Saturday, May 30, 2020

යුරේකා

යුරේකා…! යුරේකා…! යුරේකා…! කිය කියා ආකිමිඩිස් නගරය පුරා උපන් ඇඳුමෙන් දිව්ව කතාව අපි පොඩි කාලේ අහලා තියෙනවා. ප්‍රසිද්ධ කතාව මම කෙටියෙන් කියන්නම්. එක්තරා රජ කෙනෙක්ට උවමනා වෙනවා හදන්න රත්තරන් වලින් ඔටුන්නක්. නමුත් මේ ඔටුන්න හදන මිනිස්සු රජතුමාගේ භාණ්ඩාගාරයෙන් ලබාදෙන රත්තරන් වංචාවක් නැතුව පාවිච්චි කරයිද කියලා රජතුමා සැක කරනවා.

රජතුමා මේ ප්‍රශ්නේ කියනවා ‘ආකිමිඩිස්’ට. ආකිමිඩිස් ඉතින් මේක ගැන හිත හිතා ගෙදර ගිහින් ඇඟ ටිකක් හෝදගන්න ඕනය කියලා බහිනවා වතුරු කට ගාවට පිරිච්ච බේසමට.

එවෙලෙම බේසමෙන් වතුර එලියට පනිනවා. ඔන්න ඔතනදී ආකිමිඩිස් තේරුම් ගන්නවා තමන් වතුරේ පාවුනොත් අර ඉවතට ගිය වතුර වල ස්කන්ධය තමන්ගේ ස්කන්ධයට සමානයි කියලා. ඉතින් ඔටුන්න හදන අමුද්‍රව්‍ය වල ස්කන්ධය ඔය විදිහට කිරලා ඔටුන්න හැදුවට පස්සෙත් ඔටුන්න වතුර එකකට දාලා ඒ වතුරේ ස්කන්ධය කිරුවම අගයන් සමාන වෙනවද කියලා බලන්න පුලුවන්නේ.

මේක හොයාගෙන ආකිමිඩිස්ට ආපු සතුටට එයා හෙළුවෙන් ඉන්නේ කියලත් අමතක වෙලා යුරේකා යුරේකා කිය කියා පාර දිගේ දුවගෙන ගියා කියල තමා කතන්දර වල තියෙන්නේ. ආකිමිඩිස් ඔය හොයාගත්ත එකට කියනවා ‘ආකිමිඩිස් නියමය’ කියලා.

ප්‍රසිද්ධ කතාව මේක වුනාට අපි තරමක් මේක ගැඹුරට හොයලා බලමු. ක්‍රි.පූ. තුන්වෙනි ශතවර්ෂයේ සිසිලියේ සිරකියුස් නම් නගරයේ රජකම් කරා හයිරෝන් කියලා රජකෙනෙක්. මේ රජතුමාට උවමනා වුනා අති විශාල නැවක් හදන්න. එතෙක් නිමැවුනු විශාලතම නැව. කොච්චර විශාලද කිව්වොත් ඒ කාලයේ සාමාන්‍ය යුධ නෞකාවක් වගේ 50 ගුණයක් විශාල එකක්. මේ නැව හදන්නෙත් ඊජිප්තුවේ පාලකයාට තෑගි දෙන්න. බලන්න ඉතින් නේ ඒ රජවරු දෙනකොට දෙන්නේ හොදම ඒවා. මේ නැවට නම දෙනවා සිරකූසියා කියලා. ඒ සිසිලියේ සිරකියුස් නගරය මුල් කරගෙන.

මේ රජතුමා ආකිමිඩිස්ට දෙන්නේ එසේ මෙසේ ගැටලුවක් නෙමේ. ඒක හරියට කන්දකට පියාඹන්න කියනවා වගේ. ඒකාලයේ තාක්ෂණයෙන් මේක හදන්න පහසු වුනේ නැහැ. අනිත් කාරණය මේක විශාල නැවක් විතරක්ම නෙමේ. මේ නැවේ මතුපිට, දුර බැලීම සදහා කුළුණු 8ක් තියෙන්න ඕන. මේ කුළුණු අට ඇට්ලට් දෙවියාගේ කර මත තියෙන්න ඕන. මොකද ඒ කාලෙ මිනිස්සු විශ්වාස කරා ඇට්ලස් දෙවියා තමා ලෝක ගෝලය කරමත තියාගෙන උස්සගෙන ඉන්නේ කියලා. මේ හේතුවෙනුයි ඔය සිතියම් පොත් වලට ඇට්ලස් කියන නම ලැබුනේ.

නැව ඉස්සරහා තියෙන්න ඕන විශාල ගල් විසිකරන්න හැකි කැටපෝලයක්. ඒ විතරක් නෙමේ මූර්ති වලින් අලංකාර වුනු පුස්තකාලයක්, නෑමට තටාකයක්, ඇෆ්රොඩයිට් දෙවඟනට දේවාලයක් සහ කාය වර්ධනය සඳහා ශාලාවක් තියෙන්නත් ඕන. රජතුමා එතනින් නතර වුනේ නැහැ මේ නැවේ වී ටොන් 400කුත් අච්චාරු බෝතල් 1000කුත් බීමට ජලය ටොන් 74කුත් නූල් ටොන් 600කුත් අශ්වයෝ 20කුත් මිනිස්සු 1000කුත් ඉන්න ඕන කියලා කිව්වා. නැව මේ දේවල් වලින් සමන්විත වෙන්න ඕන කියලා රජතුමා කියද්දි ආකිමිඩිස්ගේ මූණ කොයි වගේ තියෙන්න ඇද්ද කියලා මැවිලා පේනවා.

පිස්සු කියවන්න එපා මනුස්සයෝ” කියලා කියන්නත් බෑනෙ. රජතුමානේ. මේ වැඩේ ආකිමිඩිස් ප්‍රථික්ෂේප කරානම් ආකිමිඩිස්ගේ බෙල්ල ඉතුරු වෙන්නෙත් නෑ. ඉතින් ආකිමිඩිස් නැව හදන්න පටන් ගත්තා.

සමහරවිට ආකිමිඩිස්ට මේ ගැන හිතෙන්න ඇත්තේ බේසමට බැහැලා නාන ගමන් වෙන්න ඇති. කුමක් හෝ ද්‍රව්‍යයක් කටපිරෙන්න වතුර දාපු බේසමකට උඩින් දැම්මම ඒක ගිලී පාවෙනවා නම් ඒ ද්‍රව්‍යයේ ස්කන්ධය ඉවතට ගිය ජලයේ ස්කන්ධයට සමානයි. ඔය දේ තමයි මම උඩින්ම කිව්ව විදිහට ආකිමිඩිස් හොයාගත්තේ.

අපි මේ සිරකූසියා නැව උදාහරණයකට ගමු. නැවේ ස්කන්ධය ටොන් 2000යි නම් ඒකෙන් ජලය ටොන් 2000ක් විස්තාපනය කරනවා නම් (ඒ කිව්වේ අර කලින් කිව්වා වගේ ඉවතට යනවා නම්) නැව ගිලී පාවෙනවා. ජලය ටොන් 4000ක් විස්තාපනය කරනවා නම් නැව කිසිම ප්‍රශ්නයක් නැව ජලය මත පාවෙනවා. ජලය විස්තාපනය කරන්නේ ටොන් 1000ක් නම් නැව ගිලෙනවා අකිමිඩිස් මැරෙනවා.

අද කාලයේ නැවක් හදනකොටත් මේ සිද්ධාන්තයම තමා පාවිච්චි කරන්නේ. නැවක නෞකා තලය (Keel) ඒ කිව්වේ වතුරෙන් යට කොටසෙන් විස්තාපනය වෙන ජල ස්කන්ධය නැවේ ස්කන්ධයට සමාන වුනාම වතුරේ පාවෙනවා. හරිම සරලයි.

ඔය ආකිමිඩිස්ගේ ඔටුන්නේ කතාව පස්සේ කාලයේ මුල් කතාවට එකතු වුන එකක් වෙන්න ඕන. මොකද ඔටුන්නට ලතින් වලින් කියන්නේ ‘කොරෝනා’ කියලා. නෞකා තලයට (Keel) ග්‍රීක් වලින් කියන්නේ ‘කොරෝනේ’ කියලා. ඉතින් හිතාගන්න පුලුවන්නේ නැවේ කතාව අමතක වෙලා ඔටුන්නේ කතාව ආපු විදිහ.

 


Friday, May 29, 2020

ගෘහාශ්‍රිතකරණය සහ බල්ලා

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක පිට රටක ඉඳන් සුද්දෙක් එනවා ලංකාවේ පදිංචියට. උන්දැ ලංකාවේ ඉන්නකොට මුලච්චි වෙනවා හීන්දෑරි කෙලි ගැටිස්සියක්. මේ සුද්දටත් ඉතින් භාසාව දන්නේ නැති වුනාට කාරි නෑ කියල ඒ කෙලි ගැටිස්සියත් එක්ක හාද වෙනවා. මුලදි මුලදි නම් සුද්දට තේරෙන්නෙත් නෑ කෙල්ල කියවන ඒවා කෙල්ලට තේරෙන්නෙත් නෑ සුද්දගේ අපබ්‍රංසේ. කෙල්ලව සුද්දෙක්ට කරගහන්න පුලුවන් උනාය කියල පවුලෙ උන්දැලත් හරිම සන්තෝසෙන් හිටියෙ.

දැන් ඉතින් දෙන්නා දෙමහල්ලෝ පවුල් පන්සල් වෙලා සෑහෙන කාලයක්. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. කිරි සුද වාගේ පොඩි එකෙක්ගේ මූණ. අනික් ළමයා නම් අම්මා වගේ. දැන් සුද්දටත් සිංහල එහෙම ටික ටික පුලුවන්. යාන්තන් වචනය දෙක කතා කරනවා. ළමයි දෙන්නව නගරේ ඉස්කෝලෙට දාපු නිසා දැන් උන්දලත් ඉගෙනගන්නේ සිංහලෙන්. පොත්ත සුදු වුනාට සිංහල යස අගේට කතාකරන්න පුලුවන්.

දැන් මම මේ පොඩි කතාන්දරය කිව්වේ මොකට කියලද හිතන්නේ. මේ පොඩි කතන්දරේ ඇතුලේ සෑහෙන දේවල් හැංගිලා තියෙනවා. නිකමට හිතලා බලන්න දැන් අපේ ගමේ ගොඩේ සමහර චාරිත්‍ර වාරිත්‍ර හැදිලා තියෙන විදිහ. ඔය කතාව අස්සේ එව්වා හැංගිලා තියෙන්නේ. මම ඒක විස්තර කරන්න යන්නෙ නැහැ. ඒක ඔයැයිලට හිතන්න දෙන්නම්.

දැන් අපි පොඩ්ඩකට යමු ඉස්කෝලෙ පැත්තට. පොඩි කාලේ ඉස්කෝලෙ ළමයින්ට උගන්නනවා ‘ගෘහාශ්‍රිතකරණය’ කියල පාඩමක්. දවසක් ළමයෙක්ගෙන් ටීචර් ඇහැව්වලු ගෘහාශ්‍රිතකරනය වුනු සත්තු කවුද කියල. ඉතින් ළමයා තමන්ගෙ ගෙදරම උදාහරණයකට අරගෙන කිව්වලු මෙහෙම; “බල්ලා, පූසා, හාවා, කාක්කා, මීයා, කැරපොත්තා, මකුළුවා, මකුණා, උකුණා, ගැරඬියා…”

ගැරඬියා කීව හැටියේ ටීචර් ඇහැව්වලු ගැරඩි කොහෙද ගෙදර කියල. එතකොට ළමයා කිව්වලු “සුමානෙකට දෙකකට සැරයක් එනවා. ආපුවම තාත්තා භූමිතෙල් ගහලා එලෝගන්නවා” කියලා.

දැන් ඔය සතාසිව්පාවන්ගෙන් ගොඩ දෙනෙක් ගෘහාශෘතකරණය වුනු සත්තු නෙමේ කියල දන්නවනේ. ගොඩ දෙනෙක් වරද්දගන්න තැනක් තියෙනවා ගෘහාශ්‍රිතකරණය හා හීලෑ කිරීම ගැන. ගෘහාශ්‍රිතකරණයේ අතුරු ප්‍රතිඵලයක් තමා හීලෑ වීම. බල්ලා තමා පලවෙනියෙන් හීලෑ වුනු සතා. ගෘහාශ්‍රිතකරණය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට සත්තු ශාක මුල් විදිහෙන් වෙනස් වුන එක.

පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැනට අවුරුදු 12000 ක් වගේ සෑහෙන්න කාලෙකට කලින් වී ශාකය කැලෑවල තමා වැවුනේ. පැහිච්ච වී ඇට සුළගෙන් විසිරිලා තමා වැවුනේ. මිනිස්සුන්ට ඉතුරු වුනේ අර සුළගෙන් විසිරිලා ගිහින් ඉතුරු වුනු කරල් ටික විතරයි. ඉතින් මේ මිනිස්සු වගා කළේ අන්න ඒ වී ඇට. ඉතින් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම වගේ ඇට සුළගෙන් විසිරෙන්නේ නැති මුල් ශාකයෙන් වෙනස් වී ශාකය හැදුනේ එහෙම. අන්න ඒකටයි ගෘහාශ්‍රිතකරණය කියන්නේ. මිනිස්සුන්ගේ පාලනය යටතට ගත්තු නිසා ශාක සතුන් වෙනස් වීම.

ඔය වගේ මුං, ඉරිඟු. තිරිඟු වගේ ශාක කාලයත් එක්ක වෙනස් වුනා. මුල් කාලයේ ඉරිඟු ශාකය හීනියට ඇටේ ඇටේ උඩට හිටින විදිහට තිබුනේ. දැන් බලන්න එපැයි. ඔය පල්ලෙහා පින්තූරයේ ඉන්නේ දැන් ඉන්න ගෘහාශ්‍රිතකරණය වුනු ගවයන්ගේ ආදිතමයා 'බොස් ප්‍රිමිජීනියස්' කියන ගවයා.

ඒත් ඉතින් අද ළමයෙක්ගෙන් ගෘහාශ්‍රිතකරණය කියන්නෙ මොකක් ද? කියල ඇහුවොත් 'බල්ලා' කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න දන්නෑ.


Thursday, May 28, 2020

අමරණීය රාජධානිය

මරණයෙන් පස්සේ සිදුවෙන්නේ මොකක්ද? ස්වර්ගයට යනව ද? නැවත ඉපදෙනව ද? එහෙම නැත්නම් මරණයෙන් පස්සේ මුකුත්ම නැද්ද? මේ ප්‍රශ්නය ලෝක ඉතිහාසය පුරාවට මිනිසුන්ගේ සිත් වලට වද දුන්නා. දිළිඳු ගොවියෙක්ට කම්කරුවෙක්ට මේ ගැන සිතුනු දෑ අපට අද දැකගන්න දැනගන්න හැකියාවක් නැහැ. කලා නිර්මාණයක පොත පතක ඈත ඉතිහාසයේ දී ඒවා ගැන ලියවුනේ නැහැ. නමුත් මරණයෙන් පසු සිදුවෙන්නේ කුමක්දැයි රජකෙනෙක්ගේ අදහස් අද අපිට දැකගන්න පුලුවන්. චීනයේ හිටපු රජ කෙනෙක් හිතුවා මැරුණට පස්සේ කොහේ ගියත් තමන්ගේ ආරක්ෂාවට හමුදාවකුත් තියෙන්න ඕන කියලා. ඒ නිසා තමන් ජීවත් වෙලා ඉන්න කාලයේ දීම මරණයෙන් පසු ජීවිතයට ඒ රජතුමා ලෑස්තිවෙනවා. අද කතාව ඒ ගැන.

1974 අවුරුද්දේ ගොවීන් පිරිසක් ළිඳක් හාරමින් ඉන්නකොට එයාලට දැකගන්න ලැබෙනවා දැකලා හුරු නැති දෙයක්. පොළොව යට ගොඩනැගිල්ලක්…! පුරාවිද්‍යා ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් ළකුණු කරගෙන ‘ටෙරාකොටා පිළිම’ තිබූ පොළොව යට කුටීර එදා සොයාගත්තා. පිළිම කිහිපයක් එක් තැනක දි සොයාගන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් මෙතනින් ජීවමාන ප්‍රමාණයේ මැටි හමුදා පිළිම 8000ක් සොයාගත්තා. මීට පෙර එවැනි සොයාගැනීමක් සිදුවෙලා නැහැ.

මේ හැමදේටම මූලික වෙන්නේ චීනයේ පළමු අධිරාජ්‍යයා වුනු ‘ෂින් ෂෝ වන්ඩී’. රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනය අධික ලේ වැගිරීමකින් තනි පාලනයකට ගත් පළමු පාලකයා තමා මේ. අවුරුදු 37ක රාජ්‍ය කාලයක මේ අධිරාජ්‍යයා තමන්ගේ නම ඉතිහාසයේ රඳවන්න බොහෝ දේ සිදුකරා. ස්කන්ධය කිරා ගැනීමට විවිධ මිනුම් භාවිතා වීම ගැටළුවක්. මේකට විසඳුමක් විදිහට ස්කන්ධය කිරා ගැනීමට සම්මත ක්‍රමයක් හදුන්වලා දෙනවා රාජ්‍ය කාලය තුලදී. මුලදි රාජ්‍යයන් හතකට බෙදී තිබුනු චීනයේ එක් එක් රාජ්‍යයන් වල භාවිතා වුනේ විවිධ අක්ෂර. දැන් රාජ්‍යන් සියල්ල එක්සත් වෙලා තියෙන නිසා මේක ගැටලුවක්. මේකට විසඳුමක් විදිහට මුලු චීනයටම සම්මත අක්ෂර පද්ධතියක් හදුන්වලා දෙනවා. ඒත් එක්කම අනෙකුත් රාජ්‍යයන් වලින් වන සතුරු උවදුරු වලින් බේරෙන්න ආරක්ෂක විධි විධානයක් විදිහට මේ අධිරාජ්‍යයා හදනවා තාප්පයක්. පස්සේ කාලයේ මේකට තවත් කොටස් එකතු වෙලා හදුන්වනවා ‘චීන මහා ප්‍රාකාරය’ කියලා.

අධිරාජ්‍යයා මරණයෙන් පසු අනාගතයට ලෑස්ති වෙන්නේ රාජ්‍ය කාලයේ පළමු අවුරුද්දේ ඉඳන්. පොළොව යට මේ ගොඩනැගිල්ල කුටීර කිහිපයකින් සමන්විත වෙනවා. පලමු කුටීරයේ ජීවමාන ප්‍රමාණයේ සෙබලු 6000ක් ද දෙවන කුටීරයේ අශ්වයන් සහිත අශ්ව රථ 130ක් සහ අශ්වයින් 600ක් ද තෙවන කුටීරයේ අණ දෙන නිළධාරීන්ගෙන් ද සමන්විත වෙනවා. හතරවෙනි කුටීරයේ තියෙන්නේ අධිරාජ්‍යයාගේ මරණය නිසා (ක්‍රි.පූ. 210 දී) වැඩ අවසන් නොවූ පිළිම. මීට යාබදව තවත් කුටීර කිහිපයක් තියෙනවා. ඒවයේ ගොවීන්, මාළිගාවේ සුළු සේවකයන්, සංගීතඥයින්, රාජ්‍ය නිළධාරීන් වගේම සත්තුන්ගේ පිළිමත් තියෙනවා. මේවා දැක්කම හිතෙන්නේ මේ අධිරාජ්‍යයාට මරණින් පස්සේ යුද්ධයකට එහා ගිය දෙයක් උවමනා කරලා තියෙනවා කියලා.

මේ පිළිම හදන්නේ රතු පාටට හුරු පිළිස්සූ මැටි වර්ගයක් වුනු ටෙරාකොටා වලින්. ඒත් එක්කම මේවා හදන්න කම්කරුවන් 720,000ක් තරම් අති විශාල ප්‍රමාණයක ශ්‍රම දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා වාර්තා වල සදහන් වෙනවා. මේ පිළිම පෙළගස්වලා තියෙන්නේ හමුදා නිලය අනුව. එක් එක්කෙනා වෙනත් ඇඳුම්, ආයුධ සහ කොණ්ඩා මෝස්තර වලින් සැරසිලා ඉන්නවා. ඒ විතරක් නෙමේ මේ පිළිම වලට විවිධාකාර මුහුණේ ඉරියව් වගේම විවිධ කන් පෙති ත් ලබාදීලා තියෙනවා. මේ හැම පිළිමයකටම විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවා.

කෙතරම් ටෙරාකොටා පිළිම සොයාගත්තත් වැදගත්ම දේ එතන තිබුනේ නැහැ. ඒ අධිරාජ්‍යයාගේ සොහොන. නමුත් ඉතා මෑත කාලයක දී කරපු කෑනීමකින් ටෙරාකොටා පිළිම තිබූ ස්ථානය කිට්ටුවෙන් පොළොව යටින් අධිරාජ්‍යයාගේ සොහොන සොයාගන්නවා. එහි තවත් පිළිම අති විශාල ප්‍රමාණයකුත් රත්තරන් මුතු මැණික් මෙන්ම සොහොන තුලින් ගමන් කරන රසදිය ගංගාවක් ඇති බවත් ලේඛන වලින් දැනගන්න ලැබෙනවා. එමෙන්ම එම ලේඛන වල සඳහන් වන ආකාරයට මෙම අධිරාජ්‍යයා පොළොව යට සියලු අංග වලින් සපිරුණු රාජධානියක් නිර්මාණය කරනවා. පොළොව යට ගොඩනැගිල්ලේ සිවිලිමේ රාත්‍රී අහස නිරූපනය වී තිබෙන අයුරු පැරණි ලේඛන සාක්ෂි දරනවා,

නමුත් අවාසනාවකට එම සොහොන සොයාගත්තද අද තාක්ෂණයේ දුර්වලකම් නිසා එම වස්තූන් සියැසින් දැකගත නොහැකියි. එම වස්තු සම්භාරයට හානි නොවී තබාගැනීමට නම් එම සොහොන විවෘත නොවී තිබිය යුතු බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස.

තාක්ෂණය දියුණු වූ දිනෙක වසර දෙදහසකට අධික කාලයකට පෙර තාක්ෂණයෙන් සෑදූ සොහොන අපි සියැසින් දැකබලා ගමු. එතෙක් ඉවසන්න.


Wednesday, May 27, 2020

'පෝපොල් වූහ්' සහ තවත් කතා

බයිබලයේ පරණ ගිවිසුමේ උප්පත්ති පොත කියවනකොට ගොඩක් අය කියන දෙයක් තමා ඒවා ‘මිත්‍යා කතා’ කියල. ඒක හරි. ඒවා මිත්‍යා කතා තමයි. නමුත් ඉතිහාසය නිතර කියවන කෙනෙක් විදිහට මිත්‍යා කතා අමතක කරල කියවන්න ගියොත් ශිෂ්ටාචාරවල කියවන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති තරම්. මොකද ඒ ඒ සංස්කෘතීන්ට එයාලගෙ ඇදහිලි ඉතා තදින් බද්ධ වෙලා තියෙන්නේ. ඊජිප්තු පිරමීඩෙක චිත්‍රයක් ගත්තොත් 90%කට එහා දෙවි කෙනෙක් දකින්න පුලුවන්.

මම බයිබලයේ උප්පත්ති පොත කියවන්නෙත් මේ විදිහට. මේක අද ඊයේ ලියවිච්ච පොතක් නෙමේ. මේ කතාන්දර බයිබලයට ආපු විදිහක් තියෙනවා. උප්පත්ති පොතේ කතාන්දර වලින් 95% කට වඩා එන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයෙන්. ඒ ශිෂ්ටාචාරයේ කතාවල ලොකු සමානකමක් තියෙනවා උප්පත්ති පොතේ කතා වලට. මැවීම, නෝවාගේ නැව, බාබෙල් කොත වගේ කතා ඒ කාලෙ මෙසපොතේමියාවේ ළමයිනුත් පොඩි කාලෙ ඉගෙනගෙන තියෙනවා. මම ලියන ලිපි කාලෙක ඉදන් කියවන කෙනෙක් නම් නෝවාගේ කතාව, බාබෙල් කොත, විෂ්ණුගේ දස අවතාර වගේ උප්පති පොතේ දෙවියන් නිරූපනය වීම යන කාරණා ගැන ලියූ ලිපි කියවල තියෙනවා කියල හිතනවා.

මම මේ සටහන ලියන්නේ ඒ ලිව්ව ඒවා ගැන කතාකරන්න නෙමේ. ශිෂ්ටාචාරවල ඉතිහාසය කියවනකොට මම මුලින්ම කරන්නේ ඒ ඒ ශිෂ්ටාචාරයේ ඇදහිලි කියවන එක. මොකද ඒ සමාජයන් වල හැම අංගයක්ම වාගේ ඇදහිලි වලට බද්ධ වෙලා තිබුනේ. චිත්‍රයක් දැක්කම “අනේ ෂෝක් චිත්‍රෙ.” කියනවට වඩා ඒ චිත්‍රයෙන් කියවෙන්නෙ මොකක්ද කියල දැනගන්න මම කැමතියි.

මම ඒ කියවපු තැන් වලින් දැකපු පොදු කාරණයක් තමා මොන ශිෂ්ටාචාරයක ඇදහිල්ලක් කිව්වත් ඒ හැම එකකම කුඩා හෝ සමානකමක් තියෙනවා. සමහර ඒවා හිතාගන්න බැරි වෙන විදිහට සමානයි. ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඇදහිල්ලක තියෙනවා මියගියාට පස්සේ හදවත තරාදියක දාලා කිරනවා. ඔය වගේම එකක් හින්දු සංස්කෘතිය තුලත් තියෙනවා (පහල ඒ ගැන කුඩා සටහනක් තියෙනවා).

