පිළිකුලට හා ජුගුප්සාවට පාත්‍ර විය යුතුය."


රොඩියන්

  මේ අනුව රාජ නියෝගය ලෙස මහජනතාව මොවුන්ව සමාජයෙන් එලවන ලදි. මොවුන්ට ලිඳකින් ජලය පානය කිරීමටවත් අවසර නොවීය. ඔවුන් ජලය පානය කල යුත්තේ ගඟකින් හෝ ජල වළකිනි. සාමාන්‍ය ජනතාව උසස් පැලැන්තියේ අයවලුන්ට ගෞරව බුහුමන් දක්වමින් සලකති. ආමන්ත්‍රණය කරති. රොඩියන් සාමාන්‍ය ජනතාවට ගෞරව කරන්නේ උක්ත කී ආකාරයටමය. රොඩියන්ගේ කාන්තා පාර්ෂවයටද සිඟා කෑම උරුම විය. මොවුන් සිඟා කෑමට ගමකට පැමිණ් විට. රොඩි පිරිමි බෙර ගසනා විට රොඩි කාන්තාවන් නටයි. විජ්ජා පෙන්වයි. බෝල නමයක් උඩදමා බෝල හතක් උඩ තිබෙන පරිදි ඉක්මනින් අල්ලති.

 මෙම රොඩී ජනතාව සාමාන්‍ය ජනතාවට හාමුදුරුවනේ, දෙයියන්නාන්සේ, තමුන්නාන්සේ යැයි ආමන්ත්‍රණය කරයි. මොවුන් හිඟමනේ යාම අනිවාර්යයෙන්ම සිදු කල යුතු විය. කෑමට බීමට ආහාර පාන හා මිල මුදල් තිබුනද හිඟමන් යැදිය යුතු විය. මොවුන් වාසය කරන්නේ ගමෙන් ඉතා ඈත පිහිටි පැල්පත්වල , මාර්ගවල හා ගස් යටය. රජ්ජුරුවන් විසින් මෙම හිඟන ජන කොටසට ජීවත්වීම සඳහා වෙනමම ඉඩම් කොටසක් වෙන් කර ඇති බව නොක්ස් වැඩිදුරටත් පවසයි. ඔහු පවසන අන්දමට රොඩියන්ට එහි වගා කල හැක. එමෙන්ම මොවුන්ගේ දරුවන් දෙමව්පියන් සමඟ ජීවත්වන්නේ නැත. ලේ නෑයන් එකට ජීවත්වීම මොවුන්ට නුපුරුදු කාර්යයකි.


 විවිධ අපරාධ උදෙසා දෙන දඩුවමකි රොඩී රැහැට පලවා හැරීම. පුද්ගලයෙක්ට දඬුවමක් ලෙස හිස ගසා දැමූ විට එම පුද්ගලයාගේ පවුලේ සියලු දෙනාවම රොඩී රැහැට පලවා හරියි. රොඩී රැහැට පලවා හරිනවාට වඩා මරණය සැපතක් බව එකල මිනිසුන් සිතුවේය. මේ සියලු දේට මුල පෙර කී කපුවා බැවින් රොඩියන් කපුවන්ගේ නිවෙස් වල පිහින කිසිදු ආහාරයක් අනුභව කරන්නේ නැති බව නොක්ස් පවසයි. 

 රොඩී රැහැක නායකයා රත්නවල්ලි ලෙස හදුන්වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමභාහු රජුගේ දියණියක් බව මත පල කර ඇත. මෙම කුලයේ පිරිමින්ට රැවුල වවන්නට අවසර තිබුනේ නැත. මහාචාර්ය විල්හෙල්ම් ස්මිත් මහතා පවසන පරිදි රොඩී භාෂාව වැදි භාෂාවට නෑකම් කියයි. එමගින් පෙර කී කතාවේ සත්‍යතාවයක් ඇති බව ගම්‍ය වේ. රත්නවල්ලි කවි පිලිබඳ කෙටියෙන් පැවසීම පාඨකයාට කරන අසාධාරණයක් වන බැවින් ඒ පිලිබඳව විස්තරයක් ඊලඟ කොටසෙහි ඇතුලත් කරන්නම්. 

මූලාශ්‍ර :

1) එදා හෙළදිව - රොබට් නොක්ස්

2) ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - සුරනිමල තෙන්නකෝන්

3) ලංකාවේ කර්මාන්ත පුරාණය - ජී. එම්. සේනාරත්න

4) http://www.divaina.com/2010/07/04/siya09.html

5) http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/

6) https://si.m.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික

මේවටත් උත්තර දෙමු එහෙනන්...

1) මේ පින්තූරෙ දිහා හොඳට බලලා කියන්න මේකෙ ඉන්න අය කව්ද කියලා...


2) අපි නිතරම භාවිතා කරන වචනයක් තමා කෙංගෙඩිය... හරි වචනය තමා කෙම්ගෙඩිය... මොකක්ද මේ කෙම්ගෙඩිය කියන්නේ...

3) යකඩ කිලෝ එකද වැඩියෙන් බර පුලුන් කිලෝ එකද වැඩියෙන් බර? [ ගොං ප්‍රශ්නයක් නෙමේ හොදේ... හොදට හිතන්න... ]

ප.ලි. : උඩින්ම තිබෙන ඡායාරූප අසභ්‍යයි, සංස්කෘතිය කෙලසීමක් ලෙස යමෙකු දුටුවහොත් වරද ඇත්තේ ඡායාරූපයේ නොව නරඹන්නාගේ මනස තුල බව වටහා ගන්න.