ඔය වගේ මම ළඟකදි මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන කියවනකොට හමුවුනා විශේෂ පොතක්. මේකේ නම තමා ‘පෝපොල් වූහ්’. මේ මායාවරුන්ගේ පූජනීය ග්‍රන්ථයක්. මේකෙ ඉංග්‍රීසි පරිවර්තනය හොයන් මම කියෙව්වා. මම අර කලින් කිව්ව සාධයක එතනදිත් ඔප්පු වුනා. මුල් කොටස් කිහිපය බයිබලයට බොහෝ සෙයින් සමානයි. මුලදි ආලෝකය හා අදුර, පලමු මිනිසා විතරක් නෙමේ මහා ජල ගැල්මක් ගැනත් තියෙනවා. ජල ගැල්ම ගැන කතාවනම් ගොඩක් තැන් වලදි දකින්න පුලුවන්. මෙසපොතේමියාවෙන්, ග්‍රීක සහ හින්දු ඇදහිලි වලත් මේ කතාව තියෙනවා.

මායාවරුන් සමස්ත කාලය යුග පහකට බෙදුවා. එක් යුගයක් බක්ටූන් 13ක්. මේ එක යුගයක් අවුරුදු 5200ක් වගේ විශාල කාලයක්. ඒක හරියට ආසියාතික රටවල් වලින් එන ‘කල්පය’ සංකල්පය වගේ දෙයක්. මායාවරුන් විශ්වාස කලේ පෘතුවිය ඇතිවුනේ ක්‍රි.පූ. 3114 වගේ කාලෙක කියල. ඉතින් බක්ටූන් 13කින් සමන්විත වුනු එක් යුගයක නිමාව සටහන් වුනේ 2012 දෙසැම්බර් 23. මායාවරු හිතුවා එදාට ලෝකය විනාශ වෙනවා කියල. කොහොමෙන් හරි ඒ විශ්වාසයෙන් ගොඩක් මිනිස්සු පොහොසත් වුනා.

මායාවරු විශ්වාස කරා අහසේ දෙවිවරු ඉන්නේ. එයාලට ඉන්න හසේ මට්ටම් 13ක් තියෙනවා කියල. ඒත් එක්කම පොලොව යට අපායේ මට්ටම් 9ක් තියෙනවා කියලත් විශ්වාස කරා. ඩාන්ටේගේ කලා කෘතියක් තියෙනවා ඩිවයින් කොමඩි කියල. ඒකෙ මුල් කොටස ‘ඉන්ෆර්නෝ’. එතනදි ඩාන්ටේ අපාය කොටස් 9කට බෙදනවා. ෆිල්ම් එකකුත් ආවා ඉන්ෆර්නෝ කියල. ඩාන්ටේට මයාවරුන්ගේ සංකල්පයේ ආභාෂය තියෙන්න ඇති කියල මම හිතනවා.

ඔය වගේ ඇදහිලි වලින් කොටස් අරගෙන සමාජයට මිශ්‍ර වුනු දේවල් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. බයිබලයේ ආදම් සහ ඒව තහනම් ගගෙන් ගෙඩි කාලා ඒදන් උයනෙන් යන්න වුනා කියල බයිබලයේ තියෙනවනේ. ගොඩක් තැන්වලදි කියවෙනවා මේ කාපු ගෙඩිය ඇපල් ගෙඩියක් කියල. මාක් ට්වේන් ආදම් සහ ඒවගේ දිනපොත කියල කෙටි කතාවකත් ඔය ඇපල් කතාව කියනවා. ඒත් බයිබලයේ එහෙම කතාවක් නැහැ. ඔය ඇපල් කතාව එන්නේ ග්‍රීක ඇදහිලි වලින්. එතනත් ආදම් සහ ඒවට සමාන කතාවකින් ඇපල් ගෙඩියක් ගැන කියවෙනවා. (මාක් ට්වේන්ගේ ආදම් සහ ඒවගේ දිනපොත කෙටි කතාව කියවන්න කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගියොත් මම කරපු පරිවර්තනය කියවන්න පුලුවන්. තරමක් දිගයි කොටස් තුනකින් ලියල තියෙන්නේ.)

හරි ආයෙත් එමු කතාවට. මායාවරුන් එයාලගේ 166ක් දෙවියන්ව නිරූපනය කරනකොට එකම දෙවියන්ව කාන්තා හා පිරිමි යන දෙයාකාරයෙන්ම නිරූපණය කළා. ඒ වගේම තරුණ - මහළු ස්වරූප දෙකෙනුත් නිරූපණය කරා. මිනිස්සු සත්තු නිරූපණය කරද්දිත් මේ දේ ඒ විදිහෙන්ම සිද්ධ වුනා. ඒකෙන් එයාලා කියන්න උත්සහ කරේ හැම දේකම දෙපැත්තක් තියෙනවා. හොද සහ නරක. හොද තියෙනවා නම් නරක අනිවාර්යෙන් තිබිය යුතුයි. හොදක් ගැන කතාකරන්න සිද්ධ වෙන්නේ නරකක් තියෙන නිසා. ඒ විතරක් නෙමේ මේ මායාවරුන්ගේ හැම දෙවිකෙනෙක්ටම අපායේ අවතාරයකුත් තියෙනවා කියල විශ්වාසයකුත් තිබුනා.



පැරණි ඊජිප්තු ඇදහිල්ලක් (කලකට පෙර ලියූවක්)

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර හාරදහසක් පමණ පැරණි ඊජිප්තු ඇඳහිල්ලකි. පුද්ගලයෙක් මියගිය විට රා දෙවියන්ගේ අණ මත තෝත් දෙවියා විසින් මියගිය පුද්ගලයාගේ හදවත තරාදියකට දමා මැන බලයි. තරාදියේ අනෙක් පැත්තට දමන්නේ පිහාටුවකි. හඳවත පිහාටුවට වඩා බර වුවහොත් ඔහුගේ ලඟින් සිටින නරියා හදවත කා දමයි.

හඳවත නිත්‍ය වශයෙන්ම පිහාටුවකට වඩා බර බව අපි සියලු දෙනාම දනිමු. මෙම පුරාණ ඇදහිල්ලෙන් ඊජිප්තුවන් බලාපොරොත්තු වූ දේ අදටත් වලංගුය. එනම්; යමෙකුගේ හදවත බර වැඩි වීමට ඔහු හෝ ඇය විසින් ඕනෑකමින් වැරදි කල යුතුය. සැමවිටම යහපත් දේ කිරීමෙන් හදවත පිහාටුවක් මෙන් සැහැල්ලුව තබාගත හැකි බව පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කලහ. මමීකරණයේදී ශරීර අභ්‍යන්තරයේ ඇති සියලුම ඉන්ද්‍රියන් ඉවත් කර බදුන් වල ගබඩා කර තැබුවත්, හදවත ශරීරය තුලම තබන්නේ මේ නිසාවෙනි.

වේද ග්‍රන්ථ වලට අනුව යම දෙවියා මරණයට අධිපති හා දකුණු දිශාවට අධිපති වීය. ඔහු අපායවල් වල සිටින වැරදි කලවුන් විනිශ්චයට ලක් කරන දැඩි හිතක් ඇති දෙවියෙක් බව හින්දු ජනයා විශ්වාස කලහ. කර්ම වාදයේ හැටියට මළවුන් විනිශ්චය සදහා දෙවියෙකු අවශ්‍ය නොවේ. එනම් මෙම සංකල්පය බටහිරින් ආවක් බව සිතිය හැකිය. එනම් මෙම සංකල්පයේ මූලය පුරාණ ඊජිප්තුව දෙසට දිව යයි. යම දෙවියන් විසින් චිත්‍ර ගුප්ත නම් අතවැසියෙකුගේ සහය ඇතිව පින් පව් තරාදියක දා කිරණ බවක් කියැවේ.



Sunday, May 24, 2020

ප්‍රොමිතියස් - මිනිසා මැවීම ග්‍රීක ඇසින් (2 කොටස)

පලමු කොටස 

මැටි. ඒවා වලින් තමා සියුස්ගේ මෙම නිර්මාණය සෑදිය යුත්තේ. මේ නිසා හොද සාරවත් මැටි තිබෙන්නේ කොහේදැයි සොයමින් සිටින විට අගනා මැටි පසක් තිබෙන ස්ථානයක් ප්‍රොමිතියස්ට සොයාගැනීමට හැකිවුනා. ඒ යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ඉවුරු වලින්. ඒවායේ පැහැය හා සංයුතිය මෙම වැඩය සදහා ඉතාමත් උචිතයි.

“මේ මැටි අපේ වැඩේට ගොඩක් හොදයි” ඔහු සියුස්ට පැවසුවා. “නෑ නෑ ඔයා ඔතන ඉඳගන්න හදන්න එපා මට තනියම මේ නිර්මාණය කරන්න ඕන. මම කැමති නෑ මේකට මොනම විදිහකින්වත් බාධාවක් ඇති වෙනවට. හැබැයි ඔයා යන්න කලින් මට ඔයාගෙ කෙළ පිඩක් ඕන.”

“ඒ මොකටද?”

“මේ මැටි අනුරූප ජීවය ලබන්න නම් ඔයාගෙන් කොටසකුත් එයාලට තියෙන්න ඕනෙ”

ප්‍රොමිතියස් මේ කියූ දේ සාධාරණ බව සියුස්ට වැටහුනා. සාර්ථක නිර්මාණයක් සෑදෙන්න නම් නිස්කලංක පරිසරයක් තිබිය යුතුයි. ඔවුන්ට ජීවය ලැබීමට නම් තමාගේ කෙළ පිඩක් තිබිය යුතුයි. මේ නිසා සියුස් කෙළ පිඩක් ගෙන ප්‍රොමිතියස්ට දුන්නා.

“මම මේ මැටි රූප හදලා හිරු රශ්මියෙන් වේළෙන්න තියන්න ඕනෙ” ප්‍රොමිතියස් පැවසුවා. “ඒ නිසා ඔයා ඉර බැහැලා යනකොට එන්න. එතකොට ඔක්කොම ලස්සනට හදලා තියේවි”

මේ ක්‍රියාදාමය සිදුවන ආකාරය බලාසිටීමට සියුස් ඉතා ප්‍රියයි. නමුත් ප්‍රොමිතියස් කියූ පරිදි මෙම නිර්මාණය සාර්ථක වීමට නම් කිසිදු ආකාරයේ බාධාවක් නොවිය යුතුයි. මේ නිසා සියුස් තම මිතුරාව කලා නිර්මාණය කිරීමට ඉඩහැර එතැනින් ඉවත්ව ගියා.

ප්‍රොමිතියස් දැන් මහා ක්‍රියාදාමයේ වැඩ ආරම්භ කළා. ඔහු මැටි ගුලියක් ගෙන රෝල් කර දිගටියට සාදාගත්තා. ඉන්පසු සියුස්ගේ කෙළ පිඩ සමග මිශ්‍ර වූ කුඩා මැටි ගුලියක් ගෝලයක් ආකාරයට සාදාගෙන දිගටි මැටි රෝලේ මුදුනින් තැබුවා. ඒ හිස. එතැන් සිට කැපීම්, කෙටීම්, ඉවත් කිරීම් ආදී නානාප්‍රකාර දෑ සිදුකරමින් කුඩා ප්‍රමාණයේ දෙවි කෙනෙක් පෑදෙනතුරු ප්‍රොමිතියස් ඒ වෙනුවෙන් වෙහෙසුනා. අනුරුව ඔපමට්ටම් කිරීම වැඩිවෙත්ම ප්‍රොමිතියස්ගේ ඒ වෙනුවෙන් වූ ආශාවත් වැඩිවුනා. ප්‍රොමිතියස්ගේ හැකියාවන් ගැන බලාපොරොත්තු තබා මේ භාරදූර කාර්යය පැවරීම ගැන සියුස් සතුටු වනවා නිසැකයි. සියුස් මේ සඳහා තෝරාගෙන ඇත්තේ හොදම පුද්ගලයාව.

ප්‍රොමිතියස් මෙම කුඩා ජීවී අනුරූ වලට වර්ණ එකතු කර තවත් ඒවා හැඩගැන්වුවා. පළමුවෙන් දෙවියන්ගේ සමේ පැහැයට හුරු වර්ණයක් එක් අනුරුවකට ලබා දුන්නා. ඉන්පසු අනෙක්වා දිලිසෙන කළු, රෝස, ඇම්බර්, කහ, රතු, කොල, දම් පාට සහ තද නිල් පැහැයෙන් සෑදුවා. ඉතා අලංකාරයි. ප්‍රොමිතියස්ට තමන්ගේ මෙම නිර්මාණය ගැන ඉතා සතුටුයි. ඔහු තරමක් වේලා එම අනුරූ දෙස බලාසිටියා. ඉන්පසු ඔහු මෙහි අවසන් අදියර වූ සූර්ය රශ්මියට නිරාවරණය කිරීමේ කටයුත්තේ නියැලුනා.

මොහොතකට පසු ඔහුට දෙවියන්ගෙත් රජු සියුස්ගේ හඬ ඈතින් ඇසෙන්න පටන් ගත්තා. ඔහු සිටින්නේ තනිවම නොවේ. කාත් සමග හෝ කතා කරමින් පැමිණෙන්නේ. අනෙකා කාන්තාවක්. ඉතා මෘදු, පහත් කටහඬක් තිබෙන්නේ. ඒ වෙන කවුරුත් නොව. සියුස්ගේ ප්‍රියතම දරුවා වූ ඇතීනා.

“එයා මේ ළඟ ඉන්නේ. ඔයාම බලන්නකො ගියාම.” ප්‍රොමිතියස්ට ඔවුන්ගේ කතාබහ ඇසෙයි. “අපි එයාට කතාකරමු… ප්‍රොමිතියස්..!”

“මම මෙතන ඉන්නේ,” ප්‍රොමිතියස් ඔවුන්ට කතාකරා. “හැබැයි පරිස්සමෙන් එන්න ඔතන…..”

ඔහුට කියා අවසන් කිරීමට හැකි වූයේ නැත. පරක්කු වැඩියි!

සියුස් ඉවසිලිමත් නොවූ නිසා ඔහු අඩිය තිබ්බේ මැටි අනුරූ පේලිය මතටයි. ප්‍රොමිතියස් එවෙලේම එතැනට ගොස් අනුරූ වලින් විසිරී ගිය කැබලි අතට ගත්තා.

“අඥානයා…!” ප්‍රොමිතියස් කෑ ගැසුවා. “ඔයා මේවා විනාශ කරා. බලන්න…!”

මෙතෙක් මැවී ඇති කිසිදු සත්වයෙක්, ටයිටන්වරයෙක් පමණක් නොව දෙවි කෙනෙක්වත් සියුස්ට මෙසේ ‘අඥානයා’ යනුවෙන් ආමන්ත්‍රණය කලහොත් ලේසියකින් ගැලවී යා නොහැකියි. නමුත් මේ දෙස ඇතීනා පුදුමයෙන් බලා සිටියේ තම පියා සමාව ඉල්ලමින් ප්‍රොමිතියස්ට හිස නැමූ නිසයි. ඇය මෙතෙක් එවන් දෙයක් දැක නැත. ඔලිම්පස් වලට ගොස් තම මිතුරියන් සමග මේවා කියුවත් ඔවුන් විශ්වාස නොකරයි. ‘සියුස් කාටවත් හිස නමන්නේ නැහැ’ ඔවුන් නිසැකවම පවසයි. මෙම නිර්මාණ තම පියාගේ ගෞරවයට වඩා වටිනා බව දැන් ඇය දනියි.

ප්‍රොමිතියස් සිතූ තරම් විනාශය දරුණු නැත. නැවත සෑදිය නොහැකි අයුරින් විනාශ වී ඇත්තේ අනුරූ තුනක් පමණි. එයින් එකක් මඩෙන් එලියට ගත් විට සියුස්ගේ විශාල පා සටහනක් ඒ හරහා තිබෙන අයුරු දැකගන්නට හැකි වුනා.

“ඇති යාන්තම්” සියුස් සතුටින් පැවසුවා. “අනික් හැම එකක්ම හොද තත්ත්වයේ තියෙනවා, අපි වැඩේ ඉස්සරහට කරගෙන යමු නේද?”

“ඒත් බලන්න මේ දිහා” ප්‍රොමිතියස් කුඩු වී ගිය කැබලි කිහිපයක් අතට ගෙන සියුස් දෙසට යොමු කරමින් පැවසුවා. “මේ කුඩා කොළ, දම්, නිල් ජීවීන් තමා මගේ ප්‍රියතම ඒවා”

“ඒත් අපිට තවම තියෙනවනේ කළු, දුඹුරු, කහ, රතු පාට ඒවා. ඒ හොදටම ඇති. බලන්නකො ඉතින් මේවත් ලස්සනයිනේ” සියුස් ප්‍රොමිතියස්ගේ සිත නම්මගන්න අයුරින් කියා සිටියා.

“ඒත් මම හරිම කැමතියි අර දිලිසෙන නිල් පාට එකට. ඒක තුනටියෙන්ම කැඩිලා ගිහින්”

ඇතීනා බිම තිබෙන බේරුනු මැටි අනුරූ දෙස බලමින් “ප්‍රොමිතියස්, මේවා හරිම ලස්සනයි” යැයි කියා සිටියා. ඔලිම්පස් වල අවධානය ගැනීමට කරන ගෙරවිලි හෝ මොනයම් ඝෝෂාවකට වඩා ඇතීනාගේ මෙම සියුමැලි කටහඬ සමත්. මේ ඇසූ විගස ප්‍රොමිතියස් සතුටු වී ඇතීනාට ස්තූති කරා.

“මම මගේ හදවතින්මයි මේ නිර්මාණ කළේ.”

සියුස් ඇතීනාව මෙහි ගෙනාවේ එක් හේතුවක් උඩ. එනම් ඇයගේ හුස්ම මෙම අනුරූ වලට ලබාදීමටයි. එමගින් ඔවුන්ට ජීවය ලබාගත හැකියි. මේ නිසා ඇතීනා කුඩා අනුරූ අසලට ගොස් නැවී එකින් එකට තමාගේ හුස්ම ලබාදුන්නා. ඉන්පසු ඇය ප්‍රොමිතියස් සහ සියුස් වෙතට ගොස් ඊළඟට සිදුවන්නේ කුමක් දැයි නොඉවසිල්ලෙන් බලාගෙන සිටියා.

සියල්ල සිදුවූයේ ඉතා හෙමින්. එකින් එක හෙමිහිට සෙලවෙන්න පටන් ගත්තා. ඉන්පසු දණහිස හා අත් ආධාරයෙන් කකුල් දෙකෙන් සිටගත්තා. ඇස් අරිමින් ඔවුන් අවට තිබෙන දේ බැලීමට පටන් ගත්තා. ඔවුන් තම තමන්ගේ මුහුණ අතගාමින් එහි හැඩරුව හදුනාගැනීමට වෙහෙසුනා.

මේවා දකින සියුස්ට ඉතා සතුටුයි. ඔහු ප්‍රොමොතියස්ගේ අතින් අල්ලාගෙන, “බලන්න..! එයාලා කොච්චර ලස්සනද” යැයි කියමින් කෑ ගසමින් උඩ පැන්නා.

ඇතීනා ඔවුන් දෙස බලා ඇගිල්ලක් ඇගේ මුවෙහි තබා “කෑ ගහන්න එපා එයාලව ඔයා බය කරනවා”

“මම හිතන්නෙ අපි එයාලා ගාවට ගියොත් හොදයි. අපේ ශරීර ප්‍රමාණයත් එයාලගෙ ප්‍රමාණයට පොඩි කරගමු. එතකොට බයවෙන එකක් නැහැ” යැයි ප්‍රොමිතියස් යෝජනා කරා. මේ නිසා තිදෙනාම තම තමන්ගේ ශරීර ප්‍රමාණය කුඩා ජීවීන්ගේ ශරීර ප්‍රමාණයට වඩා අඩියක් පමණ උස වන ආකාරයට කුඩා කරගෙන ඔවුන් අසලට පියමැන්නා.

“හොදයි එහෙනන් පොඩි ළමයිනේ, බයවෙන්න ඕන නැහැ” සියුස් ඔවුන් වෙතට පැමිණ කියා සිටියා. සිනහවෙන් හා කාරුණික වදන් වලින් සියුස් ඔවුන්ව ආමන්ත්‍රණය කිරීම නිසා ඔවුන්ගේ බිය දුරු විය. ඉන්පසු ඔවුන් සියලු දෙනා සියුස්ට, ඇතීනාට හා ප්‍රොමිතියස්ට වන්දනාකරා.

“මට වඳින්න ඕන නැහැ” එක් අයෙක් ප්‍රොමිතියස්ට වැඳීමට යන විට ඔහුගේ දෑත් අල්ලා ගනිමින් ප්‍රොමිතියස් කියා සිටියා. ඔවුන් සියලුම දෙනාගෙ ඇස් ජීවයෙන් සහ ශක්තියෙන් පිරී තිබුනා.

“මොකක්ද කිව්වේ…” සියුස් පැවසුවා. “ඒ හැම කෙනෙක්ම අපිට වඳින්න ඕනෙ. අපි එයාලගෙ දෙවියෝ, එයාලට ඒක අමතක කරන්න බැහැ.”

“මම එයාලගෙ දෙවි කෙනෙක් නෙමේ” ප්‍රොමිතියස් පැවසුවා. “මම එයාලගේ මිත්‍රයෙක්.” ප්‍රොමිතියස් ඔවුන්ට වඩා පහත් වීම සදහා දණ ගසාගත්තා. “මම මෙයාලට කියල දෙනවා වගා කරන හැටි, කෑම හදන හැටි, ආයුධ හදන හැටි…”

“නැහැ!” ආයුධ ගැන ඇසූ සැනින්ම සියුස් කෑ ගසා සිටියා. සියුස්ගේ කේන්තිය සංකේතවත් කරමින් අහසත් දැඩි අඳුරක් ගත්තා. “ඔයාට මෙයාලත් එක්ක කැමති විදිහට මිත්‍රකමක් පවත්වන්න පුලුවන්, ඔලිම්පස් වල ඕනම දෙවි කෙනෙක්ට මේ අයත් එක්ක මිත්‍රකමක් පවත්වන්න පුලුවන්. හැබැයි කවදාවත්ම මෙයාලට ‘ගින්දර’ අයිති වෙන්න බැහැ”

මෙය ඇසූ ප්‍රොමිතියස් පුදුමයෙන්, “ඒත්… ඇයි එහෙම?”

“ගින්දර ලැබුනොත් මෙයාලට පුලුවන් අපිට අභියෝග කරන්න. ගින්දරත් එක්ක එයාලා හිතන්න පුලුවන් අපි එයාලත් එක්ක සමානයි කියලා. මට ඒක තේරෙනවා වගේම මම හොදටම දන්නවා. ඒක ඒ විදිහටම සිද්දවෙයි. ඒ නිසා කවමදාකවත් මෙයාලට ගින්දර ලබාදෙන්න බැහැ.!”

සියුස්ගේ කේන්තියත් වැඩි වේලාවක් යාමට පෙර පහවී ගිය අතර ඒත් සමගම අහසේ අදුරත් පහව ගියා.

දැන් සියුස් සිනාමුසු මුහුනින්, “ප්‍රොමිතියස් මගේ මිත්‍රයා, මෙයාලට මේ ලෝකයේ අනිත් හැමදේම විඳින්න පුලුවන්, හැම කොනකටම යන්න පුලුවන්, හෙස්ටියාගෙන් නිවසක් පාලනය කරන හැටි ඉගෙනගන්න පුලුවන්, ආටෙමිස්ගෙන් දඩයම් කරන හැටි, ඇෆ්රොඩයිට්ගෙන් ආදරය කරන හැටි, ඇපලෝගෙන් සංගීතය ඉගෙන ගන්න පුලුවන්. අපේ මේ ඇතීනට පුලුවන් බුද්ධිමත් වෙන විදිහ කියල දෙන්න. එයාලා නිදහසේ සතුටින් ඉඳීවි”

“අපි මෙයාලට මොකක් කියලද කතා කරන්නේ?” ඇතීනා විමසා සිටියා.

“අපි මෙයාලට කියමු ‘ඇන්ත්‍රොපෝස්’ කියලා” සියුස් යෝජනා කරා.

සියුස් අත්පුඩි ගසනවාත් සමගම මෙම ජීවීන් විශේෂය ගුණනය වී දහස් ගණන් ඇතිවුනා. ඔවුන් සියලු දෙනා එහෙ මෙහෙ යමින් පොළොවේ ස්ථාපනය වීමට සූදානම් වුනා. නමුත් කුමක් හෝ මගහැරුනු දෙයක් තිබෙනවා. කුමක් හෝ විශේෂ දෙයක්.


Saturday, May 23, 2020

ප්‍රොමිතියස් - මිනිසා මැවීම ග්‍රීක ඇසින් (1 කොටස)


ඉපේටස් සහ ක්ලයිමේන්ගේ පුත්‍රයා. හිතවත්, කාරුණික, විනෝද ජනක, හොද ගති පැවතුම් ඇති, සැමගෙත් සිත දිනාගත් කෙනෙක් ප්‍රොමිතියස්. දෙවියන් අතර ප්‍රධානියා වූ සියුස් ඔහුට අන් අයට වඩා හිතවත්ව සිටියා. දෙදෙනාම මිතුරන්. නිදහස් වේලාවල් වලට ඔවුන් කදු තැනිතලා වල ඇවිදිමින් කාලය ගත කරයි. මිත්‍රකම්, පවුලේ විස්තර, යුද්ධ, අනාගතය ගැන ඔවුන් නිතර දොඩමළු වෙයි. සියුස්ට තම සිතැඟි නොසඟවා කිව හැකි ප්‍රොමිතියස් මෙන් යහළුවෙක් සිටීම නිසා සියුස් වාසනාවන්තයි. ඔහුට යම් ගැටළුවක් පැන නැගුනහොත් ඔහු එය පළමුවෙන් පවසන්නේ ප්‍රොමිතියස්ට.

දිනක් ප්‍රොමිතියස් මල් වලින් ගහණ පිට්ටනියක නිදාගෙන සිටින විට යම් වෙනසක් දැනුනි. කවුරුන් හෝ හෙමිහිට අඩි තබමින් ඔහු අසලට පැමිණෙන බවකුයි ඔහුට දැනුනේ. ඔහු ඇස් විවෘත කළා. තම උපන් දිනයේ දී කුඩා ළඳරුවෙන් ත්‍යාගයන් බලාපොරොත්තුවෙන් සිටිනා මෙන් දෙවියන්ගේ රජු වූ සියුස් ඔහු ඉදිරියේ සිනාමුසු මුහුණින් සිටියි.

“නැගිටින්න ප්‍රොමිතියස් නැගිටින්න, මේ මම”

“මොකද මේ වෙලාවේ”

“අපි අද විශේෂ වැඩක් කරන්න යන්නේ, ඒක ගැන ලෝකය වසර දහස් ගණනක් කතා කරයි, ඒක…”

“වළස්සු දඩයම් කරන්න නේද යන්නේ?”

“වළස්සු? එන්න මාත් එක්ක මට හොද අදහසක් තියෙනවා. එන්න ඉතින් ඉක්මනට” සියුස් නිදා සිටි ප්‍රොමිතියස්ගේ අතින් අල්ලාගෙන ඔසවයි.

“අපි කොහෙද මේ යන්නේ?”

සියුස් කිසිවක් නොකියා ප්‍රොමිතියස්ගේ අතින් අල්ලාගෙන යාය දිගේ වේගයෙන් ඇවිදන් ගියා. එක් මොහොතක දී සියුස් උදෑසනම මධුවිත තොල කට ගා ඇති බවට ප්‍රොමිතියස්ට සිතුනත් මේ උනන්දුව ඊට එහා ගිය දෙයකි.

“ඔයාගෙ අදහස,” ප්‍රොමිතියස් සියුස්ගෙන් අදහස දැනගැනීමට ඇසුවා. “මම හිතන්නෙ ඔයා මුල ඉදන් පටන්ගත්තොත් හොදයි”

“අන්න හරි. හොදයි. මුල ඉදන්. අපි එතනින් තමා පටන් ගන්න ඕන. මෙතනින් ඉඳගන්නකෝ” සියුස් කඩා වැටුනු ගසක් ළඟට ගොස් ඒ මත ඉඳගත්තා.

“දැන් හිතන්න හැමදේම පටන් ගත්තු විදිහ. ආරම්භයේ දී තිබුනේ ව්‍යාකූලතාවයක්. ඒ ව්‍යාකූලතාවයෙන් රීබස්, නික්ස් සහ පරම්පරාව පටන් ගත්තා. ඊට පස්සේ අපේ මුත්තනුවන් ගායා සහ ඕරානොස්, හරිද?”

ප්‍රොමිතියස් එය පිළිගන්නා බවට සංඥා කරමින් හිස වැනුවා.

“ඊට පස්සේ අපේ මුත්තනුවන්ගේ අත්වැරදීමකින් ඔයාලව හැදුනා -ටයිටන්වරුන්ව..”

“ඒයි…”

“ -ඊට පස්සේ කුඩා ජීවීන් සහ සත්තු ඇති වුනා. ඊට පස්සෙයි අපි, දෙවියන් ඇති වුනේ. ස්වර්ගය සහ පෘතුවිය පරිපූර්ණත්වයට පත්වුනා”

“ඒක වුනේ ලේ වලින් පිරුණු යුද්ධෙකින් පස්සේ. මම මගේ ජාතියට විරුද්ධව සටන් කරලා ඔයාට උදව් කරා” යැයි ප්‍රොමිතියස් තම අතීතය මතක් කර සිටියි. ටයිටන්වරු සමග යුද්ධයේ දී ප්‍රොමිතියස් ගත්තේ ඔහුගේ මිත්‍ර සියුස්ගේ පැත්තයි.

“ඔව් ඔව්. ඊට පස්සේ සාමය හැමතැනකම පැතිරිලා ගියා. ඒත්…”

සියුස් කිසිවක් නොකියා දැඩි නිහඬතාවයක සිටියි. එම නිහඬතාවය බිඳීමට සිතා ප්‍රොමිතියස්, “යුද්ධය නැති නිසා පාළුයි කියල නෙමේ නේ ඔයා මේ කියන්න හදන්නේ?”

“නෑ නෑ එහෙම දෙයක් නෙමේ…” සියුස් නැවත තම කතාව කීමට හරිබරි ගැහුනේ ගුරුවරයෙක් ළමයෙක්ට පාඩමක් උගන්වන්නට යනවාක් මෙනි.

“මේ ලෝකයේ හැමදේම තියෙනවා - කඳු, ගංගා, කුරුල්ලෝ, සාගර… ඒත් මේ දේවල් දිහා බලනකොට මට ලොකු අඩුවක් දැනෙනවා”

“අඩුවක්..?”

“ඔව් ප්‍රොමිතියස්, ඔයාට කිසිම අදහසක් නෑ හැම දේකින්ම සර්ව සම්පූර්ණ වෙච්ච ලෝකයක දෙවි කෙනෙක් වෙලා ඉන්න එක කොච්චර කම්මැලිද කියලා”

“කම්මැලියි…?”

“ඔව් කම්මැලියි. මට වෙලාවකට ලොකු කම්මැලිකමක් තනිකමක් දැනෙනවා, සදාකාලිකවම මෙහෙම ඉන්න වෙනවා කියල හිතුනම. මමයි ඔලිම්පස් වල මගේ සිංහාසනයයි, හැම කෙනෙක්ම මට ආචාර කරනවා, මගේ ගුණ වයනවා, උදව් ඉල්ලලා වැඳවැටෙනවා… මේකෙ ඇති විනෝදය මොකක්ද? විශ්වාස කරන්න ඔයත් මේකට අකමැති වෙයි”

සියුස් මේ කියන්නේ කුමක්දැයි දැනගැනීමට ප්‍රොමිතියස් තරමක් කල්පනා කළා.

“හිතන්න,” සියුස් පැවසුවා. “මම හිතන් ඉන්නවා අලුත් ජීවී විශේෂයක් හදන්න. අපි වගේ, කෙලින් හිටගෙන ඉන්න, කකුල් දෙකයි - ”

“එක හිසක්?”

“ඔව් ප්‍රොමිතියස්. එක හිසක්, කකුල් දෙකක්, හැම ඇතින්ම අපේ හැඩරුවෙන් තියෙන්න ඕන. ඒ විතරක් නෙමේ මට දැන් නම අමතකයි, අපිව සත්තුන්ගෙන් වෙන් කෙරෙන දේ මොකක්ද?

“අපේ අත්?”

“නෑ අත් නෙමේ. අපි ජීවත්වෙනවා කියල දැනෙන, අපිට අපිවම දැනෙන දේ…”

“විඥානය.”

“අන්න හරි! විඥානය, ඒක තමා. අනිත් එක භාෂාව. එයාලගෙන් අපිට කරදරයක් වෙන එකක් නැහැ. එයාලා මේ පල්ලෙහා වගාකරගෙන ජීවත් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ?”

ප්‍රොමිතියස් බැරෑරුම්ව සිතමින්, “අපි වගේම ජීවීන් විශේෂයක්?”

“හරියට හරි. හැබැයි අපි තරම් ම උස නැහැ. ඒක තමා මගේ නිර්මාණය, නෑ අපේ නිර්මාණය”

“අපේ නිර්මාණය?”

“ඔව්, ඔයා අත්වැඩ වලට ගොඩක් දක්ෂයිනේ. ඔයා මේ ජීවීන්ව නිර්මාණය කරන්න ඕන අපි දෙන්නගේම අදහස් වලට. හැම අතකින්ම නිවැරදි වෙන්න ඕන. ඔයාට පුලුවන් මැටි වලින් මෙයාලව හදන්න. ඊට පස්සේ අපි එයාලට පණ දීලා පරිසරයට මුදා හැරලා බලමු මොනවද වෙන්නෙ කියලා”

දැන් ප්‍රොමිතියස්ට සියුස්ගේ අදහස පැහැදිලියි. ඒ වගේම එම අදහසට ප්‍රියයි.

“අපි මෙයාලත් එක්ක සම්බන්ධ වෙනවද - කතා කරනවද, එයාලත් එක්ක එහාට මෙහාට යනවද?”

“අපි එයාලත් එක්ක නිතර කතා කරන්නෙවත් කොහෙවත් යන්නෙවත් නැහැ. හැබැයි එයාලා ඉන්නේ අපිව සතුටු කරන්න,අපිව පුදුම කරන්න”

“කාන්තාවක් සහ පිරිමියෙක්?”

“ස්වර්ගයේ නාමෙට ප්‍රොමිතියස්…! පිරිමි විතරයි. ඔයාට තේරෙනවනේ කාන්තාවක් හැදුවොත් මගේ බිරිඳ හේරා හිතන විදිහ. ඒ නිසා පිරිමි විතරක් ඇති”

සියුස් හට සමග සබදකම් පවත්වා ගැනීමට දැන් සිටිනවාටත් වඩා කාන්තාවන් ගණන වැඩි වුවහොත් හේරා කුමක් කරාවිදැයි ප්‍රොමිතියස් සිතයි. දැනටත් සියුස් කාන්තාවක් සමග කතා කරනවා දුටුවත් ඇගේ මුහුණ කෝපයෙන් වෙළී යයි. සියුස් ඔහුගේ මෙම අදහස ගැන සිනාමුසු මුහුණක් යුතුව සිතමින් සිටින ආකාරය ප්‍රොමිතියස් දකියි. සියුස් මෙතරම් සතුටකින් සිටිනු ඔහු දකින්නේ බොහෝ කාලයකට පසුව. ඒ අතර ප්‍රොමිතියස් සියුස්ගේ මෙම අදහස ගැන තනිව සිතන්නට පටන් ගනියි. අමරණීයන්ට සෙල්ලම් බඩුවක්. ආටෙමිස්ට ඇයගේ දඩ බල්ලන් සිටියි. ඇතීනාට බකමූණා සහ සර්පයා, පොසයිඩන්ට ඩොල්ෆින්. ඒ පමණක් නොවේ අපාය පාලනයට ගිය හේඩීස්ටත් බල්ලෙක් සිටියි. මේ නිසා දෙවියන්ගේ රජු වූ සියුස්ටත් සෙල්ලම් කිරීමට කවුරුන් හෝ සිටීමේ වරද කුමක් ද?

[සියුස්ගේ මෙම නිර්මාණය සෑදෙන්නේ කෙසේ ද? ප්‍රොමිතියස්, සියුස් සමග ගැටුමක් ඇති වෙන්නේ ඇයි? ප්‍රොමිතියස් සියුස්ගේ අණට එපිටින් ගොස් මිනිසුන්ට උදව්වක් කරයි. ඒ නිසා තම හිතවත්ම මිතුරා වූ ප්‍රොමිතිස්ට සියුස් දුන් දඬුවම කුමක්ද? මේවා ගැන දැනගන්න පුලුවනි ඉදිරි කොටස් වලදී.]

එහෙනන් දැනට අහවරයි. ඊළඟ කොටහින් හමුවෙමු.

දෙක කොටස 


Friday, May 22, 2020

පුස්කොළ සකස් කිරීම හා ලිවීම


ශතවර්ෂ විසි දෙකකට අධික කාලයක් තිස්සේ ලාංකිකයන් ලිවීම සඳහා භාවිතා කල කොළ වර්ගය පුස්කොළ ලෙසින් අපි හදුන්වමු. මෙය පිළියෙළ කිරීම ඉතා දුෂ්කර කාර්යයක්. මේ සදහා යොදාගනු ලබන්නේ තල ගොබයකි. තල් කොළ ලෙසින් නොකියා පුස්කොළ යනුවෙන් පවසන්නේ ‘කිසිවක් නොලියන ලද හිස් කොළය’ යන අර්ථයෙනි. සාමාන්‍යයෙන් පත්‍ර අසූවක පමණ තල ගොබයක් අඩි දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වේ. මෙය පියවර ලෙසින් පහත දැක්වේ.

  1. ඉරටුව ඉවත් කර පත්‍රය රෝලක් ලෙසින් ඔතයි. මෙය හදුන්වන්නේ ‘වට්ටු’ යන නමින්.
  2. දිය හැලියකට වට්ටු දමා මද ගින්නේ තම්බා ගනියි.
  3. පසුව ඒවා ඉවතට ගෙන දින තුනක් පමන එළිමහනේ තබයි.
  4. සිනිදු මතුපිටක් ඇති ලීයක් ගෙන තල කොළය මැද මට්ටම් කරයි.
  5. ඉන්පසු නියමිත දිග ප්‍රමාණ අනුව තල පත කපා ගනියි. (සාමාන්‍යයෙන් දිග අඟල් 6සිට 32 දක්වාත් පළල අඟල් 2ක් පමණ)
  6. පොත් ලණුව යැවීමට එක් එක් පත් ඉරුවේ රත් කළ යකඩ කූරකින් සිදුරු දෙකක් විදියි.
  7. පත් ඉරු එකට තබා සිර කර සෑම පත් ඉරුවක්ම සමාන වන පරිදි පැති දාර රත් යවටෙකින් පිළිස්සීම. (මෙමගින් පුස් බැඳීමත් කාවන් කෑමත් වැළකෙන බව කියයි)
  8. එක් වෙළුමකට අයත් පත් ඉරු ‘කම්බ’ නම් වැසුම් දෙකක් අතර හිර කරයි. ලී කම්බ බොහෝ විට කැටයම් වලින් අලංකාර වෙයි.

පුස්කොළ පොත් වල ලිවීමේ කටයුතු උල්කටුව හා පන්හිඳ යන කූරු භාවිතා කරයි. උල්කටුව සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ආධුනිකයන් විසින්. මෙය අඟල් දහයක් විස්සක් පමණ දිගකින් යුක්ත වන අතර ලේඛකයාගේ පහසුව තකා පන්හිඳේ දිග වෙනස් වේ. පන්හිඳ කිහිපයක් ඇති ලේඛකයන් ඒවා කොපුවක බහා තබන අතර පත් ඉරු කපා ගැනීම සඳහා පිහියකුත් එම කොපුවෙහිම තබා ගනියි. පන්හිඳක ප්‍රධාන කොටස් පහකි.

  1. ඡත්‍රය
  2. පත්‍රය හෙවත් තලය
  3. නළය හෙවත් කඳ
  4. ගණ්ඩ හෙවත් පොහොට්ටුව
  5. ලේඛනිය හෙවත් ලියන තුඩ

පුස්කොළ පොතක ලිවීමේ කලාව පහසු කාර්යයක් නොවේ. එය ඉතා ඉවසීමෙන් ප්‍රගුණ කළ යුතු විෂයකි. සාමාන්‍යයෙන් අප පෑනක් අල්ලාගන්නා ආකාරයෙන් දකුණතින් පන්හිඳ අල්ලා ගන්නා අතර වම් අතේ මහපට ඇගිල්ල මත පන්හිඳේ ලේඛනිය තබා ගත යුතුයි. ලියන විට පත් ඉරුවේ සිදුර වටා ද දෙපසින් අඟල් එකක් එකහමාරක් පමණ තබා ලේඛනයෙහි යෙදීම සිදු කරයි.

පත් ඉරුවේ දෙපැත්තෙහිම ලේඛන කටයුතු සිදු කළත් පිටු ලකුණු කරන්නේ ඉදිරිපස පත් ඉරුවේ පමණයි. එසේ පිටු ලකුණු කිරීමට භාවිතා වන්නේ අප දැන් භාවිතා කරන ඉලක්කම් නොවේ. සිංහල හෝඩියේ ව්‍යඤ්ජන අකුරුයි. පලමු පත් ඉරුවේ ‘ස්වස්ති’ යනුවෙන් මංගල වචනය ලියා පසුව ‘ක’ අකුරෙන් (පලමු ව්‍යඤ්ජන අක්ෂරය) පටන් ගෙන පිළිවෙලින් ‘කි’ ‘කී’ ආදී වශයෙන් ලියැවේ. සංස්කෘත හෝඩියේ ව්‍යඤ්ජන තිස් හතරෙන් එක් ව්‍යඤ්ජනයක් ආකාර 16 බැගින් ගත් විට අකුරු 544ක් ලැබේ. මේ නිසා පත් ඉරු 544කින් පසු නැවත ‘ක’ අකුරෙන් ආරම්භ කල යුතුයි. මෙහිදී ‘ක’ අකුරට පසු ‘ද්ව’ ලෙස සටහන් කළ යුතුයි. එවිට පත් ඉරුව ලියැවෙන්නේ ‘ක ද්වි’ ලෙසයි. මෙසේ දෙවන කාණ්ඩයත් අවසන් වූ පසු තෙවන කාණ්ඩය ‘කත්‍රි’ ලෙසින් ඇරඹෙයි.

පුස්කොළ පොතක ලියූ දෑ කියවීමට නම් ‘කළුමැදීම’ සිදුකල යුතුයි. ගැඩුඹ ලී දවා ලබාගත් අඟුරු සියුම්ව කුඩුකර දුම්මල තෙලෙන් අනා පිළියෙළ කරගත් මිශ්‍රණයෙන් පත් ඉරු තවරයි. මෙසේ තැවරීමෙන් පසු දහයියාවලින් හෝ පිරිසිදු සුදු රෙදි කැබැල්ලකින් පිස දමයි. මෙම දුම්මල නිසා පුස්කොළය හොද තත්ත්වයෙන් තබාගත හැකි අතර කාවුන්ගෙන් වන උවදුරු ද වැළකේ.

පුස්කොළ පොතක රූප සටහන් අඳින්නේ කලාතුරකින්. කොළඹ පුස්තකාලයේ තිබෙන වෙස්සන්තර ජාතකය ඇතුලත් පුස්කොළ පොතේ කවි 837ක් තිබේ.මෙහි සෑම පත් ඉරුවකම පාහේ කවියට අදාළ රූපයක් ඇඳ තිබේ. එසේ ඇඳි චිත්‍ර 318ක් මෙම පුස්කොළ පොතෙහි දක්නට ලැබේ. දැනට ඇති පුස්කොළපොත් අතරින් පැරණිතම පුස්කොළ පොත වන්නේ චුල්ලවග්ගපාලියේ අත්පිටපතයි. මෙය 13 වන සියවසට අයත් වූවක්.

ලංකා ඉතිහාසය තුල තල්පත් භාවිතා වූ අවස්ථාවක් ලෙස උත්තිය කුමරු තම සහෝදර කැළණිතිස්ස රජුගේ අගබිසවට පෙම් හසුන තල්පතක ලියා යැවීම සදහන් කළ හැකියි. දකුණු ආසියාතික රටවල්වල ප්‍රචලිත වූ තල්පත් ලේඛනය මෙන්ම ඊජිප්තු වැනි ශිෂ්ටාචාර වල ප්‍රචලිත වූ පැපිරස් පත්‍ර ලේඛනයක් ද හදුනාගත හැකියි. ඒ ඒ සංස්කෘතීන් තුල මෙම අංග කාලයත් සමග වර්ධනය වූ ආකාරය ඉතිහාසය කියවීමේ දී දැකගත හැකියි.

මූලාශ්‍ර:

  • මධ්‍යකාලීන සිංහල කලා - ආනන්ද කුමාරස්වාමි
  • ලංකාවේ අධ්‍යාපනය (සියවස් ප්‍රකාශනය) I කාණ්ඩය -අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව
  • පැරණි ලංකාවේ ග්‍රන්ථ නිශ්පාදනය - සී.එම්. ඔස්ටින් ද සිල්වා


Wednesday, May 20, 2020

මීමැස්සා සහ සියුස්

දිනය: නොදනි

අවස්ථාව: සියුස් හා හේරාගේ විවාහ මංගල්ලය

ග්‍රීක දෙවිවරුන් විවාහ වුයේ ඔවුනොවුන්ගේ සහෝදර සහෝදරියන් සමග/ එමනිසා සියුස් හා හේරා යන එක කුස උපන් දරුවන් දෙදෙනා කාලයක් බිරිඳ හා සැමියා ලෙසින් සිටියද ඔවුන් විවාහ වී සිටියේ නැහැ. මේ නිසා ඔවුන්ගේ දරුවන් දෙදෙනෙක්ගේ විවාහ මංගල්ලයක් දිනයේ දී ම ඔවුනුත් විවාහ වීමට සියල්ල සූදානම් කරනවා. මෙයයි පළමු විවාහ මංගල්ලය. ඒ නිසා සෑම දෙනාටම මෙය නවමු අත්දැකීමක්. සියලු දෙවිවරු මෙන්ම සතුන් ද කුඩා කුඩා කෘමීන් ද උජාරුවට හැඳ පැළඳගෙන මෙම විවාහ මංගල්ලයට පැමිණ සිටියා. ප්‍රථමයෙන් ඇෆ්රොඩයිට් හා හෙෆස්ටස් විවාහ වූ අතර ඉන්පසු සියුස් හා හේරා විවාහ විය. දැන් එළඹීමට නියමිතව තිබෙන්නේ උත්සවයේ වැදගත්ම අංගයක්. ඒ ආහාර පිසීමේ තරඟය…!

මොකක්..! ආහාර පිසීමේ තරගයක්…!

ඔව්. මේ පළමු විවාහ මංගල්ලයේ සතුට නිමිත්තෙන් ඔවුන් ලැහැස්ති කර තිබුනේ ආහාර පිසීමේ තරඟයක්. මේ තරඟයට බොහෝ දෙනා තම රහස් සංයෝග ආදිය දමා තමන් මෙතෙක් පිසින ලද රසවත් ම ආහාරය තරඟයට ඉදිරිපත් කර තිබුනා.

සියුස් හා හේරා එක් එක් තරඟකරුවන් ළඟට ගොස් ඔවුන්ගේ ආහාර ස්වල්පය බැගින් තොල ගාමින් රස බැලුවේ ආහාර රස පරීක්ෂාවට පුරුදු පුහුණු වූවන් මෙනි. මේ අය ළඟට ගොස් රස බලා එය අනුමත කරමින් හිස සැලුව ද ජයග්‍රාහකයා ඒ අයගෙන් කෙනෙක් නොවේ.

තරඟයට ඉදිරිපත්ව සිටියා ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි කුඩා සත්වයෙක්. ඇය නමින් ‘මෙලිස්සා’. ඇය කුඩා බඳුනක් සියුස් වෙත පිරිනැමුවා.

තරමක් කහ පැහැති උකු ද්‍රාවනයක්. සියුස් හැන්දක් ඒ තුලට දමා රස බැලුවා. “ම්ම්ම්…. පයින් ගසෙන් හදපු එකක් වෙන්න ඕන”

නමුත් එය පයින් ගසෙන් ගත් යුෂ නොවේ. වෙනස් ආහාරයක්. අලුත් ආහාරයක්. නැවත නැවත කෑමට රුචිය වඩවන ආහාරයක්. සියුස් දෙවෙනි වරටත් බඳුනට හැන්ද දමා රස බලයි. හේරා රස බලන විට ඇයගේ මුහුනෙන් පෙනුනේ ඇය වෙනත්ම ලෝකයකට යන ආකාරයක්. මෙලිස්සා මෙම ආහාරය නම් කර තිබුනේ ‘මී පැණි’ ලෙසයි. සියුස්ට හා හේරාට තවත් තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම් බැලීමට උවමනා වූයේ නැහැ. ජයග්‍රාහකයා කව්ද කියා දැන් ඔවුන් දෙදෙනාට ප්‍රත්‍යක්ෂ වී අවසානයි.

සියුස් මී පැණි බඳුන අතැතිව “ම්ම්ම්… අද තර…ඟයෙන්…. ජයග්‍රහනය කරන්නේ…. ම්ම්ම්…මී…. පැණි….”

සියලුම දෙනා බලාහිඳින විට මෙලිස්සා වේදිකාව මැදින් සියුස් වෙත පිය මැන්නා. ඒ ඇයගේ ත්‍යාගය ලබා ගැනීමට. ඒ වෙනකක් නොව තමන් කැමති වරමක් ඉල්ලීම. ඇය තම කුඩා පිහාටු වලින් ඉඟිලී සියුස්ගේ පාද පාමුලට පැමිණියා. එතැනට පැමිණි පසු ඇය තවත් කුඩාවටයි පෙනුනේ. දැන් රැස්ව සිටින සැවොම බලා සිටින්නේ ඇයගේ ඉල්ලීම කුමක් ද කියා දැනගැනීමට.

“දේවයන් වහන්ස, මගේ මේ ආහාරය ඔබ රසවිඳීම මට මහත් සතුටක්. නමුත් ඔබතුමාට කිවයුතුයි මෙය කොතරම් අපහසු කාර්යයක් ද යන වග. මම මලින් මලට පියඹා ගොස් එහි මල් පැණි උරා ගත යුතුයි. ඉන්පසු ඒවා මගේ නිවහන වෙත ගෙන එනවා. නැවතත් මලක් සොයා ගොස් එහි මල් පැණි උරා නැවත නිවස වෙත එනවා. එසේ දිනපතා ගව් ගණනාවක් මට පියාඹන්න සිදුවෙනවා. ආලෝකය තිබෙන තුරු මම සෑම දිනයකම එසේ සිදු කරනවා. එසේ සිදු කර දිනය අවසානයේ මගේ රහස් ක්‍රමවේදයෙන් මී පැණි නිපදවන විට සෑදෙන්නේ ඉතා කුඩා ප්‍රමානයක්.

ඔබ වෙනුවෙන් මම සෑදූ කුඩා බඳුන පිරවීමට මට සති හතරහමාරක් ගත වුනා. මේ මී පැණි වල සුවඳට කැලෑවේ සත්තුත් වහ වැටිලා ඉන්නේ. ඒ නිසා නිතරම මගේ නිවසට සත්තුන්ගෙන් එන හිරිහැර එමටයි. මම කියල මොනවා කරන්නද. කෑ ගහලා එලවගන්න හදනවා මිසක්. වළහෙක් එහෙම ආවොතින් මගේ සතියක මහන්සිය එක මොහොතකින් සුන් වෙනවා. ඉතින් සියුස් මගේ දෙවියනි, මගේ මේ ආහාර වලට එන සතුරන්ව විනාශ කරන්න මට විෂ සහිත ආයුධයක් ලබා දෙන්න?”

මෙය ඇසූ සියුස්ට දැඩි කෝපයක් ඇතිවිය. අහස අඳුරු වී රැස්ව සිටි සියල්ලෝම බියට පත්විය. තිතක් වැනි මේ කුඩා කෘමියා සියුස් දෙවියන්ගෙන් එවන් දෙයක් ඉල්ලන්නේ කෙසේ ද?

“කාලකණ්ණි කෘමියා, ඔබ එවැනි දරුණු ඉල්ලීමක් මගෙන් ඉල්ලන්න හිතට ධෛර්යය ගත්තේ කොහොමද? මේ වගේ හැකියාවන් තියෙන්නේ අන් අයත් එක්ක බෙදාගන්න. නැතුව හංගගෙන ඉන්න නෙමේ…”

“ඒත් ඔබතුමා කීවනේ මගේ ඉල්ලීම ඉටු කරනවා කියල”

සභාවේ රැස්ව සිටි සියල්ලන් පුදුමයට පත්විය. සියුස් දෙවියන්ගේ වදනකට එපිටින් දෙයක් කීමට මීට පෙර කිසිවෙක්ට ශක්තියක් තිබුනේ නැත. නමුත් මේ මියයන කුඩා ජීවියා තා අයිතිය වෙනුවෙන් හඬ නගයි. සියුස් එම දරුණු ඉල්ලීමට විරුද්ධව හඬ නගයි.

“මොකක්ද කිව්වේ…? මේ වගේ දරුණු ඉල්ලීමක් ඉටුකරන්න මම කොහෙදිවත් පොරොන්දු වුනේ නැහැ.”

මෙලිස්සාගේ බලාපොරොත්තු සුන් විය.

“නමුත්” සියුස් හඬ නගා “මම ඔබට විෂ තුඩක් ලබාදෙනවා. ඒකෙන් ඔබ දෂ්ට කරන කෙනෙක්ට ඉතා දරුණු වේදනාවක් ගෙන දෙනවා වගේම ඔබට සහ ඔබගෙන් පැවත එන අයට ඒ නිසා මරණය අත්වෙනවා”

අහසේ අඳුර කෙමෙන් නැති විය. සැමගේ බිය කෙමෙන් කෙමෙන් දුරු විය. මෙලිස්සා හට තම සිරුරේ යම් වෙනසක් සිදුවී ඇති බව හැඟී ගිය බැවින් ඇය පිටුපස හැරී බැලුවා ය. දිගැටි කූරක් මෙන් විෂ සහිත තුඩක් දක්නට ලැබුණි. එයයි ඇයගේ ත්‍යාගය.

අදටත් ග්‍රීක භාෂාවෙන් මී මැස්සන් හදුන්වන්නේ මෙලිස්සා යන වචනෙන්. මී මැස්සෙක් දෂ්ට කිරීමෙන් පසු ඌ තම විෂ තුඩ සමෙන් ගැලවීමට උත්සහ කිරීමෙන් පසු මිනිත්තු කිහිපයක් තුළ මියයයි. මී මැස්සන් අයත් වන්නේ Hymenoptera නම් සත්ව කාණ්ඩයට. එය බිඳී එන්නේ hymen සහ ptera යන ග්‍රීක් වදන් වලින්. Hymeno යනු විවාහයට සම්බන්ධ ග්‍රීක දෙවියෙක් වන අතර Ptera යනු පිහාටුයි.

ඒක නෙමේ අද මැයි 20 මී මැසි දිනය…!  



Monday, May 18, 2020

කටපාඩම හා ඉගෙනීම

හෙට එනකොට ඔය කෙටි කතාවේ ප්‍රකාශ ටික කටපාඩම් කරගෙන එන්න ඕන. නැත්තන් දණගස්සල තියෙනවා”

“හෙට එනකොට ගුත්තිල කාව්‍යයේ මුල් කවි ටික පාඩම් කරල තියෙන්න ඕන. නැත්තන් විචාර ලියන්න බැහැ.”

පාසල් යන ළමයෙක් නම් මෙවැනි කියුම් නිතර කනට රාත්‍රියේ රැහැයියෙක් කෑ ගසනවා මෙන් ඇසෙයි. ඔවුන්ට උවමනාව තිබුනත් රැහැයියාගේ ශබ්දය නතර කළ නොහැකියි. රැහැයියාව මරන්නට සිතෙයි. එයත් කළ නොහැකියි. එක් රැහැයියෙක් මැරුවත් තව රැහැයියෙක් කෑ ගසයි. මේ පාසල් ගුරු රැහැයියන්ගේ ශබ්දයත් නැවැත්විය නොහැකියි. ඒ රැහැයි හඬ අසා නිවසට පැමිණි විටත් රැහැයි හඬ රැව් පිළිරැව් දෙයි. ඒ දෙමව්පියන්ගේ වේශයෙන්.

“කටපාඩම් කරපිය ඕක. නැත්තන් දෙන්නෙ කෝටු පාර”

කටපාඩම් කිරීම අපගේ පාසල් සංස්කෘතිය තුල කැපී පෙනෙන්නක්. පාසලේ බහුතර අධ්‍යාපනය මූලික වන්නේ මේ කියන කටපාඩම් කිරීම මතයි. සිංහල ගත්තත් කවි කෙටි කතා නවකතා කටපාඩම් කිරීමට කියයි. ගණිතය පන්තියට එනවිට චක්කරේ කටපාඩම් කිරීමට කියයි. විද්‍යාවට එන විට ආවර්තිතා වගුව කටපාඩම් කිරීමට කියයි. මේ සියලු දෙයින් නිදහසක් ශාන්තියක් බලාපොරොත්තුවෙන් ආගම පන්තියට යන ළමයාට දස පනත පංච ශීලය කට පාඩම් කිරීමට කියයි.

“මොන මගුලක් ද මේ.”

ඒ පාසල් ළමයෙක්ගේ සාමාන්‍ය සිතුවිල්ලක්. විටෙක මගුල යන වචනෙ වෙනස් වී තරමක් සැර වචන ද එක්වන අවස්ථා ඇත. මෙසේ කටපාඩම් කිරීම නැතහොත් සාම්ප්‍රදායික වදනෙන්ම ගතහොත් වණපොත් කිරීම අපගේ අධ්‍යාපනයේ අඩිතාලමක් වී හමාරයි. අතීතයේ ලේඛනය නොතිබූ අවධියේ දී ලාංකිකයා විසින් ත්‍රිපිටකය ගෙනාවේ වණපොත් කිරීමෙන්. තල්පතෙන් පුස්කොළ සෑදුනු විට පිටපත් කිරීමත් අපහසු වූ නිසාත් වණපොත් කිරීම දිගින් දිගටම පැවතුනි. මෙතරම් තාක්ෂණයක් දියුණු අවධියක දී කටපාඩම් කිරීම කෙතරම් ප්‍රායෝගිකද යන්න දැන්වත් සොයාබලා කටයුතු කළ යුතුයි. දසපනත පංච ශීලය ස්ලෝක කටපාඩම් කිරීම වෙනුවට එහි අඩංගු දෑ තේරෙන ලෙසට දන්න භාෂාවකින් කියා අර්ථය මනසට කාවැද්දිය යුතුයි.

කෙටි කතාවක් උදාහරණයට ගමු. මහාචාර්ය ඒ.වී. සුරවීර මහතාගේ ‘අපටත් දවසක ඉර පායාදෝ’ කෙටි කතාව. සිරියාවතී චිත්‍ර අඳින විට අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් නොඇඳ මාළු වෙළෙන්දියක් ඇදීම සිදුවීම ගමු. මෙය විචාරන විට එයට අදාළ උපුටනය කටපාඩම් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විචාරනවා යනු කටපාඩම් කිරීම නොවේ. අවශ්‍ය වන්නේ අදාළ සිදුවීම යටි පෙළ නිවැරදිව කියවීමයි. දිළිදු ළමයෙක්ගේ සහ පොහොසත් ළමයෙක්ගේ ආශාව සතුට රැඳී ඇති තැන්, දිළිදු පවුල් අශාවට ප්‍රථම පණ නල රැක ගැනීමට දරණ වෙහෙස, සිරියාවතී මාළු වෙළෙන්දියක් ඇන්ද නමුත් අනෙක් අයගේ චිත්‍ර අවඥාවට ලක් නොකිරීම, ආදි කාරණා ළමයෙකුට විශ්ලේෂණය කල හැකිනම් කටපාඩමින් ඇති ඵලේ කුමක්ද? විචාරයට අවශ්‍ය සිතුවිලි දාමයේ ශක්තිය නැංවීමයි වැදගත් වන්නේ.

සාමාන්‍ය පෙළ සිංහල විචාරයක් ලියන විට කොහෙන් හෝ කටපාඩම් කරගත් හෑල්ලක් ලිවීමට බොහෝ ළමුන් හුරුව සිටියි. “එකම විචාරෙ දහසැරයක් විතර ලිව්වම හරි. ඕවම තමා එන්නෙ” දෙමව්පියන්ගෙනුත් මෙයට උදව්වක් ලැබෙන්නේ නැහැ. කෙතරම් කටපාඩම් විචාර ලියනවාද කිවහොත් කේ. ජයතිලක මහත්තයාගේ අපටත් වැසිකිළියක් අස්සේ ගුත්තිල මූසිල දෙපැත්තට වී සිටින අයුරු මම කියවා ඇත්තෙමි. විචාරන විටත් ගුණ වයන හොරණෑ මෙන්ම එම විචාර සමන්විත විය යුතු වීමත් මම දකින අඩුවක්. වරදක් අඩුපාඩුවක් ඇතොත් එය සෙවීමටත් නිදහස් මනසකින් සාහිත්‍යක් අධ්‍යනයටත් ළමයාට හැකියාවක් අත්කර දිය යුතුයි.

“ඇයි සර් මූසිලට ගොඩක් තැන් වල බනින්නේ. ගුත්තිල හොර කරලනෙ දින්නේ” හතර පැත්තෙන් සිතීමේ නිදහස කොටු වී ඇති අධ්‍යාපනයක් තුල මෙසේ ළමයෙක්ගෙන් අදහසක් පැමිණීම ගැන මට දැනුනේ සතුටක්. සම්මතය ලෙස මූසිලට නොබැන මූසිලගේ පැත්තෙනුත් කතාව කියවිය යුතුයි. එවිටයි නිවැරදි විචාරයක් වන්නේ.

“දැන් කොහොමද ඔයා ඉතිහාසය පාඩම් කරන්නේ”

“පිටුවෙ උඩ ඉදන් පල්ලෙහාට පස් සැරයක් කියෝනවා”

ඕං ඕකයි මෙවර සාමාන්‍ය පෙළ ලියන ළමයෙක්ගෙන් මම ඇසූ විට ලැබුනු පිළිතුර. යම්කිසි සිදුවීමක් මතක තබාගැනීමට අවශ්‍ය නම් එය රසවත් ආකාරයකට තම තමන්ගේ මනස වෙත සම්ප්‍රේෂණය කල යුතුයි. සාමාන්‍ය පෙළ අවධියේ දී සංගීතයට හැර (පියානෝව වාදනය ඉගෙනීමට) අනෙක් එකදු විෂයකට මම උපකාරක පන්ති වලට ගියේ නැත. ගියත් සතියකි. උපරිම දෙකකි. ඒ මා සහභාගි වූ එකදු උපකාරක පන්තියකින්වත් පාසලේ ඉගැන්වූ දේට එහා දෙයක් ඉගැන්වූයේ නැති නිසාවෙන්. ඇරත් කොළඹ සිට නිවසට ඒමට පැය ගණනක් යන නිසාවෙන් මහන්සි පිට පන්ති වලට ගාටන්න මට සිත් දුන්නේ නැහැ.

තනිවම ඉගෙන ගන්නා නිසා ඉගෙන ගැනීමට කටපාඩමෙන් තොර පිටු උඩ සිට පල්ලෙහාට කියවීමෙන් තොර ක්‍රමයක් මම අනුගමනය කලෙමි. ඒ ඉගැන්වීමයි. පලමුවෙන් පාඩම කියවා පොත දෙස බලාගෙනම සිතින් මවාගත්තෙකුට මම අදාළ පාඩම් ඉගැන්වීම පටන් ගනියි. ටිකකින් මම ඔහුගෙන් ප්‍රශ්න අසයි. ඉන්පසු ඔහුගේ පැත්තෙන් මම ම නැවත ඒවාට පිළිතුරු දෙන්නෙමි. ගුරුවරයෙක් කළු ලෑල්ලේ ලියනවා මෙන් මම කොළ කෑල්ලක ඉගැන්වීමට අදාළ සටහන් ලිවීමට ගනියි. දැන් ප්‍රශ්න පත්‍රයක් ලිවීමේ වේලාව. ප්‍රශ්න පත්‍රය සාදන්නෙත් මම. ලියන්නෙත් මම. ඒවා නිවැරදි ද කියා බලන්නෙත් මම. සාමාන්‍ය පෙළ අවසන් වූවාත් සමගම පටන් ගත් ළමුන්ට ඉගැන්වීමේ කටයුතු අද දක්වාත් කරගෙන යන්නේ ඒ පුහුණුව නිසා විය යුතුයි. මෙසේ ඉගැන්වීමට ළමයාට පුහුණු කළහොත් මේ කොරෝනා වසංගත කාලයේ දී අපහසුවකින් තොර අධ්‍යාපනයක් ළමයාට අත්කරගත හැකිවන බව මගේ විශ්වාසයයි.


Saturday, May 16, 2020

ලංකාවේ පළමු කවට පුවත්පත, 'කවට කතිකයා'

ලංකාවේ පළමු කවට පුවත්පත ‘කවට කතිකයා' ලෙස හැදින්වේ. මීට වසර 147කට පෙර, එනම්, 1872 වසරේ ජනවාරි මස 1 වන දින අරඹන ලද මෙම පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කළේ අතිශය දක්ෂ කවටයෙක් වූ ගුරුන්නාන්සේලාගේ දොන් පෑලිස් අප්පුහාමි ය. කවට කතිකයා ආරම්භ කරන විට ඔහුගේ වයස අවුරුදු විසි තුනකි. එතැන් පටන් ඔහු වසර හතළිහක් පමණ කවට කතිකයා පුවත්පතේ සංස්කාරක ධුරය හෙබවූ නිසා දොන් පෑලිස් අප්පුහාමි මෙතෙක් ලංකාවේ වැඩිම කාලයක් පුවත්පත් සංස්කාරක ධුරයක් හෙබවූ පුද්ගලයා ලෙස හඳුන්වා දීමටත් හැකියි. ලංකාවේ මුල් කාලීන පුවත්පත් පිරික්සන විට පුවත්පත කවියකින් ආරම්භ කිරීම පොදුවේ දක්නට ලැබෙන දෙයකි. කවට කතිකයා පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි. කලින් කලට මෙම කවිය වෙනස් වුවත් එම කවිය මෙසේ යි;

සිතට පිරිය බස් ලියුමට පෑන අතට         ගත්තා

පවට ඔබින දුසිරිත් දුර ලෑමා නිතර         යුත්තා

කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා

ලකට පහළ වූ මමවද කවටකතිකා          මුත්තා’

මෙම කවියේ සදහන් වන කවටකතිකා මුත්තා යනු කවට කතා කියන තැනැත්තා ය. පුවත්පතේ මුල් පිටෙහි ඔහුගේ කාටුන් පින්තූරයක් ඇඳ තිබේ.තමන්ගේ හිසටත් ඉහළින් යන පිහාටු පෑනක් අතැතිව සිටින කවටකතිකා මුත්තාගේ මුහුණ රැලි වැටී ඇති අතර රැවුල ද පැසී ගොස් ඇත. ඔහුගේ පිටුපසින් ඔහුට ආවතේවකම් කරන සේවකයා ලෙස වඳුරෙක් සිටියි. උගේ නම හනුමාන් ය. පුවත්පත ආරම්භයේදීම එයට විවේචන එල්ල වන්නට විය. මෙසේ පළමු විවේචනය එල්ල කලේ ‘ලක්රීවි කිරණ’ පුවත්පත යි. ඔවුන් කවට කතිකයා පුවත්පතේ මුල් පත්‍ර දෙක පිලිබදව තම පුවත්පතේ විවේචනය එල්ල කළ අතර එයට පිළිතුරු ලෙස කවට කතිකයා පුවත්පත ද ‘අප සමකාලිකයානෝ’ යන මාතෘකාවෙන් ලිපියක් පල කළේ ය. එයින් ලක්රිවි කිරණ පුවත්පත එල්ල කළ විවේචන එකින් එක බිඳ දමා හාස්‍යයට ලක් කළ අතර, එමඟින් එම විවේචනය පුස්සක් බවට පත් කිරීමට හැකි විය.

කවට කතිකයා පුවත්පතේ පිටුවක් (dinamina.lk)

මෙම පුවත්පතේ සංස්කාරකවරයා නොහොත් සැබෑ කවටකතික මුත්තා වන දොන් පෑලිස් අප්පුහාමි උපන්නේ 1847 වර්ෂයේ තෙළඟපාත නම් ගමෙහි ය. මොහු ගමෙහි විහාරස්ථානයෙන් අධ්‍යාපනය ලැබී ය. පෑලිස් අප්පුහාමිගේ මුහුණ පුරා රැවුල වැවී තිබුණු අතර ඔහු තම ජීවිත කාලය පුරාවට සිදු කලේ මිනිසුන්ව හිනැස්වීම යි. මේ නිසා මිනිසුන් පෑලිස් අප්පුහාමිව ‘විකට රජා' යන නමින් ද හැඳින්වීමට පටන් ගත්තේ ය. කාට හෝ කවටකමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනහොත් තරාතිරම නොබලා ඔහු එය නිසැකයෙන්ම සිදු කරයි. කවට කතිකයා පුවත්පතේ ආරම්භයේ සදහන් ලෙස ‘කවට කමක් ලැබුනොත් අතනාරිණ එක සත්තා’ යන්න ඔහු ස්ථිරවම තම ජිවිත කාලය පුරාවට පිලිපැද්දේ ය. ඔහු හික්කඩුවේ නායක මාහිමියන් කෙරෙහි දැඩි භක්තියකින් යුතුව සිටියත් උන්වහන්සේටත් කවටකමක් කරන්නට අවස්ථාව ලැබුන විට ඔහු එය අත හැරියේ නැත.

දොන් පෑලිස් අප්පුහාමිගේ මෙම ගුණය නිසාවෙන් ඔහුට නඩු වැටුනු අවස්ථාවක් ද තිබේ. ඉංග්‍රීසි රජ පවුලේ සටහන් ඇති ලේන්සුවක් එකල වෙලදපොලේ සංසරණය වන්නට විය. මෙය දුටු පෑලිස් අප්පුහාමි කවට කතිකයා පුවත්පතේ ‘ඉංග්‍රීසි රජ පවුල අමුඩේට ගිහින්!’ යන මාතෘකාවෙන් කවට පුවතක් පල කළේ ය. එකල ඉංග්‍රීසින් ලංකාව තමන්ගේ දැඩි ග්‍රහණයට නතු කරගෙන සිටි අවධියක් නිසාවෙන් මෙම පුවතට නඩුවක් වැටුනී. මෙය තරමක් බරපතල නඩුවක් නිසා පෑලිස් අප්පුහාමිගේ මිතුරු නීතිඥයන් එයට කතා කිරීමට ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර නීතිඥයෙකු නොමැතිව නඩුකාරයා ඉදිරිපිටට ගියේය.

නඩුව ඇසීමට බොහෝ ජනකායක් පැමිණ තිබුණි. පෑලිස් අප්පුහාමි තම නිදහසට කරුණු කීමට අවස්ථාව පැමිණි විට සියලු දෙනාම බලා සිටිය දී තම කබාය, කමිසය හා බැනියම ගලවන ලදී. ඉන්පසු යටට ඇද තිබු ටුවීඩ් රෙද්ද උනා දමා එයට යටින් ඇඳ තිබු අනෙක් රෙදි එකින් එක ගලවා පැමිණි සිටි පිරිස හාස්‍යයෙන් මත් කිරීමට පටන් ගත්තේ ය. අවසානයේ දී ඔහු අමුඩය දක්වාම තම රෙදි උනා දැමු අතර තමන්ගේ නිදහසට කරුණු පෙන්වීමට නම් අමුඩයත් ගලවා දැමිය යුතු පවසා එය ගැලවීමට යන විට නඩුකාරතුමා කෑ ගසා එය නැවැත්වූ බව කියවේ. “මා ලෑස්ති වුනේ හරියටම මගේ නිදහසට කරුණු පෙන්වා දෙන්නට යි. එහෙත් එයට ඉඩ නොලැබෙන බව පේනවා. මෙන්න එහෙනම් අමුඩයේ රජ පවුල" කියා අමුඩ පොට ඔසවා නඩුකාරයට පෙන්නුවේ ලු. ඉන්පසු “මේ පිස්සා උසාවියෙන් එලවා දමව්” කියා පෑලිස් අප්පුහමිව උසාවියෙන් එලවා දමා නඩුවෙන් ද නිදහස් වූ අයුරු එකල මිනිසුන් අතර බහුලව කතා බහකට ලක්වූ සිද්ධියකි. ඊට පසු දින ‘රජ අමුඩේ නිදහස් වේ’ යන්නෙන් ලිපියක් ද කවට කතිකයා පුවත්පතේ පල කිරීමට ඔහු වගබලා ගත්තේය.

රටම විනෝදයෙන් පිරවූ පෑලිස් අප්පුහාමි 1910 වසරේ සැප්තැම්බර් මස 4 වන දා මෙලොවින් සමුගත්තේ ය. ඔහුගෙන් පසු ඔහුගේ පුත්‍රයන් දෙදෙනෙක් වූ ඩේවිඩ් සහ ජෝර්ජ් යන දෙදෙනා 1913 වසර තෙක් කවට කතිකයා පුවත්පත පවත්වාගෙන් ගියේ ය. පෑලිස් අප්පුහාමි ජීවත්ව සිටිය දී ලද මහජන ප්‍රසාදය එයට නොලැබුණු නිසා එය අභාවයට පත්විය. ඉන්පසු ලංකාවේ තවත් කවට පුවත්පත් ආරම්භ වුව ද ඒවාට පෑලිස් අප්පුහාමිගේ කවට කතිකයා තරම් ජනප්‍රිය වන්නට හැකියාවක් ලැබුනේ නැත. කම්මැලිකම සාර්ථකත්වයට බාධාවකි. කවට කතිකයා පුවත්පතේ එයට බෙහෙතක් යෝජනා කරයි. එයත් අසා අපි මෙම ලිපිය අහවර කරමු.

කම්මැලි කම පිට බුදියා ග      න්නේ

කොච්චි මිරිස් තුන් කලඳක් ග න්නේ

අඹරා පස්සට වස්ති කර         න්නේ

කම්මැලිකම් ඒකෙන් දුරු ව    න්නේ’

මූලාශ්‍ර:

1)සිංහල පුවත්පත් හා සඟරා ඉතිහාසය - කලුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමි

2)දිවයින හා දිනමිණ පුවත්පත්

[මෙය වසරකට පෙර Roar වෙබ් අඩවියට ලියූ ලිපියකි. එහි මවිසින් ලියූ තවත් ලිපි කියවන්න මෙතනින්]

කවට කතිකයා පුවත්පතේ කර්තෘ පෑලිස් අප්පුහාමි (dinamina.lk)


කවට කතිකයා පුවත්පතේ මුල් පිටුව (divaina.lk)

වාසිතය බ්ලොග් අඩවියේ පළවූ තෝරාගත් පැරණි ලිපි 5ක්. මේවා අතපහු උනානම් කියෙව්වට කාරි නෑ.

1. වරද කාගෙද? (56 සිංහල පමණක් පනත ගැන විග්‍රහයක්)

2. දෙවියන්ගේ මිනිස්සු - ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

3. ජාතික වස්තුවක් ලෙස මියගිය ඊඩිත් පියැෆ්

4. සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

5. සමරකෝන් මැරුනේ නැත. අපි ඔහු මැරුවෙමු.